Pages

Tuesday, October 16, 2012

කෑම හිරකරගන්නෙ බලාගෙනයි

පහුගිය දවසක හිත දුකෙන් පිරුණෙ සමීපතමයෙකුගේ මරණයක් ගැන අහලයි. අපි කොයි තරම් අමතක කරත් ජීවිතේ කියන එක ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඉවර වෙන්න පුලුවන් කියන එක මේ මරණයත් එක්ක ආයෙමත් මට දැනුණා. මීට කලින් ඔය හැඟීම ප්‍රබලව දැනුනෙ හිතවත් කෙනෙක් වතුර මෝටරයක් ක්‍රියාත්මක කරන්න ගිහින් විදුලි සැර වැදිලා ක්ෂණිකව මරණයට පත් වීමත් එක්කයි.

පසුගිය දවසක මරණයට පත් වුණයි කියූ පුද්ගලයා මිය ගියේ රාත්‍රී ආහාර ගනිමින් ඉද්දියි. එදා රාත්‍රියට පිළියෙල කර තිබුණෙ නූඩ්ල්ස්. නූඩ්ල්ස් කමින් විහිළු කරමින් කතා කියමින් සිටි පුද්ගලයා එක වරම කහින්නට පටන් ගෙන ඇත. නූඩ්ල්ස් හිර වීම නිසා අපහසුවට පත් වුණු ඔහු අතින් සන් කර වතුරද ඉල්ලා ඇත. ඒ අතර ඔහු කෙළ ගිලිමින් හිරවුණු නූඩ්ල්ස් ගිලින්නට තැත් කරන්නට ඇත. 

ඔහුත් නොසිතූ වෙලාවක වමනය යන්නට ආවත් වමනය පිට උගුරේ යාමෙන් නූඩ්ල්ස් සියල්ල පෙනහළු වලට ගමන් කර ඇත. ඔහුට වතුර උගුරක්වත් පොවන්නට වෙලාව ඉතිරි නොකර ක්ෂණිකව ඔහු මරණයට පත් විය. රෝහලට රැගෙන යන්නටවත් ඉඩක් නොතබා ඔහු ජීවිතෙන් සමුගෙන තිබුණි. මරණ පරීක්ෂණය සිදු කිරීමට උරස් කුහරය කපා විවර කිරීමේදී දකින්නට ලැබී ඇත්තේ පෙනහලු වටා පිරී ගිය නූඩ්ල්ස්ය. 

රාත්‍රී ආහාරයට පෙර ඔහුද මෙය ඔහුගේ අවසන් රාත්‍රී භෝජනය යැයි නොසිතන්නට ඇත. එහෙත් ජීවිතයක් අවසන් වන්නට තත්පර ගණනක නොසැලකිල්ලක් ප්‍රමාණවත්ය. 

අප කුඩා කල ආහාර ගනිද්දී හොඳින් විකා ආහාර ගිලින්න, කතා බහ කරමින් සිනහ වෙමින් නැතිව නිශ්ශබ්දව ආහාර ගන්න, හොඳින් ජලය පානය කරන්න ලෙස වැඩිහිටියන් අපේ ඔලු පුරවන්නේ මෙවැනි දේ සිදුවිය හැකි නිසාවෙනි.   

සංසාරයේ අප මිනිස් ආත්මයක් ලබා උපදින්නට ඇත්තේ කලින් ආත්මයක කළ පින් ගුණයක් නිසා වන්නට ඇත. එසේ අසීරුවෙන් ලබාගන්නා මේ ජීවිතය අපගේ නොසැලකිලිමත්කමක් නිසා එක මොහොතකින් නැති කරගන්නේ නම් එය මහත් අවාසනාවකි. 

සබඳ, මේ මොහොතේ ඔබ විඳිමින් සිටිනා ජීවිතය ඊළඟ මොහොතේ ඔබට අහිමි විය හැකිය. එහෙයින් ජීවත් වන සෑම මොහොතක්ම සිහි කල්පනාවෙන් ජීවත් වී මේ වටිනා ජීවිතය නිරපරාදයේ අතහැර නොගන්න.

31 comments:

  1. හප්පා..... ජීවිෙත් ෙකායි ෙවෙල්ද ෂුවර් නෑ.... ෙවලා අාවාම වතුර ෙබ්සමෙ හරි ගිලෙනවා.... පරිස්සං උණාටම වැඩකුත් නෑ එක අතකට...

    ReplyDelete
    Replies
    1. නොසැලකිලිමත් කමක් නිසා ජීවිතේ නැති වෙනවා කිය්න එක මොන තරම් අපරාධයක්ද

      Delete
  2. හ්ම්ම්... මිට ටික දවසකට කලින් කඩල ඇටයක් උගුරේ හිර වෙලා මිය ගිය පොඩෙක් ගැන අහන්න ලැබුනා. තව වෙරළු වගේ දෙවල් නිසත්... කැම ගනිද්දි පරිස්සම් වෙන එක කොකටත් හොදයි වගේ.

    ReplyDelete
    Replies
    1. පොඩි අය ගැන නම් නිතරම ඇහැ ගහගෙන ඉන්න ඕනෙ

      Delete
  3. ගොඩක් ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  4. jeevitheth pinibindu wage thamai. Loku wenakota api hoda purudu athaherala ketha purudu walata huru wenawane. Ekai aula.

    ReplyDelete
    Replies
    1. ඔව්. ජීවිතෙත් පිණිබිඳු වගේ තමා..

      Delete
  5. මේ ලිපිය කියෙව්වම මට මතක් උනේ රාගම වෛද්‍ය ප්‍රදර්ශනයක තිබ්බ කඩල ඇටයක් හිරවෙලා මැරිච්ච ඔලුගෙඩිය...

    ReplyDelete
    Replies
    1. අප්පා එහෙම එව්වත් තියෙනවද

      Delete
  6. දුකකින් උනත් අනිත් අයගේ යහපත ගැන හිතල මේ ලිපිය පළ කිරීම අතිශයින්ම අගය කරමි!

    ReplyDelete
    Replies
    1. ඔව් මේ දේ හෙට අපෙන් කාට හරි වෙන්න පුලුවන්. ඒ නිසයි දැම්මෙ

      Delete
  7. අම්මෝ මාර බයානකයි..
    පරිස්සම් වෙන්න ඕන..

    ReplyDelete
  8. මට නම් රඹුටන් ඇට තමා ගිලෙන්නේ. හිරවෙලාම නැහැ !

    ReplyDelete
    Replies
    1. බලාගෙන රඹුටන් නෙමෙයි කඩල ඇටයක් හිරවෙලත් මිනිස්සු මැරෙනවා

      Delete
  9. කෝ මගෙ කමෙන්ට් එකෝ ???

    ReplyDelete
  10. වටිනා ලිපියක්.......මගෙත් පාසැල් කාලයේ මිතුරෙක් මීට අවු 3 කට පෙර ආහාර හිර විමේන් මිය ගියා, ඔහු මිය යනවිට ඔහු විවාහ වි සති එකහමහරක් පමන ඇති, මියයන විට ඔහුගෙ වයස අවු 27යි, මේ ලිපිය කියවන විට මට ඔහු සිහිවුනා... බලනකොට "ජිවිතය තන අග පිණිබිඳු වගේ " මොහොතින් විනාශවෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරිම අවාසනාවන්ත සිදුවීමක්

      Delete
  11. මමත් ගිලගෙන ගිලගෙන යන හදිසි කාරයෙක්.. හිරවෙච්ච වතවල් අනන්තයි.. (මාළු කටු ) දැන් කාලෙක ඉඳලා මම නිර්මාංශික හින්දා ඒක නම් ආයිත් වෙන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒත් කෝකටත් පරිස්සමින්

      Delete
  12. කතා කළ යුතු දැන ගත යුතුම කරුණූ ....

    මේ අනතුර ගැන තව ටිකක් දැන ගන්න ...එන්න http://www.nursinglk.com/2011/08/52.html

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතාම වැදගත් ලිපියක්. ඒක විතරක් නෙමෙයි හැම ලිපියක්ම වැදගත්. නොදන්නා ගොඩක් දේ අපි ඔබේ බ්ලොග් එකෙන් දැනගන්නවා. ස්තූතියි.

      Delete
  13. ඊයේ අහන්න ලැබුනා පීස් ඇටයක් හිරවෙලා මරුන කොරියන් ළමෙක් ගැන . මේ වගේ වෙලාවට කරන ප්‍රථමාධාර දැන ගැනීම වැදගත් නේද . වතුර බිම නෙමේ . මන් හිතන්නේ කොන්ද පාත් කරලා තට්ටු කිරීම තමයි හරි.

    ReplyDelete
    Replies
    1. සොඳුරු සුව අසපුවේ ලිපිය බැලුවද අක්කා. ඒකෙ කරන්න ඕනෙ ප්‍රථමාධාර ගැන තියෙනවා.

      Delete
  14. ඇත්තට ලමයිනේ මේ බ්ලොගර් අපේ කමෙන්ට් වලට මොකද කරන්නෙ. මම මේ මතක් වෙලා ආවේ පිණිබිඳු මොකද කියලා තියෙන්නෙ කියලා බලන්න මම දාපු කමෙන්ට් එකට.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හයියෝ ඩූඩ් අයියා මේ දවස් වල හරිම බිෂී අප්පා. ප්‍රමාදය ගැන මාගේ බලවත් කණගාටුව.

      Delete
  15. හෆොයි....මේ වගේ අවාසනාවන්ත සිද්දි කීයක් නම් වෙනවද..? පහුගිය නිවාඩු කාලෙදි ලංකාවෙ රෝහලක පුහුණු වෙන්න ගිය වෙලාවෙ මේ වගේ කෑම හිර වෙලා ආපු අවුරුදු 12ක පුංචි දරුවෙක් දැක්කා.. වාසනාවට බලාගන්න හිටපු සේවිකාවට පොඩි ප්‍රථමාධාර දැනුමක් තිබ්බ නිසා තමයි ඒ දරුවා මරණයෙන් ගැලවිලා තිබ්බෙ...

    (ඔන්න පිණිබිඳු කාලෙකින් ආවෙ...අපිව මතකත් නැද්ද මංදා... :D )

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...