Pages

Wednesday, December 21, 2011

නත්තල සහ වයින්


නත්තල ටිකෙන් ටික ළං වෙනවාය. මට නං සම්පූර්ණයෙන්ම නැතත් බාගෙට නත්තල් ඇත්තේය. ඒ මක් නිසාද යත් සජිත්ට නත්තල් ඇති නිසාය.

පහුණු දවස් ටිකේ නත්තල් ගහේ එල්ලන්නට පාට පාට බඩු ගන්නට කකුල් කැඩෙනකල් ඇවිද්දෙමු. ලස්සන බව ඇත්තය. නමුත් ගණන් ඇසූ කල පාට ඇඳුමක් ඇඳගෙන නත්තල් ගහේ එල්ලී ඉන්නට ඇත්නම් ඊට වඩා අගනේ යැයි සිතෙන්නේය. ඒ තරමට ඒවා අස්ප ගණන්ය.


අවුරුදු ගාණක් හිතාගෙන හිටියාට හදන්නට බැරි වූ නත්තල් කේක් එකේ නම් මෙදා පොටේ රෙසිපි එක අහු විය. දෙන්නම් බැටේ කියාගෙන නත්තල් කේක් එකට බඩු ගන්නට ගිය විටද ඒවායේ ගණං වලට සිහි මූර්ජා තත්වයට තව පොඩ්ඩෙන් පත් වන්නේය.

ඒත් කෙසේ හෝ ග්‍රෑම් 250 ගන්නට ඕනෑ ඒවාට ග්‍රෑම් 100 බැගින් හෝ අරගෙන කේක් හදන පරම අදිටනින් සිටින්නෙමි. වැඩේ හරි ගියොත් පොටෝ කෑලි සමඟ පෝස්ට් එකක් බලාපොරොත්තු විය හැක. මේ දිනවල දිගට හරහට කෑම ගැන පෝස්ට් දාන උන්ට රිටන් එක දෙන්නේ එසේය. හදිස්සියේ වත් කේක් එක හදාගන්නට බැරි උනොත් මේ කියූ එක උඹලාට අමතක වේවා යැයි පතන්නේය. මන්ද මම බොලාගේ හැටි දන්න නිසාය.


නත්තලට මට නම් දැම්මම තෑගි හම්බ වෙලාය. මෙවර නම් ඉල්ලන්නටත් කලියෙන් වයින් බෝතලයක් අතටම පත් වූයේය. වයිට් වයින් ගැන හීන මවාගෙන හිටි මට ආයෙත් ලැබුණේ රෙඩ් වයින් එකක්මය. කමක් නැත. අලියෙක් ඉල්ලූ අපිට හෙණ්ඩුවක් ලැබුණත් කම් නැතිය.

මෙවර නම් වැදගත් විදිහට බොන්නට තරයේම අදිටන් කර ගෙන සිටිමි. වයින් යනු බඩජාරී කමට බොන දෙයක් නොවන වග පහුගිය පෝස්ට් එකේදී බොහෝ දෙනා පැවසූ වග මතකය. පළවෙනි උගුර බොනතෙක් එය මතකයේ තිබුණත් ඉන්පසු එය අමතක වී යන හැටි නම් පුදුමය. මෙවර ලැබුණේ Cinzano - Rosso වයින්ය. බොන්නත් කලින් ඇල්කොහොල් ප්‍රතිශතය දැක මට වෙරිය.




නත්තල් නිවාඩුව මම නම් අලුත් අවුරුද්ද වෙන තෙක් එක්ස්ටෙන්ඩ් කර ගත්තෙමි. ගමේ ගිහින් එනකල් බ්ලොග් එක පැත්තේ එන්නට වෙන්නේ නැත. මක් නිසාද යත් ගෙදර තිබූ කොම්පියුටරය ජාල සබඳතාවත් සමගම අක්කා දෑවැද්දට ගෙන ගොස් ඇති බැවිණි.

මගේ ලැප් ටොප් එක ටොපේ ටොප් විදිහට බිම වැටී කෑලි දෙකකට වෙන් විය. ලැපේ කෑලි දෙක දිහා බලාගෙන හූල්ල හූල්ලා ඉඳිමි. ස්ක්‍රීන් එක පලු දෙකකට ගැලවී ඇති සැටි නම් බලා ඉන්නට දුකය.

අලුතෙන් ස්ක්‍රීන් එකක් දාන්නට මුං ඒවා ලංකාවට ගෙන්නන කල් බලා ඉන්නට සිදු වේය.
එතකල් මට සොරිය. ස්ක්‍රීන් එකම අලුතෙන් දැමීමද ලේසි නැත. ඕවා ගැන දිගින් දිගටම කල්පනා කරන්නට ගියොත් ඔලුවට ගොංකවඩි කෙටීමට ඉඩ ඇත. ඒ නිසා නිවාඩුවට ගෙදර ගොස් ටීවි එකේ යන නත්තල් පිච්චර් බලන්නට මම හිත හදාගෙන ඉඳිමි.

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවාය. මට අලුත් අවුරුද්දට වෙනම සුභ පතන්නට වෙන්නේ නැති නිසා කලින් සුභ පැතුම දිගු කර ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවායිද පතන්නෙමි.

Friday, December 16, 2011

ආත්මාර්ථකාමී අමන යක්කු


ආත්මාර්ථකාමී මිනිසුන් අභියස
වදනක් නොනැගුවොත්
ඒ අපේ නිවටකමැයි සිතා
උන් අප පාගා දමති..

වදනක් නැගුවත්
උන් අප පාගා දමා
හඬ යටපත් කරති..

උන්ගේ ගල් හිත් සහ
විස කටු වදන් වලින්
අප පමණක්
තුවාල ලැබිය යුතුද?

ඇස් කන් පියාගෙන
උන් කරන්නක් කරවැයි
නිහඬව සිටීම
මගේ ආත්මාර්ථකාමීත්වයද..

Sunday, December 11, 2011

කොම්බුට්ටාගේ සීනි පොල්කොහු


කැම්පස් ආවට පස්සෙ තමයි ලංකාවෙ හතර දිග්බාගයෙන්ම ආපු අයව අඳුර ගන්න ලැබුණෙ. වර්ග කිලෝමීටර් 65000ක් විතර ප්‍රමාණයක් ඇතුලෙ හිටියත් එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට අපේ සංස්කෘතිය, වචන භාවිතය, කෑම බීම උනත් කොච්චර වෙනස් වෙනවද? එකම දේකට ප්‍රාදේශීය වචන කොච්චර තියෙනවද. ඇහුවම මඤ්ඤං වෙලා යන වචනත් ඒ අතර තියෙනවා.

මාතෘකාවට මම දාලා තියෙන "කොම්බුට්ටා" වචනෙ අහලා තියෙද. මම නම් ඔය වචනෙ ඇහුවෙත් මෙහෙ ආවමයි. ෆැකල්ටි එකේ එදා ක්‍රිකට් මැච් එකක්. කට්ටියම පිට්ටනියෙ. මැච් එක පැත්තක. අපි හෙන කයියක. එක පාරට අපේ කොල්ලෙක් කියනවා "අර බලපංකො කොම්බුට්ටො ගොඩ" කියලා. අපිට හිතාගන්න බැරි උනා මොකක් ගැනද මේ කියන්නෙ කියලා. බලද්දි බත්කූරො රෑනක් ඉගිලෙනවා. මුන්ගෙ පැත්තෙ බත්කූරාට කියන්නෙ කොම්බුට්ටා කියලලු. එදා ඉඳන් ඌත් කොම්බුට්ටා උනා.

එක දවසක් බෝඩිමට යන පාරෙ "බොම්බයි මොටයි" විකුණන මනුස්සයෙක් යනවා. ඔන්න අපේ යාලුවෙක් කියනවා "අඩේ සීනි පොල්කොහු කෑවෙ නෑ කාලෙකින්. කමුද" කියලා. මේකි සීනි පොල්කොහු කියල තියෙන්නෙ බොම්බයි මොටයි වලට.කට්ටිය බඩ අල්ලන් හිනා උනා. අරකිට මළ පැනලා කියනවා තොපි අපේ පැත්තෙ ඇවිත් බොම්බයි මොටයි කියපංකො අපේ පැත්තෙ මිනිස්සු හිනාවෙන්නෙ නැද්ද බලන්න. ඇත්ත තමා ඉතින්. ඒ උනත් උඹලගෙ පැත්තෙ මෙච්චර කල් කෑවෙ පොල්කොහු වලට සීනි දාලද කියල නම් නාහා ඉන්න බැරි උනා.

අපේ හොස්ටල් එකේ තිබ්බෙ තට්ටු ඇඳන්. එක දවසක් පල්ලෙහා ඇඳේ ඉන්න එකී කෑ ගහනවා "මේක ගන්න ගන්න. අනේ මේක ගන්න ගන්නකෝ" කියලා. උඩ ඇඳේ ඉන්න එකී කියනවා "මොකද්ද බං දෙන දෙයක් දීපංකො. ගන්න ගන්න කියලා කෑගහන්නෙ" කියලා. බලද්දි උඩ ඇඳේ නෙට් එක පල්ලෙහා ඇඳටම දිග ඇරිලා. පල්ලෙහා ඇදේ කෙනා කියන්නෙ නෙට් එක ඇඳ ඇතුලට ඔබන්න කියලා. උන්ගෙ පැත්තෙ ඒකට කියන්නෙ ගන්න ගන්නවා කියලලු. උඩ ඇඳේ කෙනා හිතුවෙ අරයා මොනාහරි දෙන්න හදනවා. ඉක්මනට ගන්න කියනවා කියලා.

ඇයි පැණි කොමඩු වලට සමහර පැති වල "පත්තක්කා" කියනවා. කලින් මම පත්තක්කා වචනෙ ඇහුවම හිතුවෙ මේ වට්ටක්කා ගැනයි කියන්නෙ කියලා. පස්සෙ තමයි දැනගත්තෙ මේ පැණිකොමඩු කියලා. පැණි කොමඩු වලටම තව පැත්තක සීනි කැකිරි කියනවා.

ඔය ප්‍රාදේශීය වචන නිසා මාත් හොඳවැයින් චාටර් වෙලා තියෙනවා. එක දවසක් හොඳටම වහිනවා. ජනේලෙන් වතුර විසිවෙනවා ඇතුළට. මම යාලුවට කිව්වා "හිරිකඩ එන නිසා ජනේලෙ වහන්නම්" කියලා. මේකි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා මම මොකද්ද මේ කියන්නෙ කියල. වැහි පොද විසි වෙනවට හිරිකඩ කියන්නෙ අපේ පැත්තෙ විතරමද මන්දා. සමහරු තුවාරන් ගහනවා කියලත් කියනවා මම අහල තියෙනවා.

ඒ වගේම තුනපහ වලට "සක්කර" කියලත් මම බයිට් වෙලා තියෙනවා. අපේ පැත්තෙ ඇත්තටම සක්කර කියන වචනෙ පාවිච්චි කරනවා.

සජිත්ලගෙ පැත්තෙත් ඔහොම අමුතු වචන පාවිච්චියක් තියෙනවා. එක දවසක් එයා මොකක් හරි කියනවා කියනවා මම පිළිගන්නෙම නෑ. එක පාරටම කියපි "යකෝ මුන්ට ඇත්ත කියනවට අපිට ගොං කවඩි කොටන්න එපැයි" කියලා. තරහ පැත්තක. මම බඩ අල්ලන් හිනා වෙනවා. ගොං කවඩි කියලා එයාලා කියන්නෙ මයිනොන්ටලු.

එක දවසක අපිට කොහෙන්ද මන්දා අඹ වගයක් හම්බවෙලා. කට්ටිය අඹ කකා ඉද්දි එකියක් අහනවා "ඒ උඹලා අඹ කෝට්ටෙ කන්නෙ නැද්ද" කියලා. කාපු අඹ ඉස්පොල්ලෙ යන්නත් ගියා. අඹ කෝටු කනවයැ. බැලින්නම් මේ කියලා තියෙන්නෙ අඹ ඇටේ කන්නෙ නැද්ද කියලා.

තව මරු වචනයක් තමා "පොක්කලං". අපි දියපට්ටා කියනවා වගේ සමහරු ඒකට කියන්නෙ පොක්කලං කියලා. කීප දෙනෙක්ගෙන් ඒ වචනෙ අහල තියෙනව මම.

එක කාලෙක මම මගෙ ෆෝන් එක විකුණන අදහසකින් හිටියෙ. එක දවසක බැච් එකේ කොල්ලෙක් ඇවිත් අහනවා "මේ උඹ ෆෝන් එක කීයටැයි විකන්නෙ" කියලා. විකනවා කියලා අපි හපනවට කිව්වට උන් විකනවා කියන්නෙ විකුණනවටලු.

ඉතිං වෙලාවකට ඔහොම වචන ඇහුවාම ඔලුවට ගොං කවඩි කෙටුවා වගේ තමා. මට විතරක් නෙමෙයි ඔයාලටත් මෙහෙම අත්දැකීම් ඇතිනෙ. කෝ ලියමු බලන්න පහලින් එහෙනම්..

Tuesday, November 29, 2011

සෙපලපෝඩාවෙකුට තරහෙන් ලියමි


පෘෂ්ඨ වංශිකයෙකුගෙ ඇස් දැරුවට
මහ විසාල මොළයක් දැරුවට
සෙපලපෝඩාවෙක්ට කවදාවත්

කෝඩේටාවෙක් වෙන්න බෑ

ආරක්ෂාවට තින්ත මඩිය විදින්න
ජෙට් යාන්ත්‍රණයෙන් එහෙ මෙහෙ යන්න

උඹට පුලුවන් උනාට
මැමාලියාවෙක් වෙලා
උඹට
හඳට යන්න බෑ

බාහු වලින් වට උනාට
රේත්‍රිකාවකට කවදාවත් බෑ

කැල්සියම් සහිත දතක් වෙන්න

ඒ නිසා උඹ දැනගත යුතුයි
උදරීය පේශිමය පාදයෙ තරමට

ඉදිමෙන්න..


මොන හරුපයක්ද යකෝ මේ කියලා කෑ ගහගෙන එන අය පොඩ්ඩක් හෝව්. මට ඕක හම්බ උනේ පහුගිය දවසක ගෙදර ගිහින් කාමරේ පොත් අස් කරන වෙලාවෙ ඒ ලෙවල් කාලෙ පොතක් පිටිපස්සෙ තිබිලා. බයෝ කරපු කට්ටියට නම් වචන ටික පොඩ්ඩක් හුරුපුරුදු ඇති. ඔය කවිය මම ලිව්වෙ ඒ ලෙවල් කාලෙ ජෛව විවිධත්වය පාඩ මතක තියාගන්න. දැන් කට්ටියට නම් ඒ පාඩම තියෙනවද දන්නෙත් නෑ.

මෙහෙමයි මේ කවියෙ තේරුම. මම මේ කියන්නෙ ඒ ලෙවල් මතකයෙන් හන්දා සමහර කරුණු ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්.

සෙපලපෝඩා කියන්නෙ දැල්ලන් බූවල්ලන් වගේ සතුන් අයත් වෙන සත්ව පන්තියක්. ඔවුන් සමහර ලක්ෂණ වලින් අපට සමාන වෙනවා. ඔවුන්ට අපිට ටිකක් සමාන ඇස් සහ අනිත් වංශිකයන්ට සාපේක්ෂව ලොකු මොළයක් තියෙනවා. එහෙම තිබුණු පලියට සෙපලපෝඩාවෙක්ට කවදාවත් කෝඩේටාවෙක් හෙවත් කොඳු නාරටිය ඇති සතෙක් වෙන්න බෑ.

දැල්ලො වගේ සෙපලපෝඩාවන්ට විශේෂ හැකියාවන් තියෙනවා. තින්ත මඩිය විදින්නෙ උගෙ ආරක්ෂාවට. ජෙට් යාන්ත්‍රණයෙන් තමා ඌ එහෙ මෙහෙ පීනන්නෙ. ඒත් එහෙමයි කියලා ජෙට් යාන්ත්‍රණෙන් ඌට හඳට යන්න පුලුවන්ද?

සෙපලපෝඩාවන්ට බාහු වලින් වටවූ රේත්‍රිකාවක් තියෙනවා. ඒක හරියට දතක් වගේ. එහෙම උනා කියලා මැමාලියා හෙවත් ක්ෂීරපායීන්ගෙ කැල්සියම් සහිත දතක් වෙන්න ඒකට බෑ. ඒ නිසා උන් දැන ගත යුතුයි ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න. (ඒත් උන්ට ඇඟිලි නෑ. තියෙන්නෙ එක පාදයයි. ඒක තමයි උදරීය පේශිමය පාදය කිව්වෙ.)

ඔන්න ඕකයි කවියෙ තේරුම. මම ඒ ලෙවල් වලට පාඩම් කරපු හැටි දැන් පේනවනෙ. කවි ලිය ලියා ඉන්නැතුව හරියට පාඩම් කොරා නම් මම අද කොහෙද.

තව මෙහෙම පාඩම් කරන කාලෙ නාස්ති කරගෙන ලියපු විෂයානුබද්ධ කවි තියෙනවා. මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒවත් දාන්නම්කො.

Sunday, November 27, 2011

ආයුබෝවන් හිරෝෂිමා


හිරෝෂිමා... වචනය ඇසෙද්දිත් අපට නිරායාසයෙන්ම සිහිපත් වන්නේ පරමාණු බෝම්බයයි. විද්‍යාත්මක දැනුම මනුෂ්‍යත්වයට එරෙහිව යොදාගත් මුල්ම අවස්ථාව ලෙස, හිරෝෂිමාව විනාශ කිරීම සඳහා පරමාණු බෝම්බය යොදාගැනීමේ සිද්ධිය ලෝක ඉතිහාසයට එක් වෙයි.

1945 අගෝස්තු 06 වැනිදා හිරෝෂිමාවට එල්ල කරනු ලැබූ බෝම්බය එක් ක්ෂණයකින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. තවත් දහස් ගණනකට දරුණු තුවාල ඇති කළේය. මිනිසුන් මිලියන කාලකට නිවෙස් උන් හිටි තැන් අහිමි කළේය. කොටින්ම දියුණුවේ හිණි පෙත්තේ වැජඹුණු සාමකාමී ජනාකීර්ණ නගරයක් අමු සොහොනක් බවට පත් කළේය.


"ආයුබෝවන් හිරෝෂිමා" යනු "Hiroshima Doctor" කෘතියේ සිංහල පරිවර්ථනයයි. මෙය ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මියගේ පරිවර්ථනයකි. පරමාණු බෝම්බයෙන් ලද තුවාල වලින් ඔත්පලව ඇඳ මත වැතිර සිටින අවධියේ 'මිචිහිකෝ හචියා' නමැති ජපන් ජාතික වෛද්‍යවරයෙකු විසින් ලියන ලද දිනපොතක ඇතුලත් සත්‍ය කරුණු ආශ්‍රයෙන් මෙම පොත ලියා ඇත.

බෝම්බය පිපිරුණු අවස්ථාවේ ඔහු ලැබූ අත්දැකීම් පමණක් නොව, වෛද්‍යවරයෙකු ලෙස බෝම්බයෙන් මරණීය තුවාල ලද්දන් හට ප්‍රතිකාර කිරීමෙන් ඔහු ලද අත්දැකීම්ද ඉතා සියුම් ලෙස මෙහි සටහන් කර ඇත.


න්‍යෂ්ටික අවි තාක්ෂණයෙන් මනුෂ්‍ය සංහතියේ පැවැත්මට එල්ල වන අභියෝගය පිළිබඳ ලොව ඇති ප්‍රභලම සාක්ෂිය හිරෝෂිමාවයි. බෝම්බයෙන් දිවි ගලවාගන්නට වාසනාවන්ත වූවද එහි කම්පනයෙන් හා තුවාල වලින් අත්මිදෙන්නට බොහොමයක් දෙනා සමත් නොවූහ.

තමන්ගේ ශරීරයේ වේදනාවන් අමතක කර, වෛද්‍යවරයෙකු ලෙස රෝහල සතු ඉතාම සීමිත සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඔහු රෝගීන්ට ප්‍රතිකාර කළ අයුරු නම් ප්‍රශංසාවට ලක්විය යුතුය.


පරමාණු බෝම්බය නිසා මෙහි මිනිසුන් අත්විඳි කෲරත්වය නම් අමතක කළ නොහැක්කේය. බෝම්බයේ ප්‍රබලත්වය කොතරම්ද යත් පිපිරුම් මධ්‍ය ලක්ෂ්‍යය හා මීටර් 500 දුර අතර ගොඩනැගිලි ආදියෙන් ආවරණ රහිතව සිටි අය ඒ මොහොතේම මිය ගියහ. මධ්‍ය ලක්ෂ්‍යයේ සිට මීටර් 3000ක දුරින් සිටි සියල්ලෝම දරුණු පිලිස්සුම් තුවාල හෝ විකිරණ වලට නිරාවරණය වීම නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූහ.



කතුවරයා බෝම්බය පිපිරීමෙන් පසු තත්වය මෙසේ විස්තර කරයි.

"අවට එහෙම් පිටින්ම ගිනිජාලාවක් බවට පත්විය. සුළි සුළඟක් හමා ගියේ ගින්න වඩ වඩාත් පතුරවමිනි. ගං දිය බියකරු ලෙස පැසෙන්නටත් ඉවුරු බිඳ දමන්නටත් උත්සාහ කරමින් ගින්න බුර බුරා නැගෙන්නට පටන් ගති. ගං දිය කැලති කැලතී දැවැන්ත රැළි සෑදුවේය. සුළඟට වැනෙමින් නරකාදියේ ගිනිගොඩවල් මෙන් පුපුරු ගසමින් දැවුණු දැවැන්ත ගස් බිම වැටුණේ අවට එකම ගිනිජාලාවක් කරන්නටය. උණුසුම දරාගත නොහැකි තරම් ඉහළ ගියේය. ගින්නෙන් බේරී ගන්නට ගං ඉවුරේ පොදිකමින් සිටි මිනිස්සු යා යුතු තැනක් නොදැන පහතින් පැසෙන ගං දියට පැන්නෝය. දහස් ගණනක් මළවුන් අතරට ගියේ ඒ අයුරිනි."


දින පොතකින් ගත් කරුණු වුවද කතුවරයා පාඨකයාගේ සිතේ අදාල සිදුවීම් සජීවීව මැවෙන ආකාරයට ඉදිරිපත් කර ඇති අයුරු නම් අපූරුය. එහෙත් ඒ රස විඳීමට යටින් ඇති කටුක සත්‍යය අවබෝධ වන විට නම් හිත කීරි ගැසී යයි. මේ අකුරු මතින් ඔප්පු කර ඇත්තේ මේ පොළව මතම සිටි තවත් මිනිසුන් පිරිසක් අමු අමුවේ පිච්චෙමින් ලද වේදනාවෙන් බිඳක් පමණි.

හිරෝෂිමාව බිමට සමතලා කළ බව ඇත්තය. එහෙත් එහි මිනිසුන්ගේ ආත්ම ශක්තිය පරමාණු බෝම්බ දහසකින්වත් විනාශ කළ නොහැකි බව මෙම නවකතාව සාක්ෂි දරයි.

Thursday, November 24, 2011

මාරම්බරී... කෝල වී පෑ මුවේ මන්දහාසේ..


මෙවරත් මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි හා ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "සරසවි ගී සිසිල" සංගීත සැඳෑව සුමනදාස ගොඩනැගිල්ලේ මැද මිදුලේ පැවැත්වුණා. අපේ පීඨයේ නොවුණත් හොඳ දෙයක් නම් අගය කළ යුතුයිනෙ.

මමත් අවුරුදු කිහිපයක් තිස්සෙ මේ ප්‍රසංගය රසවිඳින්න එකතු වෙන අයගෙන් කෙනෙක්. අවුරුද්දකට වරක් පවත්වන මෙය මෙවර පැවැත්වුණේ 17 වෙනි පාරට. ඒ කියන්නෙ 1994 ඉඳන් හැම අවුරුද්දකම මේක පවත්වලා තියෙනවා. මෙවර මේක සංවිධානය කරලා තිබුණෙ ගොඩනැගිලි හා ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය උනත් මීට කලින් මේක පවත්වලා තිබුණෙ ප්‍රමාණ සමීක්ෂණ ශිෂ්‍ය සංගමය.


මේ ප්‍රසංගය විශේෂ වෙන්නෙ වෙනත් ටකරං සංගීත ප්‍රසංග මෙන් නොව, ප්‍රබුද්ධ ගණයේ ගීත සහ වාද්‍ය වෘන්දයක් එක්ක අපූරු සැන්දෑවක් අපිට ගත කරන්න පුලුවන් වෙන නිසයි.

මෙයට හැම වතාවකම දායක කරගන්නෙ ගුවන් විදුලි වාදක වෘන්දය. ඒ වගේම නිවේදන කටයුතු කරන්නෙ ගුවන් විදුලියේ වසන්ත රෝහණ මහත්මයා. මෙවර ගායක ගායිකාවන් හය දෙනෙක්ගෙ ගීත රසවිඳින්නට ලැබුණා. පටන් ගත්ත අවුරුද්දෙ ඉඳන්ම මෙයට සහභාගි වෙලා ඉන්න දීපිකා ප්‍රියදර්ශනී මහත්මියට අමතරව එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක සහ සුනිල් එදිරිසිංහ මහත්වරුන්ගෙත් සුන්දර ගීත රැසක් විඳින්නට ලැබුණා.


ඇත්තටම සමහර ගීත ඇහෙද්දි ඒ ගීත වල වචන, සංගීතය රෝම කූප වලට පවා දැනෙනවා. ඒ විඳීමට මම හුඟක් කැමතියි. හැම ගීතයකටම ඒ හැඟීම දෙන්න බෑ. ගීතයකට තනුව, පදවැල් මෙන්ම ඒකටම ගැලපෙන කටහඬකුත් ලැබෙන්න ඕනෙ. එහෙම සංකලනයක් නැතුව විඳින්න පුලුවන් ගීතයක් බිහිවෙන්නෙත් නෑ.

එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙ මාරම්බරී ගීතයත් ඒ වගේ ගීතයක්. ඔහුගෙ හඬ විතරක් නෙමෙයි තබ්ලාව සහ බටනලාවත් ඒ ගීතයට පුදුම රසයක් එකතු කරන්නෙ. සුන්දර ගීත කීපයක්ම ඔහු ගැයුවා.


නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගේ කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී..

මෙහෙම එඩ්වඩ් ජයකොඩි කියද්දී, හන්තානට පායන සඳ ලස්සනයිද කියලා අමරසිරි පීරිස් අහනවා.

වික්ටර් රත්නායකයන් තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින් කියන ගමන් මල් පොකුරු පොකුරු ඈ එන මග ඈ දෙසටම නැමීයන් කියලත් කියනවා.

ලා දළු බෝපත් සෙමෙන් සැලද්දී යශෝධරා දේවිය රහසේ හැඬූ හැටි කියන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා.

අතීතය සිහිනයක් පමණයි කියා ඔහු වේදිකාවෙන් සමුගෙන යද්දි තුන් තිස් පැයක් නිදි වරා නොලියූ කවියත් ගෙන දීපිකා ප්‍රියදර්ශනී වේදිකාවට ගොඩ වදිනවා.


හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළඟයි
හද ගලනා දිය ඇල්ලයි
ඔබ සාගර යහනයි
ඔබමය සතුටද ඔබමය කඳුළද
ඔබමය ලොවම මගේ

හුදකලා වූ පෙම්වතාණන්ට කතා කරන්නෙත් ඇයයි.

අවසානයට වේදිකාවට ගොඩ වැදුණු සුනිල් එදිරිසිංහයන් එතුමාගෙ ආඩම්බරය වන "සඳකඩ පහණක" ගීතයෙන්ම හඬ අවදි කළා. හදේ කොතැනක හෝ නිදා නොනිදා ඉන්න ආදරය ගැන වගේම මඩ කඩිති වලින් පැන තාමත් ඉස්කෝලෙ යන අපෙ ගුරුතුමා ගැනත් ඔහු ගී ගැයුවා. අවසානයට මිනිසා සුවඳයි මලසේ ගීතය සුවඳවත් මනුස්සකම වෙනුවෙන් ගායනා කලා.


ඉතිං, කාලෙකින් හිත පිරිලා. හොඳ පොතකට, සුන්දර ගීතයකට අපේ කඩි කුලප්පු හිත් එකත්පස් කරන්න පුලුවන් හැටි නම් හරිම පුදුමයි. මේ වින්ද සොඳුරු හැඟීම හිත ඇතුලෙ පරිස්සමට අරන් තියාගත්තෙ ලබන අවුරුද්දෙත් ඒ හැඟීමට තව රසයක් එකතු කරගන්න බලාපොරොත්තුවක් එක්ක.

Tuesday, November 15, 2011

දූරියන්..


කැමති උන් කෙළ පෙරාගෙන කැමති

අකමැති උන්ට වහ කඳුරු වැනි

කර්කශ පොත්ත යට මුදු මොලොක් මදයක් ඇති

දුටු පමණින් අක්කව තරහෙන් පිස්සු වැට්ටවිය හැකි

ගඳද සුවඳද කියා හිතා ගන්නට බැරි

ලොවෙත් නැති රසයක් ඇති

මම නම් නහය වහගෙන කමි

ගණන් ඇහුවම එලෝ පොල් පෙන්නිය හැකි

වැඩි හරියක් මදේ පුස් ඇති

වැදගත් කමට කන්නට බැරි

කෑ පසු වැදගත් ගමනක් යන්නට බැරි

පරසක්වලේ ගැහුවත් ගඳ හංගන්නට බැරි

අලිත් මර බය ඇති

දූරියන් සකි.

Sunday, November 13, 2011

මදැයි සප්‍රයිස් කොරා...


"දුව මේ වීකෙන්ඩ් එකේ නිවාඩුවට ගෙදර එනවා නේද?"

"අනේ නෑ අම්මෙ. වැඩ ගොඩක් තියෙනවා. එන්න විදිහක් නෑ. පස්සෙ දවසක එන්නම්කො."

"එහෙමද. කමක් නෑ."

අම්මගෙ කටහඬේ තියෙන දුක මට නොදැනුනා නෙමෙයි. ගෙදර යන්න හිත පිනුම් ගගහ හිටියෙ. මේ නිවාඩුව එනකල් ඇඟිලි ගැන ගැන හිටියෙ.

ඒත් මම අම්මට එන්නෙ නෑ කියලා කිව්වෙ නොදන්වා ගියාම ඒ අහිංසක මූණෙ ඇතිවන සන්තෝසෙ ඇස් දෙකෙන් දැක ගන්න.


අක්කා විවාහ වෙලා ගෙදරින් ගියාට පස්සෙ අම්මයි තාත්තයි හුඟක් පාලුවෙන් ගෙදර ඉන්නෙ. කෝල් කරත් පාලුයි කියලා අඬන එක තමා අම්මගෙ වැඩේ. ඉතින් ඒ දෙන්නට පොඩි සප්‍රයිස් එකක් දෙන්න මම එයාලා නොහිතන වෙලාවක ගෙදරට යන්න හිතුවා.

යන්න කලින් දවසෙත් කෝල් කරලා වල් පල් කියව කියව ඉන්න අතරෙ මම නොදැනෙන්න ඇහුවා හෙට මොකද කරන්නෙ කියලා. අම්මා කිව්වා හෙට පෝය නිසා ඔහෙ ගෙදරට වෙලා ඉන්නවා. තාත්තත් ගෙදරනෙ කියලා.


ඉතින් නිවාඩු දවසෙ උදෙන්ම පිටකොටුවට ගිහින් ගමට යන බස් එකට නැග්ගා. බස් එකේ ඉඳන් ගෙදරට කෝල් කරන්න උත්සාහ කලේ නැත්තෙ බස් එකේ සද්දෙ ෆෝන් එකෙන් ඇහුණොත් මම ගෙදර එනවා කියලා අම්මලට පොඩි හරි ඉඟියක් ලැබේවි කියල හිතලයි. කිලෝමීටරෙන් කිලෝමීටරේ ගෙදරට ළං වෙද්දි මාව දැක්කම අම්මලගෙ මූණට එන හිනාව මතක් වෙලා වෙනද දැනෙන මහන්සියවත් දැණුනෙ නෑ.

කොහොම හරි බස් එකෙන් බැහැලා ගෙදරටත් ගියා කියමුකො. දුරටම පෙණුනා ගෙදර දොර ජනෙල් වහලා කියලා. ඉස්සරහා පැත්තෙ නම් මිනිස් පුළුටක් නෑ. බෑග් ටිකත් උස්සගෙන කුස්සිය පැත්තටත් ගියේ අම්මා ඉස්සරහ දොර වහගෙන කුස්සියෙ උයනවදෝ කියලා හිතුණු හන්දා. මොන? ඒ පැත්තෙත් දොර වහලා. මේ කට්ටිය කොහෙ ගිහින්ද.

හපෝ ඒ වෙලාවෙ මට දැනිච්ච හැඟීම නම්...

බෑග් ටික එහෙම්මම දොර පඩිය උඩ අත ඇරලා තාත්තගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තා.


"තාත්තෙ, කොහෙද ඉන්නෙ?"

"ආ දුව, අපි කුරුණෑගල ආවනෙ."

"හයියෝ. අනේ තාත්තෙ මම ගෙදර ආවා."

"මොනවා. මොකද ළමයො කිව්වෙ නැත්තෙ. අපි දන්නවද? ගෙදර පාලුවෙන් ඉන්න බැරි හන්දා අම්මයි මායි කුරුණෑගල මාමලගෙ ගෙදර ආවා."

"අනේ මම ඔයාලව සප්‍රයිස් කරන්නනෙ හැදුවෙ. හයියෝ තාත්තෙ ගෙදර එන්ඩ.."

ඔන්න ඔහොමයි මම නිවාඩු දවසෙ ගෙදර ගිහින් ගෙදර කට්ටියව පුදුම කරේ. අම්මලා කෙසේ වෙතත් මම නං හොඳට සප්‍රයිස් උනා.

අම්මලා එහෙම්මම කුරුණෑගලින් එන්න පිටත් වෙලා. බඩගින්නෙ මහන්සියෙ ඉස්තෝප්පුවෙ පුටුවක් උඩට වෙලා මම මටම බැන බැන පැය තුනක් විතර හිටියා.

සප්‍රයිස් කෙසේ වෙතත් කණ පිරෙන්න බැණුම් නම් අහ ගත්තා ආයෙත් ඔහොම වැඩ නොකරන්න.

Wednesday, November 9, 2011

ඈ දීගෙක ගියාය.. || Weddings are all about emotions


අක්කා..

සහෝදරියකටත් වඩා නුඹ මට මිතුරියක්.

මෙලොව එළිය දුටුදා පටන් නුඹ මා එක්ක හිටියා.

කොහේ ගියත් මොනවා කරත් මගෙ හෙවනැල්ල උනේ උඹ.

වෙලාවකට වලි දාගෙන මරා ගත්තත් අපි සතුටින් හිටියා.

අම්මා තාත්තා උඹ මම අපි හතර දෙනාගෙ පුංචි ලෝකෙ හරි ලස්සනයි අක්කෙ.

නුඹ කවදාවත් අම්මලගෙ ඇස් වලට කඳුළක් දුන්නෙ නෑ.

උසස් පෙළින් ඉහලින්ම සමත් වෙලා වෛද්‍ය විද්‍යාලෙට තේරුණ දවසෙ තාත්තා ඇඬුවෙ මාත් දැන් රජෙක් කියලා.

අම්මා තාත්තගෙ හිත් වලට උඹ හැමදාම සැනසිල්ලක් උනා.

මගෙ ජීවිතේ හැම අස්සක් මුල්ලක්ම උඹ දන්නවා අක්කෙ.

අපි දෙන්නා අතරෙ රහසක් තිබ්බෙ නෑ කවදාවක්වත්.

මගෙ ජීවිතේ පීලි පනිද්දි උඹයි මාව හරි පාරට යොමු කරේ.

විභාගෙට කලින් දවසෙ ගණන් හදාගන්න බැරුව අඬද්දි ටොකු ඇණ ඇණ රෑ තිස්සෙම ගණන් කියා දුන්නෙ උඹ අක්කෙ.

ජීවිතේ ඉස්සරහට අරන් යන්න බැරුව කර කියාගන්න දෙයක් නැතුව ඉද්දි තමුසෙට පිස්සුද ඕයි කියලා ඉස්සරහට තල්ලු කරේ උඹයි අක්කෙ.

අපේ මුළු ගෙදරම එළිය කරපු පහන උඹ.

ගෙදරට එන පුංචි සමනළයොන්ටත් උඹ ආදරේ කරපු තරම්.

උඹ අපේ රෝස මල....




අපේ ගෙදර හැදී වැඩුණු රෝස මලට ඇගේ අයිතිකාරයා ළඟට යන්න උනා.

ගැහැණු දරුවෙක්ගෙ දෛවය ලියවිලා තියෙන්නෙ එහෙම.

ඒත් උඹ නැතුව ගෙදර පාලුයි අක්කෙ.

තාත්තා තාමත් හවසට උඹ කැමති කෑම අරන් එනවා.

අම්මා අමතක වෙලා ලොකු දූ කියාගෙන උඹව ගේ පුරා හොයනවා.

අන්තිමට උඹ නෑ කියලා මතක් උනාම දොර පඩිය උඩට වෙලා අඬනවා.

නුඹ නිසා ගෙදර පිරිලයි තිබුණෙ කියලා තේරෙන්නෙ නුඹ නැතිව මේ හිස්කම අත් විඳිද්දියි.

අපේ රෝස මල, උඹට වාසනාවන්ත අනාගතයක් අක්කේ.

අපිටත් වඩා ආදරෙන් බලාගන්න සැමියෙක් උඹට ලැබුණා.

අපේ ගෙදර සතුටින් පිරෙව්වා වගේ මේ අලුත් ගෙදරත් සතුටින් පුරවපන් මගෙ අක්කෙ.



Sunday, October 23, 2011

නා කපන වැස්සෙ නාට්ටි බැලූ හැටි දෙයියොත් දන්නෙ නෑ


ගිය සිකුරාදා කැම්පස් එකේ 'දෙයියොත් දන්නෙ නෑ' වේදිකා නාට්‍යය වේදිකා ගත උනා. මටත් බලෙන් ඇඟේ ගහපු ටිකට් එකක පිහිටෙන් ඒක බලන්න අවස්ථාවක් හම්බ උනා.

නාට්‍යය ගැන කියන්න කලින් ඒක බලන්න කාපු කට්ට ගැනත් කියල ඉන්නම්. 6.30 ෂෝ එක බලන්න සෙට් උනේ මගේ බෝඩිමේ උන් දෙන්නා එක්ක. හවස් වෙද්දි හොඳටම වහින්න වගේ තිබ්බෙ.
ඒත් ඉතින් දැන් ටිකටුත් ගත්තු එකේ වැස්සට බයේ බෝඩිමට යන්න හිතුනෙ නෑ.

හවස 6 විතර වෙද්දි නාට්‍යය පෙන්නන හෝල් එක ගාව එලියෙ ටිකක් දිග පෝලිමක් හැදිලා. ඉතින් අපිත් ගිහින් පෝලිමට එකතු උනා. දැන් නම් වහින්න ඔන්න මෙන්න. අපේ උන් කන් කෙඳිරි ගානවා අද වැස්සෙ නාන්න වෙයිද දන්නෙ නෑ කියලා.

ඒ අස්සෙ වැහි කළුවර කපාගෙන යන්න අකුණු ගහනවා. ඒකත් මහ සද්දෙන්. පෝලිමේ ඉන්න එකා දෙන්නා මාරු වෙලා යනවා.
අපේ සෙට් එකේ එකියක් හොඳටම බයයි අකුණු වලට. මේකි ටිකක් උසයිත් එක්ක. අකුණු ගැහුවොත් උස උන්ටනෙ ඉස්සෙල්ලාම වදින්නෙ කියලා මේකි නැවීගෙන ඉන්නවා. මම කිව්වා නෑ බං හෙණ ගහනකොට මූණ බලලයි වදින්නෙ කියලා. ඒ පාර කුඩෙන් මූණ වහගෙන.

ඔහොම ටික වෙලාවක් අකුණු ගගහ ඉඳලා පටන් ගත්තෙ නැතෑ මොර සූරන වැස්සක්. පෝලිමේ අය කුඩ ඉහලගෙන ඉන්නතැන් වලටම වෙලා ඉන්නවා. එකෙක්වත් හෙලවෙන්නෙ නෑ. අපි ගියොත් අපිටත් හිටපු තැන් නැතිවෙන නිසා අපිත් එතනම හිටියා.

දෙපැත්තෙන් එන හිරිකඩ වලට අමතරව අනුන්ගෙ කුඩ වලින් බේරෙන වතුරෙනුත් හොඳටම තෙමිලා. ඒත් කමක් නෑ තව ටිකකින් ඇතුලට ගනියිනෙ කියලා කාගෙන හිටියා.

ඔහොම ඉන්නකොට තමා සංවිධායක මණ්ඩලේ කෙනෙක් කෑ ගගහ යනව ඇහුණෙ 200, 300, 500 ටිකට් එහා පැත්තෙ දොර ගාව තියන පෝලිමට එන්න කියලා. බොලේ බලපුවාම අපි අරන් තියෙන්නෙ 200 ටිකට්. ඒ මදිවට මේ පෝලිමේ ගහලත් තියෙනවා 50, 100 ටිකට් කියලා.

කාට කියන්නද මේ දුක ඉතින්. අපිත් මොක්කුද වගේ දුවගෙන ඇවිත් හිටගත්තා මිසක් මොකෙක්ගෙන් වත් ඇහුවෙත් නෑනෙ. ඒ මදිවට හොඳම වැඩේ තමයි 200 පෝලිම තියෙන්නෙ පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නැති තැනක. මෝඩකමට මක් කොරන්නද. හොඳට නාගත්තා.


නාට්‍යය ගැන නම් කියලා වැඩක් නෑ මල් හතයි. මේකෙ අධ්‍යක්ෂක සරත් කුලාංග මහත්මයා. තාත්වික සම්ප්‍රදායෙන් මිදුණු අලුත් නාට්‍යක්. මුල සිට අග දක්වාම ඉතාම රසවත් ප්‍රහසනයක් කියන්න පුලුවන්. පටන් ගන්නකල්ම අපේ උන්ගෙ ජාතික ගීය වාදනය වෙවී තිබුණත් (හූ කීම) පටන්ගත්තට පස්සෙ මීක් ශබ්දයක් වත් නෑ.

විජය නන්දසිරි මහත්මයා රඟපාන නාට්‍ය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද. ඔහු පමණක් නෙවෙයි මෙහි රඟ පෑ සරත් කුලාංග, තුෂාරි ගුණරත්න, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාල වැනි රංගන ශිල්පීනුත් තමන්ගේ චරිත වලට උපරිම සාධාරණයක් කරලා තිබුණා.


මුළු නාට්‍යය පුරාවටම ඔබට සිනාවෙන් මිදෙන්නට නම් ඉඩක් නෑ. කාලෙකට කලින් බලපු "බල්ලොත් එක්ක බෑ" නාට්‍යත් ඔය වගේ තමයි.

මට නම් වේදිකා නාට්‍යයක් බලනවා තරම් ආශ්වාදයක් ටෙලි නාට්‍යයකින් ලැබෙන්නෙ නෑ. ඉතින් නාට්‍යය බැලුවට පස්සෙ බලන්න කලින් විඳපු දුක කොහෙන් ගියාද දන්නෙ නෑ.

ස්ත්‍රීත්වය ගැන කතා කරන මේ සොඳුරු වේදිකා නාට්‍යය ඉඩක් ලැබුණොත් ඔබත් බලන්න.

Saturday, October 15, 2011

ගල් සියඹලා



ආයෙමත් ගල් සියඹලා වාරෙ ඇවිත්. පාරවල් අයිනෙ ගල් සියඹලා කඳු ගහගෙන විකුණනවා. සීයක් රුපියක් අසූවයි. මොකට මෙච්චර ගණන්ද මන්දා.

මොනා උනත් මම ආසම කෑමක් ගල් සියඹලා. ගල් සියඹලා වල මම ආසම දේ තමා ඒකෙ පිට පොත්තෙ ලස්සන. හරියට වෙල්වට් එකක් වගේ. ඔව් මම පිට පොත්තෙ ලස්සනට වෙලාවකට රැවටෙන්නෙ නැතුව නෙමෙයි.

ඕවයින් මදේ හොඳ එකක් අහු වෙන්නෙ කලාතුරකින්. වැඩි හරියක් තියෙන්නෙ ඇඹුල්ම ඇඹුල් මදේ කරකුට්ටන් වෙලා ගියපු ඒවා හරි පණුවො පිරිච්ච ඒවා හරි තමා. ඒත් රසම රස ගල් සියඹලාවක් කන්න ලැබුණාම ඒකෙ රස වැඩිපුර දැනෙන්නෙ දිවට නෙමෙයි හිතට.


මම නම් කරන්නෙ ගල් සියඹලා අහුරක් අරගෙන පොතක් එක්ක දැහැන් ගත වෙන එක. පොත රසවත් උනොත් නම් අමතක වෙලා පණුවොත් කැවෙනවද මන්දා. කමක් නෑ මම වෙජිටේරියන් නෙමෙයි වෙලාවට. අන්තිමට ඉතුරු වෙන්නෙ කියවලා ඉවර වෙච්ච පොතයි, ගල් සියඹලා පොතුයි ඇටයි හිත ඇතුලෙ පිරිච්ච මහා තෘප්තිමත් හැඟීමකුයි විතරයි.

කලුපාට විල්ලුද වගේ ලස්සන පිට පොත්ත ඇතුලෙ තියෙන මදේ කොහොම එකක්ද කියල කන්නෙ නැතුව අපිට හිතාගන්න බෑ. වෙලාවකට හිතෙනවා මිනිස්සුත් ගල් සියඹලා වගේද කියලා. විල්ලුද පිට පොත්ත විතරයි අපිට පේන්නෙ. ආශ්‍රය කරලා නොබලන තාක් කල් අපි හිතන්නෙ රසම රස මනුස්සකමුයි ඇතුලෙ ඇත්තෙ කියලා.

සමහරවිට ඒ පූර්ව නිගමනය හරි වෙන්න පුලුවන්. ඒත් හුඟක් කලාතුරකින් තමයි. එක්කො තෙතමනයක් නැති වියලි ඇතුලාන්තයක් වෙන්න පුලුවන්. එහෙම නැත්තන් අමනුස්සකම් වලින් නරක් වෙලා පණුවො පිරිච්ච මදයක් වෙන්න පුලුවන්.


ඒ යථාර්ථය දැන දැනත් අපි ගල් සියඹලා කන එක නවත්තනවද. අපිට හැමදාමත් ඉතුරු වෙන්නෙ මිනිස්සු ළඟ සුන්දර මනුස්සකම් ඇතියි කියල හිතන බලාපොරොත්තුව විතරයි.

මම කොහෙන්ද පටන් ගත්තෙ . කොහෙන්ද ඉවර කරේ. අඩේ ගල් සියඹලා කාලා මම දාර්ශනිකයෙක් වෙලාද. නැත්තන් පිස්සෙක් වෙලාද. අනේ මන්දා. තවත් ගල් සියඹලා ඉතුරුයි. ඉතුරු ටික කන්න යන්න ඕනෙ.

Thursday, October 13, 2011

මගුල් කෑමත් ලේසි පාසු නැත


කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. කට්ටියගෙ බ්ලොග් පැත්තෙ යන්නත් බැරි උනා. අධ්‍යාපනික වැඩක් හින්දත් වගේම රාජකාරි අතිනුත් ඔලුව උස්සගන්න බැරි තරමට මේ දවස් වල වැඩ. ඒ අස්සෙ නිවාඩු දාලා ගෙදරත් ගියා.

මේ දවස් වල අපේ ගෙදර මංගල්ලෙකට ලක ලෑස්ති වෙනවා. හික්ස්. මගේ නෙමෙයි. අපෙ අක්කගෙ.

වෙනදට හොඳට ඇඳගෙන මේකප් දාගෙන මගුල් ගෙදරක ගිහින් පැය තුන හතරක් තිස්සෙ කාලා බීලා විනෝද වෙලා ආවට මොකෝ ඒ පැය තුන හතර වෙනුවෙන් කොයි තරම් මහන්සි වෙන්න වෙනවද කියලා තේරෙන්නෙ තමන්ගෙම කෙනෙක්ගෙ වෙඩින් එකක් ලෑස්ති කරද්දි තමා. අපේ බැඳපු සහෝදරවරු ඔය මහන්සිය ගැන දන්නව ඇතිනෙ ඉතින්.

අනේ දෙයියනේ මේ පැය ගාණට වියදම් කරන සල්ලි කන්දරාව. ඒත් ඉතින් කවුරු උනත් බඳින්නෙ එක පාරනෙ කියලා ඔය ටික ඔහොම්මම කරනවා.


මේ දවස් වල නම් වෙඩින් එකට ආරාධනා කරන වැඩ තමා කරන්නෙ. ඔහොම ආරාධනා කරන්න යනකොටත් හරි හරි වැඩ සිද්ද වෙනවා.

මම ගෙදර ගිය දවස් ටිකේ අම්මලා නෑදෑ ගෙවල් වල යද්දි මාවත් එල්ලගෙන ගියා. එක කට්ටියකට ආරාධනා කරපුවාම අත ඇරපු අය කෝල් කරල අහනවා අපිට ආරාධනා කරන්නෙ නැද්ද කියලා. තවත් සමහරුන්ට ආරාධනා කරපුවාම තව කට්ටියක් ගැන සඳහන් කරලා එයාලටත් මේ ගමන් කියාගෙන යන්න කියනවා.


නෑයෝ වනාහි වේයෝ වැනි ජාතියකි කියන එක ඔප්පු වෙන්නෙ මේ වගේ වෙලාවට තමා. හදිස්සියේවත් පුංචි හරි අතපසුවීමක් උනොත් නෑදෑකමුත් එතනින්ම ඉවරයි.

සමහර වැඩිහිටි නෑයො වෙඩින් කාඩ් එක දුන්නට ඒක ආරාධනාවක් කියලා පිළිගන්නෙ නෑ. අනිත් එක එයාලට වෙඩින් කාඩ් එක තැපැල් කරල හරි යන්නෙත් නෑ. දුරු කතර ගෙවාගෙන ඇවිත් බුලත් දෙන්න ඕනෙ. නැත්තන් වසලා හමාරයි.


පහුගිය දවස් වල අක්කගෙ අඩුපාඩු වලට එයත් එක්ක ඇවිදින්න උනා හරියට. එක පාරක් යනවා කොණ්ඩ සැරසිල්ල දාලා බලන්න. ආයෙ යනවා පෝරු සෙටිබැක් ආදී සැරසිලි තෝරන්න. ආයෙ යනවා මල් කුමාරියන්ට දෙවෙනි මනමාලියන්ට රෙදි සහ සපත්තු තෝරන්න. එහෙම නැත්තන් කේක් හදන්න දෙන්න.

මගෙ හොඳ පණ ගිහින් තිබ්බෙ මේකි එක්ක රට වටේ ඇවිදලා. වලි දාගෙන මරාගන්න හරි මට ඔච්චරනෙ ඉන්නෙ. ඒ හන්දා මේ දවස් ටිකේම නැට්ට වගේ මම අක්කගෙ පස්සෙන් ඇවිදිනවා.

කොච්චර කරත් හිතේ කොණක පුංචි දුකක් නැතුවම නෙමෙයි.
තව ටික දවසකින් අක්කා අපේ ගෙදරින් වෙනම කැදැල්ලකට ඉගිලිලා ගියාම කොච්චර උනත් එයා අපේ විතරක්ම නෙමෙයිනෙ. මම ගෙදරින් පිට හිටියත් කාලෙක ඉඳන් අක්කා අම්මලා එක්කම හිටියෙ. එයා ගියාම අම්මලා ඒ පාලුව කොහොම දරාගනියිද දන්නෑ.

අම්මයි තාත්තයි හුඟක් දුකෙන් ඉන්නෙ පිටට නොපෙන්නුවාට. ඒත් අපේ අම්මා කියන්නෙ දුවෙක් හදනවා කියන්නෙ අනුන්ගෙ මල් ගහක් අපේ වත්තෙ හදනවා වගේලු. පුංචි කාලෙ ඉඳන් දුකක් නොදී ආදරෙන් රැකබලාගෙන හැදුවත් අයිතිකාරයා ආපුවාම අරන් යන්න දෙන්න වෙනවලු.


කෙල්ලො විතරක් ඉන්න අපේ වගේ පවුල් වල අම්මලා තාත්තලා පවු කියලා හිතෙන්නෙ එතකොට තමයි.

ප/ලි: කවුරු හරි Dry Ice ගන්න පුලුවන් තැනක් ගැන දන්නවද?

Monday, October 3, 2011

සොඳුරු අතීතයෙ රැග් සීසන් එක (දෙවෙනි කොටස)


කට්ටිය කලින් පෝස්ට් එක කියවන්න ඇති කියලා හිතනවා. නොකියවපු අය මෙතනින් ගිහින් කියවලා ආවනම්.

අපේ බැච් එකේ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මුළු කැම්පස් එකේම කොල්ලොන්ට සාපේක්ෂව කෙල්ලො හුඟක් අඩුයි. මොරටු විලාපය කියලා කවියක් තියෙනවා අහල ඇති නේද.

හන්තානට පායන සඳ අපට නැතී
කොළඹ වගේ හොඳ පොෂ් බඩු අපට නැතී
ජපුර වගේ එකට හතක් අපට නැතී
බීලා ගත්තු ආතල් නම් එමට ඇතී

කොල්ලන්ගෙ අඳෝනා තමා. ඉතිං තත්වය එසේ තිබියදී රැග් සීසන් එක කාලෙ අපේ බැච් එකේ කොල්ලෙක් පිට කොල්ලෙක් එක්ක කියලා වැඩක් නෑ බං අපරාදෙ මෙහෙ ආවෙ. මෙහෙ කෙල්ලො නෑනෙ කියලා.

ඕක මොනයම් හරි මාර්ගෙකින් සින්නොන්ට ආරන්චි වෙලා. සින්නො ටික දැන් ඕක කියපු කොල්ලව අල්ලගෙන ඉස්සරහට ගෙනල්ලා චාටර් කරනවා.

සිද්දිය ඔහොම යද්දි අපේ බෝඩිමේ එකියක් ඉස්සරහට ගිහින් හයියෙන් කියපි "මේ ඉන්නෙ කෙල්ලෙක්" කියලා. අපි බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගත්තෙ. ඒකිව සින්නො තමා යවල තියෙන්නෙ ඉස්සරහට ගිහින් කියපන් කියලා. අපි නම් තාමත් ඒකිව බයිට් කරනවා මේ ඉන්නෙ කෙල්ලෙක් කියලා.


අපේ බැච් එකේ කෙල්ලෙක් හිටියා සෑහෙන ෆෝවර්ඩ් කෙනෙක්. ඒ ෆෝවර්ඩ් කමම වෙලාවකට ඒකිව බයිට් වෙන්නත් හේතුවක් වෙනවා. ඉස්සර සින්නෙක් ඇවිත් කිව්වොත් සින්දුවක් කියපන් කියලා මේකිමයි නැගිටලා ගිහින් සින්දු කියන්නෙ. ඒ කියන්නෙත් එකම සින්දුවක්. "බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා..".

අන්තිමට සින්නොන්ට ඒ සිංදුව අහලා එපා වෙලා තිබ්බෙ. හදිස්සියේ වත් සිංදුවක් කියන්න කියලා මේකි නැගිට්ටොත් අනේ බුදු නංගියේ සිංදු නම් කියන්ඩ එපා කියලා වාඩි කරවනවා.

රැග් සීසන් එකේ විශේෂම අංගය තමා නමක් හෙවත් කාඩ් එකක් දැමීම. බැච් එකේ අල වෙච්ච උන්ට ඇරෙන්න අනිත් හැමෝටම විශේෂිත කාඩ් එකක් තියෙනවා. මේක කියෙව්වට පස්සෙ මගෙ කාඩ් එක මොකද්ද කියල නම් අහන්ඩ එපා මං මරාගෙන මැරෙනවා හරිය. ඒ තරම් සුන්දර නමක් මට දැම්මනෙ මුං.

කාඩ් හම්බවෙන දවසත් පලු යන්න බැනුම් අහන්න පුලුවන් දවසක්. ඔන්න මාව සින්නෙක් ගෙන්නුවා.

"උඹේ කාඩ් එක මොකද්ද?"

"තාම දාලා නෑ අයියෙ."

"ඇයි උඹේ ලොකු එකද. උඹට නමක් එපාද. පල ගිහින් අර අයියගෙන් නමක් ඉල්ලගෙන වරෙන්".


ඔහොම මෘදු කරුණාබර ස්වරයෙන් මාව අමතලා සීනියර් බැච් එකේ මරුමුස්ම සින්නෙක් ගාවට මාව යැවුවා. මූ මම එනවා දැකලත් නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්නවා. ජ්‍යේෂ්ඨ උත්තමයන්ට බාධා කරන්න බැරි නිසා මාත් සද්ද නැතුව හිටගෙන ඉන්නවා. කතා කරත් බැනුම් අහන්න වෙන එකනෙ. අන්තිමට මම මළ වාතයක් කියල හිතලා වෙන්න ඇති සුමධුර ස්වරයෙන් මට කතා කරා.

"උඹ මොකද මෙතන පැළ වෙලා ඉන්නෙ?"

"මට නමක් දාගන්න අයියෙ"

"උඹව කවුද මා ගාවට එව්වෙ?"

"කවුරුත් නෑ අයියෙ. මට හිතිල ආවෙ."

"ඇයි යකෝ උඹට පිස්සුද. මම රෙජිස්ටාර්ද? ඇයි උඹට අම්මා තාත්තා දීපු නම මදි වෙලාද?"

ඕකට තමා ඉතින් ආස්කින් ඇන්ඩ් ඊටින් කියන්නෙ. මම ඉතා අවිහිංසක මූණක් හදාගෙන හිටියා. මොකෝ නමක් නැතුව ආපහු ගියොත් අරුං මාව ඉතුරු කරයිද?

අන්තිමට මේ වගේම මරුමුස් තුන් හතර දෙනෙක් එකතු වෙලා සාකච්චා වට කීපෙකට පස්සෙ දැන් තියෙන මේ ලස්සන, අනගිභවනීය නාමය මට ලබාදුන්නා. මම ඉතින් ඒ ලැබුණු ශ්‍රී නාමය හැම කෙනා ගාවටම ගිහින් කියමින් ඉතාමත් ඉහළ අයුරින් සින්නන්ගෙන් අගය කිරීමට ලක් උනා. හික්ස්.


මෙහෙම බැච් එකේ අයට සින්නො නම් දැම්මට පස්සෙ තවත් නම් නැති අය ඉන්නවා නම් අපේ බැච් එකේ අයටම කියලා නම් දාගන්න ඕනෙ. අපේ හිටියා රණවීර කියලා වාසගමක් තියෙන කොල්ලෙක්. මූට නමක් දාගන්න ඕනෙ කියලා අපේ කෙල්ලෙක්ට කියලා. දැන් කොල්ලා නමක් දාගෙන සින්නෙක් ඉස්සරහට ගියා.

"අයියෙ මම කාඩ් එකක් දාගත්තා."

"මොකද්ද උඹේ කාඩ් එක?"

"රණේ."

"මොකක්?"

"රණේ."

බකස් ගා සිනා සෙමින්,
"කවුද යකෝ උඹට ඒ නම දැම්මෙ?"

"මෙයා දැම්මෙ." ඌ අර කෙල්ලව පෙන්නයි.

"මූ උඹේ මිනිහද යකෝ රණේ කියල කියන්න. පලයං ගිහින් වෙන නමක් දාගෙන වරෙන්."

ඔන්න ඔහොමයි නම් දැමීම කෙළවීම වෙන්නෙත්.

ඔය රැග් සීසන් එකේ සින්නො කරන තව වැඩක් තමයි එක එක ජාතියෙ රචනා ලියන්න දෙන එක. කිසිම ගැලපීමක් නැති දෙකක් අරගෙන ගලපලා ලියන්න ඕනෙ. උදාහරණ විදිහට "පොල් ගස සහ ක්‍රිකට් ක්‍රීඩාව", "ජෝන් සීනා සහ ඒබරං ආතා".

මට හම්බවුණු මාතෘකාව තමා "අයිශ්වර්යා රායි සහ පරාක්‍රම සමූද්‍රය". කාලා වරෙංකො ඉතින්. මේ දෙක කොහොම සමාන කරන්නද? අන්තිමට හිතලා හිතලා ලිව්වා රචනාව. මට ලියපුවායෙන් මතක ටිකයි.


"අයිශ්වර්යා රායිගේ කොණ්ඩයේ රැළි පරාක්‍රම සමූද්‍රයේ දිය රැළි මෙනි. ඇය සිනා නගන විට ඒ දිය රැළි බිඳී විසිරෙන සුදු පෙණ පිඬු වැනිය. පරාක්‍රම සමූද්‍රයේ මාළු සිටින අතර අයිශ්වර්යා රායි මාළු කෑමට ගනියි".

ඔන්න ඔය වගේ අහස පොළව නුහූලන ඒවා ලිව්වා ඉතින්. ඔක්කොමත් හරි සින්නො ඉස්සරහ රචනාව කියවනකොට ඔය එක වාක්‍යක් ගානෙ අහගන්න වෙන වචන ටික කොයි තරම් කරුණාබරද?


ඉතින් තව නම් කියන්න දේවල් එමටයි. දැනට මේක නවත්තන්නම්. තව මතක් උනොත් පස්සෙ කාලෙක ආයෙ ලියන්නම්කො.

මම ගියපාර පෝස්ට් එකෙනුත් කිව්වා වගේ මම නවක වධය සාධාරණීකරණය කරන්න කිසිම විටෙක උත්සාහ කරන්නෙ නෑ. අපිට කවදාවත් අමානුෂික රැග් එකක් ලැබුණෙ නෑ. අපි දුන්නෙත් නෑ.

කවදාහරි යාලුවො එකතු උනාම කැම්පස් ජීවිතේ මතක් කරලා හිනාවෙන්න හරි ඉතුරු වෙන්නෙ මේ කාලෙ තමයි. ඉතුරු මුළු කාලෙම ඒ එකක් බී එකක් පස්සෙ හති වැටෙනකල් දුවන්නයි වෙන්නෙ.

Thursday, September 29, 2011

සොඳුරු අතීතයෙ රැග් සීසන් එක


මේවා එළිපිට කතා කිරීම හොඳද මන්දා. අලුත් ෆ්‍රෙෂාලා කැම්පස් එන්න පටන් අරන්. ඉතින් නොදැනීම කැම්පස් ජීවිතේ මුල් කාලෙට හිත දිව්වා.

මුල් මාස තුන. ඒ කාලෙ නම් අඬ අඬ කැම්පස් ගියේ. ඒත් දැන් නම් මතක් කරද්දිත් හිනා යනවා. අපේ රැග් සීසන් එක. අමානුෂික වධ නෙමෙයි අපිට නම් ලැබුණෙ. සොඳුරු නවක වධ.

මම නවක වධය සාධාරණීකරණය කරන්න නෙමෙයි හදන්නෙ. ඒත් අපි අතරෙ මේ තරම් සහෝදර බැඳීමක් ඇති වෙන්න පදනම වැටුනෙ මේ කාලෙ කියන එක නම් ඇත්ත.


පළවෙනි දවසෙ කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුල් උනෙත් බයේ ගැහි ගැහී. යක්කු ටික වගේ මූණු හදාගෙන සින්නො තැන තැන. ඉනෝගරේෂන් එකට එක්කන් ගියෙත් පෝලිම් ගස්සවලා.

සජිත් නම් ඔය පෝලිමට යන්නත් කලින්ම කරපු වැඩක් නිසා මුළු රැග් සීසන් එක පුරාවටම සින්නන්ගෙන් කෑවා. එයා ආපු ගමන් සීනියර් අයියා කෙනෙක්ගෙ උරහිසට ගහලා "මචං අපි කොහෙටද යන්න ඕනෙ" කියලා අහලා.

ඒ වෙලාවෙ නම් යන්න ඕනෙ තැන පෙන්නලා. ඊළඟ දවසෙ ඉඳන් කවුද යකෝ මට මචං කිව්ව එකා කියල ඇදලා අරන් වදේ ගැහුවා.


අපේ මාමගෙ පුතෙක් සුපර් සීනියර් බැච් එකේ හිටියා. මම නම් රැග් උන තරමක් උනේ මූ හන්දා. පලවෙනි දවසෙත් හේතුවක් නැතුව එක එකා ඇවිත් බැනලා යනවා. බලද්දි මේකා තමා මේ එවන්නෙ.

මොනා උනත් කොච්චර බැන්නත් අඬන්නෙ නැතුව ඉන්න තාක් ෂේප්. ඇඬුවොත් නම් එතනින් පස්සෙ තත්වය සෝචනීයයි.


ඒ පලවෙනි දවස ගෙවිලා ගියා කියමුකො කොහොම හරි. ඊළඟ දවස එලි වෙන එකටත් මම නම් බයේ හිටියෙ.

ලෙක්චර් එකක් ඉවර වෙච්ච ගමන් සින්නො ටික පන්තියෙ පිරෙනවා. එක එක සින්නො අපිව එක එක්කෙනා ගාවට යවනවා බැනුම් අහගන්න. ඒත් කවුරුවත් කවුද උඹව එව්වෙ කියලා අහලා එවපු කෙනාගෙ නම කිව්වොත් ඉවරයි. පාවා දීම නතර කරන්නලු එහෙම කරේ.

ඉතින් කවුරු එව්වත් අපි කියන්න ඕනෙ මට හිතිලා ආවෙ අයියෙ කියලා. ඕක කිව්වා කියලා බේරෙන්නද. ආ උඹට මාර දේවල්නෙ හිතෙන්නෙ කියලා ඔන්න කන්න හදනවා.


මොන දෙයක් මොන පැත්තට කිව්වත් කණ පිරෙන්න අහගන්න පුලුවන්. ඉස්සර මාව ගෙන්නල අහනවා මෙහෙ කවුරු හරි නෑදෑවෙන කෙනෙක් ඉන්නවද කියලා. මම ඉතින් පැනපු ගමන් කියනවා ඔව් අහවල් අයියා අපේ මාමගෙ පුතා අපේ සුපර් සීනියර් කියලා. අපොයි වටකරගෙන බනිනවා එතකොට "තෝ කාගෙ පවර් එක අරගෙනද ඔය ඉන්නෙ. තොගෙ හෙන ලොකුකම නේද. තෝත් අනිත් උන් වගේම තමා" කියලා.

ඊළඟ දවසෙත් ඔය ප්‍රශ්නෙම අහනවා. හෙහ්. මම නම් කියයි ඔව් කියලා. ඇයි කලින් දවසෙ ඔව් කියල කෑවනෙ. මම කියනවා එහෙම නෑදෑ කෙනෙක් නෑ කියලා. එතකොට වෙඩි පුපුරනවා වගේ බනිනවා ඇයි උඹට ඒ අයියා උඹේ අයියා කියල කියන්න ලැජ්ජද කියලා. ඔන්න ඔහොමයි කොයි පැත්තට හැරුනත් අපි පලු යන්න බැනුම් අහන්නෙ.


මුල් කාලෙ සින්නො අපිව කැන්ටින් වලට යවන්නෙ නෑ. අනිත් ෆැකල්ටි වල අයගෙන් රැග් වෙන නිසාලු එහෙම කරන්නැත්තෙ. අපිට අවශ්‍ය කෑම පාර්සල් ගෙනත් දෙනවා. කොල්ලෙක් එක්ක තමා බත් එක බෙදා ගන්න ඕනෙ. එක බත් ඇටයක් වත් ඉතුරු කරන්න බෑ. කරපිංචා කොළේ ඉඳන් කන්න ඕනෙ.

බත් ඇටයක් හරි බිම වැටිලා තිබ්බොත් බඩුම තමා. මට තාම මතකයි අපේ කොල්ලො බිම තියෙන බත් ඇට සාක්කුවෙ දාගන්නවා සින්නො දකින්න කලින්.


තව කෙනෙක්ට රැග් කරද්දි බලාගෙන ඉඳලා හිනා ගියොත් නම් ඒ උගේ අවසානය තමා. ඔන්න ගෙන්නනවා රොත්ත පිටින්ම.

ඉස්සෙල්ලම හිනා ගියොත් අපි හිනාව කපාගන්න ඕනෙ. ඒක කරන්නෙ හිනා වෙලා ඉද්දිම ඇඟිලි කතුරක් වගේ කරගෙන හිනාව කපන්න ඕනෙ. ඔහොම ඉද්දි ආයෙත් හිනා ගියොත් හිනාව ගලවලා අතට අරගෙන මිටියකින් ගහන්න ඕනෙ. ආයෙත් හිනා ගියොත් කට වටේට ඉදිකටුවකින් මහනවා පෙන්නන්න ඕනෙ.

ඕවා කරලත් හරි ගියේ නැතුව ආයෙත් හිනා යනවා නම් සින්නො එක එක්කෙනා ගාවට ගිහින් කියන්න ඕනෙ අයියෙ මට හිනා යනවා ඒකට මොකද කරන්න ඕනෙ කියලා.
ඔය අන්තිම ට්‍රීට්මන්ට් එකෙන් පස්සෙ නම් හිනාව නිට්ටාවටම සුව වෙනවා. මොකද ඕක අහන අහන පාරට සින්නොන්ගෙන් හොඳ පද වලින්ම අහගන්න පුලුවන් නිසා.

ඒ කාලෙ වෙච්ච වැඩ නම් කෝටියක් ඇති. එක පෝස්ට් එකකින් ඉවර කරන්න බැරි වෙයි වගේ. ඉතුරු කතා ටික ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්.

මොනා උනත් මට නම් පස්සෙ තමා තේරුනේ සීනියර් බැච් එකේ අය ඒ කරපු හුඟක් දේවල් තේරුමක් ඇතුව කරපු දේවල් කියලා. ඒක හොඳටම තේරුණේ අපේ පොඩි බැච් එක ආපු දවසෙ.


හැබැයි රැග් එක මුවාවෙන් දෙන අමානුෂික වධත් තියෙනවා. පිරිමි ළමයි පවා ඒවා නිසා මානසිකව වැටිච්ච හැටි අහලා තියෙනවා. අපේ කැම්පස් එකේ නම් මම දන්න තරමට එහෙම කරේ නෑ. ඒවා අනුමත කරන්නත් බෑ.

Monday, September 26, 2011

තාත්තෙ, මම තාම රේල්පාර ගාව



සජිත්ලගෙ තාත්තා ගෙදර හිටියොත්, සජිත් වැඩට යන දවස් වලට බස් ස්ටෑන්ඩ් එකට බයික් එකෙන් ගෙනිහින් දානවා.

මේ කියන දවසත් එහෙම දවසක්.

බස් ස්ටෑන්ඩ් එකට යන පාරෙ රේල් ගේට් එකකුත් පහු කරගෙනයි යන්න ඕනෙ. එදා යනකොට රේල් ගේට් එක වහලා කෝච්චියක් එන නිසා. වාහනත් පෝලිමක් නතර කරලා.

කෝච්චිය යනකල් හිටියොත් වැඩට යන්න පරක්කු වෙන නිසා තාත්තා අහලා පුතා අපි පටස් ගාලා රේල් ගේට් එකෙන් දාලා යමුද කියලා. තාත්තගෙම පුතානෙ. සජිතුත් යමු තාත්තෙ කිව්වා.

තාත්තා රේල් පාරෙන් බයික් එක දාද්දි සජිත් හිතුවෙ එයාගෙ බරත් එක්ක තාත්තට ඉක්මනට බයික් එක ගන්න බැරි වෙයි කියලා. රේල් පාරෙන් බයික් එක දානකොටම සජිත් කකුල් බිම තියලා බයික් එකෙන් පැන්නා.

රේල් පාර පහු උනාම සජිත් ආයෙත් බයික් එකට නගින්න හැදුවෙ.

මොන? තාත්තා දැනගෙන ඉඳලා නෑ සජිත් බයික් එකෙන් බැස්ස විත්තියක්. සජිත් නගින්න එනකොට තාත්තා ඇරලා ගියා බයික් එකේ.

අර පෝලිමට නවත්තලා තිබ්බ වාහන වල මිනිස්සු හිකි හිකි ගාලා හිනාවෙනවා. සජිත් හෙල්මට් එකත් දාගෙන තාත්තෙ තාත්තෙ කියලා අතත් දික් කරගෙන කෑ ගහනවා. කලින් දාපු බයික් එකෙන් පැනිලි ඇක්ෂන් ඔක්කොම වතුරෙ. වස ලැජ්ජාවයි.

තාත්තා තිතක් වෙලා පාරෙ කෙලවරින් නොපෙනී යනවා සජිත් බලන් හිටියා. එයා හිමීට හෙල්මට් එක ගලවලා හිතලම බයික් එකෙන් බැස්සා වගේ ළඟ තිබ්බ කඩේකට රිංගුවා.

තාත්තට කෝල් කරත් තාත්තා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ. පස්සෙ දැනගත්ත විදිහට කෝල් එක අරන් නැත්තෙ ඒ ගෙදරින් වෙන්න ඇති කියල හිතලලු. කොහොමත් දැන් ගෙදර යන නිසා තාත්තා කෝල් එක අරන් නෑ.

මේ අතරෙ සජිත්ගෙ තාත්තා බස් ස්ටෑන්ඩ් එකටම විදලා ගිහින්. බයික් එක නවත්තලා සජිත් බයික් එකෙන් බහිනකල් ඉන්නවා. ම්හු. පිටිපස්ස හැරිලා බලද්දි මෙයා නෑ.

එතනම කොමියුනිකේෂන් එකක් තිබිල තියෙන්නෙ. තාත්තා හිතලා බයික් එක නවත්තපු ගමන් සජිත් ඒකට යන්න ඇති කියලා.

බලාගෙන ඉඳලා ඉඳලා නැති තැන තාත්තා කඩේ ඇතුලට ගිහින් බලලා. ඒ පාර තමා දෙලෝ රත් වෙලා තියෙන්නෙ කෝ මේකා කියලා. කෝල් කරන්න ෆෝන් එක ගන්නකොටම සජිත්ගෙන් කෝල් එකක්.

තාත්තා: පුතා කොහෙද ඉන්නෙ?
සජිත්: තාත්තෙ මම තාම රේල් පාර ගාව....

කොහොම හරි තාත්තා කියන විදිහට නම් තාත්තා ආපහු යද්දි හෙල්මට් එකත් අතින් එල්ලගෙන, දාඩිය පෙරාගෙන, මූණ නොරොක් කරගෙන සජිත් හෝල්ට් එකක් විතර ඇවිදගෙන ඇවිත් ඉස්සරහට.

ඔන්න ඔහොමයි කතාව වැඩිය මඩ නැතුව වෙච්ච විදිහටම. ඕක කියපු වෙලාවෙ ඉඳන් මම මතක්වෙන පාරට හිනාවෙනවා කියලා ඔන්න මා එක්ක එක්කෙනෙක් තරහත් වෙලා.

Tuesday, September 20, 2011

පන්ති පිටින් පන්ති කට් කිරීම


ඉස්කෝලෙ යන කාලෙ අපි කොච්චර ඉගෙන ගන්න ආසද කිව්වොත් අනිවාර්යයෙන්ම අඩුම ගානෙ දවසකට දෙකකට සැරයක් එක පීරියඩ් එකක්වත් කට් කරනවාමයි. මුළු දවස තිස්සෙම කාටද පුළුවන් අප්පා ඔය හැටි ඉගෙන ගන්න.

ඊට වැඩිය වැදගත් වැඩ කොච්චර තියෙනවද. එහා පන්තියෙ උන් එක්ක ඕපදූප කතාකරන්න, කැන්ටිමේ වඩේ රසද කියල හොයල බලන්න කොච්චර වැඩද.


ඔහොම පුංචි පුංචි කම්මැලිකම් හැමෝටම තියෙනවනෙ. ඔය සුළු වශයෙන් කෙරෙන පන්ති කට් කිරිලි වැඩිපුර දැනෙන්නෙ නෑ. කොහොමද පන්තියක් පිටින් පන්ති කට් කරනකොට.

මෙන්න මෙහෙමයි ඒ සිද්ධිය උනේ.

ඉස්කෝලෙ දඩාවතේ ඇවිද ඇවිද ඉන්න බල්ලො ඉන්නවනෙ. මුන්ගෙන් එකෙක් අපේ පන්තිය වැසිකිළියක් කරගෙන.කලින් දවසෙ ගේට්ටුව වහන්නෙ නැතුව පන්තියෙන් අන්තිමට ගියපු පින්වතාට පිං සිද්ධ වෙන්න උදේ පන්තියට එනකොට පන්තිය මැද්දෙම අපිට තෑගි හම්බෙලා.


ඔන්න ඉතින් එදා උදේ පන්තිය අතු ගාන්න ඉන්න කෙල්ලොන්ට මළ පැනලා. කොල්ලො හිනා වෙවී බලාගෙන ඉන්නවා.

කෙල්ලො හැමදාම අතුගාන හින්දා කොල්ලොන්ට මේක අදින්න කිව්වා. උන් කියනවා පන්තිය ඇතුලෙ තියෙන දේවල් වල වගකීම පන්තිය අතුගාන උන් බාරගන්න ඕනෙලු. ඒ අස්සෙ තව එකෙක් එදා අන්තිමට පන්තියෙන් ගියේ මොකාද කියලා ඌව මරන්න හොයනවා.

ඔහොම ඔහොම කට්ටිය දෙපැත්තට වෙලා වාද කරගන්නකොට ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එකත් ගැහුවා.


සාමාන්‍යයෙන් අපිට හැමදාම උදේට තියෙන්නෙ කෙමෙස්ට්‍රි පාඩම. අපේ පන්තිභාර මැඩම්ම තමා කෙමෙස්ට්‍රි උගන්නන්නෙ. මතකනෙ චිස්...සොරි... .

මැඩම් උදාර ලීලාවෙන් පොත් ටික අරගෙන කොරිඩෝ එකේ එනව පේනවා. බලු බෙට්ටක් පන්තිය ඇතුලෙ තියාගෙන වාඩි වෙන්නත් බෑ. ඒ මදිවට පන්තිය අතුගාලත් නෑ. අපි හිටපු තැන් වලම හිටියා.

මැඩම් පන්තිය ගාව. මැඩම්ගෙ මූණ පන්තිය මැද්දෙ තියෙන තෑග්ගට වඩා ලස්සනයි.


"මොකද මේ හිටගෙන?"
"මොකද පන්තිය අතුගාලා නැත්තෙ?"
"මොකද තමුසෙලා ගල් ගිලලා වගේ?"

ප්‍රචණ්ඩ වාග් ප්‍රහාරය හමුවේ අපි නිරුත්තරයි. යන්තම් කට ඇර ගන්න පුලුවන් වෙච්ච එකෙක් හිමීට මැඩම්ට විස්තර කරනවා.


"මැඩම් පන්තියෙ බල්ලෙක් ජරා කරලා."

"ඉතින් ඒක අයින් කරල නැද්ද."

"නෑ මැඩම් ගෑණු ළමයි ඒක අරන් දාලා නෑ."


"තමුසෙලා ඒ ලෙවල් පන්තියෙ උනාට හෝඩියට වඩා අන්තයි. අස්කරනවා ඒක."


මැඩම් ආපු වේගෙට වැඩි වේගෙකින් තරහින් පුපුර පුපුර ආපහු ගියා. ඉබ්බා දියේ දානකොට ඇන්නෑවෙ කිව්වලු. කාටද අප්පා උදේ පාන්දර බෙන්සීන් වලයක් ගැන ඉගෙන ගන්න ඕනෙ.

නිකන් හම්බුනත් බලු බෙට්ටකින් උනත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නම්, ඒකත් විකුණන් කන උන් තමා අපේ පන්තියෙ හිටියෙ.වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ඇති වූ හදිසි තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි කතා උනා.

මෙච්චර වෙලා අපිට බැන බැන හිටපු කොල්ලො ටික හෝ ගාලා අරක අස් කරන්න දුවනවා. උන් ඒක අස් කරනකල් අපි හිමීට පන්තිය අතු ගෑවා. ඔය ටික කරද්දි පීරියඩ් එකක් ඉවරයි.


"ඕක අස් කරාට හරියන්නෙ නෑ. පන්තිය හෝදන්න වෙයි
අපේ පන්ති නායක උතුමාගෙන් තවත් යෝජනාවක්.

"ඔව් ඔව් අපි හෝස් එකක් ගෙනල්ලා හෝදමු."

මෙන්න මුන් කෘෂිකර්ම සර් හම්බෙලා ඒ කාමරෙන් හෝස් එකකුයි බාල්දි දෙකකුයි අරන් ඇවිත්.

"පන්තියෙ ඩෙස් පුටු තියාගෙන වතුර ගහලා වැඩක් නෑ. ඉස්සෙල්ලා ඩෙස් පුටු ටික එලියට අදිමු."
ජීවිතේට පන්තියෙ වැඩකදි හොයාගන්නවත් බැරි එකෙක්ගෙන් තව අදහසක්.

දැන් කට්ටිය ඩෙස් පුටු මැද මිදුලට අදිනවා. මේ වෙද්දි එහා පන්තියෙ උන්ටත් තේරිලා මොකක් හරි රහසිගත මෙහෙයුමක් යනවා කියලා. ඩෙස් පුටු එලියට අදිද්දි ඊළඟ පීරියඩ් එකේ ෆිසික්ස් කරන සර්රුත් පන්තිය ගාවට ආවා.

"මේ මොකද ළමයි ඩෙස් අදින්නෙ එළියට?"

"සර් බල්ලෙක් පන්තියෙ ජරා කරලා. මැඩම් කිව්වා පන්තිය හෝදන්න කියලා."

"එතකොට අද පාඩම කරන්න වෙන්නෙ නෑ?"

"ඒක තමයි සර්. හරි වැඩේ තමා. ඒත් ගඳ ගහනවනෙ සර්. ඉගෙන ගන්න බෑනෙ සර්."

"මං දන්නෙ නෑ. ඕනෙ එකක් කරගන්නවා. ඉවර උනාම මට කතා කරනවා."

"හා සර්."

පීරියඩ් එක ඉවර වෙනකල්ම අපේ උන් ඩෙස් ටික එලියට ඇද්දා. ඩෙස් අදිනවා කිව්වට එකක් එලියට දානවා. මහන්සි අරිනවා. අපේ උන්ටත් ඕනෙ කොහොම හරි වෙලාව යවා ගන්න.

පයිප්පෙට හෝස් එක ගහලා පන්තිය හෝදන්න ගන්නකොට ඊළඟ පීරියඩ් එකේ මැඩමුත් ඇවිත්. කලිං විදිහටම තත්වය ඉතා බරපතල කරලා කිව්වට පස්සෙ බැන බැන ඒ මැඩමුත් ආපහු ගියා.

කොහොම හරි පන්තිය හෝදලා ඉවර වෙනකොට ඉන්ටවල් එකට බෙල් එකත් ගැහුවා.

එදා ඉන්ටවල් එකට අපි අඹ ගස් හෙවනේ පුටු තියාගෙන තමා කෑම කෑවෙත්.

කාලා ඉවර උනාට පස්සෙ අපේ එකෙක් කියනවා අපි ඩෙස් පුටු ටිකත් හෝදමු. ඒවගෙ දූවිලි පිරිලා නිසා කියලා.

ජීවිතේට දූවිලි නෙමෙයි වැලි ගොඩක් ඩෙස් එකක් උඩ තිබ්බත් ගනන් නොගන්න උන්ට අද ඩෙස් වල දූවිලි ගැන හරි කැක්කුම. මොකද ඒ ටිකත් හේදුවොත් තව වෙලා ඉන්න පුලුවන්නෙ.

දැන් පන්තියත් හෝදලා. ඩෙස් පුටුත් හෝදලා. ආයෙ නම් ඉගෙන ගන්නවා බොරු.

ඉන්ටවල් එකෙන් පස්සෙ ආපු ගුරුවරුත් ආපු වේගෙන්ම හරවලා යැව්වා පන්තිය ඇතුලෙ වතුර පෙන්නලා.


දැන් එහා පන්තියෙ උන්ට පැහැදිලි වෙලා අපේ වැඩේ. උනුත් ඇඹරෙනව. අපේ වැඩේ ඉවරවෙච්ච ගමන්ම එහා පන්තියෙ උන් අපෙන් හෝස් එක ඉල්ලගෙන මෙන්න මුනුත් පන්තිය හෝදනවා.

උන්ගෙ පන්තියට එන ගුරුවරුත් ආපහු බැන බැන හැරිලා යනවා. අපිට නම් බලු බෙට්ටක් හරි තිබ්බා විකුණන්න. උන් මොනා විකිණුවද දන්නෙ නෑ.

අපෙත් පන්තිය විතරක් නෙමෙයි ඩෙස් පුටුත් වේලිලා නැති නිසා එන ඔක්කොම ගුරුවරු බැන බැන යනවා. ඒත් ඉතින් මේ බල්ලෙක් කරපු දේකට අහක ඉන්න අපි මොනා කරන්නද.


කොහොම හරි එදා මුළු දවසෙම අපිට ඉගෙනීමක් නෑ. එහා පන්තියෙ උන්ටත් නෑ. එදා කරපු දේට නොසෑහෙන්න බැනුම් ඇහුවා පස්සෙ නම්. ඔන්න ඔහොමයි බල්ලෙක්ට පින්සිද්ධ වෙන්න අපි පන්ති පිටින් පන්ති කට් කරේ.

Sunday, September 18, 2011

පොත් සැණකෙලිය සහ බ්ලොග් අවකාශයේ මිතුරෝ


"ළමා...යි... BMICH එකේ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්නෙ කවුද.... කවද්ද.... "
බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෲප් එකේ දාපු මේ ස්ටේටස් එක මතකයි නේද. එදා මෙදාතුර ගෲප් එකේ වැඩිම කමෙන්ට් තිබ්බ ත්‍රෙඩ් එකත් ඒක උනා. බුදු අම්මෝ හයදාස් ගානක් කමෙන්ට්. තවත් ඒ ත්‍රෙඩ් එක දුවනවද කොහෙද.

ඉතිං කොහොම කොහොම හරි කට්ටිය ගහ මරාගෙන 18 වෙනිදා යමු කියලා තීරණයකට ආවනෙ.

කොහොම හරි 18 උදේ නිසූපා කෝල් කරලා උඹ කොහෙද බං කියනකොටත් මම බෝඩිමේ.

ඉක්මනට ලෑස්ති වෙලා කටුබැද්දට ගියා. සජිත් බම්බලපිටියට එනවා කියපු නිසා මොරටු පිටකොටුව බස් එකක යන්න මම හැදුවෙ. කොහොම හරි කලින් ආපු බස් එක පානදුරේ එකක්. බලපු හැටියට නම් හිස් සීට් තිබ්බෙ නෑ. මොකට හිටගෙන යනවද කියලා පිටිපස්සෙන් ආපු බස් එකට නැග්ගා.

ඇත්තටම හදිස්සියට බෝඩ් එක බැලුවෙ නෑ. 'ම'යන්නක් තිබ්බ වගේ මතකයි. මොරටුව කියලා මම හිතුවෙ.නැගලා වාඩිවෙලා ටිකට් ගත්තා බම්බලපිටියට.

හපෝ කොන්දොස්තර මහ කින්ඩිම කින්ඩි හිනාවක් දාලා කිව්වෙ නැතෑ මේක බම්බලපිටි යන්නෙ නෑ මහරගමට යන්නෙ කියලා. ඉතින් කාලා වරෙන්කො. මොරටු කියල හිතාගෙන මහරගම බස් එකකට නැගල තියෙන්නෙ.

දඩි බිඩි ගාලා අඟුලානෙන් බැහැලා වෙන බස් එකක ගිහින් බම්බලපිටියෙන් බැස්සා. සජිතුත් එක්ක එතනින් BMICH ආවා.


ආපු ගමන් නිසූපට කෝල් කරාම මේකි ඉන්න ඉසව්ව කිව්වා. යන්තම් ගේට්ටුවෙන් හම්බෙච්ච මැප් එකට පින්සිද්ධ වෙන්න එතෙන්ට ගියා. හප්පොච්චියේ ගියාට පස්සෙ කොහෙ හොයන්නද. සූ ගාලා සෙනඟ.

කොහොම කොහොම හරි මිනිස්සුන්ගෙ අස්සෙන් රිංගලා නිසූපව අල්ල ගත්තා. අනේ මේකි අර අහිංසක නංගිවත් රවට්ටගෙන එක්කන් ඇවිත් ලොකු බෑග් එකකුත් දීලා. ඇයි ඉතින් පොත් ටික කරගහගෙන යන්න කවුරුහරි එපැයි.

ඔන්න ටිකක් වෙලා කයියක් ගහගෙන ඉඳලා මායි සජිතුයි සන්හිඳ එකට ගියා.


මෙන්න නිසූපා කෝල් කරනවා ගොල්ඩ් ෆිෂ් උඹව හොයාගෙන එනවා සුදු ටී ෂර්ට් එකක් ඇඳලා කැප් එකකුයි දාලා ඉන්නෙ කියලා. සෙනඟ පීරලා බලද්දි මෙන්න මාළුවා පීනගෙන එනවා.

ඒ අස්සෙ සජිත් අහනවා ඔය මාළු විතරද ඉන්නෙ ඉස්සො දැල්ලො නැද්ද කියලා.

මාළුවත් එක්කත් එහෙ මෙහෙ පීනලා පොත් හෙවුවා. ඒ ඔක්කොමත් හරි මෙන්න මේකා යශෝධරාවත පොත බදාගෙන ඉන්නවා. දාලා යන්න බෑ කියලා. මොකද මන්දා.


ඊට පස්සෙ තමා ඉතුරු සෙට් එක හම්බ උනේ. ඉස්සෙල්ලාම මධුරංග හම්බ උනා. මධුරංග ස්ව කැමැත්තෙන්ම සජිත්ගෙ බයික් එකේ ටයර් එකක් වෙන්න ඉදිරිපත් වෙලා. බලන්ඩ ඉතින් අපේ දියුණුව පතන මිනිස්සු.

පස්සෙ චාපා නංගි, ශිරෝශි, මාධව, හිරු එළිය ලියන මල්ලි, සිරී කොළුවා කට්ටියත් හම්බුනා. අනේ කට්ටිය තව හිටියා. කතා කරන්න බැරි උනා.

ටික වෙලාවක් කට්ටිය එක්ක වල්පල් දොඩව දොඩව හිටියා. අපි කොයි තරම් අනිත් උන්ට ඇණයක් උනාද කිව්වොත් එතන බුක් ස්ටෝල් එකෙන් අපිව එලෙව්වත් එක්ක.

ටික වෙලාවකින් මායි සජිතුයි ගොඩගේ එකට ගියා.


ඒකෙන් එළියට එනකොට මිනිස්සු යන පාරෙ පඩිපෙලක පුරුදු මූණු ටිකක්. හපොයි මුන් ටික මොක්කුද වගේ එතන ලැගගෙන. අපිටත් මොකෝ. අපිත් ලැග්ගා එතනින්ම. පොටෝ ෂූට් එකකටත් මූණ දුන්නා ඉතින්.

තව පොත් ලිස්ට් එකේ ගත්තෙ නැති පොත් ගොඩක් තිබ්බ නිසාත් තව වැඩ වගයක් දාගත්තු නිසාත් ඉක්මනට උඹලගෙන් සමුගන්න උනා. මාළුවාගේ නිමක් නැති මඩ ප්‍රහාර වලින් බේරිලා ආයෙත් පොත් හොයන්න ගියා.

විජේසූරිය එකේ මහා සෙනඟ ගොඩ අස්සෙ මෙන්න දැකලා පුරුදු මූණක්. ජීවිතේ මල් ලියන දිල් අක්කා. එයාව ඇත්තටම දැකලා නොතිබ්බත් මූණු පොත නිසා දැක්ක ගමන් අඳුර ගත්තා.


දිල් අක්කා සෝරෝ, ජේඩී සහ වැප් ආවා කියල කිව්වට මම දැක්කෙ නම් නෑ. 26 යනවා කියලා පෙරලි පෙරලි අඬපු සෝරෝ මොකට 18 ආවද මන්දා.

අම්මෝ උස්සගන්නත් බැරි තරම් පොත් කන්දකුත් එකතු කරගෙන අපි එන්න පිටත් උනා. ඔය උඩ පින්තූරෙ දාලා තියෙන්නෙ මම ගත්තු පොත් තමා. තව පොත් දෙකක් අඩුයි. සජිත් අරන් ගියා.


ඉතින් වචන වලින් අඳුන ගත්තු පිරිසක් හැබෑවටම දකින එකත් හරිම සුන්දර අත්දැකීමක්. ඒ අත්දැකීම උඹලා නිසා මම වින්දා. කවදාවත් මේ දවස නම් මතකයෙන් මැකෙන එකක් නෑ.

Friday, September 16, 2011

තරු මල්


නෙතු අතර දඟ කරන
හීන හොරකම් කරන

මල් පියල්ලක නමුදු
මහ මෙරක බර දැනෙන

කලාවෙන් කලාවට
පිරෙන පුන්සඳ සේම

තත්පරෙන් තත්පරේ
සෙනෙහෙ දිය හද පුරන

හිනා මල් දෝතක්ම
හිත පුරාවට පිපෙන

සහස් ගව් ගෙවන් ආ
තරු මලයි නුඹ මෙමට

Wednesday, September 14, 2011

දුලා


මගෙ ජීවිහේ මට හම්බ උනු වටිනාම දයාබරම යාලුවෙක්, දුලා.

අනුන්ගේ ලියුම් හොරෙන් කියවීම පෝස්ට් එකේ මා එක්ක බෝඩිමේ හිටියෙ දුලා තමා.

උඹ ගැන ලියන්න දවස් ගානක ඉඳන් උත්සාහ කළත් මේ යාළුකම මට වචන වලට හරවන්න අමාරුයි බං. උඹේ වෙඩින් එකට ගිහින් ආපු දවසෙ ඉඳන් මම මේ අකුරු අමුණන්න පටන් ගත්තෙ.


එකේ පන්තියෙ ඉඳන් දහතුන වසරට එනකල් එක පන්තියක දෙකක හැර අපි එකට හිටියෙ. ඒ උනාට උඹයි මායි හොඳම යාලුවො උනේ ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සෙ.

අවස්ථාවාදී මිනිස්සු අතරෙ උඹ මට දයාබර යෙහෙළියක් උනා. පැය ගාණක් තිස්සෙ හරි හිතේ දුක ඉවර වෙනකල්ම මම කියවනකොට ඒවා අහගෙන ඉන්න තරම් උඹේ හිතේ පුදුම ඉවසීමක් තිබුණෙ. අදට උනත් ඕනෙම ප්‍රශ්නෙකදි කෝල් එකකින් හරි දුක අහන්න උඹට වෙලාව තියෙනව කියල මම දන්නවා.


සමහර වෙලාවට උඹට නගින නැගිල්ලට පෑන් පැන්සල් පොත් බිත්ති උඩින් පියාඹනකොට මට පුදුමත් හිතුනා මේ උඹමද කියලා. ඒත් කූල් වෙච්ච වෙලාවට මොනව හරි සින්දු කෑල්ලක් කටේ දාගෙන, ඒක අයින් වෙන්නෙ නෑ කියල ඒකටම බැන බැන පිස්සු නටන උඹව මට නං කවදාවත් අමතක වෙන එකක් නෑ බං.

වෙලාවකට නං මට උඹව මරන් කන්න තරම් තරහ එනවා. ඒ උනාට පස්සෙ තිබ්බටත් වඩා අපේ යාළුකම වැඩි වෙනවා. ඇත්තමයි උඹේ ඔය හිතුවක්කාරකමට වෙලාවකට මම හරි ආසයි බං. ඒකෙ පුදුම සැහැල්ලුවක් තියෙන්නෙ.

මගේ පළවෙනි බෝඩිමේ රූමි උනෙත් උඹ තමා. කුරුණෑගල ක්ලාස් ගියපු කාලෙ මහ පාන්දර පන්තියෙ පේළි අල්ලන්න යන්න දුක් විඳපු හැටි, හති දාගෙන බස් වලට දුවපු හැටි, ඈනුම් ඇර ඇර පන්තියෙ නිදි කිරපු හැටි, මේ දේවල් හරි සුන්දරයි බං.

මතකද ආපු මුල් දවස් වල උඹයි මමයි කාමරේ ඉඳන් බෝඩිමේ ඇන්ටිට හැමදාම පදමට ලුණු ඇඹුල් දාලා පින් අනුමෝදන් කරන හැටි. වෙන එකක් නෙමෙයි බෝඩිමේ ෆ්‍රිජ් එකෙන් කෑම හොරකම් කරපු හැටි. දැන් නම් ලැජ්ජාවෙ පණ යනවා.


ක්ලාස් යනකොට ඇත්තමයි බං මට උඹට දම්වැලක් දාලා බෙල්ල හරවන්න බැරි වෙන්න රිවට් කරලා එක්කන් යන්න හිතෙනවා. ලස්සන ලස්සන අහිංසක කොල්ලො උඹේ රේඩාර් එකට අහු නොවී වැසිකිළියටවත් යන්නෙ නෑනෙ.

මම ඉතින් අවිහිංසක බොදු දරුවනේ. අපි ඕවට නෑ. අපි පාඩුවෙ අහක බලාගෙන හිත හදාගෙන ඉන්නවා.


ඇයි බං පාර පනින කොට කවද්ද කියපං වැදගත් විදිහකට පැන්නෙ. වාහනයක් එනකල් ඉඳලමයි පනින්නෙ. පුදුමයි අපිව රොත්ත පිටින් වාහනේකට අමුණගෙන ගියෙ නැති එක.

ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම උඹේ ප්‍රගතියේ සහකරු ඉතිං මමනෙ. මීට අවුරුදු නවයකට දහයකට කලින් "ඒ බං අරූ මගෙන් යාලුවෙන්න අහනවා" කියපු දවසෙ ඉඳන් "අපි බඳිනවා බං" කියපු දවස වෙනකලුත් මම උඹලා දෙන්නට උදව් කරේ හිතේ කිසිම කහටක් නැතුව.

පාරවල් ගානෙ හිටගෙන අවුව වැස්ස නැතුව අම්මපා මම කටු කාපු තරමක් තොපි හන්දා. උඹේ අර මරුමුස් අයියලා දෙන්නට හොරෙන් ලියුම් ප්‍රවාහනය කරන්න මම කොච්චර දුක් වින්දද. මොනා උනත් උඹේ ඒ ආදරේ අද විවාහය දක්වාම අරං ආපු එක ගැන නම් මට පුදුම සතුටක් තියෙන්නෙ දුලා.


ඒ ලෙවල් වලින් පස්සෙ අපේ අරමුණු සහ අපි යන පාරවල් වෙනස් උනත් අපේ යාළුකම නම් අඩු උනේ නෑ.

මට තාමත් මතකයි උඹ මගෙ සමරු පොතේ අපේ යාලුකම ගැන ලියපු දේ. මේ උඹේම වචන.

"අපි අපේ මේ අමරණීය පාපමිත්‍ර සම්බන්ධය තව දුරටත් සුරක්ෂිත කරන්න ඒක වල්කනයිස් කරලා තියමු. ප්‍රත්‍යස්ථතාව අඩු උනත් ඒක නොකැඩී තියේවි. මොකද එතකොට එක එක සත්තුන්ට එහෙට මෙහෙට ඇදලා ජොලියක් ගන්න බෑනෙ."

අනේ බං උඹ වගේම තමා උඹේ අදහසුත්.


ඉතින් බං මේ පටන් ගත්තු අළුත් ජීවිතේ සාර්ථකව උඹට අරන් යන්න පුලුවන් කියලා මම දන්නවා. ජීවිතේ සැහැල්ලුව අතරින් වගකීම් වල බරත් හිතට ගනින්.

ඉතින් දුලා, හැමදාමත් උඹේ යාළුකම නම් මගෙ හිතෙන් මැකෙන එකක් නෑ.

උඹට සුභ මංගලම්.

Monday, September 12, 2011

වසන්තය දුර ගියත්..


වසත් ඍතුව අහවරය

එහෙත් මම නුඹව සිප ගනිමි

මගේ ලෙංගතු අහස නුඹ

මන්දස්මිත් වැගිරෙන

වසන්තය දුර ගියත්

අපිට අපි

ලෙංගතුද මොනතරම්

Sunday, September 4, 2011

පළමු බේබදු අත්දැකීම ලදිමි


මම දන්න දවසෙ ඉඳන් පුදුම පෙරේත කමකින් හිටියෙ රෙඩ් වයින් බොන්න. එකම එක පාරක් වෙඩින් එකකදි පොඩ්ඩක් රස බැලුවා ඇරෙන්න දැනෙන්න වයින් බොන්න අවස්ථාවක් හම්බුනේම නෑ.

ෆිල්ම් වල උස වයින් වීදුරු වල ලස්සන රතු පාටින් වයින් පුරවගෙන පොඩ්ඩ පොඩ්ඩ තොලගාන උන් ගැන මම පුදුම ඉරිසියාවකින් උන්නෙ.


අවුරුදු ගානක් තිස්සෙ දැකපු හීනෙ හැබෑ උනා අන්තිමේදි. වයින් ගැන කිය කිය මම අඬන ඇඬිල්ල ඉවසගන්න බැරුවද කොහෙද මොන ලෝකෙන්ද මන්දා සජිත් රෙඩ් වයින් එකක් හොයාගෙන ගෙනත් දුන්නා.

වයින් බෝතලෙ මගෙ අතට ලැබිච්ච වෙලාවෙ දැනිච්ච සතුට විස්තර කරන්න මට වචන නෑ. කල්පයක් දෙයක් ගැන ආසාවෙන් බලාගෙන ඉඳලා ඒ දේ ලැබිච්ච කෙනෙක්ට මේ හැඟීම තේරෙනව ඇති.


ඉතින් බෝඩිමේ ඕක තනියම තියාගෙන, පෝසිලේන් කෝප්පෙකට දාගෙන බොන්න මගෙ හිතේ කැමැත්තක් තිබුණෙ නෑ. ඉතින් ගිය සති අන්තෙ වයින් බෝතලෙත් කිහිලි ගහගෙන මම ගෙදර බලා පිටත් උනා.

හෙහ් අපෙ තාත්තා නම් එපාම කියයි. අම්මගෙ ගෝරනාඩු හා අක්කගෙ රැවුම් ගෙරවුම් මැද වයින් බෝතලෙ මම ගෙදරට ගෙනාවා.


මට උණ තිබ්බෙ වයින් ටික වයින් වීදුරුවකටම දාලා රස බලන්නනෙ. වෙලාවට වයින් වීදුරු ගෙදර තිබුණා.

මේ වයින් එකේ වර්ගය Gato Negro - Shiraz



පාට නම් මාර ලස්සන රතු පාටක්. බෝතලේ නම් තියෙන්නෙ පාට ගැන මෙහෙම. Colour: Dark red with violet tones.

වීදුරුවට වයින් පුරවගෙන මම මගේ පළවෙනි වයින් රසවිඳීමට ලෑස්තියි. මුලින්ම බොන්න කලින් මම සුවඳ වින්දා. කියන්න නොතේරෙන අමුතු සුවඳකුත් එක්ක වැඩිපුර දැනුනෙ ඇල්කොහොල් සුවඳ. වෙන්න එපැයි එහෙම. මේකෙ ඇල්කොහොල් සාන්ද්‍රණය 13.5%.

බෝතලේ වයින් එකේ සුවඳ ගැන විස්තර කරලා තියෙන්නෙ මෙහෙම. Aroma: Flowers, red fruits such as plum and raspberry, complemented with a touch of oak.


ඒ වගේම රස ගැන තියෙන්නෙ මෙහෙම. Taste: A perfect balance between the alcoholic content, level of acidity and gentle tannins. A round wine, well bodied, with medium persistence.

පළවෙනි වයින් උගුර බිව්වට ඒකෙන් ඉස්සෙල්ලාම දැනිච්ච රස නම් මගෙ බලාපොරොත්තු කඩ කරා. චැහ්. මහ කහට රහක්.

ඒත් උගුර පිච්චීගෙන මුළු ආහාර මාර්ගයටම දැනීගෙන ඒ වයින් උගුර ආමාශය දක්වා ගියා. ඒ ප්‍රබෝධමත් ගතිය ඊළඟ වයින් උගුර බොන්න මාව පෙළඹෙව්වා. ඊළඟ වයින් උගුරෙ කලින් එකේ කහට රස තිබුණෙ නෑ. ඒකට හේතුව නම් මම දන්නෙ නෑ. මොනා උනත් එක වීදුරුවකින් නැවතෙන්න හිත දෙන්නෙ නෑ.


නොනවත්වා බොන්න ගත්තු වයින් බීම මම නැවැත්තුවෙ ඉවසගන්න බැරි ඔලුව කැක්කුමක් ආවට පස්සෙ. ඒ උනාට උගුරෙ ඉඳන්ම දැනෙන උණුසුම් ගතිය නම් කියලා වැඩක් නෑ. ඔලුවෙ කැක්කුම නම් මදෑ. කෙලින් ඉන්න බැරි තරමට තද නිදිමතකුත් ආවා. නොදැනීම පැයගාණක් අන්තිමට මම නිදාගෙන.

ඔන්න ඕකයි මගෙ පළවෙනි බේබදු අත්දැකීම. චාටර්වීම් සහ කබර පැටවුන්ගෙන් තොරව සාමකාමීව නිම උනා.

මේ පාර නම් පෙරේතකමට හරියන්න වයින් බිව්වා. ඒත් තව ආසාවක් තියෙනවා වයිට් වයින් බොන්නත්. ඒකත් ඉහළ උසාවියට ඉදිරිපත් කරලා බලන්න ඕනෙ.

Wednesday, August 31, 2011

කාන්තාරයේ කුසුම


අපි අවාසනාවන්ත යැයි සිතමු. එහෙත් අපටත් වඩා අවාසනාවන්ත වූවෝ සිටිති. ඔවුහු කෙසේ හෝ ඔවුන්ගේ පාර සොයා ගනිති.

කාන්තාරයේ කුසුම - Desert Flower. කාලෙකින් කියවන්න ලැබුණු වටින පොතක්.

සිය ජීවිත අත්දැකීම් නිර්ව්‍යාජව දිග හරින වාරිස් ඩයිරි ඩයිරි ඉන් පළ කරනුයේ, සෝමාලියානු එඬේර කෙල්ලක් ජගත් විලාසිතා ලොව සුපිරි තාරකාවක් වීමේ විස්මයජනක කතන්දරය පමණක් නොවේ.

සොබාදහමින් එල්ල වන දුක් පීඩාවන්ට අමතරව ඔවුන් වට ඇති සමාජ හා සංස්කෘතික සංස්ථා විසින් පනවන වැටකඩොළු, විශේෂයෙන්ම ළදැරියන්ට කාන්තාවන්ට අත් විඳීමට සිදුව ඇති ලිංගික ම්ලේච්ඡත්වයද වාරිස් ඩයිරිගේ ජීවිත කතාන්දරය මගින් අප වෙත ඉදිරිපත් කර ඇත.


සෝමාලියාව ගැන කතා කරන විට අපට මැවෙන්නේ දේශපාලනික හා සාගතය වැනි අවුල් වියවුල් වලින් පිරුණු රටක් ලෙස පමණි. එහෙත් ඒ අවුල් වියවුල් මැද මෙවැනි අතිශය අනුවේදනීය කතා කොතෙකුත් තිබෙන්නට ඇත. වෙනසකට ඇත්තේ ඒ හිංසාවට ලක්වූවන් අතරින් තමන්ගේ කතාව කියන්නට ධෛර්යයක් තිබෙන්නට ඇත්තේ වාරිස් ඩයිරිට පමණක් වීමය.

පොතේ සමහර කොටස් සාවද්‍ය යැයි සිතෙන තරමට අප අත්විඳ ඇති සත්‍යයෙන් ඈතය. එහෙත් තිරිසනුන්ට අන්ත මිනිසුන්ද මහපොළොව මත සිටින වග ඇය පසක් කරවයි.


පරක් තෙරක් නොමැති කාන්තාරයේ එඬේර පවුලකට අයත් වාරිස්ව ඇගේ දහතුන් වෙනි වියේදී සිය පියා විසින් දෑවැද්ද වශයෙන් ඔටුවන් පස් දෙනෙක් හිලව්වට ගෙන අවුරුදු හැටපහක් පමණ වයසැති මහලු මිනිසෙකුට විවාහ කරදීමට සූදානම් වෙයි. එයින් බේරීමට ඈ එක් රාත්‍රියක නිවසින් පලා යයි.

කුසට අහරක් හෝ පිපාසයට දිය බිඳුවකදු
හෝ නොමැතිව දින ගණනක් කාන්තාරය හරහා යන ඇය අවසානයේ කෙසේ හෝ සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නගරයට සේන්දු වෙයි.

එතැනින් ලන්ඩනය හරහා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට යන ඇය ලෝකයේ පළමු පෙළේ විලාසිතා නිරූපිකාවක් වීම දක්වා මුහුණ දුන් විස්මයජනක අත්දැකීම් අපූරුවට මෙහි විස්තර කර ඇත.


නිරූපිකාවක් ගෙවන්නේ පහසු ජීවිතයකැයි අප සිතමු. ඒ මටසිලිටු කෝමල බව තුළ ගොරහැඬි කටුක අත්දැකීම් නැතැයි කාට කිව හැකිද. ඇය මේ විලාසිතා නිරූපණය තුළ ඇති යථාර්ථය කදිමට විස්තර කරන්නීය.

"ප්‍රසංගය පැවැත්වීමට නියමිත දින එය පටන්ගැනීමට පැය හතරකට පමණ පෙර ඔබ එම ස්ථානයට ගොස් සිටිය යුතුය. ඔබ රූපලාවන්‍ය කටයුතු මෙන්ම ඔබගේ හිස පීරා සකස් කිරීම වැනි දේවල් කර ගැනීමෙන් පසු තමන්ගේ වාරය එනතුරු බලා සිටිය යුතුව ඇත.

ඊළඟට ඔබට කළ යුතුව ඇත්තේ අදාළ පළමුවැනි ඇඳුම ඇඟ ලා ගැනීමය. එම ඇඳුම ඇඟ ලාගත් පසු ඔබට අසුනක වාඩිවීමට නොහැකිය. මන්ද ඇඳම පොඩි වීම ඊට හේතුවයි.
එහෙයින් ඔබ මුළු කාලයම සිටගෙන සිටිය යුතුය.

ප්‍රසංගය පටන් ගැනීමත් සමඟ වේදිකාව පිටුපස එකම පිස්සන් කොටුවක ස්වරූපයක් ගනී. ඉන්පසුව ඇත්තේ විනාඩි කීපයක් අමුත්තන් ඉදිරියේ ඇති වේදිකාව මත නියමිත ඇඳුම ඇඟලාගෙන වාදනය වන සංගීතයට අනුව වේදිකාව මත ඔබ මොබ ඇවිදීමය. එවැනි ප්‍රසංගයකට ගැළැපෙන අයුරින් ඔබගේ හිස පීරා ඇති අතර, සුදුසු රූපලාවන්‍යයෙන් ඔබව ඔපවත් කර ඇත.

ප්‍රසංගය සඳහා ඔබ ඇඳ සිටින ගවුම කෙතරම් වටින්නේද යත් සාමාන්‍ය ජීවිතයේදී එවැනි ගවුමක් මිලදී ගැනීම ගැන සිහිනෙන් හෝ සිතන්නට නොහැකිය. කෙසේ වී නමුදු විනාඩි කීපයකට ඒ ඇඳුම ඔබේය. එ මතු ද නොව ඔබගේ පෙනුම කෝටියක් වටින්නේය."


වාරිස් ඩයිරි හෙවත් මේ කාන්තාරයේ පීදුණු කුසුම අපට පසක් කරවන්නේ ජීවිතය ජයගැනීමට ආත්ම ශක්තියම පමණක් ප්‍රමාණවත් බව නොවේද.

Thursday, August 25, 2011

නිවෙන්න හිත


නුඹ ඇවිත්
හිතේ දුක
මට කිවුවොතින්

කැළණි විහාරය වගේ

හිත නිවන්න නම්

බැරි වේවි

ඒත්
රිදෙන හිත

සැනසෙනකල්ම

ළඟට වී

ඉන්න හැකි වේවි


කොයි තරම්
හැංගුවත්

ඔය හිත ඇතුලෙ තියන්

විඳවන දුක
ඔය ඇස් වලින්

මම දකින වග

අමතකද
නුඹට


Monday, August 22, 2011

ඇඩ්ඩිංගේ කෝල් ඇඩ් එක


ගීතික අයියා කියන්නෙ අපේ මාමගෙ ලොකු පුතා. මෙයා ගැන හොඳම නිර්වචනය දෙනවා නම් ඇඩ් දැමීම මුළු ජීවිතයේ එකම අරමුණ කරගත්තු කෙනෙක්. ඒ නිසා අපි ආදරේට ඇඩ්ඩිං කියලා කිව්වෙ.

මිනිහා සපත්තු දෙක දැම්මත් මූණ පේන තරමට පොලිෂ් කරලා දාන්නෙ. ෂර්ට් එකේ එක රැල්ලක් නෑ. කොණ්ඩෙ මුදු මුදු හදාගෙන ඉන්නෙ. ගමනක් යනකොට දාඩිය ගඳ පරයා යන්න සෙන්ට් නානවා. හික්ස්. එතකොට එයා දන්නෙ නෑ ඔය ගඳයි සුවඳයි දෙක එකතු වෙලා කුණු බිත්තර ගඳක් එනවා කියලා. කිව්වත් ඕකා ගණන් ගන්නවයැ.


ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලන්ට ඇඩ් දදා හිටියා මිසක් ඉගෙන ගැනීමක් තිබ්බෙම නෑ. බොහොම මහන්සි වෙලා ඒ ලෙවල් වලට ලයිට් කණු තුනක්ම හිටෙව්වා.

මැට්ටා කියලා මරන්නයැ. මාමා කොහොමහරි අඳුරන කෙනෙක්ගෙ මාර්ගෙන් ප්‍රයිවට් කම්පැණි එකක ජොබ් එකක් හොයලා දුන්නා. ඒකෙන් මහා ලොකු ගානක් නොලැබුණත් යන්තම් සෝබනේ මේන්ටේන් කරන්න පුලුවන් සැලකිය යුතු පඩියක් හම්බුණා.


ගිය මාසෙ පඩියෙන් ඇඩ්ඩිං අලුත් ෆෝන් එකක් අරගෙන. බොරු කියන්නෙ මොකටද. ෆෝන් එක නම් ලස්සනයි චයිනීස් උනත්. මුගෙ වැඩේ වැඩක් තිබුණත් නැතත් ෆෝන් එක එලියට අරගෙන වැඩ දාන එක තමා.

එක දවසක් කලබලෙන් මේකා මට කෝල් කරනවා.


ඇඩ්ඩිං: මේ ඕයි නංගි, මට හරියටම තව පැය බාගෙකින් කෝල් එකක් දෙනවකො.

මම: මොකටද?

ඇඩ්ඩිං: තමුසෙට ඒකෙ වගක් ඕනෙ නෑනෙ. කෝල් කරනවකො.

පස්සෙ දැනගත්ත විදිහට මෙහෙම සිද්ධියක් වෙලා තියෙන්නෙ. මේකාට ෆෝන් එක ගැන දාපු ඇඩ් මදි වෙලා. කට්ටියක්ම ඉන්න තැන ෆෝන් එක එලියට අදින්න තියෙනවා නම් කොච්චර ආඩම්බරයක්ද?

මේක කොහොමද කරන්නෙ කියලා තැවි තැවී ඉන්නකොට තමා තව ටික වෙලාවකින් එයාලට ස්ටාෆ් මීටින් එකක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙන්නෙ.

ඔන්න ඔය මීටින් එක වෙලාවෙ ෆෝන් එක එලියට අරගන්න හේතුවක් විදිහට තමා මට කෝල් කරන්න කිව්වෙ.


මුලදි මම කෝල් කරන්නෙ නෑ කියලා හිතුවත්, මොලේ වර්ධනය වෙන්න පරක්කු උනත් මූ මගෙ අයියනෙ කියලා මම කෝල් කරා.

මෙතන ඉඳන් තියෙන්නෙ මම අසා දැනගත් හා මවාගත් කරුණු අනුව වෙච්ච සිද්ධිය සැකෙවින්.


"අයිම් සෝ ලෝන්ලී බ්‍රෝකන් ඒන්ජල්...."

ෆෝන් එක මර හඬ දී කෑ ගසයි.

ඇඩ්ඩිං මහත් උජාරුවෙන් නළල රැළි කරගෙන සාක්කු කීපයක් අත පත ගා ෆෝන් එක එළියට ගනියි.

ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා මද වෙලාවක් බලාගෙන සිටියි.

"කම් ඇන්ඩ් සේව් මී බිෆෝ අයි ෆෝල් අ පාර්ට්..."


ආන්ස්වර් බට්න් එක ඔබා ෆෝන් එක කණට තබා ගනියි.

මේ අතර ඔහුගේ අනිත් අත ඉණට තබාගෙන ඇති අතර වහලය දෙස දෑස් යොමුකර ගෙන සිටියි. (ඇඩ්ඩිංගේ ටිපිකල් ෆෝන් ආන්ස්වරින් ස්ටයිල් එක.)


ඇඩ්ඩිං: හෙලෝව්..

මම: ඇයි ඕයි කෝල් කරන්න කිව්වෙ..

ඇඩ්ඩිං: ආ මිස්ට සිල්වා. කියන්න.

මම: පිස්සුද ඕයි. මොන සිල්වෙක්ද..

ඇඩ්ඩිං: ආ ඒ ඩොකියුමන්ට් එක මම රෙඩි කරලා තියෙන්නෙ..

මම: මොන ඩොකියුමන්ට් එකක්ද. තමුසෙට මොනාද පෑගුණේ...

ඇඩ්ඩිං: ආ.. ඉට්ස් ඕකේ මිස්ට සිල්වා.. අයි කැන් ඇරේන්ජ් දැට් ටූ..

මම: ඇඳ විට්ටම පැත්තෙන්ද තමුසෙ බැස්සෙ අද...

ඇඩ්ඩිං: සී දිස් ඊස් ද ප්‍රොබ්ලම් මිස්ට සිල්වා......

දෙබස මේ ආකාරයෙන් යන විට මීටින් එකේ අනෙක් පුද්ගලයන් ඇඩ්ඩිං දෙස කන්නට මෙන් බලා සිට ඇත. කාලෙකට පසු හොඳ ඇඩ් එකක් දැමීමේ ප්‍රීතියෙන් පිනා යමින් සිටින මොහොතක කොහෙද සිට ඇඩ්ඩිංගේ බොස් මහ හඬින් මෙසේ පැවසුවේය.

"මේ අයිසෙ ගීතික, තමුසෙගෙ කෝල් එක්කො මෙතනින් එලියට ගිහින් ගන්නවා. නැත්තං ඔය මගුල කට් කරලා දානවා."

මෙසේ පවසත්ම ඇඩ්ඩිං වහ වහා කෝල් එක කට් කර දැමුවද ඇඩ්ඩිංගේ රෙදි ගැලවීමට තරම් හොඳ තුරුම්පුවක් මට ෆෝන් එක හරහා අසා ගැනීමට අවස්ථාව ලැබුණි.

ඒ ටිකවත් අසා නොගත්තා නම් මේ මහා ඇඩ්ඩිං රාජයාව දුටු දුටු තැන අවඥාවට ලක් කර බඩ අල්ලාගෙන සිනාසීමට හැකි මාහැඟි අවස්ථාවක් ෆෝන් එකක් අස්සේ සැඟවී යන්නට හොඳටම ඉඩ තිබුණි.


කෙසේ වෙතත් යුතුකම් දන්නා නංගි කෙනෙක් වශයෙන් අපේ හත්මුතු නෑදෑ පරම්පරාවටම මම මේ පුවත වහ වහා ප්‍රචාරණය කර සිටියෙමි. ඇඩ්ඩිංගේ මෙවන් අවස්ථාවක් සොය සොයා සිටි අපට මෙය හතර මහා නිධානය පහළ වූවාටත් වඩා අගනේය.

මඩ ප්‍රචාරණය කෙතරම්ද යත්, කවුරුන් හෝ ඉන්නා තැනක ඇඩ්ඩිංට කෝල් එකක් ආවොත් එය උගේ අවසානයම වන්නේය.


ප.ලි.: වෙලාවට ඇඩ්ඩිං බ්ලොග් බලන්නේ නැත. බලන්නේ නම් මට ගොක්කොල සිහින අනිවාර්යය.
Related Posts Plugin for WordPress, Blogger...