Pages

Wednesday, December 29, 2010

අකේලේ හම් (තනියම මම)


මගේ තනියට
ළඟින් ඉන්නට
නුඹට නොහැකිව
පලා යන සඳ
නෙතු කෙවෙණි අග
බොඳ කරන් සිටි
කඳුළු බිඳු
මගෙ තනිය මැකුවේ..

හුදකලාවම ස්වර්ගයක් කර
මගේ සිහිනය
තනිව තැනුවෙමි

නුඹම ඇවිදින්
මසිත් අහසේ
තරු පළඳතැයි
බලා සිටියෙමි..

Tuesday, December 28, 2010

නමක් නැති ආදරයක්


"මට ආයෙ කතා කරන්න එපා.."

"දෙයියනේ ඇයි මෙහෙම කරන්නෙ..?"

"ඒත් එයා පව්. මට බෑ තවත් එයාව රවට්ටන්න.."

"ඇයි මං පව් නැද්ද..?"

"මට සමාවෙන්න.."

"මේක හරිම අසාධාරණයි. මම විතරද විඳවන්නෙ..?"

"මාත් විඳවනවා. මට කරන්න දෙයක් නෑ.."

--------------------------------------------------------------------

"අක්කෙ ඔයා එයාට කතා කරන්න එපා. මම කැමති නෑ ඔයා අපි අතරට එනවට.."

"මම අවුරුදු ගානක් තිස්සෙ එයාට ආදරේ කරනවා.."

"එයා ඔයාට ඉස්සර ආදරේ ඇති. ඒත් එයා දැන් ආදරේ මට.."

"මම කොහොමද එයාට ආදරේ නොකර ඉන්නෙ.."

"ඔයාට ඕනෙ නම් පැත්තක ඉඳන් ආදරේ කරන්න. අපි අතරට එන්න එපා.."

-----------------------------------------------------------------------------------

"ඇයි මාව මෙහෙම බාල්දු කරවන්නෙ.."

(නිශ්ශබ්දතාවය)

"මං ගැන කිසිම හැඟීමක් නැද්ද.."

(නිශ්ශබ්දතාවය)

"මං මැරෙන්නද දෙයියනේ.."

(දුරකථනය විසන්ධි විය)


ප.ලි.: මේක මම
One | Zero | Zero බ්ලොග් අඩවියට ලියලා යවපු වචන 100යේ නිර්මාණයක්.

Sunday, December 26, 2010

මට දැනෙන ජීවිතය



දුහුළු මල් පියල්ලක
සැහැල්ලුව රැඳෙන මුත්
කඳුළු තෙතමනය ළඟජීවිතය හරි බරයි..

සිනා කැන් පොදක් මෙන්
සතුට උතුරනා මුත්
අසුන්දර මතකයක
ජීවිතය හරි දුකයි..

හමන මල් සුවඳ මෙන්
හරි අහිංසක නමුත්
තැවෙන හදවතක් ළඟ
ජීවිතය වේදනයි..

නියං අහසක රැඳෙන
හුදකලා බවම මිස
වැහි පොදක සිසිල නැති
ජීවිතෙත් ඒ වගෙයි..

අහංකාර කඳුළු


දෙකම්මුල් දිගේ බේරිලා
ගලන්න බැරි තරමට
ඇයිද ඔතරම්
කඳුළු වල ඇති
අහංකාරකම..
ඇස් පුංචි කරගෙන
හිනාවීගෙන
ඒ හිනාව තුළ
ඔය කඳුළුත් හංගනා විට,
දන්නවද
නුඹටත් නොදැනීම
හිනාවෙන්
කඳුළු උතුරනා වග..

Wednesday, December 22, 2010

මෙන්ඩලීය ප්‍රවේණියේ අපගමනය


සහ ප්‍රමුඛතාවය අකැප සඳ
අභිබවනයට ඉඩදී
නුඹ සමඟ මා
ප්‍රතිබද්ධ විණි..

ස්වාධීනව වියුක්ත වීමට
නුඹට අවැසි කල
සම යුග්මක තබා
විෂම යුග්මක වත් හිතක්
නුඹට නැති වග
වටහා ගතිමි..

හැරපියා යන
අවසන් නිමේෂයේදී
අසම්පූර්ණ ප්‍රතිබද්ධයක්
උදෙසා වත්
ආපසු හැරෙතැයි සිතීමි..

එහෙත්
දෑස් මායිමෙන්
නුඹ තිතක් වී
නොපෙනී යන සඳ
පසක් විය
සියල්ල අවසන
මාරක ජානයක්
ඉස්මතු වූ වග..

Tuesday, December 21, 2010

ආදරය


සත්තයි
නුඹ ළඟ
මං
හරි
අසරණයි...

Wednesday, December 15, 2010

ආදරෙයි අම්මෙ


පනින තුරු එලිපත්ත
හැමදාම නිදිවරන
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

දරුවන්ගෙ සිහින ගැන
කප්පරක් දුක් විඳින
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

අකීකරු අපේ හිත්
එක බැල්මකින් නිවන
රැළි වැටී කළු වුවද
කරුණාව අඩු නොවන
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

නුඹ මා නිසා එදත් දුක් වින්දාය. අදත් අනන්තව දුක් විඳින්නීය. මැසිවිල්ලක්වත් නොනගා හෙටත් දුක් විඳින වග දනිමි. නුඹ මගෙන් දුහුවිල්ලක් තරම් දෙයක් වත් නොපතා කප්පරක් දුක් විඳින්නීය. නෙතු පාමුල උණු කඳුළු බිඳුවක් තියාගෙන කවි කුරුටු ගෑවේ නුඹේ උපන් දිනය නිසාය. ඉතින් මගෙ අම්මේ, නුඹට සුභ උපන් දිනක් වේවා.

Tuesday, December 7, 2010

දුරින් හිඳ පෙම් කිරීම


මං දන්න දවසෙ ඉඳන්ම වැස්සට ආසයි. ඒත් මං ආස වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න මිසක් වැස්සට තෙමෙන්න නෙමෙයි.

ඒත් නුඹට ඒක තේරෙන්නෙ නැති හැටි. නුඹට ඕනෙ උනේ හැමදාම ඒ ඇදහැලෙන වැස්සෙ තෙමෙන්න.

ලොකුම ලොකු වැහි බිංදු කොණ්ඩෙ අස්සෙන් සීතලම සීතලට ගලාගෙන යනකොට මට දැනෙන්නෙ මහ අපුලක්.

නුඹ පුදුම තරම් ආසයි නා කපන වැස්සෙ තෙත බරියන් වෙන්න.

ඇද හැලෙන මුරුගසන් වැස්ස හරි නපුරුයි. ඒ වැස්ස මගෙ හිතට ගේන්නෙ මහ මූසල හැඟීමක්.

වැස්සත් එක්ක එන ලා අඳුර දත් පූට්ටු කරන සීතල මාව පොරෝණෙ අස්සට ගුලි කරනව මිසක් නුඹට වගේ තෙත බරියං වෙන්න මට හිත හදා ගන්න බෑ.

ඉතිං නුඹ කියනව අපේ අදහස් ගැළපෙන්නෙ නැතිලු. නුඹ ආස කරන දේවල් වලට මම ආස නැතිලු. නුඹටම ආවේණික හේතු හදාගෙන මා එක්ක හිත නොහොඳින්.

මේ මෝඩයට නොතේරෙන හැටි. නුඹත් මාත් දෙන්නම ආදරෙයි වැස්සට. වෙනස තියෙන්නෙ අපි ඒ වැස්සට ආදරේ කරන විදිහෙ නේද.

හීනියට ඇදහැලෙන ඉදිකටු වැස්සෙ ඉඳන් නුඹ තෙමෙන්න ආස කරන මුරුගසන් වැස්සටත් මම ආදරේ කරන්නම් නුඹට වගේම. තරහ වෙන්න එපා නපුරො. ඒ වැස්සෙ තෙමෙන්න එන්න කියලනම් මට කියන්නෙපා.

මං දුරින් ඉඳන් නුඹත් වැස්සත් දිහා බලාන ඉන්නම්. ලඟට ආවොතින් ආදරේ වැස්සට හේදිලා ගිහින්, දුකත් කළකිරීමත් පසුතැවීමත් විතරක් මට ඉතිරි වේවි.

Sunday, December 5, 2010

රොබරෝසියා මල් යාය


නුඹ දැක්කෙ නැහැ නේද
ලස්සනම ලස්සන
රොබරෝසියා මල්
එකින් එක
පොළොව සිපගත්තු හැටි..
නුඹ දැක්කෙ නැහැ නේද
මල් වැස්සක් වැටිලා
රොබරෝසියා යායක් හැදුණු හැටි..
ඒත් මම දැක්කා
මං තනියම වින්දා
මල් පාගන්නෙ නැතුව
මල් පොළොවෙ මං ඇවිද්දා
හිත එපාම කියද්දි
මං ආපහු හැරිල බැලුවා
මේ සතුට විඳින්න
නුඹවත් එනවද කියලා
ඒත් තට්ට තනියම
මමම විඳෙව්වා මිසක
මේ රොබරෝසියා යායට
නුඹේ සුවඳ කොයින්ද..
හිස්කම පාලුව මිසක
නුඹ කොයින්ද..

Thursday, December 2, 2010

ජීවිතය අපරාදෙ


අරුත් සුන් ජීවිතය
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට

Tuesday, November 30, 2010

පිස්සුද


වැස්ස...,
දඩස් ගාල
කඩන් වැටිල
එසැනින් පායලා ඉන්නෙ
උඹ
පසුතැවෙන හන්ද නේද..
පසුතැවෙනව නං
ඇයි
අනෝරාවට වැහි වස්සන්නෙ?
උඹ හින්ද
පොළොව දුක් විඳින හැටි..
අනේ මන්ද
පිස්සු උඹටද මටද..
නැත්තම්
අපි දෙන්නටමද..

Sunday, November 28, 2010

අකැප ආදරය


අහපන් ආදරය
එන්න එපා
නුඹ හිතට
හිත අකැපයි
උඹට

Monday, November 22, 2010

මල්පෙති හිත්


වහින්න වහින්න
අහස කෙතරම්
රළු වෙනවද..
ඒත්
තෙමෙන්න තෙමෙන්න
පොළොව කෙතරම්
මෘදු වෙනවද..
මල්පෙති හිත උඩ
මහමෙර තැබුවත්
වැහි බිඳුවක සිසිලස මිස
වේදනාවක් දැනෙන්නෙ නෑ මට
හිත මෘදු නිසා නම් නෙමෙයි
වේදනාවෙන්
හිත හිරිවැටිල නිසා...

Monday, November 1, 2010

අරුත් සුන් දිවිය


හිරි වැටුණු හිත් පොඩිය
දුක දන්නෙ නෑ දැන්
මිදුණු නෙතු කෙවෙණි වල
කඳුළු හොලවන්න බෑ දැන්
හිනාවක් අඳුරන්නෙ නැති මුව
සතුට අමතක කරල දැන්
අරුත් සුන් ජීවිතය
පරිස්සම් කරගෙන
කුමකටද දැන්

Tuesday, October 26, 2010

සෙනෙහස


සමන් මලක සුවඳ අරන්
ඒ සුවඳින් පාට අරන්
පිණි බිඳුවෙන් සිසිල අරන්
ගෙත්තම් කරනට ඔය සිත
මම එන්නම් අරුණ මැදින්

සාපය


වියැකෙමින්
මතුවෙමින්
දුකම මා
වැනසූ කල
මරණයට හඬ ගසා
දෙනෙත් පියා ගන්නවා හැර
මන්දස්මිත් වැගිරෙන
දෑසකට
කුමට නම් තව
කවි ගොතන්නද.....

Wednesday, October 20, 2010

කඳුළ සහ නුඹ


නෙතු කෙමි
බොඳ කරන
උණු කඳුළ නොවී

ඒ කඳුළ
නිවාදමන

ඇහිපියක් වෙයන්

සබඳ...

Wednesday, October 6, 2010

තහංචි


කාසි කටු
මල් පඳුරු වල
හිරවුණු
අපේ ප්‍රේමයට
නිදහසේ
ඉගිලෙන්න
කොයින්ද ඉතින්
අත්තටු..

Monday, September 6, 2010

මතක රූ


දෛවයේ සරතැසට
නෙතු කෙවෙණියක රිදුමට
අවසඟව කඳුල ලඟ
රූ රටා මවයි
නුඹ මතක...

Wednesday, August 18, 2010

හිතේ සමාධිය


හුදකලාවද
ස්වර්ගයක්
නොවුනු තැන
අනේ මගේ
හිතේ සමාධිය
පෙති ඉහිරුණු
මලක් වගේ...

ඉටිපන්දම


පුරෝගෙන ඉටිකිරි
නෙතෙහි
බලා සිටින්නේ
නුඹ හඬන්නද?
අඬන්නට එපා නුඹ
අඬන්නට වේවි අපිටත්
දෝරෙ ගිය විට
ඉටිකිරි
මේසය පුරාවට..

Monday, August 9, 2010

පුංචි දෝණි


අහපන් කඳුළු කැට
ජීවිතේ කිසිම දවසක
රැඳෙන්නට එපා නුඹ
පුංචි දෝණිගෙ ඇස් වල,
ජීවිතේ අ යනු ආ යනු
කියාදුන්නත් නුඹ මට
ඈට තනියම
උහුලගන්නට බෑ නුඹව..
මගේ නෙතු කෙමි කඳුලෙන්
බොඳ වුනත් කම් නෑ
ආසයි දකින්නට දවසක
කඳුළු අතරින්
දෝණිගේ සිනහව....

වසත් කල අවසන්ය


පුංචි තණ පඳුරු වල
පිණි බිංදු එක් කරපු
කෝම්පිට්ටුව වටේ
ලෝකයක් ගොඩනගපු
ඒ සොඳුරු ළමා විය
ගෙවී ගියෙ නොකියාම...

'අ' යනු 'ආ' යනු අතර
සූත්‍රද ප්‍රමේයද
එකට ගෙන අකුරු කල
විදු මවුගෙ තුරුලෙ හිඳි
ඒ සොදුරු සිසු දිවිය
ගෙවී ගියෙ නොකියාම...

එකට බත් පත කාපු
එකට හිඳ ගී ගයපු
'කුප්පි' කැන්ටින් අතර
මිතු දමෙන් ගලා ගිය
සොඳුරු සරසවි දිවිය
ගෙවී ගියෙ නොකියාම..

කාලයේ සරදමින්
සිනහ කඳුළැලි මතින්
මේ ගෙවීගෙන ගියේ
ජීවිතේ සැහැල්ලුව
වගකීම් පවුරු නැති
ජීවිතේ වසන්තය

හෙටින් පසු කෙදිනවත්
වසන්තය යලි නොඒ,
සමනලුන් මෙන් ගෙවූ
සැහැල්ලුව යලි නොඒ,
දැන් ඉතින් ඇරඹුනේ
ඒ කටුක සිසිරයයි
රැහැන් පවුරින් බැඳුනු
ජීවිතේ සිරගෙයයි.......

Wednesday, July 21, 2010

සරසවියේ අන්තිම දවස




අපේ හිත් මත

තබා බර අඩි

කාලයා පියමන් කරද්දී

සීතලෙන් සීතලට

ගුලිවෙච්ච කඳුළු බිඳු

නෙතු කෙවිණි අග

බොඳ කරද්දී

කාලයක් ළඟ හිටිය

සුන්දරම හසරැල්ල

මුව අගින් දැන්

මිය ඇදෙද්දී

මිතු දමේ මල් සුවඳ

තමයි මේ දැනෙන්නේ

අපි අපෙන් වෙන් වෙලා

දුර ඈත යද්දීත්.......

අපූරු ගණුදෙනුව




කඳුළු බිඳු

මා නෙතෙන්

අරගෙන

ඒ වෙනුවට

දෙතොල මත

සිනහ සිත්තම් කළ

සොඳුර

Tuesday, July 13, 2010

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර..

" අවුරුදු දෙකක් තිස්සේ
බර ඇද ගොනෙකු වාගේ
ගිල පොතෙහි ඇතිදේ
වමාරා පැය තුනක් තිස්සේ

මැරි මැරි ඉපදෙමින්
හිඳ හිඳ ඇගිලි ගනිමින්
ප්‍රතිඵල ආ සැනින්
විඳින්නට සැරසෙමින් අවමන්

යන යන තැන හිඳින
හඳුනන හෝ නොහඳුනන
උන් අප දුටු සැනින්
A-Level කොහොමදැයි අසමින්

උඹ දැන් දොස්තරද?
නැත්නම් බයෝ යනවද?
වෙට් ආවේ නැතිද?
ආපසු පන්ති යනවද?

විසඳමින් විසි පැණ
rivision පන්ති සොයමින
tution දෙවි වඳින
අහෝ අප තව නොදිටි මොක්පුර.."

මේ කවි පෙළ ඇත්තටම මම පබැඳූවක් නෙවෙයි. පහුගිය දවසක ඒ ලෙවල් පොත් ගොඩ අදිද්දි පොතක් පිටිපස්සෙ මමම කොහෙන්දෝ අහුලගෙන ලියල තිබ්බ කවි පෙලක් මේක. පාඩම් කරල කරල ඇති උනාම මම හැමදාම කරේ ටියුට් පිටිපස්සෙ, පොත් කවර වල කවි කුරුටු ගාපු එක. මේ කවියෙ ඇත්තම රචකයා නම් මම දන්නෙ නෑ.

මම මේක publish කරන්න හිතුවෙ එක පාරටම හිතට ආපු සිතුවිල්ලක් නිසා. ඇත්තටම ශිෂ්‍යත්වෙ කාලෙදි අපි හිතන්නෙ ශිෂ්‍යත්වෙ තමා තියෙන ලොකුම කඩුල්ල කියලා. අමාරුවෙන් ඒක පාස් උනාට පස්සෙ හිතනවා ඕ ලෙවල් තමයි ලෝකෙ තියෙන අමාරුම විභාගෙ කියල. (ඇයි හත්දෙයියනේ විෂයන්ම කීයක්ද? තව අමතර විෂයන් සහ ප්‍රැක්ටිකල්?) කොහොම හරි අමාරුවෙන් ඒකත් ගොඩ දාගත්තට පස්සෙ තමා ජීවිතේට පැන ගන්න බැරි උසම කඩුල්ල කියල හිතන ඒ ලෙවල් එන්නෙ. ඒ ලෙවල් වල තියෙන එකම සැනසීම තමා ඕ ලෙවල් තරම් විෂයන් ගොඩක් නෑ. තියෙන්නෙ විෂයන් 3යි. (බුදු අම්මෝ තව විෂයන් 10ක් තිබුනනම් එහෙම තුන් පාරකින් තියා දහ පාරකින් වත් ඒ ලෙවල් නම් පාස් වෙන්න බැරි වෙයි.) ඒත් මේ විෂයන් තුන ගොඩ දාගන්න මොනතරම් නම් දුක් විඳිනවද ළමයි.

මට ඒ ලෙවල් පළවෙනි පාරින් කැම්පස් යන්න රිසල්ට්ස් මදි උනා. දෙවෙනි පාරින් තමා යන්තම් කැම්පස් සිලෙක්ට් උනේ. පළවෙනි පාර එක්සෑම් ඇනුනාම ගෙදරින් මාව කුරුණෑගලට තල්ලු කරල එව්වා රිවිෂන් පන්ති පලයන් කියලා. ඉතින් උදේ 7.30ට පටන් ගන්න පන්තිය ඉවර වෙන්නෙ 5ට. ඒ මදිවට ටියුට් ක්ලාස්. බෝඩිමේ ඉදන් අපි පන්තියෙ පේළි අල්ලන්න එන්නෙ පාන්දර 5.30ට. ඒවා හෝල් ක්ලාස් හන්ද ළමයි සූ ගාලා. ඉතින් first in first served basis තමා යන්නෙ. කලින් ඇවිත් ඉස්සරහ අල්ලගත්තොත් හරි. නැත්තම් ඉතින් දවසෙම කට්ට. උදේ 5.30ට පන්තියට ඇවිත් පේළි අල්ලල අපි කරන්නෙ ඩෙස් එකට ඔලුව තියාගෙන නිදාගන්න එක. මුළු දවසෙම අමාරුවෙන් පාඩම අහගෙන ඉඳල ආපහු බෝඩිමට ගියාම පාඩම් කරන්න තරම් මානසිකත්වයක් මට නම් ඉතුරු වෙන්නෙ නෑ. ඇත්තටම ඒ කාලෙ මට හිතුනෙ මොකට මෙච්චර දුක් විදිනවද කියල.

ඇත්තටම මේ කවි පෙළ කියවල ඒ කාලෙ බඩ පැලෙනකල් හිනා උනත්, ඒක ඇතුලෙ හැංගිච්ච කටුක ඇත්ත දන් තමා තේරෙන්නෙ. අවුරුදු දෙකක් (සමහර විට ඊටත් වැඩියි ) තිස්සෙ පොත් වල ගොඩ ගහපු දේවල් සති කීපෙකින් ගිරවා දාගෙන පැය තුනක් තිස්සෙ වමාරනවා. දැන් උනත් ඇත්තම ඇත්ත ඒක නෙමෙයිද? මාස ගානක් තිස්සෙ ඉගෙන ගත්ත දේ දවස් දෙකෙන් ගිරවා දාගෙන ගිහින් කුරුටු ගානවා. මට හැමදාම එක්සෑම් හෝල් එකෙන් එලියට එද්දි දැනෙන්නෙ හරිම හිස් හැඟීමක්. ඒ අපි එක්සෑම් ලියන්නෙ ක්ෂණික මතකයෙන් නිසා. just flush away the memory.
ඒ ලෙවල් ඉවර වෙනකල් හිතුවෙ කවදා මොක්පුර දකින්න පුලුවන් වෙයිද කියලා. ඒත් මොක්පුර කියල හිතාගෙන ආපු සරසවියෙත් එදා විඳපු දුක් කන්දරාවම රිපීට් කරන්න වෙලා. මෙතනින් එලියට ගියත් විදින්න වෙන්නෙ නේ දුකම නේද?

ඉතින් දෙව්දත් නම් කවදා හරි මොක්පුර දකීවි. ඒත් අනේ අපි මේ දුකින් මිදිල කවදා මොක්පුර දකින්නද?

ප.ලි. මේක ලිව්වෙ ඒ ලෙවෙල් කාලෙ ගැන ලියන්න උනත් අන්තිමට දුක් ගැනවිල්ලක් උනාද මන්ද. එඩිට් කරන්න බැලුවත් කොහෙන් අඩු කරන්නද කියල තේරෙන්නෙ නෑ. ඔන්න ඔහෙ හිතට ආපු සිතුවිල්ල අමුවෙන්ම දැම්මා.

Friday, July 9, 2010

ඔහුට කියාපන්..

ආදරය,
නුඹ ගිහින්
හොයාපන් ඒ දඟයාව,
හොයාගෙන කියාපන්
ඔහු නැතිව
මට පාලු දැනෙනා වග..
හිනාවෙනකොට පුංචි වෙන
ඒ ඇස් දෙක
නොදැක සිටිය නොහැකි වග..
අමතක නොකර කියාපන්
ඔහු නැතිව මට
ජීවත් වෙන්නට තබා
මරණයට අඬගසන්නටවත්
නොහැකි වග...........

මගෙ සොඳුරු ආදරය

තරු දෙනෙත තුළ කිමිද
සොයමි මම ආදරය
හිත ඇතුලෙ දඟ කරන
මගෙ සොඳුරු ආදරය
කල්පයක් බලන් හිඳ
කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය..

නුඹ කවුද ?

ගිම්හානය අග
ගස අතැර යන මල් දැක
නුඹ මලක් කියා
නුඹට නිගා දෙනු කෙලෙසද..
රැස් විහිදෙන සඳ මඩලම
අමාවකට අහස අතැර
යන බව දැක දැක
නුඹ සඳක් කියා
නුඹට නිගා දෙනු කෙලෙසද..
මගේ කඳුළු නුඹ අරගෙන
මා මුව හසරැළි නංවන
නුඹ කවුද කියා
කවදාවත් නොකියනු මැන....

ඔබ එන්න...

කෝපි මල් පිපෙන
හිමිදිරි පාන්දර
සිනා මල් පොකුරක්
තෑග්ගට අරගෙන
ඔබ එන්න..
නෙතු දෑළ අද්දර
ආදරය තියාගෙන
මම බලා ඉන්නම්
සත්තකයි

ඔබ එන්න......

Wednesday, June 2, 2010

හිතුවක්කාරයෝ

හිතුවක්කාර අහස,
නුඹත් හරියට
ඔහු වගේ,
මොර සූරන්න වැහැල වැහැල
මුකුත් නූනා වගේ
හරි අපූරුවට පායලා ඉන්න
නුඹට පුලුවන් ඔහු වගේ,
හොඳ ලස්සනට
පායලා ඉඳල
එකපාරටම
අකුණු ගස්සවල වහින්නත්
නුඹට පුලුවන් ඔහු වගේ,
ඉතින් බොරුද?
නුඹත් හිතුවක්කාරයි
හරියටම ඔහු වගේ.....

දන්නවද නුඹ

හිත් අග්ගිස්සට වෙලා
වරුවක් තිස්සෙ දඟ කරන
මගේ දඟ මල්ල
දන්නවද නුඹ
කිසිම කිසි දෙයක්
ශේෂ නොවුණු මගේ හිත
එකත්පස් කළ
පිරිත් පැන් පොද
නුඹ වග,
දන්නවද
ඇස් පුංචි කරගෙන
ඔහොම හිනාවෙන කොට
නුඹේ හිතේ හෙවනැල්ල ළඟ
දැවටෙන මගේ ජීවිතයම
නිවී සැනහෙන වග,
ආදරේ වැහි වස්සමින්
හිත ළඟින් හෙලවෙන්නෙ නැතුව
මේ හිතේ තනිකමට
තනි රකින ඔය මතකය
පන්සලක් තරමට
මාව සනසන වග
දන්නවද නුඹ.....

Monday, May 31, 2010

අහස් ගැබ

නිදි වරව රෑ මැදියමේ නුඹ
තරු පොකුරු මල් පොපියවන්නී
සඳ කැළුම් මේඝයන් සැම හට
නවාතැන් පොළ සදා දෙන්නී
සිතින් නුඹ කප්පරක් දුක් විඳ
නෙතු කෙවෙනි අග බොඳ කරන්නී
මගේ මව මෙන් සියලු දුක් ගිනි
සදා කල්හිම ඉවසගන්නී......

Monday, May 24, 2010

අම්මා

ඉකි බිඳින පහන් සිළ ලඟ
තුන්පත් රටා අමුණන
සුදු බත් ඉතුරු කර
දංකුඩම වළඳන
දුක දුකක් බව නොදැක
හැමදාම දුක් විඳින
අම්මා නුඹයි මට
මුලු ලොවම දිනා දෙන

Saturday, May 22, 2010

ඇරඹුමක තරු ලකුණු

පෙම්වන්ත හිත මත්තෙ..
මුතු හීන අහුලන්න..
නාමලක් මත රැඳුණු..
පිණි බින්දු දැක ගන්න..
හාදු මල් කෝටියක්..
තෑගි ලෙස ගෙනියන්න..
ඔය සොදුරු හිත රැගෙන..
මා එක්ක එනවාද?........
Related Posts Plugin for WordPress, Blogger...