Pages

Thursday, January 27, 2011

විහින් හිරේ වැටීම


නාලකගෙයි ඉමාෂිගෙයි ආදරේ පටන් ගත්තෙ ඉස්කෝලෙ කාලෙදිමයි. උසස් පෙළ කරන කාලෙ යාලුවො අතර හරි ජනප්‍රිය චරිත දෙකක් තමයි මේ දෙන්නා. දෙන්නට දෙන්න ගතිගුණ වලින් සහ පෙනුමෙනුත් ගැළපෙනවා. හුඟාක් ආදරෙන් දෙන්නා හිටියේ.

ඒත් දෙන්නගෙ සම්බන්ධෙ ඉස්කෝලෙට කවදාවත් අහු වෙලා නෑ. දන්නවනෙ ඉතින් හීං නූලෙන් සම්බන්ධකම් අරන් යන කට්ටිය. ඒ වගේම ගමෙත් දෙන්නා චාටර් නෑ. ඒ හින්දා දෙන්නගෙ ගෙවල් වලින් දැනගෙන හිටියෙත් නෑ. කරදර දුක් පීඩා තහංචි නැති ඉරිසියාකාරයෝ නැති දුෂ්ටයො නැති ආදරයක්. කොටින්ම කියනවානම් රබ්නේ බනාදි ජෝඩී.

ඒත් ඉතින් කිසිම අඬදබරයක් නැතුව ගෙදරින් කේස් නැතුව ඔහේ ගලාගෙන යනකොටත් ආදරේ බෝරිං නේ. කාලයක් යනකොට දෙන්නට හිතුනලු ඔන්න ඔහෙ බඳින්න ඕනෙ කියලා. ඒක දෙන්නට නිකම්ම හිතිච්ච අදහසක් මිසක් ගෙදරට අහුවෙලා ගහල බැනල වෙන් කරන්න හදපු නිසා ගත්තු තීරණයක් නෙමේ.

කොහොම හරි තව යාලුවො දෙන්නෙක්ට කියලා සාක්ෂියට අත්සන් කරව ගෙන මුන් දෙන්නා බැන්දා. බැන්දට ගෙදරින් දන්නෙ නැති නිසා වෙනද වගේ ගෙවල් දෙකේ තමා ඉන්නෙ. හොරෙන් පන්නං එන්න තරම් හිතේ ධෛර්යයක් තිබිලත් නෑ.

දවස් ගානක් බලන් හිටියා ගෙදරට ආරංචි වෙයිද කියලා. කොහෙද. කාටවත් ගාණක් වත් නෑ. මෙහෙම හැමදාම දෙතැනකට වෙලා ඉන්න පුලුවන්ද. කෙලින්ම කියන්නත් බෑ.

අන්තිමට නාලක වෙන අත් අකුරු වලින් ලියුමක් ලිවුවා අහවල් ගෙදර නාලක සහ අහවල් ගෙදර ඉමාෂි අතර සමබන්ධයක් තියෙනව කියලත් එයාලා දැනට හොරෙන් විවාහය ලියාපදිංචි කරලත් කියලා. මෙහෙම ලියුම් දෙකක් ලියලා ගෙවල් දෙකට පෝස්ට් කලා.

ඔන්න ඊට පස්සෙ තමා කඩි ගුල ඇවිස්සුණා වගේ ගෙවල් දෙකෙන් කලබල වෙලා කෑ ගහලා අඩි පොලවෙ ගහලා මේක ඇත්තද කියලා අහලා තියෙන්නෙ. උන් දෙන්නත් ඔව් කියලා. මරන්නයැ බැන්දයි කිව්වට පස්සෙ.

ඊට පස්සෙ ගෙවල් වලින් මගුලක් අරන් දෙන්නව චාරිත්‍රානුකූලව විවාහ කරල දීලා.

ඔන්න ඔහොම තමයි මිනිස්සු විහින් හිරේට යන්නෙ.

Wednesday, January 26, 2011

'හා..ච්..චෝ..ස්..' හෙවත් හචිං


කිවිසුම් යවන පුද්ගලයා අනුව එහි ශබ්ද තීව්‍රතාවය වෙනස් වෙන්න පුලුවන්. 'චිස්' යන ශබ්දයෙන් පටන් අරන් 'හා..ච්..චෝ..ස්' යන ශබ්දය දක්වා ශබ්ද පරාසයක් මේකට තියෙනවා. අපෝ මං මේ කිවිසුම් හෙවත් හචිං යෑම විද්‍යානුකූලව පහදන්න එහෙම නෙමෙයි හදන්නෙ හරිද? හචිං සම්බන්ධ කතා දෙකක් කියන්න.

මම උසස් පෙළ කරන කාලෙ අපිට රසායන විද්‍යාව උගන්නන්න හිටියෙ තරුණ ගුරුතුමියක්. අපිට වගේ නෙමෙයි මිස්ට සෑහෙන්න මැනර්ස් තියෙනවා. හැබැයි මිස්ට රටහුණු ඇලර්ජි එකක් තියෙනවා. ඉතින් බෝඩ් එක මැකුවට පස්සෙ හැමදාම මිස්ට හචිං. හැබැයි 'චිස්' යන අනුකරණයෙන් තමා මිස්ට හචිං යන්නෙ. ඒ කියන්නෙ කිවිසුම හොඳටම පාලනය කරලා. 'චිස්' කිව්වට පස්සෙ හැමදාම මිස් 'සොරි' කියනවා. 'චිස්', 'සොරි', 'චිස්', 'සොරි'. ඔහොම ඔහොම යනකොට මිස් 'චිස්' කියද්දි අපේ පන්තියෙ කොල්ලො සොරි කියල ඉවරයි. මිස් අන්තිමට සොරි කියන එක නතර කරා. මුන් එක්ක මොන මැනර්ස්ද කියල හිතල වෙන්න ඇති.

දෙවෙනි හචිං කතාව නම් අපේ තාත්තා සම්බන්ධව. අපේ තාත්තා කිඹුහුං යවන්නෙ වහලෙ උළු පවා ගැලවෙන සද්දෙට. හා..ච්..චෝ..ස්.. අපිත් බයවෙනවා ඒ සද්දෙට.

මේක උනේ මම පහ වසරෙ ඉද්දි. ඉස්කෝලෙන් පස්සෙ අපිට ශිෂ්‍යත්ව පන්ති තිබුණා. එතකොට අපේ තාත්තා තමා මට පන්ති පටන් ගන්න කලින් කෑම එක ගෙනත් දෙන්නෙ. අපිට පන්ති තිබුණෙ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක උඩ තට්ටුවෙ. එක දවසක තාත්තා කෑම එකත් අරගෙන පඩි පෙළ දිගේ නැගගෙන ආවලු. අපේ පන්තියේ පොඩි කොලු ගැටයෙක් පඩිපෙල බැහැගෙන පහළට යනවලු.

දෙන්නා පාස් වෙන්න මෙහෙම මෙහෙම ඉද්දි අපේ තාත්තට අර සුපුරුදු වහලෙ උළු ගැලවිලා යන සයිස් එකෙන් හා..ච්..චෝ..ස්.. එකක් ගිහිල්ලා. ඒ වෙලාවට ඉස්කෝලෙත් ඇරිලා හන්දා බැක්ග්‍රවුන්ඩ් සද්ද මුකුත් තිබිලා නෑ. ඉතිං අර පොඩි එකාගෙ කණ ගාව තුං හුලස් එකක් ටින් එකක් ඇතුලෙ දාල පිපිරෙව්වා වගේ තියෙන්න ඇති.

පොඩි එකා බය වෙච්ච පාරට පඩිපෙල දිගේ දඩිං බිඩිං ඩෝං වෙලා. අපේ තාත්තාට අල්ලගන්නවත් වෙලාවක් තිබිලා නෑ.

ඔන්න ඔහොමයි 'චිස්' ශබ්දයේ සිට 'හාච්චෝස්' ශබ්දය දක්වා වූ කිවිසුමේ ව්‍යාප්තිය.

Friday, January 14, 2011

අනුන්ගේ ලියුම් හොරෙන් කියවීම


මම කාලයක් කුරුණෑගල බෝඩිමක නැවතිලා හිටියා දෙවෙනි පාර උසස් පෙළ කරන්න ක්ලාස් යන්න. ඒ අවුරුද්දක විතර කාලය මගේ ජීවිතයට හුඟක් අත්දැකීම් එක් කලා. ඉස් ඉස්සෙල්ලම ගෙදරින් පිට බෝඩිමක කියල මම හිටියෙ එහෙ. මාත් එක්ක බෝඩිං කාමරේ හිටියෙ දුලා කියල මාත් එක්ක එක පන්තියෙ හිටපු යාලුවෙක්.

මුලින්ම බෝඩිම නුහුරු උනාට ටික කාලයක් යද්දි අපි බෝඩිමට, ඒ ගෙදර අයට කිට්ටු උනා. ඒ ගෙදර එච්චර ලොකු වත්තක තිබුණු එකක් නෙමෙයි. දන්නවනෙ ඉතින් නගරබද එකිනෙකට ලංවූ පුංචි ඉඩම්. මේ ගෙදරට එහා ගෙදර ජීවත් උනේ මුස්ලිම් පවුලක්. ඇත්තටම පවුලක් කිව්වට එහෙ පරම්පරාවක්ම හිටියා. පුංචි පුංචි ඇච්චො බැච්චො ගොඩකුයි, කොල්ලො දෙන්නෙකුයි, කෙල්ලො ටිකකුයි, වැඩිහිටි ගැහැණු සහ පිරිමි කිහිප දෙනෙක් ඒ ගෙදර හිටියා. මේ අය අතරින් අපේ අවධානය යොමු උනේ කොල්ලො දෙන්නට කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

හිටපු ගමන් ඒ ගෙදර වලිත් යනවා ඇහෙනවා. මායි දුලයි කරන්නෙ අපේ කාමරේ ඇඳට නැගල ලැටිස් අස්සෙන් එහා ගෙදර වෙන වලි එහෙම බලාගෙන ඉන්න එක තමයි. දන්නව දන්නව. වැරදියි තමා අනුන්ගෙ දේවල් හොයන එක. මොනා කරන්නද අප්පා. උපතින් ගෙනාපු හැකියාවනේ.

ඉතින් අපේ කාමරේ තිබුනෙ එයාලගෙ වත්තයි, බෝඩිමේ වත්තයි වෙන් කරපු තාප්පෙ ලඟමයි. ඒ තාප්පෙ අයිනෙන් කොහිල වවපු කාණුවක් තිබුනා. එක දවසක් එලිය බලද්දි මේ කොහිල ගස් අස්සෙ කඩදාසි කොල වගයක් තියෙනවා දැක්කා.

අපිටත් නිකන් ඉන්න බෑනෙ. ගෙදර වැඩට හිටපු අක්කවත් අඬගහගෙන අතෙන්ට ගිහින් කොල ටික ඇහිලුවා. අප්පේ කොහිල ගාල අස්සෙ කොල අහුලන්න දීපු ගේමක්. ඒවා බැලූ බැල්මට ලියුම් වගේ තමා දැක්කේ. බාගෙට පිච්චිලත් තිබුනා. එදා බෝඩිමේ ඇන්ටිත් ගෙදර නැති දවසක්. අපි කරපු වැඩේ ඒවා එකින් එක දිග ඇරලා සිමෙන්ති පඩිය උඩ වේලෙන්න තිබ්බා. ඔන්න ඉතින් ඊට පස්සෙ තමා ලියුම් එක එක කියවන්න ගත්තෙ. මේ පැත්තට විසිකරන්න හොඳ නම් කියෙව්වම මොකද.

ඒවා එහා ගෙදර මුස්ලිම් කොල්ලෙක්ට අයිති ලියුම් වගයක්. ඌ ලියපුවා සහ එක එක කෙල්ලො ඌට ලියපුවා. අපි එදා උදේ වරුවම කරේ ඒ ලියුම් කියවපු එක. ලැජ්ජාවෙ පණ යනවා සමහර ලියුම් කියවද්දි. සිංහලෙන් ඉංග්‍රීසියෙන් වගේම දෙමලෙනුත් ලියපු ලියුම් තිබ්බා. අනිත් සමහර ලියුම් කියවල අපි බඩ පැලෙන්න හිනා උනා. කෙල්ලන්ගෙ හීන බලාපොරොත්තු ගැන කියවද්දි නම් පව් කියලත් හිතුනා.

කොහොම හරි ලියුම් ටික වීරයො වගේ කියෙව්ව වගේ නෙමෙයි පස්සෙ හරි බය හිතුනා මේව ලඟ තියාගන්න. දන්නවනෙ ඒ වයසෙදි කොල්ලෙක්ගෙ ලියුමක් ලඟ තියෙනව කියන්නෙ මරණීය දණ්ඩනය පවා ලැබිය හැකි වැරැද්දක් නෙව. එහා ගෙදර මුස්ලිම් කොල්ලත් ඒ හන්ද වෙන්න ඇති ඒවා ලඟ තියගන්න බයට පුච්චල මේ පැත්තට දාන්න ඇත්තෙ.

ඌ දන්නෙ නැතුව ඇති මේ පැත්තෙ වතුර පිරිච්ච කොහිල වලක් තියෙන්නෙ කියලා. පිච්චෙන ලියුම් මේ පැත්තට දැම්මට වතුර හින්ද ඒවා බාගෙට පිච්චිලා නිවිලා තිබුණා.

ඉතිං දුලාවත්, ගෙදර වැඩට හිටපු අක්කවත්, මං වත් කැමති උනේ නෑ මේ ලියුම් ටික ලඟ තියාගන්න. නැති ලෙඩ මොකට දා ගන්නවද. ලියුම් ටික බෝඩිමේ ඇන්ටිට දෙන්නත් බෑ අපි කියෙව්වා කියලා අහු වෙනවා. ඉතිං අපි මොකද දන්නවද කලේ. අර කොල්ල ලියුම් දාල තිබ්බ තැනින්ම තාප්පෙන් එහා පැත්තට අපි ලියුම් ටික ආපහු විසි කරා. පව් තමා ඉතිං.

හවස් වරුවෙම අපි එහා පැත්තට කණ දාගෙන හිටියා. සද්දයක් නෑ. හුඟ වෙලාවක් ගියාට පස්සෙ ඒ පැත්තෙන් බෝම්බ පුපුරනව වගේ ගෑණු කෙනෙක් බනින සද්දයක් ඇහෙනවා. මායි දුලයි දුවගෙන ගිහින් ඇඳට නැගලා ලැටිස් අස්සෙන් එහා පැත්ත බැලුවා. මුළු පරම්පරාවම එලියට බැහැලා. අර කොල්ලො දෙන්නගෙන් එකෙක්ව වට කරගෙන පලු යන්න බනිනවා. අපි දාපු ලියුම් ටිකද කොහෙද කීප දෙනෙක්ගෙ අත් වල තියෙනවා පේනවා. කොල්ලට ඇඬෙන්න වගේ. මූණ කජු ලෙල්ලක් වෙලා. ඌ කල්පනා කරනවා ඇති එහා පැත්තට දාපු ලියුම් ටික අහු උනේ කොහොමද කියලා.

ඌ කීයටවත් හිතන්න නැතුව ඇති මේක අපි කරපු වැඩක් කියලා. දන්නවනම් කුරුණෑගල ඉඳිල්ලත් හමාරයි. සිද්දිය වෙලා අවුරුදු 5කටත් වඩා උනාට අදටත් දුලා හම්බුනාම ඕක මතක් කරලා හිනා වෙනවා.

මොනා උනත්, අමතක නොවෙන මතක ගොඩාරියක් කුරුණෑගලින් පටන් ගත්තු බෝඩිං ජීවිතේ එක්ක තියෙනවා.

Wednesday, January 12, 2011

කඩ කෑම කන්න කැමතිද


කඩ කෑම කන්න කැමති අය ඉන්නවනම් අත උස්සන්න බලන්න..

දැන් නම් හුඟක් අය විශේෂයෙන්ම ගෙදරින් පිට ඉන්න අය කියාවි අපෝ මොන ජරාවද කඩ කෑම, කටේ තියන්න පුළුවන්ද ඇල් වතුර වගේ. මිරිසුත් නෑ, ලුණුත් නෑ, තෙලුත් නෑ කියයි කට්ටියම.

ඇත්තටම මම තාමත් හිතන දෙයක් තමයි කොහොමද අප්පා මෙච්චර අමාරුවෙන් රස නැති විදිහටම කෑම හදන්නෙ කියලා. පොල් කිරි ටිකක් මිරිස් චුට්ටක් ලුණු ටිකක් නිකන් හරි දැම්මනම් පොඩි හරි රසක් තියෙනවනෙ. එහෙමවත් නොකර මෙලෝ රහක් නැති විදිහට කෑම හදන්න කඩවල් වල මිනිස්සු පුදුම ගේමක් දෙනව ඇත්තෙ.

ගෙදර අම්මා දෙල් මලවලා, හාල් මැස්සො කරවෙන්න බැදල ලූණු තෙම්පරාදු කරලා, අගුණ කොළ මැල්ලුමත් එක්ක උයලා දෙන උණු උණු බත් එක වගේද කඩෙන් කන කෑම.

ඒ අපි දැන් හිතන හැටිනෙ.

ඒත් අපි පුංචි කාලෙ කොච්චර ආසද කඩේ කෑම කන්න. අම්මා කොච්චර පෙරැත්ත කරත් බත් කටක් දිහා ඇහැක් වත් ඇරල බලන්නැති පොඩි උන් කඩෙන් ගේන බත් එකටම වග කියනවා. හා බොරුද මං කියන්නෙ.

පහුගිය දවසක අම්ම කතා කරපු වෙලාවක කඩේ කෑම කාල එපා වෙලා අම්ම උයපු බත් කන්න ආසයි කියපුවාම අම්මා පරණ කතාවක් මතක් කරා. ඇත්තටම කතාවක් කිව්වට මේක අපේ නෑදෑ සනුහරේටම ප්‍රසිද්ධ වෙච්ච මහා මඩ කතාවක්. අපි අපිනෙ ඉතින්. මම ඒක ඔයාලට කියන්නම්.

අර කලිනුත් කිව්වා වගේ ගෙදර කෑම කන්න මම ඉස්සර හරිම හොරයි. කඩෙන් මොන ජරාව ගෙනාවත් පෙරේතයා වගේ මම කනවලු.

ඉස්සර අපේ අම්මා මට බත් කවාගන්න බැරි උනාම කරන්නෙ හොරෙන් ගෙදර උයපු බත් එළවළු දාල බත් එකක් බඳිනවලු. අර කඩවල් වල බත් ඔතල දෙනසුදු පාට කොළ තියෙන්නෙ. අන්න ඒකක බත් එක ඔතනවලු.

ඊට පස්සෙ මල්ලකට දාලා හොරෙන් සීයට දෙනවලු. සීයත් හයියෙන් කියනවලු ආ, මෙයා බත් කන්නෙ නෑනෙ. ඉන්නකො මම කඩෙන් බත් එකක් ගේන්න කියලා සීය බයිසිකලේ ටික දුරක් ගිහින් ආපහු එනවලු.

ඊට පස්සෙ ඔන්න මං කඩේ බත් ගෙනාවා කියලා මට දෙනවලු.

ඉතිං "මෝඩ මං" අර පොළවෙ හැපි හැපි කන්න බෑ කියපු ගෙදර උයපු බත් එක ලස්සනට ඔතලා ගෙනාවම රස කර කර කනවලු.

කොහොමද අපෙ අම්මගෙ මොලේ. බණ්ඩිත් හැපී. අම්මිත් හැපී.

අපේ ගෙදර කට්ටිය අහිංසක මාව සෑහෙන වංචාවකට ලක් කරා කියලා මම දැනගත්තෙ හුඟක් කල් ගියාට පස්සෙ.

අයියෝ මේ සිද්ධිය ගැන කියලා අදටත් නෑයො එකතු උනාම මාව නැති කරනවා.

අන්තිමට මට හිතෙන්නෙ එකම එක දෙයයි. හැමදාම අපි ආස කරන්නෙ අපි ළඟ නැති දේටද මන්දා.

Monday, January 10, 2011

දේදුණු හීන


නිලි වැස්සටත්
පස් හෑරී යන
මහ පොළොව
මම..
දුරින් හිඳ
දේදුණු හීන
අමුණන
නිල් අහස
නුඹ..

Thursday, January 6, 2011

ආත්ම ශක්තිය


අඳුරේ අතපත ගා
අසීරුවෙන්
සොයා ගත් විගස
මගෙන් උදුරාගෙන
නැවත අඳුරටම
විසිකලහ
ඔවුහු
එය

Monday, January 3, 2011

වැස්සට හේදුණු හීන


මුරුගසන් මහ වැස්ස දෙපත් කපාගෙන ඇද හැලෙද්දි ගොයම ගැබ්බර වෙලා අස්වනු නෙළන්න ඔන්න මෙන්න තිබුණෙ. මාස ගාණක් තිස්සෙ ගොඩ ගැහුව බලාපොරොත්තු සුණු විසුණු උනේ එක තත්පරේකින්.

කිරි වැදුණු ගොයම එක පිට එක මඩේ වැටිල තියෙනව දකිද්දි මට දැනුණෙ පුංචි පැටව් ටිකක් සමූල ඝාතනය කරල තියෙනව දකිනවටත් වඩා කාලකණ්නි හැඟීමක්.

ජීවිතය දෝතටම ගත්තත් ඇඟිලි අතරින් රූරා ගිහින් තිබුණා.

මහ මෙරක් උසට ගොඩ ගැහුවත් බැත, පෙරලෙන්නෙ එක තඹේකට. ඒ තඹෙත් උරුම ටවුමෙ මුදලාලිට. ගිය කන්නෙ පොහොර ණය මතක් වෙනකොට, සා ගින්දරේ ඉන්න බඩවල් ගාණ මතක් වෙනකොට හිත දුවන්නෙ වහ බෝතලේට.

දරු පැටවුන්ගෙ කඳුළු ගුළිවුණු පුංචි දෑස් මතක් වෙලා හීල්ලුණේ දුකට නෙමේ අසරණකමට.
Related Posts Plugin for WordPress, Blogger...