Pages

Tuesday, July 31, 2012

සුදු ලූණු ගෙම්බා

සුදු ලූණු. එක එක අය අඩු වැඩි වශයෙන් කැමති කෑමක්. මගෙ නම් ප්‍රියතම කෑමක්. පුච්චපු සුදු ලූණු තමා මගෙ ෆේවරිට්. සුදු ලූණු තනිකර වෑංජනයක් විදිහට හදලත් ආසයි. බයිට් පැකට් එකක් කන්න ගත්තත් සේරටම කලියෙන් අර බැදලා දාපු සුදු ලූණු කෑල්ල ගන්නයි ට්‍රයි එක. අපේ ගෙදර කට්ටිය ගත්තත් හැමෝම සුදු ලූණු පෙරේතයො. අපේ ප්‍රධාන කෝකියා හෙවත් තාත්තා මොනා හරි කෑමක් හදන්න ගත්තොත් සුදු ලූණු ගෙඩි බාගයක්වත් දානවා. මම තනියම බෝඩිමේ උයන්න ගත්තත් නූඩ්ල්ස් එකක් හැදුවත් සුදු ලූණු ටිකක් පොඩියට කපලා දාන්නෙ ගෙදර පුරුද්දට.

පොඩි කාලෙ හෙම්බිරිස්සාව හැදුණාම බොන්න දෙන කොත්තමල්ලි එකටත් අපෙ අම්මා සුදු ලූණු බික් දෙකක් තුනක් දානවා. කෝප්පෙ අඩියෙ තියෙන තැම්බිච්ච සුදු ලූණු බික් දෙක තුන කන්න ඕනෙ කම නිසා කොත්තමල්ලි එක නහය වහගෙන උගුරට දෙකට ඇදලා දාන්නෙ. පොඩි කාලෙ මොකෝ දැන් උනත් සුදු ලූණු ට්‍රික් එක දාලා තමයි අම්මා කොත්තමල්ලි අපිට පොවන්නෙ. 

මගේ ඔය සුදු ලූණු පෙරේතකම ඉස්සර අපේ ඉස්කෝලෙ යාලුවො සෙට් එකත් දන්නවා. උන් එක්ක පොර කාලා බත් කනකොටත් වෑංජන වලට දාලා තියෙන සුදු ලූණු ටික උන් එකතු කරල මට දෙනවා ඉඳා කාපන් කියලා. හැබැයි මම ඒ ටික කාලා ඉවර වෙද්දි මේ යක්කු බත් එකටත් වැඩේ දීලා ඉවරයි. 

හැබෑටම එහෙමත් කාලයක්. ඉස්කෝලෙ ආපු වෙලේ ඉඳලා ඇරෙනකල් හරියට දෙයක් කරා නම් ඒ කාපු එකම විතරයි. පලවෙනි පීරියඩ් එකේ ඉඳන්ම කනවා. කකා ඉද්දි ගුරුවරයෙක් ආවොත් මොන අත හේදිලිද එහෙම්මම කොලේකින් අත පිහිදගෙන පාඩම අහගන්නවා. පීරියඩ් එක ඉවර උනාම ආයෙත් නතර කරපු තැනින් කෑම පටන් ගන්නවා. කොල්ලොත් එක්ක අපිට හැරෙන්නවත් පුලුවන්ද කන්න ගියාම. උන්ගෙ බත් කටක් අපේ බත් කටවල් පහක් විතර. ඒ මදිවට පොර කකා කනකොට ඔලුවෙත් එක්ක බත්. සුදු ලූණු බිකක් අරන් ගියපු දුරක්. 

ඉතින් සුදු ලූණු ගැන කිව්වොත් මම උපන්ගෙයි පෙරේතයෙක්. ඒකට අපේ සජිත්. සුදු ලූණු සුවඳක්වත් ආවොත් එතනින් එහාට කන එකත් නවත්තනවා. පුදුම අප්පිරියාවක් තියෙන්නෙ. මෙයා ගෙදර එන දවසට අපේ ගෙදර සුදු ලූණු බොතලේ පියනවත් අරින්නෙ නෑ. මේ තරම් සුදු ලූණු අප්පිරියාකාරයෙක් දැක්කමයි. 

මේ අප්පිරියාවටත් ලොකු හේතුවක් තියෙනවා. සජිත් පොඩි කාලෙ ඉස්කෝලෙන් එයාලට කෑම දෙනවලු. එක දවසක් හරි රසට පරිප්පුවක් හදලා තිබ්බලු. හැමෝම රස කර කර කෑවලු. ඒකෙන් සුදු ලූණු රසක් ඇවිත් තියෙන්නෙ. කාලා ඉවර වෙලා කැන්ටින් එක පැත්තෙ හරි කලබලයක්ලු. පොඩිකමට මෙයාලත් ගිහින් ඔලුව දාන්න. හපොයි බැලින්නම් පරිප්පු හැලියට ගෙම්බෙක් වැටිලා. ගෙම්බගෙ කෑලිත් පාවෙනවලු. ගෙම්බගෙ රස තමයි සුදු ලූණු වගේ මෙයාට දැනිලා තියෙන්නෙ. එදා ඉඳන් තමයි සජිත්ට මේ තරම් සුදු ලූණු අප්පිරියාව. 'සුදු ලූණු' කිව්වොත් 'බුදු අම්මෝ ගෙම්බා..' කියාගෙනයි දුවන්නෙ.

Wednesday, July 25, 2012

විලිලැජ්ජා සහගත සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණයක් සමත් වෙන්න කාරණා කීපයක් බලපානවා. තමන්ගේ සුදුසුකම්, දක්ෂකම්, අවස්ථානුකූල හැසිරීම, වාසනාව වගේම පරීක්ෂක මණ්ඩලයේ ඉන්න අයට තමන් ගැන ඇති වන පළමු හැඟීමත් ඉතාම වැදගත් වෙනවා. 

ළඟදි දවසක එක්තරා විශ්ව විද්‍යාලයක එක්තරා රැකියාවකට මම අයදුම් කළා. ටික කාලෙකින් සම්මුඛ පරීක්ෂණේකට කැඳවීම් ලිපියත් ලැබුණා. යනවද නොයනවද කියලා හිතින් එහෙට මෙහෙට ඇද ඇද ඉඳලා ඔන්න ඔහෙ යනවා කියලා හිතා ගත්තා. 

යන්න සූදානම් වෙද්දිත් බාධා ගොඩයි. සේවා සහතිකයක් ගන්න වින්ද දුකක්. ඉන්ටර්විව් එකට කලින් දවසෙ පහත් පහුවෙලයි ඒක හම්බවෙනකොට. උපාධි සහතිකේ ෆොටෝ කොපි ගහන්න ගියපු කඩේ දාලා ඇවිත් හවස ආයෙත් ගිහින් අරන් ආවෙ. කඩේ මිනිස්සුන්ට සිහිය තිබ්බ නිසා හොඳයි මට වගේ නොවී. 

උදේ ඇහැරෙන්නත් පරක්කු උනා. සාරිය අඳින්න ගිහිනුත් පරක්කු උනා. අදාල විශ්ව විද්‍යාලයට ගියාට අදාල කාර්යාලය හොයාගන්නත් පරක්කු උනා. ඔහොම බාධා වෙවී ඉහින් කණින් දාඩිය පෙරාගෙන ඉන්ටර්විව් එක තියෙන තැනට ගියා. 

මම යනකොටත් ඉන්ටර්විව් පටන් අරගෙන. මගේ නම කතා කරන්න තව වෙලා තිබ්බ නිසා ෆෝන් එකේ ගේම් එකක් ගගහ හිටියා. 

ටික වෙලාවකින් නම කතා කරා. සහතික තියෙන ෆයිල් එකයි පර්යේෂණ පත්‍රිකා ඇතුළත් පොතුයි අරගෙන ඇතුළට යන්න ලෑස්ති උනාට ෆෝන් එක බෑග් එක ඇතුළට දාගන්න අමතක උනා. ෆෝන් එක අතේ කියලා මතක් උනේ දොර අරිද්දියි. ඉක්මනට බෑග් එකට දාගන්නත් බෑ අතේ බඩු වැඩියි. සාරියක් ඇඳලා නිසා සාක්කුවකට දාගන්නත් නෑ. 

මේ ඔක්කොම කල්පනා එක්ක ඇතුල් වෙද්දි තමයි නොවිය යුතු දේ සිද්ධ වුණේ. දොර ගාව තිබිච්ච පාපිස්සෙ කකුල පැටලුණා. අතේ තිබුණු ෆෝන් එක බිම වැටුණා. කෑලි හතර පැත්තට විසි වුණා. ඉක්මනට බිම වැටිච්ච ෆෝන් කෑලි ටික අහුල ගන්නයි හැදුවෙ මම. 

ඒත් අවාසනාව වළක්වන්න පුළුවන්ද. ඉස්සරහට එක කකුලයි හිබ්බෙ කකුලෙ වැදිලා ෆෝන් එකේ බැට්රිය සුරුස් ගාලා ගිහින් නතර වුණේ උප කුලපතිගෙ කකුල් දෙක ළඟ. ඒසී එකේ මට දාඩියත් දැම්මා. ඉන්ටවිව් බෝඩ් එකේ ඔක්කොම අයගෙ ඇස් මා ගාව. රස්සාව ගැන තිබිච්ච අන්තිම බලාපොරොත්තුවත් ඉස්සරහින් තියෙන සමච්චල් සහගත, වික්ෂිප්ත, කරදරකාර ඇස් ඉස්සරහ බොඳ වෙලා ගියා. 

ෆෝන් එකේ කෑලි ටික අහුලලා අවඥා සහගත බැල්මෙන් හිටි උපකුලපතිගෙ අතින් බැට්රියත් අරගෙන එතන මේසයක් උඩින් තියලා අදාල පුටුවෙ වාඩි උනත් හිත හොඳටම කලබල වෙලයි තිබ්බෙ.  මට උවමනාව තිබ්බෙ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වැඩිය එතනින් පිට වෙලා යන්න. අහපු දේවල් වලට මම මොනවා කිව්වද දන්නෑ. 

කෑලි වෙලා ගියපු ෆෝන් එකයි බලාපොරොත්තුයි එක්ක දොර පිටිපස්සෙන් වැහෙද්දි නම් පුදුම සැනසීමක් දැනුණා. මගෙ ජීවිතේ මම මූණ දීපු විලිලැජ්ජා සහගතම සම්මුඛ පරීක්ෂණය මේක තමයි.

මොනවා වුණත් මම සෑහෙන පාඩමක් මේ අත්දැකීමත් එක්ක ඉගෙන ගත්තා. මම කියන්නෙ කවදාවත් ඉන්ටවිව් එකකට යද්දි කලබලෙන් යන්න එපා. කලින් වෙලාව තියලා ලෑස්තිවෙලා යන්න. අනිත් එක තමන්ගෙ නම කතා කරනකල් ඉවසීමෙන් ඉන්න ගේම් ගහන්නෙ නැතුව. වෙලාව ආවම ෆෝන් පර්ස් අතේ රඳව ගන්න එපා. සේරටම වැඩිය වැදගත් දේ දොර ගාව තියෙන පාපිස්සෙ කකුල පටලවගන්න එපා..

Making a great first impression is the most important thing. Because you never get a second chance to create it.


Wednesday, July 11, 2012

අපද නොදැනුවත්ව ඩෙංගු ව්‍යාප්තියට දායක වන්නට ඇත


ඩෙංගු. මේ දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වන මාතෘකාවක්. ඩෙංගු මර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක වන බව අප දනිමු. ජලය එකතු වන ටයර්, තැඹිලි කෝම්බ, ටින් ආදිය වල දැමිය යුතු යැයි කියති.

එහෙත් මේවා සිදුවන අතරතුර මට හැඟෙන පරිදි ඩෙංගු ව්‍යාප්තියට අප නොදැනුවත්ව දායක වී ඇත. මේ ගැන ඔබ සිතුවාදැයි මා නොදනිමි. මම නම් මොහොතකටවත් මේ ගැන නොසිතුවෙමි.

මේ දිනවල සෑම තැනකම පිරී ඉතිරී යන තරමට රඹුටන්ය. රඹුටන් පලදාව ඉතාම හොඳ තත්වයක පවතී. මේ නිසා දුටු දුටු පමණින් රඹුටන් මලු පිටින් අප මිලදී ගනිමු.

එහෙත් රඹුටන් පොතු වලට අප කුමක් කරමුද.

පාරේ ඇවිදන් යන විට පාර දෙපස කොපමණ නම් රඹුටන් පොතු විසිකර ඇත්දැයි බලන්න. මේවාට ජලය එකතු වී ඩෙංගු මදුරුවන් නොසෑදේයැයි සිතිය හැකිද. රට පුරා තැඹිලි කෝම්බ වල දමද්දී කුඩා රඹුටන් පොත්තක් ගැන සිත් යොමු නොවේ. එහෙත් අප විසිකර දමන රඹුටන් පොත්තක වුවද ඩෙංගු මදුරුවා බිත්තර දැමීමේ අවධානම ඇත.

ඉදින්, නොදැනුවත්ව අප ඩෙංගු ව්‍යාප්තියට රුකුල් දෙන්නට ඇත. ඩෙංගු මාරයා බිලිගත් අහිංසක ජීවිත ප්‍රමාණය ගණන් කළ නොහැක. නොදැනුවත්ව කළ දේ දැනුවත්ව අපි නතර කරමු. ඩෙංගු මාරයාට යළි හිස ඔසවන්නට නොදෙමු.

Sunday, July 8, 2012

කෑම ප්‍රදර්ශනේ

ජූලි 6,7,8 දිනවල BMICH එකේ Profood Propack 2012 ප්‍රදර්ශනය පැවැත්වුණා. මෙයටම සමගාමීව Ag.Biz 2012 කියන කෘෂිකාර්මික ප්‍රදර්ශනයද පැවැත්වුණා. 

කෑම කොතැනද අපි එතන. දවස් ගාණකට කලින් ලැබුණු තොරතුරකට අනුව මායි සජිතුයි ප්‍රදර්ශනේ බලන්න ගියා. ගිය අවුරුද්දෙත් ප්‍රදර්ශනේ ගැන ආරංචි උනාට යන්න උනේ නෑ. ගියපු උන් රස කර කර කාපු කෑම ගැන විස්තර කරද්දි නොගිය අපි උන්ට ඉරිසියා කර කර දුක් වින්ද නිසා මේ පාර නම් කොහොම හරි යමු කියලමයි අපි කතා වෙලා හිටියෙ. 

ඇතුළු වීමේ ටිකට් පත රුපියල් 50යි. යන තැනම තිබුණෙ කෘෂිකාර්මික ප්‍රදර්ශනය. 

දෙමුහුන් කරපු භෝග විශේෂ කීපයක්ම තිබුණා. පොල් ගෙඩි වලට වැඩිය ලොකු අඹ තිබුණා. රස නම් කොහොමද දන්නෙ නෑ. බීජ වර්ග, පැළ වර්ග, ගෙවතු අලංකරණ උපාංග, කෘෂිකාර්මික උපාංග ආදී විවිධ දේ තිබුණා. අපේ තාත්තා එහෙම ආවා නම් මෙතනින් හෙලවෙන්නෙ නෑ. 

කීල්ස් එකේ හොට් ඩෝග් එකක් එහෙම ගිල දාලා හිමීට කෑම ප්‍රදර්ශනේ පැත්තටත් ගියා. අන්න ඒවනෙ ප්‍රදර්ශන. සල්ලි වලට ගන්න විතරක් නෙමෙයි සාම්පල් කාලා බලන්නත් දෙනවා. ටික දුරක් යනකොට ලංකා සෝයි එකෙන් ලූණු බැදපුවා වගේ ජාතියක් බෙදනවා. අපිත් ඔලුව දාලා එයින් පිඟානක් අරගෙන කකා ඇවිද්දා. ඒ අස්සෙ මැග්නා එකෙන් ජෙලි පුඩිං බෙදනවා. (මතකනෙ ඇඩ් එක. ම්.. මැග්නා පුඩිං......ම්....මැග්නා පුඩිං......)ඒකත් බුග් ගාලා කටේ දාගෙන එතනම තිබ්බ ස්නැක්ස් වගේකුත් කාලා හිමීට එතනින් ගියා. 

මෙන්න ජුජුබ්ස් වගේකුත් බෙදනවා. කෑවොත් බඩේනෙ කියලා එයිනුත් කෑලි ටිකක් අරගෙන කෑවා. සමහරු නම් අපි සාම්පල් කාලා හරි ප්‍රඩක්ට් එක දිහා ඇහැක් වත් ඇරලා බලන්නැතුව එනකොට නම් මුන්ට දුන්නු අපරාදෙ වගේ මූණ බලාගෙන ඉන්නවා. 

එඩ්නා එකෙන් චොක්ලට් ස්ටෝල් එකක් දාලා තිබ්බා. 10%ක වට්ටමකුත් ලැබෙනවා. මෙතනින් නම් ලේසියෙන් මාව හොලවන්න ලැබෙන්නෑ කියලා දන්න සජිතුත් කිව්වා ඕනෙ නම් චොක්ලට් එකක් ගන්න කියලා. මාත් පැනපු ගමන් ඩාක් චොක්ලට් එකක් බදාගත්තා.


ඒ පාර එතන හිටපු ගෑණු ළමයෙක් කිව්වා රුපියල් 300කට වඩා වැඩියෙන් චොක්ලට් ගත්තොත් තෑග්ගක් හම්බවෙනවා කියලා. ඩාක් චොක්ලට් එක 200යි. 300ට හරි යන්න කැෂූ නට් චොක්ලට් එකකුත් ගත්තා. නොමිලේ තව මිල්ක් චොක්ලට් එකකුත් හම්බුණා. තුණ්ඩු දාපු පෙට්ටියක් දික් කරලා තුණ්ඩුවක් ගන්න කිව්වා. ටිෂූ පැකට්, මග්, කැප්, ටී ෂර්ට්, බෑග් අතරින් මගෙ තුණ්ඩුවට තිබ්බෙ තඩි කුඩයක්. ඒකට නම් සතුටුයි. තෑග්ග නම් සජිත් එයා සතු කරගත්තා. මට චොක්ලට් ටික මදෑ.

තව තැනක ගෑණු ළමයෙක් කෝපි කුඩු එකක් විකුණනවා. සාම්පල් කෝපි තිබුණා. ඒක නම් රසයි. යමින් එමින් ගමන් තුනක්ම බිවුවා. අන්තිමට මුකුත් නොගත්තොත් ලැජ්ජාව නිසා සල්ලි දීලා පැකට් දෙකක් ගත්තා. 

වේලපු එළවලු පළතුරු වර්ග ස්ටෝල් එකක් තිබ්බා. ඒවා නම් අපනයන තත්වයේ හොඳ නිෂ්පාදන. වරකා, අන්නාසි කොමඩු ඉඳන් වේලලා. 

තව ස්ටෝල් එකක මොනාද බදිනවා. දික් කරාට අපිත් ගත්තා. ඇති රසකුත් නෑ. නමක් දන්නෙත් නෑ. බඩටනෙ කියලා ඒකත් ගිල දැම්මා.

මෙන්න ටික දුරක් යද්දි වටිනා කියන ස්ටෝල් එකක් හම්බුණා. වයින් ස්ටෝල් එකක්. 

මර්ලොට් වර්ග, වයින් වර්ග ලස්සන බෝතල් වල දාලා අපි දිහා බලලා අත වනනවා. මේ දවස් වල බජට් ප්ලෑන් අනුව වැඩ කරන නිසා දුකෙන් නමුත් අහක බලාගෙන ආවා. 

තව තැනක දොන් ශර්මන් චිකන් කරියක් හදන හැටි උගන්නනවා. එතනත් චුට්ටක් කැරකිලා යනකොට පැස්ටා වගයක් තව තැනකින් හම්බුණා. අලිගැටපේර එකකුත් බීලා අපි දෙන්නා එලියට බැස්සා. කොච්චර උනත් මැගී ලොරියෙන් නූඩ්ල්ස් එකක් නොකා කොහොමද. ඒකත් දෙසාබාලා අපි දෙන්නා ප්‍රදර්ශනයෙන් පිට උනේ බඩත් පුරෝගෙන, හිතත් පුරෝගෙන.

කාලෙකින් තෘප්තිමත් සෙනසුරාදාවක් ලැබුණා. හවස් වෙද්දි කාපු බීපුවට බඩේ අමාරුවක්වත් හැදෙයිදෝ කියලා හිතුනට කිසි ආපදාවක් නැතුව කෙලින් කටින් හිටියා.
Related Posts Plugin for WordPress, Blogger...