Pages

Thursday, March 31, 2011

තෝ නැතුව මං මළා...

මං පුංචි සන්දියෙ කාලයක් පුන්නි එක්ක ගෙවුනා වගේ තව කාලයක් ගෙවුනෙ සීයා එක්ක. අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල් කරපු නිසා එයාලා වැඩට ගිහින් එනකල් සීයා එක්ක තමා සෙල්ලම් කර කර ඉන්නෙ.

මට අදටත් මතකයි සීයට පුළුවන් කට හොල්ලන්නෙ නැතුව උගුරෙන් කතා කරන්න. සමහර වෙලාවට සීයා ඔහොම මොනාහරි කියලා මාව බය කරනවා ඔන්න කවුද කතා කරා කියලා.

කොච්චර කරත් සීයගෙ අත් ඇරව ගන්න බැරි එක පුරුද්දක් තිබුණා. ඒ තමයි බීඩි බොන එක. එයා බීඩි වලට පුදුම ආසාවක් තිබුණෙ. ඒත් තාත්තවත් ආච්චිවත් බීඩි බොන්න දෙන්නෙ නෑ. මොකද සීයා හිටපු ගමන් ඉස්පිරිතාලෙ ගෙනියන්න තරම් ලෙඩ වෙනවා. එතකොට ඉතින් බයටම කාලයක් යනකල් බීඩි දිහා බලන්නෙවත් නැතුව ඉන්න සීයා ඔන්න ආයෙමත් පටන් ගන්නවා පුරුද්ද.

සීයා බීඩි බොන්නෙ ගෙයි පිළිකන්නෙ ඉඳගෙන. සරම අර පුංචි උන්ට ඔංචිල්ලා පදින්න පුලුවන් විදිහට දිග ඇරගෙන තමා ඉඳගන්නෙ. බීඩි ගඳ දැනිලා කවුරු හරි එන සද්දයක් එනකොට සීය පටස් ගාලා බීඩිය සරමට දාගන්නවා. එතකොට සීයගෙ කටේ බීඩිය නෑනෙ. ඊළඟට අර ආපු එක්කෙනා ගියාට පස්සෙ සරමට දාපු බීඩිය අරගෙන ආයෙත් බොනවා. ඔය හන්දා සීයගෙ සරම් තැනින් තැන පිච්චිලා හිල් වෙලා තිබුණේ.

සීයා කොච්චර බීඩි වලට ආදරේද කියනවා නම් එක දවසක් අපේ තාත්තා සීයගෙ බීඩි මිටියක් අරගෙන ගිහින් ලිපට දැම්මා. සීයට හොඳටම තරහ ගිහින් තාත්තට කිව්වා මීට වඩා හොඳයි උඹ මාව මැරුවනම් කියලා. කොච්චර බැන්නත් ඒ පුරුද්ද නම් අත ඇරව ගන්නම බැරි උනා. අන්තිමට සීයා නැති උනෙත් ඔය බීඩි ඉරිල්ල හන්දම තමා.

සීයා ඉස්සර වැඩ කරලා තිබුණෙ වාරිමාර්ගෙ රියදුරෙක් විදිහට. ඒ හන්දා සීයට මාසයක් ගානෙ පෙන්ෂන් හම්බුණා. පෙන්ෂන් දවසට අපිටත් හරි වාසියි. මම ආසම සීයා ගෙනත් දෙන අර හිනා බිස්කට් වලටයි පාට පාට ජිල් බෝල වලටයි තමා.

සීයගෙ හිතේ අපි වෙනුවෙන් තිබුණෙ නිහඬ ආදරයක්. ආදරෙයි කියල දන්නවා. ඒත් එයා ඒක පෙන්නන්නෙ නෑ. සීයා එක්ක ගෙවිච්ච මගෙ පුංචි කාලෙ සිද්ධ වුණු එක සිද්ධියකින් ඔහු කොච්චර ආදරයක් අපි වෙනුවෙන් හිරකරගෙන හිටියද කියල මම දැන ගත්තා.

මම කලිනුත් කිව්වනෙ අම්මලා වැඩට ගිහින් එනකල් සෙල්ලම් කරන්නෙ අපි සීයා එක්ක කියලා. එහෙම සෙල්ලම් කරද්දි සීයා කවදාවත් අපිට එයාගෙ දෑස මානෙන් යන්න දෙන්නෙ නෑ. එයාට පේන තැනක තමා ඉන්න ඕනෙ. අපේ ගෙදර පිටිපස්සෙ ලොකු හබරල ගාලක් තිබුණා ඒ කාලෙ.


එක දවසක් සීයා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා මම ඒ හබරල ගාල අස්සෙ සෙල්ලම් කරන්න ගත්ත වාඩි වෙලා. හබරල කොළ ලොකු හින්දා කාටවත් මාව පේන්නෙ නෑ. අපේ සීය ආපහු එනකොට මම නෑ. සීයා හැම තැනම හොයලා අහල පහල ගෙවල් වලත් බලලා. වෙන දෙයක් නෙමේ ළිං වලත් බලලා මම වැටිලද කියලා. අන්තිමට මාව හොයා ගත්තා හබරල ගාලෙ ඉඳලා.

එලියට ආවා විතරයි සීය මට හොඳවැයින් පාරක් ගැහුවා. ඊට පස්සෙ සීයා අඬාගෙන පුටුවකට වැටුනා "තෝ නැතුව මං මළා" කියලා.

සීයගෙ හිතේ තිබුණු ආදරේ හරියටම මට එදා දැනුනෙ. සීය නැති වෙලා අවුරුදු ගානක් ගියත් මගෙ හිතේ ඔහු ගැන තිබුණු ආදරේ ගෞරවය එහෙම්මමයි. ඔහුගෙ නිහඬ ආදරේ පාලුව මට තාම දැනෙනවා.


Wednesday, March 30, 2011

වෙන්ව යන්නේ කොහොම


නෙතු පියලි අග රුවට
කඳුළු මල් පිපුණාට
මුදු ඇඟිලි තුඩු අගින්
අතට ගන්නේ කෝම..

සවන් පෙති අගට කර
විහඟ ගී ගැයුවාට
ඔබෙන් වෙන් වෙලා මා
දුරක යන්නේ කෝම..

ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
මල් සුවඳ සේ නොයිඳ
වෙන්ව යන්නේ කෝම..

Sunday, March 27, 2011

දයාබර අක්කාට...


පුංචි තරු නෙත්
කඳුළු තුළ කිමිද
සොයයි නුඹ ගැන
නෙතු මායිමෙන්
එහා නුඹ..

නුඹ උපන් දවස අද

අපි ළඟින් නැති උනත්
ලේ මස් නහර පසා කළ
අපේ සහෝදරකම
නුඹ ලඟින් තනි රකීවි
මං වෙනුවට..

පුංචියට හුරුබුහුටියට
අපේ කොට ඩයල් එක
තරහද මා එක්ක
නැහැ නේද..

හුඟක් දුර ඉඳන් හමන
ඔය සුළඟෙන් අහන්න
නුඹේ උපන්දින සුභපැතුම මම
සුළං රැළක අමුණා
නුඹ ඉසව්වට පා කළ බව
සුළඟම නැවතී
කියාවි නුඹට..

Thursday, March 24, 2011

කඳුළු බිංදු


උඹ
ඉන්නකල්
හොඳයි
මට
අඬා වැළපී හෝ
මියැදී
හිත
හදා ගන්නට..

Wednesday, March 23, 2011

දොයි.. බබා.. දොයි..



අපේ පුන්නි ගැන මම කලින් දාපු පෝස්ට් එක ඔයාලා කියවන්න ඇති. පුන්නි කියන්නෙ අපි පුංචි අම්මට ආදරේට කියපු නම. අම්මයි තාත්තයි වැඩට ගියාම පුන්චි කාලෙ අපිව බලාගෙන තියෙන්නෙ අපේ පුන්නි තමයි.

මායි අක්කයි අතර වයස පරතරය අවුරුද්දයි. දෙන්නම එක වයසෙ වගේ හින්දා ටිකක් අමාරුයිලු බලාගන්න. ඒත් පුන්නි අපිව බලාගන්න එක කැමැත්තෙන්ම බාර අරගෙන තිබුණා.

ඒ කාලෙ මට අවුරුද්දක් වගේ වයසලු. ඉතින් අපේ අක්කට අවුරුදු දෙකක් ඇති. අම්මා වැඩට යන්න කලින් කිරි එහෙම හදල තියලලු යන්නෙ.

ම්මල ගියපු ගමන් අපේ පුන්නි කරන්නෙ අපි දෙන්නටම හදල ගියපු කිරි පොවන එක. බංඩි ගෙඩිය ලොකු වෙනකල්ම කිරි පෙව්වට පස්සෙ දෙන්නව දෙපාරකට කකුලෙ දාලා නලවලා නිදි කරනවාලු. ඔන්න නිදාගෙන චුට්ටක් ඇහැරීගෙන එද්දි ආයෙත් නලවලා නිදි කරනවා. දවල් වෙනකල් නිදාගෙන ආයෙ ඇහැරෙද්දි අයෙමත් කිරි පොවලා අර වගේම නිදි කරවනවා.

කොහොම හරි මායි අක්කයි අම්මලා වැඩ ඇරිලා එනකල්ම නිදිලු හොඳටම. ඇහැරුණත් මත් වෙලා වගේ එහෙට මෙහෙට වැටෙනවලු. ඇස් දෙක ඇරෙන්නෙත් බාගෙට.

ඒ මදිවට රෑට අපි දෙන්නම ඇහැරගෙන මරහඬ දෙනවාලු. ඇයි ඉතින් දවල් දවසෙ නිදාගෙන හොඳටම රෑට මොන නින්දක්ද?

අන්තිමට අම්මා පුන්නිට කිව්වලු මුන්ව මෙහෙම නිදි කරවන්න එපා බං මුන්ට වෙනම ලෙඩක් හැදෙයි කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පුන්නි අපිව දොයි කරේ.

Monday, March 21, 2011

මාළු ඇඹුල් තියල් කාලා ඇති වෙලාද? එන්න මාළු සම්බෝල කන්න


අපි සාමාන්‍යයෙන් මාළු උයන්නෙ එක්කො මිරිසට එහෙම නැත්තන් ඇඹුල් තියල්. බෝඩිමක තනියෙන් උයාගෙන කනකොට ගොරකා තුනපහ අඹරලා ඇඹුල් තියල් හදන්න නම් ටිකක් අමාරුයි නේද? මාළු වලින් හදාගන්න පුළුවන් ලේසිම ලේසි කෑමක් කියල දෙන්නද? මේක අපේ අම්මගෙන් ඉගෙනගත්තු රෙසිපි එකක්. එන්න මාළු සම්බෝල කන්න.

මේකට අවශ්‍ය දේවල් හරි පොඩ්ඩයි. ඔය පහළ තියෙන පින්තූරෙ විදිහට ලූණු, තක්කාලි, අමු මිරිස්, කරපිංචා පොඩියට කපාගන්න. දෙහි බෑයකුත් ලෑස්ති කරගන්න. ඊට අමතරව ගම්මිරිස් කුඩු ටිකක් සහ රස අනුව ලුණු කුඩු ටිකක් ගන්න.


මම මාළු සම්බෝල හදන්න ගන්නෙ නම් වැව් මාළු තමා. මූදු මාළු වලිනුත් හදන්න පුළුවන් වෙයි. මම හදල නම් නෑ.

මාළු කෑලි ටිකක් අරගෙන භාජනයකට දාලා ඒකට කහ සහ ලුණු මිශ්‍ර වතුර ටිකක් දාලාලිපේ තියලා හොඳින් තම්බා ගන්න. දැන් මාළු ටික තැම්බුණාට පස්සෙ පොඩ්ඩක් නිවෙන්න තියලා කටු ඇරලා පොඩිවට කෑලි කඩා ගන්න.

දැන් කලින් කලින් ලෑස්ති කරගත්තු ලූණු, තක්කාලි, අමු මිරිස්, කරපිංචා, ලුණු සහ ගම්මිරිස් ටික අර පොඩිවට කඩාගත්තු මාළු එක්ක අනාගන්න. දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරගන්න.

හ්ම්ම්.. දැන් බලන්නකො රස....


Monday, March 14, 2011

ඉබ්බා ගිනි ලෑම


ඩෙංගු මර්දනයට වතු සුද්ධ කරන්න කියපු කාලෙ වෙච්ච වැඩක් තමා මේක. අපේ වත්ත පිටිපස්සෙත් සෑහෙන්න උසට තණකොළ එහෙම වැවිලා තිබුණා. හවසක ගෙදර කට්ටියවම අල්ලගෙන දැන් වත්ත සුද්ධ කරන්නයි ලෑස්තිය.

දන්නවනෙ ඉතින් අපි ඉන්න පළාතෙ හැටියට සෑහෙන්න සර්පයො එහෙම වතුවල ඉන්නවා. තාත්තා කලින්ම කියලයි තිබුණෙ නයි පොළොන්ගු ඇති පරිස්සමට කියලා. දැන් ඉතින් වත්ත සුද්ධ කරාට ඕකම තමා හිතේ.

උදළු ගාලා විසි කැති ගහලා ගොඩ ගහපු තණකොළ ගොඩකුත් පැත්තක දාලා තිබුණා සුද්ධ කරලා ඉවර උනාට පස්සෙ ගිනි තියන්න.

මම එක පාරටම දැක්කා ඒ තණකොළ ගොඩ අස්සෙන් නයෙක් ඔලුව දානවා. මම තාත්තාට කෑ ගහලා කිව්වා.

ඒ පාර තාත්තාත් කලබල වෙලා තණකොල ගොඩට එක පැත්තකින් ගිනි තිබ්බා. එතකොට නයා රස්නෙට යනවනෙ.

මෙන්න බොලේ මෙච්චර ගිනි තියල තියෙද්දිත් මූට වගක් නෑ හිමීට හිමීට යනවා. මොකක් හරි අවුලක් වගේ දැනිච්ච හන්දා තාත්තා ළඟට ගිහින් බලනකොට තමා ඇත්ත තේරුණේ.

මම නයෙක්ගෙ ඔලුවක් වගේ දැක්කට ඒ ඉබ්බෙක්. ඉබ්බා කට්ටෙන් ඔලුව එලියට දාගෙන ඉන්නකොට තමා මම නයෙක් වගේ ඌව දැකලා තියෙන්නෙ.

ඒ පාර ඉතින් තාත්තා මටත් බැනලා ගින්න නිවලා දැම්මා. තව පොඩ්ඩෙන් ඉබ්බෙක් පණ පිටින් පුච්චනවා අපි එකතු වෙලා.

Friday, March 4, 2011

නුඹ වෙනුවෙන් මගේ ආදරය


තුන් පිටකයේම උනත්
ලියල ඉවරකරන්න බැරි

නිර්වාණය වගේ

ලොවුතුරු හැඟුමක් දනවන

භාවනාවක් තරමට
හිත එකත්පස් කරවන
'ආදරය'
කවමදාකවත්

මිය ඇදෙන්නෙ නම් නෑ

සත්තයි.
..
නුඹ වෙනුවෙන්

අද වගේම

සංසාරේ හැමදාමත්

රැඳේවි මගේ

'ආදරය'

වෙහෙරක තරම්

පරිස්සමට...

Wednesday, March 2, 2011

මෙන්න ගිනිගන්නෝ....


ඔයාලට මතකද දන්නෑ දැනට අවුරුදු ගානකට කලින් එක දිගට පැය ගණන් තිස්සෙ ලයිට් කපපු කාලයක් තිබුණා. ඔන්න ඔය කාලෙ අපිට ගණිතය විෂයට නයිට් ක්ලාස් එකක් දාලා තිබ්බා. මතක විදිහට හවස පහේ ඉඳන් රෑ අට වෙනකල් තිබිච්ච ක්ලාස් එකක්.

ක්ලාස් එක තියෙන සමහර දවස් වලට කරන්ට් එක නෑ. එතකොට ඉටිපන්දම් පත්තු කරගෙන තමා ක්ලාස් කරේ.

මේ කියන දවසෙත් කරන්ට් එක නැති හන්දා අපි ඉටිපන්දම් පත්තු කරගත්තා. ඒ කාලෙ මට තිබුණෙ ටිකක් පිම්බිච්ච කොණ්ඩයක්. කොණ්ඩෙ එක මිටකට කරලා පෝනි ටේල් දාලා තමා ක්ලාස් යන්නෙ.

ක්ලාස් එක පටන් අරගෙන සර් උගන්නනවා. ගණිතය ඉතින් මගේ ( අ)ප්‍රියතම විෂයනෙ. දෙකයි දෙකයි එකතු කලාම හතරද පහද කියල ෂුවර් නැති තත්වෙක තමා මගෙ ගණිතය දැනුම තිබුණේ. ඉතින් මාත් අහස පොළොව ගැට ගගහ සර් දීපු ගානක් හද හද හිටියේ.

එක පාරට පන්තියෙ ළමයි කෑ ගහනවා ඇහුනා අයියෝ ගිනිගන්නවා අනේ ඉක්මනට නිවන්න කියලා. මම වටපිට බලනවා මට ගින්නක් පේන්නෙ නෑ. ඒ අස්සෙ සර් මගෙ දිහාවට අත දික් කර කර අයියෝ නිවන්න නිවන්න කියනවා. එතකොට තමා මට දෙයියො සිහි උනේ.

මගේ අක්බඹරු වගේ තිබිච්ච කපුටු කූඩ කොණ්ඩෙට ගිනි ඇවිළිලා. පිටිපස්සෙ පේළියෙ ළමයෙක්ගෙ අතින් ඉටිපන්දමක් පෙරළිලා.

බොරු කියන්නෙ මොකටද එදා නම් මම හොඳටම බය උනා. පිටිපස්සෙ පේළිවල ළමයි පොත් වලින් ගහල ගහල තමා ගින්න නිව්වෙ. එච්චර ගොඩක් පිච්චිලා නෑ කට්ටිය දැකපු හින්දා. අපෝ ඊට පස්සෙ පන්තියම පුළුටු ගඳයි. කාටවත් දැනිලා තියෙනවද කොණ්ඩෙ පිච්චුනාම එන අමුතු ගඳ? කොහොම හරි කට්ටිය මුලින්ම දැකපු නිසා වෙන්න ගියපු ලොකු අනතුරක් නැවතුනා.

කොහොමින් හරි එදා ක්ලාස් එකත් එතනින් නතර උනා. එදා නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක්. පන්තියෙ ළමයි නම් උන්ට ඒක අමතක වෙනකල්ම මට මඩ ප්‍රහාර දියත් කළා අතිනුත් දාලා.
Related Posts Plugin for WordPress, Blogger...