Pages

Monday, May 30, 2011

තාත්තගෙ ආඩම්බරය

මේ දවස් වල අපේ තාත්තා හරිම ආඩම්බරෙන්. හේතුව කාලෙක ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ඨ කරගත්ත එකලු. ඒක තමයි එලවළු කොරටුවක් වවා ගන්න එක. තාත්තගෙ ප්‍රධාන වෘත්තිය ගොවිතැන නෙමෙයි. ඒත් ඒක තමයි එයාගෙ ප්‍රධාන විනෝදාංශය.

දැන් කාලෙක ඉඳන් තාත්තා එක එක ජාතියෙ එළවළු ඇට ගෙනත් හිටවනවා. එයා ඒවා හදන්නෙ පොලිසැක් බෑග් වල. ඒ හින්දා අපේ පළාත් වල හැදෙන්න හිතන්නෙවත් නැති එළවළු ජාති හැදෙනවා.

ඔය පහලින් තියෙන්නෙ මස් මෑ කියන ජාතිය. මෑ කරල්ම තමා ඒත් සාමාන්‍ය ඒවට වඩා ටිකක් ලොකුයි.



කොහෙන්ද මන්දන්නෑ හොයාගෙන අත්හදා බැලීම සඳහා ඩ්‍රැගන් ෆෘට් පැලේකුත් හිටවලා. තාම ගෙඩි නම් හැදුනෙ නෑ.



අසමෝදගම් කොළ සම්බෝල කාලා තියෙනවද? අපෝ අපේ ගෙදර මේ දවස් වල එපා වෙනකල්ම හදන්නෙ මේ සම්බෝලෙ තමා. මට නම් එපෝ..



අතු ගෝවා මෙන්න. ගෝවා කොළ මැල්ලුම් හදන්නෙ මේවාගෙන් තමා.



බීට් රූට් හෙවත් රතු අල. තාම චූටි පැළ. අල බැහැලා නෑ.



මේ තියෙන්නෙ කැරට් ගස්. අපේ පැති වල තියෙන අවුව සැර හින්දා කැරට් වැඩිය අල බහින්නෙ නෑ. ඒත් අඟල් තුනක් හතරක් දිගට හැදෙනවා. අපේ තාත්තා ඉතින් කැරට් කොළ වලිනුත් සම්බෝල හදනවා. ඒක නම් ඇත්තටම රසයි. ගොටුකොළ සම්බෝල රස එන්නෙ.



මේන් තක්කාලි. තාම ඉදිලා නෑ.



මේ තියෙන්නෙ බණ්ඩක්කා. ඒවාගෙ නම් කරල් හැදුනා ළඟදි. ඔය පැත්තකින් පැළ වලට සාත්තු කරන්නෙ අපේ තාත්තා ඈ..



මේ තියෙන්නෙ සලාද කොළ. පොඩ්ඩ ඇත්තන් වේලිලා මැරෙනවා. ඒත් නිතර උදේ හවා වතුර දාපුවාම ලස්සනට හැදෙනවා.



මේ තියෙන්නෙ වට්ටක්කා. මල් හැදිලා තියෙන්නෙ. චුට්ටි කාලෙකින් ගෙඩිත් හැදේවි.



මල් ගෝවා පැළ තමා මේ. තාම මල්ගෝවා හැදිලා නෑ. අපේ තාත්තගෙ මල්ගෝවා බැදුම මතකයිනෙ නේද? ඒවා හදන්න ගත්තෙත් වත්තෙ හැදිච්ච මල් ගෝවා.



ඔය පහළින් තියෙන්නෙ කංකුං. ම්... මම නම් කැමති කෑමක්. මේ පාර සෑහෙන ලොකුවට කොළ හැදුනා.


කොච්චර පරිස්සම් කරන්න හැදුවත් වඳුරන්ගෙන් තමා බේර ගන්න අමාරුම. අතට අහුවෙන හැම එකම කාලා දානවා. අයියෝ එතකොට උන් ගැන එන තරහ නම්..

ඉතින් මේ තමයි අපේ තාත්තා දුක් මහන්සියෙන් වවාගත්තු එළවළු කොරටුව. ආර්ථික ලාභයකට වඩා තාත්තා පුදුම මානසික තෘප්තියක් ලබන්නෙ මේ හින්දා.

Thursday, May 26, 2011

කැඩෙන්නම ගිය මගේ ආදරේ..


"කොච්චර උනත් ඒ නංගි පව්. මට මාර දුකයි. එයා නාස්ති වෙනවා."

දත් මිටි කකා මේ වචන මම අහගෙන හිටියෙ මගේම කොල්ල වෙන කෙල්ලෙක් ගැන කතා කරද්දි. ඇයි දෙයියනේ මොන කෙල්ලද කැමති තමන්ගෙ කොල්ලා ඕනෙවට වැඩිය වෙන කෙල්ලෙක් ගැන කතා කරද්දි.

සති ගානක් තිස්සෙ මේක මට මානසික වදයක් වෙලා තිබුණෙ.

සජිත් මේ කතා කරන්නෙ එයාට දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක් ගැන. උසස් පෙළ පන්ති වල එයා ඉන්නෙ. අපි එයාට මධූ කියමුකො.

මධූ හුඟක් පෝසත් පවුලක එකම දරුවා. පුංචි කාලෙ ඉඳලම සැප සම්පත් වල අඩුවක් නොතිබුණු ඈට දකින දකින ඕනෙම දෙයක් දෙමව්පියො අරන් දුන්නා. ඒ හින්දමද කොහෙද මධූට එයා අවට දේවල් ගැන හිතුණෙ අත පොවන තත්පරෙන් ලබාගන්න පුලුවන් දේවල් විදිහට.

සජිතුයි මධුයි පුංචි කාලෙ ඉඳන් එකට හැදුණු අය නෙමෙයි. ඒත් ටික කාලෙක ඉඳන් මධූලා සජිත්ලගෙ ගෙදර යනවා එනවා. සති අන්තෙට හිටපු ගමන් දෙගොල්ලො ගමන් බිමන් යනවා. මේ දේවල් හින්දා වෙන්න ඇති සජිතුයි මධුයි ටික ටික ළං උනා. ඒත් ඔය හැම දෙයක් ගැනම සජිත් මා එක්ක කියනවා.

සජිත් නරක කෙනෙක් නෙමෙයි. ඒත් එයත් පවුලෙ එකම දරුවා. හැමතිස්සෙම එයාට සහෝදර සහෝදරියන්ගෙ අඩුව ජීවිතේ තිබුණා. මධූ මොන හැඟීමකින් එයාට ළං උනත් සජිත්ට එයාව දැනුනෙ අලුතෙන් ජීවිතේට හම්බුණු සහෝදරියක් විදිහට. ඒක සජිත්ට අලුත් අත්දැකීමක් වෙන්න ඇති.

මධූට කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. දෙන්නා අතර නිතරම රණ්ඩු. එයාගෙ හිත දුක් වෙච්ච වෙලාවට අවුල් වෙච්ච වෙලාවට දුක කියන්න තෝරගෙන හිටියෙ සජිත්ව. මුලින් මුලින් මටත් ඒක ගානක් ගියේ නෑ. ඒත් මහ රෑත් සජිත්ගෙ ෆෝන් එක කෝල් වෙයිටින් වෙද්දියි මට මේ ප්‍රශ්නෙ බරක් පතලක් දැනෙන්න ගත්තෙ.

මධූ පොඩි දේටත් සජිත්ගෙ උදව් බලාපොරොත්තු වෙනවා. සජිත් මධූ ගැන වද වෙනවා. එයා නරක් වෙයි කියලා මාත් එක්ක දුක් වෙනවා.

අයියා කෙනෙක්ගෙ නංගි කෙනෙක්ගෙ සහෝදර ප්‍රේමයක් කියන්නෙ අරුමයක් නෙමෙයි මට. ඒත් පුංචි කෙල්ලෙක්ගෙ හුරතලයක් ගාව මගේ කොල්ලගෙ හිත හෙලවෙනවදෝ කියන බය මට තිබුණා. ඔව් මම දැඩි ඉරිසියාවකින් පෙළුණා.

මධූ සජිත් එක්ක එයාගෙ ජීවිතේ පෞද්ගලික ප්‍රශ්න ගැන කියන එක මට වැඩිය ඉවසගන්න පුලුවන් උනේ නෑ. එයා නංගි කෙනෙක්ගෙ සීමාව ඉක්මවාගෙන යනවා කියන එක මට දැනීගෙන ආවා.

මධූ නිසා කවදාවත් නොතිබිච්ච ප්‍රශ්න අපි අතරට ආවා. මම නූගත් ගෑණියෙක් වගේ රණ්ඩු කරා. දවස් ගණන් තරහ වෙලා හිටියා. එයා අහන්නෙම එයාට මධූව සහෝදරියක් වගේ දැනෙනවා නම් එතන තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියලා.

ඒත් තමන්ගෙම සහෝදරයෙක් එක්ක උනත් පැය ගණන් කතා කරද්දි, මාත් එක්ක එයා ගැන කියලා දුක් වෙද්දි ඔහුගෙම පෙම්වතිය විදිහට මගේ හිත නොරිදී තියේවිද? එයාගෙ අවධානය මගෙන් ඈතට යද්දි මට බයක් නොදැනී තියේවිද?

මම වැරදියි කියලා මේක බලන අයට හිතෙනවා ඇති. ඒත් හිත ඇතුලෙ මාව පෙළන මේ ප්‍රශ්නය මට මානසික වධයක් වෙලා තිබුණෙ.

මේ හැම දෙයක්ම සිද්ද වෙනකොට මට තේරීගෙන ආවා මට වගේම සජිත්ටත් මධූව මානසික වධයක් බවට පත් වෙලා කියලා. සජිත් මධූට කතා නොකර හිටියත් එක දිගට මිස් කෝල් විස්සක් විතර මධූ දෙනවා. මැසේජ් දහයක් විතර එවනවා.

මෙහෙම වෙද්දි මට තේරුණා මමත් සජිත්ට චෝදනා කර කර කරච්චලයක් උනා මිසක් එයාට අස්වැසිල්ලක් වෙන්න ඕනෙ වෙලාවෙදි ළඟින් හිටියෙ නෑ නේද කියලා. මට කොහෙවත් ඉන්න කෙනෙක් නිසා මගෙ ආදරේ නැති කර ගන්න ඕනෙ උනේ නෑ.

ඉතින් මම සෑහෙන්න හිතලා තීරණයක් ගත්තා මධූට කතා කරනවා කියලා. ඒත් එයාට මට බනින්න බෑ. මොකද එයා සජිත්ගෙ නෑදෑයෙක්. අනිත් එක එයා දැනුවත්ව සජිත්ව මගෙන් ඈත් කරන්න හැදුවෙ නෑ.

ඒ නිසා මම මධූ එක්ක සහෝදරියක් විදිහට කතා කරා. මුලින් නම් එයා බයෙන් මා එක්ක කතා කරේ මම බනීවි කියලා. ඒත් මම එයාට කිව්වා සජිත්ගෙ අනුදැනුම ඇතුව මම කතා කරන්නෙ. සජිත්ට ඕනෙ මම ඔයාට ළං වෙනවටයි කියලා. ටික ටික එයාගෙ ප්‍රශ්න මට කියන විදිහට මම විශ්වාසෙ ඇති කර ගත්තා.

මම එයාට පැහැදිලිව කිව්වා "අයියා එක්ක ඔයා කතා කරන එක මට ප්‍රශ්නයක් නෙමෙයි නංගි. අයියා හැම දේම මට කියනවා. ඒත් ගෑණු ළමයෙක්ට පිරිමි ළමයෙක්ට ප්‍රශ්නයක් කියන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ. ඒ නිසා ඔයාගෙම අක්ක කෙනෙක් විදිහට මට ඕනෙම ප්‍රශ්නෙකදි කතා කරන්න" කියලා. එයත් ඒ දේ පිළිගත්තා.

මෙතෙන්දි මම කපටි කමෙන් මධූව ටික ටික සජිත්ගෙන් ඈත් කරා කිව්වොත් ඒක වැරැද්දක් නෑ. ඒත් මම ඒ හැම දෙයක්ම කරේ මගෙ ආදරේ රැකගන්න.

මධූ සජිත්ට ඉස්සර තරම් දැන් කතා කරන්නෙ නෑ. සජිත්ගෙත් අවුලක් නෑ මධූගෙ සහෝදරකම නැති නොවුණු නිසා. එයාට ජීවිතේ අඩුවක් වෙලා තිබ්බ සහෝදරකම ලැබේවි ඉස්සරහටත්.

මධූ දැන් ඕනෙම ප්‍රශ්නෙකදි මට කතා කරන්නෙ. අක්ක කෙනෙක් වගේ මම එයාට හරි වැරැද්ද කියලා දෙනවා.

ඉස්කෝලෙ යන පොඩි කෙල්ලන්ගෙ හිත් බොළඳයි. ඒත් ඒවා තේරුම් ගන්න අමාරු නෑ. ඒ හින්දා නරකට යොමු වෙනකොට ගලවගන්නත් ලේසියි. මධූ හුඟක් වෙලාවට අපි අතරට එන්න ඇත්තෙ නොදැනුවත් කම නිසා වෙන්න ඇති.

මොනදේ උනත් කැඩෙන්නම ගිය අපේ ආදරේ රැකගන්න පුළුවන් වෙච්ච එක ගැන නම් මගෙ හිතේ පුංචි ආඩම්බරයක් නැතුව නෙමෙයි.

Monday, May 23, 2011

අවුරුද්දකුත් ගෙවිලා ගිහින්.. කේක් ඕනෙද?


පිණිබිඳු කියලා පටන් ගත්තු බ්ලොග් එකට මටත් නොදැනීම අවුරුද්දකුත් ගෙවිලා ගිහින්.

මුලදි මම මේක පටන් ගත්තෙ මගේ පරණ කවි පොත් වල කුරුටු ගාලා තිබ්බ කවි දාන්න විතරයි. ඒත් ටික කාලයක් යද්දි ටික ටික යාලුවො එකතු වෙද්දි මේ බ්ලොග් එක මගේ ජීවිතේම කොටසක් උනා.

දවසේ වැඩි වෙලාවක් ගෙවෙන්නෙ බ්ලොග් එකත් එක්ක කිව්වොත් වැරද්දක් නෙමෙයි.


මෙච්චර දුරක් එන්න මට තනියම පුලුවන් කමක් නෑ. අනිවාර්යයෙන්ම මගේ පෝස්ට් බලලා ඒවට කමෙන්ට් කරන ඔයාලා නිසා තමයි මම මෙච්චර දුරක් ආවෙ.

ඇහින් නොදැක අකුරු වලින්ම අඳුන ගත්ත හුඟක් සමීප ආදරණීය ඔබ සැමට හදවතින්ම ස්තූති කරන්න ඕනෙ.

ජීවිතේ කවදාවත් හිතුවෙ නෑ ඇස් මානෙන් එහා ගිය යාලුකමක් ලැබෙයි කියලා. ඒ සහෝදරකම හැමදාම මගේ හිතේ තියේවි.

ඉතින් මගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන වෙලාවෙ ඔයාලා අමතක කරන්නෙ කොහොමද?

කේක් කෑල්ලක් කාලා යන්න එන්න හොඳේ.

Thursday, May 19, 2011

සුභ ගමන්.. ඉලංදාරියා..


හුඟක් කාලෙක ඉඳන් ලියූ කවි පද වලට දාපු කමෙන්ට් වලින් හඳුනගත්තු නුඹ ඉන්නෙ ලෝකය නෑසෙන නිෂ්ශබ්දතායවක කියලා මම හිතන් හිටියෙ නෑ..

ඒත් නුබේ දෙසවන බ්ලොග් අවකාශයම එකතු කරපු එක්තරා අධිෂ්ඨානයක් උනා..

අපි නුඹ වටා පවුරක් බැන්දා බලාපොරොත්තු හිත දරාගෙන..

ඒත් මෙහෙම නුඹ නොඑන්නටම යාවි කියලා අපි හිතුවෙත් නෑ..

නුඹත් හිතන්නට නෑ..

නුඹ බොහෝ සුවඳ මලක් ඉක්මනට පරවුණු..

නොගිහින්ම බැරි ගමන නුඹ යන්නට ගොස් ඇත..

ඉතින් සොයුර.. නුඹට නිවන් සුව..

Wednesday, May 18, 2011

වෙසක් නිවාඩුව

වෙසක් නිවාඩුවත් ගෙවිලා ගියා. බෝඩිං කාමරේක හිරවෙලා ඉන්නකොට ඔරලෝසුවෙ කටු පුදුම තරම් හෙමින් කරකැවෙන්නෙ. ඒකටත් එක්ක ගෙදර ගියාම ඔරලෝසුවට අස්ප කුලප්පුවක් තියෙන්නෙ. සුටුස් ගාලා දවස් පහක් ගෙවිලා ගිය ඉක්මන.

මේ පාර නම් අම්මට අඬලා අඬලා නාරං කැවුම් හදාගත්තා. කැවිලි කන්න අවුරුදු එනකල්ම ඉන්න ඕනෙයැ. නාරං කැවුම් අම්මා හදන්නෙ එයාටම විශේෂ වෙච්ච රෙසිපි එකකට. වෙන පෝස්ට් එකක මම ඒ ගැන දාන්නම්කො වෙනද වගේම පින්තූර සහිතව.

වෙසක් දවසෙ උදේ ඉඳන්ම කූඩුව අලවන්න පටන් ගත්තා. තාත්තා කඩේ යනකොට කහපාට සව්කොළ ගේන්න කියපුවාම මෙන්න කහපාට කොළ නෑ කියලා තද නිල් පාට සව්කොළ ගෙනත්. අපොයි. මොනා කරන්නද. ගෙනාපු සුදු කොළ වගේකුත් තිබ්බා. ඉතින් සුදු පාටින් කූඩුව අලවලා නිල් පාටින් කැටයමක් කපලා ඇලෙව්වා. රැළිත් නිල් පාටින් දැම්මා. ජීවිතේ පළවෙනි පාරට තමයි සුදුයි නිලුයි වෙසක් කූඩුවක් හැදුවේ.


මේ පාර වෙසක් එකට අඩියෙන් අඩිය එක එක දන්සැල්. දන්සැලක් අත අරින්නෙ කොහොමද. මඤ්ඤොක්කා දන්සැල්, කඩල දන්සැල්, පාන් හා සීනිසම්බල් දන්සැල්, අයිස්ක්‍රීම් දන්සැල්, සුප් දන්සැල්, කල් කිරි දන්සැල්. පිස්සු හැදෙනවා. බත් දන්සැලකට තමා යන්න බැරි උනේ. කොහෙද කිට්ටු වෙන්නවත් බෑ සෙනඟ.

මේ සැරේ අපේ ගමේ කට්ටිය එකතු වෙලා පාර දෙපැත්තෙ පහන් පත්තු කරන්න සූදානම් කරලා තිබුණා. එක ගෙදරකින් පහන් විස්සක්. කෙසෙල් කොට පොඩිවට කපලා ඒවා උඩ තමා පහන් පත්තු කරන්නෙ. අපිත් ගෙදර වෙසක් කූඩු බකට් එහෙම පත්තු කරලා පාරට ගියා ගමේ කට්ටියට එකතු වෙන්න. මට නම් ගමේ හුඟක් අය සෑහෙන කාලෙකින් තමා හම්බ උනේ.

එදිනෙදා නොදැක්කට නගරෙ ඉන්න හිනාවක් නැති කෘතිම මූණු වගේ නෙමෙයි මේ මිනිස්සුන්ගෙ නිරහංකාර ගමේ කම කොච්චර වටිනවද? පහන් සේරම පත්තු කරාට පස්සෙ තමා ඒකෙ ලස්සම දැක්කෙ. පහන් වල ලස්සනටත් වඩා ගමේ මිනිස්සු එකතු වෙලා වැඩක් කරපු එකේ සතුට හැමෝටම දැනිලා තිබුණේ.




මේ ඔක්කොම වැඩ ඉවර වෙලා රෑ අපි ගල්විහාරෙ ගියා. සෙනඟ සෑහෙන්න. ඒත් ඒ පිළිම පාමුල පුදුම තරම් සැනසීමක් මට හැමදාමත් දැනෙනවා. අනිත් එක දවල්ට වගේ නෙමෙයි, ගල් විහාරෙ රෑට හරිම ලස්සනයි. ඔය පහලින් දාලා තියෙන්නෙ වෙසක් දවසෙ රෑ ගල්විහාරෙ ලස්සන.






ඉතින් ඔහොම තමා මගේ වෙසක් නිවාඩුව ගෙවිලා ගියේ. ආපහු බෝඩිමට එන්න කම්මැලියි. ඒත් මොනා කරන්නද. ජීවන සටන අරන් යන්නත් එපැයි. ආයෙමත් ඉතින් කැලන්ඩරේ එල්ලිලා රතු පාට වෙච්ච දවස් ගැන ගැන කාලෙ ගෙවනවා.

ප.ලි. කලින් පෝස්ට් එකේදි බ්ලොගර් එකේ තිබ්බ අවුල හන්දා මගේ අන්තිමට දාලා තිබ්බ කමෙන්ට් සෑහෙන්න ගොඩක් හොරු අරන් ගියා වගේ නැතිවෙලාම ගියා. අපරාදෙ. දුකේ බෑ.

Wednesday, May 11, 2011

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.. මිතුරු දම් විනා..


පොඩි දේට කඳුළු එන
ඔය ඇස්
මට දෙන්න
මම පරිස්සම් කරන්නම්..

මොකද
ඔය දිගටි ඇස් අද්දර
මට පෙනෙන්නෙ
මම හැමදාම ඉල්ලූ
දඟකාර දඩබ්බර
යාළුකම විතරයි...

ඒත්
නුඹේ හිත
දෙන්න එපා මට..
පරිස්සම් කරන්න බැරිවෙයි
ඔය ඇස් තරම්..

උහුලගන්න බෑ
නුබේ හිත මට
යාළුකම උතුරන
ඔය ඇස් තරමට..

Thursday, May 5, 2011

"ජාල" සහ රිදුණු හිත


දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක බඩපිස්සා වූ පොඩ්ඩාගේ ගෙවුණු ජීවිතයේ කිනම් හෝ මොහොතක් ඔබගේ මගේ ජීවිතයට සම්බන්ධ නොවෙතැයි කෙසේ කියන්නද? අසරණකම, දරිද්‍රතාවය, ධෛර්යය හා ධෛර්යය යටපත් කරගෙන නැවත නැග එන අසරණකම "ජාල" අපට කියා දෙයි.

කාලෙකට පසු මගේ සිත පිරී ඇත. ඒ හොඳ පොතක් කියවීමට ලැබුණු සතුටිනි. ජීවිතයේ ඕනෑම විටෙක අපි කැමති සුඛාන්ත වලටය. මුදුන්පත් වූ බලාපොරොත්තු සමඟ පැමිණෙන සතුටු අවසානයකටය. එහෙත් දුකද රසක් බව පොත කියවා අවසානයේ මා දැනගතිමි.


උපතින් ලැබුණු අඩු කුලය නිසා සිතින් දුක් විඳින මිනිසුන් මේ නවීකරණය වූ සුපිරි සමාජ ක්‍රමය තුළ නැතැයි කවරෙකුට කිව හැකිද? ගුණවත් බව නැණවත් බව කෙතරම් තිබුණද කාලකණ්නි කුල ක්‍රමයක් නිසා බිඳුණු සිතක් ඇති ධෛර්යවන්ත ජීවිතයක් "ජාල" තුළින් අපේ හදවතට කතා කරයි. සමානාත්මතාවය ඔලුව උඩ තබාගෙන කතාකරන අද සමාජය තුළ කුල භේදය මෙතරම් අප්‍රසන්න යථාර්තයක් බව මම කිසිදිනක නොසිතුවෙමි.

ඒ අප්‍රසන්න යථාර්තය "නිමල් විජේසිරි" නම් වූ ඒ අපූර්ව මිනිසා මේ කටුක අකුරු මත ඔප්පු කර ඇත. මේ නවකතාව කතුවරයාගේ ජීවිත කතාව දැයි මා නොදනිමි. එහෙත් ඔහුගේ වචන තුළ පණ ගැහෙන්නේ කොහේ හෝ ඇති සත්‍යක් බව නම් මම දනිමි. 2006 වසරේ ඩී. ආර්. විජේවර්ධන සම්මානයෙන්ද මෙය පිදුම් ලැබුවේ ඇත්තටම මෙහි අති සාහිත්‍ය වටිනාකම නිසාමය.

පොතෙහි පෙරවදනෙහි ඇති ඔහුගේම වචන බිඳක් මා පහළ සටහන් කරමි.

"දත යුත්තක් වේ නම් කුඩා දරුවෙකු අතින් වුවද අසා දත යුතු යයි උපහැරණ කතා කියමින් තාත්තා බත්පත අතට ගෙන අනුභවයට සැරසෙත්මැ කොලු වයසටත් වඩා නුපුළුවන් දෑ පුළුවන්දැයි බලන්නට රිළා දරුවන් විදුලි කම්බියේ නොපෙරළී යන්නා සේ දොරට දමන පොල්ල අතට ගෙනැ දබරඟිලි තුඩුවෙහි සිරස් කොට තනා වෙවුල වෙවුලා සමබර කරන්නට ගත් වෙහෙස නිෂ්පල වී මා අතින් ගිලිහුණු දොර පොල්ල තාත්තාගේ බත්පත මතට වැටී මැටි තලිය සුණු විසුණු වීයැ.

කෝපයෙන් දිලිසුණු රත් වූ යවටක් වැනි ඇස් ඇති තාත්තා,
"වන්නාටය, නුපුළුවන් දෑ කරන්නට වෙර ගනින් මයෙ හපනා" යි කියා අත වැකි ඉඳුල් සෝදාකුසගිනි ඉවසාගත් සැටි සිහියට නැගෙත් නැගෙත්ම අමුතු දෑ සිදුකොට හොඳ නරක අසා සිටින්නට පුරුදු වූ මට තාත්තා හැමදාමත් ආශිර්වාදයක් වූ අයුරු මතකයට නැගේ."

තනිකම මකා ගන්නට කියවන්නට සිතා අතට ගත් පොත නිසා මා සිත රිදවාගෙන සිටිමි. කියවාගෙන යනවිට දහ දොලොස් වතාවකට වඩා දෙනෙත් කඳුලින් පුරවා ගතිමි. එහෙත් මිතුර, අවසන දුක ද රසක් බව මා ඉඳුරා දැනගතිමි.

Tuesday, May 3, 2011

පරිස්සමින් දෝණි


දන්නවද
ඔය මල් සුන්දරයි තමයි
ඇත්තමයි
නුඹ වගේමයි..

බලාගෙනයි
සිරවී අතැඟිලි අතර
තැලී පොඩිවී
පෙති ගිලිහේවි බිමට..

පර මල් වල
කුමන අගයක්ද..

නුඹත් මට මලක්මයි

ඉතින් පරිස්සමින්..

Sunday, May 1, 2011

මොන විප්ලවද මල්ලියෙ අපිට


පොඩි එකා
කිරි කඳුළකට
රැහැයියෙක් වගේ
හුස්ම අල්ලන්
අඬනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..

මහ මිනිහා
කට ගොන්නක්
බීගෙන ඇවිත්
හැලිවලං
පොළවෙ ගහනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..

මැසිම පාගලා
හම්බුකොරන
තුට්ටු දෙකෙන්
දවස ගෙවාගන්න
දඟලනකොට
මොන විප්ලවද මල්ලියෙ අපිට..
Related Posts Plugin for WordPress, Blogger...