Pages

Wednesday, August 31, 2011

කාන්තාරයේ කුසුම


අපි අවාසනාවන්ත යැයි සිතමු. එහෙත් අපටත් වඩා අවාසනාවන්ත වූවෝ සිටිති. ඔවුහු කෙසේ හෝ ඔවුන්ගේ පාර සොයා ගනිති.

කාන්තාරයේ කුසුම - Desert Flower. කාලෙකින් කියවන්න ලැබුණු වටින පොතක්.

සිය ජීවිත අත්දැකීම් නිර්ව්‍යාජව දිග හරින වාරිස් ඩයිරි ඩයිරි ඉන් පළ කරනුයේ, සෝමාලියානු එඬේර කෙල්ලක් ජගත් විලාසිතා ලොව සුපිරි තාරකාවක් වීමේ විස්මයජනක කතන්දරය පමණක් නොවේ.

සොබාදහමින් එල්ල වන දුක් පීඩාවන්ට අමතරව ඔවුන් වට ඇති සමාජ හා සංස්කෘතික සංස්ථා විසින් පනවන වැටකඩොළු, විශේෂයෙන්ම ළදැරියන්ට කාන්තාවන්ට අත් විඳීමට සිදුව ඇති ලිංගික ම්ලේච්ඡත්වයද වාරිස් ඩයිරිගේ ජීවිත කතාන්දරය මගින් අප වෙත ඉදිරිපත් කර ඇත.


සෝමාලියාව ගැන කතා කරන විට අපට මැවෙන්නේ දේශපාලනික හා සාගතය වැනි අවුල් වියවුල් වලින් පිරුණු රටක් ලෙස පමණි. එහෙත් ඒ අවුල් වියවුල් මැද මෙවැනි අතිශය අනුවේදනීය කතා කොතෙකුත් තිබෙන්නට ඇත. වෙනසකට ඇත්තේ ඒ හිංසාවට ලක්වූවන් අතරින් තමන්ගේ කතාව කියන්නට ධෛර්යයක් තිබෙන්නට ඇත්තේ වාරිස් ඩයිරිට පමණක් වීමය.

පොතේ සමහර කොටස් සාවද්‍ය යැයි සිතෙන තරමට අප අත්විඳ ඇති සත්‍යයෙන් ඈතය. එහෙත් තිරිසනුන්ට අන්ත මිනිසුන්ද මහපොළොව මත සිටින වග ඇය පසක් කරවයි.


පරක් තෙරක් නොමැති කාන්තාරයේ එඬේර පවුලකට අයත් වාරිස්ව ඇගේ දහතුන් වෙනි වියේදී සිය පියා විසින් දෑවැද්ද වශයෙන් ඔටුවන් පස් දෙනෙක් හිලව්වට ගෙන අවුරුදු හැටපහක් පමණ වයසැති මහලු මිනිසෙකුට විවාහ කරදීමට සූදානම් වෙයි. එයින් බේරීමට ඈ එක් රාත්‍රියක නිවසින් පලා යයි.

කුසට අහරක් හෝ පිපාසයට දිය බිඳුවකදු
හෝ නොමැතිව දින ගණනක් කාන්තාරය හරහා යන ඇය අවසානයේ කෙසේ හෝ සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නගරයට සේන්දු වෙයි.

එතැනින් ලන්ඩනය හරහා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට යන ඇය ලෝකයේ පළමු පෙළේ විලාසිතා නිරූපිකාවක් වීම දක්වා මුහුණ දුන් විස්මයජනක අත්දැකීම් අපූරුවට මෙහි විස්තර කර ඇත.


නිරූපිකාවක් ගෙවන්නේ පහසු ජීවිතයකැයි අප සිතමු. ඒ මටසිලිටු කෝමල බව තුළ ගොරහැඬි කටුක අත්දැකීම් නැතැයි කාට කිව හැකිද. ඇය මේ විලාසිතා නිරූපණය තුළ ඇති යථාර්ථය කදිමට විස්තර කරන්නීය.

"ප්‍රසංගය පැවැත්වීමට නියමිත දින එය පටන්ගැනීමට පැය හතරකට පමණ පෙර ඔබ එම ස්ථානයට ගොස් සිටිය යුතුය. ඔබ රූපලාවන්‍ය කටයුතු මෙන්ම ඔබගේ හිස පීරා සකස් කිරීම වැනි දේවල් කර ගැනීමෙන් පසු තමන්ගේ වාරය එනතුරු බලා සිටිය යුතුව ඇත.

ඊළඟට ඔබට කළ යුතුව ඇත්තේ අදාළ පළමුවැනි ඇඳුම ඇඟ ලා ගැනීමය. එම ඇඳුම ඇඟ ලාගත් පසු ඔබට අසුනක වාඩිවීමට නොහැකිය. මන්ද ඇඳම පොඩි වීම ඊට හේතුවයි.
එහෙයින් ඔබ මුළු කාලයම සිටගෙන සිටිය යුතුය.

ප්‍රසංගය පටන් ගැනීමත් සමඟ වේදිකාව පිටුපස එකම පිස්සන් කොටුවක ස්වරූපයක් ගනී. ඉන්පසුව ඇත්තේ විනාඩි කීපයක් අමුත්තන් ඉදිරියේ ඇති වේදිකාව මත නියමිත ඇඳුම ඇඟලාගෙන වාදනය වන සංගීතයට අනුව වේදිකාව මත ඔබ මොබ ඇවිදීමය. එවැනි ප්‍රසංගයකට ගැළැපෙන අයුරින් ඔබගේ හිස පීරා ඇති අතර, සුදුසු රූපලාවන්‍යයෙන් ඔබව ඔපවත් කර ඇත.

ප්‍රසංගය සඳහා ඔබ ඇඳ සිටින ගවුම කෙතරම් වටින්නේද යත් සාමාන්‍ය ජීවිතයේදී එවැනි ගවුමක් මිලදී ගැනීම ගැන සිහිනෙන් හෝ සිතන්නට නොහැකිය. කෙසේ වී නමුදු විනාඩි කීපයකට ඒ ඇඳුම ඔබේය. එ මතු ද නොව ඔබගේ පෙනුම කෝටියක් වටින්නේය."


වාරිස් ඩයිරි හෙවත් මේ කාන්තාරයේ පීදුණු කුසුම අපට පසක් කරවන්නේ ජීවිතය ජයගැනීමට ආත්ම ශක්තියම පමණක් ප්‍රමාණවත් බව නොවේද.

Thursday, August 25, 2011

නිවෙන්න හිත


නුඹ ඇවිත්
හිතේ දුක
මට කිවුවොතින්

කැළණි විහාරය වගේ

හිත නිවන්න නම්

බැරි වේවි

ඒත්
රිදෙන හිත

සැනසෙනකල්ම

ළඟට වී

ඉන්න හැකි වේවි


කොයි තරම්
හැංගුවත්

ඔය හිත ඇතුලෙ තියන්

විඳවන දුක
ඔය ඇස් වලින්

මම දකින වග

අමතකද
නුඹට


Monday, August 22, 2011

ඇඩ්ඩිංගේ කෝල් ඇඩ් එක


ගීතික අයියා කියන්නෙ අපේ මාමගෙ ලොකු පුතා. මෙයා ගැන හොඳම නිර්වචනය දෙනවා නම් ඇඩ් දැමීම මුළු ජීවිතයේ එකම අරමුණ කරගත්තු කෙනෙක්. ඒ නිසා අපි ආදරේට ඇඩ්ඩිං කියලා කිව්වෙ.

මිනිහා සපත්තු දෙක දැම්මත් මූණ පේන තරමට පොලිෂ් කරලා දාන්නෙ. ෂර්ට් එකේ එක රැල්ලක් නෑ. කොණ්ඩෙ මුදු මුදු හදාගෙන ඉන්නෙ. ගමනක් යනකොට දාඩිය ගඳ පරයා යන්න සෙන්ට් නානවා. හික්ස්. එතකොට එයා දන්නෙ නෑ ඔය ගඳයි සුවඳයි දෙක එකතු වෙලා කුණු බිත්තර ගඳක් එනවා කියලා. කිව්වත් ඕකා ගණන් ගන්නවයැ.


ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලන්ට ඇඩ් දදා හිටියා මිසක් ඉගෙන ගැනීමක් තිබ්බෙම නෑ. බොහොම මහන්සි වෙලා ඒ ලෙවල් වලට ලයිට් කණු තුනක්ම හිටෙව්වා.

මැට්ටා කියලා මරන්නයැ. මාමා කොහොමහරි අඳුරන කෙනෙක්ගෙ මාර්ගෙන් ප්‍රයිවට් කම්පැණි එකක ජොබ් එකක් හොයලා දුන්නා. ඒකෙන් මහා ලොකු ගානක් නොලැබුණත් යන්තම් සෝබනේ මේන්ටේන් කරන්න පුලුවන් සැලකිය යුතු පඩියක් හම්බුණා.


ගිය මාසෙ පඩියෙන් ඇඩ්ඩිං අලුත් ෆෝන් එකක් අරගෙන. බොරු කියන්නෙ මොකටද. ෆෝන් එක නම් ලස්සනයි චයිනීස් උනත්. මුගෙ වැඩේ වැඩක් තිබුණත් නැතත් ෆෝන් එක එලියට අරගෙන වැඩ දාන එක තමා.

එක දවසක් කලබලෙන් මේකා මට කෝල් කරනවා.


ඇඩ්ඩිං: මේ ඕයි නංගි, මට හරියටම තව පැය බාගෙකින් කෝල් එකක් දෙනවකො.

මම: මොකටද?

ඇඩ්ඩිං: තමුසෙට ඒකෙ වගක් ඕනෙ නෑනෙ. කෝල් කරනවකො.

පස්සෙ දැනගත්ත විදිහට මෙහෙම සිද්ධියක් වෙලා තියෙන්නෙ. මේකාට ෆෝන් එක ගැන දාපු ඇඩ් මදි වෙලා. කට්ටියක්ම ඉන්න තැන ෆෝන් එක එලියට අදින්න තියෙනවා නම් කොච්චර ආඩම්බරයක්ද?

මේක කොහොමද කරන්නෙ කියලා තැවි තැවී ඉන්නකොට තමා තව ටික වෙලාවකින් එයාලට ස්ටාෆ් මීටින් එකක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙන්නෙ.

ඔන්න ඔය මීටින් එක වෙලාවෙ ෆෝන් එක එලියට අරගන්න හේතුවක් විදිහට තමා මට කෝල් කරන්න කිව්වෙ.


මුලදි මම කෝල් කරන්නෙ නෑ කියලා හිතුවත්, මොලේ වර්ධනය වෙන්න පරක්කු උනත් මූ මගෙ අයියනෙ කියලා මම කෝල් කරා.

මෙතන ඉඳන් තියෙන්නෙ මම අසා දැනගත් හා මවාගත් කරුණු අනුව වෙච්ච සිද්ධිය සැකෙවින්.


"අයිම් සෝ ලෝන්ලී බ්‍රෝකන් ඒන්ජල්...."

ෆෝන් එක මර හඬ දී කෑ ගසයි.

ඇඩ්ඩිං මහත් උජාරුවෙන් නළල රැළි කරගෙන සාක්කු කීපයක් අත පත ගා ෆෝන් එක එළියට ගනියි.

ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා මද වෙලාවක් බලාගෙන සිටියි.

"කම් ඇන්ඩ් සේව් මී බිෆෝ අයි ෆෝල් අ පාර්ට්..."


ආන්ස්වර් බට්න් එක ඔබා ෆෝන් එක කණට තබා ගනියි.

මේ අතර ඔහුගේ අනිත් අත ඉණට තබාගෙන ඇති අතර වහලය දෙස දෑස් යොමුකර ගෙන සිටියි. (ඇඩ්ඩිංගේ ටිපිකල් ෆෝන් ආන්ස්වරින් ස්ටයිල් එක.)


ඇඩ්ඩිං: හෙලෝව්..

මම: ඇයි ඕයි කෝල් කරන්න කිව්වෙ..

ඇඩ්ඩිං: ආ මිස්ට සිල්වා. කියන්න.

මම: පිස්සුද ඕයි. මොන සිල්වෙක්ද..

ඇඩ්ඩිං: ආ ඒ ඩොකියුමන්ට් එක මම රෙඩි කරලා තියෙන්නෙ..

මම: මොන ඩොකියුමන්ට් එකක්ද. තමුසෙට මොනාද පෑගුණේ...

ඇඩ්ඩිං: ආ.. ඉට්ස් ඕකේ මිස්ට සිල්වා.. අයි කැන් ඇරේන්ජ් දැට් ටූ..

මම: ඇඳ විට්ටම පැත්තෙන්ද තමුසෙ බැස්සෙ අද...

ඇඩ්ඩිං: සී දිස් ඊස් ද ප්‍රොබ්ලම් මිස්ට සිල්වා......

දෙබස මේ ආකාරයෙන් යන විට මීටින් එකේ අනෙක් පුද්ගලයන් ඇඩ්ඩිං දෙස කන්නට මෙන් බලා සිට ඇත. කාලෙකට පසු හොඳ ඇඩ් එකක් දැමීමේ ප්‍රීතියෙන් පිනා යමින් සිටින මොහොතක කොහෙද සිට ඇඩ්ඩිංගේ බොස් මහ හඬින් මෙසේ පැවසුවේය.

"මේ අයිසෙ ගීතික, තමුසෙගෙ කෝල් එක්කො මෙතනින් එලියට ගිහින් ගන්නවා. නැත්තං ඔය මගුල කට් කරලා දානවා."

මෙසේ පවසත්ම ඇඩ්ඩිං වහ වහා කෝල් එක කට් කර දැමුවද ඇඩ්ඩිංගේ රෙදි ගැලවීමට තරම් හොඳ තුරුම්පුවක් මට ෆෝන් එක හරහා අසා ගැනීමට අවස්ථාව ලැබුණි.

ඒ ටිකවත් අසා නොගත්තා නම් මේ මහා ඇඩ්ඩිං රාජයාව දුටු දුටු තැන අවඥාවට ලක් කර බඩ අල්ලාගෙන සිනාසීමට හැකි මාහැඟි අවස්ථාවක් ෆෝන් එකක් අස්සේ සැඟවී යන්නට හොඳටම ඉඩ තිබුණි.


කෙසේ වෙතත් යුතුකම් දන්නා නංගි කෙනෙක් වශයෙන් අපේ හත්මුතු නෑදෑ පරම්පරාවටම මම මේ පුවත වහ වහා ප්‍රචාරණය කර සිටියෙමි. ඇඩ්ඩිංගේ මෙවන් අවස්ථාවක් සොය සොයා සිටි අපට මෙය හතර මහා නිධානය පහළ වූවාටත් වඩා අගනේය.

මඩ ප්‍රචාරණය කෙතරම්ද යත්, කවුරුන් හෝ ඉන්නා තැනක ඇඩ්ඩිංට කෝල් එකක් ආවොත් එය උගේ අවසානයම වන්නේය.


ප.ලි.: වෙලාවට ඇඩ්ඩිං බ්ලොග් බලන්නේ නැත. බලන්නේ නම් මට ගොක්කොල සිහින අනිවාර්යය.

Tuesday, August 16, 2011

බල්ලාගේ කුකුල් මස් කොල්ලාට නැත


මම එක වසරෙ ඉඳන් දහතුන වසරට යනකල්ම ගියේ මිශ්‍ර පාසලකට. ඉතිං කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නෑ. දෙගොල්ලොම හොඳටම ෆිට් යාලුවො හිටියෙ.

ඉස්කෝලෙ ෆන් නම් අපමණයි. ප්‍රසන්න මලයගෙ මේ කතාව කියෙව්වම අපේ යාලුවෙක්ට වෙච්ච සිද්ධියක් මතක් උනා.

අපිත් ඉස්සර බත් කන්න ගියාම මෙලෝ චාරයක් නෑ. වැඩි හරියක් බත් අරන් එන්නෙ ඉතින් අපි කෙල්ලො ටික තමා. කොල්ලො නම් ඉස්කෝලෙ එනකොට මොන බත්ද? උන් ගාව පොත් ටික වත් තියෙනවයැ.


මාළු ලෑල්ලකට කාක්කො ටිකක් වට උනා වගේ තමා බත් එකක් දිග ඇරියම. කොරිඩෝ එකේ යන උන්ටත් බඩගිනි හැදෙන්නෙ එතකොට. කොහෙන් එන අත්ද මන්දා. අපිට යන්තම් අනාගත්ත බත් ටික විතරයි. අනාගත්ත බත් ටිකත් කටට දාගන්නකල් ෂුවර් නෑ. ඒකත් මගදි උදුරලා කන උන් හිටියා.

බත් එක වාෂ්ප වෙනවා සුටුස් ගාලා. ඔලුවෙත් එක්ක බත් ඇට අන්තිමට.

අපේ යාලුවො සෙට් එකේ එක කොල්ලෙක් හිටියා ජීවිතේට බත් එකක් ගේන්නෙ නෑ. අපිත් ඉතින් කවදාවත් උගෙන් බත් එකක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ තරමට හෝප්ලස්.


මෙන්න දවසක් මේකා ලොකූ බත් එකක් අරන් එනවා හෙන ආඩම්බරෙන්.

"ඒ බං අද අපේ ගෙදර කුකුල් මස් ඉව්වා. මම ඉතින් උඹලට බත් එකක් අරන් ආවා. උඹලා කවදා කන කුකුල් මස්ද. හෙහ් හෙහ්.. ".


දැන් පන්තියෙ හැමෝටම ආරාධනා කරනවා කුකුල් මස් සහිත බත් එකේ වරුණාව කියලා බත් එක කන්න.

දැන් ඉතින් කන සටනට සැරසී ඉන්න යුධ සෙබළු ටික ඉස්සරහා බත් එකේ අයිතිකාරයා හිමීට බත් එක දිග අරිනවා. පුහ්: මුගෙ ආඩම්බරේ බලපල්ලකො.

බත් එක නම් දිග ඇරියා. කට්ටිය හෝ ගාලා බත් එක පෙරළ පෙරළ කුකුල් මස් කෑලි හොයනවා.


"කෝ බං මහ ලොකුවට ගෙනාව කියපු චිකන්"

කොල්ලගෙ මූණ හට්ටියක් වෙලා. ඌව ඔක්කොම චාටර් කරනවා. ඇයි බත් එක ලෙහන්න කලින් කොච්චර ආඩම්බර කතා කිව්වද.

"අනේ බං මම දැක්කනෙ අද උදේ අපේ ගෙදර කුකුල් මස් හදනවා. අයියෝ එහෙනම් ඒ මට නෙමෙයි අපේ බල්ලට හදපු මස් එක වෙන්න ඇති."

ඔන්න වෙලා තියෙන වැඩේ. කරන්න පුලුවන් අපහාස හැම එකක්ම කරන ගමන් අපේ උන් බත් එක නම් කොහොම හරි අවුලක් නැතුව කෑවා. ඒත් අතුරුපසට අර කොල්ලවත් මරාගෙන කෑවා.

Monday, August 15, 2011

සියක් පියවර ඇවිද ආවෙමි..


මේ මගේ බ්ලොග් එකේ සියවෙනි ලිපිය. මේ සීය ලියන්න නම් අවුරුදු සීයක් විතර මට යන්න ඇති. ඒ තරම් ගොළුබෙලි ගමනින් ආවෙ.

මොනදේ උනත් මගෙ ලිපි කියවලා කමෙන්ට් කරන ඔයාලා නැත්තම් පළවෙනි ලිපියෙන් එහාට මට අඩියක්වත් තියාගන්න බැරි වේවි. ඒ තරමටම ඔයාලව මට වටිනවා.

හැමදාම කියනවා වගේ රූපෙන් හෝ කටහඬින් නැතුව මම ඔයාලව අඳුර ගත්තෙ අකුරු වලින්. ඒත් ඒ අකුරු මත්තෙම ගොඩනැගිච්ච සහෝදරකම නම් හුඟක් හයියයි.

දිනෙන් දින ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට, ටික ටික කමෙන්ට් වැටෙනකොට හිතට දැනෙන්නෙ ලොකුම ලොකු සතුටක්.

පනහ ගැන ලියපු පෝස්ට් එකේදි මම එක් එක්කෙනාව නමින්ම දාලා ස්තූති කරා. ඒත් අද මට ඒ දේ කරන්න බයයි.
මොකද ඒ වගේ තුන් හතර ගුණයක් යාලුවො මගෙ වටේ ඉන්නවා. එක්කෙනෙක්ගෙ හරි නමක් මග ඇරුණොත් කියන බය මගෙ හිතේ තියෙනවා.

මේ ලිපි අතරෙ මගෙ සුන්දර අතීත සැමරුම්, ආදරේ, පිස්සු වගේම දුක කඳුළ සහ තරහත් තියෙනවා.

බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේම කොටසක් වෙලා. ඒ ජීවිතේ ඔයාලත් හැම තැනකම ඉන්නවා. එදා වගේම අදත් මා එක්ක හිටියට ඔය හැමදෙනාටම හුඟක් ස්තූතියි.

ඔබෙන් ලද ධෛර්යයෙන් තව තවත් දොඩමළු වන්නේ මගේ හිතයි.


මේ සහෝදරකම
හැමදාමත්
මා ළඟ තියේවි
වෙහෙරක තරම්
පරිස්සමට


ස්තූතියි.

Tuesday, August 9, 2011

මේකප් යථාර්ථය


කැම්පස් වලදි නම් බැච් එකේ උපන්දිනේට, ෆ්‍රෙෂර්ස් නයිට් වලට, කලා උළෙලවල්, ස්පොර්ට්ස් ඩේ අවසානයේ DJ නයිට් එකක් තියෙන එක සාමාන්‍ය දෙයක්නෙ. අපේ උන් නම් ට්‍රිප් එකක් ගිහින් ඇවිත් ඉතුරු වෙච්ච සල්ලි වලිනුත් DJ තියලා තියෙනවා.

ඔන්න එක පාරක් අපේ ඉවෙන්ට් එකක් අවසානයේ DJ එකක් තිබ්බා.

කෙල්ලෙක් ඉතින් ඔය වගේ දවසක් එනකල් ඉන්නවනෙ තමන්ගෙ උපරිම දක්ෂතාවය දාලා ලස්සන වෙන්න. කෙල්ලො නිකන් එදාට මිහිබට සුරංගනාවියන් වගේ. හික්ස්. මේකප් ප්‍රාතිහාර්යය තමා ඉතින් වෙන මොනවද.

එක බැච් එකේ ඉන්න උන්ටත් අඳුරගන්න බැරි වෙන තරමට සමහරු මේකප් දාගෙන එනවා.

අපේ නිෂාදියි ලසන්තියි එදා අඳුරගන්න බැරි තරමට ලස්සනයි. අපිත් කට ඇරන් ඉන්නවා මේ අපේ සෙට් එකේ අපත එවුන්මද කියලා.

DJ වලදි වෙන ෆැකල්ටි වල කොල්ලොත් එනවනෙ. එදා අපේ කෙල්ලො දෙන්නා පස්සෙ යන යන තැන කොල්ලො දෙන්නෙක් පිස්සු හැදිල වගේ එනවා. උන් එක්ක බලෙන් නටනවා. අපේ අනිත් උන් අරුන් දෙන්නට රවනවා රවනවා අයින් වෙයන් කියලා. කොහෙද මුන් දෙන්නට ගානක් නෑ.

අර කොල්ලො දෙන්න නිෂාදිටයි ලසන්තිටයි පිස්සු හැදිලා. මුන් දෙන්නා ඉඳ ගත්තොත් උන් දෙන්නත් ඉඳගන්නවා. මුන් දෙන්න නැගිටලා යන්න හැදුවොත් උන් දෙන්නත් ඒ පැත්තට යන්න හදනවා.

සජිත් මගෙ ලඟ වාඩි වෙලා කියනවා ඔන්න බලන්නකො අරු දෙන්න පස්සෙන් ඔය කොල්ලො දෙන්න එන්නෙ නැද්ද කියලා බෝඩිම බලාගන්න කියලා.

දැන් ඉතින් DJ එක මැද්දෙන් අපි බෝඩිමට යන්න පිටත් උනා.
ඕක ඉවර වෙනකල් හිටියනම් ඊළඟ දවසෙ උදේට තමා යන්න වෙන්නෙ.

අපේ බෝඩිං සෙට් එකේ ආරක්ෂකයා කවදත් සජිත් තමා. නිෂාදියි ලසන්තියිත් අපිත් එක්ක යනවා. අර කිව්වත් වගේ ඒ කොල්ලො දෙන්න අපේ පිටිපස්සෙන් එනවා. සජිත් බැන බැන එනවා කොහෙද මුන්ට නටන්න ගියාම කොල්ලද බල්ලද කියලා සිහියක් තියෙනවයැ. දැන් බලනවකො වෙන කරදර කිය කියා.

කොහොම හරි අපිව බෝඩිමට දාලා සජිත් යද්දි අර කොල්ලො දෙන්නා නිෂාදියෙයි ලසන්තිගෙයි විස්තර අහලා තිබුණා සජිත්ගෙන්. සජිත් මුකුත් කියන්නැතුව ශේප් වෙලා ඇවිත්.


ඊළඟ දවසෙ අරුන් දෙන්න දඟලනවා බයේ.

"අනේ බං කැම්පස් එකේදි උන් ඇවිත් කතා කරයිද."
"අනේ බං උන් මැරයො වගේ.
"අනේ බං බයයි බං".

මාත් කිව්වා දැක්කොත් නොදැක්කා වගේ අහක බලාගෙන යන්න කියලා.

අපි එදා කැම්පස් යනකොට මෙන්න මේ කොල්ලො දෙන්න මග. නිෂාදියි ලසන්තියි බය වෙලා. අපි මගදිම කතා කරගත්තා නොදැක්කා වගේ ගණන් ගන්නැතුව යමු කියලා.


ඔන්න දැන් උන් අපිව අඳුරගත්තා. ටික ටික අපි අතර දුර අඩු වෙනවා. ටික ටික උන්ගෙ මූණෙ වෙන වෙනස්කමත් අපිට පේනවා. හරියට ලයිට් එකක් ටිකෙන් ටික ඩිම් වේගෙන යනවා වගේ.

හරි නම් අපිනෙ බය වෙන්න ඕනෙ. කොල්ලො දෙන්නා ශොක් වෙලා.


උන් ටික වෙලාවක් අපේ උන් දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන් හිටියා. එක පාරටම හැරිලා ගියා යන්න.

අපේ උන් දෙන්නා බයේ හිටියා තමා කතා කරන්න. ඒත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. උන්ට එක පාරටම මොකද උනේ. අපිට හෙන ප්‍රශ්නෙ.

පස්සෙ තමා කට්ටිය එක එක්කෙනාගෙ අදහස් සමාලෝචනය කරලා බලද්දි වෙන්න ඇත්තෙ මොකද්ද කියලා තේරුණේ.


උන් එදා එක වෙලාවෙ නිෂාදියි ලසන්තියි අඳුර ගත්තෙ මේකප් ලස්සනින්නෙ. ඒත් නිකං ලෙක්චර්ස් යද්දි උන් දෙන්නම සාමාන්‍යයි.

කොල්ලො දෙන්නා ඒක බලාපොරොත්තු උනේ නෑ. කොටින්ම උන් ශොක් වෙන්න තරම් ලොකු වෙනසක් එතන තිබුණා.

පස්සෙ පස්සෙත් ඒ දෙන්නා අපිට කැම්පස් එකේදි හම්බුණා. හික්ස්. දුර තියාම අපේ දෙන්නව දැක්කම මුන් එක්කො මග ඇරලා යනවා. එහෙම නැත්තන් අහක බලාගෙන යනවා.

උන්ටම ලැජ්ජ ඇති එදා අරම පැණි පෙරාගෙන ඇවිත් දැන් මෙහෙම හැසිරෙනකොට.
මොනා උනත් අපිට නම් ඒක හොඳ විහිළුවක් උනා.

ඔන්න මේකප් යථාර්ථය.

Thursday, August 4, 2011

පස් අවුරුද්දක සෙනෙහෙ සිතින් අපි


පියාපත් ගසා ඉගිලෙන්නට හදන සතුටට හිත් අහස පුරා ඔහේ සරන්නට ඉඩ දෙමි.

මේ දෝරෙ යන ආදරෙන් නිවුණු හිත අරන් මම දැහැන් ගත වෙමි.

ජීවිතේ එක් අවධියක අනන්තයටම දුක් වින්ද බව සැබවි.

දෛවයට සාප කර කර අපායක් වූ ජීවිතය වැළඳගෙන මම ඉකිබින්දෙමි.

දෝතින් තුරුළු කර ගන්නට හදද්දී ඇඟිලි අතරින් රූරා ගිය ජීවිතය ගැන අපමණව සුසුම් හෙළුවෙමි.

ජීවිතයේ මහගිරිදඹ අසීරුවෙන් තරණය කලේ බෑවුමක් බලාපොරොත්තුවෙනි.

ඒත් මා අඳුරු ප්‍රපාතයක් අභියස මංමුලා වීමි.

ජීවිතය ගෙවෙන වග දැන දැනම පණ පොදක් නැති හිතත් සමඟ ගල් ගැසී සිටියෙමි.

තත්පර වලින් නොව අවුරුදු වලින් ජීවිතය ගෙවෙද්දීත් ප්‍රපාතය අභියස ගල් ගැසී සිටියෙමි.

ජීවිතයේ දුෂ්කරම අවධියේ නුඹ හමු වේ යැයි කිසිවිටෙක නොසිතුවෙමි.

පෙම් කිරීමට තරම් උවමනාවක් කවරදාකවත් මට නොතිබිණ.

මේ ගිනිගහන කාන්තාරයේ මල් පොහොට්ටුවක් පීදේයැයි කිසිදිනෙක නොසිතුවෙමි.

නොදැනීම අප අපේ වන්නට ඇත.

නොදැනීම මම නුඹට පෙම් කරන්නට ඇත.

බිඳුණු පැතුමේ ශීත ඍතුව අහවරව බලාපොරොත්තුවේ වස්සානය අවදි විය.

ජීවිතය සතුට බලාපොරොත්තුව ආදරය නුඹෙන් උගත්තෙමි.

බුදුරදුන්ගෙන් පමණක් නොව දෙවියන් වහන්සේගෙන්ද පිහිට ලැබුවෙමු.

හිතේ කහටක් නැතුව පන්සල්ද පල්ලිද ගියෙමු.

නුඹ පන්සිල් වරද්ද වරද්දා කියද්දී මම ඔරසන් කියන්නට උගත්තෙමි.

මම කැමතිම කැමති දේට නුඹ අකමැතිම අකමැති වෙද්දී ජීවිතය සමබර කරගන්නට මම උගත්තෙමි.

නුඹේ කැමැත්ත මගේ අකමැත්ත වෙද්දී අපි දරාගන්නට වෙහෙසුනෙමු.

දරාගැනීම් පුපුරා ගිය තැන වලි දමාගෙන මරාගතිමු.

නුඹ දඩබ්බර බව සැබවි.

ඒ දඩබ්බර හිතුවක්කාර ගති විටෙක මගේ හිත රිදවූ බවද සැබවි.

ඒත් අප අවට ආදරය සියල්ල සුවපත් කරන්නට ඇත.

මාසයක් දෙකක් නොව අවුරුදු පහක් ගෙවී අවසන්ය.

ඒ ගෙවුණු පස් අවුරුද්ද දුක සතුට සමසමව අපි ලැබුවෙමු.

ලබන ආත්මයක නුඹ මට ලැබේදැයි නොදනිමි.

මන්ද, නුඹේ ආගම අනුව නුඹට නැවත ආත්මයක උප්පත්තියක් නොමැති බැවිණි.

මගේ ආගම අනුව මට ස්වර්ගස්ථ වීමට නොහැකි බැවිණි.

අතපය වාරු නැති වී ජීවිතයේ සැඳෑ සමයේ අවසන් හුස්ම හෙලන තෙක් ඔය තරු ඇස් මට පාර කියන වග දනිමි.

මේ ආදරය ඒ අවසන් හුස්ම තෙක්ම මම රැකගනිමි.

You are the best thing ever happened to me...


ප.ලි.: අපි දෙන්නගෙ මම ආසම ෆොටෝ එක මේ උඩින් දාලා තියෙන්නෙ.

Tuesday, August 2, 2011

ඇයි ඔයා හිටගෙන කෑ ගහන්නේ....


පුංචි එවුන්ගෙ පණ්ඩිතකම් ගැන මම කලින් පෝස්ට් එකකත් කිව්වනෙ. කසාද බැන්දම මොනාද වෙන්නෙ කියලා අහපු පොඩි එකාගෙ තවත් කතාවක් තමා මේ.

මේ පොඩි එකයි අම්මයි දවසක් මගුල් ගෙදරක ගිහින්.

ඉතින් දැන් කට්ටිය කාලා බීලා පුටුවලට වැටිලා ඉන්නවා. මනාල යුවල නෑදෑයින්ට වැඳලා කියලත් ඉවරයි. ඊට පස්සෙ තමා අර පරම්පරාවෙ පුරාජේරු කියවන වෙලාව. ඒ කියන්නෙ ස්තූති කතා අනං මනං.

හොඳට පදමට වැදිච්ච කෙනෙක්ට ස්තූති කතාව කරන්න දුන්නොත් කොහොමද? කාපු බීපුවා දිරවනකල්ම කියවන එකනෙ වැඩේ.

මේ මගුල් ගෙදරත් එහෙම පදමට වැදිච්ච පණ්ඩිතයෙක්ට තමා ස්තූති කතාව කරන්න දීලා තියෙන්නෙ. දැන් ඉතින් සෑහෙන්න වෙලාවක ඉඳන් අර මනුස්සයා කියවනවා.

අපේ මේ මනාල මහත්මයා මේ තුන් ලෝකෙන්වත් හොයාගන්න බැරි රත්තරන් කඳක්. බ්ලා බ්ලා බ්ලා... ඔහොමනෙ කතාව යන්නෙ.


දැන් පොඩි එකාට මළ. ඇයි කට්ටියම සද්ද නෑ. මැදට වෙලා එක්කෙනෙක් නැගිටගෙන කියවනවා ඉවරයක් නැතුව. පොඩි කොල්ලට දුවලා පැනලා කෑ ගහන්නවත් දෙන්නෙ නෑ අම්මා. මේ මොන කරදරයක්ද. මේක කාටද ඉවසගෙන ඉන්න පුලුවන්.

පොඩි එකා ටිකක් වටපිට බැලුවා. ඇඟේ තියෙන ඔක්කොම හයිය අරගෙන කෑ ගහලා මෙහෙම කිව්වා.


"මොකද ඔයා මැද්දට වෙලා හිටගෙන හයියෙන් කෑගහන්නේ......."

කට්ටියගෙ නිදි මත කොහෙන් ගියාද නෑ. හෝ ගාලා හිනා වෙනවා. පොඩි එකාගෙ අම්මට කරගන්න දෙයක් නෑ. කට වැහුවත් එතකොට කියන්න ඕනෙ ටික කියලා ඉවරයි.

ස්තූති කතාව කර කර හිටපු මනුස්සයත් ඉක්මනට ඒක නැවැත්තුවා කියලා තමා ආරංචිය.

Related Posts Plugin for WordPress, Blogger...