Pages

Wednesday, January 12, 2011

කඩ කෑම කන්න කැමතිද


කඩ කෑම කන්න කැමති අය ඉන්නවනම් අත උස්සන්න බලන්න..

දැන් නම් හුඟක් අය විශේෂයෙන්ම ගෙදරින් පිට ඉන්න අය කියාවි අපෝ මොන ජරාවද කඩ කෑම, කටේ තියන්න පුළුවන්ද ඇල් වතුර වගේ. මිරිසුත් නෑ, ලුණුත් නෑ, තෙලුත් නෑ කියයි කට්ටියම.

ඇත්තටම මම තාමත් හිතන දෙයක් තමයි කොහොමද අප්පා මෙච්චර අමාරුවෙන් රස නැති විදිහටම කෑම හදන්නෙ කියලා. පොල් කිරි ටිකක් මිරිස් චුට්ටක් ලුණු ටිකක් නිකන් හරි දැම්මනම් පොඩි හරි රසක් තියෙනවනෙ. එහෙමවත් නොකර මෙලෝ රහක් නැති විදිහට කෑම හදන්න කඩවල් වල මිනිස්සු පුදුම ගේමක් දෙනව ඇත්තෙ.

ගෙදර අම්මා දෙල් මලවලා, හාල් මැස්සො කරවෙන්න බැදල ලූණු තෙම්පරාදු කරලා, අගුණ කොළ මැල්ලුමත් එක්ක උයලා දෙන උණු උණු බත් එක වගේද කඩෙන් කන කෑම.

ඒ අපි දැන් හිතන හැටිනෙ.

ඒත් අපි පුංචි කාලෙ කොච්චර ආසද කඩේ කෑම කන්න. අම්මා කොච්චර පෙරැත්ත කරත් බත් කටක් දිහා ඇහැක් වත් ඇරල බලන්නැති පොඩි උන් කඩෙන් ගේන බත් එකටම වග කියනවා. හා බොරුද මං කියන්නෙ.

පහුගිය දවසක අම්ම කතා කරපු වෙලාවක කඩේ කෑම කාල එපා වෙලා අම්ම උයපු බත් කන්න ආසයි කියපුවාම අම්මා පරණ කතාවක් මතක් කරා. ඇත්තටම කතාවක් කිව්වට මේක අපේ නෑදෑ සනුහරේටම ප්‍රසිද්ධ වෙච්ච මහා මඩ කතාවක්. අපි අපිනෙ ඉතින්. මම ඒක ඔයාලට කියන්නම්.

අර කලිනුත් කිව්වා වගේ ගෙදර කෑම කන්න මම ඉස්සර හරිම හොරයි. කඩෙන් මොන ජරාව ගෙනාවත් පෙරේතයා වගේ මම කනවලු.

ඉස්සර අපේ අම්මා මට බත් කවාගන්න බැරි උනාම කරන්නෙ හොරෙන් ගෙදර උයපු බත් එළවළු දාල බත් එකක් බඳිනවලු. අර කඩවල් වල බත් ඔතල දෙනසුදු පාට කොළ තියෙන්නෙ. අන්න ඒකක බත් එක ඔතනවලු.

ඊට පස්සෙ මල්ලකට දාලා හොරෙන් සීයට දෙනවලු. සීයත් හයියෙන් කියනවලු ආ, මෙයා බත් කන්නෙ නෑනෙ. ඉන්නකො මම කඩෙන් බත් එකක් ගේන්න කියලා සීය බයිසිකලේ ටික දුරක් ගිහින් ආපහු එනවලු.

ඊට පස්සෙ ඔන්න මං කඩේ බත් ගෙනාවා කියලා මට දෙනවලු.

ඉතිං "මෝඩ මං" අර පොළවෙ හැපි හැපි කන්න බෑ කියපු ගෙදර උයපු බත් එක ලස්සනට ඔතලා ගෙනාවම රස කර කර කනවලු.

කොහොමද අපෙ අම්මගෙ මොලේ. බණ්ඩිත් හැපී. අම්මිත් හැපී.

අපේ ගෙදර කට්ටිය අහිංසක මාව සෑහෙන වංචාවකට ලක් කරා කියලා මම දැනගත්තෙ හුඟක් කල් ගියාට පස්සෙ.

අයියෝ මේ සිද්ධිය ගැන කියලා අදටත් නෑයො එකතු උනාම මාව නැති කරනවා.

අන්තිමට මට හිතෙන්නෙ එකම එක දෙයයි. හැමදාම අපි ආස කරන්නෙ අපි ළඟ නැති දේටද මන්දා.

10 comments:

  1. "දෙල් මලවලා, හාල් මැස්සො කරවෙන්න බැදල ලූණු තෙම්පරාදු කරලා, අගුණ කොළ මැල්ලුමත්"

    Hmmmmmmmmmmmmm......

    ReplyDelete
  2. "හැමදාම අපි ආස කරන්නෙ අපි ළඟ නැති දේටද මන්දා."
    සහතික ඇත්ත.
    අර අම්මා උයපු කෑම ගැන කියද්දි නම් මගෙ කටටත් කෙල ඉනුවා.

    ReplyDelete
  3. කාටවත් කියන්න එපා ඕං. ඔය සීන් එක මාත් අපේ මල්ලිට කරානේ. ඌට කන්න බැහැ කියපු ගමන් අම්ම බත් එකක් බැඳලා දෙනවා, මාත් කොහෙ හරි රවුමක් ගහලා බත් එක අරං ආයෙත් ගෙදටර එනවා. ආපු ගමන් මූ බත් එක ඉල්ල ගන්නවා, දෙනවා ගේම ඇටයක් වත් ඉතුරු නොවෙන්න. හී.. හී... පව් අප්පා ඌ...

    ReplyDelete
  4. @ SL,
    මං ආසම රෙසිපි එක.

    @ කිරිපුතා,
    ලඟ නැති දේට ආස කරන එක මිනිස්සුන්ගෙ පුරුද්දලුනෙ

    @ prasanna86k,
    අයියෝ අහිංසක මල්ලිත් මං වගේම වංචාවකට ලක් වෙලා නේද

    ReplyDelete
  5. මමනම් පොඩි කාලෙ උනත් කඩේ කෑම කන්න එච්චර කැමතිනෑ.අනේ මන්ද ඒ මොකද කියල.ඔයා දැන් මේ කෑමක් මතක් කරල පිස්සු හැදුනා.අවුරුදු හතකින් පොල් කිරි දාපු මාළුවක් කාල නෑ.2003 කෑවට පස්සෙ අතින් කාල නෑ.
    හපොයි මට උන දෙයක්.....!!

    ReplyDelete
  6. "හැමදාම අපි ආස කරන්නෙ අපි ළඟ නැති දේටද මන්දා", couldn't said it better than that,mate.

    When I first came here,I couldn't bear the initial hardship, anyone starting new life in unfamiliar country has to go through. I was thinking, even I had to beg for living in SL, it is better than suffering in this frozen land. So, I packed my bags & did went back only to find out, it it was a mistake. I was away from SL so long, I couldn't fit-in there. After a while, I was longing for food I had here and the easy public transportation and other facilities which is was a luxury there;so, I came back.

    having said that, however"අම්මා දෙල් මලවලා, හාල් මැස්සො කරවෙන්න බැදල ලූණු තෙම්පරාදු කරලා, අගුණ කොළ මැල්ලුමත් එක්ක උයලා දෙන උණු උණු බත් එකකට", I'm ready to trade my soul, right now.

    ReplyDelete
  7. මම කඩ කෑම කන්න කැමති නෑ මොකද මම 100 % වෙජිටේරියන් . ඒත් ඉතින් වැඩට ගියාම ලඟපාත තියන කඩේකට ගිහිං ඔය මොනවා හරි කන්න පුරුදු වෙලා ඉන්නේ . දවසක් මම එලවලු කෑම එකක් ඉල්ලුවා කන්න බලනකොට ඒකේ හාල්මැස්සොත් තියනවා ..මුදලාලි බලං ඉද්දිම ඒක වීසිකරලා මම යන්න ගියා

    ඔයා හරි අපිට නැති දේම තමයි ඕන කොයි වෙලෙත්

    ජය වේවා !!

    ReplyDelete
  8. @ dinesh,
    අයියෝ ඉක්මනට ලංකාවට එන්න ලැබේවා..

    @ Siribiris,
    There is no where than SL.

    @ හිස් අහස,
    ඒක ඇත්ත

    ReplyDelete
  9. අක්කා වගේම තමා මාත්. මාත් මොන එහෙකටද මන්දා කඩ කෑම වලට තමයි ආසා. කඩෙන් මොන ජරාව ගෙනාවත් රහයි කියලා කනවා.

    අපේ අම්මා නම් අක්කට වගේ එහෙම කරන්නේ නෑ. අම්මා කරන්නේ බත් එක කෙහෙල් කොලේ ක ඔතලා දෙනවා. එතකොට බත් එක ගොඩක්ම රහයි.

    ReplyDelete
  10. මාත් වැඩිපුර කැවෙන්නේ කඩෙන් නිසා දැන් නම් ගෙදර කෑම කන්න කැමතියි. :-D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...