මම හැමදාමත් හීන පොදිගහපු කෙනෙක්. සරල හීන වගේම මිල අධික හීනත් තිබුණා. දැනුත් හීන නැතුව නෙමෙයි. ඒත් ඒ කාලෙ තිබ්බ හීන වල හරි සමනල ගතියක් ගෑවිලා තිබුණා.
පුංචිම කාලෙ සුවඳ හමන ලස්සන පාට මකනයක් ගන්න, ස්ටිකර් කොලයක් ගන්න, පැත්තකින් දාර දාර තියෙන අඩිරූලක්, කූරු විසිහතරෙ පැස්ටල් පෙට්ටියක්, කාන්දම් තියෙන පැන්සල් පෙට්ටියක් ගන්න පුදුම ආසාවක් තිබුණා. ඒ දේවල් මට ලැබුණෙ හරි කලාතුරකින්. අම්මලා තාත්තලාට අපි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න වත්කමක් තිබුණෙ නෑ. හුඟක් වෙලාවට ඒ මිල අධික ආසාවල් හීනෙකට පමණක්ම සීමා වුණා.
ඒ කාලෙ තුල් මාරු කරන පැන්සලක් අපේ ගෙවල් වල හැටියට ලොකු ගාණක්. ඒ නිසා ඒ හීනය නිකම්ම නිකං ලී පැන්සලකට සීමා කරන්න වුණා. ඒ සීමාවට කොටුවීම මගේ නම් පුංචි හිතට දරන්නට බැරි වුණා. තුල් මාරු කරන පැන්සල වෙනුවට අතට ලී පැන්සලක් ලැබෙනකොට ඉටු නොවුණු හීන වෙනුවෙන් තාත්තා එක්ක තරහට ඒ කඩේදි යටි ගිරියෙන් කෑ ගහල අඬද්දි තාත්තා කොච්චර අසරණ වෙන්න ඇත්ද කියලා හිතන්න තරම් මගේ සිතුවිලි මෝරලා තිබුණෙ නෑ. ඒත් අද මට ඒ ගැන තියෙන්නෙ සුලු පටු වේදනාවක් නෙමෙයි.
ටික ටික ලොකු වෙනකොට පුංචිම කාලෙ තිබුණු හීන ඊට වෙනස් හීන වලින් ආදේශ වුණා. හයේ හතේදි විතර තිබුණු හීන ලිස්ට් එකට කලු පාට ෆයිල් එකක්, ලෝක සිතියම් පොතක්, තින්ත පෑනක්, කවකටු පෙට්ටියක් වගේ ඒවා එක්කහු වෙලා තිබුණා. ඒ වෙද්දි තාත්තගෙ පඩියෙන් ගෙදර අවශ්‍යතා පිරිමහලා ඉවර උනාම ඉස්සරම ඉල්ලපු තුල් මාරු කරන පැන්සලක් අරන් දෙන්න පුලුවන් වුණාට, කවකටු පෙට්ටියක් අරන් දෙන්න පුලුවන්කමක් නෑ. අවුරුදු හයේදි ලැබුණෙ නැති දේවල් වලට කෑ ගහල ඇඬුවට, දොළහෙදි නොඅඬන තරමට හිත නැති බැරිකම් වලට පදම් වෙලා තිබුණා. එතකොට මම ඉන්නෙ අලුත් අවුරුද්ද වෙනකල්. ගණුදෙනු කරන වෙලාවට අම්මලා තාත්තලාගෙන්, සීයාගෙන්, ආච්චිගෙන්, මාමලාගෙන් හම්බවෙන සල්ලි එකතු කරලා හීන ඉටුකර ගන්න පුරුද්දක් ඇතිකරගෙනයි හිටියෙ.
මම නම් ඉස්කෝලෙදි කොල්ලොන්ට ක්‍රිකට් ස්ටිකර් විකුණලත් සල්ලි හෙවුවා. බොරු නෙමෙයි. පොඩි කාලෙ ඉඳන්ම සංගීතෙ කරපු නිසා මගුල් ගෙවල් වල ජයමංගල ගාථා කියන්න ගිහිනුත් සල්ලි හම්බ කරා. ඇත්තටම ඒක තමයි මගෙ පලවෙනි රස්සාව. සමහර මගුල් ගෙවල් වලින් රුපියල් පන්සීයක් ලැබිච්ච වෙලාවලුත් තිබුණා. රුපියල් පන්සීයක් කියන්නෙ ඒ කාලෙ හැටියට හීන කීපයක් ඉටු කරගන්න පුලුවන් ගාණක්.
තව පස්සෙ කාලෙකදි තිබිච්ච හීනයක් තමයි කඩෙන් ගත්තු ඇඳුම් අඳින එක. අපේ අම්මා ඒ කාලෙ අපිට ගෙදරදිම ඇඳුම් මහලා දෙනවා. දැන් කොච්චර අගේ උනත් ලමිස්සියො කාලෙ ගෙදර මහපු ගවුමක් ඇඳන් යන්න හිත ආස කරේ නෑ. අම්මට කොච්චර දුක හිතෙන්න ඇද්ද ලස්සනට මහලා බොත්තම්, රේන්ද අල්ලලා දුන්නු ගවුමක් අඳින්න බෑ කියද්දි. ඒ දුක අපේ විසේකාර හිත්වලට ඒ කාලෙ දැනුණෙ නැති වුණාට දැන් නම් මගෙ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවීමක්. ඒවා ආපහු නිවැරදි කරන්න බැරි විදිහට වෙච්ච වැරදි.
සංගීත පිස්සුව ඔලුවටම ගහපු කාලෙ තිබුණු ලොකුම හීනෙ තමයි සිතාර් එකක් ගන්න එක. මම කොච්චර අම්මලට කරදර කරන්න ඇත්ද. අම්මට හම්බවෙන සීට්ටුවක් එකතු කරලා තමයි සිතාර් එක අරන් දුන්නෙ. ඒ කාලෙත් ඒක පහලොස්දාහක්. අම්මා සීට්ටුවෙන් මොන දේවල් කරන්න හිටියද කියලා මට හිතුණෙ නෑ. මේක අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක දැනුනෙ නෑ. තිබුණු එකම දේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ කියන උමතුව විතරයි.
සිතාර් එක අතට හම්බුණා. මට ලෝකයක් ලැබුණා වගේ. ඇත්තට එහෙමත් කාලයක්. ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ සතියෙ හුඟක් දවස් ගෙවුණෙ සංගීත පන්තියෙ. දිස්ත්‍රික් තරඟ, පළාත් තරඟ, සමස්ථ ලංකා තරඟ. ඔය හීන වලිනුයි හිත පිරිලා තිබුණෙ. සිතාර් එකේ තත් වලට පිරිමැදිලා වම් අතේ දබර ඇඟිල්ලෙයි මැද ඇඟිල්ලෙයි කාණු හැදිලයි තිබුණෙ.
ඒත් ඕනෙම හීනෙකට එක්තරා කාලෙකින් පස්සෙ වටිනාකමක් නැතුව යනවා. සිතාර් එකටත් ඒකමයි උනේ. ඕලෙවල් වලින් පස්සෙ පැත්තකින් තියපු සිතාර් එක අවුරුදු දහයකින් මම අල්ලලාවත් නෑ කිව්වොත් ඔබ පුදුම වේවි. ඒත් හැමදේම තාවකාලිකයි. ඒ කාලෙ පහලොස්දාහ හැටියට අම්මට චේන් පොටක් ගන්න තිබ්බා. වළලු ජෝඩුවක් ගන්න තිබ්බා. ඒත් අම්මා එයාගෙ හීන යටපත් කරලා මගෙ හීනෙට ඉඩ දුන්නා. ඉතින් හිත පසුතැවෙන එක වළක්වන්න පුලුවන්ද.
කාලෙ ගෙවිලා ගියා. හීන අලුත් උනා. කාලයත් එක්ක හීන වෙන වෙන හීන වලින් ආදේශ උනා. හීන වලට ආයු කාලයක් තියෙනවා කියන්නෙ බොරු නෙමෙයි. අද තුල් මාරු කරන පැන්සලක් කවකටු පෙට්ටියක් කියන්න්නෙ තව දුරටත් මට හීනයක් නෙමෙයි. ඒත් ඒ කාලෙ සමනල හීන වලට දැන් ආදේශ වෙන්නෙ හරි බරපතල හීන.
ඔබටත් ඉටු කරගන්න බැරි වෙච්ච හීන ඇති. දුක් වෙන්න එප. කාලයක් ගත වෙද්දි ආපහු හැරිලා බලද්දි හීන අවලංගු වෙන බව දැනේවි. සමහරවිට ඉටුකරගත්තු හීන වලට ඉටු කරගත්තු හීන වලට පස්සෙ කාලෙක පසුතැවීමකුත් එකතු වෙලා තියේවි. ඒත් අමතක කරන්න එපා. ජීවිතේ එක් එක් කාලවලදි අපට ජීවත් වෙන්න අරමුණු සපයන්නෙත් ඒ හීනම තමයි.
අමතක කරලා ද අමතක වෙලාද මන්ද තිබුණු මතකයක් අලුත් වුනා..එක වසරේ ඉද්දි මට තිබුණු හීනෙත් උල් මාරු කරන පන්සලක් ගන්න එක..අප්පච්චි ට කෙදිරි ගාල කෙදිරි ගාල කොහොම හරි මත එකක් ගත්ත..එක ටික දවසයි..ඊට පස්සේ සුවද තියෙන මකන කෑල්ලක්.13 වසරට එනකල් එක එක කාලෙට එක එක ඒවා..දැන් ඒවා මතක් වෙද්දීත් ආසයි ..ආයෙත් ඒ කාලෙට යන්න තියේනම්....
ReplyDeleteඅපි කවුරුත් බලාගෙන යද්දි එකම හීන පස්සෙ එලවපු අය නේද
Deleteහොඳ පෝස්ටුවක් පිණිබිඳවො....
ReplyDeleteමටත් තුල් මාරු කරන පැන්සලක් ලැබෙන කාලෙ වෙනකොට ඒව අනවශ්‍ය වෙලා තිබුන... උඹ ගත්තු සිතාර් එක වෙනුවට මම ගත්තෙ වයලින් එකක්... වෙනසක් නැතුවම මමත් ඕලෙවල් වලින් පස්සෙ ඒක ප්ලේ කරනව කියල එකක් කරල නෑ... :)
මේ පාරත් ගෙදර ගියාම කේසින් එක ඇරලවත් බලන්න හිටියෙ සිතාර් එක මීයොවත් කාලද කියලා. ඒකත් අමතක උනා.
Deleteමම සිහින පිටු දකින්නෙක්
ReplyDeleteහ්ම්ම්.. දුක අඩුයි එහෙනම්.
Deleteඅද දකින හීනත් ඒ වගේම තමයි.. නොදැකත් බැරි දැකලත් බැරි හීන..
ReplyDeleteහැබෑකරගත්තත් සමහර වෙලාවට පසුතැවීමක් ඉතුරු වෙනවා
Deleteඑක එක කාලෙට එක එක හීන
ReplyDeleteකාලෙන් කාලෙට වෙනස් වෙනවා
Deleteහීනෙන් වගේ කියවගෙන ගියා. දුක දැනෙන විදිහට ලියල.
ReplyDeleteමැදක් හරිය වෙද්දි හිත ගැහෙන තරමට දුක දැනුනෙ මේ සේරම ඇත්තම ඇත්ත ජීවිතේ නිසා වෙන්න ඇති. ( "ඒ කාලෙ පහලොස්දාහ හැටියට අම්මට චේන් පොටක් ගන්න තිබ්බා. වළලු ජෝඩුවක් ගන්න තිබ්බා" )
"ඉටු කරගත්තු හීන වලට පස්සෙ කාලෙක පසුතැවීමකුත්" එකතු වෙලා නේන්නම්.
හීන හැබෑකරගත්තට කාලෙකදි මොන අපරාදයක්ද කියලා හිතෙනවා නේද
Deleteහීනවල ආතල් එක තියෙන්නේ ඒවා හීන වෙලා තියෙනකම් විතරයි කියලා මට හිතෙන්නේ. හීන සැබෑ උනාට පස්සේ ඒවායේ ඒ හැටි අගයක් නැහැ. අපි ගොඩ දෙනෙක් කැමති අපිට නැති දේවල් වලටනේ
ReplyDeleteපොඩි කාලේ කැමති වෙච්ච සමහර දේවල් දැන් ඕනේ නම් ඇත්තටම ගන්න පුළුවන් ඒත් ඒ හැටි ඒ දේවල් වලට දැන් ආසාවක් නැහැ.
හීන වලට ආයු කාලයක් තියෙනවා කිව්වෙ ඒකනෙ
Deleteහීන.......... වෙන මොන මොන පොඩි හීන තිබ්බත් අමතක කරලා දාන්න පුලුවන් වුනත් අමතක කරන්නම බැරි හීනයක් හැබෑ වෙනකල් බලා ඉන්නවා.
ReplyDeleteහීන නම් හැබෑ වෙන්නේ නෑ අක්කා. හැබෑ කරගන්ඩයි තියෙන්නේ.
Deleteඔව් ඔව් හැබෑකරගන්න.
Deleteමම පුන්චි කාලෙදි ආසාකරපු දේවල් වලට ඔයත් ආසා වෙලා.ඒ දවස් වල අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොයිතරම් දේවල් කලාද.ඒ වෙනුවෙන් තමන්ගෙ ආසා දේ එහෙමත් නැත්තම් තමන්ට ප්‍රයෝජනවත් දේ කැපකලාද?? දැන් හිතෙනකොට ආයෙනම් කරන්නෙනෑ කියන හැඟීම එනවා,ඒත් අපි පමා වැඩී.
ReplyDeleteඅපි දැන් එයාලා වෙනුවෙන් කරන පුන්චිම පුන්චි දේකිනුත් එයාලා සතුටු වෙනවා...අපිට කරන්න තියන එකම දෙත් ඒකමයි...
හීන හැමදාම අපිව ජීවත් කරවනවා.....
හීන සහ පසුතැවීම එකට යන දේවල් නේද
Deleteඒ කාලෙ කරපු සමහර දේ ගැනත් නොකරපු සමහර දේ ගැනත් අද තියෙන්නෙ පසුතැවිල්ලක්.. ඒ වගේම කරපු සමහර දේ ගැනත් නොකරපු සමහර දේ ගැනත් අද තියෙන්නෙ සන්තෝසයක්..
ReplyDeleteලෝකෙ හැටි වෙන්නැති.. ලෝකය කැරකෙනවා.. අපි හීනත් එක්කම වයස යනවා.. මම නම් ඒ කාලෙ ලොකු ලොකු දේවල් ඉල්ලුවෙ නෑ.. අදටත් ඉල්ලන්නෙ නෑ.. ඔහේ දෙන දෙයක් අරන් ඉන්නවා.. හැබැයි අද වෙනකොට මෙහෙමත් හිතෙනවා.. එදා අඬලා වැලපිලා හරි අමාරුවෙන් ඒදේ ලබාගත්තානම් කියලත් හිතෙනවා.. අනික් අතට දෙමව්පියන්ගෙ හිත් නොරිදෙව්වා කියලා සතුටුත් එක්ක..
මම තුඩ මාරු කරන පැන්සලක් ගත්තු මුල් දවසෙ ඒක බෑග් එකේ නොදා අතේ ගෙනිච්චෙ.. වටේ උන්ට පේන්න.. කාන්දම් පැන්සල් පෙට්ටියක් නම් මගෙත් තිබ්බ හීනයක්.. ඒ දවස්වල එක එක ළමයි ලස්සන ලස්සන පැනසල් පෙට්ටි ගෙනත් එහෙන් කෑලි මෙහෙන් කෑලි දාලා වැඩ පෙන්නද්දී මට තිබ්බෙ නිකම්ම නිකන් ප්ලාස්ටික් පෙට්ටියක්.. මම උන්ට මෙහෙම කියනවා.. "මම ඔව්වට එච්චර ආසා නෑ බං. ඊයෙ අපේ අම්මා එකක් ගෙනත් දෙන්න හැදුවා. මම එපා කිව්වා" උන් ඉතින් අපරාදෙනෙ කිය කිය හූල්ලනවා... :)
ප.ලි. මමත් ක්‍රිකට් ස්ටිකර් එකතු කරානෙ.. මේ කතාවත් ඒ කතාවට ටිකක් සමීපයි..
http://dreamsofharee.blogspot.com/2012/07/blog-post_27.html
ඔක්කොම එකයි ඒ කාලෙදි
Deleteමමත් සිතාර් එකක් ගන්න නම් අසාවෙන් උන්නා.. ඒත් පස්සේ සිතාර් එක වයලිනයට මාරු උණා....
ReplyDeleteඇත්ත තම කාලය සමග හීන වෙනස් වෙනවා.. ඒක නවත්තන්න බෑ..
අද කළයුත්ත හොඳට හිතලා මතලා කරාම හෙට දවසේදී අද ගැන සතුටුයි නෙහ්...
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
ඇත්තටම ඒක හොඳ සිතුවිල්ලක්
Deleteහීන ගැන කොයි තරම් නම් දේවල් තියෙනවද කියන්න නංගි.
ReplyDeleteමගේ පොඩි කාලේ හීන ගැන මතක් කලාම ඒවා හරිම සුන්දර හීන.
අවුරුදු පහලොවක් විතර වෙනකොට මට තිබ්බ එක හීනයක් තමයි අපේ ගෙදර ඔක්කොමලා කවද හරි දවසක එකට එකතු වෙන එක. ලෝකේ පුරා විසිරිලා හිටපු අපිට ඒ දවස කවමදාවත් ආපහු ආවේ නෑ. අපි ඔක්කොම ආපහු එකතු වුනේ අම්මාගේ මළගමට. ඒත් එතකොට මම හොඳටම පරක්කුයි. ඊට පාසේ ආයේ අප්පච්චිගේ මළගමට. ඉන් එහාට එහෙම හීනයක් තිබුනාද කියලාවත් මට මතක නෑ.
කාලෙන් කාලට සංකර හීන ගොඩාක් මට තිබ්බා. බොහෝ දේවල් සැබෑ වුනා. ඒත් අන්තිමට මට වටිනාම දේවල් වුනේ ඒවා නෙමෙයි. ලෝකේ පුරා මම ආදරේ කරන මනුස්සයත් එක්ක ඇවිදින්න වගේ. ඒව හීන නොවුනේ සමහරවිට ඒ කාලේ වගකීම් රහිත කෙනෙක් වුන හින්දා වෙන්න ඇති. ඒත් අද වෙනකොට හැමදේකම මතක විතරයි හීන වගේ.
දැන් මගේ එකම හීනේ මම ආදරේ කරන මිනිස්සු සතුටින් ඉන්නවා දකින එක. මොකද මට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හීනයක් මට නැති හින්දා.
ඒත් අක්කා අපි ආදරේ කරන මිනිස්සු සතුටින් ඉන්නවා කියන එකත් අපිට සතුටුවෙන්න පුලුවන් කාරණාවක්
Deleteමටත් හීන ගොඩා......ක් තියනවා කියන්නේ :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙනම් ඒවා රජ හීන වෙන්ටැ
Deleteමට නම් තාමත් එක හීනයක් තියෙනවා... ඒක හැබෑ කරගන්ඩ තමා මේ ටිකෙරිම දත කන්නේ !
ReplyDeleteඒ හීනෙ මොකක් උනත් මම සුභපතනවා මල්ලි
Deleteහැමදාමත් අපේ හීන අපිව ජීවත් කරනවා, වයස එක්ක ඒවා කොයිතරම් වෙනස් වුනත් ඒ හීන නිසා අපි ලොකු සතුටක් ලබනවා නේද?. ඒවා ලඟා කරගන්න බැරිද පුළුවන්ද කියන එකටත් වඩා ඒ හීන අපිව තාවකාලිකව හරි කොයිතරම් සතුටු කරනවද කියන එක හිතලා සතුටු වෙන්න පුලුවන් නේද? .
ReplyDeleteහීනෙ ගැන හීන මවන එකත් කොච්චර සතුටු දෙයක්ද
Deleteඇත්තම තමයි. හීන තමයි අපිව හැමදාමත් ජීවත් කරවන්නේ. මමත් ඒවගෙයි
ReplyDeleteඅපි හැමෝම හීන මත්තෙ ජීවත් වෙන අය වගේ
Deleteකෝ මගේ කමෙන්ට් එක ?
ReplyDeleteඅර තියෙන්නෙ බං උඩින්ම
Deleteහීන ගැන හීන දැකල තියනව ද?
ReplyDeleteහ්ම්ම්. හීන ගැන හීන දැකීමක් තමයි
Deleteහීන.. අපිව ජීවත් කරවන්නේ.. අපිට ගොඩ වෙලාවකට බලාපොරොත්තු දෙන්නේ හීන.. ඒවා හැබැ කර ගැනීම හා නොවීම මතින් අපි අපේ ජීවිත ගෙනියනවා.. ඒත් බලාපොරොත්තුත් එක්ක යන ජීවිතේට අරමුණක් තියෙනවා.. නැතුව ළගට ගෙනල්ල දේවල් වල අගයක් දැනෙන්නේ නෑ..
ReplyDeleteපුංචි කාලේ මටත් ඔය වගේම හීන හුගාක් තිබ්බා.. බ්‍රික් ගේම් එකක්, ගේම් බෝයි එකක්, ප්ලේ ස්ටේෂන් එකක්.. කොම්පීතරයක්.. ඇත්තටම කිව්වොත් මං සොෆ්ට් වෙලා එකතු කරන්න පටන් ගත්තේ කොම්පියුටරයක් ගන්න අවුරුදු තුනකට විතර කලින් ඉදං.. ඒවා කලෙන් කාලෙට අවුට් ඩේට් වෙද්දි මං සීඩි කේස් වලදාලා මගේ කියල එකතු කලා.. දැං අවුරුදු අටක් නවයක් වෙලත් එදා ගහ ගත්තු සීඩී වැඩකරන ගානට ඒ දාපු කේස්වල තවම තියෙනවා.. අනික් හීනේ තමයි කොම්පියුටරේ.. නොතේරෙ කාලේ ඉදං අම්මල සල්ලි දාපු බැංකු ගිණුමෙං මට තනියම සල්ලි ගන්න පුළුවං වෙච්චි ගමන් කොම්පියටරයක් ගත්ත.. අද ඒක ඔන් වෙන්නෙත් මාසෙකට සැරයක් දෙසැරයක් වගේ.. ඒ මං ගෙදර ගිය වෙලාවට..
හීන මොනව උනත්, ඒ හීන වලින් අපි ගත්තු දේවල් වලට මම නම් පුදුම විදිහට ආදරේ කලා.. කරනවා.. ඒවා පාවිච්චි කරන්නේ බොහෝම ලැදියාවකින්.. ඒවගේ මගේ කියන හැගීම හැමදාමත් තිබ්බ.. ඉස්සරහටත් එහෙමම වේවි..
අපිට හීන එයි, ඒවා හැබෑ කරගන්න පුළුවං වෙයි. බැරි වෙයි.. ඒත් අපේ ජීවිතේ දිගටම යනවා.. ඒ හින්ද එක හීනයක් හැබෑ කරගන්න බැරි උනාට එතනින් ජීවිතේ නවතින්නේ තීරණය කරන්නේ නැතුව ඒකෙන් පන්නරයක් අරං ඉස්සරහට යන්න.. කවදා හරි හීන ඉටුවෙයි..
ජය!!!
මගෙත් ඉටු කරගත්තු හීන ගොඩකට පස්සෙ කාලෙක පසු තැවීම එකතු උනා. ඒත් ඒ හීනෙ පස්සෙ එලවපු කාලෙ මොන තරම් ජීවිතයට බලාපොරොත්තුවක් ගේනවද
Deleteකතාව ඇත්ත... ජීවත් වෙන්න ශක්තිය දෙන්නේ බලාපොරොත්තු දෙන්නේ හීන...
ReplyDeleteඔව් මාලුවා. හැමෝටම ඒක වලංගුයි
Deleteඔබේ අකුරු ටික මම මවාගෙන කියෙව්ව නිසාද මන්ද..පොඩි කඳුලක් පිරුනා ඇහැට.
ReplyDeleteඔබේ ලිපිය අපූරුයි..
ඔබට ජය!
ස්තූතියි.
Delete/*----------ඔබටත් ඉටු කරගන්න බැරි වෙච්ච හීන ඇති. දුක් වෙන්න එප. කාලයක් ගත වෙද්දි ආපහු හැරිලා බලද්දි හීන අවලංගු වෙන බව දැනේවි. සමහරවිට ඉටුකරගත්තු හීන වලට ඉටු කරගත්තු හීන වලට පස්සෙ කාලෙක පසුතැවීමකුත් එකතු වෙලා තියේවි. ඒත් අමතක කරන්න එපා. ජීවිතේ එක් එක් කාලවලදි අපට ජීවත් වෙන්න අරමුණු සපයන්නෙත් ඒ හීනම තමයි. ---------------*/
ReplyDeleteහරියටම හරි
හැමෝටම අදාලයි වගේ
Deleteබලාපොරොත්තු වගේම තමයි හීනත්.. ඒ දෙකෙන්ම අපි ජීවත් කරවනවා.. මම හීන ගැන දන්න එක දෙයක් තමයි, හීනේ හෑබෑ කරගන්නකන් නින්ද යන්නෙත් නෑ / හීනේ හැබෑ උනාට පස්සේ නින්ද යන්නෙත් නෑ...
ReplyDeleteහරියටම හරි.
Deleteහීන ගැන නම් ගොඩක් දේවල් කියන්න පුළුවන් අක්කේ.. අපි කාටත් හින තියෙනවා.. ඒත් ඒ හැම එකක්ම හැබෑ වෙන්නේ නෑ.. කිවුවත් වගේ සමහර හීන හැබෑ උනාට පස්සේ පුංචි පසුතැවිල්ලක් ඉතුරු වෙනවා පස්සේ කාලෙකදි.. ඇයි අපි ඒ දේ වෙනුවෙන මුරණ්ඩු උනේ කියලා..
ReplyDeleteහිත අතීතෙට අරන් ගිය පෝස්ට් එකක් අක්කේ...
හැමෝටම හීන පස්සෙ එලවපු කාලයක් තියෙනවා වගේ
Delete
ReplyDeleteමෙන්න පිණිබිඳු මම ආසා විදියෙ රචනා. අපි කාටත් සිහින තිබ්බා. සැබෑ වුන සහ නොවුන, ඒ වගෙම අවලංගු වෙච්ච හීන. ඔයා දැකලා තියෙනවද මගෙ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ ප්‍රොෆයිල් පික් එක? අර රිදී පාට බයික් එකක් උඩ මම නැගලා ඉන්නෙ. අන්න ඒක හැබෑ වෙච්ච හීනයක් පිණිබිඳු! ඒ මම පොඩි කාලෙ ඉඳල ගන්න හීන මවපු බයික් එකක්. සමහරු මගෙ දිහා බලලා ඇයි උඹ පල්සර් එකක් නොගෙන මේවගෙ පරන බයික් එකක් ගත්තෙ කියලා හිතනවා මට දැනෙනවා. නමුත් ඒක මගෙ හීනයක්. හැබෑ වුනාට වඩා, හැබෑ කරගත්ත එකක්!
"තුල් මාරුකරන" ඔය කෑල්ල මම මීට කලින් ඇහුවේ බුද්ධිගෙන්. අපි නම් කියන්නෙ පිණිබිඳු, "තුඩ/තුඩවල්" කියලා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අපි නම් දන්න දවසෙ ඉඳන්ම කියන්නෙ තුල් කියලා තමා.
Deleteසජිත්ටත් හැබෑවෙච්ච හීනයක් තමා ඔය වගේ බයික් එකක් ගන්න එක. එයා නම් ඒකට තාමත් සලකන්නෙ එයාගෙ පලවෙනි මනමාලිට වගේ.
සහතික ඇත්ත. අපි හීන දකින්න ඕනේ. ඒ හීන අපි කවද හරි ඉටුකරගන්න ඕනේ. මට තියන ඔක්කොම හීන ඉටුකරගන්නකම් මම හීන දකිනවා.
ReplyDeleteඒ ඔක්කොම හීන හැබෑවෙන්න කියලා මම පතනවා
Deleteමගෙ කමෙන්ට් එක නැතෝ. ස්පෑම් එකේ බලපියෝ!!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හයියෝ ඔය උඩින් තියෙන්නේ.
DeletePls check spam for my commens!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඇත්තටම මම මේ පෝස්ට් එක පබ්ලිශ් කරලා ගමේ ගියා. ආපහු ඇවිත් තමා කමෙන්ට් ටික පබ්ලිශ් කරේ. ඒකයි පමාව. සමාවෙන්ට ඕනෙ.
Deleteමටත් මේක කියෙව්වාම පරණ දේවල් ගොඩක් මතක් වුනා. කොහොමත් අතපසු වුණු හීන ගැන හිතන්න නම් යන්නේ නැහැ. මොකද කාලයක් යද්දී හිතෙනවා ඒවා කොච්චර නම් බොළඳද කියලා. අද සැබෑ කරගන්න හීනයක් වුනත් තව කාලයක් ගියාම හිතේවි කොච්චර නම් බොළඳද කියලා...
ReplyDeleteහ්ම්ම් හීන වලට ආයු කාලයක් තියෙනවා හසිත.
Deletehttp://sith-aara.blogspot.com/2012_07_01_archive.html
ReplyDeleteකියන නලිනිගේ බ්ලොග් පෝස්ට් එක මතක්ව් වුනා . ලස්සන සටහනක් පිනි බිඳු. මන් කවදත් අතීත කතා වලට මනාපයි . අද ලොකුවට දැනෙන දේවල් හෙට පුංචියට පෙනෙයි .හීන ගැන මගේ තත්වේ නම් වෙනස් . මන් එච්චර හිනා රැස්කරන කෙනෙක් නෙමේ .ඉස්කෝලේ යනකාලේ ළමයි ළඟ තිබ්බ එක එක ඒවා ලස්සනයි කියල හිතුනට ඒ දේවල් මට ඕන කියල වැඩිය හිතුනේ නැහැ . හැබැයි එකක් මතකයි . යාලුවෙක් ළඟ තිබුනා දිය පැස්ටල් එකක් . අතුල්ලලා පින්සලයකින් වතුර ගාල දිය සායම් වගේ පාට කරන්න පුළුවන් . එයා මටත් පාවිච්චි කරන්න දුන්න . කවද හරි ලොකු වෙලා එයින් එකක් ගන්න හිතන් හිටියේ .[අම්මලට ඒවා අරන් දෙන්න බැරි බව මන් දැනන් හිටි නිසා ] තව තෙල් සායම් චිත්‍රයක් අඳින්න ආසාවක් තිබුනා . ඔය හීන දෙකම සම්පුර්ණ වුනේ ළමයිත් ඉපදුනාට පස්සේ . මොකද මන් රස්සාව කරන කළේවත් දියසායම් පැස්ටල් ලංකාවේ සොයා ගන්න බැරි වුනා .ඒ ආසාව කොපමණ මගේ හිතේ තිබුනද කියනව නම් මගේ අක්කගේ අයගේ පොඩි අයට මන් දියසායම් පැන්සල් ගිහින් දුන්න . තෙල් සායම් චිත්‍ර දෙකකුත් ඇන්දා. හැබැයි මේ වෙනකොට ඒ හැකියාවන් මුවහත් මදි . ඉස්කෝලේ කාලේ දිගටම චිත්‍ර කලානම් අද වෙද්දී හොඳ චිත්‍ර ශිල්පිනියක් වෙන්න තිබුනා . සමහර හීනවල අගය බාල වෙන්නේ එහෙමයි.
ගොඩාක් පොත් අරන් ගෙදර තියාගන්න ආසාවක් තිබුනා . ඒ නිසා අද මගේ ගෙදර ගොඩාක් පොත් තියෙනවා . ළමයින්ටත් ගොඩාක් පොත් ගෙනත් දෙනවා . ඒ වගේ ජිවිතේ පුරාම අගය අඩු නොවෙන හිනත් තියෙනවා .
අපේ අක්කගේ හීනයක් තිබුනා. පිටකොටුවේ බෝ ගහ ළඟ ඉස්සර කැවිලි කඩයක් තිබුනා . ලොකු වෙලා රස්සාවක් කරන කාලෙට ඒ කඩේ කැවිලි සේරම කනවා කියලා එයා පොඩි කාලේ කියනවා . අපේ හීන ඒ වගේ . අද තාක්ෂණ යුගයේ උපන් බනියා හීන මවන්නේ අයි පෑඩ් එකකට .
අනේ මටත් හීනයක් තිබ්බා ලොකු වෙලා ෆ්‍රිජ් එකේ අයිස් ඔක්කොම කනවා කියලා. ඇයි පොඩි කාලෙ සෙම හැදෙනවා කියලා අයිස් අල්ලන්න වත් දෙන්නෙ නෑනෙ.
DeleteTo live the life, there should be a dream.
ReplyDeleteකඩ්ඩෙන් කිව්වොත් ඒක තමයි.
Deleteඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා මේක කියවද්දි.
ReplyDeleteමට පොඩි කාලෙ තිබ්බෙ එකම එක හීනයයි. ඒ බයිසිකලයක් ගන්න එක. මං ශිෂ්‍යත්වෙ පාස් උනාම මට එකක් ලැබෙන බව දෙමව්පියො කිව්වත්, කොලඹ ඉස්කෝලෙට ගිහින් අවුරුදු ගානක් යනකම්වත් ඒක ඉටු නොවුණෙ ඊට වඩා වියදමක් මට උගන්නන්න දෙමව්පියො කරපු නිසා කියල පස්සෙයි තේරුනේ.
හීන නිසා අපි අපේ ඉලක්ක වලට යන බව මම අත්දැකීමෙන් දන්නවා............ පස්සෙ සිද්ධ වෙච්චි දේවල් එක්කලා.
හීන අපිව ජීවත් කරවනවා.
Delete