Pages

Wednesday, February 9, 2011

මාළු බිත්තර වලින් රස කෑමක්


මාළු බිත්තර කාල තියෙද? මම කියන්නෙ මූදු මාළු නෙමෙයි වැව් මාලු බිත්තර ගැන. ඔයාලට රසවත් විදිහට මාලු බිත්තර හදාගන්න පුලුවන් ක්‍රමයක් කියල දෙන්නයි මම හදන්නෙ. මේ රෙසිපි එක අපේ තාත්තගෙ නිර්මාණයක්. තාත්තා හුඟක් කෑම ජාති හදන්න එයාටම ආවේණික වෙච්ච කෑම වට්ටෝරු හදාගෙන ඉන්නවා. ඉඩ තියෙන වෙලාවක අනිත් ඒවත් දාන්නම්කො. අපේ තාත්තගෙ පූර්ණ අනුමැතිය ඇතුව තමයි මේ රෙසිපි එක පබ්ලිෂ් කරන්නෙ හොඳේ.

වැව් මාළු බිත්තර ගැන දන්නෙ නැති කට්ටියට මං කියන්නම්. සාමාන්‍යයෙන් ලොකු වැව් මාලුන්ගෙ බිත්තර තමයි ගන්නෙ. අනුරාධපුර පොළොන්නරු පැත්තකට ගිහින් මාළු ලෑල්ලකින් වැව් මාළු බිත්තර කියල ඉල්ලුවොත් ගන්න පුලුවන්. මේවා ඉතාමත්ම කුඩා බිත්තර ලක්ෂ ගානකින් සමන්විතයි.

දැන් මේක පිළියෙල කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය බලමුකො.
  • වැව් මාළු බිත්තර 500g
  • සුදු ලූණු බික් 4-5ක්
  • ලොකු ලූණු ගෙඩි 1ක්
  • අමු මිරිස් කරල් 3-4ක්
  • කරපිංචා ඉති කෑල්ලක්
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 2ක්
  • රස අනුව ලුණු
  • බිත්තර 1ක් (කිකිළි බිත්තර හොඳේ )
  • එළවළු තෙල් ටිකක්

ඉස්සෙල්ලාම මාළු බිත්තර ටික අරගෙන ඒකෙ බෑග් එකක් වගේ තියෙන පිට සිවිය අයින් කර ගන්න. දැන් සුදු ලූණු, ලොකු ලූණු, අමු මිරිස්, කරපිංචා කුඩාවට කපා ගන්න. ඒ ටික මාළු බිත්තර වලට එකතු කරලා ලුණු සහ ගම්මිරිස් කුඩු දාගන්න.



දැන් අතින් ඒ ඔක්කොම ටික අනාගන්න.
දැන් තියෙන්නෙ මේ මිශ්‍රණය තම්බ ගන්න එක තමයි.

මාළු බිත්තර මිශ්‍රණය තබගන්න ඕනෙ වාෂ්පයෙන්. අපිට මේකට ලේසියෙන්ම රයිස් කුකර් එක ගන්න පුලුවන්. රයිස් කුකර් එකේ ස්ටීමර් එක තියෙන්නෙ. ඒකට ලන්ච් ෂීට් එකක් අතුරලා අර අනාගත්තු මිශ්‍රණය ඒක උඩින් දාගන්න.


ඊට පස්සෙ පල්ලෙහා කොටසට වතුර දාලා ස්ටීමර් කොටස ඊට උඩින් තියලා පියනෙන් වහලා විනාඩි 20ක් විතර තැම්බෙන්න අරින්න. ඒක තැම්බුනාට පස්සෙ මෙහෙමයි පේන්නෙ.

දැන් ඔයාලට ලේසියෙන්ම මාළු බිත්තර එක ලන්ච් ෂීට් එක පිටින්ම බා ගන්න පුලුවන්.

රයිස් කුකර් එකක් නැත්තන් අපිට මේකට ඉඳි ආප්ප වණ්ඩුව ගන්නත් පුලුවන්. ඉස්සෙල්ලාම ඉඳි ආප්ප තට්ටු තියෙන්නෙ, ඒවගෙ ගාණට කෙසෙල් කොළ රවුමට කපා ගන්න. දැන් ඒ කෙසෙල් කොළ වල පොල් තෙල් ගාන්න. ඒවා ඉඳි ආප්ප තට්ටු උඩ තියලා අනාගත්තු මාළු බිත්තර මිශ්‍රණයෙන් ටික ටික දාන්න. දැන් ඉඳි ආප්ප තම්බනවා වගේ එක උඩ එක අඩුක් කරලා තම්බගන්න තමයි තියෙන්නෙ.

මොන ක්‍රමයකින් හරි තම්බගත්තු මාළු බිත්තර එක අරගෙන තරමක කොටු කෑලි වලට කපා ගන්න. ඒ කියන්නෙ එක කොටුවක් අඟල් 2ක විතර දිගක් සහ පළලක් තියෙන විදිහට.

දැන් අර කිකිළි බිත්තරේ තියෙන්නෙ (බිත්තර වර්ග පැටලෙන හන්දයි මෙහෙම කියන්නෙ හොඳද?) ඒක කඩලා වෙනම බොකු හැඩයෙ දීසියකට දාලා බීට් කර ගන්න. අර කොටු කපා ගත්ත මාළු බිත්තර එක බීට් කර ගත්තු බිත්තර සාරු වල තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.


ඔන්න ඔහොමයි මාළු බිත්තර පිළියෙල කරගන්නෙ.

මේක සාමාන්‍යයෙන් බත් එක්ක කන්න ගන්නත් පුලුවන්. එහෙමත් නැත්තන් තක්කාලි සෝස් ටිකක් තවරගෙන නිකම්ම කන්න ගන්නත් පුලුවන්.

ඔන්න අපේ තාත්තා තනියම කුස්සියේ හරඹ කරන හැටි.

11 comments:

  1. අපිට කොයින් ද වැව් මාළු... අපි කන්නේ මුදු මාළු.... :D

    ReplyDelete
  2. අනේ මන්ද අද තමයි මුලින්ම ආවෙ..ජරා හිත් කියල මට සද්දෙකුත් දාල ගිහින් තිබ්බෙ.හී හි..

    පැන්ඩ නම් ඉතින් පැටිය කාලෙ ඉඳන් ශාක භක්ශකයි නෙ..එහෙම කිව්වට ඉතින් කිරි නම් බොනව.අර ලැක්ටො ඕව (lacto-ovo vegetarian) කියන ජාතියෙ භක්ශකයෙක් ලු මම..අපෙ අක්ක තමයි ඕව කියන්නෙ.

    ReplyDelete
  3. දැන් පැයකට විතර කලින් තමයි දවල්ට කෑවෙ. අම්මෝ මේක කියෙව්වම ආයෙමත් බඩහින්නක් එනව ඉවසන්නම බෑ.

    අර මගේ පැල පොල් පෝස්ට් එකට පලිගන්න නේද මේ හොයාගන්න බැරි වැව් මාළුබිත්තර ගැන ලිව්වෙ.

    අර කියල තිබුනෙ

    "හපොයි දැන් ඉතින් මේ බෝඩිං ගෙවල් වල පැල මද හොයන්න කියලද? අයියෝ මේක කියවල වෙච්ච අපරාධයක්. හිටුකො අපිත් ලියන්න හොයාගන්න අමාරු කෑමක් ගැන. එතකොට වත් තේරෙයි අපි විඳින දුක. එතකල් ඉතින් මෙහෙම වත් කියල හිත හදා ගන්නවා. පැළ මද රස නෑ…………. තිත්තයි…………." කියල

    ඇත්තටම මේක මූදු මාළුබිත්තර වලිනුත් හදාගන්න පුළුවන් ඇති නේද?

    ReplyDelete
  4. මේක නම් වැවු මාලු හොයා ගන්න නැති අපි වගේ අහිංසක ජනතාවගෙන් පලිගන්න දාපු එකක්

    ReplyDelete
  5. රංග කියන එකට 100% ක් මමත් එකඟයි. :D
    මේවා මූදු මාළු වලින් හදන්න බැරි වෙයිද?

    ReplyDelete
  6. @ සෝරෝ - හා කාල බලන්නකො වැව් මාලු. මූදු මාලු පරාදයි

    @ පැන්da - පැන්ඩට ඉතින් උණ ගස් තමා.

    @ nawammawatha - ඇද්ද ඇද්ද මම දැම්මනෙ හොයා ගන්න බැරි කෑමක්. මූදු මාලු බිත්තර වලින් නම් මම හදල නෑ. හැබැයි බැරි වෙන එකක් නෑ.

    @ රංග - මගේ ලෝකය - අඬන්න එපා ඉතින්. අපේ පැත්තෙ ට්‍රිප් එකක් ගිය කාලෙක මාලු බිත්තර ටිකක් අරගෙන එන්න.

    @ හරී - පිණිපළස - මූදු මාළු බිත්තර වලිනුත් හදා ගන්න පුළුවන් වෙයි අක්කෙ. මම නම් හදල නෑ එහෙම. අපිට ඉතින් වැඩිය මූදු මාලු බිත්තර ගන්න නෑ

    ReplyDelete
  7. හික්...දැන් අක්කද උයන්නේ...කන්න පුලුවන් වෙයිද දන්නේ නෑ....

    ReplyDelete
  8. අනේ මම එක පාරක් කාල තියෙනවා මාලු බිත්තර... ඒ මාළුවා ගෙ (මාළුවී) ගේ බඩ පලලා බිත්තර ගත්ත වෙලාවේ බිත්තර කෝටි ගානක් ඒකේ තිබ්බා. අපේ ගෙදර වේල් 2-3ක් ම ඒවා ඉව්වා. ඒත් මහ පව්කාර වැඩක් කියලා මට හිතුණා අප්පා...! එදයින් පස්සේ මම කටේවත් තිබ්බේ නෑ... තාම මට මතක් වෙන්නේ අර මාළුවාගේ බඩින් බිත්තර ටික එලියට ඇවිල්ලා තිබ්බ හැටි. මොනවා වුණත් අම්මා කෙනෙක් නේ කියලා මට හිතුණා අනේ.

    ReplyDelete
  9. මාළු බිත්තර දන්නැනේ........ මාළු කැල්ලනම් බිත්තර දානවා....

    ඔන්න මම මෙ පොස්ට් 1ක සෙව් කරගත්තා... වෙලාවක හදලා බලලා ... හොදද කියන්නම්කො......

    ReplyDelete
  10. අපට කොයින්ද පූසෝ වැව් මාලු. පෝමලින් ගහපු මාලු නෙව කන්න තියෙන්නේ. කාපු ගමන් මුලු කටම කහනවා. එපා වෙනවා අප්පා........

    මේ පෝස්ට් එක සේව් කර ගත්තා. පාන් බාගයක් අරගෙන ඇවිත් මාලු හොද්දේ ෆොටෝ එකක් දිහා බලාගෙන වත් කන්න ඕනේ.

    ReplyDelete
  11. ඇත්තටම ඔයාලගේ තාත්තාට සූප ශාස්ත්‍ර පොතක් එහෙම ලියන්න හිතිලා නැද්ද ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...