
මං පුංචි සන්දියෙ කාලයක් පුන්නි එක්ක ගෙවුනා වගේ තව කාලයක් ගෙවුනෙ සීයා එක්ක. අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල් කරපු නිසා එයාලා වැඩට ගිහින් එනකල් සීයා එක්ක තමා සෙල්ලම් කර කර ඉන්නෙ.
මට අදටත් මතකයි සීයට පුළුවන් කට හොල්ලන්නෙ නැතුව උගුරෙන් කතා කරන්න. සමහර වෙලාවට සීයා ඔහොම මොනාහරි කියලා මාව බය කරනවා ඔන්න කවුද කතා කරා කියලා.
කොච්චර කරත් සීයගෙ අත් ඇරව ගන්න බැරි එක පුරුද්දක් තිබුණා. ඒ තමයි බීඩි බොන එක. එයා බීඩි වලට පුදුම ආසාවක් තිබුණෙ. ඒත් තාත්තවත් ආච්චිවත් බීඩි බොන්න දෙන්නෙ නෑ. මොකද සීයා හිටපු ගමන් ඉස්පිරිතාලෙ ගෙනියන්න තරම් ලෙඩ වෙනවා. එතකොට ඉතින් බයටම කාලයක් යනකල් බීඩි දිහා බලන්නෙවත් නැතුව ඉන්න සීයා ඔන්න ආයෙමත් පටන් ගන්නවා පුරුද්ද.
සීයා බීඩි බොන්නෙ ගෙයි පිළිකන්නෙ ඉඳගෙන. සරම අර පුංචි උන්ට ඔංචිල්ලා පදින්න පුලුවන් විදිහට දිග ඇරගෙන තමා ඉඳගන්නෙ. බීඩි ගඳ දැනිලා කවුරු හරි එන සද්දයක් එනකොට සීය පටස් ගාලා බීඩිය සරමට දාගන්නවා. එතකොට සීයගෙ කටේ බීඩිය නෑනෙ. ඊළඟට අර ආපු එක්කෙනා ගියාට පස්සෙ සරමට දාපු බීඩිය අරගෙන ආයෙත් බොනවා. ඔය හන්දා සීයගෙ සරම් තැනින් තැන පිච්චිලා හිල් වෙලා තිබුණේ.
සීයා කොච්චර බීඩි වලට ආදරේද කියනවා නම් එක දවසක් අපේ තාත්තා සීයගෙ බීඩි මිටියක් අරගෙන ගිහින් ලිපට දැම්මා. සීයට හොඳටම තරහ ගිහින් තාත්තට කිව්වා මීට වඩා හොඳයි උඹ මාව මැරුවනම් කියලා. කොච්චර බැන්නත් ඒ පුරුද්ද නම් අත ඇරව ගන්නම බැරි උනා. අන්තිමට සීයා නැති උනෙත් ඔය බීඩි ඉරිල්ල හන්දම තමා.
සීයා ඉස්සර වැඩ කරලා තිබුණෙ වාරිමාර්ගෙ රියදුරෙක් විදිහට. ඒ හන්දා සීයට මාසයක් ගානෙ පෙන්ෂන් හම්බුණා. පෙන්ෂන් දවසට අපිටත් හරි වාසියි. මම ආසම සීයා ගෙනත් දෙන අර හිනා බිස්කට් වලටයි පාට පාට ජිල් බෝල වලටයි තමා.
සීයගෙ හිතේ අපි වෙනුවෙන් තිබුණෙ නිහඬ ආදරයක්. ආදරෙයි කියල දන්නවා. ඒත් එයා ඒක පෙන්නන්නෙ නෑ. සීයා එක්ක ගෙවිච්ච මගෙ පුංචි කාලෙ සිද්ධ වුණු එක සිද්ධියකින් ඔහු කොච්චර ආදරයක් අපි වෙනුවෙන් හිරකරගෙන හිටියද කියල මම දැන ගත්තා.
මම කලිනුත් කිව්වනෙ අම්මලා වැඩට ගිහින් එනකල් සෙල්ලම් කරන්නෙ අපි සීයා එක්ක කියලා. එහෙම සෙල්ලම් කරද්දි සීයා කවදාවත් අපිට එයාගෙ දෑස මානෙන් යන්න දෙන්නෙ නෑ. එයාට පේන තැනක තමා ඉන්න ඕනෙ. අපේ ගෙදර පිටිපස්සෙ ලොකු හබරල ගාලක් තිබුණා ඒ කාලෙ.එක දවසක් සීයා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා මම ඒ හබරල ගාල අස්සෙ සෙල්ලම් කරන්න ගත්ත වාඩි වෙලා. හබරල කොළ ලොකු හින්දා කාටවත් මාව පේන්නෙ නෑ. අපේ සීය ආපහු එනකොට මම නෑ. සීයා හැම තැනම හොයලා අහල පහල ගෙවල් වලත් බලලා. වෙන දෙයක් නෙමේ ළිං වලත් බලලා මම වැටිලද කියලා. අන්තිමට මාව හොයා ගත්තා හබරල ගාලෙ ඉඳලා.
එලියට ආවා විතරයි සීය මට හොඳවැයින් පාරක් ගැහුවා. ඊට පස්සෙ සීයා අඬාගෙන පුටුවකට වැටුනා "තෝ නැතුව මං මළා" කියලා.
සීයගෙ හිතේ තිබුණු ආදරේ හරියටම මට එදා දැනුනෙ. සීය නැති වෙලා අවුරුදු ගානක් ගියත් මගෙ හිතේ ඔහු ගැන තිබුණු ආදරේ ගෞරවය එහෙම්මමයි. ඔහුගෙ නිහඬ ආදරේ පාලුව මට තාම දැනෙනවා.