Pages

Wednesday, November 9, 2011

ඈ දීගෙක ගියාය.. || Weddings are all about emotions


අක්කා..

සහෝදරියකටත් වඩා නුඹ මට මිතුරියක්.

මෙලොව එළිය දුටුදා පටන් නුඹ මා එක්ක හිටියා.

කොහේ ගියත් මොනවා කරත් මගෙ හෙවනැල්ල උනේ උඹ.

වෙලාවකට වලි දාගෙන මරා ගත්තත් අපි සතුටින් හිටියා.

අම්මා තාත්තා උඹ මම අපි හතර දෙනාගෙ පුංචි ලෝකෙ හරි ලස්සනයි අක්කෙ.

නුඹ කවදාවත් අම්මලගෙ ඇස් වලට කඳුළක් දුන්නෙ නෑ.

උසස් පෙළින් ඉහලින්ම සමත් වෙලා වෛද්‍ය විද්‍යාලෙට තේරුණ දවසෙ තාත්තා ඇඬුවෙ මාත් දැන් රජෙක් කියලා.

අම්මා තාත්තගෙ හිත් වලට උඹ හැමදාම සැනසිල්ලක් උනා.

මගෙ ජීවිතේ හැම අස්සක් මුල්ලක්ම උඹ දන්නවා අක්කෙ.

අපි දෙන්නා අතරෙ රහසක් තිබ්බෙ නෑ කවදාවක්වත්.

මගෙ ජීවිතේ පීලි පනිද්දි උඹයි මාව හරි පාරට යොමු කරේ.

විභාගෙට කලින් දවසෙ ගණන් හදාගන්න බැරුව අඬද්දි ටොකු ඇණ ඇණ රෑ තිස්සෙම ගණන් කියා දුන්නෙ උඹ අක්කෙ.

ජීවිතේ ඉස්සරහට අරන් යන්න බැරුව කර කියාගන්න දෙයක් නැතුව ඉද්දි තමුසෙට පිස්සුද ඕයි කියලා ඉස්සරහට තල්ලු කරේ උඹයි අක්කෙ.

අපේ මුළු ගෙදරම එළිය කරපු පහන උඹ.

ගෙදරට එන පුංචි සමනළයොන්ටත් උඹ ආදරේ කරපු තරම්.

උඹ අපේ රෝස මල....




අපේ ගෙදර හැදී වැඩුණු රෝස මලට ඇගේ අයිතිකාරයා ළඟට යන්න උනා.

ගැහැණු දරුවෙක්ගෙ දෛවය ලියවිලා තියෙන්නෙ එහෙම.

ඒත් උඹ නැතුව ගෙදර පාලුයි අක්කෙ.

තාත්තා තාමත් හවසට උඹ කැමති කෑම අරන් එනවා.

අම්මා අමතක වෙලා ලොකු දූ කියාගෙන උඹව ගේ පුරා හොයනවා.

අන්තිමට උඹ නෑ කියලා මතක් උනාම දොර පඩිය උඩට වෙලා අඬනවා.

නුඹ නිසා ගෙදර පිරිලයි තිබුණෙ කියලා තේරෙන්නෙ නුඹ නැතිව මේ හිස්කම අත් විඳිද්දියි.

අපේ රෝස මල, උඹට වාසනාවන්ත අනාගතයක් අක්කේ.

අපිටත් වඩා ආදරෙන් බලාගන්න සැමියෙක් උඹට ලැබුණා.

අපේ ගෙදර සතුටින් පිරෙව්වා වගේ මේ අලුත් ගෙදරත් සතුටින් පුරවපන් මගෙ අක්කෙ.



82 comments:

  1. මගේ සුභ පැතුම් ඈට දෙන්න!

    ReplyDelete
  2. ඇත්තටම කඳුළු පැන්නා නංගී... මගේ නංගාත් මේ විදියටම එදා හිතන්න ඇති... අනාගතේ දවසක මගේ චූටි දුවත් මෙහෙම හිතාවි... හ්ම් ඉන්නකොට සමහරවිට උඹ රණ්ඩු වෙන්න ඇති... එහෙම නේද? කමක් නෑ හිත හදාගනින්... ඉස්සරහට පුංචි පැටියෙක් පුංචෝ කියද්දි ඔය විඳපු දුක්, හෙලපු කඳුළු මොනාද කියල හිතෙයි...

    ඔයාගේ අක්කාට හා අළුත් අයියාට තුණුරුවන්ගේ සරණ පතනවා නඟේ!!!

    ReplyDelete
  3. වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පිනිඹිඳු අක්කගේ අක්කාට....!!!

    දැන් එතකොට ඊගාවට කාගෙ ෆයිල් එකද....???

    ReplyDelete
  4. අක්කගේ අක්කාට මගෙනුත් සුභ පතුම්.....
    සුභ අනාගතයක් අක්කේ......

    ReplyDelete
  5. අක්කාගේ අනාගතය සූභම සූභ වෙන්න කියලා නෝටියා ප‍්‍රාර්ථනා කරනවා...
    ඒ වගේම පිණිබිදු දැන් ඉතින් ඊලග මිෂන් එක ඔයා...ඒකත් ඉක්මනට කරලා දාමු.

    ReplyDelete
  6. මොකක්ද බං.. මට ඇඩෙන්නත් ආවා මේක කියවලා. උඹත් ගියාම කොහොම තියෙයිද?? අපේ ගෙදරටත් ඔය සෙතේම තමයි... :((

    අක්කටයි අයියටයි සුභම සුබ අනාගතයක්...

    ReplyDelete
  7. සුබම සුබ අනාගතයක් වේවා !!
    පිණිබින්දු අක්කගේ අක්කට

    ReplyDelete
  8. අනේ එයා හරී ලස්සනයි සුදු ඔසරි එකට.මම් මූණු පොතේ පින්තූර බැලුව,අක්කි අම්ම වගේ නේද?

    ඊලගට ඔයා :)

    අක්ක අය්ය දෙන්නටම සුබම සුබ අනාගතයක්,සුන්දර විවාහ දිවියක් ප්‍රාර්ථනා කරනව.!!!

    ReplyDelete
  9. දෙන්නාටම සුභ පතනවා!
    මම නම් පොටෝ සේරම දැක්කා....
    දැන් පිණි අක්කාගේ වෙඩිම කවදද?

    ReplyDelete
  10. මට මගේ චූටි නංගි සිහි වුනා. එයා මං බැඳලා ගිය දවසේ ගොඩක් ඇඬුවා. රෑ 10 විතර වෙනකම් ඇඬුවා කියලා අම්මා කියනවා. පව් කෙල්ල. දැන් එයා හොඳ රස්සාවක් කරනවා. ගිය මාසේ ඉඳන්. ඊයේ පෙරේදා ඉඳන් මගෙන් අපේ දුගේ උප්පැන්න සහතිකයේ කොපියක් ඉල්ලනවා. අදත් කෝල් කරලා ඉල්ලුවා. බැලුවහම දුවට බැංකු ගිණුමක් හදන්න. මං කොහොමත් එපා කියන්නේ නැහැ. ඒ එයාගේ දේ ගන්න නෙමෙයි. ඒ වගේ ආදරණීය බැඳීම් වලට අපි උදව් කරන්න ඕනේ නිසා. අපේ දුවත් දිනි පුංචි දිනි පුංචි කිය කියා නංගිගේ ඇඟේ එල්ලුනු ගමන්. මාත් කවදා හරි එයාගේ දරුවන්ට මගේ දරුවන්ට වගේ ආදරෙන් ඉඳියි කියලා මං දන්නවා. ඉතිං නංගි ඔයාත් කවදා හරි හොඳ ආදරණීය පුංචි අම්මා කෙනෙක් වෙන්න.

    ReplyDelete
  11. අක්කාගේ අලුත් ජීවිතයට සුභ පැතුම් !!!
    හිතට දැනෙන පද පෙළක්.කොච්චර රණ්ඩු උනත් අක්කා ගෙදරින් ගියාම හිතට දැනෙන පාලුව කියන්න බැරි තරම්.

    ReplyDelete
  12. ජීවිතේ වඩාත්ම සතුටු වෙච්ච සහ වඩාත්ම දුක හිතිච්ච දවස මතක් උනා... ඔය ලියල තියෙන්නේ මම දැනට මාස කීපයකට ඉස්සෙල්ල හිතේ තදකරගෙන හිටපු කතාවමද කියල හිතුන....

    අපි හැමෝටම, අක්ක කියන්නේ දෙවෙනි අම්ම වගේ තමයි...

    නංගිගේ අක්කට සුභ පතනවා... !!!

    ReplyDelete
  13. ආ මට කලින් කොමෙන්ට් එකේ පෙන්වන්න බැරි වුනා
    මේ ඉන්නේ එයා

    http://ranrandil.blogspot.com/2010/02/blog-post_11.html

    දන්න අය කියයි මේ පොඩි කාලේ ෆොටෝව නං අපේ දුවමයි කියලා

    ReplyDelete
  14. අක්කේ අක්කාගෙ අක්කට සුභ්ම සුභ අනාගතයක්

    ReplyDelete
  15. අනෙ කදුලු ආව මගෙ ඇස් දෙකට.. .

    ReplyDelete
  16. මටත් අක්ක කෙනෙක් හිටියනම් කියල හිතෙනවා..

    ReplyDelete
  17. ඔයාගෙන් ලියවුන හැඟීම්බරම ලිපිය මේක වෙන්න ඕනේ.
    ආදරේ කරද්දි මෙහෙම තමයි. හිත පිරෙන්නම දුකයි සතුටයි දෙකම තියෙනවා නංගී.

    ReplyDelete
  18. අක්කාගේ අක්කා වෙඩින් එක දවසේ හරිම ලස්සනයි... මමත් අක්කට සුභ පැතුවා කියලා කියන්න..

    ReplyDelete
  19. අක්කට සුභ මංගලම් වේවා... !!

    ReplyDelete
  20. අඩේ . . . වෙඩිම ඉවරද . . . .??? එල එල . .
    අලුත් ජෝඩුවට සුභ අනාගතයක් පැතුවයි කියන්න . . .

    ප.ලි.
    සිරාවටම නගා ඩ්‍රයි අයිස් හොයන සීන් එක වෙනකං මම හිතාන හිටියෙ ඒ ඔයාගෙ නංගි කියල . . . :)

    ReplyDelete
  21. @ Sabith - එයාට මම කිව්වා බ්ලොග් එක බලන්න කියලා. ඔයාලගෙ සුභ පැතුම් එයා දකීවි. ස්තූතියි සහෝ.

    ReplyDelete
  22. @ තනෝජා රාජපක්‍ෂ - ගැහැණු වෙලා ඉපදෙන අපි ඔක්කොම කවදාහරි මේ දුක අත්දකින්න එපැයි අක්කෙ.

    ReplyDelete
  23. @ prasanna86k - අනේ බං මේ මැරෙන මැරිල්ල දැක්කම දැන්මම ෆයිල් එක උඩට ගන්න හිතෙන්නෙ නෑ බං.

    ReplyDelete
  24. @ අසේල with සේල - ස්තූතියි මල්ලි. මම ඈට කියන්නම්.

    ReplyDelete
  25. @ නෝටියා | Naughty's Impression - අනේ බං ඒ මිෂන් එක දැන්මම බෑ වගේ.

    ReplyDelete
  26. @ නිසුපා - ගෙදරකට පුතෙක් ඉන්න එක කොච්චර වාසනාවක්ද කියලා හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි.

    ReplyDelete
  27. @ හිස් අහස - ස්තූතියි සඳරු. මම ඈට කියන්නම්.

    ReplyDelete
  28. @ නදී - ඔය සුදු ඔසරිය ඇඳලා සිල්වර් ජුවලරි දාන එක එයාගෙ හීනයක් වෙලා තිබ්බෙ. ඔව් අක්කා අම්මා තරුණ කාලෙ වගේමයි.

    ReplyDelete
  29. @ පූසා - ලබන අවුරුද්දෙ වෙයි වගේ. දැන්ම නම් මේ දුක විඳින්න බෑ වගේ ඒත්.

    ReplyDelete
  30. @ RanDil - අක්කා කෙනෙක් නංගි කෙනෙක් අතර බැඳීම විස්තර කරන්න අමාරුයි. ඈ මගේ හදවතේම කොටසක්.

    ReplyDelete
  31. @ Dineshika - හ්ම්ම් මම දන්නවනෙ ඔයා අක්කා ගෙදරින් යනකොට අඬපු හැටි. හදවතේ බැඳීම් වල බලය තමයි.

    ReplyDelete
  32. @ නදුන් උයන - ඔව් අයියෙ ඒ කතාව ඇත්තම ඇත්ත. අක්කා කියන්නෙ දෙවෙනි අම්මා.

    ReplyDelete
  33. @ RanDil - ඇත්තමයි අක්කා. ඔයාගෙ නංගි නම් පුංචි දූ වගේමයි.

    ReplyDelete
  34. @ ශානු - ඇය වෙනුවෙන් ස්තූතියි නංගි.

    ReplyDelete
  35. @ වර්ණා - කොච්චර වලි දාගත්තත් අක්කගෙ ආදරේ මට හුඟක් වටිනවා.

    ReplyDelete
  36. @ Il mondo di una povera pazza - ස්තූතියි රංගි අක්කා. මාත් මේක කියවන වාරයක් පාසා කඳුළු පුරෝ ගන්නවා.

    ReplyDelete
  37. @ Dinesh - එදා එයා ඇත්තටම ලස්සනයි. මලක් වගේ.

    ReplyDelete
  38. @ චමිල - ස්තූතියි සහෝ. මම ඈට කියන්නම්.

    ReplyDelete
  39. @ ඕනයා - ඔයාට කියන්න අයියෙ ඕනම කෙනෙක් ඉස්සෙල්ලාම හිතන්නෙ මේ මගෙ නංගි මිසක් අක්කා කියලා නම් නෙමෙයි. ඇයි මටත් වඩා චූටියිනෙ. අපේ කොට ඩයල් එක. දැන් තරහත් වෙයි මා එක්ක ඕක කිව්වා කියලා.

    ReplyDelete
  40. ඔහොම නොවුනා නම් තමා පුදුමේ කෙල්ලෙ..මොනා උනත් ඈට වාසනාවන්ත අනාගතයක් අයිතියි...මමත් ඒ අනාගතයට සුබ පතනවා..

    ReplyDelete
  41. කඳුලුත් ආවා කියවලා . අපේ අක්ක දිග ගියහමත් ඔහොම හිතුනා . අක්කගේ දු පොඩ්ඩ මන් වගේ . ගතිගුනත් මන් වගේ . අක්ක එයාට බනින්නෙත් පුංචි වගේම පොත් ගුල්ලියක් කියල . මන් වගේම චිත්‍ර අඳින මගේ ඇස් දෙකම පිහිටපු එක හරි පුදුමයක් . තවමත් මගේ දුලට වගේම ආදරේ ඇයට.
    සහෝදරියක් කියන්නේ සම්පතක් .
    ''අම්මා නැති මට කිරි අම්මා වී
    කළුවර ගෙදරට මිනි පහනක් වී ...
    අම්මා හිටිය වුනත් ඇය මට මවක් වගේ . [කොච්චර කොට්ට පොර දැම්මත් ]
    ඉතින් ඔයාටත් ඉක්මනට පුන්චියෙක් වෙලා අලුතින් වලි දා ගන්න ලැබේවා .
    ඔයාගේ අක්කටයි එයාගේ මහත්තයටයි සුබපතනවා හදවතින්ම

    ReplyDelete
  42. සුභ පැතුම් අක්කේ....අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    (අක්කා කිව්වේ පිණිබිඳු අක්කගේ අක්කට)

    ReplyDelete
  43. අපටත් මේ වගේම තව ලිපියක් කියවන්න ලැබෙන්න කියලා පතනවා. ඒක පිණිගේ අක්කගේ අතින් ලිව්වනම් තමා හොද. හික්ස් :)

    පිණිබිඳුගේ අක්කට සුබ මංගලම් !!! වාසනාවන්ත ජීවිතයක් පතනවා !!

    ReplyDelete
  44. සුබ මංගලම් !

    ReplyDelete
  45. සුබ මංගලම් අක්කේ.අක්කගෙ පෝස්ට් එක කියවලා මට ඈඩුනා.මගේ අක්කත් කසාද බෑදලා දෑන් මාස 3ක් වගේ.එදාත් අක්ක පෝරුවේ ඉන්නකොටත් මට ඈඩුනා.අපේ ගෙදරත් පාළු වෙලා අක්ක නෑති නිසා.මොනා කරන්නද අක්ක ගියා වගේ නන්ගිටත් යන්න වෙනවනේ දවසක.එදාට අදටත් වඩා අම්මටයි තාත්තටයි දුක දෑනේවි.

    ReplyDelete
  46. අක්කාට සුබ මංගලම්..!

    ReplyDelete
  47. සුභ මංගලම්... ජය මංගලම්... අක්කියාගෙ අක්කාට සුභම සුභ අනාගතයකට ඔඃ හිතුවක්කාරිගෙනුත් සුභ පැතුම්....!!!

    ReplyDelete
  48. හ්ම්ම්... මේ පින්තුර දකිද්දී කතාව කියවද්දී මට මගේ නෝනගේ නංගි අපේ දෙවැනි ගමන දවසේ කිව්ව කතාව අපහු මතක් උනා. එයා මට එයාල අපේ ගෙදරින් අක්කව ඇරලලා යන වෙලාවේ මගේ අතින් අල්ලාගෙන කිව්වේ මගේ අක්කව හොඳට පරිස්සමට බලාගන්න ඕනේ.. නැත්තන් ඔයාට මේ නංගිගේ හැටි බලාගන්න පුළුවන් කියල.. ඇස් වල කඳුළු පුරෝගෙන. ඒ අපි අවුරුදු 5 යාළුවෙලා ඉඳල ගෙවල් දෙකේම ආශීර්වාද අරන් බඳින වෙලාවේ. මගේ පොඩි නෑනා මගේ එක්ක හරියට යාලුවෝ වගේ ඉඳල තමා ඔය කිව්වෙත්. මං මේ පොස්ට් එකෙන් තේරුම්ගත්තේ ඒ බැඳීම කොයිතරම්ද කියල.

    ඔයාගේ අක්කට වාසනාවන්ත යුගදිවියක් ප්‍රර්ථනා කරනව, ඒ එක්කම එය කොයිතරම් වාසනාවන්තද කියන්නත් අමතක කරන්න එපා ඔයා වගේ නංගි කෙනෙක් ඉන්න නිසා.

    ReplyDelete
  49. වාසනාවන් එහෙම අක්කලා!

    ReplyDelete
  50. දැන් පිනිබිඳුගේ මංගල්ලේ කවදද?

    ReplyDelete
  51. ඔයාගේ අක්කාට සුභම සුභ අනාගතයක්!!!!

    ඔයාගෙ පෝස්ට් එක කියවලා මගේ ඇස්වලටත් කදුලක් ආවා. මට මතක් වුනේ මගේ විවාහය දවසේ මගේ තාත්තා මහන්සි වුන තරමක්. අඩපු තරමක්. (අම්මත් එහෙම තමයි) ඒ මම පවුලේ එකම දරුවා නිසා. ජීවිතේ ඔහොම තමයි නංගෝ.

    ReplyDelete
  52. මට මේක කියවනකොට හරිම දුක හිතුනා... මං බැඳලා ගෙදරින් පිටවූ දවස්වල අපේ ගෙදර තිබුනු තත්වය මතක් උනා... ඒ දවස්වල ජනප්‍රිය වෙලා තිබුනු අර නන්දා මාලනීයි රෝහණ වීරසිංහයි ගයන 'රත්තරන් දුවේ..මගේ රත්තරන් දුවේ' සිංදුව යනව ඇහෙනකොට අම්ම අඬපු හැටි මට නංගිල කිව්වා...
    ඔයාගෙ අක්කගෙ පවුල් ජීවිතය වාසනාවන්ත එකක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  53. අන්තිම පොටෝ එකේ අක්ක හරි ලස්සනයි....
    දෙන්නටම සුභපැතුම්......

    ReplyDelete
  54. බින්දි කියපු දේ හරි ලස්සනයි. අපෙ අක්ක ගිය දවසෙ ගෙදර ඇඬුං ගඟයි. පොඩි අය්යයි මමයි මල්ලියි. අක්කගෙ පුතාට මගෙ මුලු මුල් පඩියම දීල කෝච්චි ලොකොමොටිව් සෙට් එකක් අරන්දුන්න අද වගෙ මතකයි.

    ReplyDelete
  55. කෝ බොලේ ඊයේ දාපු කොමෙන්ට් කෑල්ල?

    ReplyDelete
  56. අක්කට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පිණිබිඳු අක්කේ

    ReplyDelete
  57. අඩ්ඩඩ්ඩා.. මං සුනංගුයි නෙව. අක්කට සුභ පැතුම් !

    දැං ඉතිං ෆයිල් එක තියෙන්නෙ උඩින්මයි.

    ReplyDelete
  58. බ්ලොග් එකක් බලල ඇහැට කඳුකල් ආපු පලවෙනි වතාව..... මට අක්කලා නංගිලා නැතත් මෙහෙම උනානම්, හිට්යානම් මම මීට වඩා අඬයි............
    සුභපැතුම්.......

    ReplyDelete
  59. අක්කාට සුබ පැතුම් ඇ.....

    ජය... ඊගාවට ඉන්නේ නංගිය,,,

    ReplyDelete
  60. @ දිල් - ස්තූතියි දිල් එයා මේ ඔක්කොම කමෙන්ට් බලලා. හොඳටම අඬලා මට කෝල් එකක් දුන්නා.

    ReplyDelete
  61. @ Bindi - ඔව් ඇය මගේ දෙවෙනි මව් වගේ. අක්කා නැත්තම් මම අද මෙතන නෑ.

    ReplyDelete
  62. @ මකුළුවා.....- මම එයාට කියන්නම්කෝ.

    ReplyDelete
  63. @ මධුරංග - හී හී එයා ලියද්දි බැරියැ.

    ReplyDelete
  64. @ විසිතුරු | visituru - ඇය වෙනුවෙන් මම ස්තූතියි කියන්නම්.

    ReplyDelete
  65. @ හිම හංසි - ඒ දවස ගැන නම් මට හිතා ගන්නත් බෑ. අක්කා වගේ නෙමෙයි මම බැඳලා හුඟක් දුර යන්නෙත්. ඒත් කවදාහරි ඒකට මූණ දෙන්න වෙනවා.

    ReplyDelete
  66. @ හසී - ඇය වෙනුවෙන් මම ස්තූතියි කියන්නම්.

    ReplyDelete
  67. @ හිතුවක්කාරි - ස්තූතියි නංගී. අක්කා වෙනුවෙන් මම මේ කියන්නෙ.

    ReplyDelete
  68. @ ක්සැන්ඩර් | Xander - ඒ බැඳීම නම් පුදුමයි අයියේ. එයා ඈත් වෙලා ගියාම ඒ හැඟීම දැනෙනවා වැඩියි.

    ReplyDelete
  69. @ තිස්ස දොඩන්ගොඩ - අද මම යම් තැනක ඉන්නවා නම් ඒ ඈ නිසා.

    ReplyDelete
  70. @ Observer - ලබන අවුරුද්දෙ මේ කාලෙ විතර වෙයි වගේ.

    ReplyDelete
  71. @ malmi - ජීවිතේ ඔහොම තමා ඉතින්. කවදා හරි ඔය දුකට මූණ දෙන්න වෙනවනේ.

    ReplyDelete
  72. @ ඉන්දික උපශාන්ත - හික්ස්. නංගිගෙ ෆයිල් එක යන්තම් උඩට ආවා.

    ReplyDelete
  73. @ Miyuru - ඇයි සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ 'දුවේ නුඹ මගෙ ප්‍රාණයයි' සින්දුව. එදා ඒ සින්දුව ප්ලේ වෙද්දි තාත්තා අඬපු තරමක්.

    ReplyDelete
  74. @ පිසාචයා - අක්කා හැමදාමත් ලස්සනයි. ස්තූතියි සහෝ.

    ReplyDelete
  75. @ kavikaari - අක්කා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ නේද.

    ReplyDelete
  76. @ Observer - ඔය තියෙන්නෙ බැබලි බැබලි.

    ReplyDelete
  77. @ ප්‍රාර්ථනා - ඇය වෙනුවෙන් මම ස්තූතියි කියන්නම්.

    ReplyDelete
  78. @ nawammawatha - ඇති යන්තම් ෆයිල් එක උඩට ආවා. :P

    ReplyDelete
  79. @ චමියා - මේ පෝස්ට් එක මම මුළු හදවතින්ම ලියපු එකක්. ඒ හින්දා වෙන්න ඇති කඳුළක් ආවෙ.

    ReplyDelete
  80. @ Gayan Rupasinghe - ඒකත් ලබන අවුරුද්දෙ දිහාවට වෙයි වගේ.

    ReplyDelete
  81. පරක්කු උනත් මෙන්න මගෙනුත් සුබ පැතුම්......


    ම්ම්ම් දැන් ඊගාවට කවුද කවුද...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...