Pages

Thursday, May 26, 2011

කැඩෙන්නම ගිය මගේ ආදරේ..


"කොච්චර උනත් ඒ නංගි පව්. මට මාර දුකයි. එයා නාස්ති වෙනවා."

දත් මිටි කකා මේ වචන මම අහගෙන හිටියෙ මගේම කොල්ල වෙන කෙල්ලෙක් ගැන කතා කරද්දි. ඇයි දෙයියනේ මොන කෙල්ලද කැමති තමන්ගෙ කොල්ලා ඕනෙවට වැඩිය වෙන කෙල්ලෙක් ගැන කතා කරද්දි.

සති ගානක් තිස්සෙ මේක මට මානසික වදයක් වෙලා තිබුණෙ.

සජිත් මේ කතා කරන්නෙ එයාට දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක් ගැන. උසස් පෙළ පන්ති වල එයා ඉන්නෙ. අපි එයාට මධූ කියමුකො.

මධූ හුඟක් පෝසත් පවුලක එකම දරුවා. පුංචි කාලෙ ඉඳලම සැප සම්පත් වල අඩුවක් නොතිබුණු ඈට දකින දකින ඕනෙම දෙයක් දෙමව්පියො අරන් දුන්නා. ඒ හින්දමද කොහෙද මධූට එයා අවට දේවල් ගැන හිතුණෙ අත පොවන තත්පරෙන් ලබාගන්න පුලුවන් දේවල් විදිහට.

සජිතුයි මධුයි පුංචි කාලෙ ඉඳන් එකට හැදුණු අය නෙමෙයි. ඒත් ටික කාලෙක ඉඳන් මධූලා සජිත්ලගෙ ගෙදර යනවා එනවා. සති අන්තෙට හිටපු ගමන් දෙගොල්ලො ගමන් බිමන් යනවා. මේ දේවල් හින්දා වෙන්න ඇති සජිතුයි මධුයි ටික ටික ළං උනා. ඒත් ඔය හැම දෙයක් ගැනම සජිත් මා එක්ක කියනවා.

සජිත් නරක කෙනෙක් නෙමෙයි. ඒත් එයත් පවුලෙ එකම දරුවා. හැමතිස්සෙම එයාට සහෝදර සහෝදරියන්ගෙ අඩුව ජීවිතේ තිබුණා. මධූ මොන හැඟීමකින් එයාට ළං උනත් සජිත්ට එයාව දැනුනෙ අලුතෙන් ජීවිතේට හම්බුණු සහෝදරියක් විදිහට. ඒක සජිත්ට අලුත් අත්දැකීමක් වෙන්න ඇති.

මධූට කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. දෙන්නා අතර නිතරම රණ්ඩු. එයාගෙ හිත දුක් වෙච්ච වෙලාවට අවුල් වෙච්ච වෙලාවට දුක කියන්න තෝරගෙන හිටියෙ සජිත්ව. මුලින් මුලින් මටත් ඒක ගානක් ගියේ නෑ. ඒත් මහ රෑත් සජිත්ගෙ ෆෝන් එක කෝල් වෙයිටින් වෙද්දියි මට මේ ප්‍රශ්නෙ බරක් පතලක් දැනෙන්න ගත්තෙ.

මධූ පොඩි දේටත් සජිත්ගෙ උදව් බලාපොරොත්තු වෙනවා. සජිත් මධූ ගැන වද වෙනවා. එයා නරක් වෙයි කියලා මාත් එක්ක දුක් වෙනවා.

අයියා කෙනෙක්ගෙ නංගි කෙනෙක්ගෙ සහෝදර ප්‍රේමයක් කියන්නෙ අරුමයක් නෙමෙයි මට. ඒත් පුංචි කෙල්ලෙක්ගෙ හුරතලයක් ගාව මගේ කොල්ලගෙ හිත හෙලවෙනවදෝ කියන බය මට තිබුණා. ඔව් මම දැඩි ඉරිසියාවකින් පෙළුණා.

මධූ සජිත් එක්ක එයාගෙ ජීවිතේ පෞද්ගලික ප්‍රශ්න ගැන කියන එක මට වැඩිය ඉවසගන්න පුලුවන් උනේ නෑ. එයා නංගි කෙනෙක්ගෙ සීමාව ඉක්මවාගෙන යනවා කියන එක මට දැනීගෙන ආවා.

මධූ නිසා කවදාවත් නොතිබිච්ච ප්‍රශ්න අපි අතරට ආවා. මම නූගත් ගෑණියෙක් වගේ රණ්ඩු කරා. දවස් ගණන් තරහ වෙලා හිටියා. එයා අහන්නෙම එයාට මධූව සහෝදරියක් වගේ දැනෙනවා නම් එතන තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියලා.

ඒත් තමන්ගෙම සහෝදරයෙක් එක්ක උනත් පැය ගණන් කතා කරද්දි, මාත් එක්ක එයා ගැන කියලා දුක් වෙද්දි ඔහුගෙම පෙම්වතිය විදිහට මගේ හිත නොරිදී තියේවිද? එයාගෙ අවධානය මගෙන් ඈතට යද්දි මට බයක් නොදැනී තියේවිද?

මම වැරදියි කියලා මේක බලන අයට හිතෙනවා ඇති. ඒත් හිත ඇතුලෙ මාව පෙළන මේ ප්‍රශ්නය මට මානසික වධයක් වෙලා තිබුණෙ.

මේ හැම දෙයක්ම සිද්ද වෙනකොට මට තේරීගෙන ආවා මට වගේම සජිත්ටත් මධූව මානසික වධයක් බවට පත් වෙලා කියලා. සජිත් මධූට කතා නොකර හිටියත් එක දිගට මිස් කෝල් විස්සක් විතර මධූ දෙනවා. මැසේජ් දහයක් විතර එවනවා.

මෙහෙම වෙද්දි මට තේරුණා මමත් සජිත්ට චෝදනා කර කර කරච්චලයක් උනා මිසක් එයාට අස්වැසිල්ලක් වෙන්න ඕනෙ වෙලාවෙදි ළඟින් හිටියෙ නෑ නේද කියලා. මට කොහෙවත් ඉන්න කෙනෙක් නිසා මගෙ ආදරේ නැති කර ගන්න ඕනෙ උනේ නෑ.

ඉතින් මම සෑහෙන්න හිතලා තීරණයක් ගත්තා මධූට කතා කරනවා කියලා. ඒත් එයාට මට බනින්න බෑ. මොකද එයා සජිත්ගෙ නෑදෑයෙක්. අනිත් එක එයා දැනුවත්ව සජිත්ව මගෙන් ඈත් කරන්න හැදුවෙ නෑ.

ඒ නිසා මම මධූ එක්ක සහෝදරියක් විදිහට කතා කරා. මුලින් නම් එයා බයෙන් මා එක්ක කතා කරේ මම බනීවි කියලා. ඒත් මම එයාට කිව්වා සජිත්ගෙ අනුදැනුම ඇතුව මම කතා කරන්නෙ. සජිත්ට ඕනෙ මම ඔයාට ළං වෙනවටයි කියලා. ටික ටික එයාගෙ ප්‍රශ්න මට කියන විදිහට මම විශ්වාසෙ ඇති කර ගත්තා.

මම එයාට පැහැදිලිව කිව්වා "අයියා එක්ක ඔයා කතා කරන එක මට ප්‍රශ්නයක් නෙමෙයි නංගි. අයියා හැම දේම මට කියනවා. ඒත් ගෑණු ළමයෙක්ට පිරිමි ළමයෙක්ට ප්‍රශ්නයක් කියන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ. ඒ නිසා ඔයාගෙම අක්ක කෙනෙක් විදිහට මට ඕනෙම ප්‍රශ්නෙකදි කතා කරන්න" කියලා. එයත් ඒ දේ පිළිගත්තා.

මෙතෙන්දි මම කපටි කමෙන් මධූව ටික ටික සජිත්ගෙන් ඈත් කරා කිව්වොත් ඒක වැරැද්දක් නෑ. ඒත් මම ඒ හැම දෙයක්ම කරේ මගෙ ආදරේ රැකගන්න.

මධූ සජිත්ට ඉස්සර තරම් දැන් කතා කරන්නෙ නෑ. සජිත්ගෙත් අවුලක් නෑ මධූගෙ සහෝදරකම නැති නොවුණු නිසා. එයාට ජීවිතේ අඩුවක් වෙලා තිබ්බ සහෝදරකම ලැබේවි ඉස්සරහටත්.

මධූ දැන් ඕනෙම ප්‍රශ්නෙකදි මට කතා කරන්නෙ. අක්ක කෙනෙක් වගේ මම එයාට හරි වැරැද්ද කියලා දෙනවා.

ඉස්කෝලෙ යන පොඩි කෙල්ලන්ගෙ හිත් බොළඳයි. ඒත් ඒවා තේරුම් ගන්න අමාරු නෑ. ඒ හින්දා නරකට යොමු වෙනකොට ගලවගන්නත් ලේසියි. මධූ හුඟක් වෙලාවට අපි අතරට එන්න ඇත්තෙ නොදැනුවත් කම නිසා වෙන්න ඇති.

මොනදේ උනත් කැඩෙන්නම ගිය අපේ ආදරේ රැකගන්න පුළුවන් වෙච්ච එක ගැන නම් මගෙ හිතේ පුංචි ආඩම්බරයක් නැතුව නෙමෙයි.

60 comments:

  1. ලස්සන අද්දැකීමක් අක්කියො.. කොයි කාට උනත් මෙහෙම එකක් ආවම මූන දෙන්නෙ කොහොමද කියල මෙකෙන් හොදට කියල දෙනවා.. ඇත්තටම ලස්සනයි. පොස්ට් එක ඉවර වෙනකන්ම කියෙව්වෙ ඇසිපිය වත් ගහන් නැතුව

    ReplyDelete
  2. සික් අපරාදේ... කෙහෙවළු පටලං වලියක් යන්න තිබුනේ... (විහිළුවට කිවුවේ)

    කොහොම හරි සාමදානෙන් බේරගත්ත එක හොදයි නිකක් රන්ඩු වෙන්නැතුව..

    ReplyDelete
  3. බොහොම බුද්දීමත්ව ප්‍රස්නේ බේරාගෙන තියෙනවා. අපි කවුරුත් මිනිස්සු .හුඟක් වෙලාවට පටන් ගන්න විදිහට නෙවෙයි දේවල් ඉවර වෙන්නේ..ඔයා හරි දුර දිග ගියානම් අනුකම්පාව බුමිකම්පාවක් වෙන්න තිබුන..

    ReplyDelete
  4. මටත් මේ වගේම අත්දැකීමක් තියෙනවා.මගේ husband ගෙ (we just engaged) නෑදෑ නන්ගියෙක් එයා එක්ක නිතර කරනවා, chat කරනවා මට බන් ඉන්න බැරි වුණා.ඒත් මගේ husband මට ඒ එකක්වත් හැන්ගුවේ නෑ.ඒ වුණත් එයාගෙ කතා විලාශය මට ඇල්ලුවේම නෑ.මට වගේම ඒ නන්ගිටත් බබා කියල කතා කරද්දි, හුරතල් වචන කියද්දි මට දරන් ඉන්න බැරි වුණා..මට ඉවසන්නම බැරි වුනේ අයියා එක්ක පැය ගනන් කරන කෙල්ල මන් එක්ක වචනයක් වත් කතා නොකිරීම, chat වලදි විතරක් නෙවෙයි එයාලගෙ ගෙදර ගියාමත්..ඉවසගන්න බැරි ඉරිසියාවෙන් මන් රණ්ඩු කද්දි husband කිව්වෙ "ඒ මගේ සහෝදරියක්, මගේ සහෝදරියක් ගැන මන් වැරදි විදියට හිතයි කියලා වද වෙන්න තරම් ඔයාට මාව අවිශ්වාසද" කියලා. ඒත් මගේ හිතේ තිබ්බ වේදනාව එයාට තේරුම් ගන්න බැරි වුණා.කොහොමින් හරි අන්තිමට වුනේ මගේ හිත රිද්දන්න බැරි නිසාම එයා නන්ගි ගෙන් ඈත් වෙච්චි එක. දැන් දැන් නන්ගි ටිකක් මන් එක්ක කතා කරනවා.

    ReplyDelete
  5. මුලින්ම මේ වගේ හෙනම ක්‍රිටිකල් අවස්ථාවකදී පිණිබිදු කටයුතු කල ආකාරය ඉතාම ප්‍රසංසනීයයි. මම ඒක අගේ කරනවා.

    ඒ වගේම මොන කෙල්ලෙක්වත් කැමති නෑ තමන්ගේ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක වැඩිය පයිරු පාසානම් පවත්වනවට. ඒ නිසා තරහා යන එක සාධාරනයි. මොකද අපි රහත් වෙලා නෑනේ. පෘතග්ජන මිනිස්සු නේ.

    මටත් ඒ දව්සවල ඔය අත්දැකීමම තිබ්බා. මටත් නංගි කෙනෙක් ඔය විදිහටම කතා කරනවා. හුරතල් වෙනවා. එක විකාරයයි. සමහර වෙලාවට කෝල් වෙයිටිනුත් තිබ්බා. කරන්න දෙයක් නැති තැන මම ඒ නංගිට කිව්වා. මම යාලු වෙලා හිටපු කෙල්ල නිදා ගත්තම කෝල් කරන්න කියලා. එකම බෝඩිමේ ම දෙන්නා හිටපු හන්දා දැලි පිහියෙන් කිරිපැණි කනවා වගේ වැඩක් තමයි කරගෙන තිබ්බේ.

    කොහොමහරි ජාතියේ හරි මගේ හරි වාසනාවට මම් යාලු වෙලා හිටපු කෙල්ලට මාට්ටු උනේ නෑ. පස්සේ මතක් උනාම හිතෙනවා මම කලේ මහම මහ දෝහිකමක් කියලා. පව් අහින්සකි.

    මම් මේ මාතෘකාවට කැමති නෑ. ආදරයක් කැඩෙනවා කියන්නේ මාර දුකක්. ඒක මම් විදින හන්දා මම දන්නවා. කිසිම කෙනෙක්ට එහෙම දෙයක් වෙන්න එපා කියලා පතනවා.

    ඔන්න එහෙනම් පිණිබිදුගේ වෙන්ඩ මහත්තයාගේ නමත් දැන ගත්තා. :)

    සජිත්ටයි ලක්මිටයි සුභ අනාගතයක් පතනවා මං !!!!!!

    ReplyDelete
  6. තමන්ගේ මිනිහව sure නැති ගැනු

    ReplyDelete
  7. @Anonymous :
    මම නම් හිතන්නේ නෑ ඒක අවිශ්වාසයමයි කියලා. මොකද හිතක් කියන දේ වෙනස් වෙන්න පුලුවන් දෙයක්. ඒ නිසා මිනිහව විස්වාශ කරගෙනම හිටියොත් අන්තිමේ වෙන්නේ අඩ අඩ ඉන්න. නමුත් ඕනවට වඩා අවිශ්වාස කරන එකත් හොද නෑ. මට හිතෙන්නේ මෙතන තියෙන්නේ අවිස්වාසයකට වඩා ආදරයක්.

    ReplyDelete
  8. සේම අත්දැකීමඛියර්,, යූ ඩිඩ් අ බ්‍රිලියන්ට් ජොබ් හොදේ අක්කේ...
    මගේ කඩ්ඩ දැන් ටික ටික හොදයි...
    චූටි ප්‍රශ්න ලොකු කරගන්නේ නැති එක නම් හොදයි

    ReplyDelete
  9. @ චතූ - අපොයි මට නම් ඒ අත්දැකීම ලස්සන එකක් නෙමෙයි. ජීවිත කාලෙ කවදාවත් හිතුවෙ නෑ තුන්වෙනි පාර්ශවයක් නිසා ප්‍රශ්නයක් ඇති වේ කියලා. ඒක ඇත්තටම මානසික වදයක්.

    ReplyDelete
  10. @ සෝරෝ - ඕං බලාපල්ලකො ඉතින් මුනුත් ඉන්නෙ අපිට වැරදෙනකල්නෙ. මම ඇත්තටම ඒක දුර දිග බලල ගත්තුන් තීරනයක්.

    ReplyDelete
  11. @ සරත් ලංකාප්‍රිය - අනිවාර්යයෙන්ම. කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොන්ගෙත් හිත් හෙලවෙනවා. ඒත් හිත් හෙලවුනා කියලා කඩාගෙන යන්න දෙන්න පුලුවන්ද.

    ReplyDelete
  12. මුලින්ම මට හිතුනේ ගෑනු ඔක්කෝම හිතන්නේ එකම විදිහට ලියන එකයි . .

    ඒත් පස්සේ ඔයා නුවණක්කාර විදිඅහ්ට ක්‍රියා කල නිසා ඔයාගේ සතුට ඔයාට ලැබුනා . .

    අර කෙල්ලට සහෝදරියක් ලැබුනා . .

    සජිත්ට සහෝදරියගේ ප්‍රේමය විඳින්න ඉඩ ලැබුනා . .

    අපේ ලංකාවේ කාන්තාවෝ හැමෝම ඔයා වගේ බුද්ධිමත්ව හිතන්වනම් පවුල් ආරවුල් සංඛ්‍යාව සීග්‍රයෙන් පහත වැටේවි . .

    ඔයාට ජය . .

    ඉදිරියේත් (බිරිඳක් වූ පසුවත්) මේ වගේම සංයමයෙන් කටයුතු කරන්න ධෛර්ය ලැබේවා

    ReplyDelete
  13. @ Anonymous 1 - මට උනේ ඔය වගේම සිද්දියක් තමයි. එයාලා ඒක වැරද්දක් විදිහට හිතලා කරනවා නෙමෙයි. ඒත් දුර දිග යන්න දුන්නානම් ත්ත්වෙ මීට වඩා වෙනස් වෙන්න තිබුනා.

    ReplyDelete
  14. @ මධුරංග - එයා වෙන කෙල්ලො එක්ක කතා කරන එක නතර කරන්න තරම් මම පටු විදිහට හිතන කෙනෙක් නෙමෙයි. අපි දෙන්නම සමාජය එක්ක ගැටෙන අය. ඒත් නොදැනුවත්ව වැරදි පැත්තට යන්න පුලුවන්. කොල්ලො විතරක් නෙමෙයි. කෙල්ලොත්. ඔයාගෙ ප්‍රශ්නෙදි නම් ඔයා වැඩ කරලා තියෙන විදිහ වැරදියි තමා. ඒත් දැන් හරි ඔයාට ඒ වැරැද්ද තේරෙන එක කොච්චර ලොකු දෙයක්ද. හුඟක් අය තමන් කරේ වැරැද්දක් කියල පිලිගන්නවත් කැමති මිනිස්සු නෙමේ.

    ආ කොහොම හරි නමත් දැනගත්තා නේද

    ReplyDelete
  15. @ Anonymous 2 - අපෝ නෑ. මට එයා ෂුවර් නැතුව නෙමෙයි. එයාට සහෝදරියකගෙ ආදරයක් ලැබිලා තිබුණෙ නැති නිසා ඒකෙ සීමාව කොතනද කියන එක ගැන වැටහීම තිබුණෙ නෑ. එයාව විශ්වාස නැත්තම් වෙන කට්ටිය දාලා මම එයා ගැන හොයනවා මිසක් එයා ළඟින් ඉඳන් එයාගෙ ප්‍රශ්නෙට උදව් කරන්නෙ නෑ. මොනා උනත් ස්තූතියි අදහසට

    ReplyDelete
  16. @ මධුරංග - ස්තූතියි මධුරංග. මගෙ හිතේ තිබ්බ දේ ඒ විදිහටම කියලා තියෙනවා.

    ReplyDelete
  17. @ රත්ගමයා - හප්පේ රත්ගමයාගේ කඩ්ඩ මරු ඈ. මට ඒ ඉන්ගිරීසියෙන් කියපු දේ නම් තේරුණා මදි වගේ. මම ලස්සනයි කියලද කිව්වෙ. හික්ස්. චූටි ප්‍රශ්න ලොකු කරගෙන මොකට පසුතැවෙනවද?

    ReplyDelete
  18. @ දුකා - ස්තූතියි දුකා අයියේ. එයා අතින් ඒක උනේ නොදැනුවත්කම නිසා. මට ඒක අල්ලගෙන මේ සම්බන්ධෙ නවත්තන්න ඕනෙ උනේ නෑ. දුකා අයියා මේ බ්ලොග් එක පැත්තෙ ඔය ජයග්‍රාහී දෙවෙනි පාරට ආවෙ. මීට අවුරුද්දකට විතර කලින් තමා ඉස්සෙල්ලාම ආවෙ. :)

    ReplyDelete
  19. පොඩි දෙයක් තියෙනවා කියන්න. මම නම් ඉස්සර ආසම මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවනම්. හමදාම නෙමෙයි අඩුම තරමේ මාස දෙකකට විතර සැරයක්. මොකද ඒ ප්‍රශ්නේ විසදිලා අන්තීමට දෙන්නා සමාදාන වෙනකොට ආදරය තිබුනටත් වඩා ටිකක් වැඩි වෙනවා.

    ගගක් උනත් එක දිගට ගලාගෙන යනවට වඩා බාධක මැදින් දිය ඇලි හදලා ගලාගෙන යද්දි ගොඩක්ම ලාසනයි කියලා කියනවනේ.

    ඒ නිසාම මම සමහර දාට මොකක් හරි බොරු ප්‍රශ්නයක් හදා ගන්න පුරුදු වෙලා හිටියා. හික්ස්.....

    අපරාදේ නියම ආදරයක්. මතක් වෙද්දිත් දුකයි. :(

    ReplyDelete
  20. බොහොම අගෙයි නෙව කෙල්ල හැසිරිලා තියෙනෙ විදිය [ඇත්තටම අගෙයි නේන්නං] දාන්න පහක් .... වැරදිලාවත් පිණි අර ගෑණු ළමයට බැන්නනම් ආයෙ දෙකක් නෑ පුංචි ඉරිතැලීමක් වෙන්න හොඳටම ඉඩක් තිබුන. ආයෙ එහෙම උනානම් ඉතිං දන්නවනෙ වෙන්නෙ මොනවද කියල..... [මං ඉතිං ඕව දන්න මනුස්සයනෙ.... හික් !]

    මේ ප්‍රශ්ණෙදි වගේම ඉදිරියටත් බොහෝම ඉවසිලිමත් විදියට කටයුතු කරන්න හිතට හයිය ලැබේවා !

    ReplyDelete
  21. @ මධුරංග - මහ වරුසාවට පසුව නැගෙන හඳ
    වෙනදාටත් වැඩියෙන් එලියයි
    නෝක්කාඩුවට පසුව නුඹේ වත
    ඒ එලියට වැඩියෙන් එලියයි..

    ඔයාගෙ ඒ කතාවත් පෝස්ට් එකක දාන්නකො. අපි ඒක දන්නෙම නෑනෙ.

    ReplyDelete
  22. @ nawammawatha - ඔන්න දැම්මා පහක් අයියෙ. ඇත්තටම මම දවස් ගානක් තිස්සෙ හැම පැත්තක්ම ගැන හිතලා ගත්තු තීරණයක් ඕක. මට ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න ඕනෙ උනේ නෑ. ඒත් මෙහෙම දෙයක් හින්දා අවුරුදු පහකටත් වැඩි අපේ ආදරේ කඩාගන්නත් මට ඕනෙ උනේ නෑ.

    ReplyDelete
  23. පොඩි දේටත් රන්ඩු කරන් එකනේ පෙම්වතියන්ගේ පුරුද්ද ‍මාත් කාලයක් එහෙම එක්කෙනක් වෙලා ඉන්නකොට මගේත වැඩේ වලියකට මුල හෙව්ල්ල තමා.. ඒත් බත් හැලිය ඉදෙනකල් විතරයි හෑ.. සොලි සොලි... ඔය වෝකෝ එකක් වගේ අතට එනකල් විතරයි...

    ඔයා මධුව හැන්ඩ්ල් කරපු විදිය 100%ක් සාධාරණයි...

    ReplyDelete
  24. අයියෝ අමතක් උනා කියන්න මේ පොටෝව දැකලා අවේ කෙල්ලෝ දෙන්නේක් මරා ගත්ත කතාවක් කියවන්න හික් හික්...

    ReplyDelete
  25. ඇත්ත තමා මගේ තාත්තගේ පැත්තේ නෑදෑයෙකුට කවුරු හරි බැන්නොත් මට මාරම තරහා යනවා . සජිත්ටත් . අම්බානෙට කේන්තියන්න තිබ්බා ඔයා මධූට බැන්නා එහමනම් . ඔයා මාර පට්ට කපටි කෛරාටික විදිහට දිය යටින් ගේමක් දීලා තියනවා .. ඔහොම වැඩ කරනවානම් කවමදාකවත් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ නේද


    මමනම් මාර ආසයි කැට් ෆයිට් එකක් බලන්න .. මම දුවගෙන ආවෙත් ඒකට

    ReplyDelete
  26. කතාව ඇත්තම නං . . . . කරල තියන විදිය හරියටම හරි . . . . ඒත් මම අනුමත කරන්නෙ නෑ කොල්ලෙක් තමන් ආදරේ කරන කෙල්ල ඉඳිද්දි වෙන කෙල්ලෙකුට සහෝදර කමකට හරි ලං වෙනවට . . . . .ආදරේ කරද්දි තුන්වෙනි පාර්ශවයක් එකතුවෙනව කියන්නෙ අනවශ්්‍ය ප්‍රශ්න කියන එක.

    ReplyDelete
  27. ඕං සජිත් පුතේ මං මේ වැඩිහිටියෙක් විදියට ඔය ළමයට දැනමුතු කමක් දෙන්නෙ,
    පේනවනෙ මේ දැරිවිගෙ කිරියා පටිපාටිය, ඔය ළමය බොහොම කල්පනාවෙන් හිටහං, නැත්තං මේ දැරිවි උඹේ කනෙනුත් රිංගනකං උබටත්වත් හිතාගන්න බැරිවෙයි...
    ආයෙ අස්පය පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ, ඕං නොකිව්ව කියල කියන්ඩ එපා...

    ReplyDelete
  28. නගේ නරකද මේ කතාව මේල් එකක් විදියට වටේ යැව්වනං. ගොඩක් ගෑනු අයට නලලෙ අලවගන්න තරං වටින පාඩමක්!

    ReplyDelete
  29. @ සුදු හංසි - හික්ස්. මේකත් ඕල්මෝස්ට් මරාගන්න ගියපු සීන් එකක් තමයි

    ReplyDelete
  30. @ හිස් අහස - ඔව් එහෙම වෙන්න තිබ්බා මම බැන්නා නම්. මම කපටි උනා තමයි. ඒ එයා නිසා.

    ReplyDelete
  31. @ හිස් අහස - ආ.. කැට් ෆයිට් එකක් බලන්න නම් ටොම් ඇන්ඩ් ජෙරී බලන්න. මෙහෙ මොකට දුවන් ආවද? හික්ස්.

    ReplyDelete
  32. @ ඕනයා - ඔව් අයියෙ ඔයාගෙ කතාව ඇත්ත. තුන්වෙනි පාර්ශවයක් ගෑවෙනවා කියන්නෙ ප්‍රශ්නයක් යන්න පුලුවන් කැතම තත්වෙට පත්වෙනවා කියන එක.

    ReplyDelete
  33. @ ටී.බී. හේරත් - හප්පේ ටී.බී. මාමගෙ කතාව අහක දාන්නෙ කොහොමද? ඕවා කියවනවා නම් හොඳයි ඒ උන්දැත්.

    ReplyDelete
  34. @ ඉන්දික උපශාන්ත - අම්මෝ අයියෙ මේ කතා ප්‍රසිද්ධ කරලා මම එයාලගෙ ගෙදර යන දවසට සුදු කොඩියක් වන වන තමා යන්න වෙන්නෙ. මොකද නෑයො ටික යුද්ධ ප්‍රකාශ කරාවි.

    ReplyDelete
  35. අක්කේ ඔයාට ඒ ප්‍රශ්නේ දවස් වල ඔයාට හිතුන දේවල් ඔයාට තරහා ගිය එක සාධාරණයි. ඔයවගේම නොවුනත් ඔයිට සෑහෙන්න සමාන සිද්ධියකට මමත් මුහුණදීලා තියනවා. මට නම් ඉවසන්න බැරිම තැන එයාට ඌත් එක්ක ඕන එකක් කරගන්න කියලා නිකම් හිට්යා. ඒ අතින් ඔයා පුදුමයි! ඇත්තමයි මටනම් ඔච්චර ඉවසන්න බෑ

    ReplyDelete
  36. ප.ලි මධුරංග ඉන්ජිනේරු මහතා මේ පැත්තේ කැරකෙනවා වැඩිය....

    ReplyDelete
  37. ගොඩක් වෙලාවට නොහිතා ගන්න තිරණ වලින් ආදර කතා වලට තිත තියන්න වෙලා තියෙද්දි අක්කා අරන් තියෙන ක්‍රමය නම් නියමයි... හුගාක් අය එහෙම කරනවා අඩුයි..එක්කෝ එ අඩම්බරකමට නැත්නම් වෙන මොකක්ම හරි හේතුවක් ඇති...එත් මේ විදියට හිතලා කරන්නේ නම් අඩුවෙන්.. ඉවසිල්ල තියෙන එක හුගක් අගේ කරන්න වටිනවා අක්කේ... දැන්ම මෙහෙම නම් බැන්දම හොද වයිෆර් එකක් වෙන්නත් පුලුවන් අක්කාට....හැමදෙයක්ම ගොඩින් බෙරගන්න පුලුවන්..වැඩි දුර යන්න ඔනේ නැ.. අර කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන කම් ඉන්න එපා කියලා...

    ReplyDelete
  38. සමහර විට ඇවිල්ල කොමෙන්ට් නොකර ගියා වෙන්නත් පුලුවන් . . වෙලාව ලැබෙන ලැබෙන විදිහට තමයි . . වෙලාවකට හිතෙනවා ලියන්නෙම නැතුව කියෙව්වනම් ඇති කියලත් . . අර තුන්පත්‍රටා එක මාස 6කින් අප්ඩේට් කලේ නෑ අප්පා . . වෙලාව කියන්නේ එහෙ බලලා මෙහෙ බලනකොට වෙලව ගිහින් ඉවරයි . .

    ReplyDelete
  39. අපූරු අත්දැකීමක් අක්කේ... අක්කා ඒ වෙලේ ගත්ත තීරණ නම් අගය කරන්න් ඕන..

    ReplyDelete
  40. අපේ අයටත් ඔහොම මොලේ පෑදේවා..!!

    ReplyDelete
  41. ඔයා කලබල වෙච්ච එකත් හොඳයි...වලි දාගත්ත එකත් හොදයි..අන්තිමට ගහපු ගැටෙත් හොදයි..ඇත්තටම තව ටිකක් හරි ඔය එකකට හරි පරක්කු උනානං..අද ඔයාට ලියන්න වෙන්නේ ඔහොම එකක් නෙවී..අර මං ලියනවා වගේ අදෝනා කවි..:D
    ඇත්තටම දෙන්නෙක් අතරට එන්න හදන තුන්වැනි පාර්ඹවවල අය මොන සහෝදරකමටවත් නොගන්නා තරමට හොදයි..මම ඕන ගරං දැකලා තියෙනවා කෙලින්ම එන්න බැරි උනහම ඔය සහෝදර ප්‍රේමය ඉස්සරහට දාගෙන එන අය..ඒ අය කරන්නේ කල්මරන එක..නියම වෙලාව ආව ගමන් අර සහෝදර ප්‍රෙමය අහෝසි කරලා සම්පූර්ණ ප්‍රේමය අතට ගන්නවා.

    ReplyDelete
  42. බලාගෙන ගියහම කෙල්ලො ඔක්කොම එකයිනෙ... හොඳ වෙලාවට සජිත් කියන පුද්ගලය සාතන් වගේ නොවුනෙ... මොකද සාතන් වගේ වුනා නම් දෙවනිපාරට රන්ඩුව වෙද්දි කථාව ඉවරයි...

    ඇත්තටම නම් සාතන්ට සිද්ද වුනෙත් ඔය වගේ කිට්ටුවෙන් යන දෙයක්... ගෑනු ලමය දෙවනි පාර කොක්ක දාපුවහ මේ වැඩේ හරියන්නෙ නෑ මේක නවත්තමු කියල නවත්තල දැම්ම..

    සැකකාරයෙක් වෙච්චි සාතන් නම් තාම තනියෙන්, ඒත්....
    (මොනවද යකෝ මේ මම ලියන්නෙ..)

    මොනව වුනත් අන්තිමේ හරි අක්ක වැඩ කරල තියෙන විදිහ නම් වටිනව...

    ReplyDelete
  43. @ පූසා - හුඟක් වෙලාවට කොල්ලො නම් කෙල්ලො තරමට ඉවසන්නෙ නම් නෑ නේද? මෙච්චර කාලයක් අරගෙන ආපු ආදරයක් මේ වගේ සිද්දියක් හින්දා අත අරින්න මට ඕනෙ උනේ නෑ.

    ReplyDelete
  44. @ රත්ගමයා - ඔන්න ඉතින් හදපන් ඒකටත් පදයක්. හික්ස්.

    ReplyDelete
  45. @ නිම්ශා - අපොයි කොච්චර ඉවසීම තිබ්බත් ආයෙ නම් ඔය වගේ දෙයක් උනොත් මගෙ ඉවසීමෙත් සීමාව පනීවි.

    ReplyDelete
  46. @ දුකා - ඒක නම් ඇත්ත අයියෙ. මේ දවස් වල මට නම් ටිකක් වැඩ අඩුයි. ඒ හන්දා බ්ලොග් එක පැත්තෙ කැරකි කැරකි ඉන්නවා. නැත්තන් ඉතින් මේ පැත්ත බලන්නවත් වෙන්නෙ නෑ කාලෙකට.

    ReplyDelete
  47. @ Dinesh - ස්තූතියි දිනේශ්. හපොයි ඒ උනාට මට නම් ඒක අපූරු අත්දැකීමක් උනේ නෑ.

    ReplyDelete
  48. @ චතුවා (ළමයා) - අපේ අයට මොලේ පෑදේවා නෙමෙයි ඔය ළමයටත් මොලේ පෑදිලා ඔහොම වැඩ එහෙම කරන්න එපා හරිද?

    ReplyDelete
  49. @ මාරයාගේ හෝරාව - අපෝ ඒක නම් ඇත්ත අයියෙ. තුන්වෙනි පාර්ශවයක් ළං වුනු තැන කොතැනද එතැන විනාශයකි.

    ReplyDelete
  50. @ සාතන් - අපොයි සාතන් නිරපරාදෙ සැක කාරයෙක් උනාද? ඒක නම් පව් වැඩේ.

    ReplyDelete
  51. ඒ වගේ වෙලාවක ඒ වගේ සැකයක් ඇති වෙන එක සාධාරණයි. මාරය අයිය කිව්ව වගේ සහෝදරකම මුලට දාගෙන තමයි ඔය තුන්වෙනි පාර්ශව ගොඩක් වෙලාවට එන්නේ. ඒක මම පුද්ගලික අත්දැකීම් වලින් දන්නව. හැබැයි ගොඩක් ගෑනු ලමයි වගේ නැතුව ඔයා ඒ ප්‍රශ්නෙට මූන දීපු විදිය ගොඩක් වටිනව. එහෙම නොවුන නම් ඒ ආදර කතාවත් එතනින් ඉවර වෙන්න තිබුන. ඔය ඉවසීම, අවබෝධය දිගටම තියා ගන්න. ඒකට තව ආදරයත් එකතු වුනාම කියන්න බැරි තරම් ලස්සන පවුලක් හැදේවි.

    ReplyDelete
  52. @මධුරංග
    අඩේ මධුරංගයා අපිට ඔය කියන කතාව කියලා නෑ නෙ. මේ ඒව ඔට්ටු නෑ හොඳේ. අපි එක සංගමේනෙ, රහස් තියෙන්න බෑ.

    ReplyDelete
  53. @ Kasun - බලාගෙන යද්දි කට්ටිය නොකියා හිටියට හැමෝගෙම කතාව එකයි වගේ. මෙතනම කී දෙනෙක් කිව්වද ඒ අත්දැකීමම ලබලා තියෙනවා කියලා. ස්තූතියි කසුන්.

    ReplyDelete
  54. ඇත්තටම ඔයා හොඳ විදිහට ප්‍රශ්නේ තේරුම් අරන් විසඳගෙන තියෙනවා. වෙන කෙල්ලෙක් උනා නම් මෙලහකට සම්බන්ඳය ඉවරයි. ඔය හොඳට කල්පනා කරලා හරි දේ කරලා තියෙනවා. :)

    ReplyDelete
  55. @ කොට ජීවිතේ - ස්තූතියි කොජී. මේ ඒක නෙමෙයි. දැන් රෙස්ට් කරා මදෑ. ඉක්මනට පෝස්ට් එකක් දාන්න හොඳේ.

    ReplyDelete
  56. 64න් කීවෙනි එකද මෙතනදි පාවිච්චි කලේ.....? (ජෝක්ස්)

    ReplyDelete
  57. @ පිසාචයා - ඇත්ත වශයෙන්ම ඒකත් මායමක් කියා හැඳින්වූවාට වරදක් නැත.

    ReplyDelete
  58. ඔයා ගොඩක් බුද්ධිමත් තිරණයක් අරන්.ඒ නිසා ඔක්කොම හොදින් සිද්ද වුනා.රන්ඩුවෙන්න ගියානම් මොනාවෙයිද?

    ReplyDelete
  59. ඕක ගෑනුන්ට තියෙන ලෙඩක්ලුනේ අක්කා ඔය ලෙඩේම මටත් තියෙනවා ඒත් තාම මම ඕක ඇදලා අරන් රණ්ඩු වෙලා නෑ මට එහෙම කරන්න හිතෙන්නේ නෑ අෆ්ෆා

    ReplyDelete
  60. ඔයාගෙ හිතුවිලි සර්ව සාධාරණයි.. ඒ වගේම ඔයාගෙ ප්‍රතික්‍රියාව හරිම බුද්ධිමත්.. ගොඩක් දෙනාට වරදින්නෙ අර සර්ව සාධාරණ සිතුවිල්ලට ප්‍රතික්‍රියා කරන්න යද්දි තමයි. ජීවිතේ ඉස්සරහටත් මේ විදිහටම බුද්ධිමත්ව වැඩ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...