Pages

Thursday, February 24, 2011

පුන්නී.. දයාබර පුන්නී..


අම්මාගේ නංගි නෑකමට පුංචි අම්මා වූවත් කුඩා කල සිටම මා ඈව ඇමතූයේ පුන්නී කියාය. අම්මා හැරුණු කොට ඒ හා සමානවම මා ආදරේ කරන්නියක් සිටීනම් ඒ ඈය. අම්මා වැඩට ගිය පසු ආපසු එනතෙක් මාත් අක්කාත් කුඩා කල හැදුණේ ඈ තුරුලේය. කුරුළු බත් කටවල් කවාගත්තේ ඈ ලවුවාය. කුරුම්බැට්ටි මැසිමෙන් ගවුම් මහන්නට ඉගෙන ගත්තේ ඈගෙනි. වැලි ගොඩේ ගුල් හාරා බිංකුණ්ඩන් සෙව්වේ ඈ සමඟය. ඇගේ තාරුණ්‍යය ගෙවුණේ කුඩා අප බලා කියා ගනිමිනි.

එදවස පුන්නී අතිශය සුන්දරය. තවමත් නොමැකුණු සුන්දරත්වය ඇගේ අතීත මුහුණුවර මට මතක් කරවයි. දෙදණ තෙක් දික් වූ රැළි වැටුණු කොණ්ඩය, ඇත් දළ පැහැති සම දුටුවන් තව වරක් ඈ දෙස හැරී බැලීමට සමත් විය.

කෙතරම් දෙනෙක් ඇගේ අත පතා පැමිණියද ඇගේ සිතේ ඔටුණු පළඳන්නට සමත් වූයේ එක් අයෙකි. ඇය ඔහුට අප්‍රමාණව ආදරය කළාය. ඔහුගේ ගෙදර අයගෙන් ඇති අකමැත්ත නොසලකා ඇය ඔහුට ආදරය කළාය. එපා කියන උන් ගාවට බලෙන් උඹව යවන්නෙ කොහොමදැයි කියමින් අනන්තව මගේ අම්මා ඇය සමග වාද කරනු මට ඇසී ඇත. අවසන ඔහු සිය නෑසියන් නිසා ඈව අත හැරියේය.

එදායින් පසු ජීවිතය පිළිබඳ තැබූ සුභ සිහින ප්‍රාර්ථනා ඇය අත් හරින්නට ඇත. ඔහු ගියේ ඇගේ මුවේ සිනාව සොරකම් කරගෙනය. හයක් හතරක් නොතේරෙන අපි, වැළපෙන ඈ දෙස දුකින් බලා සිටියෙමු. පුන්නී තව දුරටත් අපි දැනගෙන සිටි හිනැහෙන සුරංගනාවිය නොවූවාය.

අම්මා තාත්තා සහ මාමලා එයින් පසු කෙතරම් යෝජනා ගෙනාවත් ඇය අකමැති වූවාය. ජීවිත සාගරයේ ඉරණම නමැති ඇගේ ඔරුවට ඔහේ හැරෙන පැත්තට ගසාගෙන යෑමට ඈ ඉඩ දී තිබුණි. අවසන ඇගේ යෙහෙළියක මාර්ගයෙන් ඇගේ අත පතා පැමිණි මිනිසාට ඈ කැමැත්ත දුන්නේ එබැවින් විය යුතුය.

පුන්නී සොඳුරු මනාලියක් වූවාය. ගෙවුණු ජීවිතයේ දුක් කරදර වලට ඇගේ සුන්දර බව මකන්නට අපොහොසත් වී තිබුණි. ඇගේ විවාහය පෝරු අෂ්ඨක වලින් තොරවූ චාම් උත්සවයකි. වසන්තය මිය ගිය පසු පිරිත් පැන් ඉස සෙත් කරන්නට උවමනාවක් ඈට නොතිබෙන්නට ඇත.

අළුත් ජීවිතය ඈ ඇරඹුවේ අතීතය මකා දමා දැයි මා නොදනිමි. ඒත් විවාහ ජීවිතය ඈ සෙල්ලමකට නොගත් බව නම් මට විශ්වාසය. ඈ උතුම් වූ මවු පදවිය ලබන්නට සූදානම් වූයේ මේ අවධියේය. ඈ වැනිම සුන්දර වූ කෙලි පැටික්කියකට ඈ උපත දුන්නාය. එවක් පටන් මගේ හදවතෙන් කෑල්ලක් සොරකම් කළ පුංචි සුරංගනාවිය ඈ වූවාය.

වැටි වැටී ඇවිදින විට ඇගේ පුංචි අත් පොඩි වලින් අල්ලා ඈව ඇවිද්දෙවුවෙමි. චූටි කුරුළු කටට බත් ගුලි පොඩි කර කැව්වෙමි. දත් දෙක තුනක් වත් නැති මුව පොඩියෙන් සිනා නගද්දී මවුවත් සුවඳ මගේ හදවත පුරා පිරී ඉතිරී තිබුණි.

කොටින්ම මා පුන්නී සමග ගෙවූ කුඩා කාලය ඈ මා සමග ගෙව්වාය. ඇගේ තරු නෙතු තුළ පුන්නී ඇගේ අතීතය වල දමන්නට ඇත. මිය ඇදුණු සුභ සිහින ඇය ඒ සමනළිය වෙනුවෙන් පණ ගත්තාය. ඒත් දෛවය නැවතත් නපුරු ලෙස ඈට රිද්දාගෙන එන වග අප කිසිවෙකුත් නොසිතුවෙමු.

දියණිය යන්තම් එක වසරට පාසල් ගියා පමණි. ඈ සතියක් පාසල් යන්නට ඇත. ඉන්පසු ඇය දැඩි සේ රෝගාතුර වී රෝහල් ගත කෙරිණි. දීර්ඝ පරීක්ෂණ ගණනාවකට පසු අපි සැවොම ආදරය කළ ඇය ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව තීරණය විණි.

අවුරුදු හයක් වූ ඒ පොඩි කෙලි පැටික්කිය මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගියෙක් වූවාය. මා ජීවිතයේ ගත කළ අසීරුම දින කිහිපය ඒ කාලයයි. දිනෙන් දින කෙට්ටු වන ශරීරය, දීප්තිය අඩු වෙමින් ගිය ඇගේ තරු ඇස් දෙක, අඩු වෙමින් තිබුණු ඇගේ දඟ කොණ්ඩය ඈ ක්‍රමයෙන් මියැදෙන වග පසක් කරවීය.
ගේ පුන්නී, ජීවිතෙන් ලද එකම වස්තුව අතින් ගිලිහෙන හැටි අසරණව බලා සිටියාය.

2001 වර්ෂයේ අගෝස්තු මස දෙවන දින මහරගම පිළිකා රෝහලේදී ඇය සදහටම දෙනෙත් පියා ගත්තාය. ඈ පිළිකා රෝගියෙක් බව දැනගත් පසු ජීවත් වූයේ මාසයකටත් අඩු කාලයකි.

මිය යන්නට විනාඩි කිහිපයකට පෙර ඇගේ පිටකොන්දෙන් තරලයක් ගන්නා විටත් ඈ තොල් හපාගෙන නොහඬා පුන්නී දෙසම බලා සිට ඇත. මිය යන අන්තිම මොහොතේදී පුන්නී දෙසට අත් දිගුකර අම්මා යැයි පවසා ඈ අවසන් හුස්ම හෙළුවාය.
ගේ අම්මා හා සමාන දයාබර පුන්නීගේ හදවතෙන් අඩක් ඈ සමගම මියැදුණි. ඇය මිය ගිය වග ඇසූ මොහොත එදා මෙදා තුර මා ලත් අමිහිරිතම ආරංචියයි. ඈ වෙනුවෙන් සතයක්වත් වියදම් කරන්නට ඉඩ නොතබා ඈ යන්නට ගියාය.

අඩි එක හමාරක් පමණ දිග මිනී පෙට්ටියක ලා කහ පාට ළමා සාරියකින් සරසා ඈ නිසොල්මන්ව සිටියාය. නැගිට සිටීමට සිහි කල්පනාවක් නොතිබූ පුන්නී මිනී පෙට්ටිය අසළ පැදුරක් මත වැතිර සිටියාය. කොණ්ඩය ඇද ගනිමින් දෛවයට සාප කරමින් ඈ තැබූ විලාපය දස වසරකට පසු අදත් මගේ දෙකනේ නින්නාද වේ. දියණිය මිය ගිය පසු අද වන තෙක්ම පුන්නීගේ නිවසේ නැවත බිත්ති වල තින්ත ගෑවේ නැත. ඒ අර කෙලි පැටික්කියගේ බලි කුරුටු සිතුවම් මැකීමට නොහැකි බැවිණි. දියණියගේ මරණයෙන් පසු ඈ වෙනත් දරුවන්ද නොලද්දාය.

හැර දමා ගිය ප්‍රථම ප්‍රේමයත්, ගොඩ ගැසූ ප්‍රාර්ථනා සමග මිය ගිය දියණියත්, බේබද්දෙක් වූ සැමියාත් සමග දෛවය ඇයට කිහිප වරකට මග වරද්දා තිබුණි. ජීවිතයෙන් දුක, අසරණකම හැරෙන්නට ඈ කිසි දෙයක් නොලද්දාය. කාලය ගත වුවද කාර්යබහුල ජීවිතය අතර තුර මාසෙකට දෙකකට වතාවක්වත් පුන්නී මට හමුවෙයි. කලු කෙස් ටික ටික අඩු වෙවී සුදු කෙස් වැඩි වේගෙන ආවත්, හම රැළි වැටීගෙන ආවත් ඈ තාමත් එදා තරම්ම සුන්දරය. කුඩා කල මෙන් තුරුළට පැන හුරතල් වෙන්නට කාලයක් නොවූවත් මවු හා සමානව මම ඇයට ආදරය කරමි.

ඈ ගැන සිතා මම අප්‍රමාණව සිත රිදවාගෙන සිටිමි. හදවතේ කොහේ හෝ ඇණුනු කටුවක් මෙන් ඈ සිහිවන සෑම විටම මගේ සිත ඇදුම් දෙයි. හිත රිදවාගන්නවා හැරෙන්නට ඇඟිලි අතරින් රූරා ගිය ඇගේ ජීවිතය ආපසු ලබාදෙන්නට හැකි වේද?

Tuesday, February 22, 2011

ආදරේ සුවඳ


නුඹ නොදන්නවා උනාට, දන්නවානම් නුඹගේ අසල දැවටෙන පවනට පවා නුඹේ ඔය ලෙංගතුකම දැනෙනවා කියා..

අදහන්න පුලුවනිද නුඹ අසල දැහැන් ගත වූ ඒ කාලය තුළ මගේ හදවත නිවී සැනසී ගියා..

නුඹ අසල ඇති මහ මෙරක් වන් සෙනෙහස් සුවඳින් සත්තයි පිපේවි මේ දෙරණ මත මල් පවා..

විහිදුවන්න නුඹේ සෙනෙහස මෙලොවේ කෙළවරක තියා..

අනන්තයේ සිටියත් හඳුනා ගන්නම් නිතැතින් ඒ නුඹේ සුවඳමය කියා..

Monday, February 21, 2011

50 පසු කළා...........


මාස නමයක් විතර තිස්සෙ හිමීට හිමීට ඇවිත් ඔන්න යන්තම් 50 වෙනි පෝස්ට් එකටත් ආවා. පෝස්ට් 50ක් ලියන්න මෙච්චර කාලයක් ගත වෙන්න හේතුව කම්මැලිකම ඇරෙන්න ඉතින් වෙන මොකක්ද?

මෙච්චර දුරක් එන්න ඔයාල හැමෝගෙන්ම ලැබුණු ශක්තියත් මතක් කරන්නම ඕනෙ. ගමන පටන් ගත්තු තැනම නතර වෙන්න තිබුණා මම ලියපු ඒවා බලලා ඒවට කොමෙන්ට් කරලා මාව ෆලෝ කරපු ඔයාලා නැතිනම්. විශේෂයෙන්ම,

ජීවිතේමල්, දුකා, සු෴, ඉලංදාරියා, ``` Outsider```, පිස්සා පලාමල්ල, Hasitha, ..::| පොජ්ජේ |::.., dinesh, Princess Thush, වැට නොබැදි සිත, රංග - මගේ ලෝකය, හිස් අහස, blog gadol, prasanna86k, මධුරංග, ෆැන්ටසි, MaRlaN, කිරිපුතා, SL, Siribiris, Hishan Melanga, nawammawatha, මිත්‍යාදෘෂ්ටිකයා, කොට ජීවිතේ, සූර සරදියල්, සංජු, රත්ගමයා, indi, අභීත, නොම්මරේ, සෝරෝ, සුදු මහත්තයා, දුමී, බූරු පුතා, පැන්da, හරී - පිණිපළස, සංජය, පූසා, සිරකරුවා, Observer, ප්‍රසා, ජේ.ඩී, හා පැටික්කි (MS), ඕනයා .

නමක් මඟ ඇරුණානම් මට සමාවෙන්න. අද වගේම හෙටත් ඔයාලා හැමෝම මා එක්ක ඉඳියි කියල මම හිතනවා.

ඉදින්
කෙසේ
තුති පුදම්ද
නමින්
අමතක වූවොත්
අමනාප වේ යැයි
බියෙන්

ඉතින් නම් වලින් කියූ සහ නොකියූ හැමෝටම පින්. ඔබෙන් ලද ධෛර්යය හැමදාටමත් මා ලඟ තියේවි.

Friday, February 18, 2011

බලාගෙනයි..


නිල් කොළ ඔටුණු තිබුණට
බලාගෙනයි නගින්නෙ
අහස උසට
බිම වැටේවි
සැනෙකින් නුඹ
මතකනෙ
අයිසැක් නිව්ටන්ව

Sunday, February 13, 2011

ඔබට තරහා පාලනය කර ගන්න බැරිද? එසේනම් ඔබේ දත් බුරුසුව අනතුරේය.


අපි හැමෝටම තරහ යනවා සමහර වෙලාවට නේද? ඒ තරහ පාලනය කරගන්න බැරුව සමහරු කොයි තරම් නම් කෑ ගහනවද? බඩු පොළවෙ ගහනවද? ඔබට තරහ පාලනය කර ගැනීමට අවශ්‍යද? එහෙනම් මේ කතාව කියවලා ඉන්න.

ඔන්න එක පවුලක නෝනයි මහත්තයයි ඉන්නවා. මේ නෝනට හැම තිස්සෙම පුදුම විදිහට තරහ යන්නෙ එයාගෙ මහත්තයත් එක්ක. බඩු පොළවෙ ගහනවා කොණ්ඩෙන් ඇදගන්නවා කෑ ගහල බනිනවා එක විකාරයයි එයාට තරහ ගියාම.

ඒත් මහත්තයා ඒකෙ අනිත් පැත්ත. කොයි තරම් නෝනට තරහ ගියත් මහත්තයා නෙමෙයි වචනයක්වත් කියන්නෙ. නෝනා අහස පොළොව නුහූලන විදිහට බැන්නත් මහත්තයා ශාන්ත දාන්තව ඉතාම සැනසීමෙන් ඔහේ අහගෙන ඉන්නවා. කිසිම වේදනාවක දුකක කළකිරීමක පාටක් වත් මූණෙන් පේන්න නෑ.


ටික කාලයක් ගියාට පස්සෙ නෝනටත් හරි දුකයි. මොකද එයා කොයි තරම් තරහින් බැන්නත් මහත්තයා පොඩ්ඩක් වත් තරහ ගන්නෙ නැති නිසා. එයා කොහොමද ඒ තරම් තරහ පාලනය කරගෙන ඉන්නෙ. දැන් මේක නෝනට හරි ප්‍රශ්නෙ. බැරිම තැන නෝනා මේක මහත්තයගෙන් ඇහුවා.

නෝනා : "කොහොමද අනේ ඔයා මම මෙච්චර තරහ ගත්තත් පොඩ්ඩක් වත් තරහ නොගෙන ඉන්නෙ? ඔයා ඔයාගෙ තරහ පාලනය කර ගන්නවද? නැත්තං ඔයාට තරහ යන්නෙ නැද්ද?"

මහත්තයා: "අපෝ පිස්සුද? ඔයා මට බනිද්දි මට ඔයාව මරාගෙන කන්න තරම් තරහක් එනවා."

නෝනා: "ඉතිං ඔයා ඒ තරහ නිවා ගන්නෙ කොහොමද?"

මහත්තයා: "අපෝ පොඩි දෙයයි. ඔයා මට බැන්න වෙලාවට ඒ තරහින් මම බාත් රූම් එකට ගිහින් ඔයා දත් මදින දත් බුරුසුව අරගෙන ඒකෙන් ටොයිලට් එක මදිනවා. එතකොට මගෙ තරහ නිකම්ම නැති වෙලා යනවා. ඊළඟ දවසෙ ඔයා ආයෙත් ඒකෙන්ම දත් මදිනවා දැක්කම මට පුදුම සැනසීමක් දැනෙනවා."

ඔයාලා තාම තරහ පාලනය කරගන්න බැරුව අනුන්ට බනිනවද? එහෙනම් පරිස්සමින් හොඳේ දත් බුරුසු පාවිච්චි කරන්නේ.


Thursday, February 10, 2011

නුඹට මම


කෝඩින්..
මීටින්..
ඩොකියුමන්ට්..
ලයිව් ඉෂූස්..
අතර
මඟ ඇරුණු
දූවිලි පොද
මම
ද?

Wednesday, February 9, 2011

මාළු බිත්තර වලින් රස කෑමක්


මාළු බිත්තර කාල තියෙද? මම කියන්නෙ මූදු මාළු නෙමෙයි වැව් මාලු බිත්තර ගැන. ඔයාලට රසවත් විදිහට මාලු බිත්තර හදාගන්න පුලුවන් ක්‍රමයක් කියල දෙන්නයි මම හදන්නෙ. මේ රෙසිපි එක අපේ තාත්තගෙ නිර්මාණයක්. තාත්තා හුඟක් කෑම ජාති හදන්න එයාටම ආවේණික වෙච්ච කෑම වට්ටෝරු හදාගෙන ඉන්නවා. ඉඩ තියෙන වෙලාවක අනිත් ඒවත් දාන්නම්කො. අපේ තාත්තගෙ පූර්ණ අනුමැතිය ඇතුව තමයි මේ රෙසිපි එක පබ්ලිෂ් කරන්නෙ හොඳේ.

වැව් මාළු බිත්තර ගැන දන්නෙ නැති කට්ටියට මං කියන්නම්. සාමාන්‍යයෙන් ලොකු වැව් මාලුන්ගෙ බිත්තර තමයි ගන්නෙ. අනුරාධපුර පොළොන්නරු පැත්තකට ගිහින් මාළු ලෑල්ලකින් වැව් මාළු බිත්තර කියල ඉල්ලුවොත් ගන්න පුලුවන්. මේවා ඉතාමත්ම කුඩා බිත්තර ලක්ෂ ගානකින් සමන්විතයි.

දැන් මේක පිළියෙල කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය බලමුකො.
  • වැව් මාළු බිත්තර 500g
  • සුදු ලූණු බික් 4-5ක්
  • ලොකු ලූණු ගෙඩි 1ක්
  • අමු මිරිස් කරල් 3-4ක්
  • කරපිංචා ඉති කෑල්ලක්
  • ගම්මිරිස් කුඩු මේස හැඳි 2ක්
  • රස අනුව ලුණු
  • බිත්තර 1ක් (කිකිළි බිත්තර හොඳේ )
  • එළවළු තෙල් ටිකක්

ඉස්සෙල්ලාම මාළු බිත්තර ටික අරගෙන ඒකෙ බෑග් එකක් වගේ තියෙන පිට සිවිය අයින් කර ගන්න. දැන් සුදු ලූණු, ලොකු ලූණු, අමු මිරිස්, කරපිංචා කුඩාවට කපා ගන්න. ඒ ටික මාළු බිත්තර වලට එකතු කරලා ලුණු සහ ගම්මිරිස් කුඩු දාගන්න.



දැන් අතින් ඒ ඔක්කොම ටික අනාගන්න.
දැන් තියෙන්නෙ මේ මිශ්‍රණය තම්බ ගන්න එක තමයි.

මාළු බිත්තර මිශ්‍රණය තබගන්න ඕනෙ වාෂ්පයෙන්. අපිට මේකට ලේසියෙන්ම රයිස් කුකර් එක ගන්න පුලුවන්. රයිස් කුකර් එකේ ස්ටීමර් එක තියෙන්නෙ. ඒකට ලන්ච් ෂීට් එකක් අතුරලා අර අනාගත්තු මිශ්‍රණය ඒක උඩින් දාගන්න.


ඊට පස්සෙ පල්ලෙහා කොටසට වතුර දාලා ස්ටීමර් කොටස ඊට උඩින් තියලා පියනෙන් වහලා විනාඩි 20ක් විතර තැම්බෙන්න අරින්න. ඒක තැම්බුනාට පස්සෙ මෙහෙමයි පේන්නෙ.

දැන් ඔයාලට ලේසියෙන්ම මාළු බිත්තර එක ලන්ච් ෂීට් එක පිටින්ම බා ගන්න පුලුවන්.

රයිස් කුකර් එකක් නැත්තන් අපිට මේකට ඉඳි ආප්ප වණ්ඩුව ගන්නත් පුලුවන්. ඉස්සෙල්ලාම ඉඳි ආප්ප තට්ටු තියෙන්නෙ, ඒවගෙ ගාණට කෙසෙල් කොළ රවුමට කපා ගන්න. දැන් ඒ කෙසෙල් කොළ වල පොල් තෙල් ගාන්න. ඒවා ඉඳි ආප්ප තට්ටු උඩ තියලා අනාගත්තු මාළු බිත්තර මිශ්‍රණයෙන් ටික ටික දාන්න. දැන් ඉඳි ආප්ප තම්බනවා වගේ එක උඩ එක අඩුක් කරලා තම්බගන්න තමයි තියෙන්නෙ.

මොන ක්‍රමයකින් හරි තම්බගත්තු මාළු බිත්තර එක අරගෙන තරමක කොටු කෑලි වලට කපා ගන්න. ඒ කියන්නෙ එක කොටුවක් අඟල් 2ක විතර දිගක් සහ පළලක් තියෙන විදිහට.

දැන් අර කිකිළි බිත්තරේ තියෙන්නෙ (බිත්තර වර්ග පැටලෙන හන්දයි මෙහෙම කියන්නෙ හොඳද?) ඒක කඩලා වෙනම බොකු හැඩයෙ දීසියකට දාලා බීට් කර ගන්න. අර කොටු කපා ගත්ත මාළු බිත්තර එක බීට් කර ගත්තු බිත්තර සාරු වල තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.


ඔන්න ඔහොමයි මාළු බිත්තර පිළියෙල කරගන්නෙ.

මේක සාමාන්‍යයෙන් බත් එක්ක කන්න ගන්නත් පුලුවන්. එහෙමත් නැත්තන් තක්කාලි සෝස් ටිකක් තවරගෙන නිකම්ම කන්න ගන්නත් පුලුවන්.

ඔන්න අපේ තාත්තා තනියම කුස්සියේ හරඹ කරන හැටි.

Tuesday, February 8, 2011

ආච්චිගෙ වස ලැජ්ජාව


අපේ ආච්චි වයසින් අවුරුදු අසූවකටත් වැඩියි. හැබැයි ඔන්න කතාකරන්න ගත්තොත් නම් නවත්තන්නෙ නෑ. ඇත්තටම ආච්චි ඉන්නකොට චුට්ටක් වත් පාලු නෑ. ඔහේ කියව කියව ඉන්න පුලුවන්. අපි එක්ක විතරක් නෙමෙයි. ගෙදරට එන ඕනෙ කෙනෙක්ව කතාවට අල්ලගෙන රටේ නැති වල් පල් කියවලා අර මනුස්සයව මඤ්ඤං කරවන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි පම්පෝරි, පරම්පරාවෙ පුරාජේරු අතින් දාලා කතා කියන්නත් දස්සයි.

ඔන්න අපේ ආච්චිට අපහාස කරන්න එහෙම නෙමෙයි මං හදන්නෙ ඈ. අපේ ආච්චි මෙව්ව බලන්නැති හන්දම හොඳයි. නැත්තං හිටපං කියල හොඳවැයින් ටොක්කක් තමයි.

අපේ ගෙදර ලී වැඩ වගේකට බාසුන්නැහේ කෙනෙක් ඇවිත් හිටියා. එයා එක්ක තව ගෝලයො දෙන්නෙකුත් හිටියා. මේ සිද්ධිය වෙනකොට ඒ ගෝලයො දෙන්නා විතරයි වැඩ කර කර හිටියේ.

ඔන්න ඉතින් අපේ ආච්චිත් හැරමිටිය ගගහ ඒ පැත්තට ගියා. මේ වෙද්දි මායි අපේ පුංචියි කුස්සියෙ හිටියෙ. ඔන්න අපිට ඇහිච්ච විදිහට ආච්චියි අර ගෝලයොයි අතර දෙබස.

ආච්චි: මේ ළමයි කොහෙද?

ගෝලයා: අපි අර අහවල් දිහාවෙනෙ ආච්චි

ආච්චි: අනේ ඇත්තෙයි. අපේ නෑදෑ වෙන පුතෙකුත් ඉන්නවනෙ ඒ පැත්තෙ

ගෝලයා: ඇත්තද?

ආච්චි: අර නිමල් කියන්නෙ

ගෝලයා: දන්නෑ ආච්චි

ආච්චි: අර ලොරි දෙකක් තියෙන්නෙ
(නිමල් මාමා වෙන ලොරියක වැඩ කරා මිසක් ලොරි අයිතිකාරයෙක් නෙමෙයි )

ගෝලයා: හ්ම්..

ආච්චි: අර එයැයිගෙ පුතා ඉංජිනේරු මහත්තයෙක් නෙව
(නිමල් මාමගෙ පුතා කොම්පියුටර් කෝස් එකක් කල බව ඇත්ත. ඒත් ඉංජිනේරුවෙක් නෙමේ.)

ගෝලයා: හ්ම්..

ආච්චි: අප්පේ එයැයිලට සෑහෙන්න ජයයි නෙව

ගෝලයා: අර ඔය ගෙදර ගෑණු ළමයද ත්‍රීවීල් කාරයෙක් එක්ක පැනල ගියේ.

ආච්චි: ඈ...

ඔතනින් එහාට ආච්චිගෙ සද්දයක් නෑ. අපෙ ආච්චිට කට උත්තර නෑ. පිපිරි පිපිරි කුස්සියට ආවා. මායි පුංචියි ආච්චි දිහා බලන් ඉන්නවා.

ආච්චි: නොදකින් විතරක්. පරම්පරාවෙ එකෙක් මූණෙ දැලි ගා ගත්තොත් ඇති පරම්පරාවටම හරි යන්න.

පුංචිටයි මටයි හිරකරගත්ත හිනාව බකස් ගාල පැන්නා.

ආච්චි: හිනාවෙයවු තොපිත් ඉතින්. තොපිට මොකද?

Sunday, February 6, 2011

නුඹේ සිනා ළඟ


දුක හිතෙන නිමේෂෙක
නුඹේ ඔය සිනා මුව
හිත ළඟම රැඳුනාම
ඇත්තමයි ඉතින් මට
අමතකව ගියා සිත
රැඳුණු හැම කඳුලක්ම

චෝදනාව : වැස්ස සහ චූදිතයා: වැස්ස


මම උඹට කවදාවත් චෝදනා කරලා නෑ. ඒ මොකද අපි වගේ පළාතක මිනිස්සුන්ට වැස්ස කියන්නෙ හැමදාම ආශිර්වාදයක් හින්දා. වැස්ස අඩු අපිට ඉස්සර නුඹ තරම් වටිනා සිද්ධියක් තවත් තිබුනේ නෑ. ඒත් ඇස් පනාපිටම සිදුවූ විනාශයක් දැක්කට පස්සෙ නුඹ තවත් ආශිර්වාදයක් කියල මම කොහොමද හිතන්නෙ. උඹව නතර කරන්න මට බෑ කියල මම දන්නවා. උඹ උඹටම ඇති උනාට පස්සෙ නතර කරාවි. එතකල් අපිට කරන්න පුලුවන් අහස දිහා බලල හූල්ලන එක විතරමයි.


පොළොන්නරුවේ අපිට පරාක්‍රම සමූද්‍රය කියන්නෙ අපේ හදවත. අක්කර ලක්ෂ ගානක් අස්වද්දන්නට උදව් කරන වැව අපේ අම්මා වගේ. ඒ කාලේ කොටි කලබල තියෙද්දි අපේ තාත්තලා වැව් බැම්ම ආරක්ෂා කරේ එක තත්පරෙකටවත් ඇහැ පියවන්නැතුව. වැව් බැම්මට බෝම්බ දාල පුපුරවයි කියන බයට මිනිස්සු මාරුවෙන් මාරුවට රැය පහන් කරේ වැව් බැම්මෙ. ඒ තරම් බඩ බැඳගෙන ආදරේ කරේ වැව අපේ හදවත හින්දා.

සියවස් ගානක් තිස්සෙ වැවට අත තියන්න කාටවත් පුලුවන් උනේ නෑ. ඒත් අද නුඹ හින්දා වැවද ගමද කියන තීරණේ මිනිස්සුන්ට ගන්න උනා. වැව රැක ගන්න හැදුවත් වැව් බැම්ම පුපුරලා ගමම යට වෙන්න තිබුණා. අන්තිමට වැව් බැම්ම කපන්න වුණා. මොකද වාන් දොරටු දහයම උපරිමව ඇරලා තිබුණත් එයින් වතුර පිටවෙන වේගයට වඩා වැඩි වේගයකින් වැවේ වතුර වැඩි වේගෙන ආවා.



වැව් බැම්ම අඩි පහක් කපලා වාන් දොරටු දහයම ඇරියාම මඩකලපු පොළොන්නරු මාර්ගය අඩි අටක් වතුරෙන් යට උනා. ඒ විතරක්ද ගෙවල් දොරවල් කඩන් ගියා. බල්ලො හරක් විතරක් නෙමෙයි කැලේ හිටපු වල් අලිත් මැරුණා. අස්වැන්න නෙලන්න ඔන්න මෙන්න කියල තිබුණු කුඹුරු අක්කර ගණන් විනාශ උනා. ජීවිත කාලෙ පුරාම හරි හම්බ කරගත් දේවල් වතුරකට යට උනාම දරුමල්ලොත් අරගෙන ඒ වතුරටම පනිනව ඇරෙන්න අහිංසක මිනිස්සු මොනව කරන්නද?



උඹේ ඊළඟ සැලැස්ම මොකද්ද කියල මම දන්නෙ නෑ. සමහර විට උඹ තවත් වස්සවයි. එහෙම නැත්තන් මාස ගාණකට උඹ පේන්නවත් එන එකක් නෑ වී ඇටයක් වත් වපුර ගන්න බැරි වෙන්න. මොන දෙයක් උනත් මිනිස්සුන්ගෙ හිත් වල ගින්දර නම් අවුළුවයි මදි නොකියන්න.
Related Posts Plugin for WordPress, Blogger...