ෆෝන් එකට කතා බෑ. ඒත් ෆෝන් හරහා කතා පුලුවන්. ඒත් හදිස්සියෙන්වත් ෆෝන් එකට කතා කරන්න පුලුවන් නම් උන් කෑ ගහලා කියාවි අපිට ඕෆ් වෙලාම ඉන්න දීපල්ලා. ඔන් කරපු ගමන් උඹලා මානුෂීය සබඳතා අවුල් ජාලයක් කරගන්නවා කියලා. මේ ෆෝන් එක තරම් මගේ හිනාව කඳුළ දැකපු කෙනෙක් නැතුව ඇති. අපි ඒ තරම් මානුෂීය සබඳතා තරංග ආයාම බවට පත් කරගෙනයි ඉන්නෙ.
මම හොඳටම තරහ වෙලයි ආවෙ. ආයෙ නම් කතා කරන්නෙවත් නෑ. එහෙම හිතලා තත්පරයක් යන්න උනේ නෑ ෆෝන් එක ඇස් දල්වගෙන කෑ ගහනවා උඹට එහෙම මානුෂීය සබඳකම් ඉවරකරන්න බෑ කියලා. ඔහෙ කෑ ගහපුදෙන්. මම තව කල්පනා කරලා ඉවර නෑ.
ෆෝන් එක කට් නොකර මම කෑ ගැහිල්ල විතරක් ගොලු කරලා දැම්මා. හොඳ වැඩේ ගොලුවා. ගොලු භාෂාවෙන් කෑ ගහන ෆෝන් එක මේසය උඩ කම්පනය වෙලා බකමූණෙක් වගේ හ්ම් හ්ම් ගානවා. ගොලුවන්ටත් කතා පුලුවන්. ටිකකින් ෆෝන් එක ගොලු භාෂාවත් අත ඇරලා ඇස් පියාගත්තා. ඇද්ද උඹට. ආවා මෙතන මානුෂීය සබඳතා අලුත්වැඩියා කරන්න.
රාජකාරිය පැහැර හරින්නෙ නැති නිළධාරියෙක් වගේ පියාගත්තු ඇස් ආයෙමත් දල්වගෙන කෑ ගහනවා කැඩිලා බිඳිලා ගිය සබඳතා අලුත්වැඩියා කරදෙනු ලැබේ කියලා. ඒ පාර නම් මට තරහ ගියේ එහා පැත්තෙ තරංගයේ අයිතිකාරයා එක්ක නෙමෙයි. සබඳතා අලුත්වැඩියා කරන්න දඟලන තෝල්ක මුදලිත් එක්ක. කට වහගෙන ඉන්න නේද කිව්වෙ. මම අල්ල ගත්තා බෙල්ලෙන් තෝල්ක මුදලිගෙ. තාමත් ඇස් දල්වගෙන කෑ ගහනවා. පලයං යන්න මගෙ දෑහැට නොපෙනී. ෆෝන් එක මං ගැහුවා පොලවෙ. ඇද්ද තෝල්ක මුදලියට.
විසි වෙලා ගියපු ෆෝන් එක දුවලා ගිහින් ඇඳ අස්සට රිංග ගත්තෙ ආයෙත් මගෙ කේන්තියෙ ගොදුරක් වෙන්න බැරුව. දැන් වත් කටවහගෙන ඉන්නෙ නැතෑ. මොන පිස්සුද. මෙන්න ඇඳ අස්සෙන් කෑ ගහනවා පණ ඇති ජීවීන් එක්ක තියෙන තරහව පණ නැති මා මතින් යවන්නෙ ඇයි කියලා.
අනේ පවු. මෙච්චර අවුරුදු ගානක් තිස්සෙ මම හිනා උනේ උඹ එක්ක. ඇඬුවෙ උඹ එක්ක. මගෙ කේන්තියත් ඇති පමණ උඹ විඳලා තියෙනවා. උඹේ ඇඟේ පාට ගිහිල්ලා හීරිලා තියෙන්නෙ මගෙ කේන්තියේ ප්‍රතිඵල තමා. ඒත් පොලවෙ ගැහුවත් කැඩිලා බිඳිලා යන්නෙ නැති තරමට උඹ පදම් වෙලා තියෙන්නෙ. අසරණ ෆෝන් එක. අපි විහින් අවුල් කරගන්න මානුෂීය සබඳතා වලට උඹ මක් කරන්නද.
ෆෝන් එක ගැන අනුකම්පාවක් එනකොට මේ තරංගයේ අයිතිකාරයා එක්ක තිබ්බ තරහත් හේදිලා ගියා. දූවිලි පිරිච්ච ඇඳ අස්සෙන් මම ෆෝන් එක ගනිද්දිත් ඇහේ කඳුළු පුරෝගෙන ෆෝන් එක තාමත් අඬනවා. නාඬා ඉඳින්. දූවිලි පිහදාලා මම ෆෝන් එක කණේ තියාගත්තා.
"හෙලෝ"
"තරහද?"
"නෑ මැණික."