Pages

Thursday, April 28, 2011

බස් එකේ මැදත් යනවා බොලව්..


කැම්පස් එක ගාවින් 255 බස් එකකට නැග ගත්තෙ පුදුම අමාරුවකින්. ඒ තරම් සෙනඟ. මට යන්න ඕනෙ වෙලා තිබුණෙ රුපියල් 6ක් වගේ පොඩි දුරකට.

ඒ හන්දා කොන්දොස්තර කොච්චර කෑ ගැහුවත් බැහැගන්න තියෙන අමාරුව දන්න හින්දා බස් එකේ පිටිපස්සට යන්න මට ඕනෙ උනේ නෑ. ඒත් බලාගෙන යද්දි අනිත් මිනිස්සුත් මං වගේම තමා. කාටවත් පස්සට යන්න උවමනාවක් නෑ.

පිටිපස්ස දොරෙන් නැග්ග මිනිස්සුත් එහෙම්මම තමා. ඒ මිනිස්සුන්ටත් ඉස්සරහට යන්න උවමනාවක් නෑ. දොරවල් දෙක ගාව මිනිස්සු පොදි කකා ඉන්නවා. මේක දැක්ක කොන්දොස්තර මහත්තයාට ඌරු ජුවල්.


කීප පාරක්ම කිව්වා ඔය දොරවල් දෙක ගාව රැඳෙන්නෙ නැතුව මැදට යන්න කියලා. මිනිස්සුන්ට කණ් නෑ වගේ ඔහේ ඉන්නවා. අඟලක්වත් හෙලවෙන්නෙ නෑ.

බොරු කියන්නෙ මොකටද ඉතින් මමත් හිටපු තැනින් හෙලවුනේවත් නෑ.

අන්තිමට හොඳටම තරහ ගිහින් කොන්දොස්තර කෑ ගහන්න ගත්තා මෙහෙම.

"ඇයි හත් දෙයියනේ මේ මිනිස්සු හිතන්නෙ බස් එකේ යන්නෙ දොරවල් දෙක විතරයි කියලද? ඇයි බස් එකේ මැද යන්නෙ නැද්ද? බස් එකේ මැදත් එක්කම තමා බොලව් යන්නෙ."


අපොයි එතකොටයි හිනා කාගෙන ගල් වෙච්ච මිනිස්සු ටික ටික හෙලවෙන්න පටන් ගත්තෙ. කොන්දොස්තර මහත්තයාට ආයෙ කෑ ගහන්න උවමනා උනේ නෑ.

Sunday, April 24, 2011

ඉරිසියාව


එකින් එක
බිම වැටෙයි
ඇහැළ මල්
මවයි
සුන්දර දසුනක්
ආසයි ඇවිදින්න
ඇහැළ මල් බුමුතුරුණ මත
පියනගා හිමි හිමින්...

ඒත්..

ඉරිසියාකාර අහස
දොඹ සයිස් වැහි බිංදු
වැට්ටුවේ
ඇහැළ මල් පාපිස්ස උඩ

දැන් ඉතිං
චොර චොර මඩ එක්ක
මොන මල් බුමුතුරුණුද
ඊයා...

Wednesday, April 20, 2011

ටුඩේ ස්පෙෂල් : මල් ගෝවා..


කවුරුත් දන්න මල් ගෝවා හදන වෙනස් ක්‍රමයක් කියල දෙන්නද? මේකත් ඉතින් අපේ තාත්තගෙන් අහගත්තු අලුත් රෙසිපි එකක්.

මේක බත් එක්ක කන්න වගේම නිකන් ඉන්න ගමන් ඔහේ කකා ඉන්නත් පුළුවන් කෑමක්. ඒ විතරක් නෙමෙයි අපේ අයියලාට අනුමත වීම සඳහා බයිට් එකක් විදිහටත් ගන්න පුළුවන්ලු. අපොයි ඒ කතා නම් මම දන්නෙ නෑ.

කට්ටියම බලාගන්නකො එහෙනම් හදන විදිහ.


අවශ්‍ය ද්‍රව්‍ය:-

මල් ගෝවා ගෙඩියක්
බිත්තරයක්
පාන් පිටි මේස හැඳි 2ක්
ලුණු කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ඉස්සෙල්ලාම මල් ගෝවා ගෙඩියෙ කොළ නටු අයින් කරගන්න.


ඊට පස්සෙ පොඩිවට මේ වගේ කැබලි කපා ගන්න.



ඊටපස්සෙ මේ පොඩිවට කපාගත්තු මල්ගෝවා කැබලි වලට ලුණු ගම්මිරිස් ඉහලා අතගාගන්න.



දැන් මේ ටික ස්ටීමරයක විනාඩි 10ක් 15ක් විතර තම්බාගන්න.



ඒක තැම්බෙනකල් අපි ඉතුරු ටික ලෑස්ති කරගමු. බිත්තරයක් කඩලා ඒකට ලුණු ස්වල්පයක් දාලා හැන්දකින් හොඳට බීට් කරගන්න.

මේකටම පාන් පිටි මේස හැඳි දෙකත් එකතු කරලා ආයෙමත් හොඳට බීට් කරගන්න. කැට හිටින්න දෙන්න එපා. හොඳට බීට් කරගන්න.



දැන් වාෂ්පයෙන් තැම්බුණු මල්ගෝවා කෑලි ටික අර කලින් හදාගත්තු පාන්පිටි බිත්තර මිශ්‍රණයේ තවරාගන්න.


දැන් තෙල් ටිකක් තාච්චියට දාලා මද ගින්නේ තියෙද්දි මල්ගෝවා ටික ගැඹුරු තෙලේ බැදගන්න. මේ පහලින් තියෙන්නෙ ඒ බැදගත්තු මල් ගෝවා තමා.

දැන් බලන්නකො රස....


ඔහොම තමා අපේ තාත්තා කුස්සියේ තනියෙන් හරඹ කරන්නෙ.



Monday, April 18, 2011

චිලී පේස්ට් සහ මයිකල්ගේ වියෝව


කාලෙකින් ඇතිවෙන්න ගෙදර ඉඳලා ආවා. මේ පාර නම් වැඩිපුරත් එක්ක නිවාඩු දාලා ගෙදර ගියා. ඉතින් කට්ටියට අවුරුදු කොහොමද?

උඩ දාගෙන ගෙදර ගියා වගේ නෙමේ ආපහු ආවම කරන්න ඉතුරු වෙලා තියෙන වැඩ දැක්කම ආපහු ගෙදර ගිහින් නතර වෙන්නම හිතෙනවා.

ඔන්න මම නම් මේ පාර ගෙදර ගියපු ගමන් කරේ මාරයා අයියගෙ චිලී පේස්ට් රෙසිපි එක අත්හදා බලපු එක. ඔක්කොම ටික හරි. ඒත් අයියෝ මිරිස් ටික ටිකක් කර උනා. රසේ නම් වෙනසක් නෑ. ඒත් චිලී පේස්ට් එක තද දුඹුරු පාටයි. ගෙදරට කෑම ට ආපු හැමෝම ආසාවෙන් කෑවා ගෙදර හදපු චිලී පේස්ට් කිව්වම. තැන්කූ මාරයා අයියේ ඈ..

අපේ ගෙදර අවුරුද්දට කේක් හදන වැඩේ මට බාර දීලා තියෙන්නෙ. රස හින්දද එහෙම නැත්තන් කේක් හදනව කියන වැඩේ මළ වාතයක් හන්දද දන්නෙ නෑ. දහතුන්වෙනිදා දවසම කරේ එක එක ජාතියෙ කේක් හදපු එක තමා. ඔන්න මගෙ ගානෙ මේ පාර චොක්ලට් කේක් එකයි, බටර් කේක් එකයි, රට ඉඳි කේක් එකකුයි හැදුවා. ඉතුරු කැවිලි පෙවිලි නම් අම්මයි අක්කයි භාර ගත්තා. නොදන්න මගුලට ගිහින් වරිගෙ නහගන්නෙ මොකටද.

මේ වැඩ කරලා ඉතුරු වෙන දවසේ කාලය මම වැය කලේ වැඩිපුරම එකම එක දෙයක් සඳහා පමණයි. හික්ස්. ඒ තමයි Prison Break සීරීස් හතරම බලලා ඉවර කිරීම.

මේක මම දන්නවා මෙතන ඉන්න කට්ටියගෙන් සීයට අනූ නවයක්ම ඕක බලපු කට්ටිය නේද? සෑහෙන කාලෙක ඉඳන් මගෙ ගාව මේක තිබ්බා. ඒත් බලන්න කම්මැලිකමේ හිටියෙ. ඒත් ටිකක් බැලුවට පස්සෙ කොටි වලිගෙ අල්ල ගත්තා වගේ. නතර කරන්න හිතෙන්නෙම නෑ.

සමහර දවස් වලට පාන්දර වෙනවා නිදා ගන්නකොට එක දිගට බලලා. කොටස්ම 81ක් සෙල්ලම්ද.

අයියෝ එච්චර කැපවීමෙන් බලලා අන්තිමට ඇයි හත් දෙයියනේ මයිකල් මැරුණේ. එච්චර ආසාවෙන් බලලා අන්තිමට ඔලුවට පොල්ලකින් ගැහුව වගේ. ඒ තෝන්තු ගතිය තාම තියෙනවා. හික්ස්.

ඇයි දෙයියනේ මයිකල් ඔයා මැරුණේ.....

නිවාඩුව නම් ඉක්මනට ගෙවිලා ගියා. හපොයි දැන් තමා පොළවට අඩිය තිබ්බෙ. දැන් ඉතින් ආයෙත් බෝඩිම, ඔෆිස් එක, කඩ කෑම, අන්තර්ජාලය. ඕක තමා ජීවිතේ. කැලන්ඩරේ එල්ලිලා රතු පාට දවස් හොයන එක තමා ආයෙත් කරන්නෙ ඉතින්.

ඒ ඔක්කොමත් හරි.. අනේ ඒත් මයිකල් ඇයි දෙයියනේ මැරුණේ...


Thursday, April 7, 2011

හැපි හොලිඩේස්....


අවුරුදු නිවාඩුවත් ආවා නේද? කට්ටිය මොකද මේ පාර කරන්නෙ.

මම නම් ඔන්න ලොකූ නිවාඩුවක් ගන්නවා. අවුරුද්දට තෑගි බෝග අරගෙන ගමේ යන්නයි මගේ නම් ලෑස්තිය.

අවුරුද්දෙ වැඩි කාලෙයක් බෝඩිමේ බිත්ති හතරකට කොටු වෙලා ඉඳලා ගමේ යන්න ලැබෙනවා කියන්නෙ ඉතින් මට නම් ලෝකෙ තියෙන ලොකුම සැපත. තනියෙන් ජීවත් වෙනකොට පවුලක තියෙන අගේ වැඩිපුර දැනෙනවා වගේම හැමදාම ලුණුත් නැති මිරිසුත් නැති කඩ කෑම කාලා කාලා අම්මගෙ පොල් සම්බෝලෙ රසත් අමතක වෙලා හිටියෙ.

ඉතින් කියන්න විස්තරයි විශේෂයෙන්ම කෑම වට්ටෝරු ටිකකුයි අරන් ආපහු එන්නම්කො හොඳේ.

එහෙනම් ඔන්න දැන්මම මම සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතනවා ඔය හැමෝටම.

Monday, April 4, 2011

කම්මලේ බල්ලාගේ තියරිය හෙවත් බෝඩිං ජීවිතය


දුර පළාත් වලින් ඉගෙන ගන්න ආපු අය වගේම රැකියා කරන්න ආපු අයත් තමන්ට පහසු තැනකින් බෝඩිං වෙන්නනෙ බලන්නෙ. මම හිතන විදිහට මෙතන ඉන්න හුඟක් අය බෝඩිං ජීවිතය විඳලා හෝ විඳිමින් ඉන්න අය.

මාත් තවමත් දෙයියනේ කියලා අවුරුදු ගානක් තිස්සෙ බෝඩිං ජීවිතේ තමා. ඒකත් එක බෝඩිමක නෙමේ. එක එක හේතු නිසා මෙහෙට ආපු දවසෙ ඉඳන් බෝඩිං හතකම හිටියා.

හුඟක් වෙලාවට බෝඩිමක් හොයාගනිද්දි බලන්නෙ කරදරයක් නැතුව ජීවත් වෙන්න පහසුකම් තිබීම සහ ඉගෙන ගන්න හෝ රැකියාව කරන තැනට අඩු දුරකින් තිබීම තමයි. බෝඩිං හොයන එක නම් අන්තෙටම පණ යන වැඩක්.


ලොකු ගේට්ටුවක්, කිසිම පිලිවෙලක් නැතුව ඔහේ උඩට උඩට හදපු ගෙයක් කියන්නෙ බෝඩිමක මූලික ස්වරූපය. එහෙම තැනකට ගිහින් ගෙදර කවුද කියල පණ යනකල් කෑ ගහනවා.

ඊට පස්සෙ චූටි ජනේලෙකින් ගෙදර මනුස්සයා ඔලුව දැම්මට පස්සෙ සුපුරුදු වාක්‍ය ඛණ්ඩය අහනවා. "බෝඩර්ස්ලා ගන්නවද?".

හික්ස්. අපේ උන් ඉස්සර බෝඩින් හොයන්න යද්දි කියන කතාවක් තමයි බෝඩිං බලල ඇවිදලා ඇවිදලා අන්තිමට පාරෙ තියෙන ගලක කකුල පැටලිලා වැටෙන්න ගියත් කියවෙන්නෙ "බෝඩර්ස්ලා ගන්නවද" කියලලු.


කොහොම හරි ඔය අහන ප්‍රශ්නෙට නෑ කියන උත්තරේ හම්බුනොත් අකුලගෙන ආපහු යෑම තමා කරන්න තියෙන්නෙ. ඔව් කිව්වොත් ඒ එක්කම අපිට තව ප්‍රශ්න පත්තරේකුත් හම්බෙනවා ගෙහිමියාගෙන්.

"මොන ෆීල්ඩ් එකෙන්ද ඉගෙන ගන්නෙ?"
"කොහෙද ගෙවල්?"
"කී දෙනෙක්ටද බලන්නෙ?"

බොහෝ විට ඉගෙන ගන්න ෆීල්ඩ් එක මත බෝඩිම ලැබීමේ හෝ නොලැබීමේ සම්භාවිතාව තියෙනවා. ඒ කියන්නෙ ආකි හෝ ටෙක්ස්ටයිල් ඩිසයිනින් නම් එයාලගෙ කඩදාසි කාඩ්බෝඩ් වැඩියි කියලා ඉඩ ඇහිරෙනවා කියලා බෝඩිං දෙන්නෙ නෑ. IT කිව්වොත් කම්පියුටර් හයිකරගන්නව නේද කියල අහලා කරන්ට් බිල යනවා කියලා බෝඩිම දෙන්නෙ නෑ. තව කට්ටියකට උන් හැමතිස්සෙම කැම්පස් එකේ ගහගන්නවා කියලා බෝඩිං දෙන්නෙ නෑ.

ඔය විසිපැන වලට උත්තර දුන්නට පස්සෙ අපෙන් ගෙහිමියට තව ප්‍රශ්න පත්තරයක්.


"ගෙදර වෙන කවුද ඉන්නෙ?"
"බෝඩ් වෙලා ඉන්නෙ වෙන කවුද?"
"ලයිට් වතුර බිල් අපි ගෙවන්න ඕනෙද?"
"මාසෙට ගාන කීයද?"
"ඇඩ්වාන්ස් දෙන්න ඕනෙද?"
"බාත් රූම් ඇටෑච් බාත් රූම්ද්?"
"තට්ටු ඇඳන් දාල දෙනවද?"

මේ ප්‍රශ්න වලින් ගෙහිමියා සහ අපි සෑහීමකට පත් වුනාම තමයි ඔන්න බෝඩිමට එන්න පුලුවන්.

කොහොම කොහොම හරි බෝඩිං වට වන්දනාව කරලා දැන් මම ඉන්නෙ හත් වෙනි බෝඩිමේ. මේ වගේ බෝඩිමක නම් ඇත්තමයි මම මීට කලින් ඉඳලම නෑ.


ගෙදරට පිටින් තියෙන කාමරේක තම අපි නැවතිලා ඉන්නෙ. මාත් එක්ක තව යාලුවො දෙන්නෙකුත් ඉන්නවා. ඒ ගෙදර ඉන්නෙ පොඩි දරුවො දෙන්නෙක් ඉන්න අයිය කෙනෙකුයි, අක්ක කෙනෙකුයි, ඒ අක්කගෙ අම්මයි විතරයි.

බෝඩිමට ඇවිත් ටික දවසක් යනකොට තමා තේරුණේ මේ
අයියයි අක්කයි හොඳටම රණ්ඩු වෙනවා කියලා. රෑ වෙද්දි කණ මදයා වගේ බීගෙන ඇවිත් ඒ අයියගෙ වැඩේ අක්කත් එක්ක රණ්ඩු කරන එක.

බෝඩිමට ආපු මුල් කාලෙ මේවා අහගෙන ඉන්න එක හරිම අප්සට්. අපිට කිසිම කරදරයක් නෑ එයාලගෙන්. ඒත් හැමදාම මෙහෙම රණ්ඩු කරන එක අහගෙන ඉන්න බැරි නිසා වෙන බෝඩිමකට යන්න කියලා ආයෙත් බෝඩිං හොයන්න අපි පටන් ගත්තා.


කකුල් රිදිච්ච එක විතරයි ඇවිදලා ඇවිදලා. මේ දවස් වල බෝඩිමක් බෙහෙතකටවත් හොයාගන්න නෑ. තිබිච්ච බෝඩිනුත් එක්කො ගාණ වැඩියි. එහෙම නැත්තන් දුර වැඩියි. එහෙමත් නැත්තන් මොකක් හරි එපා වෙන හේතුවක්.

කකුල් ගෙවෙනකල් ඇවිදලා ඇවිදලා බෝඩිමට එනකොට මෙන්න ඊයෙ මරාගත්ත උන් හරි ලස්සනට හිනා වෙවී කතා කර කර ඉන්නවා. උන්ට ගානක් වත් නෑ අපි බය වෙලා දැඟළුවට.


ආයෙමත් ටික දවසක් ගියාට පස්සෙ මේ ගෙදර අයියා මොකක් හරි රණ්ඩුවක් දුර දිග ගිහිල්ලා ඒ අක්කවයි, දරුවො දෙන්නවයි ගෙදරින් එලියට දැම්මා. අපි හොඳටම බය වෙලා හිටියෙ මේ මිනිස්සු මහ රෑ කොහෙ යන්නද කියලා.

සද්දයක් බද්දයක් නැති වෙනකොට හිමීට අපි දොර ඇරලා බලනකොටයි දැක්කෙ ගෙයි ඉස්සරහ පඩිය උඩ කට්ටියම වාඩි වෙලා ඉන්නවා.

මම අක්කට කිව්වා මුළු රෑ තිස්සෙම ඔතෙන්ට වෙලා ඉන්න බැරි හින්දා අපේ කාමරේට ඇවිත් ඉන්න කියලා. මොනව උනත් අර දරු පැටවු මොනව දැනගෙනද. පව් දෙයියනේ.


ඒත් අක්ක ගානක් නැතුව කියනවා කමක් නෑ නංගි තව ටිකකින් අරයට නින්ද ගියාට පස්සෙ ජනේලෙ ගලවලා ඇතුලට යනවා කියලා. ඒ කිව්ව වගේම ඒ අක්කා ජනේලෙ ගලවලා ඇතුලට ගිහින් සාලෙ දොර ඇරලා කට්ටියව ඇතුලට ගත්තා.

මේ සිද්ධිය වෙච්ච දවසට පහු වෙනිදත් අපි ආයෙ කකුත් ගෙවෙනකල් බෝඩිං හෙව්වා. අපේ තියෙන අවාසනාවට ඒ දවස් බෝඩර්ස්ලා ගන්න දවස් නෙමේ. සාමාන්‍යයෙන් එක බැච් එකක් අවුට් වෙන කොට තමයි බෝඩිං හිස් වෙන්නෙ.


ඉතින් අපි හිස් අතින් ආපහු බෝඩිමට එනකොට මෙන්න බොලේ එදත් නෝනලා මහත්තයලා විනෝද චාරිකාවක් ගිහින් හිනා වෙවී ආපහු එනවා. මුන්ට නැති අමාරුවක්නෙ අපිට තියෙන්නෙ කියලා අපිටම බැන බැන අපි ඇතුලට ගියා.

මොනව උනත් ඒ අක්කා පවුල රැකගන්න ඕනෙ නිසා හැමදෙම ඉවසගෙන ඉන්නවා වෙන්න පුලුවන්. අනේ මන්දා පවුලක් උනාටම පස්සෙ මේවා අපිට තේරෙයි.

කොහොම හරි අපිත් දැන් කම්මලේ බල්ලන්ගෙ තත්වෙට පත්වෙලා ඉන්නෙ. කොච්චර රණ්ඩු උනත් ඇහුන්නෑ වගේ ඉන්නවා. උන් කොච්චර මරා ගත්තත් උදේට හිනා වෙවී ඉන්නවා කියල දන්න හින්දා අපි කාලෙකට වෙන බෝඩිමක් හොයන එක නැවැත්තුවා.


කොච්චරද කියනවානම් මේ පාර වර්ල්ඩ් කප් මැච් එක පැරදුන දවසෙ ගෙදර මනුස්සයා පිඟන් පොළොවෙ ගහන සද්දෙ ඇහුනා පරාජය දරාගන්න බැරුව. ඔන්න උදේ අක්කා සද්ද නැතුව පිඟන් කටු එකතු කරන සද්දෙ ඇහෙනවා.

ආදරය කරලා දෙන්නෙක් බැන්දට පස්සෙ අන්තිමට ඒ බැඳීම නොකඩා අරන් යෑමේ එකම හේතුව දරුවොද කියන එක නම් මේ පවුල දැක්කාම හැමදාම මට හිතෙනවා. හැම පවුලක්ම එහෙම නෑ කියලත් මම අවිවාදයෙන්ම දන්නවා.

මොනා උනත් අනේ අප්පේ මට නං කාලෙකට බෑ ආයෙ බෝඩිං වන්දනාව කරන්න.


Sunday, April 3, 2011

අම්මගේ ආදරේ..


දරුවන්ගේ සිහින යාත්‍රා
තොටුපළට හරවා
තවමත්
කඳුළු තොටුපලේ
නැංගුරම්දා
සුසුම් හෙලන්නී
නුඹයි
මගෙ අම්මේ..
Related Posts Plugin for WordPress, Blogger...