Pages

Tuesday, June 26, 2012

ගේෂාවකගේ කතාව


ගේෂාවක් යනු ගණිකාවක් නොවේ. ඈ අලෙවි කරන්නේ ස්ත්‍රී ලාලිත්‍යයයි. ජපන් වදනක් වූ "ගේෂා"හි "ගේ" යන්නෙහි අරුත "කලාවන්" යන්නයි. "ගේෂා" යන්නෙහි අර්ථය වන්නේ කලාකාරිය යන්නයි. ගේෂාවකගේ කාර්යය වන්නේ තම ගණුදෙනුකරුවන් ලිංගිකව පිනවීම නොව, තමා පුහුණු වූ කලාවන්ගෙන් ඔවුන් පිනවීමය. තේ පානෝත්සව, නර්ථනය, ෂමිසෙන් වාදනය ඇය දැනගෙන සිටිය යුතු කලාවන්ගෙන් බිඳකි.

කලෙකට ඉහත ජපානයේ සිය සංස්කෘතියේ විශිෂ්ඨතම සංකේතයක් ලෙස ගේෂාවට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. ඈ සාමාන්‍ය ගෘහණියක් නොවේ. කෙලිලොල් යෞවනියක් නොවේ. නිරූපිකාවක්, නිළියක්, ගායිකාවක් නොවේ. ඇය ඒ සියල්ලේම එකතුවයි. ඇවිදීම, කතාකිරීම, බැල්ම පවා ඈ කරන්නේ දැඩි සංයමයකිනි. සමස්ථයක් වශයෙන් ගත් කල ගේෂාවන් සිය ලාලිත්‍යවත් පෞරුෂයෙන් පිරිමින් සතුටුකළහ.

ආතර් ගොල්ඩන් නමැති ඇමරිකානු ජාතික ලේඛකයාගේ 'Memories of a Geisha' නමැති නවකතාවෙන් පැවසෙන්නේ දෙවැනි ලෝක මහා යුද්ධයට පෙර හා පසු කාලයන්හි ජපානයේ කියොතෝ ප්‍රදේශයේ විසූ සයුරී නිත්තා නමැති ගේෂාවක පිළිබඳ කතා පුවතය. එය "සයුරී හෙවත් ගේෂාවකගේ කතාව" ලෙස සිංහලට පරිවර්ථනය කොට ඇත.

යුවතියක් ගේෂාවකගේ ලොවට ඇතුල් වූ පසු ඇය තව දුරටත් තමා වෙනුවෙන් තම සිත වෙනුවෙන් නොවෙහෙසිය යුතුය. ඈ ජීවත් විය යුත්තේ අනුන් උදෙසාය. ඉතා තදට දැමූ කොණ්ඩා මෝස්තරය අවුල් වන බැවින් ඈට වෙනත් අයෙකුට මෙන් සුව පහසු කොට්ටයක හිස තබා නිදන්නට වරම් නැත. ඈ හිස තැබිය යුත්තේ කොණ්ඩා මෝස්තරය අවකාශයේ රැඳෙන පරිදි බෙල්ලට තබා ගන්නා ලද සිලින්ඩරාකාර කොට්ටයකය. ඇයට දඟකාර ගමන් ඔල්වරසන් සිනා තහනම්ය. නෙතු අගින් හෙලන බැල්මක වුවද දැඩි සංයමයක් තිබිය යුතුය. 

ඈ පිරිමින්ව පිනවිය යුතු බව ඇත්තය. එහෙත් ආදරය කිරීම නොකළ යුතුය. "ගේෂාවකට ආදරය කළ නොහැක" යන්න එකල ගේෂා ජීවිත වල අලිඛිත නීතියක් බඳු වූවේය. අනේ අතට සියළු දෙනා පිනවූවත් සමාජයට පෙනෙන්නට මහත් සතුටින් පසු වූවත් බහුතරයක් ගේෂාවන්ගේ ජීවිත ඛේදවාචක බව ඔබට මෙම කෘතිය කියවූ පසු වැටහී යනු ඇත.

ගේෂාවක් බිරිඳක් වන්නේ නැත. එහෙත් ධනවත් පිරිමියෙකුට අවශ්‍ය නම් ගේෂාවක් සිය අනියම් බිරිඳ වශයෙන් තබාගත හැක. එසේ කිරීමට නම් ඉතා විශාල මුදලක් ඇය වෙනුවෙන් සහ ඇය අයත් වන නිවාසයට ගෙවිය යුතුය. එසේ ගේෂාවක් සිය සංතර්පණයට තබා ගන්නා පුද්ගලයා "ධනා" ලෙස හැඳින්වේ. ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය මේ ධනාය. ගේෂාවක් පමණක් නොව, ගේෂාව සිටින ඔකියාවේ අයිතිකාරිය, කිමෝනා සපයන්නන්, කොණ්ඩා මොස්තරකරුවන්, ඇඳුම් අන්දවන්නන් ආදී බොහෝ දෙනා මේ ආදයම් මාර්ගය භුක්ති විඳිති. ධනාට අවශ්‍ය ඕනෑම මොහොතක අදාල ගෙවීම් අවසන් කර ගේෂාව අතහැර දැමිය හැක.

බොහෝ විට ගේෂාවන් බවට පත් කරවීම සඳහා දැරියන් කුඩා අවධියේම ඔවුන්ගේ මවුපියන් හා හැදුණු වැඩුණු පරිසරයෙන් ගෙන එන්නේ බලහත්කාරකමිනි. ඒ පසුපස ළමයින් වෙළඳාමක්ද සිදුවේ. ගේෂාවකගේ 'මිසු ආගෙ' හෙවත් කන්‍යා භාවය ඉහලම ලංසුවකට වෙන්දේසි වෙයි. ගේෂාවක් යනු වෙළඳ භාණ්ඩයක් පමණි. ඇගේ වටිනාකම රඳා පවතින්නේ සුන්දරත්වය හා දක්ෂකම මතය.

පසු කලෙක බිරිඳන් වූ ගේෂාවන් නැතිවා නොවේ. එසේ වන්නේ ඉතාමත් අල්පයකටය. එසේ විවාහ ජීවිතයට ඇතුළත් වූ පසු තවදුරටත් ඇයට ගේෂාවක ලෙස කටයුතු කිරීම තහනම්ය.

ගේෂාවද ගැහැණියකි. ඇයද දුක, වේදනාව, විඩාව අත්විඳියි. එහෙත් ඇය ඒ කම්කටොළු සුදෝ සුදු ආලේප තට්ටුවකින් වසාගෙන ඒ මත කෝමල රේඛා ඇඳගෙන සිටියි. ඉතාමත් සුන්දර කතාවක් වුවද පොත කියවද්දී නම් මේ ජපන් බෝනික්කියන් වෙනුවෙන් හදවතේ වේදනාවක් පැන නගිනු වළක්වන්නට නොහැකි විය.

Friday, June 8, 2012

සියඹලා ජූස්

මේ සියඹලා වාරෙ. ඉදිලා බිම වැටිච්ච සියඹලා අහුලන්න මිනිස්සු ගෝනි අරන් එන්නෙ. අපේ වත්තෙ සියඹලා ගහෙත් කරල් පිරිලා. සුද්ද කරපු සියඹලා හොඳ මිලකට විකුණන්නත් පුලුවන්.

මෙච්චර සියඹලා තියෙන එකේ කට ඇඹුල් වෙලා යන සියඹලා ජූස් හැදුවෙ නැත්තන් අපරාදයක්. ලේසියෙන් හදාගන්න පුලුවන් වගේම සෑහෙන ගුණදායි පානයක්.

අවශ්‍ය දේවල් බොහොම ටිකයි.

ඉදිච්ච සියඹලා
සීනි
ලුණු
වතුර
අයිස් කැට

ඉස්සෙල්ලාම සියඹලා කරල් පොතු ඇරලා වතුර තියෙන භාජනේකට දාලා පැය දෙකක් තුනක් පෙඟෙන්න තියන්න. මතක තියාගන්න ඇලුමිනියම් භාජනයක් එහෙම ගන්න එපා.

ඊට පස්සෙ පෙඟුණු සියඹලා හොඳින් පොඩි කරලා ඇට ඉවත් කරලා පෙරණයකින් පෙරාගන්න. අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න. ලුණුත් චුට්ටක් දාන්න.

ඇඹුල් ගතිය වැඩියි නම් තව වතුර දාන්න. අයිස් කැට කීපෙකුත් දාලා බීමට ගන්න.

හදලා බලන්නකො. ඇඟ නිවෙන පානයක්.
Related Posts Plugin for WordPress, Blogger...