Pages

Tuesday, August 28, 2012

හීන කතන්දර

මම හැමදාමත් හීන පොදිගහපු කෙනෙක්. සරල හීන වගේම මිල අධික හීනත් තිබුණා. දැනුත් හීන නැතුව නෙමෙයි. ඒත් ඒ කාලෙ තිබ්බ හීන වල හරි සමනල ගතියක් ගෑවිලා තිබුණා.

පුංචිම කාලෙ සුවඳ හමන ලස්සන පාට මකනයක් ගන්න, ස්ටිකර් කොලයක් ගන්න, පැත්තකින් දාර දාර තියෙන අඩිරූලක්, කූරු විසිහතරෙ පැස්ටල් පෙට්ටියක්, කාන්දම් තියෙන පැන්සල් පෙට්ටියක් ගන්න පුදුම ආසාවක් තිබුණා. ඒ දේවල් මට ලැබුණෙ හරි කලාතුරකින්. අම්මලා තාත්තලාට අපි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න වත්කමක් තිබුණෙ නෑ. හුඟක් වෙලාවට ඒ මිල අධික ආසාවල් හීනෙකට පමණක්ම සීමා වුණා.

ඒ කාලෙ තුල් මාරු කරන පැන්සලක් අපේ ගෙවල් වල හැටියට ලොකු ගාණක්. ඒ නිසා ඒ හීනය නිකම්ම නිකං ලී පැන්සලකට සීමා කරන්න වුණා. ඒ සීමාවට කොටුවීම මගේ නම් පුංචි හිතට දරන්නට බැරි වුණා. තුල් මාරු කරන පැන්සල වෙනුවට අතට ලී පැන්සලක් ලැබෙනකොට ඉටු නොවුණු හීන වෙනුවෙන් තාත්තා එක්ක තරහට ඒ කඩේදි යටි ගිරියෙන් කෑ ගහල අඬද්දි තාත්තා කොච්චර අසරණ වෙන්න ඇත්ද කියලා හිතන්න තරම් මගේ සිතුවිලි මෝරලා තිබුණෙ නෑ. ඒත් අද මට ඒ ගැන තියෙන්නෙ සුලු පටු වේදනාවක් නෙමෙයි.

ටික ටික ලොකු වෙනකොට පුංචිම කාලෙ තිබුණු හීන ඊට වෙනස් හීන වලින් ආදේශ වුණා. හයේ හතේදි විතර තිබුණු හීන ලිස්ට් එකට කලු පාට ෆයිල් එකක්, ලෝක සිතියම් පොතක්, තින්ත පෑනක්, කවකටු පෙට්ටියක් වගේ ඒවා එක්කහු වෙලා තිබුණා. ඒ වෙද්දි තාත්තගෙ පඩියෙන් ගෙදර අවශ්‍යතා පිරිමහලා ඉවර උනාම ඉස්සරම ඉල්ලපු තුල් මාරු කරන පැන්සලක් අරන් දෙන්න පුලුවන් වුණාට, කවකටු පෙට්ටියක් අරන් දෙන්න පුලුවන්කමක් නෑ. අවුරුදු හයේදි ලැබුණෙ නැති දේවල් වලට කෑ ගහල ඇඬුවට, දොළහෙදි නොඅඬන තරමට හිත නැති බැරිකම් වලට පදම් වෙලා තිබුණා. එතකොට මම ඉන්නෙ අලුත් අවුරුද්ද වෙනකල්. ගණුදෙනු කරන වෙලාවට අම්මලා තාත්තලාගෙන්, සීයාගෙන්, ආච්චිගෙන්, මාමලාගෙන් හම්බවෙන සල්ලි එකතු කරලා හීන ඉටුකර ගන්න පුරුද්දක් ඇතිකරගෙනයි හිටියෙ.

මම නම් ඉස්කෝලෙදි කොල්ලොන්ට ක්‍රිකට් ස්ටිකර් විකුණලත් සල්ලි හෙවුවා. බොරු නෙමෙයි. පොඩි කාලෙ ඉඳන්ම සංගීතෙ කරපු නිසා මගුල් ගෙවල් වල ජයමංගල ගාථා කියන්න ගිහිනුත් සල්ලි හම්බ කරා. ඇත්තටම ඒක තමයි මගෙ පලවෙනි රස්සාව. සමහර මගුල් ගෙවල් වලින් රුපියල් පන්සීයක් ලැබිච්ච වෙලාවලුත් තිබුණා. රුපියල් පන්සීයක් කියන්නෙ ඒ කාලෙ හැටියට හීන කීපයක් ඉටු කරගන්න පුලුවන් ගාණක්.

තව පස්සෙ කාලෙකදි තිබිච්ච හීනයක් තමයි කඩෙන් ගත්තු ඇඳුම් අඳින එක. අපේ අම්මා ඒ කාලෙ අපිට ගෙදරදිම ඇඳුම් මහලා දෙනවා. දැන් කොච්චර අගේ උනත් ලමිස්සියො කාලෙ ගෙදර මහපු ගවුමක් ඇඳන් යන්න හිත ආස කරේ නෑ. අම්මට කොච්චර දුක හිතෙන්න ඇද්ද ලස්සනට මහලා බොත්තම්, රේන්ද අල්ලලා දුන්නු ගවුමක් අඳින්න බෑ කියද්දි. ඒ දුක අපේ විසේකාර හිත්වලට ඒ කාලෙ දැනුණෙ නැති වුණාට දැන් නම් මගෙ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවීමක්. ඒවා ආපහු නිවැරදි කරන්න බැරි විදිහට වෙච්ච වැරදි.

සංගීත පිස්සුව ඔලුවටම ගහපු කාලෙ තිබුණු ලොකුම හීනෙ තමයි සිතාර් එකක් ගන්න එක. මම කොච්චර අම්මලට කරදර කරන්න ඇත්ද. අම්මට හම්බවෙන සීට්ටුවක් එකතු කරලා තමයි සිතාර් එක අරන් දුන්නෙ. ඒ කාලෙත් ඒක පහලොස්දාහක්. අම්මා සීට්ටුවෙන් මොන දේවල් කරන්න හිටියද කියලා මට හිතුණෙ නෑ. මේක අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක දැනුනෙ නෑ. තිබුණු එකම දේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ කියන උමතුව විතරයි.

සිතාර් එක අතට හම්බුණා. මට ලෝකයක් ලැබුණා වගේ. ඇත්තට එහෙමත් කාලයක්. ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ සතියෙ හුඟක් දවස් ගෙවුණෙ සංගීත පන්තියෙ. දිස්ත්‍රික් තරඟ, පළාත් තරඟ, සමස්ථ ලංකා තරඟ. ඔය හීන වලිනුයි හිත පිරිලා තිබුණෙ. සිතාර් එකේ තත් වලට පිරිමැදිලා වම් අතේ දබර ඇඟිල්ලෙයි මැද ඇඟිල්ලෙයි කාණු හැදිලයි තිබුණෙ.

ඒත් ඕනෙම හීනෙකට එක්තරා කාලෙකින් පස්සෙ වටිනාකමක් නැතුව යනවා. සිතාර් එකටත් ඒකමයි උනේ. ඕලෙවල් වලින් පස්සෙ පැත්තකින් තියපු සිතාර් එක අවුරුදු දහයකින් මම අල්ලලාවත් නෑ කිව්වොත් ඔබ පුදුම වේවි. ඒත් හැමදේම තාවකාලිකයි. ඒ කාලෙ පහලොස්දාහ හැටියට අම්මට චේන් පොටක් ගන්න තිබ්බා. වළලු ජෝඩුවක් ගන්න තිබ්බා. ඒත් අම්මා එයාගෙ හීන යටපත් කරලා මගෙ හීනෙට ඉඩ දුන්නා. ඉතින් හිත පසුතැවෙන එක වළක්වන්න පුලුවන්ද.

කාලෙ ගෙවිලා ගියා. හීන අලුත් උනා. කාලයත් එක්ක හීන වෙන වෙන හීන වලින් ආදේශ උනා. හීන වලට ආයු කාලයක් තියෙනවා කියන්නෙ බොරු නෙමෙයි. අද තුල් මාරු කරන පැන්සලක් කවකටු පෙට්ටියක් කියන්න්නෙ තව දුරටත් මට හීනයක් නෙමෙයි. ඒත් ඒ කාලෙ සමනල හීන වලට දැන් ආදේශ වෙන්නෙ හරි බරපතල හීන.

ඔබටත් ඉටු කරගන්න බැරි වෙච්ච හීන ඇති. දුක් වෙන්න එප. කාලයක් ගත වෙද්දි ආපහු හැරිලා බලද්දි හීන අවලංගු වෙන බව දැනේවි. සමහරවිට ඉටුකරගත්තු හීන වලට ඉටු කරගත්තු හීන වලට පස්සෙ කාලෙක පසුතැවීමකුත් එකතු වෙලා තියේවි. ඒත් අමතක කරන්න එපා. ජීවිතේ එක් එක් කාලවලදි අපට ජීවත් වෙන්න අරමුණු සපයන්නෙත් ඒ හීනම තමයි.

Thursday, August 23, 2012

පර්දාවෙන් වැසුණු තහනම් ආදරය

"මගේ නිවස මම පිරිසිදු කරලයි තිබෙන්නේ, ඒකයි මා කරල තිබෙන්නෙ. මගේ පවුලේ කුණුවී ගිය කොටස කපා ඉවත් කර නිවසට නැවත ගෞරවය රැගෙන විත් තිබෙනවා."

මේ වහසි බස් දොඩන්නේ වෙනත් ආගමක තරුණයෙකු හා පෙමින් බැඳි වරදට, තම දියණියට පිහියෙන් ඇන මරා දමා, තම පවුලේ 'නම්බුව' බේරා ගත් 'වීර' පියෙකුයි. ඔව්. ජෝර්දානයේ 'බෙඩුඉන්' නීතියට අනුව ඔහු කර ඇත්තේ වරදක් නොවේ. තම පවුලේ නම්බුව වෙනුවෙන් කැපවුණු වීරයෙකු ලෙස උසාවියෙන් ඔහුට ප්‍රශංසා හිමිවේ.

මා ජාතිවාදියෙකු නොවේ. ආගම්වාදියෙකුද නොවේ. එහෙත් Norma Khouri විසින් රචිත 'Forbidden Love' නම් කෘතිය කියවාගෙන යද්දී මනුෂ්‍යත්වය වෙනුවෙන් මගේ ලේ රත්වෙනු වලක්වා ගත නොහැකි විය. මෙම කෘතිය එල්.එස්.එස්. පතිරත්න විසින් 'කාන්තාරයේ අහිංසකාවිය' ලෙස සිංහලයට පරිවර්තනය කර ඇත.

මෙම කෘතියට පදනම් වී ඇත්තේ කතුවරිය මුහුණ පෑ සත්‍ය සිදුවීමකි. එය ශතවර්ෂ ගණනාවකට පෙර දුරබැහැර ගෝත්‍රික ගම්මානයක නොවේ. විසි එක්වැනි සියවසේ අධිතාක්ෂණික නවීකරණයට යටත්ව ඇති ජෝර්දානයේ අම්මාන් අග නගරයේ සිදුවීමකි. මෙය එක් හුදකලා සිදුවීමක්ද නොවේ. වසර සිය ගණනක් පුරා අරාබි රටවල දිනපතා සිදුවෙමින් පවතින බිහිසුණු ක්‍රියාවලියක එක් සිදුවීමක් පමණි.

කතුවරිය වූ නෝමාගේ හොඳම යෙහෙළිය වූ 'ඩාලියා' අති සුන්දර මුස්ලිම් යුවතියකි. ඈ අහම්බයෙන් ප්‍රේමයේ බැඳෙන්නේ කතෝලික තරුණයෙකු වූ 'මයිකල්' සමඟය. අන්‍යාගමික ප්‍රේමයක් එවැනි රටක මුස්ලිම් ජීවිතයකට ඇතුළු වීම යනු මරණයට අත වැනීමක් බව දැන දැනත් නෝමා ඩාලියාගේ ප්‍රේමයට උදව් කරයි.
 
ඩාලියා හා මයිකල් තම ප්‍රේමයට ජෝර්දානය තුළ පැවැත්මක් නැති බව දැන නෝමාද සමඟ රටින් පිටවීමට උත්සාහ දරති. එහෙත් දඩ බල්ලන් සේ සිය සොයුරියගේ ජීවිතයට ඉව අල්ලමින් සිටි ඩාලියාගේ සොහොයුරන් මෙය දැන ගනියි. කෝපාවිෂ්ඨ වූ ඩාලියාගේ පියා සිය දියණියගේ 'නොහොබිනා' හැසිරීම නිසා නැතිවී ගිය පවුලේ ගෞරවය ආරක්ෂා කරගනු වස් ඈට පිහියෙන් ඇන මරා දමයි. එය එපමණකටම සරලය. මනුෂ්‍ය ජීවිතයක් ඔවුනට එපමණටම නොවටින්නේය.
 
කතුවරියට අනුව ජෝර්දානය බහුතරයක් ගැහැණුන්ට කලහකාරී සිර මැදිරියකි. තමාගේ ආදරණීයන්ගේ දෑතින්ම මරණයට පත්වීමේ අවිනිශ්චිත අවදානමට ඔවුහු සැමවිටම මුහුණ දෙමින් සිටිති. ඔවුහු නිශ්ශබ්ද සිහින දකින්නියන් වන තරමට ජීවිතය ආරක්ෂිතය.

රැකගැනීමට උත්සාහ කළ නම්බුව ඉක්මවා ගිය ආදිකල්පික කෲරත්වය පිළිබිඹු කරමින් ඩාලියාගේ සිරුර තුළට දොලොස් වතාවක් පිහියෙන් ඇන තිබිණි. පිහියෙන් ඇනීමෙන් පසු ඇයගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වග ස්ථීර කරගන්නා තුරු ගිලන් රිය කැඳවීමට ඔවුහු කල්මරමින් පසුවී තිබිණ. තත්වය මෙසේ තිබියදී පැය කිහිපයක් ෂාරියා උසාවියේ ගත කිරීමේ අපහසුව හැරුණු විට මිනීමරුවා කිසිදු දඬුවමකට යටත් නොවේ. එපමණක් නොව, පවුලේ නම්බුව උසස්කොට සලකා ක්‍රියාකිරීමට ඔහු තුළ තිබූ ධෛර්යය සම්බන්ධයෙන් උසාවිය ඔහුට ගෞරවය පුදකර සිටියි.

කතුවරිය සතු සංඛ්‍යාලේඛණ වලට අදාලව ලොව පුරා නම්බුව උදෙසා මරාදමන ගැහැණුන්ගේ සංඛ්‍යාව වසරකට 5000 ඉක්මවයි. එයින් බහුතරය ජෝර්දානයෙන්ය. අනාචාරයේ හැසිරෙන හෝ අනාචාරයට යොමුවිය හැකි ලෙස කටයුතුකරන ස්ත්‍රී ඥාතීන් මරා දැමීමට ඔවුන්ට නීතියෙන්ම ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. මෙහි අනාචාරයට යොමුවිය හැකි ක්‍රියාවක් ලෙස ආගන්තුකයෙකු සමඟ කතාකිරීම වුවද ප්‍රමාණවත්ය. දුරාචාරවත් ලෙස හැසිරී ඇතැයි යන හුදු කටකතාවක් හෝ සැක කිරීමක් වුවද මීට අදාලය.
 
තවත් ලියන්නට දේ ඇතුවා නොවේ. මගේ කලහකාරී සිත තවම නිවී නැත. එහෙත් යම් ආගමකට ඇඟිල්ල දිගුකිරීමට මට අයිතියක් නැත. මිනිසෙකුට කිනම් හෝ ආගමක් ඇදහීමේ අයිතිය ඇත. එක් එක් ආගමෙන් ලැබෙන නිදහසද වෙනස් විය හැක. ආගමක් සංසන්දනය කිරීමට මට අවශ්‍ය නැත. මන්දයත් ආගම ජාතිය අතහැරිය විට අප සියල්ලෝම ඇට මස් ලේ වලින් සැදි මනුෂ්‍යයෝ වන බැවිනි. ඒ මනුෂ්‍යත්වයට ගෞරව කිරීමට මෙන්ම ගෞරවය පෙරලා ලැබීමටද අපට අයිතියක් ඇත. පොත කියවා බලා ඒ මනුස්සකමට ලැබිය යුතු වටිනාකම තක්සේරු කල හැක්කේ කෙසේදැයි තීරණය කිරීම ඔබට බාරය.

Tuesday, August 14, 2012

ප්‍රී වෙඩිං නාඩගං 3 - නිශ්ශබ්ද වචන


නිමිත්ත :- අපගේ විවාහය ද්වී ආගමික විවාහයක් වුවත් විවාහ ලියාපදිංචිය පල්ලියේදී කළ යුතු බව පල්ලියේ පියතුමා පවසයි.

තාත්තා - ඕකනෙ මම මුලින්ම කිව්වෙ. මේවා මහ කරදර වැඩ.

මම -

තාත්තා - පෝරුවෙ විතරක් ගත්තා නම් නෑනෙ මේ වදයක්.

මම -

තාත්තා - රෙජිස්ට්‍රේෂන් එකට නැකතක් හැදුවා නම් ඒ නැකතට ඒ කටයුතු කරන එකයි කළ යුත්තෙ.

මම -

තාත්තා - නැකැත් නොසලකා මේවා කරන්න පුලුවන්ද හිතිච්චි හිතිච්චි වෙලාවට.

මම -

තාත්තා - අපි හොඳ සිංහල බෞද්ධ මිනිස්සු.

මම -

තාත්තා - අපේ පරම්පරා වල කවුරුත් නොකරපු වැඩ මේවා.

මම -

තාත්තා - නෑයො හිනා වෙයි අපිට.

මම -

තාත්තා - එක්කො රෙජිස්ට්‍රේෂන් එක නැකතට ගන්නවා. නැත්තන් උඹලා පල්ලියේ කටයුතු මම නැතුව කරගනිල්ලා.

මම- ---------------------------------------------------------------------------------------------------

පසුව,
තාත්තා - මොකද සද්ද නැත්තෙ?

මම -

තාත්තා - මොකද වෙලා තියෙන්නෙ?

මම -

---------------------------------------------------------------------------------------------------

ඊටත් පසුව,

තාත්තා - කමක් නෑ. අපි පල්ලියෙ රෙජිස්ට්‍රේෂන් ගන්න කැමතියි කියන්න.

නිශ්ශබ්දතාවයටද වචන ඇති බව අවසන මම පසක් කර ගතිමි.
Related Posts Plugin for WordPress, Blogger...