Pages

Wednesday, March 27, 2013

කුකුල් මස් ඉස්ටු


මේක ළඟදි ඉගෙන ගත්තු වට්ටෝරුවක්. රසට ආවා. හැමදාම අපි කුකුල් මස් කරිය හරි ඩෙවල් හරිනෙ කන්නෙ. වෙනසකටත් එක්ක කුකුල් මස් ඉස්ටුවක් හදලා බලමුද. වැඩි  වැඩ නෑ. හරිම ලේසියි හදන්නත්. 

අවශ්‍ය ද්‍රව්‍ය මෙහෙමයි.
  • කුඩා කැබලි වලට කැපූ කුකුල් මස් 250g
  • අල ගෙඩියක්
  • ලොකු ලූණු ගෙඩියක්
  • අමු මිරිස්
  • කරපිංචා
  • රම්පෙ කෑල්ලක්
  • විනාකිරි මේස හැඳි 2ක්
  • කුරුදු පොත්තක්
  • එනසාල් 3ක් 4ක්
  • කරාඹු නැටි 3ක් 4ක්
  • සුදු ලූණු බික් දෙකක්
  • අමු ඉඟුරු පොඩි කෑල්ලක් 
  • ලුණු රස අනුව
  • ගම්මිරිස් රස අනුව

මුලින්ම කුකුල් මස් කැබලි ටික හොඳට හෝදගෙන භාජනයකට දාන්න. මේකට ලුණු ගම්මිරිස් විනාකිරි ටික දාලා අනාගන්න.

අල ගෙඩිය සුද්ද කරලා පොඩි කොටු කපාගෙන් එකතු කරගන්න. ලූණු ගෙඩියත් ලොකු කැබලි වලට කපාගෙන මේකට දාගන්න. රම්පෙ කරපිංචා, කැපූ අමුමිරිස්, කුරුඳුත් එකතු කරගන්න. එනසාල් සහ කරාඹු නැටි පොඩ්ඩක් තලලා මේකට දාන්න. සුදු ලූණු සහ අමු ඉඟුරුත් අඹරලා දාන්න. දැන් මේකට කුකුල් මස් ටික වැහෙන ගාණට වතුර පොඩ්ඩක් දාලා ලිපේ තියන්න. 

ටික වෙලාවකින් අල ටික තැම්බුනාට පස්සෙ අල කෑලි වලින් ටිකක් වෙනම භාජනයකට බේරලා අරගෙන හැන්දකින් හොඳට පොඩි කරලා ආයෙත් මේ මස් මිශ්‍රණයට එකතු කරලා හොඳින් හැඳි ගාන්න. මස් ටික හොඳට තැම්බුණාම ලිපෙන් බාගන්න. 

විනාකිරි දාන නිසා හොඳ සුවඳක් එනවා. සුවඳ වගේම තමයි රසත්. හදල බලන්නකො වෙලාවක.   

Thursday, March 14, 2013

මිස් මිසිස් වීම



සෑහෙන කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ. මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාන්න බැරි උනා.

ගිය ජනවාරි 17 මගෙයි සජිත්ගෙයි විවාහ මංගල්‍යයය තිබුණා. අවුරුදු  යකටත් වැඩි කාලයක් තිස්සෙ ආදරේ කරලා ගෙවල් එක්ක යුද්ධ ප්‍රකාශ කරලා තුන්වෙනි ලෝක මහා සංග්‍රාමෙට පොඩ්ඩක් මෙහායින් යන යුද්ධෙකුත් කරලා අපි කසාද බැන්දා.

මිශ්‍ර විවාහයකදි අත් විඳින්න වෙන අපහසුතා හැමදෙයක්ම පවුල් පිටින් අපි එදා නම් වින්දා. එදා ඒ අතපසුවීම් වලට කලබල උනාට, පස්සෙ හිතලා බලද්දි ඒවා මතක් කර කර හිනාවෙන්න පුලුවන් සොඳුරු සිහිවටනයන්.   

මුලින්ම සජිත්ලගෙ ආගමේ විදිහට චාරිත්‍ර කරන්න පල්ලියට ගියා. පල්ලියෙදි අපේ පැත්තෙ අයගෙ නුහුරුකම නිසා පොඩි පොඩි සිද්ධි වුණත් මම මුල ඉඳන්ම බයවෙලා හිටියා වගේ අපේ තාත්තා දමල ගහල එලියට ආවෙ නෑ. මගෙ අම්මේ ඒකම මදෑ.

පල්ලිය ඇතුලට හැමෝම ගියාට පස්සෙ අන්තිමට මම තාත්තා එක්ක ඇතුල් වෙන්න තිබුනෙ. දොර ගාවදිම සජිත්ලගෙ පැත්තෙ නෑයො අතපය විසිකර කර මොකද්ද කියනවා. එතකොට තමයි මතක් උනේ මම මූණ වැහෙන්න වේල් එක දාලා නෑ කියලා. අතරමැද නැවතිලා වේල් එක මූණට දාගෙන ඉස්සරහට එනකොට හැමෝම හක හක ගාලා හිනාවෙනවා මම කලබල වෙච්ච විදිහට. කවදා කාපු ටකරන්ද. අනිත් අය නම් කමක් නෑ කියමුකො සජිතුත් හිකි හිකි ගගා හිනාවෙච්ච එකනෙ වැඩේ. මනමාලයා කියලා බලන්නැතුව හොඳවැයින් රවලා බලලා මම එයාගෙ එහා පැත්තෙන් හිටගත්තා. මම ඉස්සරහට අඩියක් තිබ්බා විතරයි මගෙ ඔලුව පස්සට ඇදෙනවා දැනුනා. බලද්දි අපෙ තාත්තා මගෙ වේල් එක උඩ හිටගෙන. වටේ පිටේ අයට පින්සිද්ද වෙන්න කොණ්ඩෙට කිසි හානියක් නොවෙන විදිහට වේල් එක හදා ගත්තා ආයෙත්. පල්ලිය දිගේ ලස්සනට ඇදීගෙන යන විදිහට මීටර් හයක වේල් එකක් තෝරගත්තු මෝඩයා මම. ඒ වේල් එක මට දීපු වදයක් එදා දවසෙම.

පල්ලියෙදි වෙච්ච ලොකුම අප්සට් එක තමයි ෆොටෝ ගහන කෙනා ෆාදර්ගෙන් බැනුම් අහපු එක. ඒ පූජාව අතරෙදි එහෙට මෙහෙට වෙවී ෆොටෝ ගහන්න ගිහින්. පල්ලිය ස්ටූඩියෝ එකක් කරගන්න එපා කියලයි ෆාදර් බැන්නෙ. මොනා උනත් ඒ මනුස්සයා අපි හන්දනෙ බැනුම් ඇහුවෙ කියන පසුතැවීම නම් තාමත් තියෙනවා.

කතෝලික චාරිත්‍ර අපේ අයට නුහුරුයි වගේම බෞද්ධ චාරිත්‍ර සජිත්ලගෙ අයටත් නුහුරුයි. ඒ නිසා පොඩි පොඩි දේවල් නොවුණාම නෙමෙයි. වෙඩින් වලදි මිනිස්සු පිස්සු කෙලින විදිහට ඒවා මොනාද.

සජිත් අපෙ තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට අපේ සීයා කෙනෙක් එතනට ඇවිත් තියෙනවා. ටිකක් සජිත් දිහා බලලා සීයා අහලා "මේ පුතා කවුද හොඳට දැකලා පුරුදුයිනෙ" කියලා. සජිත් හිනාවෙලා "සීයෙ මම තමයි මනමාලයා" කියලා. සීයටත් හිනහයිලු. "අප්පටසිරි. නිච්චි නැති උනානෙ" කියලා සීයා හෙමින් ගිහින් .

පෝරුවෙදි දෙවනි දවසෙ සාරිය අන්දවනවනෙ. ඒක දැන් අන්දවන්න කිවුවම ඉණ වටේ ගැටගහන්න සජිත්ට තේරෙන්නෙ නෑ. ඒ පාර කිව්වා එහෙනම් සාරිය කරට දාන්න කියලා. මේකා ඒක එක පැත්තකට දාලා සල්වාර් එකේ ෂෝල් එක වගේ අනිත් කරටත් දාන්න හදනවා. ඒ පාර අෂ්ඨක කියන කෙනා කිව්වා එක්කො සාරිය නවලා මෙයාගෙ අතට දෙන්නකො කියලා. අපි නිකන් පෝරුව උඩ කොමඩි ෂෝ එකක් පෙන්නනවා වගේ අනිත් කට්ටිය හිනා උනේ.

පෝරුවේ චාරිත්‍ර හරියටම විනාඩි හතලිහක් තිබ්බා. අනෙ අම්මේ විඳපු දුකක්. ඒ වෙලාව ගෙවිලා ඉවර වෙන්නෙම නෑ. කකුල් රිදෙනවා මදිවට ෆ්ලෑෂර් නිසා දාඩිය බේරෙනවා. අපි දෙන්න හෙමින් පටන් ගත්ත කයිය අපිටත් නොදැනීම සෑහෙන සංවාදයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ජයමංගල ගාථා වෙලෙත් අපි දෙන්නගෙ කයිය. අම්මා රවාගෙන ඉන්නව දැක්කමයි මගෙ කට වැහුණෙ.

අපේ පොඩිම මල් කුමාරයට හිටපු කොලු පැටිය නම් පුදුම අණ්ඩපාලයෙක්. මූට කරන්න කියන්නෙ මොකද්ද ඒකෙ අනිත් පැත්තමයි කරන්නෙ. ෆෝටෝ වලට ඉඳලා එපාම උනාම ෆෝටෝ ගහන අයියට මූ කිව්වෙ නැද්ද "අනේ මේ ගහන පොටෝ එකක් එක පාර ගහලා ඉවරයක් කරනවද" කියලා. ඒ මනුස්සයත් හොල්මන් මුගෙ කටට. අන්තිමට කොල්ලට එපාම වෙලා එතනින් දුවලා ගියා. ඒ පාර කට්ටිය පෝලිමට මේකව අල්ලන්න පස්සෙන් දුවනවා. සජිත්, දෙවනි මනමාලයා, අනිත් මල් කුමාරයා, ෆොටෝ අයියා ඔක්කොම පෝලිමේ. මේකා දුවගෙන ගියේ ඒ මදිවට වැව පැත්තට. අන්තිමට කොල්ලගෙ තාත්තා දුවල ඇවිත් තමා අල්ලගත්තෙ. ඒකා එදා අපිට දීපු රැග් එකක්.

මල් කුමාරිට මල් පොකුර දීලා කිස් එකක් දෙන්න කිව්වම මේකා ඇඹරිච්ච ඇඹරිල්ලක්. කොල්ලගෙ මනමාල හිනාව තමයි ඔය තියෙන්නෙ.

කොහොමද හිනාව කොල්ලගෙ
දෙවනි දවසෙ වෙච්ච ලොකුම අවුල තමයි ෆොටෝ ගහන්න ගිහින් පරක්කු වෙලා හෝම් කමින් එක තිබ්බ හෝටලේට යන්න පැයක්ම පරක්කු වෙච්ච එක. මගේ නෑදෑයො අපිත් එක්කම යන්න ඕනෙ නිසා එයාලට අපි එනකල් මීගමු ටවුන් එකට වෙලා ඉන්න කියලයි කියලා තිබ්බෙ. පැයක්ම පරක්කු වෙලා යනකොට නෑයොන්ගෙ මූණු ටික බලන්න ලස්සනයි.

හැමදෙයක්ම හිනා වෙලා දරාගත්තා උනත් ඒ දරාගැනීම පුපුරලා ගියේ අම්මලා මාව සජිත්ලගෙ ගෙදරට ඇරලලා ආපහු යන්න හදද්දි. මම දන්න හැමෝම යනව නේද කියන හැඟීමත් නුපුරුදු පිරිසක් අතරෙ තනිවීම කියන හැඟීමත් හරිම දුකක්. මගෙ ආදරණීය තාත්තා. තාත්තා ඇවිත් මාව බදාගෙන අඬද්දි නම් කසාදය පැත්තක තියලා තාත්තගෙ අතේ එල්ලිලා ගෙදර යන්නම හිතුණා. නෑදෑයො ආපහු යන හැටි නොපෙනෙනකල්ම බලාගෙන ඉඳලා ආපහු හැරෙද්දි නම් දැනුනෙ පුදුම පාලුවක්. මේක කියවන කසාද බැඳපු සහෝදරියො වැඩි දෙනෙක් ඒ හැඟීම විඳලා ඇති.

ඒත් සජිත්ලගෙ ගෙදර අය පුදුම විදිහට මට ලෙංගතු උනා. දුවෙක් නැතුව හිටපු ඒ ගෙදර අය උණුසුම් විදිහට මාව පිළිගත්තා. සජිත්ගෙ අම්මා කිසිම වෙනසක් කරන්නෙ නැතුව මගෙ දෙවෙනි අම්මා උනා.

අපි දෙන්නටම රැකියාවට යන්න පහසු දුරකින් ගෙයක් අරගෙන දැන් ජීවත් වුනත් හැම සති අන්තෙකම අපේ දෙමවුපියන්ගෙ ගෙවල් දෙකෙන් එකකට යනවා. ඉස්සර සැහැල්ලුවෙන් ගතකරපු ජීවිතේට වගකීම් වල බර එකතු වෙලා. උයන්න ගෙවල් අස් කරන්න රෙදි හෝදන්න වැඩ කන්දරාවක් දවසට එකතු වෙලා. ඒත් අලුත් ජීවිතේ ඉතාමත්ම සුන්දරයි.

ප.ලි.:- මූණු පොතෙනුත් නිසූපගෙ පෝස්ට් එකෙනුත් සුභ පතපු හැමෝටම ස්තූතියි.

ඩූඩ් අයියා බලවත් විරෝධය දක්වලා තිබ්බනෙ වෙඩින් ෆොටෝ එක නොදැම්ම එකට. එහෙනම් මෙන්න එකට දෙකක්ම.



Related Posts Plugin for WordPress, Blogger...