Pages

Tuesday, April 24, 2012

උද්දච්චකම

නැවකට රේඩියෝ පණිවිඩයක් පැමිණෙයි.

"අමතන්න අමතන්න.."

"ඔව් අමතනවා අමතනවා.."

"කරුණාකර මේ නැව වමට හරවන්න. මෙය අනතුරු ඇඟවීමක්"

"අපට ඉදිරිය අපැහැදිලියි. ඒ නිසා කරුණාකර ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් කියනවා. කරුණාකර ඔබගේ නැව වමට හරවාගන්න."

"ඇයි මම හරවන්නේ. ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් දැනුම් දෙනවා. කරුණාකර උපදෙස් පිළිපදින්න."

"මේ නැව යුධ නැවක්. ආයුධ තියෙනවා. මේක හරවන්නෙ නෑ. ඔබේ නැව හරවාගන්න."

"උපදෙස් පිළිපැද්දේ නැති නම් ඔබට විශාල විනාශයක් සිදුවිය හැකියි."

"මොන මගුලකටද මම ඔහෙගෙ උපදෙස් පිළිපදින්නෙ. කිව්වම තේරුම් ගන්නවා. මේක යුධ නැවක්. අපි යුද්දෙටයි යන්නෙ. අපිට හරස් වෙන්න කාටවත් බෑ. ඔය කෙහෙල්මල් නැව හරව ගන්නවා. "

"මේක නැවක් නෙවෙයි. ප්‍රදීපාගාරයක්"

"ඌප්ස්"

දඩෝං..

Sunday, April 22, 2012

සයිබර් අවුරුදු උත්සවය


මාස ගාණක් තිස්සෙ හැමෝම බලාගෙන හිටපු සයිබරයේ ලොකුම ඉවෙන්ට් එක කියල කියන්න පුලුවන් සයිබර් අවුරුදු උත්සවය අප්‍රේල් 22 පැවැත්වුණා. ඉතින් මමත් සජිත් එක්ක කොහොමහරි ඒකට සහභාගී වුණා.

එද්දිම පරක්කු වෙච්ච නිසා උදේ තිබ්බ තරඟ ගොඩකට එන්න බැරි උනා. ඒත් සෑහෙන්න කට්ටියව අඳුර ගත්තා. කතා බහ කරා. ඇත්තටම සතුටුයි. මම හැමදාම කියනවා වගේ අකුරු වලින් විතරක් අදහස් වලින් විතරක් දැන අඳුර ගත්තු යාලුවො ටිකක් ඇත්තටම දකිනවා කියන්නෙ හරිම අපූරු අත්දැකීමක්. ඒ අත්දැකීම උපරිමයෙන් ලබන්න අපි වාසනාවන්ත උනා. 

අවුරුදු ක්‍රීඩා ගැන කියනවා නම්, මුලින්ම බැලුම් පුපුරවන්න සහභාගී වුණත් මම දුවගෙන යනකොට ඉතුරු එවුන් ටික බැලුම් අරගෙන මට එක බැලුමක්වත් මුං ඉතුරු කරලා නෑනෙ. ඒ හින්දයි ඒක දිනන්න බැරි උනේ. 

ඒ උනත් අපි කඹ ඇදලා නම් දිනුවනේ. මම නම් කරපු දෙයක් නෑ.යන්තම් කඹේ එල්ලිලා හිටපු එක විතරයි. අපේ හිටපු කොල්ලො ටික නිසා ඒ ඉවෙන්ට් එක දිනා ගත්තා. වෙන අවුරුදු උත්සව වලත් මාව වැටෙන්නෙ කඹ ඇදීමේ තරඟෙට තමයි. ඒත් මගෙ ජීවිතේ පළවෙනි වතාවට මම හිටපු කණ්ඩායමක් ඔය තරඟෙන් දින්නමයි. 

තොප්පි දාන තරඟෙත් ඉතා අසාධාරණ ලෙස මගෙ ඔලුවට තොප්පිය වැටෙද්දිම සිංදුව නවත්තපු නිසා මාව තරඟෙන් අයින් උනා. මොනදේ උනත් මේ හැම දේකින්ම ලබපු සතුට නම් අනන්තයි.

හමුවෙලා කතා කරපු අය දැන හඳුන ගත්තු අය අනන්තයි. ඒ හමුවීම් වචන දෙක තුනකට සීමා වුණත් අපි හැමදෙනා අතරෙම පොදු සහෝදර බැඳීමක් තිබුණා. මේ අවුරුදු උත්සවය සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට ඇත්තටම ස්තූතිය පුද කළ යුතුමයි. ඉතින් එහෙනම් ආයෙමත් මේ වගේ අවස්ථාවකින් ආයෙ මුණ ගැහෙමු.

Wednesday, April 18, 2012

අනාගැනීම් වලට විසඳුම්

ගෙදර දොරේ වැඩ වලදි කොයි තරම් නම් අපි අනාගන්න සිද්ධි වෙනවද. ඒ වගේ පොඩි පොඩි අන්ජබජල් වැඩ වලට විසඳුම් වගයක් මට හම්බුණා. මේල් එකකින් මේක ඇවිත් තිබුණෙ. කාට උනත් ප්‍රජෝජනයක් වෙන දෙයක් නිසා මම බ්ලොග් එකේ දාන්න හිතුවෙ.

හිටපු ගමන් නොසන්ඩාල කොල්ලො උන් කකා ඉන්න චුයින්ගම් එක කාගෙ හරි ඇඳුමක අලවන්න පුලුවන්. එහෙම නැත්තන් ඒ නොසන්ඩාල කොල්ලෙක් කාපු චුයින්ගම් එකක් පුටුවක අලවලා ගිහින් ඒක ඔයාලගෙ ඇඳුමෙ ගෑවෙන්න පුලුවන්. චුයින්ගම් රෙදි වලින් අයින් කරගන්න ලේසි නෑ. එහෙම උනාම කරන්න ඕනෙ ඇඳුම අධිශීතකරණයේ පැයක් විතර තියන්න. දැන් චුයින්ගම් එක අයින් කරගන්න.



ගෙදර පැනි රස දෙයක් තිබ්බොත් බේරගන්න අමාරුම කාගෙන්ද. පොඩි ළමයින්ගෙන් නෙමෙයි කූඹින්ගෙන්. කූඹි හැටට හැටේ දුවගෙන එන්නෙ පැණි රසට. මේ වගේ වෙලාවට කරන්න තියෙන්නෙ පිපිඤ්ඤා පොත්තක් කූඹි ගුල ගාවින් තියන එකලු. මොකද කූඹින්ට පිපිඤ්ඤා පෙන්නන්න බැරි නිසා.



දෙහි මිරිකනකොට වැඩි දෙහි ප්‍රමාණයක් ගන්න ඕනෙ නම් දෙහි උණු වතුරේ පැයක් පමණ දාලා තියලා මිරිකන්න ගන්න.


ලූණු කපනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද. අපි නම් අඬා වැලපි වැලපි තමා ලූණු කපන්නෙ. කඳුළු එන එක නවත්ත ගන්න චුයින්ගම් හපන්න කියලා තමා කියන්නෙ.

අල ඉක්මනට තම්බා ගන්න ඕනෙ නම් එක අල ගෙඩියක තම්බන්න කලින් පොත්ත ටිකක් අයින් කරගන්න. එතකොට අල ඉක්මනට තැම්බෙනවලු. ඒ වගේම අල බතල වගේ දේවල් තැම්බුවාම සමහර වෙලාවට පොතු ගහන්න අමාරුයි. එතකොට ලිපෙන් බාපු ගමන්ම සීතල වතුරට දැම්මා නම් පොත්ත ලේසියෙන් ගැලවෙනවා.


තමන්ගෙ ඇඳුමට තින්ත පෑනෙ තින්ත හලා නොගත් කෙනෙක් ඉන්නවද. ඉස්කෝලෙ කාලෙ නම් තින්ත පෑන් වලින් ලියන්න ගත්ත අලුත සුදු ඇඳුමේ නිල් මෝස්තර කරගෙනනෙ ගෙදර එන්නෙ. මෙහෙම වැටුණු තින්ත අයින් කරගන්න නම් දත් බෙහෙත් ටිකක් තින්ත පැල්ලම උඩ අතුරලා සම්පූර්ණයෙන් වේලෙන්න තියන්න. ඊට පස්සෙ හෝදලා දාන්න.



එදිනෙදා ජීවිතයට මේ දේවල් ටිකක් හරි වැදගත් වෙයි. ඉතින් යාන්තමට හරි මතකයේ තියාගත්තොත් වැඩක් අනාගත්තු වෙලාවට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.




Saturday, April 14, 2012

ආයෙ මොකෝ පෙරමු ගෙදරම වයින්


වයින්.. මට නම් ලව් ඇට් ෆස්ට් සයිට් වගේ තමා.

වයින් බිව්වා වගේ නෙමෙයි යන වියදම හුඟක් වැඩියි. ඒත් වයින් ගෙදරම හදාගන්න පුලුවන් නම් ඒ දාස් ගාණක් වියදම් කරන සල්ලි ඉතුරු කරගන්න පුලුවන් නේද.

වයින් රෙසිපි එකක් කාලෙකට කලින් අහු උනා. ඒත් වෙලාවක් හම්බ උනේ නෑ හදල බලන්න. මේ පාර ගෙදර ගියාම තමා ඔන්න ඒකත් හදල බැලුවෙ. මේ තැඹිලි වලින් හදන වයින්. අවශ්‍ය දේවල් බොහොම ටිකයි.


තැඹිලි වතුර බෝතල් එකයි
සීනි 125g
දෙහි ඉස්ම කෝප්ප 1/2

කරාඹු නැටි 4

එනසාල් 4

කුරුඳු පොතු දිග කෑල්ලක්

ඊස්ට් තේ හැඳි එක හමාරක්


මුලින්ම තැඹිලි වතුරට සීනි එකතු කරගන්න.

ඊස්ට් වෙනම තැඹිලි වතුරෙන් දිය කර මෙයට එකතු කරන්න.

අනිත් සියලුම දේ එකතු කර බෝතලයකට දමා සති දෙකක් පමණ වසා තබන්න.

ඊට පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ වයින් ෆිල්ටර් එකකින් පෙරාගන්න. (අපිට කොහෙද වයින් ෆිල්ටර්. රෙදි කෑල්ලක් තමා ඉතින්.)

අවශ්‍ය නම් ඊට පසු සීනි ග්‍රෑම් 100ක් කර කර පාට වීම සඳහා මෙයට කලවම් කරගන්න.

පෙරා ගැනීමට සති දෙකකට වැඩි කාලයක් තැබුවොත් ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි විය හැක. එසේ වූවාට ප්‍රශ්නයක් නැතිනම් මාසයක් දෙකක් තබාගෙන බීමට ගන්න.

මෙන්න මගේ වයින් එක.

තාම පෙරුවෙ නෑ. ඒකයි අව පාටකින් තියෙන්නෙ. හරි අපූරු සුවඳක් හමනවා.

අම්මගේ දැඩි විරෝධතා රැවුම් ගෙරවුම් මධ්‍යයේ මායි තාත්තයි පුදුම අමාරුවකින් බෝතලේ බේරගෙන ඉන්නෙ.

Thursday, April 5, 2012

හැපි හොලිඩේස්........


අලුත් අවුරුද්දත් එනවා නේද ළඟ ළඟම.

මේ පාර නම් ලොකු නිවාඩුවකුත් අරගෙනමයි එන්නෙ.

මම නම් ගමේ යන්නයි ලෑස්තිය.

මේ නිවාඩුව එනකල් ඇඟිලි ගැන ගැන හිටියෙ.

අවුරුද්දට කලින් ආයෙ මට බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙ නෑ.

ඒ නිසා අලුත් අවුරුද්දට කට්ටියට දැන්මම සුභ පතන්නම්කො.

එහෙනම් ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

22 එනවනෙ කට්ටිය නේද. එදාට හම්බවෙමු එහෙනම්.

Monday, April 2, 2012

මොණර බිත්තර


අවුරුද්දෙ එක කාලෙකට අපේ පැත්තෙ මොණරු රංචු පිටින් දැකගන්න පුලුවන්. මේ දවස් වල අපේ වත්තටත් මොණරු ඇවිත්. සාමාන්‍යයෙන් මොණරු රංචුවක මොණරු හතරක් පහක් සහ සෙබඩලා දහයක් දොලහක් ඉන්නවා. හිටපු ගමන් උදේට පිල් විදහගෙන ඉන්නව බලාගන්නත් පුලුවන්.

කොච්චර ලස්සන උනත් උන් එළවළු කොටුවට පැන්නොත් නම් මහ විනාසයක් කරන්නෙ. හැදීගෙන එන මිරිස් කරල් තමා උන්ගෙ ප්‍රියතම ආහාරය. මිරිස් විතරක් නෙමෙයි උන්ගෙ හොට තියෙන මානයේ තියෙන්නෙ මොනාද ඕනෙ එළවළුවකට වග කියනවා. ඒ හින්දා මේ දවස් වල අපේ තාත්තගෙ පරම හතුරා වෙලා ඉන්නෙ මොණරා.


වත්තෙ ඇවිදිද්දි අහම්බෙන් මට මෙන්න මේවා දකින්න ලැබුණා.


මොණර බිත්තර වගයක්. මොණරු දැකල තිබ්බත් මම නම් ඔය මොණර බිත්තර දැක්කමයි. සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක් වගේ දෙතුන් ගුණයක් විතර ඇති. පොළව මට්ටමෙන් ටිකක් ඉහළ ගොඩැල්ලක එළිමහනෙ තමයි සෙබඩෙක් බිත්තර දාලා තිබුණෙ.

මේක දැක්ක වෙලාවෙ හිතුණෙ බිත්තර පිපිරිලා මොණර පැටවු ආවම උන්ගෙ පින්තූරත් අරගෙන බ්ලොග් පෝස්ට් එකක් දාන්න ඕනෙ කියලා. ඒත් අවාසනාව කියන්නෙ ටික දවසකට පස්සෙ බලද්දි මෙන්න මේකයි මට දකින්න තිබුණෙ.




බිත්තර ටික තිබ්බ තැන නෑ. එක බිත්තරයක් විතරක් පල්ලෙහාට වැටිලා බිඳිලා. පහුගිය දවස් වල මේ හරියෙ මුගටි ජෝඩුවක් කැරකුනාලු. ආයෙ සැකයක් නෑ මේ උන්ගෙ වැඩක්. අපරාදෙ. ඒත් ඉතින් විලෝපීයතාවය එහෙමනෙ. කරන්න දෙයක් නෑ.

මුගටියො බිත්තර වලට කිට්ටු කරන කොට සෙබඩ ඉන්න නැතුව ඇති. මුන් සාමාන්‍යයෙන් ඒ වගේ උන්ට පන්න පන්න කොටන්නෙ. ඊට පස්සෙත් මොණර රංචුව එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා. බිත්තර නම් ආයෙ දැක්කෙ නෑ.

මුන්ගෙ කොහෙ ෆොටෝ ගන්නද. චුට්ටක් ළං වෙනකොට පණ කඩාගෙන දුවනවා. යංතම් මගෙ පැපරාසි ට්‍රික්ස් දාලා ගහපු ෆොටෝ ටිකක් මේ තියෙන්නෙ.





ඔක්කොමත් හරි මොණරු කෑ ගහන සද්දෙ අහලා තියෙනවද. මෙච්චර ලස්සන සතෙක්ට මේ තරම් කැත සද්දයක් මොකට ලැබුණාද මන්දා.
Related Posts Plugin for WordPress, Blogger...