Pages

Thursday, September 20, 2012

පට්ට ඩ්‍රයිවිං හෙවත් යක්ෂාරූඪයෙන් වාහන එළවීම

ඒ ලෙවල් කරන කාලෙ මම බයෝ වලට ගෲප් ක්ලාස් එකකට ගියා. ඒක කලේ අපේ ඉස්කෝලෙම මිස් කෙනෙක්. ළමයිනුත් දහයක් විතර හිටියා. ඉස්කෝලෙ යාලුවොම තමයි ක්ලාස් එකේ හිටියෙත්.

අපේ ඉස්කෝලෙ මිශ්‍ර ඉස්කෝලයක් නිසා මම හැමදාම කියනවා වගේ ගැහැණු යාලුවො වගේම පිරිමි යාලුවොත් අපේ සෙට් එකේ හිටියා. කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැතුව එක වගේම පිස්සො ටිකක් හිටියෙ. ඒ යාලුවො සෙට් එකේ පස්සෙ කාලෙක ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කෙ පළවෙනියා වෙච්ච කෙනා වගේම, ඉස්කෝලෙ වෙලාවෙ බීලා විනය පාලක සර්ට අහුවෙලා පන්ති තහනම් කරපු උනුත් හිටියා. ඒත් ඒ කවුරු එක්ක උනත් මට තිබුණෙ මගේම සහෝදරයො වගේ බැඳීමක්.

මුන් ඉතින් අපේ ගෙවල් වලට හිටපු ගමන් කඩන් වැටිලා අපේ අම්මලා තත්තලා උනත් මුන්ව අඳුරනවා. අපෙ අම්මා කෙසේ වෙතත් අපේ තාත්තට නම් මගෙ යාලුවො සෙට් එකේ දිරවන්නැති උන් හිටියා. උන්ගෙ මූණට කිව්වෙ නැති උනාට මට නම් අඟවලයි තිබුණෙ ඔය රස්තියාදුකාර කොල්ලොන්ව ආශ්‍රය කරන්න එපා කියලා. ගෙදරින් කිව්ව පලියට අපි ඔය කාලෙ යාලුවො අත අරිනවද.

ඉතිං කලින් කිව්ව බයෝ ක්ලාස් එකට ඔය අපේ තාත්තට පෙන්නන්න බැරි ජාතියෙ කොල්ලො දෙතුන් දෙනෙකුත් ආවා. ක්ලාස් එක ඇරෙන වෙලාවට තාත්තා එනවා මාව එක්කන් යන්න.

එක දවසක් ක්ලාස් එක ඇරුනට පස්සෙ අර යාලුවන්ගෙන් කෙනෙක් මට කතා කරා. අපි ඒ යාලුවට හෙෂාන් කියමුකො.

"මට ඉස්පිරිතාල හන්දියට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්ද බං. උඹලත් යන්නෙ ඒ පැත්තටනෙ."

මටත් ඒක ප්‍රශ්නයක් නැති නිසා මම හෙෂාන්ට කමක් නෑ එන්න කිව්වා.
 
මම දැන් හෙෂාන් එක්ක වාහනේ ගාවට යනවා. අපි අඟලෙන් අඟල තාත්තා ගාවට ළං වෙද්දි තාත්තගෙ මූණ සංසුන්ව තිබිලා, කුතුහලයට ලක්වෙලා, වික්ෂිප්ත වෙලා, තරහා ආරෝපණය වෙලා, වාහනේ දොර අරිනකොට අබ පුපුරන ගාණට පරිවර්තනය වෙලා තිබුණෙ. තාත්තා මේ වගේ යාලුවොන්ට අක්මැතියි කියලා දන්නවා වුණත් මට යාලුවා ඉස්සරහ බෑ කියලා අපහසුතාවයට පත් වෙන්න අකමැත්තක් තිබුණා. ඒත් තාත්තගෙ මූණ දකිනකොට පපුව ඇතුලෙ ඩිග් ඩිග් ගාලා ගැහුණා. යක්ෂයා ආරූඪ වෙලා ඉන්න මූණ දිහා ඇස් කොණෙන් බලලා මම වාඩි උනා.

"තාත්තෙ, හෙෂාන්ව ඉස්පිරිතාල හන්දියෙන් දාගෙන යමු."
 
තාත්තා නෙමෙයි හ්ම් කියලවත් කිව්වෙ. මම වචනයක් බලාපොරොත්තු උනෙත් නෑ. හෙෂානුත් පිටිපස්සෙ දොර ඇරගෙන වාඩි උනා. ඌ දොර වහගත්තද දන්නෙත් නෑ. බෲම් බෲම් ගාලා රේස් කරපු වාහනේ විද්දෙ නැතෑ වෙඩිල්ල වගේ.
 
මම අපේ තාත්තගෙ මේ ඇක්ෂන් එක හොඳටම අඳුරනවා. තාත්තා වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නෙ උපරිමේටම තරහ ගිහින් ඉන්නෙ කියන එක.
 
වාහනේ පියාඹනවා වගේ. සිං සිං සිං ගාලා අනිත් වාහන පහුවෙනවා. වංගු ගන්නකොට අපේ ගිහින් දොරේ ඇලවෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ අපි අදාල හන්දියට ආවා. ක්‍රෑ..ස් ගාලා ගැහුවා බ්‍රේක් එකක්. තව පොඩ්ඩෙන් අරූගෙ මූණෙන් ඉස්සරහ වීදුරුවෙ මෝස්තරයක් අඳින්න තිබ්බා.
 
හෙෂාන් දඩ බඩ ගාලා බැහැලා "තැන්ක් යූ අංකල්" කියන්නද කොහෙද ගියේ. ඌ අත උස්සලා "තැන්ක්.." කියද්දිත් වාහනෙන් පිට වෙච්ච දුං ටික විතරයි එතන තියෙන්න ඇත්තෙ. යනකනුත් තාත්තා වචනයක් කිව්වෙ නෑ. ගෙදර නැවැත්තුවට පස්සෙ දඩාං ගාලා දොරත් වහලා ගේ ඇතුලට ගියා. මම ආයෙ ඕවා හාර අවුස්සන්න ගියේ නෑ. ඉල්ලං කන්නෙ මොකටද.
 
ඒ මොනා උනත් ඊළඟ දවසෙ මම ඉස්කෝලෙ ගියේ හරි අප්සට් එකේ. හෙෂාන්ට අපෙ තාත්තගෙ තරහ දැනිලා තිබ්බොත් ඌ අනිත් යාලුවන්ටත් කිව්වොත් ඒක මට හරිම ලැජ්ජාවක් වෙයි.
 
එදා පන්තියට යනකොට හෙෂාන් අනිත් යාලුවන්වත් වට කරගෙන අත පය විසි කර කර මොනාද විස්තර කරනවා. මට තේරුණා එදා සිද්ධිය තමයි මේ කියන්නෙ කියලා. ලැජ්ජාවට කණෙන් දුං දානවා වගේ මට දැනුනා. මම ඒ හරියට යනකොට උන් මාව දැක්කා. හෙෂාන් මට කතාකරා.

"ආ වරෙන් වරෙන් උඹලගෙ තාත්තා ගැන කිය කිය හිටියෙ."

මූ ඊළඟට මොනවා කියයිද කියලා හිතාගන්න බැරුව මම ලොප් උනා.
 
"අඩෝ බං, උඹලගෙ තාත්තගෙ ඩ්‍රයිවිං නම් පට්ට බං. සිරාම සිරා. ශෙහ්. සිං ගාලා ගියා. විනාඩි දෙකක් වත් ගියේ නෑ අච්චර දුරක් එන්න. අඩෝ මරු බං. මම හෙන ආසාවෙන් බලන් හිටියෙ උඹලගෙ තාත්තා ඩ්‍රයිව් කරන හැටි."

උගෙ කියවිල්ල ඉවර වෙද්දි මගෙ කටත් ඇරිලා දන්නෙම නැතුව.

"හෑ.. ආ.. ඔව් ඔව්.. තාත්තගෙ ඩ්‍රයිවිං එහෙම තමයි."

යංතං ඒ වචන ටික ගොණුකර ගන්න මට පුලුවන් උනා. නැතුව තාත්තගෙ යක්ෂාරූඪයෙන් වාහන එළවීම ගැන කියලා මොකට කට වරද්ද ගන්නවද.

Saturday, September 8, 2012

මිතුරුදම වටී මට


නෙතු කෙවෙණි අද්දර
බොඳ වෙනකල්ම නුඹ
එපා මගෙ දෙස බලන්නට
යාලුවේ මගේ දයාබර..
නිහඬ සිතකින් නැගෙන
නුඹේ ආයාචනය
නොදැනෙන්නේ නොවෙයි මට
නොදැනෙන සේ සිටිමි මම..
නුහුරු ප්‍රේමයක් නොව
නුඹේ ඔය දඟකාර
දඩබ්බර මිතුරුදම
වටී මට සැමදාම..
හැමදාම රණ්ඩු වෙමු
හැමදාම තරහ වී
ආයෙමත් යාලු වෙමු..
එපා නුඹ අයදින්න
ප්‍රේමයේ සඳ කැළුම
මගෙන් නම් කිසිදාක
මිතුර, නුඹ වටී මට
සොහොයුරෙකු විලසින්ම..
Related Posts Plugin for WordPress, Blogger...