"අනන්‍යා ස්වාමිනාතන්. අලුත් බැච් එකේ පට්ටම කෑල්ල."ජ්‍යේෂ්ඨ උත්තමයො එයාව ඒ වෙද්දිත් බවුතීස්ම කරල තිබ්බෙ ඒ විදිහට. අපේ බැච් එකේ හිටිය දෙසීයෙන් කෙල්ලො හිටියෙ විස්සයි. එයිනුත් තෙල් ඉහිරෙන රූමතියො - ටොයියො හිටියෙ අතලොස්සයි. එයාලව තේරෙන්නෙ ඉන්දියාවෙ ජනගහනයෙන් 99.9%ට වඩා ඉක්මනට ගණිත ගැටලු විසඳන්න එයාලට තියෙන හැකියාව නිසා. IIM එකේ ඉන්න ගොඩක් කෙල්ලො මේක් අප්, ඇඟට ගැලපෙන ඇඳුම්, කන්ටෑක්ට් ලෙන්සස්, ඇඟේ මූණෙ තියෙන මවිල්, ඇඟෙන් හමන දාඩිය ගඳ... කොටින්ම කෙල්ලෙක්ව ඔප මට්ටම් වෙලා දිස්නෙ විහිදුවන ඒ වගේ පොඩි පොඩි කාරණා සැලකුවෙ එයාලට තරම් නොවෙන විදිහට. එහෙව් එකේ දෙයියො දුන්නා වගේ, අනන්‍යා වගේ පරිපූර්ණ කෙල්ලෙක් මෙහෙට කඩා පාත් වුණහම අපේ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝන මට්ටම බලාගෙන ඉන්දැද්දි නගිනවා. ඊස්ට්‍රජන් හෝමෝන දුර්ලභ මේ වගේ තැනක ඒක කොයි තරම් වටිනවද.
මම මේ උපුටා ගත්තෙ චේතන් බගට් නම් ඉන්දියානු ලේඛකයා ලියපු "2 States - The story of my marriage" පොතේ සිංහල පරිවර්තනයෙන් කොටසක්. සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙ දිලීප ජයකොඩි. එතකොට පොතේ නම "මොන මගුලක්ද මන්දා".
ඉතින් ඔය උඩින්ම දැම්මෙ ක්‍රිෂ් මල්හෝත්‍රා, අනන්‍යා ගැන හිතපු විදිහ. මිනිහට අනන්‍යාව ඇහැ ගැටෙන්නෙ කැන්ටින් එකේ කෑම පෝලිමේ ඉද්දි. සාම්බාර් වලට චොරොප්පෙ කියලා කැන්ටින් එකේ කෝකියා එක්ක වලියක් දාගෙනයි අනන්‍යා හිටියෙ. ක්‍රිෂ් හිටියෙ පෝලිමේ අනන්‍යාට පිටිපස්සෙන්. ඉතින් කැම්පස් එකේ පට්ටම කෑල්ලට උදව් කරන්න අභීතව නැගී හිටින්නෙ ක්‍රිෂ්. කොහොම හරි තමන්ගෙ ඩෙසර්ට් එකත් කෙල්ලට පරිත්‍යාග කරලා කොල්ලා ලකුණක් දා ගන්නවා.
ඔයින් මෙයින් අනන්‍යා විසින් ක්‍රිෂ්ව තමන්ගේ "යාලුවෙක් විතරයි" ගානට පත් කරගන්නවා. ක්‍රිෂ්ට නම් ඒත් මදෑ. පස්සෙ පස්සෙ එකට පාඩම් කරලා කාලා බීලා ඉන්නකොට ක්‍රිෂ්ගෙ හිතේ තියෙන අදහසත් හිමීට දාලා බලනවා. පලවෙනි පාර හරි නොගියට කෙල්ලත් පස්සෙ කැමති වෙනවා.
ඔහොම ඉඳලා කැම්පස් එකෙනුත් අවුට් වුණා කියමුකො. කසාද බැඳීම ගැන හිතද්දි තමයි දෙන්නට තරු පේන්නෙ. මොකද ක්‍රිෂ් දිල්ලියෙ පන්ජාබ් කොල්ලෙක්. අනන්‍යා චෙන්නායි වල දෙමළ කෙල්ලෙක්. තමන්ගෙ සංස්කෘතිය, ආගම, ජාතිය, නම්බුව ගැන මහ ඉහලින් හිතන එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් කොට්ඨාශ දෙකක් කොහොමද එකට පාස්සන්නෙ.
ඕක තමයි යුද්ධයේ ආරම්භය. පසුවදනෙ ඔය යුද්ධය සාරාංශ ගත කරලා තියෙනෙ මෙහෙමයි.
ලෝකෙ වටේම ඉන්න කෙල්ලො කොල්ලො ආදරේ කරනවා. ආදරේ කරලා බඳිනවා. ඒක ඒ තරම් සිම්පල් වැඩක්. හැබැයි, ඒ වෙනින් රටවල. ඉන්දියාවෙදි ඒ සෙල්ලම් බෑ. ඉන්දියාවෙ ආදරේ කරන කොල්ලෙකුයි කෙල්ලෙකුයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෙ.
1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම.
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම.
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම.
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම.
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ලා කෙල්ලටයි, කෙල්ල කොල්ලටයි ආදරේ නම් කසාද බැඳීම.
මේ පොත ලියලා තියෙන්නෙ චේතන් බගට්ගෙම ජීවිත කතාව ඇසුරින්. ඔහු ගැන කිව්වොත් ත්‍රී ඉඩියට් ෆිල්ම් එකට පාදක වුණු Five point someone පොත ලිව්වෙ ඔහු. ඒ වගේම One night @ call center (සිංහල පරිවර්තනය - 'හලෝ හලෝ') සහ 3 Mistakes in my life (සිංහල පරිවර්තනය - 'තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං') පොත් ලියලා තියෙන්නෙත් චේතන් බගට්මයි.
පොත නම් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ජාතියෙ පොතක්. කියවනවා නම් කියවන්න ඕනෙ පිදුමේ ඉඳන්මයි. මොකද පිදුම පෙරවදන ස්තූතිය මේවත් හරිම වෙනස් විදිහට ලියලා තියෙන්නෙ. ඉතින් කුතුහලය ඇවිස්සුවා ඇති නේ. එහෙනම් කොහොම හරි පොත හොයාගෙන කියවන්න.
ඔය වෙනස් සංස්කෘතීන් වෙනස් ආගම් දෙකක් එකට පාස්සවන්න කන්න වෙන කට්ට මම නම් හොඳට දන්නවා. පහුගිය කාලෙ පුරාවට ඔය වගේ යුද්ධයක අපිත් පැටලිලා හිටියෙ. ඒකෙ අවසන් ප්‍රතිඵලය විඳින්න තව සති තුනයි. :D