Pages

Thursday, July 28, 2011

ඕක නම් ටයර් එකක්. නෑ නෑ හෙඩ් ලයිට් එකක්..


සජිත් වැඩකරන්නෙ මෘදුකාංග කොම්පැණියක.

ඒ ආයතනය සාමාන්‍යයෙන් පත්තරේ හරි ඉන්ටෙර්නෙට් එකේ හරි දැන්වීමක් දාලා පුද්ගලයන් රැකියාවලට බඳව ගන්නවට අතරෙම දැනට ඒ ආයතනයේ සේවය කරන අය විසින් නිර්දේශ කරන අයවත් රැකියාවලට බඳව ගන්නවා. ඒකෙන් සමහරවිට බලාපොරොත්තු වෙන්නෙ රැකියාලාභියාගේ කොලිටි එක වගේම විශ්වාසනීයත්වයත් වෙන්න ඇති.

මොනවා උනත් ඒ ආයතනයට වැඩට ගිය කෙනෙක් ගියපු වෙලාවෙ ඉඳලම කරන්නෙ තව කීප දෙනෙක්ව වැඩට ගන්න තමයි.

ඒ රැකියා ස්ථානයේ උන්නතියට කියලද හිතුවෙ. අපෝ නෑ.


ඔහොම තමන් මාර්ගයෙන් තව කෙනෙක්ව වැඩට ගත්තම එයාට ආයතනයෙන් දීමනාවක් ගෙවනවා. ඒක ටිකක් ලොකු ගාණක්. ඉතින් කට්ටිය පොර කාගෙන තම තමන්ගෙ අයව ඇතුලට දාගන්න ට්‍රයි කරන්නෙ.

සජිත් මාර්ගෙනුත් දැනට දෙන්නෙක් විතර ආවා.

ඔය හම්බෙන සල්ලි වලින් එයා නම් ප්‍රධාන වශයෙන්ම කරන්නෙ එයාගෙ පළවෙනි මනමාලිට සලකන එක තමා. පළවෙනි මනමාලි කියලා කිව්වෙ මට කියලද හිතුවෙ. මොන පිස්සුද. ඒ එයාගෙ බයික් එක.

ගියපාර රස්සාවට දාගත්තු කෙනා නිසා හබ්වෙච්ච සල්ලි වලින් ඔන්න අලුතෙන් සයිලන්සර් එකක් දැම්මා.
ඊට කලින් පාර බ්‍රේක් පොම්පෙ දා ගත්තා.

ආයෙත් කවුදෝ CV එකක් එයාට එවලලු. මට CV එක පෙන්නනවා මෙන්න මගෙ අලුත් ටයර් එක කියලා.

එයාලගෙ අනිත් සෙට් එකත් ඔහොමයි. අලුත් කෙනා වැඩට ආපුවාම එයාගෙන් මෙහෙමයි අහන්නෙ.

"මචං උඹ සජිත්ගෙ ටයර් එකද නැත්තම් නිමේෂ්ගෙ හෙඩ් ලයිට් එකද"


Wednesday, July 27, 2011

මෙහෙන්දි උන්මාදය


මෙහෙන්දි.. මාව පිස්සු වට්ටපු කලාවක්.

මෙහෙන්දි මෝස්තරයේ තියෙන සියුම් බව එහි කලාත්මක භාවය වැඩි කරනවා. Extremely creative art.

මෙහෙන්දි ගැන මතකය අලුත් උනා අපේ ප්‍රසන්න මලයගෙ මේ ලිපිය හින්දා. අනිත් එක ගිය සති අන්තෙ මටත් කාලෙකින් ඒ අත්දැකීම ලබාගන්න පුලුවන් උනා.

මෙහෙන්දි කියන්නෙ තාවකාලිකව සමට කරන සැරසිල්ලක්. (Temporary form of skin decoration). මේකට ඉතින් ඕනෙම නම් තාවකාලික පච්චයක් කියල කියන්නත් පුලුවන්.

අපි කවුරුත් දන්න මරතොණ්ඩි වලට දෙහි යුෂ සහ ඉයුකැලිප්ටස් තෙල් එකතු කිරීමෙන් මෙහෙන්දි පේස්ට් එක හදා ගන්න පුලුවන්.

ඉන්දියාගෙ හුඟක් ජන කොට්ටාශ අතර මේ කලාව ප්‍රචලිත උනත් ලංකාවෙ නම් මෙහෙන්දි කලාවට දක්ෂ මුස්ලිම් අය. එක අතක මෙහෙන්දි මෝස්තරයක් දාන්න එයාලට යන්නෙ විනාඩියකටත් අඩු කාලයක්. බ්ලොක් එකක් හරි බලාගෙන අඳින්න පින්තූරයක් වත් නැතුව අතේ හුරුවෙන් පටස් ගාලා මෝස්තරේ අඳින හැටි බලාගෙන ඉන්න ආසයි. ඒ තරම් ඉක්මනට එහෙම සියුම් මෝස්තරයක් අඳිනවද කියන එකත් පුදුමයක්.

මෙහෙන්දි මෝස්තරය අඳින්න පාවිච්චි කරන්නෙ කෝන් එකක්. මෝස්තරය ඇඳලා පැයකින් විතර ඒක වේලෙනවා. එතකොට ගලවන්න පුලුවන්. කුඩු ටික අයින් කරපු ගමන් ලා තැඹිලි පාටට පේන්නෙ. ඒත් පුරා රැයක් වගේ ගියාම ඔක්සිජනීකරණය නිසා මෝස්තරය තද රතු දුඹුරු පාටට හැරෙනවා.

සාමාන්‍යයෙන් මෙහෙන්දි මෝස්තරයක් සතියක් දෙකක් තියෙනවා. ඒක තීරණය වෙන්නෙ මෙහෙන්දි පේස්ට් එකේ තත්වය අනුව. ඒත් ටික කාලයක් තියාගන්න ඕනෙ නම් මෙහෙන්දි මෝස්තරය අතේ අඳින්න කලින් දෙහි යුෂ ටිකක් ගාලා තියන්න. ඒවගේම මෝස්තරය වේලුණාට පස්සෙ කුඩු අයින් කරාමත් දෙහි යුෂ ටිකක් ගාන්න. පොල්තෙල් ගාපුවාමත් වැඩි කාලයක් තියෙනවලු.


මම කලින් කිව්ව වගේ ඔන්න ගිය සති අන්තෙ මට මෙහෙන්දි ආට් එකක් ඇඳගන්න අවස්ථාවක් හම්බුණා. BMICH එකේ වෙඩින් ෂෝ එකට ගිය වෙලාවෙ. ඕක ඇඳගන්නකල් සිහියක් තිබ්බෙ නෑ. අනිත් එක මෙහෙන්දි එකෙන් එන සුවඳ. මම නම් මාර ආසයි අප්පා.

මෙහෙන්දි ඇන්ද ගමන් ඒ අත පැයක් විතර වේලෙන්න දෙන්න ඕනෙ. අත නවලා දිග අරින්න ගියොත් වෙන වෙන මෝස්තර හැදිලා තියෙයි නැත්තන්. ඒ නිසා තමාගේ බඩු බාහිරාදිය අරන් යන්න වෙන කෙනෙකුත් ඕනෙ. හික්ස්.

මොනා උනත් කාලෙකින් හිතේ තිබුණු ආශාවක් ඉෂ්ඨ කරගත්තා.

ඉතින් මගේ හැමදේකටම චුරු චුරු ගගා හරි තනියට එන, මළ වාතෙ කියල බැන බැන හරි හැමදේම කරල දෙන 'ඔයාට' තැන්කූ ඈ...

Sunday, July 24, 2011

කසාද බැන්දම මොනාද වෙන්නෙ


එහා ගෙදර පොඩි කොලු පැටියෙක් ඉන්නවා. පණ්ඩිතයි කියන්නෙ ඒකෙ උපරිම. වයස ඕනෙ නම් අවුරුදු තුනක් ඇති වැඩිම උනොත්. කටර් එක වගේ තමා කියවන්න ගියාම. ආදරේ හිතෙන හුරතලයක් තියෙන්නෙ.

පුංචි එකාගෙ අම්මා කොහෙ හරි යද්දි කොලු පැටියව අපේ ගෙදර තමා තියල යන්නෙ.


මේ කියන දවසෙත් පොඩි එකා අපේ ගෙදර තියල ගියේ. මම ටීවී එක දාලා කාටූන් යන චැනල් එකක් දාලා දුන්නා.

එදා ගියේ සින්ඩරෙල්ලා කාටූන් එක. පොඩි එකයි මායි දෙන්නම ටීවි එක දිහා කට ඇරන් බලාගෙන ඉන්නවා.


ඔන්න සින්ඩරෙල්ලාගෙ කුඩම්මා එයාගෙ දුවලට කියනවා උඹලා දෙන්නගෙන් එක්කෙනෙක් කොහොම හරි රජ කුමාරයා කසාද බඳින්න ඕනෙ කියලා. ඒක කුඩම්මා කියන්නෙ අණ දීමක් වගේ සැරෙන්.

මට දැන් ඇස් කොණෙන් පේනවා පුංචි එකා කලබල වෙලා. එක පාරටම අහපි,

"කසාද බැන්දම මොකද වෙන්නෙ. අනේ කියන්නකො කියන්නකො. කසාද බැන්දම මොකද වෙන්නෙ."

කාලා වරෙන්කො. මේ පොඩි එකාට මම කොහොමද තේරුම් කරලා දෙන්නෙ කසාද බැන්දම මොකද වෙන්නෙ කියලා.

අර කුතුහලය පිරිච්ච ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන නවත්තන්නෙ නැතුව එකම ප්‍රශ්නෙ අහනවා.

මම තක්බීර් වෙලා මේකට දෙන්න ඕනෙ උත්තරේ හොයනවා.

එක පාරටම පොඩි එකාටම මතක් වෙලා මෙහෙම කිව්වා අන්තිමට.

"ආ හරි හරි මම දන්නවා. කසාද බැන්දම ෆොටෝ ගහනවා නේද. ආ.. ෆොටෝ ගහනවා..."

හම්මේ... මට දැනිච්ච සැනසිල්ල.

"ඔව් පුතේ.. කසාද බැන්දම ෆොටෝ ගහනවා..."

Thursday, July 21, 2011

අපූරු පින්තූර ටිකක්

වෙනස් පින්තූර ටිකක් හම්බුණා. මට මේක මේල් එකකින් ආපු එකක්.

ඒත් මුල් අයිතිය නම් කාටද දන්නෙ නෑ.

එදිනෙදා පාවිච්චියට ගන්නා දේවල් වලින් මෙහෙම නිර්මාණ දැකලා තියෙනවද.

Creativity with everyday items.












Tuesday, July 19, 2011

ඔන්න ඕකිට ඇහැරවනවා....


මම කොළඹ බෝඩ් වෙලා හිටියට මගේ ගම දුර... කියලා දන්නවනේ. ඉතින් ගෙදර යැවෙන්නෙ කොහොමත් මාසෙකට සැරයයි.

කැම්පස් එකේ ඉගෙන ගත්තු කාලෙ නම් මගේ පළාතෙන් ආපු තව ගෑණු ළමයෙක් හිටියා ඉන්දු කියලා. එයා එක්ක තමා මම ගෙදර යන්නෙ.

තව කල් යනකොට අර අරයත් තනියට එනවා. ඇරලවන්න. හරියට ඉතින් මෙච්චර දවසක් අපි තනියෙන් ගියේ නෑ වගේ. හික්ස්. ඔහොම ඔහොම ගමේ යනකොට දැන් මායි ඉන්දුටයි අමතරව සජිතුත් ඉන්නවා.

ඉන්දුගෙ වැඩේම බස් එකට නැග්ග වෙලේ ඉඳලා නිදාගන්න එක තමා. කොච්චර චාටර් සිද්ධි වෙලා ඇත්ද ඕකිගෙ නින්ද නිසා.


ඔන්න එක දවසක් ගමේ යන්න කියලා අපි තුන්දෙනා කොටුවෙන් බස් එකට නැග්ගා. ඉන්දු අපේ සීට් එකට ඉස්සරහ සීට් එකේ ජනේලෙ අයිනෙ වාඩි උනේ.

ටික වෙලාවකින් කොල්ලෙක් ඇවිත් ඉන්දුගෙ එහා පැත්තෙන් වාඩි උනා. ටික දුරක් යද්දි අර කොල්ලා නිදි. අපිට පේනවා ඒකා ටික ටික ඉන්දුගෙ පැත්තට වැටෙන්න හදනවා. අරකිට තද වෙලා තල්ලු කරනවා, ඔරවනවා, දත්මිටි කනවා එක විකාරයයි.

ටික වෙලාවකින් අරූ ඉන්දුගෙ ඇඟටම කඩාගෙන වැටෙනවා. ඌව තල්ලු කරාට වැඩක් නෑ. ආයෙමත් එහෙමයි. අපිටත් අප්සෙට්.

ඉන්දු සෑහෙන්න අසරණ බැල්මකින් අපි දිහා බැලුවා. මාත් ඊට නොදෙවෙනි බැල්මකින් සජිත් දිහා බැලුවා.


සජිත් මුන් එක්ක ආපු ගොන්කම කියන බැල්මකින්දෝ මගෙ දිහා බලලා අර කොල්ලට තට්ටුවක් දැම්මා.

"මචං උඹ උඹේ පැත්තෙන් හිටපන්. නිදාගත්තට කමක් නෑ. අනිත් උන්ට වාතයක් වෙන්න එපා."

කොල්ලා මොනාදෝ කුටු කුටු ගාලා කියලා සූටි බබා වගේ පිළිවෙලකට නිදාගත්තා. ආයෙ වංගුවකදි වත් අරකිගෙ පැත්තට ඇල වෙන්නෙ නෑ.

අපි හිතුවා දැන් ඉන්දුට නිදහසේ යන්න පුලුවන්නෙ කියලා.

එතකොට තමා විලිලැජ්ජාවෙ පොළව පලාගෙන යන දර්ශනේ දැක්කෙ. ඉන්දු හොඳටම නිදි. නිදි විතරක් නම් කමක් නෑ අරූගෙ උරහිසේ ඔලුව තියාගෙන.


කොහෙද නිදාගන්න ගියාම අරකිට මෙලෝ සිහියක් තියෙනවද. අරූ අපිට දෙකොනින් හිනා වෙන්න ඇති. දැන් ඉතින් රෙද්දක් ඇඳගෙන අර කොල්ලගෙ මූණ බලන්න පුලුවන්ද. සජිත්ගෙ මූණ අබ පිපිරෙන සයිස් එකේ.

"මේ අන්න අරකිට ඇහැරවනවා.."
"ආයෙ කියනවකො මට යාලුවො බේරගන්න කියලා.."

ඔක්කොම ආඩපාලි මට තමා. අරකිට කෙනිත්තුවත් ඇහැරෙන්නෙ නැති සයිස්.

මොනා කරන්නද. අපි ඉස්සරහ සීට් එකේ උන් අඳුරන්නෙ නෑ වගේ ගමනෙ ඉතුරු ටික ගියා.

Monday, July 18, 2011

නුඹට හොඳ නම් මට කමක් නැත..


මගෙ විතරද හිත රිදෙන්නෙ
ඔය ඇස් දෙක නුදුටුවාම

මට විතරද දුක හිතෙන්නෙ

ඔය කටහඬ නොඇසුනාම

ඔය ගල් හිත උණු කරන්න

මට බැරි බව දනිමි හොඳට

මගේ කඳුළු කුමට නුඹට

බොට හොඳ නම් මට කුමටද...

Tuesday, July 12, 2011

කුණු කාණුවෙන් හමු වූ බෝඩිම - අවසාන කොටස


කලින් දාපු පෝස්ට් එක බැලුවා නේද? නොබලපු කට්ටිය ඉන්නවා නම් වහාම මෙතනින් ගිහින් බලලා එන්න. නැත්තන් තේරුණේ නෑ කිව්වොත් බලාගමු හරිය.

ඉතින් ඔයින් මෙයින් අපි අලුත් බෝඩිමට යන්න තීරණය කරා. බෝඩිං ගාස්තු නම් සෑහෙන්න වැඩියි. ඒත් කමක් නෑ හොඳ තැනක් හම්බුනානෙ කියල අපි හිත හදාගත්තා. හිටපු බෝඩිමේ අක්කටත් කියලා (අයියා නැති වෙලාවක් බලලා) අපි බඩු අස් කරන්න ගත්තා අලුත් බෝඩිමට එන්න.

මීට කලින් බෝඩිමේ ඉඳන් ගෙනාපු බඩු තොගය පැටවු ගහලද මන්දා දෙගුණයක් වෙලා.

පරණ ටියුට්, ඔලුවට ගැහුවොත් මැරෙන සයිස් තඩි පොත්, කොට්ට, මෙට්ට, ෆෑන්, රූපලාවන්‍ය බඩු, ඇඳුම් බෑග්, තේ හදන බඩු විතරක් නෙමෙයි ටෙඩි බෙයාලා පවා ඉන්නවා. (හෝව් හෝව්.. පද හදන්න පටන් ගන්න එපා. ඔය ටෙඩි බෙයාලා අරුන් මුන් මගෙ නම් නෙමෙයි. අනිත් උන් දෙන්නගෙ. බ්ලොග් එක කියවන උන් පල්ලා මගෙ නම් නෙමෙයි හරිය.)

ත්‍රීවීල් දෙකකින් තුන් පාරකට බඩු අදින්න උනා බඩු ගොඩේ හැටියට කොහොමහරි. ඒ මදිවට ඒ බඩු ටික අලුත් බෝඩිමේ බානකොට ඒ ගෙදර මිනිස්සු ඉහලට ගත්තු හුස්ම පහලට හෙලන්නැතුව බිරන්තට්ටු වෙලා බලාගෙන ඉන්නවා මෙච්චර බඩු ගොඩක් එක කාමරේකට දාන්න පුලුවන්ද කියලා.

හෙහ්. ඒ මිනිස්සු දන්නවයැ අපේ කම්ප්‍රෙස් තියරිය. කෙලින්ම පොදිය පිටින් ඇඳවල් යටට මේස යටට තල්ලු කලාම ඔය එන්නෙ ඉඩ.

කොහොම හරි සෑහෙන මෙහෙයුමකින් පස්සෙ බෝඩිම මනුෂ්‍ය වාසයට උචිත විදිහට හදාගත්තා.

දැන් තමා නිදහසේ හුස්මක් වත් ගන්න ඉඩක් ලැබුණෙ.

මේ කාමරේ ප්‍රධාන දොරට අමතරව බැල්කනියට යන්න පැති දෙකකින්ම අර බිමටම තියෙන ලොකු ජනේල තියෙනවා. මම ඒ එක පැත්තක ජනේලයක් ඇරලා බැල්කනියට ආවා.

සුලං කපොල්ලක තැනූ කැදැල්ලක් වගේ. මඳ සුළං මගෙ කෙහෙරැළි එක්ක දඟ කරනවා.
බැහැගෙන යන ඉරේ ලා රත ඇස් වලට පාට දානවා. පරිසරය හරිම සුන්දරයි.

මම වමේ සිට දකුණට හෙමි හෙමින් හිස හරවනවා. පොල් ගස්, අඹ ගස්, ලයිට් කණු, තාප්පය, ඊට උඩින් පේන කාමරයක්, ඇස් දුසිමක්.... හුටා.... පිරිමි ඇස් දුසිමක්.....

මොකක්. හත්දෙයියනේ මේකෙ අල්ලපු ගෙදර පිරිමි බෝඩිමක්.

ඒකෙ උන් කන්න වගේ බලන් ඉන්නවා. මම ඒ අස්සෙ සැඳෑ සුව විඳිනවා. යන එන පාරක් හොයාගන්න බෑ කලබල උන පාරට. ආවෙ කොහෙන්ද කියල මතක නෑ. මම යන්තම් ජනේලෙ හොයාගෙන කාමරේට පැන ගත්තා.

කාලා වරෙන්කො ඉතින්. ඉඳලා ඉඳලා හොයාගත්තා බෝඩිමක් නිදහසේ ඉන්න කියලා. අපිට මෙහෙම වෙලා මදි.

මොනා කරන්නද. වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ පැත්තෙ ජනේලය ස්ථීරවම වහලා දාලා කර්ටන් එකකුත් දැම්මා. හහ්. අපිට උන්ගෙ පැත්තෙ බැල්කනිය විතරයැ තියෙන්නෙ. එහා පැත්තෙත් අර වගේම ජනේලයක් තියෙනවනෙ බැල්කනියට.

ඒ පැත්තට වෙලා අපි දැන් සැඳෑ සුවය විඳිනවා. වෙලාවට ඒ පැත්තෙ ගෙවල් තිබුණට බෝඩිං නෑ. අර පැත්ත ඕනෙ නෑ. මේ පැත්තෙ නිදහසේ ඉන්න බැරුවයැ.

කුරුළු පැටවුන්ගෙ කිචි බිචි නාදය සවන් පත් සිසාරා යනවා. ලේන්නු ටිං ටිං කියාගෙන අඹ ගෙඩියකට පොර අල්ලනවා. පුංචි සමනලයො ඈතට ඈතට පියාඹගෙන පියාඹගෙන.....

"කවුද ඩෝ මට පාට් එක දාන්නෙ. දැනගනිව් මම තොපි !@#$%^*!@#....... "

අපොයි සුද්ද සිංහලෙන් එහාගෙදර මනුස්සයෙක් බීලා කෑ ගහනවා. සිංහලයේ සුපිරිම යෙදුම් දාලා බනිනවා. ඒ ගෙදර ගෑණු ටික විලාප තියනවා. අපි වහාම කාමරේ ඇතුලට පැනගත්තා.

ඔන්න ඔහොමයි අලුත්ම බෝඩිමේ අලුත්ම තත්වෙ. උතුරින් හැඩි දෙමළු දකුණින් ගොලු මුහුද වගේ අපි අතපය අකුලගෙන එලියට බහින්න බැරුව කාමරේට කොටු වෙලා ඉන්නවා.

කම්මලේ බල්ලගෙ තියරිය අලුතින්ම ලියවෙනවදෝ කියලත් හිතෙනවා. ටික කාලයක් මෙහෙම ඉඳලා බැරිම තැනක් ආවොත් ආයෙත් බෝඩිං වන්දනාව පටන් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

History repeats Over and Over again....

Sunday, July 10, 2011

කුණු කාණුවෙන් හමු වූ බෝඩිම


කම්මලේ බල්ලගේ තියරිය හෙවත් බෝඩිං ජීවිතය පෝස්ට් එකේදි මම කිව්වනෙ අපිට ඒ බෝඩිමේ තිබිච්ච ප්‍රශ්නය. ඒක මතක නැති කට්ටිය මෙතනින් ගිහින් බලන්න.

මම අන්තිමට කිව්වා තමා ආයෙ කාලෙකට බෝඩිං නම් හොයන්නෙ නෑ කියලා. ඒත් එන්න එන්නම එහෙ ජෝඩුවගෙ රණ්ඩු වැඩියි. ඔතන හිටියා නම් එකෙක්ගෙ මරණෙකට සාක්ෂි දෙන්නත් වෙනවා.

අන්තිමෙදි කම්මලේ බල්ලගෙ තියරිය කැලේ. ඕනෙ මගුලක් කියලා අපි ආයෙ බෝඩිං වන්දනාවෙ ගියා.

හිස්ට්‍රි රිපීට්ස් ඕල්වේස්. කකුල් කැඩෙනකල් හැමතැනම ඇවිද්දත් හිතට හරියන බෝඩිමක් අහු උනේම නෑ. එක්කො දුර වැඩියි. එක්කො බෝඩිමේ ළමයි වැඩියි. අපිරිසිදුයි. බෝඩිං අයිතිකාරයන්ගෙ වාසනාවද අපේ අවාසනාවද මන්දා බලපු කිසි තැනක් ෆිට් නෑ හිතට.


බලාපොරොත්තු කඩවූ සිතින් අපි පාරක් පාරක් ගානෙ යනවා. අපි කිව්වෙ මායි මගෙ යාලුවො දෙන්නයි. පාර දෙපැත්තෙන් කුණු වතුර කාණුවක් තියෙනවා. කුණු ගඳ අපේ නහය සිසාරා යනවා. බෝඩිං නැතුව බිඳුණු සිත් ඇති අපිට කුණු ගඳක් දැනෙන්නෙ නෑ.

එක පාරටම අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් අඩුයි කියලා මට දැනුනා. එකියක් කුණු කාණුවට එබීගෙන මේං මේං කියල කෑ ගහනවා. අපිට බයත් හිතුනා හිත් බිඳීම නිසා ඇති වන මානසික අවපීඩනය මතක් වෙලා.


අම්මපා මේකිට පිස්සු හැදීගෙන එනවද කුණු වතුර කාණුවකට පනින්න හදන්නෙ. අපිත් "ඔහොම හිටපාං........" කියාගෙන දුවගෙන ගියා.

පැන්නොත් එහෙම කාණුවෙම ගහගෙන යන්න ඉඩ දෙනවා මිසක් අතිජාත මිත්‍රයො විදිහට අපි ඕකට පනින්නයැ.


කොහොම හරි යන්තම් දුවගෙන ගිහින් කාණුවට බහින්න හදන අරකිව අල්ල ගත්තා.

"මොකද බොල මොලේ විකාරද. බෝඩිමක් නෑ තමා ඒ උනාට කාණුවෙ ඉන්න බෑනෙ බං. අපි පණුවො නෙමෙයිනෙ."

"නෑ නෑ බං අර බලපංකො"

අරකි පුංචි එකෙක්ට ජිල් බෝලයක් හම්බුනා වගේ සතුටකින් කාණුවට අත දික් කරනවා.

එතකොට තමා මම මේ දවස් ගාණටම දැකපු ලස්සනම සුන්දරම මන මෝහනීය හද පොපියන දර්ශනය දැක්කෙ.


කාණුවෙ කළුම කළු පාට කුණු ජරාව මඩ වතුර එක්ක සුදු පාට සිලි සිලි ගාලා දඟලන පණුවො අතර හතරැස් ලැමිනේට් කරපු කොළයක කලු පාට බෝල අකුරු ටිකක් අපි දිහා බලලා අත වනනවා.

දැන්වීමයි

ගැහැණු ළමුන් තිදෙනෙකු සඳහා නවාතැන් පහසුකම්. නාන කාමරද සහිතයි.

මට නං ඒ වෙලාවෙ දැනුනෙ අවුරුදු ගාණක් වැස්ස නැතුව ඉඳලා එක පාරටම හෙණ ගගහා වහින්න ගත්තා වගේ. කොහෙ හරි තාප්පෙක ගහලා තිබ්බ දැන්වීමක් කාණුවට වැටිලා.

අපි වහ වහා ටෙලිෆෝන් අංක ලියාගෙන අතර මගදිම කෝල් කරා. මං සලකුණු අහගෙන (කීප පාරක් වැරදි පාරවල් වල ගිහින්, චාටර් වෙලා, බල්ලොන්ගෙන් බේරිලා) අදාල බෝඩිම හොයා ගත්තා.


තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවෙ කාමරයක්. අප්පේ දිලිහි දිලිහි තියෙනවා. අලුත්ම අලුත්. මේක මෙහෙමවත් බේරිලා තියෙන්න ඇත්තෙ නෝටිස් එක කාණුවට වැටිච්ච හින්දම වෙන්න ඇති.

ඒ ගෙදරත් කපල් එකක් පොඩි බබෙකුත් එක්ක. වෙනදා අහන ප්‍රශ්න වලට අමතරව තව එක ප්‍රශ්නයක් කට ඇතුලෙ නලියනවා.

"ඔයාලා රණ්ඩු වෙනවද?"

යන්තම් ඒ ප්‍රශ්නෙ එලියට දැම්මෙ නැතුව නවත්ත ගත්තා. මොනා උනත් මූණ බලාගෙන ඔහොම දෙයක් අහන්න පුලුවන්ද.


ඉතින් කොහොම කොහොම හරි අපි තුන්දෙනාටම බෝඩිම නම් හිතට ඇල්ලුවා. අපි කාපු කට්ට හන්දම ආයෙ බෝඩිං හොයන්නෙ නැතුව අපි මේ බෝඩිමට මාරු වෙන්න තීරණය කරා.

ඉතින් ඔය තමා මගේ අටවෙනි බෝඩිම හෙවත් කුණු කාණුවෙන් හමුවූ බෝඩිම.

පෝස්ට් එක දිග වැඩි වේගෙන එන නිසා මේ බෝඩිමේදි මූණ දීපු අනපේක්ෂිත තත්වය මම වෙන දවසක කියන්නම්කො.

Monday, July 4, 2011

මළ විකාර කෑම


මාතෘකාව දැකලා මළ විකාරයි වගේද? සාමාන්‍යයෙන් අපි කන කෑම වලට අමතරව සමහර වෙලාවට අපිට අපිටම ආවේණික වෙච්ච අසාමාන්‍ය කෑම තියෙනවා නේද. අන්න ඒවා තමා මළ විකාර කෑම.

මේක කියවලා මට විකාරද කියල අහන්න එපා. මම හොඳටම දන්නවා ඔය හැමෝටම මේ වගේ තමන්ටම ආවේණික වෙච්ච කෑම ජාති එකක්වත් තියෙනවා කියලා.

ඔය පහලින් තියෙන්නෙ මගේ මළ විකාර කෑම සහ මම අහලා තියෙන මළ විකාර කෑම.

1. මම පුංචි කාලෙ ඉඳලම මාර ආසයි බටර් කේක් එක්ක ජෑම් කන්න. බටර් කේක් කෑල්ල මැද්දෙන් කපලා ජෑම් ගාලා කාලා තියෙද? මාර රහයි.

2. මම ආයෙ ආසම කෑමක් තමා පානුයි, කිතුල් පැණියි. කිතුල් පැණි නම් ශීතකරණයේ ටික වෙලාවක් තියලා ගත්තම තවත් රසයි.

3. ඊළඟට රොටී සහ හකුරු. උණු උණු රොටියක් එක්ක හොඳ කිතුල් හකුරු කෑල්ලක් තිබ්බා නම් කියල වැඩක් නෑ.

4. ටිකිරි මාරි වලට මාමයිට් ගාලා කාලා තියෙද? මේක නම් ඉස්සර පාඩම් කරන කාලෙ හොයාගත්ත එකක්. එච්චරම අවුලක් නෑ. කන්න පුලුවන්.

5. විස්කිරිඤ්ඤා එක්ක මාමයිට් අත්හදා බලල තියෙද. මේකත් හොයා ගත්තෙ ඒ ලෙවල් වලට පාඩම් කරන කාලෙ. දැන් උනත් පාඩම් කරන කට්ටියට නිදිමත යන්න මට නිර්දේශ කරන්න පුලුවන් විස්කිරිඤ්ඤා. අපි ඉස්සර ඕවට කියන්නෙ රිවිරැස මෙහෙයුම් කියලා. කටේ දාලා හපන කොට කට ඇතුලෙ යුද්ධයක් වගේනෙ. නිදිමත කොහෙ ගියාද නෑ. අන්තිමට බලද්දි ඒ ලෙවල් කරපු කාලෙ කාපු එකම විතරයි හරියට කරේ.

6. හොඳට ඉදිච්ච අලි පේර ගෙඩියක් දෙකට පලලා ඇටේ අයින් කරාම කෝප්පෙ වගේ තියෙනවනෙ. ඒකට කිතුල් පැණි දාලා හැන්දකින් කන්න මම මාර ආසයි. ඔහේ අපත වෙන වෙලාවට නම් කියාපු කෑම.

7. ඔය අලි පේර හූරලා කෝප්පෙකට දාලා කිරි පිටියි සීනියි දාලා හොඳට මිශ්‍ර කරලා කාලා බලන්න. කොලෙස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාවට කියාපු බේත. අඩු කර ගන්න නෙමෙයි. ලෙඩ ටික වැඩි කරගන්න. ඒත් දෙයියනේ හිත හදාගෙන නොකා ඉන්නෙ කෝමද. පෙරේත කම ලොකුයිනෙ ඊට වැඩිය.

8. හවස් වෙලාවක හැදෙන බඩගින්නට පාන් ගෙඩියක් ඇරෙන්න කන්න දෙයක් ගේ පුරා හොයා ගන්න නැත්තන් කරන්න තියෙන්නෙ පොල් ටිකක් ගාගෙන පාන් එක්ක කන එක. රතු ළුණු ගෙඩියකුත් තිබ්බ නම් කියල වැඩක් නෑ.

9. ඉස්සර පුංචි කාලෙ සෙල්ලම් ගෙවල් දානකොටත් එක එක කෑම ජාති අත්හදා බලල තියෙනවා. නෙල්ලි බිලිං තියෙන්නෙ. බෙහෙත් නෙල්ලි නෙමෙයි නෙල්ලි බිලිං හොඳේ. ඒවා ගෙදර උයනකොට දාන සියඹලා එක්ක මාර රහයි. ගහෙන් කඩපු සියඹලා නෙමෙයි. උයන්න පදම් කරපු සියඹලා වෙන්න ඕනෙ.

මේවා මම කාලා තියෙන මළ විකාර කෑම. ඔය පහළින් තියෙන්නෙ මම අහලා තියෙන ඒ වගේ කෑම.

අපේ පන්තියෙ කෙල්ලෙක් හිටියා ඉදිච්ච කෙසෙල් පොඩි කරලා බත් එක්ක කන. අපෝ මට නම් ඒක අත්හදා බලන්න වත් හිතුණ නෑ.

මම අහලා තියෙනවා සමහරු දිවුල් කිරි බත් එක්ක කනව කියලා. ඒ වගේම මීකිරිත් බත් එක්ක කනවලු. මම නම් එහෙම කාලා නෑ.

විශ්වාස කරනවද අපේ කෙල්ලෙක් හිටියා ඒකි පොලොසුයි සීනියි කනවලු. ඒක නම් මළ විකාර කෑමක්ම තමා.

ඉතින් මතක් උනාද ඔයාලගෙ මළ විකාර කෑම ගැන. මතක් උනා නම් ලියලා යන්න අමතක කරන්න එපා හොඳේ.

Friday, July 1, 2011

We Came... We Conquered.... We Survived...

උසස් පෙළ කඩ ඉම පසු කළෙමු..

ජීවිතේ වසන්තය මැද පැතුම් පොදි ගොඩ ගසා ගෙන සරසවියට ගොඩ වැදුනෙමු...

දෘඩාංග මෘදුකාංග කේත මත ජීවිතය ඇරඹුවෙමු...

එක්ව සිනා නැගුවෙමු..

දුක තුරුළු කරගෙන එක්ව වැළපුනෙමු...

කුප්පියෙන් විභාගය ගොඩ දැම්මෙමු...

එකෙකු වෙනුවෙන් සිය දෙනෙකු හඬ නැගුවෙමු..

එක් පෑන් පහරකින් ජීවිතය එළියට විසි වෙන බව දැන දැන ඇඳුරන් හා සටන් වැදුනෙමු..

උගුර ලේ රහ වනතෙක් කෑ ගැසුවෙමු....

සියල්ල අවසන අපි එය ලබා ගතිමු...

We Came.. We Conquered.... We Survived...
But Actually, We Nearly Escaped..

Related Posts Plugin for WordPress, Blogger...