" අවුරුදු දෙකක් තිස්සේ
බර ඇද ගොනෙකු වාගේ
ගිල පොතෙහි ඇතිදේ
වමාරා පැය තුනක් තිස්සේ
මැරි මැරි ඉපදෙමින්
හිඳ හිඳ ඇගිලි ගනිමින්
ප්‍රතිඵල ආ සැනින්
විඳින්නට සැරසෙමින් අවමන්
යන යන තැන හිඳින
හඳුනන හෝ නොහඳුනන
උන් අප දුටු සැනින්
A-Level කොහොමදැයි අසමින්
උඹ දැන් දොස්තරද?
නැත්නම් බයෝ යනවද?
වෙට් ආවේ නැතිද?
ආපසු පන්ති යනවද?
විසඳමින් විසි පැණ
rivision පන්ති සොයමින
tution දෙවි වඳින
අහෝ අප තව නොදිටි මොක්පුර.."
මේ කවි පෙළ ඇත්තටම මම පබැඳූවක් නෙවෙයි. පහුගිය දවසක ඒ ලෙවල් පොත් ගොඩ අදිද්දි පොතක් පිටිපස්සෙ මමම කොහෙන්දෝ අහුලගෙන ලියල තිබ්බ කවි පෙලක් මේක. පාඩම් කරල කරල ඇති උනාම මම හැමදාම කරේ ටියුට් පිටිපස්සෙ, පොත් කවර වල කවි කුරුටු ගාපු එක. මේ කවියෙ ඇත්තම රචකයා නම් මම දන්නෙ නෑ.
මම මේක publish කරන්න හිතුවෙ එක පාරටම හිතට ආපු සිතුවිල්ලක් නිසා. ඇත්තටම ශිෂ්‍යත්වෙ කාලෙදි අපි හිතන්නෙ ශිෂ්‍යත්වෙ තමා තියෙන ලොකුම කඩුල්ල කියලා. අමාරුවෙන් ඒක පාස් උනාට පස්සෙ හිතනවා ඕ ලෙවල් තමයි ලෝකෙ තියෙන අමාරුම විභාගෙ කියල. (ඇයි හත්දෙයියනේ විෂයන්ම කීයක්ද? තව අමතර විෂයන් සහ ප්‍රැක්ටිකල්?) කොහොම හරි අමාරුවෙන් ඒකත් ගොඩ දාගත්තට පස්සෙ තමා ජීවිතේට පැන ගන්න බැරි උසම කඩුල්ල කියල හිතන ඒ ලෙවල් එන්නෙ. ඒ ලෙවල් වල තියෙන එකම සැනසීම තමා ඕ ලෙවල් තරම් විෂයන් ගොඩක් නෑ. තියෙන්නෙ විෂයන් 3යි. (බුදු අම්මෝ තව විෂයන් 10ක් තිබුනනම් එහෙම තුන් පාරකින් තියා දහ පාරකින් වත් ඒ ලෙවල් නම් පාස් වෙන්න බැරි වෙයි.) ඒත් මේ විෂයන් තුන ගොඩ දාගන්න මොනතරම් නම් දුක් විඳිනවද ළමයි.
මට ඒ ලෙවල් පළවෙනි පාරින් කැම්පස් යන්න රිසල්ට්ස් මදි උනා. දෙවෙනි පාරින් තමා යන්තම් කැම්පස් සිලෙක්ට් උනේ. පළවෙනි පාර එක්සෑම් ඇනුනාම ගෙදරින් මාව කුරුණෑගලට තල්ලු කරල එව්වා රිවිෂන් පන්ති පලයන් කියලා. ඉතින් උදේ 7.30ට පටන් ගන්න පන්තිය ඉවර වෙන්නෙ 5ට. ඒ මදිවට ටියුට් ක්ලාස්. බෝඩිමේ ඉදන් අපි පන්තියෙ පේළි අල්ලන්න එන්නෙ පාන්දර 5.30ට. ඒවා හෝල් ක්ලාස් හන්ද ළමයි සූ ගාලා. ඉතින් first in first served basis තමා යන්නෙ. කලින් ඇවිත් ඉස්සරහ අල්ලගත්තොත් හරි. නැත්තම් ඉතින් දවසෙම කට්ට. උදේ 5.30ට පන්තියට ඇවිත් පේළි අල්ලල අපි කරන්නෙ ඩෙස් එකට ඔලුව තියාගෙන නිදාගන්න එක. මුළු දවසෙම අමාරුවෙන් පාඩම අහගෙන ඉඳල ආපහු බෝඩිමට ගියාම පාඩම් කරන්න තරම් මානසිකත්වයක් මට නම් ඉතුරු වෙන්නෙ නෑ. ඇත්තටම ඒ කාලෙ මට හිතුනෙ මොකට මෙච්චර දුක් විදිනවද කියල.
ඇත්තටම මේ කවි පෙළ කියවල ඒ කාලෙ බඩ පැලෙනකල් හිනා උනත්, ඒක ඇතුලෙ හැංගිච්ච කටුක ඇත්ත දන් තමා තේරෙන්නෙ. අවුරුදු දෙකක් (සමහර විට ඊටත් වැඩියි ) තිස්සෙ පොත් වල ගොඩ ගහපු දේවල් සති කීපෙකින් ගිරවා දාගෙන පැය තුනක් තිස්සෙ වමාරනවා. දැන් උනත් ඇත්තම ඇත්ත ඒක නෙමෙයිද? මාස ගානක් තිස්සෙ ඉගෙන ගත්ත දේ දවස් දෙකෙන් ගිරවා දාගෙන ගිහින් කුරුටු ගානවා. මට හැමදාම එක්සෑම් හෝල් එකෙන් එලියට එද්දි දැනෙන්නෙ හරිම හිස් හැඟීමක්. ඒ අපි එක්සෑම් ලියන්නෙ ක්ෂණික මතකයෙන් නිසා. just flush away the memory.
ඒ ලෙවල් ඉවර වෙනකල් හිතුවෙ කවදා මොක්පුර දකින්න පුලුවන් වෙයිද කියලා. ඒත් මොක්පුර කියල හිතාගෙන ආපු සරසවියෙත් එදා විඳපු දුක් කන්දරාවම රිපීට් කරන්න වෙලා. මෙතනින් එලියට ගියත් විදින්න වෙන්නෙ නේ දුකම නේද?
ඉතින් දෙව්දත් නම් කවදා හරි මොක්පුර දකීවි. ඒත් අනේ අපි මේ දුකින් මිදිල කවදා මොක්පුර දකින්නද?
ප.ලි. මේක ලිව්වෙ ඒ ලෙවෙල් කාලෙ ගැන ලියන්න උනත් අන්තිමට දුක් ගැනවිල්ලක් උනාද මන්ද. එඩිට් කරන්න බැලුවත් කොහෙන් අඩු කරන්නද කියල තේරෙන්නෙ නෑ. ඔන්න ඔහෙ හිතට ආපු සිතුවිල්ල අමුවෙන්ම දැම්මා.