Pages

Wednesday, December 29, 2010

අකේලේ හම් (තනියම මම)


මගේ තනියට
ළඟින් ඉන්නට
නුඹට නොහැකිව
පලා යන සඳ
නෙතු කෙවෙණි අග
බොඳ කරන් සිටි
කඳුළු බිඳු
මගෙ තනිය මැකුවේ..

හුදකලාවම ස්වර්ගයක් කර
මගේ සිහිනය
තනිව තැනුවෙමි

නුඹම ඇවිදින්
මසිත් අහසේ
තරු පළඳතැයි
බලා සිටියෙමි..

Tuesday, December 28, 2010

නමක් නැති ආදරයක්


"මට ආයෙ කතා කරන්න එපා.."

"දෙයියනේ ඇයි මෙහෙම කරන්නෙ..?"

"ඒත් එයා පව්. මට බෑ තවත් එයාව රවට්ටන්න.."

"ඇයි මං පව් නැද්ද..?"

"මට සමාවෙන්න.."

"මේක හරිම අසාධාරණයි. මම විතරද විඳවන්නෙ..?"

"මාත් විඳවනවා. මට කරන්න දෙයක් නෑ.."

--------------------------------------------------------------------

"අක්කෙ ඔයා එයාට කතා කරන්න එපා. මම කැමති නෑ ඔයා අපි අතරට එනවට.."

"මම අවුරුදු ගානක් තිස්සෙ එයාට ආදරේ කරනවා.."

"එයා ඔයාට ඉස්සර ආදරේ ඇති. ඒත් එයා දැන් ආදරේ මට.."

"මම කොහොමද එයාට ආදරේ නොකර ඉන්නෙ.."

"ඔයාට ඕනෙ නම් පැත්තක ඉඳන් ආදරේ කරන්න. අපි අතරට එන්න එපා.."

-----------------------------------------------------------------------------------

"ඇයි මාව මෙහෙම බාල්දු කරවන්නෙ.."

(නිශ්ශබ්දතාවය)

"මං ගැන කිසිම හැඟීමක් නැද්ද.."

(නිශ්ශබ්දතාවය)

"මං මැරෙන්නද දෙයියනේ.."

(දුරකථනය විසන්ධි විය)


ප.ලි.: මේක මම
One | Zero | Zero බ්ලොග් අඩවියට ලියලා යවපු වචන 100යේ නිර්මාණයක්.

Sunday, December 26, 2010

මට දැනෙන ජීවිතය



දුහුළු මල් පියල්ලක
සැහැල්ලුව රැඳෙන මුත්
කඳුළු තෙතමනය ළඟජීවිතය හරි බරයි..

සිනා කැන් පොදක් මෙන්
සතුට උතුරනා මුත්
අසුන්දර මතකයක
ජීවිතය හරි දුකයි..

හමන මල් සුවඳ මෙන්
හරි අහිංසක නමුත්
තැවෙන හදවතක් ළඟ
ජීවිතය වේදනයි..

නියං අහසක රැඳෙන
හුදකලා බවම මිස
වැහි පොදක සිසිල නැති
ජීවිතෙත් ඒ වගෙයි..

අහංකාර කඳුළු


දෙකම්මුල් දිගේ බේරිලා
ගලන්න බැරි තරමට
ඇයිද ඔතරම්
කඳුළු වල ඇති
අහංකාරකම..
ඇස් පුංචි කරගෙන
හිනාවීගෙන
ඒ හිනාව තුළ
ඔය කඳුළුත් හංගනා විට,
දන්නවද
නුඹටත් නොදැනීම
හිනාවෙන්
කඳුළු උතුරනා වග..

Wednesday, December 22, 2010

මෙන්ඩලීය ප්‍රවේණියේ අපගමනය


සහ ප්‍රමුඛතාවය අකැප සඳ
අභිබවනයට ඉඩදී
නුඹ සමඟ මා
ප්‍රතිබද්ධ විණි..

ස්වාධීනව වියුක්ත වීමට
නුඹට අවැසි කල
සම යුග්මක තබා
විෂම යුග්මක වත් හිතක්
නුඹට නැති වග
වටහා ගතිමි..

හැරපියා යන
අවසන් නිමේෂයේදී
අසම්පූර්ණ ප්‍රතිබද්ධයක්
උදෙසා වත්
ආපසු හැරෙතැයි සිතීමි..

එහෙත්
දෑස් මායිමෙන්
නුඹ තිතක් වී
නොපෙනී යන සඳ
පසක් විය
සියල්ල අවසන
මාරක ජානයක්
ඉස්මතු වූ වග..

Tuesday, December 21, 2010

ආදරය


සත්තයි
නුඹ ළඟ
මං
හරි
අසරණයි...

Wednesday, December 15, 2010

ආදරෙයි අම්මෙ


පනින තුරු එලිපත්ත
හැමදාම නිදිවරන
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

දරුවන්ගෙ සිහින ගැන
කප්පරක් දුක් විඳින
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

අකීකරු අපේ හිත්
එක බැල්මකින් නිවන
රැළි වැටී කළු වුවද
කරුණාව අඩු නොවන
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

නුඹ මා නිසා එදත් දුක් වින්දාය. අදත් අනන්තව දුක් විඳින්නීය. මැසිවිල්ලක්වත් නොනගා හෙටත් දුක් විඳින වග දනිමි. නුඹ මගෙන් දුහුවිල්ලක් තරම් දෙයක් වත් නොපතා කප්පරක් දුක් විඳින්නීය. නෙතු පාමුල උණු කඳුළු බිඳුවක් තියාගෙන කවි කුරුටු ගෑවේ නුඹේ උපන් දිනය නිසාය. ඉතින් මගෙ අම්මේ, නුඹට සුභ උපන් දිනක් වේවා.

Tuesday, December 7, 2010

දුරින් හිඳ පෙම් කිරීම


මං දන්න දවසෙ ඉඳන්ම වැස්සට ආසයි. ඒත් මං ආස වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න මිසක් වැස්සට තෙමෙන්න නෙමෙයි.

ඒත් නුඹට ඒක තේරෙන්නෙ නැති හැටි. නුඹට ඕනෙ උනේ හැමදාම ඒ ඇදහැලෙන වැස්සෙ තෙමෙන්න.

ලොකුම ලොකු වැහි බිංදු කොණ්ඩෙ අස්සෙන් සීතලම සීතලට ගලාගෙන යනකොට මට දැනෙන්නෙ මහ අපුලක්.

නුඹ පුදුම තරම් ආසයි නා කපන වැස්සෙ තෙත බරියන් වෙන්න.

ඇද හැලෙන මුරුගසන් වැස්ස හරි නපුරුයි. ඒ වැස්ස මගෙ හිතට ගේන්නෙ මහ මූසල හැඟීමක්.

වැස්සත් එක්ක එන ලා අඳුර දත් පූට්ටු කරන සීතල මාව පොරෝණෙ අස්සට ගුලි කරනව මිසක් නුඹට වගේ තෙත බරියං වෙන්න මට හිත හදා ගන්න බෑ.

ඉතිං නුඹ කියනව අපේ අදහස් ගැළපෙන්නෙ නැතිලු. නුඹ ආස කරන දේවල් වලට මම ආස නැතිලු. නුඹටම ආවේණික හේතු හදාගෙන මා එක්ක හිත නොහොඳින්.

මේ මෝඩයට නොතේරෙන හැටි. නුඹත් මාත් දෙන්නම ආදරෙයි වැස්සට. වෙනස තියෙන්නෙ අපි ඒ වැස්සට ආදරේ කරන විදිහෙ නේද.

හීනියට ඇදහැලෙන ඉදිකටු වැස්සෙ ඉඳන් නුඹ තෙමෙන්න ආස කරන මුරුගසන් වැස්සටත් මම ආදරේ කරන්නම් නුඹට වගේම. තරහ වෙන්න එපා නපුරො. ඒ වැස්සෙ තෙමෙන්න එන්න කියලනම් මට කියන්නෙපා.

මං දුරින් ඉඳන් නුඹත් වැස්සත් දිහා බලාන ඉන්නම්. ලඟට ආවොතින් ආදරේ වැස්සට හේදිලා ගිහින්, දුකත් කළකිරීමත් පසුතැවීමත් විතරක් මට ඉතිරි වේවි.

Sunday, December 5, 2010

රොබරෝසියා මල් යාය


නුඹ දැක්කෙ නැහැ නේද
ලස්සනම ලස්සන
රොබරෝසියා මල්
එකින් එක
පොළොව සිපගත්තු හැටි..
නුඹ දැක්කෙ නැහැ නේද
මල් වැස්සක් වැටිලා
රොබරෝසියා යායක් හැදුණු හැටි..
ඒත් මම දැක්කා
මං තනියම වින්දා
මල් පාගන්නෙ නැතුව
මල් පොළොවෙ මං ඇවිද්දා
හිත එපාම කියද්දි
මං ආපහු හැරිල බැලුවා
මේ සතුට විඳින්න
නුඹවත් එනවද කියලා
ඒත් තට්ට තනියම
මමම විඳෙව්වා මිසක
මේ රොබරෝසියා යායට
නුඹේ සුවඳ කොයින්ද..
හිස්කම පාලුව මිසක
නුඹ කොයින්ද..

Thursday, December 2, 2010

ජීවිතය අපරාදෙ


අරුත් සුන් ජීවිතය
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට
Related Posts Plugin for WordPress, Blogger...