Pages

Wednesday, June 29, 2011

ඉස්කෝලෙ ෆන්





හුඟක් කලකට කලින් - අතින් ගිලිහිලා ගිය

කෙලිලොල්ම මතකයක - නටඹුන්ව අතීතය

තියේ තාමත් හිතේ - පන්ති කාමර අතර


ඇස් වලින් කඳුළු පැන - බේරිලා ගලන තුරු

අපි හිනා වෙච්ච හැටි

එකම බත් පත කන්න - එකට පොරකාපු හැටි

පුංචි බොරුවක් කියල - පන්ති කට් කරපු හැටි

නෙත් ඉවුරු උතුරලා - මතක ගඟ ගලන හැටි

එක එකා හිඟා කෑ - සල්ලි එක්කහු කරලා
පුංචි බනිසක් අරන් - විසි දෙනෙක් අත තියලා
මදි පාඩුවට වතුර - ටැප් එකෙන් ගෙන බීලා
සතුටු උනු හැටි තියේ - හිත් කොණක හැංගීලා

එකෙක් වරදක් කළත් - දණ ගැසුවෙ පන්තියම
මොන වැරැද්දක් කරත් - කණ පිරෙන්නට බැනුම්
ඇහුවෙ අපි නම් එකට
ඩෙස් එකේ බෙර හඬට - සින්දු කිව්වේ එකට
බොරු වැරදි හදාගෙන - එක ගොඩේ රණ්ඩු වී
දඟ කලෙත් අපි එකට

සුදු බිත්ති පිරෙනකල් - කුරුටු ගී ලීව හැටි
කණ් දෙකම පිරෙනකල් - කෑ ගහල මැරුණු හැටි
දයාබර මිතුදමින් - ජීවිතය පිරුණු හැටි
කොහොමවත් මතකයෙන් - මැකීලා නොයන හැටි

ගෙවී ගිය අතීතෙන් - අපි අපෙන් වෙන් උනා
දඟ කරපු හෝල් එක - අපි නැතුව හිස් උනා
අපේ කටහඬ නැතුව - හැමදේම ගොලු උනා
හිතන්නත් බැරි තරම් - අපි හුඟක් දුර ගියා

ඒ උනත් යාළුවේ - කාලයට දුක හිතී
ආයෙමත් හැරුණොතින් - ඒ වගේ හිනාවෙමු
උඩ පැනල දඟ කරල - හොඳ බැනුම් අහ ගනිමු
එකට බත් පත කාලා - සින්දු කියලා නටමු

ඇත්තමයි මගෙ හිතට - උඹල ළඟ නැති අඩුව
කියන්නත් බැරි තරම් - හුඟක් මට දැනෙනවා
අතින් ගිලිහුණු නමුත් - ආදරෙන් තුරුළු කර
අතීතයෙ සුවඳ මම - හදවතින් විඳිනවා

Sunday, June 26, 2011

පැඟිරි කුලයේ නොවන නාරං කැවුම්


මාතෘකාව දැක්කම මඤ්ඤං වගේද? මෙදා පාර නාරං කැවුම් හදන හැටි කියල දෙන්නයි යන්නෙ. මේ සැරේ රෙසිපි එක අම්මගෙන්.

ආ එකක්. මේ කෑම නම් පැණි රසට අකමැති අයට සහ පැණි රස අගුණ අයට නම් හරි යන එකක් නෑ. එහෙම අය පැත්තකට උනා නම්. කිව්වම මොකෝ මම නං උපන්ගෙයි පැණි රසට පෙරේතයි.


අවශ්‍ය දේ
:-

පොල් ගෙඩි දෙකක ගා ගත් පොල්
මුං ඇට ටිකක්
සීනි 500g ක්
පාන් පිටි 200gක්
බිත්තර එකක්

වැනිලා ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

කහ ස්වල්පයක්

එනසාල් දෙක තුනක්


ඉස්සෙල්ලම මුං ඇට චුට්ටක් අරන් කබලක බැද ගෙන කුඩු කරගන්න. ගා ගත්තු පොල් ටිකයි, මුං පිටි ටිකයි, පාන් පිටි 100කුයි, ලුණුයි එකට මිශ්‍ර කරගන්න.

දැන් භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාන්න. සීනි දිය වෙලා දුඹුරු පාට වෙද්දි වතුර පොඩ්ඩක් දාන්න. ඒක බුබුළු දාද්දි තලාගත්තු එනසාල් ටිකක් වැනිලා ටිකක් දාලා පොල් මිශ්‍රනයත් එකතු කරලා කූරු ගාන්න. ඊට පස්සෙ ලිපෙන් බාලා නිවෙන්න තියන්න.


දැන් අපි නාරං කැවුම් වල මැදට එන මිශ්‍රණය හදලා ඉවරයි. දැන් අපි කවරය හදා ගමු.

ඉතිරි පාන් පිටි ටික අරගෙන ඒකට කහ චුට්ටක් දාන්න. ලුණු ටිකකුත් දාන්න. බිත්තරයකුත් කඩලා දාන්න. ඒක මිශ්‍ර කරලා වතුර ටික ටික වත් කරමින් දියාරු මිශ්‍රණයක් හදා ගන්න මෙන්න මේ වගේ.




මේ වෙද්දි අපි ලිපෙන් බාපු පැණි පොල් ටික නිවිලයි තියෙන්නෙ. දැන් පොඩි පොඩි බෝල පැණි පොල් වලින් හදාගන්න ඕනෙ. හරියට මේ වගේ.



ඊළඟට ඒ බෝල පිටි මිශ්‍රණයේ ගිල්වලා ගැඹුරු තෙලේ බැද ගන්න ඕනෙ.



දැන් ඉතින් අමාරු හරිය ඉවරයි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ලිපෙන් බාන බාන නාරං කැවුම් එක එක බඩට යවා ගන්න එක තමා. කොහොමද රස...

ඔන්න අපෙ අම්මා කුස්සියෙ හරඹ කරන හැටි.


Monday, June 20, 2011

ගෙදර පැන්නෙමි පොසොන් පෝයට

පෙරුම් පුරලා පෙරුම් පුරලා යන්තම් පොසොන් පෝයට ගෙදර ගියා. පෝය දවසෙ උදෙන්ම කොටුවෙන් බස් එකට නැග්ගෙ කලින් ගෙදර යා ගන්න. මොන? ලංකාවෙ මිනිස්සුන්ගෙ දන්දීමේ ආනිශංසයක් විදිහට මට පැය තුනක් වැඩිපුර පාරෙ ඉන්නත් උනා. බස් එකේ වේගය පැයට මීටරයයි.

ඇත්තටම ලංකාව තරම් දන්දෙන රටක් තවත් නැතුව ඇති. බස් එකේ ඉඳගෙන මට මොන දන්සැල්ද? පාර දෙපැත්තෙ තියෙන දන්සැල් දිහා බල බල කෙළ ගිල ගිල මම පැය ගානක් බස් එකේ ලැග්ගා.

අවුරුදු ගානකට පස්සෙ මේ පාර යන්තම් අපේ පොසොන් පෙරහැර බලාගන්න පුලුවන් උනා. පොළොන්නරුවෙ හැම පන්සලක්ම වගේ මේ පෙරහැරට දායක වෙනවා. ඒ හින්දා පැය තුනක් විතර තිස්සෙ බලන්න පුලුවන් තරමට පෙරහැර දිගයි.

සාමාන්‍යයෙන් ගල් විහාරය ළඟින් නැකතකට පටන් ගන්න පෙරහැර නගරය වටා ගිහින් ගල් විහාරය ළඟින්ම අවසන් කරනවා.

ඔය ඔක්කොමත් හරි පෙරහැර බලන්න තැනක් අල්ලගන්න තියෙන අමාරුව. අපිත් රෑ නමයට විතර කාලා බීලා ඉටි රෙද්දකුත් අරගෙන පාර අයිනට ගියා. සූ ගාලා සෙනඟ. මිනිස්සුන්ගෙ කකුලුත් පාග පාග යන්තම් පිටිපස්සට ගිහින් අපි වාඩි උනා. රෑ නවයෙ ඉඳන් එකොළහ විතර වෙනකල් හිටියා පෙරහැර පටන් ගන්න කල් මදුරුවො තල තල. මොනා උනත් පෙරහැර බැලුවට පස්සෙ නම් ඒ ගෙවිච්ච වෙලාව අපරාදෙ කියල නම් හිතුනෙ නෑ.

මෙන්න පෙරහැර පටන් ගන්නකොටම පෙරහැරේ සන්නස් පත්‍රය අරගෙන යනවා.



ගිනි බෝල කරකවපු කට්ටිය තමා මේ.



මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය පෙන්නුම් කරල තිබුනෙ මෙහෙමයි.



ඔන්න මහ බඹා...



වෙස් නැටුම් කණ්ඩායම් කීපයක්ම තිබුණා.



පෙරහැර අස්සෙ කොඩි පෙරහැර.



පෙරහැරේ සංකේතය අලියා. අලි නම් දහ දොලොස් දෙනෙක්ම ගියා. හරියට ෆොටෝ එකක් ගහ ගන්න පුලුවන් උනේ මුගේ විතරයි. කොහෙද අලි එක විදිහකට ඉන්න එකක්යැ.


අපේ ගමේ කට්ටිය එකතු වෙලා මේ පාර දන්සැලක් දුන්නා. ලොකු දෙයක් නෙමෙයි. මේ සරුවත් දන්සැලක්. හික්ස්. අපේ අම්මලා එහෙම පැය තුන හතරක් සරුවත් හදලා ලෑස්ති කරලා දන්සැල පැය කාලෙන් ඉවර කරලත් ආවා. වන්දනා නඩ සෑහෙන්න. කොහොමත් පොසොන් කිව්වම අනුරාධපුර පොළොන්නරු මතක් වෙනවමනෙ නේද?

ඔහොම ඔහොම නොදැනිම නිවාඩු දවස් ටිකත් ඉවර වෙලා ගියා. ඉතින් ගෙදරින් එලවන්න කලින් අකුලගෙන බොඩිමට ආවා.

ආ කියන්න අමතක උනානෙ. මෙදා පාර තාත්තගෙ එළවළු කොරටුවෙ මල්ගෝවා හැදිලා යායට. ඔය තියෙන්නෙ උජාරුවට.




Thursday, June 16, 2011

නියං අහසට නුඹ...


මම අහස
නියං අහස
ඒත් නුඹ වළාකුළ
නොකල මතුවුණු
වැහි වළාකුළ
ගිනි වැදුණු
නියං අහසට
වැහි පැතුම්
මතු කළ

Monday, June 13, 2011

වෙනස


බලාපොරොත්තු වූ දේ
තමන්ට ලැබුණොත්
'ලැබීම'
අනුන්ට ලැබුණොත්
'පන්දම'

Wednesday, June 8, 2011

නාහෙ කඩාගත්තු ඔංචිල්ලා පැදිල්ල


අපේ සීයා තමා අපේ ඔංචිල්ලා චක්‍රවර්තී. ඉස්සර අක්කයි මායි නාහෙන් අඬලා අඬලා කොහොම හරි සීයට කියල ඔංචිල්ලාවක් බැඳ ගන්නවා. ඔය ඔංචිල්ලා වලටම වෙන් වෙච්ච අඹ ගහක් අපේ ගේ පිටිපස්සෙ තිබුණා. ගානට හරහට හැදිච්ච ශක්තිමත් අත්තකුත් එක්ක ඒ අවට හොඳට ඔංචිල්ලා පදින්න ඉඩත් තිබුණා.

කොහොම හරි ඔංචිල්ලාවක් හම්බුණා කියමුකො. පුහ්. අපේ අක්කා එක්ක කොහෙද. එයා තමා ඔංචිල්ලා ඔපරේටර් හෙවත් පයිලට්.


ඔංචිල්ලා පදිද්දි විතරක් නෙමේ මොන සෙල්ලම කරන්න ගියත් බාලයා වීමේ අවාසිය මට තියෙනවා. ඉස්කෝලයක් දැම්මොත් මම අනිවාර්යයෙන්ම ගෝලයා විය යුතුමයි. එයා අම්මා උනොත් අනිවාර්යයෙන්ම මම දරුවා විය යුතුමයි. මේකෙදිත් මට එයාගෙ අවසරය නැතුව ඔංචිල්ලාව අල්ලන්නවත් බෑ.

"හා හා තමුසෙට බෑ ඕක තනියම පදින්න"
"ඉන්නවකො මම අම්මට කියන්නම්."
"තමුසෙ උසත් නෑ. නැගල වැටෙනවකො."

අක්කා ලොක්කි විදිහට එයාගෙ නිෂේධ බලය අහිංසක මම කරා පතුරවනවා. ඔය ඉතින් මම බටු ඇට දෙකක් වත් උස නැති කාලෙ වෙච්ච දේවල්නෙ. දැං නම් ඔහොම කිව්වොත් බලා ගන්න පුලුවන්. (හික්ස්. දැනුත් මම එයාට බයයි තමා ඉතින්).

ඔය නිෂේධ බලය කියන අසාධාරණ අවිය නිසා ඔංචිල්ලාවෙදි නිතරඟයෙන්ම අක්කා පයිලට් බවටත් මම ගුවන් නැවියා බවටත් පත් වෙනවා.


මම අමාරුවෙන් ඉස්සිලා උඩ පැනලා ඔංචිල්ලාවෙ වාඩි උනාට පස්සෙ අක්කා ඔංචිල්ලාව පිටි පස්සට තල්ලු කරගෙන ඇවිත් ගැම්ම අරන් ඉස්සරහට තල්ලු කරන ගමන් ඔංචිල්ලාවට පැනලා හිටගන්නවා. ඊට පස්සෙ එයා තමා ඔංචිල්ලාව පදවන්නෙ.

සුළඟේ වේගය, සුළඟේ දිශාව, ආර්ද්‍රතාවය, ඔංචිල්ලාව ඉහළ නැගිය යුතු කෝණය ආදී මෙකී නොකී කරුණු අපේ පයිලට් උන්දෑ පරික්සා කොරද්දි ගුවන් මගියා වෙච්ච මම ඉතින් අවට පරිසරය පරික්සා කොරන්ට එපැයි.

අපේ යානය පොලව මට්ටමට කිට්ටුවෙන් යද්දි කකුල් බිම වද්දගෙන දූවිලි නග්ගන්නයි, තණකොළ ගස්වල මල් කඩන්නයි, අපි ඉහල පහල යනකොට බිම ඉන්න කූඹි, දළකඩියො, ගොලුබෙල්ලන්ගෙ ශරීර ප්‍රමාණය වෙනස් වෙන හැටි නිරීක්ෂණය කරන්නයි මට කොච්චර වැඩද.


අක්කයි මායි අපි දෙන්නගෙ රාජකාරි වෙන වෙනම කරද්දි ඔංචිල්ලාව ඉස්සරහට යනවා පස්සට එනවා. ආයෙත් ඉස්සරහට යනවා ආපහු පිටිපස්සට....
ඩොහ්..

කූඹි කඩියො බල බලා හිටපු මගෙ ගුරුත්ව කේන්ද්‍රය අසංතුලිත වෙලා මම බිම. යානයේ මගියා වැටුනට යානය වැටුනෙ නෑනෙ. කෝ බොල අක්කා...

අපේ පයිලට්ට යානයේ වේගය පාලනය කරගත නොහැකිව ඉතා වේගයෙන් ඉදිරියට ඇදී එන අතර අක්කගෙ කෑ ගැහිල්ල ඇහෙනවා..
"අයින් වෙනවා ඕයි....."
ඤැහ්...

මෙච්චර වෙලා බිම හිටිය කූඹි දළකඩි ගොලුබෙල්ලො නේද මේ පියාපත් ඇවිත් මගෙ ඔලුව වටේ පියාඹන්නෙ. මම ඔලුව උස්සලා බලද්දි ඔංචිල්ලාව ආපු වේගෙට වැදිලා තියෙන්නෙ මගෙ නහයෙ. අම්මෝ.. ඔලුව ඇතුලෙ බෝම්බයක් පිපිරුවා වගේ.

"නංගි නංගි කතා කරනවකො. මොනා හරි කියනවකො".
අපෙ අක්කගෙ කටේ පවර් එක අඩුවෙලා.

හපොයි මට මොනාද මේ වෙලා තියෙන්නෙ. ගව් ගානක් ඈත ඉඳන් කතා කරනවා වගේ ඇහෙන්නෙ.

ටක් ටක් ගාලා අත උඩට මොනාද වැටෙනවා. නහයෙන් ලේ ගලනවා. ඒ පාර නං අක්කා හොඳටම බය වෙලා. අම්මලත් ඇවිත් අයිස් තියල තමා ලේ නවත්ත ගත්තෙ.


නහයෙන් ලේ ගැලීම කෙසේ වෙතත් අක්ක නම් ගුටි කෑවා. පව් වැඩේ ඒක නං. ගුවන් මගියා බිම තියෙන දේ නිරීක්ෂණය කරන්න ගියපු එක පයිලට්ගෙ වැරැද්දක් නෙමේනෙ.

ඒ සිද්දිය වෙලා ටික දවසක් යනකල් නං අක්කගෙ සෙල්ලම් ගෙදර මට හෙන සැලකිලි. කාලෙත් එක්ක සිද්ධියේ උණුසුම අඩු වේගෙන යද්දි අපෝ ආයෙත් අර නිෂේධ බලයට යටත් වෙන්න උනා.

දැන් කියලත් ඕකෙ වෙනසක් තියෙනවයැ. මේක කවද හරි අක්කා කියෙව්වොත් එයාගෙ කටින් පිට වෙන පළවෙනි වචන සෙට් එකත් මට කියන්න පුලුවන්.


"තමුසෙට පිස්සුද ඕයි. මොනාද අර ලියල තියෙන්නෙ."

Tuesday, June 7, 2011

හර්ද සූත්‍රය හෙවත් සුවපත් වූ සිත


"කැනාස් මල් පෙති වල - ක්‍රෝටන් කොළ වල 'මට මැරෙන්න ඕනා' යැයි ලියූ පුන්සරා නම් ලාංකේය ගම්බද දැරිය ඇල්බේනියාවේ, ඉතාලියේ, සර්බියාවේ, කියුබාවේ, කුර්දිස්ථානයේ හා ඇමෙරිකාවේ ගැහැණුන් හා එක්ව සිනා නැගිය හැකි තරම් බෝ දුරක් පැමිණියාය.

පුන්සරා හා එක්ව ඒ ගමන් මග යන අපට අවබෝධ වන්නේ හෘදයාංගම මිනිස් සබඳතා පිළිබඳ අපම වියාගෙන ඇති මිථ්‍යා කඩතුරා ඉවත් කළ කල්හි දක්නට ලැබෙන සත්‍යයයි.

මේ නිරුවත් යථාර්ථය ඔස්සේ මූල බන්ධන ඉක්මවන ආනන්දනීය විශ්ව ශාන්තියක් උදාකර ගත හැකි සූත්‍රයක් සොයා ගත නොහැකිද?"

ඒ හර්ද සූත්‍රය නවකතාවේ පසු කවරයේ සටහනකි.

නවකතා කලාවේ මගේ ලෝකයේ වීරවරිය සුනේත්‍රා රාජකරුණානායකයි. ඈ සැමවිටම හදවතේ ලේ මස් නහර පසා කරගෙන යන හැඟීමක් වදන් වලට පෙරලන්නීය. මෙයැයි කියා පෙන්වන්නට නොහැකි අමුතු දුකක් ඇගේ වදන් වලින් පෙරී විත් දෙනෙත් කඳුළින් පුරවා දමයි. ඉදින්, දන්නා කාලයේ පටන් මම 'සුනේත්‍රා රාජකරුණානායක සින්ඩ්‍රෝමයෙන්' පෙළෙමි.

හර්ද සූත්‍රය වූ කලී සුනේත්‍රා රාජකරුණානායකගේ සහ සමන් ආතාවුදහෙට්ටිගේ යුග ගීයක් වැනිය. මෙය ඔවුන් දෙදෙනා එක්ව බිහිකල නිර්මානයකි. මා මෙසේ කතුවරුන් දෙදෙනෙකු එක්ව ලියූ නවකතාවක් කියවූ පළමු අවස්ථාව මෙයයි. එය සැබවින්ම අපූර්ව අත්දැකීමකි. ගැහැණිය හා පුරුෂයා නිරන්තරයෙන්ම සිතන පතන ආකාරය දෙවිදියකි. ඔවුන් දෙදෙනාගේ හැඟීම් එක් පුද්ගලයෙකු අතින් ලියවුණානම් මෙය මෙතරම් රසවත් නොවන්නට තිබුණි. කෙසේ කීවද එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් ඒ දීර්ඝ වෙහෙසකාරී අභියොගාත්මක උත්සාහයේ ප්‍රතිඵලයයි 'හර්ද සූත්‍රය'.

පුන්සරා, මවුපියන් මැද තනිවූ දැරියක්. පියාගෙ ආදරේ දෝරෙ ගලන්නට ලැබුණත් ඈට හැමදාම මවගෙ ආදරේ දැනුනෙ අඩුවක්. වයසින් වැඩෙත්ම ඈ අවට දෑ ගැන ඇයට දැනුනෙ නොගැලපෙන බවක්. පෙම්වතෙක්, විශ්ව විද්‍යාලය, රස්සාවක්, විවාහයක් වැනි ඒ වයසේ ගැහැණු ළමයෙකු පතන දේ වෙනුවට ඈ මරණය ප්‍රාර්ථනා කළේ ඇයි? ඇය මරණය අමතනුයේ ඇගේ ජීවිතයේ එක් ජීවමාන චරිතයක් ලෙසටයි.

"මරණය පෙම්වතෙක් වාගේ අවුදින්
කැන්දන් යනකල් බලා සිටිමි.
ජීවිතය, අලුතින් පටන් ගන්න
තුන් කල් බලා උපදින්න
පින් මදි නං
ඔහේ සැරිසරමි.
පවන් පොදක් වී
ගඟේ දිය රැළි කවි කරමි.
නා මලක් වී ගඟ දිගේ පාවෙමි.
චූටි සුදු නාරිලතා මලක් වී
පොත්ගුල් කඳු බෑවුමේ
නැලැවී නැලැවී සිටිමි.
සිංහරාජේ දිය කඳුරක් වී
වනමල් මීවන පඳුරු අතරින්
ගීතවත් වී ගලා හැලෙමි.
මට උවමනා මම
මා ළඟ නැති නියායෙන්
ජීවිතය දුකක් වගද දනිමි.
මට මේ සිර ගෙදර
මා හමු වේදැයි නොදනිමි.
ඉදින්, මට මරණය නම්
කෙසේ වත් දුකක් විය නොහැක
පෙම්වතෙකු මිසක..."

පුංචි අවදියේ පටන් පුන්සරාගේ මවට පුන්සරා පිළිබඳ තිබුණේ නොරිස්සුමක්. හේතුවක් නොදන්න තරහක්. පුන්සරාගේ ප්‍රාර්ථනය වූයේ කෙදිනක හෝ මේ සිරගෙයින් නික්මීමයි. එහෙත් අවසන මව මානසික රොගියෙකු විය. ඈ රොහල් ගත කර පැමිණි පුන්සරාගේ හිතේ සන්සුන්කම සටහන් වූයේ මෙලෙසය.

"අම්මේ ඔබ රෝගී බව නොදැන
මම බෝ රෝගීව සිටියෙමි.
ඔබ රෝගී වග සැක හැර දැනගත් මෙදින
මා බෝ නිරෝගීය."

ඇගේ හිතේ සක්මන් කළ මහා පුරුෂයා, මුදිත. කෙළි බඩුවකට එහා යුවතියක් ගැන නොසිතූ මුදිතගේ නොසන්සුන් හිත අසල දැහැන්ගතවූ භාවනාව, පුන්සරා. ඒ ආදරය ඇගේ කෝ
සිත තුළ ඇතිකළ තිගැස්මක් වගේ.

"ප්‍රථම හාදුවේ
උන්මාදනීය තිගැස්ම
මා හැර නොයයි.
ඔබ මා අසල නැති විටත්
රැයේ නිවසට නාවත්
ඒ හාදුව මගේ නළලෙමයි."

ආදරය යනු යහන් ගත වීමම නොව, ආදරය යනු කල්පයක් ගියද ආදරයම වග 'හර්ද සූත්‍රය' පසක් කරවයි. ඉදින්, සටහන තවත් දිගුකර හර්ද සූත්‍රයේ ඔබේ කුතුහලය සංසිඳුවන්නට මට නුවමනාය.

එහෙත්, මගේ හිත සුවපත් කළ 'හර්ද සූත්‍රය' ඔබේ හිත ගිලන් නොකරන වග නම් මා අවිවාදයෙන්ම දනිමි.

Friday, June 3, 2011

නුඹ මගේ ළඟින් නම්..


දඟ කරන ඇස් වලින්
හිත ළඟම දැවටෙමින්
සිත සඳුන් තවරමින්
සෙවණ දෙයි ගසක් මෙන්..

නුඹේ ඔය හිත් අගින්
දෝරෙ යන ආදරෙන්
හිත නිවෙන අපූරුව
සෙනෙහසින් සිහිකරම්..

නො එන මුත් නුඹේ රුව
නෙතේ අභියසට නම්
නුඹ හිඳියි හැමදාම
හිත් අහසෙ ඉඩ අරන්..

කවි මවන හිත දරන්
දඟයො, මේ අහගනින්
නුඹ මගේ ළඟින් නම්
කඳුළු කුමකට ඉතින්..

Wednesday, June 1, 2011

මොන දරමිටියක්ද? ඔය හෑෂ් එකනෙ


අපේ අම්මා ඔය හිටියට මොබයිල් ෆෝන් වලට පුදුම බයක් තියෙන්නෙ. ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නයි, ආන්සර් කරන්නයි දැනගත්තම ඇතිලු අම්මට. හදිස්සියකට කෙටි පණිවිඩයක් යවන හැටි කොච්චර කියලා දෙන්න හැදුවත් බෑනෙ. අනේ දරුවො මට ඔව්වා තේරෙන්නෙ නෑ. ඔහොම තමා කියන්නෙ. එස්කිමෝලට පොල්ගස් නගින්න කියලා දෙන්න පුලුවන් මීට වඩා ලේසියෙන්.

එක දවසක් මට අම්මගෙන් කෝල් එකක් එනවා.

අම්මා: දූ... මේ ෆෝන් එකේ සද්දෙ ඇහෙන්නෙ නෑනෙ.
මම: මම කියන එක ඇහෙන්නැද්ද අම්මෙ?
අම්මා: නෑ ළමයෝ, ෆෝන් එක රිං වෙද්දි සද්දෙ ඇහෙන්නෙ නෑ.
මම: ආ අම්මෙ මට අමතක උනානෙ. මම ගෙදරදි ෆෝන් එක සයිලන්ස් කරානෙ.
අම්මා: මොනා කරනවද මන්දා. දැන් මේකෙ සද්දෙ ඇහෙන්න හදාගන්නෙ කොහොමද?

ෆෝන් එක සෝනි එරික්සන් එකක්. ඒ ෆෝන් වල හෑෂ් බොත්තම ඔබාගෙන හිටපුවාම ප්‍රොෆයිල් එක වෙනස් කරන්න පුලුවන්නෙ. ඒත් අම්මා හෑෂ් බොත්තම දන්නවයැ.

මම: අම්මෙ අර කොටුවක් වගේ තියෙන බට්න් එක ඔබාගෙනම ඉන්න
අම්මා: මොන කොටුවක්ද? මට හොයා ගන්න බෑ.
මම: අර ඉරි හතරක් තියෙන්නෙ.
අම්මා: අනේ මම දන්නෑ දරුවො.
මම: අම්මෙ අම්මෙ අර දර මිටියක් වගේ තියෙන්නෙ.
අම්මා: ආ.. හෑෂ් බට්න් එකද?
මම: ඈහ්.. අම්මා ඒක දන්නවද?
අම්මා: හෑෂ් බට්න් එක කවුද දන්නැත්තෙ. ඔය ටීවි එකේ කියන්නෙ හැමතිස්සෙම.

අනේද කියන්නෙ. අන්තිමට මමයි රැග් උනේ අම්මට හෑෂ් විස්තර කරන්න ගිහින්.
Related Posts Plugin for WordPress, Blogger...