Monday, November 23, 2015
Wednesday, September 23, 2015
දරුවන් දෑස් මෙන් රැක ගනිමු | Let's Save our kids from 'Child Predators'
මේ ගෙවෙන්නේ දරුවන්ට එතරම් සුභ කාලයක් නොවේ. ඔවුන් අද මේ පය තබන්නේ එදා අප පය ගැසූ සමාජය නොවේ. ඔවුන්ට අද මුණ ගැසෙන්නේ එදා අප රැකගත් වැඩිහිටියන් නොවේ. ඔවුන් අද සෙල්ලම් කරන්නේ අප එදවස දැමූ සෙල්ලම් ගෙවල්, බට්ටා පැනීම්, ඔන්චිලි පැදීම් නොවේ. ඔවුන්ට තාක්ෂණය, අන්තර්ජාලය වැනි දේ දෙපයින් සිටගන්නටත් ප්‍රථම හුරු පුරුදු දේවල් බවට පත්වේ.
මේ දිනවල තරම් පුංචි මල් කැකුළු අපචාර වලට ලක් වූ බව ඇසූ යුගයක් මට නම් මතක නැත. පැමිණ ඇත්තේ දරුවන් ඇහේ තබාගෙන රැක්කත් මදි කාලයකි.
අපයෝජකයන්ගෙන් දරුවන් රැකගත හැකි කරුණු රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලයේ සංසරනය වෙනු දිටිමි. මටද දරුවෙකු සිටින නිසාවෙන් මට එම ලිපි පෙල ඉතා වැදගත් විය. ඔබද මවෙක් පියෙක් විය හැක. නො එසේ නම් කෙදිනක හෝ මව් පිය පදවිය ලබනු ඇත. එදිනට ඔබටත් මේ කරුණු වැදගත් විය හැකි නිසා මා දැනුවත් වූ කරුණු ඔබ සඳහා පල කරන්නට සිතුවෙමි.
දරුවෙක්ට කෙදිනකවත් බලෙන් වැඩිහිටියෙකුට හාදු දෙන්නට වැළඳ ගන්නට නොකියන්න. "පුතේ අංකල්ට උම්මා එකක් දෙන්න" බොහෝ විට අපි එසේ කියන්නෙමු. නමුත් පර්යේෂකයන් පවසන පරිදි එසේ දරුවන් අකමැති පුද්ගලයෙකුට බලෙන් ළං කරනා විට දරුවන්ට ඔවුන්ගේ ශරීරය තව දුරටත් ඔවුන්ගේ නොවන බව වටහා ගනී. අපයෝජනයකට ලක්වන දරුවෙක් එය තමාට සිදුවන වැරැද්දක් ලෙස සමහරවිට නොදකින්නේ ඒ නිසා විය හැක.
ඔබේ දරුවන්ව හැකි තරම් පිටස්තර පුද්ගලයන්ගේ උකුල මත වාඩි වීමෙන් වලක්වන්න.
දරුවන්ට අවුරුදු දෙකක් පමණ වන විට ඔවුන් ඉදිරියේ ඇඳුම් මාරු කිරීමෙන් වලකින්න. එසේම පිටස්තරයින් සිටින තැන ඔබේ දරුවාගේ ඇඳුම් මාරු කිරීමෙන්ද වලකින්න. දරුවාට ඇසෙන ලෙස කාරුණිකව ඔවුන්ට එලියට යන ලෙස දන්වන්න. "අන්කල් අපෙ බබා ඇඳුම් මාරු කරගෙන එනකල් ඉන්න...."
කිසිම වැඩිහිටියෙකුට ඔබේ දරුවාට "මගෙ හස්බන්ඩ්" හෝ "මගෙ වයිෆ් " ලෙස ආමන්ත්‍රණය කරන්නට ඉඩ නොදෙන්න.
දරුවා යහළුවන් සමඟ හෝ වැඩිහිටි දරුවන් සමඟ සෙල්ලම් කරද්දී ඔවුනට නොදැනෙන ලෙස ඔවුන් කුමන සෙල්ලමක නිරත වන්නේදැයි ඔබ දැනුවත්ව සිටින්න.
කෙදිනකවත් දරුවෙකුට ඔහු හෝ ඇය අකමැති බව හඟවන වැඩිහිටියෙකු බලන්නට යන්න බල නොකරන්න. එමෙන්ම පමණට වඩා යම් වැඩිහිටියෙකුට දරුවා ඇල්මක් දක්වයි නම් ඒ ගැනත් සොයා බලන්න.
පෙර බොහෝ ක්‍රියාශීලී වූ දරුවෙකු හදිසියේ පැත්තකට වී සිටී නම් නිශ්ශබ්දව සිටී නම් ඔහුගෙන් මෘදුව ප්‍රශ්න අසන්න.
ඔබගේ වැඩුණු දරුවාට යම් දිනෙක ලිංගිකත්වයේ හරි අගය පිළිබඳ කියාදෙන්න. ඔබ එසේ නොකලහොත් කෙදිනක හෝ ඔහුට සමාජය විසින් එහි වැරදි අගයක් කියා දෙනු ඇත.
ඔබ දරුවාට යම් කාටූන් පටයක් හෝ චිත්‍රපටයක් රැගෙන දෙනවා නම් ඔහුගේ අතට එය පත් කිරීමට කලින් එය නරඹා සිටින්න. සමහර ළමා කතා වලින්ද වැරදි පූර්වාදර්ශ දරුවා ඉගෙනීමට ඉඩ ඇත.
ඔබගේ තුන් හැවිරිදි දරුවාට ඔහුගේ/ඇයගේ පුද්ගලික අවයව මොනවා දැයි කියා දෙන්න. "පුතේ කලිසමෙන් වැහිලා තියෙන තැන් ඔයාගෙමයි. වෙන කිසිම කෙනෙක්ට අයිතියක් නෑ ඒවා අල්ලන්න." ඔවුන්ගේ ඒ අවයව තනිව පිරිසිදු කර ගන්නා සැටි උගන්වන්න. වෙන කිසිවෙකු හෝ කලිසමෙන් වැසී ඇති ස්ථාන ස්පර්ශ කරනවා නම් වහාම එය තමාට පවසන ලෙස කියා සිටින්න. තමා කෙදිනකවත් දරුවා එසේ පැවසුවහොත් දරුවාට නොබනින බවත් ඔහුව ආරක්ෂා කරගන්නා බවත් කියා සිටින්න.
දරුවාගේ ළපටි මනසට තරම් නොවන නව කතා, චිත්‍රපට, ගීත ඇති නම් ඒවා ඔවුන්ගෙන් ඉවත් කරන්න. වයසට වඩා පැසුණු මිතුරන්ද ඈත් කර තබන්න.
කිසියම් දිනෙක ඔබේ දරුවා වැඩිහිටියෙකු ගැන පැමිණිළි කලහොත් කිසි දිනෙක නිහඬව නොසිටින්න. ඔවුන්ට එරෙහිව පියවර ගන්න. ඔබේ දරුවාට ඇති එකම ආරක්ෂිත ස්ථානය ඔබ බව ඔවුන්ට පසක් කරවන්න.
You are the only safe heaven for your child.
Friday, July 10, 2015
Subscribe to:
Posts (Atom)