"දෙයියනේ කෝ..."
ඉහලට ගත් හුස්ම පහළට හෙලා ගත නොහැකිව මුදල් පසුම්බිය කණපිට ගසමින් මා උදේ පසුම්බියට දැමූ රුපියක් දෙදහස සොයන්නට විණි. මාසයේ අග හෙයින්ද, මාසයේ මුල සිටම සහභාගි වන්නට සිදුවූ මගුල් ගෙවල් හා වෙනත් වියදම් නිසාද අත ඉතුරු වූ අවසාන රුපියල් දෙදහසත් පසුම්බියෙන් අතුරුදන් වී තිබිණ.
උදෑසන ටෙලර් මැෂිමෙන් ගත් රුපියල් දෙදාහ පසුම්බියට දැමූ වග හොඳටෝම මතකය. ගිණුම හූරා ලබා ගත් අවසාන මුදල හෙයිනුත්, මාසය අවසන් වීමට තව සතියක් පමණ ඇති හෙයිනුත් මේ රුපියල් දෙදහස මට විසිදහසකට වඩා වටින්නේය. එහෙත් අවාසනාවට මා අත සතු වී තිබූ අවසාන මුදලද අතුරුදන්ව ඇත.
"හිඟන්නගෙ පාත්තරේටමයි හෙනහුරත් පාත් වෙන්නෙ."
හිතට දැණුනු අසරණකම දෑස කඳුළින් තෙත් කිරීමට සමත් විය.
"සල්ලි පර්ස් එකේ දා ගත්තට පස්සෙ කෙලින්ම ආවෙ ඔෆිස් එකට. ඇවිත් බෑග් එක මේසෙ උඩින් තියලා මම පැය ගාණක් මීටින් එකේ හිටියෙ. එතකොට ඒ වෙලාවෙ කවුරු හරි පර්ස් එකෙන් සල්ලි ගත්තද?"
හිතට එන සිතුවිලි වල කෙළවරක් නොමැත.
අත් බෑගයේ සාක්කු සියල්ලම පිරික්සා බැලුවේ අමතක වීමකින් හෝ ඒවාට දමා ඇත්දැයි සැකයෙනි. බෑගයේ සියළු භාණ්ඩ මේසය මත වපුරා පිරික්සද්දී මා ළඟට ආවේ කාර්යාලයේ පිරිසිදු කටයුතු කරන සුමනාය.
"ඇයි මිස් මොනා හරි නැති වෙලාද? කලබලෙන් වගේ හොයන නිසා ඇහුවෙ."
කවදත් නිවුණු ගැහැණියක් වූ සුමනාගේ කටහඬේ සැඟවුණු බියක් මට දැනුනේ ඇයි? උත්තරයක් දෙන්නට මදක් ප්‍රමාද වූ මම කිසිවක් නැතැයි හිස දෙපසට වැනීමි. ඈ මා අසලින් ඉවත්ව ගියත් මගේ හිත විපිලිසරව පැවතිණි.
"කවදාවත් මගෙ ළඟට ඇවිත් කතා කරන්නැති ගෑණි අද මම මොකද කරන්නෙ කියල බලන්නම තමා ඔය ආවෙ. වෙන මොකද්ද හිතේ හොරේනෙ."
"ඔය ගෑණිට මම කොච්චර උදව් කරල තියෙනවද. ළමයට අසනීපයි කියලා එක පාරක් මගෙන් රුපියල් තුන්සීයකුත් ඉල්ල ගත්තා. කොච්චර පරක්කු වෙලාද ආපහු දුන්නෙ. ඒත් මම වචනයක්වත් කිව්වද. එයාට වටිනවද මගෙන්ම සල්ලි හොරකම් කරන්න."
හිතේ කෝපය නිසා මා වෙව්ලයි. ඒත් සැකයක් තිබුණද මට එය ඔප්පු කරගත නොහැකිය.
සිතුවිලි වල කිමිදෙමින් සිටි හෙයින් කාර්යාලයේ පියන් වැඩය කරන විමලදාස මාගේ මේසය ළඟට එන තෙක්ම නොදැක්කෙමි. සුපුරුදු ලෙස මා සිනහවෙන්නට සුදානම් වෙද්දීම නොසිතූ ලෙස ඔහු අහක බලාගෙන වහ වහා මා පියමං කර ගියේය.
"මේ මිනිහට මොකද වෙලා තියෙන්නෙ. මිනිහා මට මූණ දෙන්නෙ නැත්තෙ එකත් එකටම විමලදාස තමා සල්ලි ගන්න ඇත්තෙ. මිනිහට මට මූණ දෙන්න ලැජ්ජ ඇති. අසමජ්ජාතී මිනිස්සු."
සුමනා නොව මුදල් සොරකම් කරන්නට ඇත්තේ විමලදාසම බව යටි සිත තර්ක කරයි. වෙනදාට ෆයිල් ගොන්නක් රැගෙන එහෙ මෙහෙ යන අතර මා දකින විට "කොහොමද මිසී" යැයි හිස නවා සිනාසෙන මොහු අද හොර බැල්මෙන් මා දෙස බලමින් මා මග හරිමින් වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම මුදල් සොරා මොහුම යැයි මගේ සිතට ඒත්තු ගන්වමිනි.
"හොර විමලදාසයා. ඕකා සල්ලි හොරකම් කරලා අහුවෙයි කියලා බයේ ඉන්නෙ. ඉන්න විදිහෙන්ම තේරෙනවා ඒක."
මගේ සිතට නිවනක් නැත.
එක වරම කාර්යාලය තුළට පිවිසුණ පිරිසක් නිසා මගේ දැහැන බිඳිණ.
ඒ සතියකට වතාවත් කාර්යාලයේ තබා ඇති ජල පෙරණ වලට අලුත් ජල බඳුන් තමා හිස් ජල බඳුන් රැගෙන යාමට එන ආයතනයේ පිරිසකි. මොවුන් කාර්යාලයේ හිස් ජල බඳුන් රැගෙන යන්නේ දැන් නම්, කලින් පැමිණ අලුත් ජල බඳුන් තබා යන්නට සැක නැත.
වෙනදා පැමිණෙන සුපුරුදු මුහුණු වලට අමතරව දැක නොමැති මුහුණක් මා සිත තිගැස්සීය. මගේ මේසය පසු කර යන ගමන් ඔහු මගේ අත් බෑගය දෙස බැලුවේ ඇයි?
"වෙන කවුරුවත් නෙමෙයි මූ තමා හොරා. ඔෆිස් එකේ කවුරුත් මීටින් එකට ගිය වෙලාවෙ මූ තමා මගෙ සල්ලි ගන්න ඇත්තෙ. නැත්තන් මගෙ බෑග් එක දිහා බැලුවෙ මොකද"
සිත නැවතත් නොසන්සුන්ව ඇත. ඒ පුද්ගලයා වහ වහා කාර්යාලයෙන් පිටවීමට උත්සාහ දරන්නේ මුදල් සොරා ඔහුම වන්නට ඇති නිසාවෙනි. මිනිසුන් ගැන මගේ සිතේ ඇති වූ කළකිරීම උච්චතම අවස්ථාවට පැමිණ ඇත.
"මේ ගැන කා එක්ක හරි කතා කරන්න ඕනෙ."
හිතට එකවර නැගි අදහස අනුව එහා මේසයේ ජයන්ති සමඟ කතා කරන්නට මට සිතක් පහළ විය. ඒ සමඟම වෙනදා නැති අමුත්තක් අද තිබෙනවා නේදැයි මසිතට තදින් දැණිනි.
"වෙනදට තොරතෝංචියක් නැතුව කියවන ජයන්ති මොකද අද සද්ද නැත්තෙ. එයා අද මීටින් එකට ආවෙත් නෑ."
සිත හරහා එකවර විදුලි කෙටීමක් සිදු විය.
"දෙයියනේ ජයන්තිද සල්ලි ගත්තෙ. මම කවදාවත් හිතුවෙ නෑ එයා ඔහොම කෙනෙක් කියලා."
ජයන්ති පෙර දිනයක මා සමඟ පැවසූ සිද්ධි දාමයන් සිතුවම් පටයක් මෙන් මා ඉදිරියේ දිග හැරෙන්නට විය.
"ගෙදර හරියට ප්‍රශ්න. වතුර බිල්, ටෙලිෆෝන් බිල් එකතු වෙලා. මහත්තයා බොන එකමයි කරන්නෙ. ගෙදරට සත පහක් දෙන්නෙ නෑ."
සිතේ ඇති වූ කළකිරීම දෙගුණ තෙගුණ වන්නට විය.
"ෂිහ්. ජයන්ති මගෙන් හොරකම් කරන්නෙ නැතුව සල්ලි ඉල්ලුවා නම් මම කවදාවත් නොදී ඉන්නවද. මම එයාගෙන් කොහොමද මේක අහන්නෙ. මටම ලැජ්ජයි."
ඇගේ අසරණකම මට නොදැනුනා නොවේ. ඒත් මුදල් සොරකම් නොකර ඈ අතමාරුවට මුදල් ඉල්ලුවා නම් නැවත නොගන්නටම මම ඈට මුදල් දෙන්නෙමි.
සිත තුළ රජ කළ බලාපොරොත්තු කඩ වීම සහ කළකිරීම නිසා එදින පුරාවට මා අතින් රාජකාරිමය කිසිදු වැඩක් සිදු නොවිණි. කිසිවෙකු සමඟ කතා කරන්නටද සිතක් නොතිබිණි. කොටින්ම දකින දකින පුද්ගලයාගෙන් මා දුටුවේ මගේ රුපියල් දෙදහස සොරා ගත් සොරාගේ මුහුණය. උදේ සිට තිබූ හෝන්දුමාන්දු භාවය මා විඩාවට පත් කරවීය.
නිවසට පැමිණි විගස ඇඟපත සෝදාගැනීමට මා උනන්දු වූයේ එබැවිණි.
එදින හැඳගෙන ගිය ඇඳුම් දියේ දමා ඇඳුම් වල සබන් ගාන්නට පටන් ගත්තා පමණි. කලිසම් සාක්කුවේ ගුලියක් මෙන් හසු වූයේ කුමක්දැයි මා විපරම් කළෙමි.
සාක්කුවට අත දමා දියෙන් පෙඟුණු ඒ ගුලිය එළියට ගනිද්දී සිතේ ඇති වූ හිස් හැඟීම වදනින් විස්තර කළ නොහැක.
උදෑසන ටෙලර් යන්ත්‍රයෙන් ගත් රුපියල් දෙදහස ජලයෙන් පෙඟී ගුලියක් වී මගේ අල්ල උඩ සිට මදෙස බලා සිටියි.
මිනිසුන් ගැන හිත තුළ තෙරපෙමින් තිබූ කළකිරීම වෙනුවට මට මා ගැනම මගේ නොසැලකිලිමත් හිත ගැනම මහත් වූ කළකිරීමක් දැනෙන්නට විය.
දෑස කඳුළින් තෙත් වූයේ සුමනා, විමලදාස, නාඳුනන කම්කරුවා හෝ ජයන්ති නිසා දැයි මා නොදනිමි. එහෙත් හිතේ කොණක වත් නැතිවී තිබී හම්බ වූ රුපියල් දෙදහස ගැන නම් ප්‍රීතියක් නොඉපදුණු වග නම් සහතිකය.