Pages

Thursday, March 2, 2017

ඩේ කෙයා එකේ පුතුට



අහස කලු කරන්
වැස්සක් එනවා ඈතින්..


අම්මා එනකන්

නොඉඳ ගේට්ටුව ළඟින්

දුවාපන් පුතුනි විගසින්

හෙණ හඬට නොහඬන්...

වැහි පිට වැහි උනත්

අම්මා එනවමයි රත්තරන්

පොඩි එකා බය නොකරන්

වැස්ස හෙමිහිට වැහැපන්..

Monday, November 23, 2015

දයාබර අම්මා...



ඇස් මායිමෙන් එපිට
දහස් ගවු දුර ඉඳන්
එකම එක වදනකින්
හිතේ ගින්දර නිවන
දයාබර අම්මා...

Wednesday, September 23, 2015

දරුවන් දෑස් මෙන් රැක ගනිමු | Let's Save our kids from 'Child Predators'


මේ ගෙවෙන්නේ දරුවන්ට එතරම් සුභ කාලයක් නොවේ. ඔවුන් අද මේ පය තබන්නේ එදා අප පය ගැසූ සමාජය නොවේ. ඔවුන්ට අද මුණ ගැසෙන්නේ එදා අප රැකගත් වැඩිහිටියන් නොවේ. ඔවුන් අද සෙල්ලම් කරන්නේ අප එදවස දැමූ සෙල්ලම් ගෙවල්, බට්ටා පැනීම්, ඔන්චිලි පැදීම් නොවේ. ඔවුන්ට තාක්ෂණය, අන්තර්ජාලය වැනි දේ දෙපයින් සිටගන්නටත් ප්‍රථම හුරු පුරුදු දේවල් බවට පත්වේ. 

මේ දිනවල තරම් පුංචි මල් කැකුළු අපචාර වලට ලක් වූ බව ඇසූ යුගයක් මට නම් මතක නැත. පැමිණ ඇත්තේ දරුවන් ඇහේ තබාගෙන රැක්කත් මදි කාලයකි. 

අපයෝජකයන්ගෙන් දරුවන් රැකගත හැකි කරුණු රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලයේ සංසරනය වෙනු දිටිමි. මටද දරුවෙකු සිටින නිසාවෙන් මට එම ලිපි පෙල ඉතා වැදගත් විය. ඔබද මවෙක් පියෙක් විය හැක. නො එසේ නම් කෙදිනක හෝ මව් පිය පදවිය ලබනු ඇත. එදිනට ඔබටත් මේ කරුණු වැදගත් විය හැකි නිසා මා දැනුවත් වූ කරුණු ඔබ සඳහා පල කරන්නට සිතුවෙමි.

දරුවෙක්ට කෙදිනකවත් බලෙන් වැඩිහිටියෙකුට හාදු දෙන්නට වැළඳ ගන්නට නොකියන්න. "පුතේ අංකල්ට උම්මා එකක් දෙන්න" බොහෝ විට අපි එසේ කියන්නෙමු. නමුත් පර්යේෂකයන් පවසන පරිදි එසේ දරුවන් අකමැති පුද්ගලයෙකුට බලෙන් ළං කරනා විට දරුවන්ට ඔවුන්ගේ ශරීරය තව දුරටත් ඔවුන්ගේ නොවන බව  වටහා ගනී. අපයෝජනයකට ලක්වන දරුවෙක් එය තමාට සිදුවන වැරැද්දක් ලෙස සමහරවිට නොදකින්නේ ඒ නිසා විය හැක.

ඔබේ දරුවන්ව හැකි තරම් පිටස්තර පුද්ගලයන්ගේ උකුල මත වාඩි වීමෙන් වලක්වන්න.

දරුවන්ට අවුරුදු දෙකක් පමණ වන විට ඔවුන් ඉදිරියේ ඇඳුම් මාරු කිරීමෙන් වලකින්න. එසේම පිටස්තරයින් සිටින තැන ඔබේ දරුවාගේ ඇඳුම් මාරු කිරීමෙන්ද වලකින්න. දරුවාට ඇසෙන ලෙස කාරුණිකව ඔවුන්ට එලියට යන ලෙස දන්වන්න. "අන්කල් අපෙ බබා ඇඳුම් මාරු කරගෙන එනකල් ඉන්න...."

කිසිම වැඩිහිටියෙකුට ඔබේ දරුවාට "මගෙ හස්බන්ඩ්" හෝ "මගෙ වයිෆ් " ලෙස ආමන්ත්‍රණය කරන්නට ඉඩ නොදෙන්න. 

දරුවා යහළුවන් සමඟ හෝ වැඩිහිටි දරුවන් සමඟ සෙල්ලම් කරද්දී ඔවුනට නොදැනෙන ලෙස ඔවුන් කුමන සෙල්ලමක නිරත වන්නේදැයි ඔබ දැනුවත්ව සිටින්න.

කෙදිනකවත් දරුවෙකුට ඔහු හෝ ඇය අකමැති බව හඟවන වැඩිහිටියෙකු බලන්නට යන්න බල නොකරන්න. එමෙන්ම පමණට වඩා යම් වැඩිහිටියෙකුට දරුවා ඇල්මක් දක්වයි නම් ඒ ගැනත් සොයා බලන්න.

පෙර බොහෝ ක්‍රියාශීලී වූ දරුවෙකු හදිසියේ පැත්තකට වී සිටී නම් නිශ්ශබ්දව සිටී නම් ඔහුගෙන් මෘදුව ප්‍රශ්න අසන්න.  

ඔබගේ වැඩුණු දරුවාට යම් දිනෙක ලිංගිකත්වයේ හරි අගය පිළිබඳ කියාදෙන්න. ඔබ එසේ නොකලහොත් කෙදිනක හෝ ඔහුට සමාජය විසින් එහි වැරදි අගයක් කියා දෙනු ඇත.

ඔබ දරුවාට යම් කාටූන් පටයක් හෝ චිත්‍රපටයක් රැගෙන දෙනවා නම් ඔහුගේ අතට එය පත් කිරීමට කලින් එය නරඹා සිටින්න. සමහර ළමා කතා වලින්ද වැරදි පූර්වාදර්ශ දරුවා ඉගෙනීමට ඉඩ ඇත.

ඔබගේ තුන් හැවිරිදි දරුවාට ඔහුගේ/ඇයගේ පුද්ගලික අවයව මොනවා දැයි කියා දෙන්න. "පුතේ කලිසමෙන් වැහිලා තියෙන තැන් ඔයාගෙමයි. වෙන කිසිම කෙනෙක්ට අයිතියක් නෑ ඒවා අල්ලන්න." ඔවුන්ගේ ඒ අවයව තනිව පිරිසිදු කර ගන්නා සැටි උගන්වන්න. වෙන කිසිවෙකු හෝ කලිසමෙන් වැසී ඇති ස්ථාන ස්පර්ශ කරනවා නම් වහාම එය තමාට පවසන ලෙස කියා සිටින්න. තමා කෙදිනකවත් දරුවා එසේ පැවසුවහොත් දරුවාට නොබනින බවත් ඔහුව ආරක්ෂා කරගන්නා බවත් කියා සිටින්න. 

දරුවාගේ ළපටි මනසට තරම් නොවන නව කතා, චිත්‍රපට, ගීත ඇති නම් ඒවා ඔවුන්ගෙන් ඉවත් කරන්න. වයසට වඩා පැසුණු මිතුරන්ද ඈත් කර තබන්න.

කිසියම් දිනෙක ඔබේ දරුවා වැඩිහිටියෙකු ගැන පැමිණිළි කලහොත් කිසි දිනෙක නිහඬව නොසිටින්න. ඔවුන්ට එරෙහිව පියවර ගන්න. ඔබේ දරුවාට ඇති එකම ආරක්ෂිත ස්ථානය ඔබ බව ඔවුන්ට පසක් කරවන්න. 

You are the only safe heaven for your child.  

Friday, July 10, 2015

Life


කඳුළු පිස
සිත සුවපත් කරවන
අපූරු මන්තරය
මගෙ පුතුගෙ
සිනහව.

Wednesday, September 4, 2013

ගැබ්බර මිනිසා නිසා නාට්‍යාලය ගබ්සා වීම


පහුගිය දිනෙක ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ 'ගැබ්බර මිනිසා' වේදිකා නාට්‍යය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ රඟ දැක්වුණා.මෙච්චර කාලෙකට කැම්පස් එකට නරකයි කියල කියන්න පුලුවන් නාට්‍ය ගෙන්වලා නෑ. 

කලින් කොහොමද කියලා දන්නෙ නැති වුණත් ඒ විශ්වාසය නිසා මමත් නාට්‍යය බලන්න ටිකට් එකක් ගත්තා. විශේෂයෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස්, සරත් කොතලාවල, කුසුම් රේණු වගේ ප්‍රවීන රංගන ශිල්පීන් රඟන වේදිකා නාට්‍යක් නිසා අන්තර්ගතය ගැන සැකයක් කිසිම මොහොතක හිතේ තිබුණෙ නෑ.

ඉතින් සෙනඟ අතරෙ තෙරපිලා ශාලාවට ඇතුල් වෙන්න සිද්ධ වුණත්, චීන මහා ප්‍රාකාරය වගේ කොල්ලො පේලියකට පිටිපස්සෙ පේලියෙන් වාඩි වෙන්න සිද්ද වුණත්, ඉස්සරහ පේලියෙ කොල්ලන්ගෙ උරහිස් අතරින් වේදිකාව දිහා බලන්න සිද්ද උනත්, කරුමෙට මම හිටපු තැන විදුලි පංකාව ක්‍රියා විරහිත වෙලා තිබුණත් හොඳ නාට්‍යයක් බලනකොට ඔය හැම බාධකයක්ම අමතක වෙලා ගිහින් හිත සංසුන් වෙන බව අත්දැකීමෙන් දන්න නිසා නාට්‍යය බලන්න කලින් හිත රිදවගන්න මට කිසිම හේතුවක් තිබුණෙ නෑ.

නියමිත වෙලාවට පැය බාගයක් පරක්කු වෙලා තිරය දිග ඇරුණා. 

දල්පදාතු මහතා ගබ්සා විරෝධී ජාතික සංගමයේ සභාපති. ඒ චරිතයට රඟපාන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. දල්පදාතුගේ දියණිය තරුණයෙක් සමඟ ඇතිකරගන්නා සම්බන්ධතාවය නිසා ඇය අඩු වයසින්ම ගැබිණියක් වෙනවා. ඔහුගේ භාර්යාවත් අනියම් ඇසුරක් නිසා ගර්භනී වෙනවා.

මේ අතර වැරදීමකින් ඊස්ට්‍රජන් හෝමෝනය දිගුකාලයක් තිස්සේ ගැනීම නිසා දල්පදාතුද ගැබ්බර වෙනවා. පවුලේ සියලු දෙනාම එකිනෙකාට හොරෙන් ගබ්සා මධ්‍යස්ථානයකට යනවා.  අවසානයේ ගබ්සාව නිසා දියණිය මිය යන අතර, (භාර්යාවට කුමක් සිදුවන්නේදැයි දන්නේ ඔවුන්ම පමණි.) දල්පදාතු සිය කළලය ගබ්සා නොකර දරුවා මෙලොවට උපද්දවීමට තීරණය කරනවා. 

නාටකයේ සාරංශය එලෙසය. පැය භාගයකින් පමණ ඉවරකිරීමට හැකිව තිබූ කතාවක් අභව්‍ය දෙබස් හා අධි රංගනයන් සමඟ පැය දෙකකට ආසන්න කාලයකට රබර් කිරීමක් කර ඇති බව නම් හොඳාකාරවම පෙනෙන්නට තිබුණා. මෙවැනි නලු නිලි පිරිසකගෙන් මේ තරම් අසංතෘප්ත ප්‍රථිපලයක් නම් මම කවදාවත් බලාපොරොත්තු උනේ නෑ. 

මට අනුව නම් එය වේදනාකාරී කාලය කාදැමීමක්. වැඩි දෙනෙක් ගෙදර ගියේ වේදිකාව මත රඟ දැක්වුණු මෙගා ටෙලිනාට්‍යයක් වැනි දෙයක් නරඹලා ඇති වුණු පසුතැවීමත් එක්ක කියන එක මට විශ්වාසයි. 

Wednesday, August 7, 2013

වණ්ඩු බිත්තර


සෑහෙන කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. බ්ලොග් එක අත ඇරලා දාලත් බෑනෙ.

ලඟදි දවසක අලුත් කෑමක් අත්හදා බැලුවා. මට හම්බවෙච්ච අර පරණ සුප ශාස්ත්‍ර පොතේ තියෙන රෙසිපියක් බලාගෙනයි හැදුවෙ. එදා මම පොරොන්දු උනානෙ ඒකෙන් කෑම වර්ග කීපයක් හරි හදන හැටි දානවා කියලා. මේ වෙච්ච පොරොන්දුව ඉටු කිරීමක්.

වණ්ඩුවේ තැම්බූ බිත්තර වලින් හදන කෑමක්. අමාරු නෑ හදාගන්න. හැබැයි ටිකක් වෙලා යනවා. පොඩ්ඩක් වාත උනාට හරියට හදාගත්තොත් ඉතාම රස වෑංජනයක්.

මුලින්ම බලමු අවශ්‍ය දේවල්:

  • බිත්තර 3ක්
  • පාන් පිටි මේස හැන්දක් විතර
  • රතු ලූණු ගෙඩි 10 15ක්
  • අමු මිරිස් කරල් 3ක් 4ක්
  • කෑලි මිරිස්
  • කරපිංචා කොළ ටිකක්
  • කහ තේ හැඳි 1/2ක් විතර
  • ලුණු රස අනුව


ඉස්සෙලාම බිත්තර ටික හොඳට බීට් කරගන්න. ආයෙ ඕකට බීටරයක් ඕනෙ නෑ. ගෑරුප්පුවකින් වැඩේ කරගන්න පුලුවන්. මේකට පාන් පිටි ටික දාගෙන ආයෙත් හොඳට ගසා ගන්න. රතු ලූණු කපලා කෑලි මිරිස්,  හීනියට ලියාගත්තු අමු මිරිස් දාලා ලුණු මිරිසක් වෙන්න හොඳින් අනන්න.

ඊට පස්සෙ ඒක බිත්තර මිශ්‍රණයට දාන්න. ඒ වගේම ඒකටම  පොඩියට කැපූ කරපිංචා, කෑලි මිරිස් ටිකක්, ලුණු ටිකක්, කහ පොඩ්ඩක් දාලා ආයෙත් ගසා ගන්න. 

දැන් බිත්තර මිශ්‍රනය හරි. ඊලඟට භාජනයක් අරගෙන ඒක උඩින් ලන්ච් ශීට් එකක් එලලා අර බිත්තර මිශ්‍රනය ඒකට වත් කරගන්න. දැන් වණ්ඩුවේ තම්බා ගන්නයි තියෙන්නෙ. වණ්ඩුව කියන්නෙ මොකද්ද දන්නෙ නැත්තම් ස්ටීමර් එක දන්නවනෙ. අන්න ඒකම තමා ඈ. මම රයිස් කුකර් එකේ ස්ටීමර් එක ගත්තෙ. පහල කෑල්ලට වතුර දාල හොදින් වතුර පැහෙනකොට ස්ටීමර් එක තියලා බිත්තර මිශ්‍රනය තියෙන භාජනේ ඒක ඇතුලින් තියලා තම්බගන්න ඔනෙ. ලන්ච් ශීට් එකෙන් භාජනේ උඩ වහන්න එපා. විනාඩි 45ක් විතර තම්බගන්න ඕනෙ. 

තැම්බුණාට පස්සෙ භාජනෙන් එලියට අරගෙන කෑලි වලට කපාගන්න. 


දැන් වණ්ඩු බිත්තර ලෑස්තියි. ඕනෙ නම් මෙහෙමම කන්න පුලුවන්. එහෙම නැත්තන් කරවල තෙල් දානවා වගේ තෙල් දාලා ගන්න පුලුවන්. 

මම නම් හොද්දකට හැදුවා. හොඳට පොල් කිරි දාලා කිරි හොද්දක් හදලා පැහෙනකොට අර බිත්තර කෑලි ටික දාගන්න. පස්සෙ තෙම්පරාදු කරලා ලිපෙන් බාන්න.

බත් එක්ක කන්නත් පුලුවන්. පාන් එක්ක කන්නත් පුලුවන්. අපි නම් කෑවෙ ඉඳි ආප්ප එක්ක. වෙලාවක එහෙනම් හදලා බලන්නකො.

Wednesday, March 27, 2013

කුකුල් මස් ඉස්ටු


මේක ළඟදි ඉගෙන ගත්තු වට්ටෝරුවක්. රසට ආවා. හැමදාම අපි කුකුල් මස් කරිය හරි ඩෙවල් හරිනෙ කන්නෙ. වෙනසකටත් එක්ක කුකුල් මස් ඉස්ටුවක් හදලා බලමුද. වැඩි  වැඩ නෑ. හරිම ලේසියි හදන්නත්. 

අවශ්‍ය ද්‍රව්‍ය මෙහෙමයි.
  • කුඩා කැබලි වලට කැපූ කුකුල් මස් 250g
  • අල ගෙඩියක්
  • ලොකු ලූණු ගෙඩියක්
  • අමු මිරිස්
  • කරපිංචා
  • රම්පෙ කෑල්ලක්
  • විනාකිරි මේස හැඳි 2ක්
  • කුරුදු පොත්තක්
  • එනසාල් 3ක් 4ක්
  • කරාඹු නැටි 3ක් 4ක්
  • සුදු ලූණු බික් දෙකක්
  • අමු ඉඟුරු පොඩි කෑල්ලක් 
  • ලුණු රස අනුව
  • ගම්මිරිස් රස අනුව

මුලින්ම කුකුල් මස් කැබලි ටික හොඳට හෝදගෙන භාජනයකට දාන්න. මේකට ලුණු ගම්මිරිස් විනාකිරි ටික දාලා අනාගන්න.

අල ගෙඩිය සුද්ද කරලා පොඩි කොටු කපාගෙන් එකතු කරගන්න. ලූණු ගෙඩියත් ලොකු කැබලි වලට කපාගෙන මේකට දාගන්න. රම්පෙ කරපිංචා, කැපූ අමුමිරිස්, කුරුඳුත් එකතු කරගන්න. එනසාල් සහ කරාඹු නැටි පොඩ්ඩක් තලලා මේකට දාන්න. සුදු ලූණු සහ අමු ඉඟුරුත් අඹරලා දාන්න. දැන් මේකට කුකුල් මස් ටික වැහෙන ගාණට වතුර පොඩ්ඩක් දාලා ලිපේ තියන්න. 

ටික වෙලාවකින් අල ටික තැම්බුනාට පස්සෙ අල කෑලි වලින් ටිකක් වෙනම භාජනයකට බේරලා අරගෙන හැන්දකින් හොඳට පොඩි කරලා ආයෙත් මේ මස් මිශ්‍රණයට එකතු කරලා හොඳින් හැඳි ගාන්න. මස් ටික හොඳට තැම්බුණාම ලිපෙන් බාගන්න. 

විනාකිරි දාන නිසා හොඳ සුවඳක් එනවා. සුවඳ වගේම තමයි රසත්. හදල බලන්නකො වෙලාවක.   

Related Posts Plugin for WordPress, Blogger...