Pages

Tuesday, November 29, 2011

සෙපලපෝඩාවෙකුට තරහෙන් ලියමි


පෘෂ්ඨ වංශිකයෙකුගෙ ඇස් දැරුවට
මහ විසාල මොළයක් දැරුවට
සෙපලපෝඩාවෙක්ට කවදාවත්

කෝඩේටාවෙක් වෙන්න බෑ

ආරක්ෂාවට තින්ත මඩිය විදින්න
ජෙට් යාන්ත්‍රණයෙන් එහෙ මෙහෙ යන්න

උඹට පුලුවන් උනාට
මැමාලියාවෙක් වෙලා
උඹට
හඳට යන්න බෑ

බාහු වලින් වට උනාට
රේත්‍රිකාවකට කවදාවත් බෑ

කැල්සියම් සහිත දතක් වෙන්න

ඒ නිසා උඹ දැනගත යුතුයි
උදරීය පේශිමය පාදයෙ තරමට

ඉදිමෙන්න..


මොන හරුපයක්ද යකෝ මේ කියලා කෑ ගහගෙන එන අය පොඩ්ඩක් හෝව්. මට ඕක හම්බ උනේ පහුගිය දවසක ගෙදර ගිහින් කාමරේ පොත් අස් කරන වෙලාවෙ ඒ ලෙවල් කාලෙ පොතක් පිටිපස්සෙ තිබිලා. බයෝ කරපු කට්ටියට නම් වචන ටික පොඩ්ඩක් හුරුපුරුදු ඇති. ඔය කවිය මම ලිව්වෙ ඒ ලෙවල් කාලෙ ජෛව විවිධත්වය පාඩ මතක තියාගන්න. දැන් කට්ටියට නම් ඒ පාඩම තියෙනවද දන්නෙත් නෑ.

මෙහෙමයි මේ කවියෙ තේරුම. මම මේ කියන්නෙ ඒ ලෙවල් මතකයෙන් හන්දා සමහර කරුණු ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්.

සෙපලපෝඩා කියන්නෙ දැල්ලන් බූවල්ලන් වගේ සතුන් අයත් වෙන සත්ව පන්තියක්. ඔවුන් සමහර ලක්ෂණ වලින් අපට සමාන වෙනවා. ඔවුන්ට අපිට ටිකක් සමාන ඇස් සහ අනිත් වංශිකයන්ට සාපේක්ෂව ලොකු මොළයක් තියෙනවා. එහෙම තිබුණු පලියට සෙපලපෝඩාවෙක්ට කවදාවත් කෝඩේටාවෙක් හෙවත් කොඳු නාරටිය ඇති සතෙක් වෙන්න බෑ.

දැල්ලො වගේ සෙපලපෝඩාවන්ට විශේෂ හැකියාවන් තියෙනවා. තින්ත මඩිය විදින්නෙ උගෙ ආරක්ෂාවට. ජෙට් යාන්ත්‍රණයෙන් තමා ඌ එහෙ මෙහෙ පීනන්නෙ. ඒත් එහෙමයි කියලා ජෙට් යාන්ත්‍රණෙන් ඌට හඳට යන්න පුලුවන්ද?

සෙපලපෝඩාවන්ට බාහු වලින් වටවූ රේත්‍රිකාවක් තියෙනවා. ඒක හරියට දතක් වගේ. එහෙම උනා කියලා මැමාලියා හෙවත් ක්ෂීරපායීන්ගෙ කැල්සියම් සහිත දතක් වෙන්න ඒකට බෑ. ඒ නිසා උන් දැන ගත යුතුයි ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න. (ඒත් උන්ට ඇඟිලි නෑ. තියෙන්නෙ එක පාදයයි. ඒක තමයි උදරීය පේශිමය පාදය කිව්වෙ.)

ඔන්න ඕකයි කවියෙ තේරුම. මම ඒ ලෙවල් වලට පාඩම් කරපු හැටි දැන් පේනවනෙ. කවි ලිය ලියා ඉන්නැතුව හරියට පාඩම් කොරා නම් මම අද කොහෙද.

තව මෙහෙම පාඩම් කරන කාලෙ නාස්ති කරගෙන ලියපු විෂයානුබද්ධ කවි තියෙනවා. මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒවත් දාන්නම්කො.

Sunday, November 27, 2011

ආයුබෝවන් හිරෝෂිමා


හිරෝෂිමා... වචනය ඇසෙද්දිත් අපට නිරායාසයෙන්ම සිහිපත් වන්නේ පරමාණු බෝම්බයයි. විද්‍යාත්මක දැනුම මනුෂ්‍යත්වයට එරෙහිව යොදාගත් මුල්ම අවස්ථාව ලෙස, හිරෝෂිමාව විනාශ කිරීම සඳහා පරමාණු බෝම්බය යොදාගැනීමේ සිද්ධිය ලෝක ඉතිහාසයට එක් වෙයි.

1945 අගෝස්තු 06 වැනිදා හිරෝෂිමාවට එල්ල කරනු ලැබූ බෝම්බය එක් ක්ෂණයකින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. තවත් දහස් ගණනකට දරුණු තුවාල ඇති කළේය. මිනිසුන් මිලියන කාලකට නිවෙස් උන් හිටි තැන් අහිමි කළේය. කොටින්ම දියුණුවේ හිණි පෙත්තේ වැජඹුණු සාමකාමී ජනාකීර්ණ නගරයක් අමු සොහොනක් බවට පත් කළේය.


"ආයුබෝවන් හිරෝෂිමා" යනු "Hiroshima Doctor" කෘතියේ සිංහල පරිවර්ථනයයි. මෙය ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මියගේ පරිවර්ථනයකි. පරමාණු බෝම්බයෙන් ලද තුවාල වලින් ඔත්පලව ඇඳ මත වැතිර සිටින අවධියේ 'මිචිහිකෝ හචියා' නමැති ජපන් ජාතික වෛද්‍යවරයෙකු විසින් ලියන ලද දිනපොතක ඇතුලත් සත්‍ය කරුණු ආශ්‍රයෙන් මෙම පොත ලියා ඇත.

බෝම්බය පිපිරුණු අවස්ථාවේ ඔහු ලැබූ අත්දැකීම් පමණක් නොව, වෛද්‍යවරයෙකු ලෙස බෝම්බයෙන් මරණීය තුවාල ලද්දන් හට ප්‍රතිකාර කිරීමෙන් ඔහු ලද අත්දැකීම්ද ඉතා සියුම් ලෙස මෙහි සටහන් කර ඇත.


න්‍යෂ්ටික අවි තාක්ෂණයෙන් මනුෂ්‍ය සංහතියේ පැවැත්මට එල්ල වන අභියෝගය පිළිබඳ ලොව ඇති ප්‍රභලම සාක්ෂිය හිරෝෂිමාවයි. බෝම්බයෙන් දිවි ගලවාගන්නට වාසනාවන්ත වූවද එහි කම්පනයෙන් හා තුවාල වලින් අත්මිදෙන්නට බොහොමයක් දෙනා සමත් නොවූහ.

තමන්ගේ ශරීරයේ වේදනාවන් අමතක කර, වෛද්‍යවරයෙකු ලෙස රෝහල සතු ඉතාම සීමිත සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඔහු රෝගීන්ට ප්‍රතිකාර කළ අයුරු නම් ප්‍රශංසාවට ලක්විය යුතුය.


පරමාණු බෝම්බය නිසා මෙහි මිනිසුන් අත්විඳි කෲරත්වය නම් අමතක කළ නොහැක්කේය. බෝම්බයේ ප්‍රබලත්වය කොතරම්ද යත් පිපිරුම් මධ්‍ය ලක්ෂ්‍යය හා මීටර් 500 දුර අතර ගොඩනැගිලි ආදියෙන් ආවරණ රහිතව සිටි අය ඒ මොහොතේම මිය ගියහ. මධ්‍ය ලක්ෂ්‍යයේ සිට මීටර් 3000ක දුරින් සිටි සියල්ලෝම දරුණු පිලිස්සුම් තුවාල හෝ විකිරණ වලට නිරාවරණය වීම නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූහ.



කතුවරයා බෝම්බය පිපිරීමෙන් පසු තත්වය මෙසේ විස්තර කරයි.

"අවට එහෙම් පිටින්ම ගිනිජාලාවක් බවට පත්විය. සුළි සුළඟක් හමා ගියේ ගින්න වඩ වඩාත් පතුරවමිනි. ගං දිය බියකරු ලෙස පැසෙන්නටත් ඉවුරු බිඳ දමන්නටත් උත්සාහ කරමින් ගින්න බුර බුරා නැගෙන්නට පටන් ගති. ගං දිය කැලති කැලතී දැවැන්ත රැළි සෑදුවේය. සුළඟට වැනෙමින් නරකාදියේ ගිනිගොඩවල් මෙන් පුපුරු ගසමින් දැවුණු දැවැන්ත ගස් බිම වැටුණේ අවට එකම ගිනිජාලාවක් කරන්නටය. උණුසුම දරාගත නොහැකි තරම් ඉහළ ගියේය. ගින්නෙන් බේරී ගන්නට ගං ඉවුරේ පොදිකමින් සිටි මිනිස්සු යා යුතු තැනක් නොදැන පහතින් පැසෙන ගං දියට පැන්නෝය. දහස් ගණනක් මළවුන් අතරට ගියේ ඒ අයුරිනි."


දින පොතකින් ගත් කරුණු වුවද කතුවරයා පාඨකයාගේ සිතේ අදාල සිදුවීම් සජීවීව මැවෙන ආකාරයට ඉදිරිපත් කර ඇති අයුරු නම් අපූරුය. එහෙත් ඒ රස විඳීමට යටින් ඇති කටුක සත්‍යය අවබෝධ වන විට නම් හිත කීරි ගැසී යයි. මේ අකුරු මතින් ඔප්පු කර ඇත්තේ මේ පොළව මතම සිටි තවත් මිනිසුන් පිරිසක් අමු අමුවේ පිච්චෙමින් ලද වේදනාවෙන් බිඳක් පමණි.

හිරෝෂිමාව බිමට සමතලා කළ බව ඇත්තය. එහෙත් එහි මිනිසුන්ගේ ආත්ම ශක්තිය පරමාණු බෝම්බ දහසකින්වත් විනාශ කළ නොහැකි බව මෙම නවකතාව සාක්ෂි දරයි.

Thursday, November 24, 2011

මාරම්බරී... කෝල වී පෑ මුවේ මන්දහාසේ..


මෙවරත් මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි හා ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "සරසවි ගී සිසිල" සංගීත සැඳෑව සුමනදාස ගොඩනැගිල්ලේ මැද මිදුලේ පැවැත්වුණා. අපේ පීඨයේ නොවුණත් හොඳ දෙයක් නම් අගය කළ යුතුයිනෙ.

මමත් අවුරුදු කිහිපයක් තිස්සෙ මේ ප්‍රසංගය රසවිඳින්න එකතු වෙන අයගෙන් කෙනෙක්. අවුරුද්දකට වරක් පවත්වන මෙය මෙවර පැවැත්වුණේ 17 වෙනි පාරට. ඒ කියන්නෙ 1994 ඉඳන් හැම අවුරුද්දකම මේක පවත්වලා තියෙනවා. මෙවර මේක සංවිධානය කරලා තිබුණෙ ගොඩනැගිලි හා ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය උනත් මීට කලින් මේක පවත්වලා තිබුණෙ ප්‍රමාණ සමීක්ෂණ ශිෂ්‍ය සංගමය.


මේ ප්‍රසංගය විශේෂ වෙන්නෙ වෙනත් ටකරං සංගීත ප්‍රසංග මෙන් නොව, ප්‍රබුද්ධ ගණයේ ගීත සහ වාද්‍ය වෘන්දයක් එක්ක අපූරු සැන්දෑවක් අපිට ගත කරන්න පුලුවන් වෙන නිසයි.

මෙයට හැම වතාවකම දායක කරගන්නෙ ගුවන් විදුලි වාදක වෘන්දය. ඒ වගේම නිවේදන කටයුතු කරන්නෙ ගුවන් විදුලියේ වසන්ත රෝහණ මහත්මයා. මෙවර ගායක ගායිකාවන් හය දෙනෙක්ගෙ ගීත රසවිඳින්නට ලැබුණා. පටන් ගත්ත අවුරුද්දෙ ඉඳන්ම මෙයට සහභාගි වෙලා ඉන්න දීපිකා ප්‍රියදර්ශනී මහත්මියට අමතරව එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක සහ සුනිල් එදිරිසිංහ මහත්වරුන්ගෙත් සුන්දර ගීත රැසක් විඳින්නට ලැබුණා.


ඇත්තටම සමහර ගීත ඇහෙද්දි ඒ ගීත වල වචන, සංගීතය රෝම කූප වලට පවා දැනෙනවා. ඒ විඳීමට මම හුඟක් කැමතියි. හැම ගීතයකටම ඒ හැඟීම දෙන්න බෑ. ගීතයකට තනුව, පදවැල් මෙන්ම ඒකටම ගැලපෙන කටහඬකුත් ලැබෙන්න ඕනෙ. එහෙම සංකලනයක් නැතුව විඳින්න පුලුවන් ගීතයක් බිහිවෙන්නෙත් නෑ.

එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙ මාරම්බරී ගීතයත් ඒ වගේ ගීතයක්. ඔහුගෙ හඬ විතරක් නෙමෙයි තබ්ලාව සහ බටනලාවත් ඒ ගීතයට පුදුම රසයක් එකතු කරන්නෙ. සුන්දර ගීත කීපයක්ම ඔහු ගැයුවා.


නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගේ කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී..

මෙහෙම එඩ්වඩ් ජයකොඩි කියද්දී, හන්තානට පායන සඳ ලස්සනයිද කියලා අමරසිරි පීරිස් අහනවා.

වික්ටර් රත්නායකයන් තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින් කියන ගමන් මල් පොකුරු පොකුරු ඈ එන මග ඈ දෙසටම නැමීයන් කියලත් කියනවා.

ලා දළු බෝපත් සෙමෙන් සැලද්දී යශෝධරා දේවිය රහසේ හැඬූ හැටි කියන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා.

අතීතය සිහිනයක් පමණයි කියා ඔහු වේදිකාවෙන් සමුගෙන යද්දි තුන් තිස් පැයක් නිදි වරා නොලියූ කවියත් ගෙන දීපිකා ප්‍රියදර්ශනී වේදිකාවට ගොඩ වදිනවා.


හද සැලෙනා නා දල්ලයි
ඔබ සීතල සුළඟයි
හද ගලනා දිය ඇල්ලයි
ඔබ සාගර යහනයි
ඔබමය සතුටද ඔබමය කඳුළද
ඔබමය ලොවම මගේ

හුදකලා වූ පෙම්වතාණන්ට කතා කරන්නෙත් ඇයයි.

අවසානයට වේදිකාවට ගොඩ වැදුණු සුනිල් එදිරිසිංහයන් එතුමාගෙ ආඩම්බරය වන "සඳකඩ පහණක" ගීතයෙන්ම හඬ අවදි කළා. හදේ කොතැනක හෝ නිදා නොනිදා ඉන්න ආදරය ගැන වගේම මඩ කඩිති වලින් පැන තාමත් ඉස්කෝලෙ යන අපෙ ගුරුතුමා ගැනත් ඔහු ගී ගැයුවා. අවසානයට මිනිසා සුවඳයි මලසේ ගීතය සුවඳවත් මනුස්සකම වෙනුවෙන් ගායනා කලා.


ඉතිං, කාලෙකින් හිත පිරිලා. හොඳ පොතකට, සුන්දර ගීතයකට අපේ කඩි කුලප්පු හිත් එකත්පස් කරන්න පුලුවන් හැටි නම් හරිම පුදුමයි. මේ වින්ද සොඳුරු හැඟීම හිත ඇතුලෙ පරිස්සමට අරන් තියාගත්තෙ ලබන අවුරුද්දෙත් ඒ හැඟීමට තව රසයක් එකතු කරගන්න බලාපොරොත්තුවක් එක්ක.

Tuesday, November 15, 2011

දූරියන්..


කැමති උන් කෙළ පෙරාගෙන කැමති

අකමැති උන්ට වහ කඳුරු වැනි

කර්කශ පොත්ත යට මුදු මොලොක් මදයක් ඇති

දුටු පමණින් අක්කව තරහෙන් පිස්සු වැට්ටවිය හැකි

ගඳද සුවඳද කියා හිතා ගන්නට බැරි

ලොවෙත් නැති රසයක් ඇති

මම නම් නහය වහගෙන කමි

ගණන් ඇහුවම එලෝ පොල් පෙන්නිය හැකි

වැඩි හරියක් මදේ පුස් ඇති

වැදගත් කමට කන්නට බැරි

කෑ පසු වැදගත් ගමනක් යන්නට බැරි

පරසක්වලේ ගැහුවත් ගඳ හංගන්නට බැරි

අලිත් මර බය ඇති

දූරියන් සකි.

Sunday, November 13, 2011

මදැයි සප්‍රයිස් කොරා...


"දුව මේ වීකෙන්ඩ් එකේ නිවාඩුවට ගෙදර එනවා නේද?"

"අනේ නෑ අම්මෙ. වැඩ ගොඩක් තියෙනවා. එන්න විදිහක් නෑ. පස්සෙ දවසක එන්නම්කො."

"එහෙමද. කමක් නෑ."

අම්මගෙ කටහඬේ තියෙන දුක මට නොදැනුනා නෙමෙයි. ගෙදර යන්න හිත පිනුම් ගගහ හිටියෙ. මේ නිවාඩුව එනකල් ඇඟිලි ගැන ගැන හිටියෙ.

ඒත් මම අම්මට එන්නෙ නෑ කියලා කිව්වෙ නොදන්වා ගියාම ඒ අහිංසක මූණෙ ඇතිවන සන්තෝසෙ ඇස් දෙකෙන් දැක ගන්න.


අක්කා විවාහ වෙලා ගෙදරින් ගියාට පස්සෙ අම්මයි තාත්තයි හුඟක් පාලුවෙන් ගෙදර ඉන්නෙ. කෝල් කරත් පාලුයි කියලා අඬන එක තමා අම්මගෙ වැඩේ. ඉතින් ඒ දෙන්නට පොඩි සප්‍රයිස් එකක් දෙන්න මම එයාලා නොහිතන වෙලාවක ගෙදරට යන්න හිතුවා.

යන්න කලින් දවසෙත් කෝල් කරලා වල් පල් කියව කියව ඉන්න අතරෙ මම නොදැනෙන්න ඇහුවා හෙට මොකද කරන්නෙ කියලා. අම්මා කිව්වා හෙට පෝය නිසා ඔහෙ ගෙදරට වෙලා ඉන්නවා. තාත්තත් ගෙදරනෙ කියලා.


ඉතින් නිවාඩු දවසෙ උදෙන්ම පිටකොටුවට ගිහින් ගමට යන බස් එකට නැග්ගා. බස් එකේ ඉඳන් ගෙදරට කෝල් කරන්න උත්සාහ කලේ නැත්තෙ බස් එකේ සද්දෙ ෆෝන් එකෙන් ඇහුණොත් මම ගෙදර එනවා කියලා අම්මලට පොඩි හරි ඉඟියක් ලැබේවි කියල හිතලයි. කිලෝමීටරෙන් කිලෝමීටරේ ගෙදරට ළං වෙද්දි මාව දැක්කම අම්මලගෙ මූණට එන හිනාව මතක් වෙලා වෙනද දැනෙන මහන්සියවත් දැණුනෙ නෑ.

කොහොම හරි බස් එකෙන් බැහැලා ගෙදරටත් ගියා කියමුකො. දුරටම පෙණුනා ගෙදර දොර ජනෙල් වහලා කියලා. ඉස්සරහා පැත්තෙ නම් මිනිස් පුළුටක් නෑ. බෑග් ටිකත් උස්සගෙන කුස්සිය පැත්තටත් ගියේ අම්මා ඉස්සරහ දොර වහගෙන කුස්සියෙ උයනවදෝ කියලා හිතුණු හන්දා. මොන? ඒ පැත්තෙත් දොර වහලා. මේ කට්ටිය කොහෙ ගිහින්ද.

හපෝ ඒ වෙලාවෙ මට දැනිච්ච හැඟීම නම්...

බෑග් ටික එහෙම්මම දොර පඩිය උඩ අත ඇරලා තාත්තගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තා.


"තාත්තෙ, කොහෙද ඉන්නෙ?"

"ආ දුව, අපි කුරුණෑගල ආවනෙ."

"හයියෝ. අනේ තාත්තෙ මම ගෙදර ආවා."

"මොනවා. මොකද ළමයො කිව්වෙ නැත්තෙ. අපි දන්නවද? ගෙදර පාලුවෙන් ඉන්න බැරි හන්දා අම්මයි මායි කුරුණෑගල මාමලගෙ ගෙදර ආවා."

"අනේ මම ඔයාලව සප්‍රයිස් කරන්නනෙ හැදුවෙ. හයියෝ තාත්තෙ ගෙදර එන්ඩ.."

ඔන්න ඔහොමයි මම නිවාඩු දවසෙ ගෙදර ගිහින් ගෙදර කට්ටියව පුදුම කරේ. අම්මලා කෙසේ වෙතත් මම නං හොඳට සප්‍රයිස් උනා.

අම්මලා එහෙම්මම කුරුණෑගලින් එන්න පිටත් වෙලා. බඩගින්නෙ මහන්සියෙ ඉස්තෝප්පුවෙ පුටුවක් උඩට වෙලා මම මටම බැන බැන පැය තුනක් විතර හිටියා.

සප්‍රයිස් කෙසේ වෙතත් කණ පිරෙන්න බැණුම් නම් අහ ගත්තා ආයෙත් ඔහොම වැඩ නොකරන්න.

Wednesday, November 9, 2011

ඈ දීගෙක ගියාය.. || Weddings are all about emotions


අක්කා..

සහෝදරියකටත් වඩා නුඹ මට මිතුරියක්.

මෙලොව එළිය දුටුදා පටන් නුඹ මා එක්ක හිටියා.

කොහේ ගියත් මොනවා කරත් මගෙ හෙවනැල්ල උනේ උඹ.

වෙලාවකට වලි දාගෙන මරා ගත්තත් අපි සතුටින් හිටියා.

අම්මා තාත්තා උඹ මම අපි හතර දෙනාගෙ පුංචි ලෝකෙ හරි ලස්සනයි අක්කෙ.

නුඹ කවදාවත් අම්මලගෙ ඇස් වලට කඳුළක් දුන්නෙ නෑ.

උසස් පෙළින් ඉහලින්ම සමත් වෙලා වෛද්‍ය විද්‍යාලෙට තේරුණ දවසෙ තාත්තා ඇඬුවෙ මාත් දැන් රජෙක් කියලා.

අම්මා තාත්තගෙ හිත් වලට උඹ හැමදාම සැනසිල්ලක් උනා.

මගෙ ජීවිතේ හැම අස්සක් මුල්ලක්ම උඹ දන්නවා අක්කෙ.

අපි දෙන්නා අතරෙ රහසක් තිබ්බෙ නෑ කවදාවක්වත්.

මගෙ ජීවිතේ පීලි පනිද්දි උඹයි මාව හරි පාරට යොමු කරේ.

විභාගෙට කලින් දවසෙ ගණන් හදාගන්න බැරුව අඬද්දි ටොකු ඇණ ඇණ රෑ තිස්සෙම ගණන් කියා දුන්නෙ උඹ අක්කෙ.

ජීවිතේ ඉස්සරහට අරන් යන්න බැරුව කර කියාගන්න දෙයක් නැතුව ඉද්දි තමුසෙට පිස්සුද ඕයි කියලා ඉස්සරහට තල්ලු කරේ උඹයි අක්කෙ.

අපේ මුළු ගෙදරම එළිය කරපු පහන උඹ.

ගෙදරට එන පුංචි සමනළයොන්ටත් උඹ ආදරේ කරපු තරම්.

උඹ අපේ රෝස මල....




අපේ ගෙදර හැදී වැඩුණු රෝස මලට ඇගේ අයිතිකාරයා ළඟට යන්න උනා.

ගැහැණු දරුවෙක්ගෙ දෛවය ලියවිලා තියෙන්නෙ එහෙම.

ඒත් උඹ නැතුව ගෙදර පාලුයි අක්කෙ.

තාත්තා තාමත් හවසට උඹ කැමති කෑම අරන් එනවා.

අම්මා අමතක වෙලා ලොකු දූ කියාගෙන උඹව ගේ පුරා හොයනවා.

අන්තිමට උඹ නෑ කියලා මතක් උනාම දොර පඩිය උඩට වෙලා අඬනවා.

නුඹ නිසා ගෙදර පිරිලයි තිබුණෙ කියලා තේරෙන්නෙ නුඹ නැතිව මේ හිස්කම අත් විඳිද්දියි.

අපේ රෝස මල, උඹට වාසනාවන්ත අනාගතයක් අක්කේ.

අපිටත් වඩා ආදරෙන් බලාගන්න සැමියෙක් උඹට ලැබුණා.

අපේ ගෙදර සතුටින් පිරෙව්වා වගේ මේ අලුත් ගෙදරත් සතුටින් පුරවපන් මගෙ අක්කෙ.



Related Posts Plugin for WordPress, Blogger...