Pages

Wednesday, December 29, 2010

අකේලේ හම් (තනියම මම)


මගේ තනියට
ළඟින් ඉන්නට
නුඹට නොහැකිව
පලා යන සඳ
නෙතු කෙවෙණි අග
බොඳ කරන් සිටි
කඳුළු බිඳු
මගෙ තනිය මැකුවේ..

හුදකලාවම ස්වර්ගයක් කර
මගේ සිහිනය
තනිව තැනුවෙමි

නුඹම ඇවිදින්
මසිත් අහසේ
තරු පළඳතැයි
බලා සිටියෙමි..

Tuesday, December 28, 2010

නමක් නැති ආදරයක්


"මට ආයෙ කතා කරන්න එපා.."

"දෙයියනේ ඇයි මෙහෙම කරන්නෙ..?"

"ඒත් එයා පව්. මට බෑ තවත් එයාව රවට්ටන්න.."

"ඇයි මං පව් නැද්ද..?"

"මට සමාවෙන්න.."

"මේක හරිම අසාධාරණයි. මම විතරද විඳවන්නෙ..?"

"මාත් විඳවනවා. මට කරන්න දෙයක් නෑ.."

--------------------------------------------------------------------

"අක්කෙ ඔයා එයාට කතා කරන්න එපා. මම කැමති නෑ ඔයා අපි අතරට එනවට.."

"මම අවුරුදු ගානක් තිස්සෙ එයාට ආදරේ කරනවා.."

"එයා ඔයාට ඉස්සර ආදරේ ඇති. ඒත් එයා දැන් ආදරේ මට.."

"මම කොහොමද එයාට ආදරේ නොකර ඉන්නෙ.."

"ඔයාට ඕනෙ නම් පැත්තක ඉඳන් ආදරේ කරන්න. අපි අතරට එන්න එපා.."

-----------------------------------------------------------------------------------

"ඇයි මාව මෙහෙම බාල්දු කරවන්නෙ.."

(නිශ්ශබ්දතාවය)

"මං ගැන කිසිම හැඟීමක් නැද්ද.."

(නිශ්ශබ්දතාවය)

"මං මැරෙන්නද දෙයියනේ.."

(දුරකථනය විසන්ධි විය)


ප.ලි.: මේක මම
One | Zero | Zero බ්ලොග් අඩවියට ලියලා යවපු වචන 100යේ නිර්මාණයක්.

Sunday, December 26, 2010

මට දැනෙන ජීවිතය



දුහුළු මල් පියල්ලක
සැහැල්ලුව රැඳෙන මුත්
කඳුළු තෙතමනය ළඟජීවිතය හරි බරයි..

සිනා කැන් පොදක් මෙන්
සතුට උතුරනා මුත්
අසුන්දර මතකයක
ජීවිතය හරි දුකයි..

හමන මල් සුවඳ මෙන්
හරි අහිංසක නමුත්
තැවෙන හදවතක් ළඟ
ජීවිතය වේදනයි..

නියං අහසක රැඳෙන
හුදකලා බවම මිස
වැහි පොදක සිසිල නැති
ජීවිතෙත් ඒ වගෙයි..

අහංකාර කඳුළු


දෙකම්මුල් දිගේ බේරිලා
ගලන්න බැරි තරමට
ඇයිද ඔතරම්
කඳුළු වල ඇති
අහංකාරකම..
ඇස් පුංචි කරගෙන
හිනාවීගෙන
ඒ හිනාව තුළ
ඔය කඳුළුත් හංගනා විට,
දන්නවද
නුඹටත් නොදැනීම
හිනාවෙන්
කඳුළු උතුරනා වග..

Wednesday, December 22, 2010

මෙන්ඩලීය ප්‍රවේණියේ අපගමනය


සහ ප්‍රමුඛතාවය අකැප සඳ
අභිබවනයට ඉඩදී
නුඹ සමඟ මා
ප්‍රතිබද්ධ විණි..

ස්වාධීනව වියුක්ත වීමට
නුඹට අවැසි කල
සම යුග්මක තබා
විෂම යුග්මක වත් හිතක්
නුඹට නැති වග
වටහා ගතිමි..

හැරපියා යන
අවසන් නිමේෂයේදී
අසම්පූර්ණ ප්‍රතිබද්ධයක්
උදෙසා වත්
ආපසු හැරෙතැයි සිතීමි..

එහෙත්
දෑස් මායිමෙන්
නුඹ තිතක් වී
නොපෙනී යන සඳ
පසක් විය
සියල්ල අවසන
මාරක ජානයක්
ඉස්මතු වූ වග..

Tuesday, December 21, 2010

ආදරය


සත්තයි
නුඹ ළඟ
මං
හරි
අසරණයි...

Wednesday, December 15, 2010

ආදරෙයි අම්මෙ


පනින තුරු එලිපත්ත
හැමදාම නිදිවරන
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

දරුවන්ගෙ සිහින ගැන
කප්පරක් දුක් විඳින
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

අකීකරු අපේ හිත්
එක බැල්මකින් නිවන
රැළි වැටී කළු වුවද
කරුණාව අඩු නොවන
නුඹේ ඔය ඇස් දෙකට
ආදරෙයි අම්මෙ මම..

නුඹ මා නිසා එදත් දුක් වින්දාය. අදත් අනන්තව දුක් විඳින්නීය. මැසිවිල්ලක්වත් නොනගා හෙටත් දුක් විඳින වග දනිමි. නුඹ මගෙන් දුහුවිල්ලක් තරම් දෙයක් වත් නොපතා කප්පරක් දුක් විඳින්නීය. නෙතු පාමුල උණු කඳුළු බිඳුවක් තියාගෙන කවි කුරුටු ගෑවේ නුඹේ උපන් දිනය නිසාය. ඉතින් මගෙ අම්මේ, නුඹට සුභ උපන් දිනක් වේවා.
Related Posts Plugin for WordPress, Blogger...