Pages

Thursday, January 12, 2012

උඹ නේද හොරා..


"දෙයියනේ කෝ..."

ඉහලට ගත් හුස්ම පහළට හෙලා ගත නොහැකිව මුදල් පසුම්බිය කණපිට ගසමින් මා උදේ පසුම්බියට දැමූ රුපියක් දෙදහස සොයන්නට විණි. මාසයේ අග හෙයින්ද, මාසයේ මුල සිටම සහභාගි වන්නට සිදුවූ මගුල් ගෙවල් හා වෙනත් වියදම් නිසාද අත ඉතුරු වූ අවසාන රුපියල් දෙදහසත් පසුම්බියෙන් අතුරුදන් වී තිබිණ.

උදෑසන ටෙලර් මැෂිමෙන් ගත් රුපියල් දෙදාහ පසුම්බියට දැමූ වග හොඳටෝම මතකය. ගිණුම හූරා ලබා ගත් අවසාන මුදල හෙයිනුත්, මාසය අවසන් වීමට තව සතියක් පමණ ඇති හෙයිනුත් මේ රුපියල් දෙදහස මට විසිදහසකට වඩා වටින්නේය. එහෙත් අවාසනාවට මා අත සතු වී තිබූ අවසාන මුදලද අතුරුදන්ව ඇත.

"හිඟන්නගෙ පාත්තරේටමයි හෙනහුරත් පාත් වෙන්නෙ."

හිතට දැණුනු අසරණකම දෑස කඳුළින් තෙත් කිරීමට සමත් විය.

"සල්ලි පර්ස් එකේ දා ගත්තට පස්සෙ කෙලින්ම ආවෙ ඔෆිස් එකට. ඇවිත් බෑග් එක මේසෙ උඩින් තියලා මම පැය ගාණක් මීටින් එකේ හිටියෙ. එතකොට ඒ වෙලාවෙ කවුරු හරි පර්ස් එකෙන් සල්ලි ගත්තද?"

හිතට එන සිතුවිලි වල කෙළවරක් නොමැත.

අත් බෑගයේ සාක්කු සියල්ලම පිරික්සා බැලුවේ අමතක වීමකින් හෝ ඒවාට දමා ඇත්දැයි සැකයෙනි. බෑගයේ සියළු භාණ්ඩ මේසය මත වපුරා පිරික්සද්දී මා ළඟට ආවේ කාර්යාලයේ පිරිසිදු කටයුතු කරන සුමනාය.

"ඇයි මිස් මොනා හරි නැති වෙලාද? කලබලෙන් වගේ හොයන නිසා ඇහුවෙ."

කවදත් නිවුණු ගැහැණියක් වූ සුමනාගේ කටහඬේ සැඟවුණු බියක් මට දැනුනේ ඇයි? උත්තරයක් දෙන්නට මදක් ප්‍රමාද වූ මම කිසිවක් නැතැයි හිස දෙපසට වැනීමි. ඈ මා අසලින් ඉවත්ව ගියත් මගේ හිත විපිලිසරව පැවතිණි.

"කවදාවත් මගෙ ළඟට ඇවිත් කතා කරන්නැති ගෑණි අද මම මොකද කරන්නෙ කියල බලන්නම තමා ඔය ආවෙ. වෙන මොකද්ද හිතේ හොරේනෙ."

"ඔය ගෑණිට මම කොච්චර උදව් කරල තියෙනවද. ළමයට අසනීපයි කියලා එක පාරක් මගෙන් රුපියල් තුන්සීයකුත් ඉල්ල ගත්තා. කොච්චර පරක්කු වෙලාද ආපහු දුන්නෙ. ඒත් මම වචනයක්වත් කිව්වද. එයාට වටිනවද මගෙන්ම සල්ලි හොරකම් කරන්න."

හිතේ කෝපය නිසා මා වෙව්ලයි. ඒත් සැකයක් තිබුණද මට එය ඔප්පු කරගත නොහැකිය.

සිතුවිලි වල කිමිදෙමින් සිටි හෙයින් කාර්යාලයේ පියන් වැඩය කරන විමලදාස මාගේ මේසය ළඟට එන තෙක්ම නොදැක්කෙමි. සුපුරුදු ලෙස මා සිනහවෙන්නට සුදානම් වෙද්දීම නොසිතූ ලෙස ඔහු අහක බලාගෙන වහ වහා මා පියමං කර ගියේය.

"මේ මිනිහට මොකද වෙලා තියෙන්නෙ. මිනිහා මට මූණ දෙන්නෙ නැත්තෙ එකත් එකටම විමලදාස තමා සල්ලි ගන්න ඇත්තෙ. මිනිහට මට මූණ දෙන්න ලැජ්ජ ඇති. අසමජ්ජාතී මිනිස්සු."

සුමනා නොව මුදල් සොරකම් කරන්නට ඇත්තේ විමලදාසම බව යටි සිත තර්ක කරයි. වෙනදාට ෆයිල් ගොන්නක් රැගෙන එහෙ මෙහෙ යන අතර මා දකින විට "කොහොමද මිසී" යැයි හිස නවා සිනාසෙන මොහු අද හොර බැල්මෙන් මා දෙස බලමින් මා මග හරිමින් වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම මුදල් සොරා මොහුම යැයි මගේ සිතට ඒත්තු ගන්වමිනි.

"හොර විමලදාසයා. ඕකා සල්ලි හොරකම් කරලා අහුවෙයි කියලා බයේ ඉන්නෙ. ඉන්න විදිහෙන්ම තේරෙනවා ඒක."

මගේ සිතට නිවනක් නැත.

එක වරම කාර්යාලය තුළට පිවිසුණ පිරිසක් නිසා මගේ දැහැන බිඳිණ.

ඒ සතියකට වතාවත් කාර්යාලයේ තබා ඇති ජල පෙරණ වලට අලුත් ජල බඳුන් තමා හිස් ජල බඳුන් රැගෙන යාමට එන ආයතනයේ පිරිසකි. මොවුන් කාර්යාලයේ හිස් ජල බඳුන් රැගෙන යන්නේ දැන් නම්, කලින් පැමිණ අලුත් ජල බඳුන් තබා යන්නට සැක නැත.

වෙනදා පැමිණෙන සුපුරුදු මුහුණු වලට අමතරව දැක නොමැති මුහුණක් මා සිත තිගැස්සීය. මගේ මේසය පසු කර යන ගමන් ඔහු මගේ අත් බෑගය දෙස බැලුවේ ඇයි?


"වෙන කවුරුවත් නෙමෙයි මූ තමා හොරා. ඔෆිස් එකේ කවුරුත් මීටින් එකට ගිය වෙලාවෙ මූ තමා මගෙ සල්ලි ගන්න ඇත්තෙ. නැත්තන් මගෙ බෑග් එක දිහා බැලුවෙ මොකද"

සිත නැවතත් නොසන්සුන්ව ඇත. ඒ පුද්ගලයා වහ වහා කාර්යාලයෙන් පිටවීමට උත්සාහ දරන්නේ මුදල් සොරා ඔහුම වන්නට ඇති නිසාවෙනි. මිනිසුන් ගැන මගේ සිතේ ඇති වූ කළකිරීම උච්චතම අවස්ථාවට පැමිණ ඇත.

"මේ ගැන කා එක්ක හරි කතා කරන්න ඕනෙ."

හිතට එකවර නැගි අදහස අනුව එහා මේසයේ ජයන්ති සමඟ කතා කරන්නට මට සිතක් පහළ විය. ඒ සමඟම වෙනදා නැති අමුත්තක් අද තිබෙනවා නේදැයි මසිතට තදින් දැණිනි.

"වෙනදට තොරතෝංචියක් නැතුව කියවන ජයන්ති මොකද අද සද්ද නැත්තෙ. එයා අද මීටින් එකට ආවෙත් නෑ."

සිත හරහා එකවර විදුලි කෙටීමක් සිදු විය.

"දෙයියනේ ජයන්තිද සල්ලි ගත්තෙ. මම කවදාවත් හිතුවෙ නෑ එයා ඔහොම කෙනෙක් කියලා."

ජයන්ති පෙර දිනයක මා සමඟ පැවසූ සිද්ධි දාමයන් සිතුවම් පටයක් මෙන් මා ඉදිරියේ දිග හැරෙන්නට විය.

"ගෙදර හරියට ප්‍රශ්න. වතුර බිල්, ටෙලිෆෝන් බිල් එකතු වෙලා. මහත්තයා බොන එකමයි කරන්නෙ. ගෙදරට සත පහක් දෙන්නෙ නෑ."

සිතේ ඇති වූ කළකිරීම දෙගුණ තෙගුණ වන්නට විය.

"ෂිහ්. ජයන්ති මගෙන් හොරකම් කරන්නෙ නැතුව සල්ලි ඉල්ලුවා නම් මම කවදාවත් නොදී ඉන්නවද. මම එයාගෙන් කොහොමද මේක අහන්නෙ. මටම ලැජ්ජයි."

ඇගේ අසරණකම මට නොදැනුනා නොවේ. ඒත් මුදල් සොරකම් නොකර ඈ අතමාරුවට මුදල් ඉල්ලුවා නම් නැවත නොගන්නටම මම ඈට මුදල් දෙන්නෙමි.

සිත තුළ රජ කළ බලාපොරොත්තු කඩ වීම සහ කළකිරීම නිසා එදින පුරාවට මා අතින් රාජකාරිමය කිසිදු වැඩක් සිදු නොවිණි. කිසිවෙකු සමඟ කතා කරන්නටද සිතක් නොතිබිණි. කොටින්ම දකින දකින පුද්ගලයාගෙන් මා දුටුවේ මගේ රුපියල් දෙදහස සොරා ගත් සොරාගේ මුහුණය. උදේ සිට තිබූ හෝන්දුමාන්දු භාවය මා විඩාවට පත් කරවීය.

නිවසට පැමිණි විගස ඇඟපත සෝදාගැනීමට මා උනන්දු වූයේ එබැවිණි.

එදින හැඳගෙන ගිය ඇඳුම් දියේ දමා ඇඳුම් වල සබන් ගාන්නට පටන් ගත්තා පමණි. කලිසම් සාක්කුවේ ගුලියක් මෙන් හසු වූයේ කුමක්දැයි මා විපරම් කළෙමි.

සාක්කුවට අත දමා දියෙන් පෙඟුණු ඒ ගුලිය එළියට ගනිද්දී සිතේ ඇති වූ හිස් හැඟීම වදනින් විස්තර කළ නොහැක.

උදෑසන ටෙලර් යන්ත්‍රයෙන් ගත් රුපියල් දෙදහස ජලයෙන් පෙඟී ගුලියක් වී මගේ අල්ල උඩ සිට මදෙස බලා සිටියි.

මිනිසුන් ගැන හිත තුළ තෙරපෙමින් තිබූ කළකිරීම වෙනුවට මට මා ගැනම මගේ නොසැලකිලිමත් හිත ගැනම මහත් වූ කළකිරීමක් දැනෙන්නට විය.


දෑස කඳුළින් තෙත් වූයේ සුමනා, විමලදාස, නාඳුනන කම්කරුවා හෝ ජයන්ති නිසා දැයි මා නොදනිමි. එහෙත් හිතේ කොණක වත් නැතිවී තිබී හම්බ වූ රුපියල් දෙදහස ගැන නම් ප්‍රීතියක් නොඉපදුණු වග නම් සහතිකය.

Wednesday, January 11, 2012

ක්‍රස්ටේෂියාවෙකුගේ ප්‍රේමය


පරම්පරා ප්‍රත්‍යාවර්ථනයක
නැවතුණ
හයිඩ්‍රාවෙකුගෙ හිත හදන්න
ක්‍රස්ටේෂියාවෙකුට කවදාවත්
පුළුවන් වෙන එකක් නෑ..
අපි නොදන්නවයැ
ඇඩම්සියයි
තාපස කකුළුවයි ගැන..

මේකත් ඒ ලෙවල් කාලෙ පාඩම් කරනකොට ලියපු කවියක්. පුලුවන් විදිහට තේරුමත් දාන්නම්. නැත්තන් මඤ්ඤමේ උපරිමේ නේ..


හයිඩ්‍රාවන් අයත් වෙන්නෙත් මුහුදු මල්, බුහුබාවන්, ජෙලි ෆිෂ්ලා අයත් වෙන සිලින්ටරේටා සත්ව කොට්ඨාශයට. හයිඩ්‍රාවන් සිය ජීවිත කාලය තුළම පරම්පරා ප්‍රත්‍යාවර්ථනයට ලක් වෙනවා. ඒ කියන්නේ මොවුන්ගේ අංකුරයකින් නැවත් හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. නැවත ඒ හයිඩ්‍රාගේ අංකුරයකින් තවත් හයිඩ්‍රාවෙක් ඇති වෙනවා. මේක චක්‍රයක්. මේ පරම්පරා ප්‍රත්‍යාවර්ථනයේ හිරවෙච්ච හයිඩ්‍රාවෙක්ට ප්‍රේමයක් ගැන හිතන්න නිදහසක් තියෙනවද.

ඇඩම්සියා කියන්නෙත් හයිඩ්‍රා වගේ මුහුදු මලක්. මලක් වගේම තමා ඒත් පණ තියෙනවා. උන්ගේ දහස් ගාණක් තියෙන කෙඳි වගේ අඬු අතරට පීනගෙන එන පුංචි මාළු හා කුඩා ප්‍රාණීන් තමා මුන්ගෙ ආහාරය වෙන්නෙ. උන්ට කෑම ළඟට එනකල්ම ඉන්න වෙනවා පීනන්න බැරි නිසා.

ක්‍රස්ටේෂියාවන් කියන්නෙ ඉස්සො, කකුළුවො, පොකිරිස්සො අයත් වෙන සත්ව කොට්ඨාශය. තාපස කකුළුවා කියන්නෙ මේ වගේ ක්‍රස්ටේෂියාවෙක්ට.

මුගේ තියෙන විශේෂත්වය තමයි උගේ පිටේ තියෙන කටුව උඩ අර ඇඩම්සියාව තියාගෙන ඉන්න එක. ඒකෙන් උන් දෙන්නටම ප්‍රයෝජනයක් තියෙනවා. ඇඩම්සියාට ඉන්න තැනක් ලැබෙනවා. ඇඩම්සියා නිසා එතෙන්ට ඇදිලා එන කුඩා මාළුන්ව තාපස කකුළුවාට ආහාරයට ගන්න පුලුවන් වෙනවා.

දෙන්නට දෙන්න සහයෝගයෙන් ජීවත් වෙනවා තමා. ඒත් අලිංගික ප්‍රජනනයෙන් තමන්ගෙ වර්ගයා බෝ කරන ඇඩම්සියාගෙ හිතේ ප්‍රේමයක් ඇති කරවන්න කවදාවත් ක්‍රස්ටේෂියාවෙක්ට පුළුවන් වෙයිද?

Sunday, January 8, 2012

අනේ කොල්ලනේ උඹලගෙ ලෝකය


වැඩ ඇරිලා පාරට බහිද්දිත් යන්තම් වැහි පොද දෙක තුනක් වැටි වැටි තිබ්බෙ. වැස්ස වැඩි කරන එකක් නෑ කියල හිතුවත් ටික දුරක් ඇවිදන් යද්දි ඇඟට දැනෙන ගානට වැස්සක් පටන් ගත්තා.

පුංචි කාලෙ ඉඳන්ම මම වැස්සෙ තෙමෙන්න ආස නෑ. මම අවුව වැස්ස අඳුරන්නෙ නැති පොෂ් කෙල්ලෙක් නෙමෙයි. ගමේ ඉපදිලා ගමේම හැදුණු වැඩුණු කෙනෙක් උනත් වැස්සෙ තෙත බරියන් වෙන එක මගෙ හිතට ගෙනාවෙ හැමදාම කියාගන්න බැරි අපුල හැඟීමක්.

ඉතින් මම ඉක්මනට කුඩේ ඉහල ගත්තෙ තව ටිකක් මේ විදිහට ගියොත් හොඳටම තෙමෙන්න වෙන නිසා.

ඒ වෙලාවට පාරෙ හුඟක් අය යනවා. මේ වෙලාවට පාර ජනාකීර්ණ වෙන එක අරුමයක් නෙමෙයි. ඒත් මේ වැස්ස අස්සෙ වෙනද නොපෙනිච්ච විශේෂයක් මම පහුවෙන මිනිස්සු අතරෙ දැක්කා.

මේ තරම් වහිද්දිත් ගැහැණු අය විතරයි කුඩ ඉහළගෙන යන්නෙ. මට මූණට හම්බවෙන කොල්ලොත් මාව පහුකරගෙන යන කොල්ලොත් වැස්ස වැටෙනවා කියලා හැඟීමක් වත් නැතුව ඔහේ යනවා. මෙච්චර වහිද්දිත් මේ එක කොල්ලෙක්ටවත් තෙමෙනවා කියලා දැනෙන්නෙ නැද්ද ඇත්තට.


මම දන්න හුඟක් පිරිමි ගෙදරින් එලියට බහිද්දි කුඩයක් අරන් යන්න වෙනවා කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම ලැජ්ජාව විදිහට සලකන්නෙ. වදෙන් පොරෙන් හරි කුඩයක් ඇඟේ ගැහුවොත් යන තැන ඒක දාලා එනවා. ඊට පස්සෙ ඔහේ තෙමි තෙමි පාරෙ යනවා. මොර සූරන වැස්සක් වැස්සොත් විතරක් වැස්ස අඩු වෙනකල් හෙවණකට වෙලා ඉන්නවා. ඒත් යන ගමනට ඇඳුම තෙත බරියන් වෙන එක අවුලක් නැත්තන් අර නා කපන වැස්සෙ උනත් ඔහේ ඇවිදගෙන යනවා. මම බොරුද කියන්නෙ.

අනේ කොල්ලනේ, උඹලගෙ ලෝකෙ කොච්චර සැහැල්ලුද..

Monday, January 2, 2012

නත්තල් කේක් කන්න නත්තල් එනකල්ම ඉන්න ඕනෙද


අලුත් අවුරුද්දෙ මගෙ පලවෙනි පෝස්ට් එක. අලුත් අවුරුද්ද උනත් පරණ පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නෙ. නත්තල් පහු උනාට කමක් නෑ. නත්තල් එනකල්ම ඉන්න ඕනෙ නෑනෙ නත්තල් කේක් කන්න. කෝ ඔය දියවැඩියාකාරයො ටික පැත්තකට උනා නම්.

ඉස්සෙල්ලාම අවශ්‍ය ද්‍රව්‍ය බලමු.

1. බටර් 250gයි.

2. සීනි කුඩු 400gයි. Soft Sugar කියලා කියන්නෙ ඕවට තමා. ඒවා හොයාගන්න බැරි උනොත් සීනි ග්‍රයින්ඩරෙන් කුඩු කරගෙන ගත්තත් කමක් නෑ.

3. බිත්තර 4යි.

4. රුලං 200gයි.

5. රට ඉඳි 250gයි.

6. බ්ලැක් කරන්ට්ස් 50gයි.

7. වියලි මිදි 150gයි.

8. කජු 150gයි.

9. ඉඟුරු දෝසි 125gයි.

10. පුහුල් දෝසි 400gයි.

11. චව් චව් 250gයි.

12. කැන්ඩිට් පීල්ස් 125gයි.

13. මික්ස් පීල් 50gයි.

14. සිට්රස් පීල් 50gයි.

15. චෙරි 200gයි.
මේවා නම් ඔය කේක් බඩු විකුණන කඩවල් වලින් නැත්තන් සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.

16. ගෝල්ඩන් සිරප් ම්ලි ලීටර් 100යි.

17. ජෑම් මේස හැඳි හතරක් පහක් විතර.

18. බේකිං පවුඩර් තේ හැඳි 1/2යි.

19. වැනිලා ආමන්ඩ් එසෙන්ස් ටිකක්

20. මී පැණි මිලි ලීටර් 100යි.

21. තව බ්‍රැන්ඩි හරි අරක්කු හරි මිලි ලීටර් 100කුත් ඕනෙ.

ඔය අපේ (අ)මද්‍යප මහත්තුරු ටිකට කොරන්න තියෙන්නෙ ඔය බඩු ටික නෝනලට ගෙනත් දීලා ඉතුරු වෙන බ්‍රැන්ඩි කොටෙත් එක්ක පැත්තකට වෙලා ඉන්න එක තමා.

ඉස්සෙලාම පළතුරු ටික සිහින් කැබලි වලට කපාගන්න. ඔන්න පින්තූර ටික.






ඒකට එසෙන්ස් වර්ග, ගෝල්ඩන් සිරප්, මී පැණි, ජෑම් එකතු කරන්න.

අවසානයට බ්‍රැන්ඩි ටිකත් එකතු කර ගන්න.



දැන් හොඳින් මිග්‍ර කරගන්න.

ඔය මිශ්‍රණය පේන්නෙ මෙහෙමයි.



මේක භාජනයකට දාලා ලන්ච් ෂීට් එකකින් වහලා දවස් තුනක් තියන්න. හැබැයි කූඹින්ගෙන් බේරගන්න එක ඔයාලගෙ වැඩක්. කූඹි හිටු කියලා දුවගෙන එන්නෙ.

දවස් තුනක් ගියාට පස්සෙ කරන්න තියෙන්න ටික මේ.

ඉස්සෙල්ලාම රුලං ටික කබලෙ බැද ගෙන නිවෙන්න තියන්න.

බටර් එක්ක සීනි මිශ්‍ර කරලා හොඳින් ගසා ගන්න. ඒකට බිත්තර කහ මද එක්කරමින් ගසන්න. මේකටම රුලං ටිකත් දාගන්න. මේකට අර පළතුරු මිශ්‍රණය එකතු කරගන්න. බේකිං පවුඩර් ටිකත් දාන්න. අන්තිමට බිත්තර සුදු මදය ටික ටික එකතු කරගන්න.

කේක් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් තැටි වලට දාලා පෝරණුවක පුලුස්සා ගන්න.



මේ තියෙන්නෙ අන්තිම ප්‍රතිපලය. වෙඩින් කේක් රසම තමා එන්නෙ.



පෝරණුවෙ ෆැරන්හයිට් 175ක උෂ්ණත්වයක විනාඩි 45ක් කේක් එක පුලුස්සා ගන්න.

ඉතින් වෙලාවක හදලා බලන්න. ටිකක් මහන්සි වෙන්න නම් වෙනවා. ඒත් ඒ මහන්සිය අපතෙ යන්නෙ නම් නෑ.

ප.ලි. වයින් එක නම් කියලා වැඩක් නැත. බඩජාරී කමට ඉඩ නොදී වයින් රස විඳින හැටි උගත්තෙමි.

Wednesday, December 21, 2011

නත්තල සහ වයින්


නත්තල ටිකෙන් ටික ළං වෙනවාය. මට නං සම්පූර්ණයෙන්ම නැතත් බාගෙට නත්තල් ඇත්තේය. ඒ මක් නිසාද යත් සජිත්ට නත්තල් ඇති නිසාය.

පහුණු දවස් ටිකේ නත්තල් ගහේ එල්ලන්නට පාට පාට බඩු ගන්නට කකුල් කැඩෙනකල් ඇවිද්දෙමු. ලස්සන බව ඇත්තය. නමුත් ගණන් ඇසූ කල පාට ඇඳුමක් ඇඳගෙන නත්තල් ගහේ එල්ලී ඉන්නට ඇත්නම් ඊට වඩා අගනේ යැයි සිතෙන්නේය. ඒ තරමට ඒවා අස්ප ගණන්ය.


අවුරුදු ගාණක් හිතාගෙන හිටියාට හදන්නට බැරි වූ නත්තල් කේක් එකේ නම් මෙදා පොටේ රෙසිපි එක අහු විය. දෙන්නම් බැටේ කියාගෙන නත්තල් කේක් එකට බඩු ගන්නට ගිය විටද ඒවායේ ගණං වලට සිහි මූර්ජා තත්වයට තව පොඩ්ඩෙන් පත් වන්නේය.

ඒත් කෙසේ හෝ ග්‍රෑම් 250 ගන්නට ඕනෑ ඒවාට ග්‍රෑම් 100 බැගින් හෝ අරගෙන කේක් හදන පරම අදිටනින් සිටින්නෙමි. වැඩේ හරි ගියොත් පොටෝ කෑලි සමඟ පෝස්ට් එකක් බලාපොරොත්තු විය හැක. මේ දිනවල දිගට හරහට කෑම ගැන පෝස්ට් දාන උන්ට රිටන් එක දෙන්නේ එසේය. හදිස්සියේ වත් කේක් එක හදාගන්නට බැරි උනොත් මේ කියූ එක උඹලාට අමතක වේවා යැයි පතන්නේය. මන්ද මම බොලාගේ හැටි දන්න නිසාය.


නත්තලට මට නම් දැම්මම තෑගි හම්බ වෙලාය. මෙවර නම් ඉල්ලන්නටත් කලියෙන් වයින් බෝතලයක් අතටම පත් වූයේය. වයිට් වයින් ගැන හීන මවාගෙන හිටි මට ආයෙත් ලැබුණේ රෙඩ් වයින් එකක්මය. කමක් නැත. අලියෙක් ඉල්ලූ අපිට හෙණ්ඩුවක් ලැබුණත් කම් නැතිය.

මෙවර නම් වැදගත් විදිහට බොන්නට තරයේම අදිටන් කර ගෙන සිටිමි. වයින් යනු බඩජාරී කමට බොන දෙයක් නොවන වග පහුගිය පෝස්ට් එකේදී බොහෝ දෙනා පැවසූ වග මතකය. පළවෙනි උගුර බොනතෙක් එය මතකයේ තිබුණත් ඉන්පසු එය අමතක වී යන හැටි නම් පුදුමය. මෙවර ලැබුණේ Cinzano - Rosso වයින්ය. බොන්නත් කලින් ඇල්කොහොල් ප්‍රතිශතය දැක මට වෙරිය.




නත්තල් නිවාඩුව මම නම් අලුත් අවුරුද්ද වෙන තෙක් එක්ස්ටෙන්ඩ් කර ගත්තෙමි. ගමේ ගිහින් එනකල් බ්ලොග් එක පැත්තේ එන්නට වෙන්නේ නැත. මක් නිසාද යත් ගෙදර තිබූ කොම්පියුටරය ජාල සබඳතාවත් සමගම අක්කා දෑවැද්දට ගෙන ගොස් ඇති බැවිණි.

මගේ ලැප් ටොප් එක ටොපේ ටොප් විදිහට බිම වැටී කෑලි දෙකකට වෙන් විය. ලැපේ කෑලි දෙක දිහා බලාගෙන හූල්ල හූල්ලා ඉඳිමි. ස්ක්‍රීන් එක පලු දෙකකට ගැලවී ඇති සැටි නම් බලා ඉන්නට දුකය.

අලුතෙන් ස්ක්‍රීන් එකක් දාන්නට මුං ඒවා ලංකාවට ගෙන්නන කල් බලා ඉන්නට සිදු වේය.
එතකල් මට සොරිය. ස්ක්‍රීන් එකම අලුතෙන් දැමීමද ලේසි නැත. ඕවා ගැන දිගින් දිගටම කල්පනා කරන්නට ගියොත් ඔලුවට ගොංකවඩි කෙටීමට ඉඩ ඇත. ඒ නිසා නිවාඩුවට ගෙදර ගොස් ටීවි එකේ යන නත්තල් පිච්චර් බලන්නට මම හිත හදාගෙන ඉඳිමි.

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවාය. මට අලුත් අවුරුද්දට වෙනම සුභ පතන්නට වෙන්නේ නැති නිසා කලින් සුභ පැතුම දිගු කර ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවායිද පතන්නෙමි.

Friday, December 16, 2011

ආත්මාර්ථකාමී අමන යක්කු


ආත්මාර්ථකාමී මිනිසුන් අභියස
වදනක් නොනැගුවොත්
ඒ අපේ නිවටකමැයි සිතා
උන් අප පාගා දමති..

වදනක් නැගුවත්
උන් අප පාගා දමා
හඬ යටපත් කරති..

උන්ගේ ගල් හිත් සහ
විස කටු වදන් වලින්
අප පමණක්
තුවාල ලැබිය යුතුද?

ඇස් කන් පියාගෙන
උන් කරන්නක් කරවැයි
නිහඬව සිටීම
මගේ ආත්මාර්ථකාමීත්වයද..

Sunday, December 11, 2011

කොම්බුට්ටාගේ සීනි පොල්කොහු


කැම්පස් ආවට පස්සෙ තමයි ලංකාවෙ හතර දිග්බාගයෙන්ම ආපු අයව අඳුර ගන්න ලැබුණෙ. වර්ග කිලෝමීටර් 65000ක් විතර ප්‍රමාණයක් ඇතුලෙ හිටියත් එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට අපේ සංස්කෘතිය, වචන භාවිතය, කෑම බීම උනත් කොච්චර වෙනස් වෙනවද? එකම දේකට ප්‍රාදේශීය වචන කොච්චර තියෙනවද. ඇහුවම මඤ්ඤං වෙලා යන වචනත් ඒ අතර තියෙනවා.

මාතෘකාවට මම දාලා තියෙන "කොම්බුට්ටා" වචනෙ අහලා තියෙද. මම නම් ඔය වචනෙ ඇහුවෙත් මෙහෙ ආවමයි. ෆැකල්ටි එකේ එදා ක්‍රිකට් මැච් එකක්. කට්ටියම පිට්ටනියෙ. මැච් එක පැත්තක. අපි හෙන කයියක. එක පාරට අපේ කොල්ලෙක් කියනවා "අර බලපංකො කොම්බුට්ටො ගොඩ" කියලා. අපිට හිතාගන්න බැරි උනා මොකක් ගැනද මේ කියන්නෙ කියලා. බලද්දි බත්කූරො රෑනක් ඉගිලෙනවා. මුන්ගෙ පැත්තෙ බත්කූරාට කියන්නෙ කොම්බුට්ටා කියලලු. එදා ඉඳන් ඌත් කොම්බුට්ටා උනා.

එක දවසක් බෝඩිමට යන පාරෙ "බොම්බයි මොටයි" විකුණන මනුස්සයෙක් යනවා. ඔන්න අපේ යාලුවෙක් කියනවා "අඩේ සීනි පොල්කොහු කෑවෙ නෑ කාලෙකින්. කමුද" කියලා. මේකි සීනි පොල්කොහු කියල තියෙන්නෙ බොම්බයි මොටයි වලට.කට්ටිය බඩ අල්ලන් හිනා උනා. අරකිට මළ පැනලා කියනවා තොපි අපේ පැත්තෙ ඇවිත් බොම්බයි මොටයි කියපංකො අපේ පැත්තෙ මිනිස්සු හිනාවෙන්නෙ නැද්ද බලන්න. ඇත්ත තමා ඉතින්. ඒ උනත් උඹලගෙ පැත්තෙ මෙච්චර කල් කෑවෙ පොල්කොහු වලට සීනි දාලද කියල නම් නාහා ඉන්න බැරි උනා.

අපේ හොස්ටල් එකේ තිබ්බෙ තට්ටු ඇඳන්. එක දවසක් පල්ලෙහා ඇඳේ ඉන්න එකී කෑ ගහනවා "මේක ගන්න ගන්න. අනේ මේක ගන්න ගන්නකෝ" කියලා. උඩ ඇඳේ ඉන්න එකී කියනවා "මොකද්ද බං දෙන දෙයක් දීපංකො. ගන්න ගන්න කියලා කෑගහන්නෙ" කියලා. බලද්දි උඩ ඇඳේ නෙට් එක පල්ලෙහා ඇඳටම දිග ඇරිලා. පල්ලෙහා ඇදේ කෙනා කියන්නෙ නෙට් එක ඇඳ ඇතුලට ඔබන්න කියලා. උන්ගෙ පැත්තෙ ඒකට කියන්නෙ ගන්න ගන්නවා කියලලු. උඩ ඇඳේ කෙනා හිතුවෙ අරයා මොනාහරි දෙන්න හදනවා. ඉක්මනට ගන්න කියනවා කියලා.

ඇයි පැණි කොමඩු වලට සමහර පැති වල "පත්තක්කා" කියනවා. කලින් මම පත්තක්කා වචනෙ ඇහුවම හිතුවෙ මේ වට්ටක්කා ගැනයි කියන්නෙ කියලා. පස්සෙ තමයි දැනගත්තෙ මේ පැණිකොමඩු කියලා. පැණි කොමඩු වලටම තව පැත්තක සීනි කැකිරි කියනවා.

ඔය ප්‍රාදේශීය වචන නිසා මාත් හොඳවැයින් චාටර් වෙලා තියෙනවා. එක දවසක් හොඳටම වහිනවා. ජනේලෙන් වතුර විසිවෙනවා ඇතුළට. මම යාලුවට කිව්වා "හිරිකඩ එන නිසා ජනේලෙ වහන්නම්" කියලා. මේකි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා මම මොකද්ද මේ කියන්නෙ කියල. වැහි පොද විසි වෙනවට හිරිකඩ කියන්නෙ අපේ පැත්තෙ විතරමද මන්දා. සමහරු තුවාරන් ගහනවා කියලත් කියනවා මම අහල තියෙනවා.

ඒ වගේම තුනපහ වලට "සක්කර" කියලත් මම බයිට් වෙලා තියෙනවා. අපේ පැත්තෙ ඇත්තටම සක්කර කියන වචනෙ පාවිච්චි කරනවා.

සජිත්ලගෙ පැත්තෙත් ඔහොම අමුතු වචන පාවිච්චියක් තියෙනවා. එක දවසක් එයා මොකක් හරි කියනවා කියනවා මම පිළිගන්නෙම නෑ. එක පාරටම කියපි "යකෝ මුන්ට ඇත්ත කියනවට අපිට ගොං කවඩි කොටන්න එපැයි" කියලා. තරහ පැත්තක. මම බඩ අල්ලන් හිනා වෙනවා. ගොං කවඩි කියලා එයාලා කියන්නෙ මයිනොන්ටලු.

එක දවසක අපිට කොහෙන්ද මන්දා අඹ වගයක් හම්බවෙලා. කට්ටිය අඹ කකා ඉද්දි එකියක් අහනවා "ඒ උඹලා අඹ කෝට්ටෙ කන්නෙ නැද්ද" කියලා. කාපු අඹ ඉස්පොල්ලෙ යන්නත් ගියා. අඹ කෝටු කනවයැ. බැලින්නම් මේ කියලා තියෙන්නෙ අඹ ඇටේ කන්නෙ නැද්ද කියලා.

තව මරු වචනයක් තමා "පොක්කලං". අපි දියපට්ටා කියනවා වගේ සමහරු ඒකට කියන්නෙ පොක්කලං කියලා. කීප දෙනෙක්ගෙන් ඒ වචනෙ අහල තියෙනව මම.

එක කාලෙක මම මගෙ ෆෝන් එක විකුණන අදහසකින් හිටියෙ. එක දවසක බැච් එකේ කොල්ලෙක් ඇවිත් අහනවා "මේ උඹ ෆෝන් එක කීයටැයි විකන්නෙ" කියලා. විකනවා කියලා අපි හපනවට කිව්වට උන් විකනවා කියන්නෙ විකුණනවටලු.

ඉතිං වෙලාවකට ඔහොම වචන ඇහුවාම ඔලුවට ගොං කවඩි කෙටුවා වගේ තමා. මට විතරක් නෙමෙයි ඔයාලටත් මෙහෙම අත්දැකීම් ඇතිනෙ. කෝ ලියමු බලන්න පහලින් එහෙනම්..
Related Posts Plugin for WordPress, Blogger...