Pages

Tuesday, August 28, 2012

හීන කතන්දර

මම හැමදාමත් හීන පොදිගහපු කෙනෙක්. සරල හීන වගේම මිල අධික හීනත් තිබුණා. දැනුත් හීන නැතුව නෙමෙයි. ඒත් ඒ කාලෙ තිබ්බ හීන වල හරි සමනල ගතියක් ගෑවිලා තිබුණා.

පුංචිම කාලෙ සුවඳ හමන ලස්සන පාට මකනයක් ගන්න, ස්ටිකර් කොලයක් ගන්න, පැත්තකින් දාර දාර තියෙන අඩිරූලක්, කූරු විසිහතරෙ පැස්ටල් පෙට්ටියක්, කාන්දම් තියෙන පැන්සල් පෙට්ටියක් ගන්න පුදුම ආසාවක් තිබුණා. ඒ දේවල් මට ලැබුණෙ හරි කලාතුරකින්. අම්මලා තාත්තලාට අපි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න වත්කමක් තිබුණෙ නෑ. හුඟක් වෙලාවට ඒ මිල අධික ආසාවල් හීනෙකට පමණක්ම සීමා වුණා.

ඒ කාලෙ තුල් මාරු කරන පැන්සලක් අපේ ගෙවල් වල හැටියට ලොකු ගාණක්. ඒ නිසා ඒ හීනය නිකම්ම නිකං ලී පැන්සලකට සීමා කරන්න වුණා. ඒ සීමාවට කොටුවීම මගේ නම් පුංචි හිතට දරන්නට බැරි වුණා. තුල් මාරු කරන පැන්සල වෙනුවට අතට ලී පැන්සලක් ලැබෙනකොට ඉටු නොවුණු හීන වෙනුවෙන් තාත්තා එක්ක තරහට ඒ කඩේදි යටි ගිරියෙන් කෑ ගහල අඬද්දි තාත්තා කොච්චර අසරණ වෙන්න ඇත්ද කියලා හිතන්න තරම් මගේ සිතුවිලි මෝරලා තිබුණෙ නෑ. ඒත් අද මට ඒ ගැන තියෙන්නෙ සුලු පටු වේදනාවක් නෙමෙයි.

ටික ටික ලොකු වෙනකොට පුංචිම කාලෙ තිබුණු හීන ඊට වෙනස් හීන වලින් ආදේශ වුණා. හයේ හතේදි විතර තිබුණු හීන ලිස්ට් එකට කලු පාට ෆයිල් එකක්, ලෝක සිතියම් පොතක්, තින්ත පෑනක්, කවකටු පෙට්ටියක් වගේ ඒවා එක්කහු වෙලා තිබුණා. ඒ වෙද්දි තාත්තගෙ පඩියෙන් ගෙදර අවශ්‍යතා පිරිමහලා ඉවර උනාම ඉස්සරම ඉල්ලපු තුල් මාරු කරන පැන්සලක් අරන් දෙන්න පුලුවන් වුණාට, කවකටු පෙට්ටියක් අරන් දෙන්න පුලුවන්කමක් නෑ. අවුරුදු හයේදි ලැබුණෙ නැති දේවල් වලට කෑ ගහල ඇඬුවට, දොළහෙදි නොඅඬන තරමට හිත නැති බැරිකම් වලට පදම් වෙලා තිබුණා. එතකොට මම ඉන්නෙ අලුත් අවුරුද්ද වෙනකල්. ගණුදෙනු කරන වෙලාවට අම්මලා තාත්තලාගෙන්, සීයාගෙන්, ආච්චිගෙන්, මාමලාගෙන් හම්බවෙන සල්ලි එකතු කරලා හීන ඉටුකර ගන්න පුරුද්දක් ඇතිකරගෙනයි හිටියෙ.

මම නම් ඉස්කෝලෙදි කොල්ලොන්ට ක්‍රිකට් ස්ටිකර් විකුණලත් සල්ලි හෙවුවා. බොරු නෙමෙයි. පොඩි කාලෙ ඉඳන්ම සංගීතෙ කරපු නිසා මගුල් ගෙවල් වල ජයමංගල ගාථා කියන්න ගිහිනුත් සල්ලි හම්බ කරා. ඇත්තටම ඒක තමයි මගෙ පලවෙනි රස්සාව. සමහර මගුල් ගෙවල් වලින් රුපියල් පන්සීයක් ලැබිච්ච වෙලාවලුත් තිබුණා. රුපියල් පන්සීයක් කියන්නෙ ඒ කාලෙ හැටියට හීන කීපයක් ඉටු කරගන්න පුලුවන් ගාණක්.

තව පස්සෙ කාලෙකදි තිබිච්ච හීනයක් තමයි කඩෙන් ගත්තු ඇඳුම් අඳින එක. අපේ අම්මා ඒ කාලෙ අපිට ගෙදරදිම ඇඳුම් මහලා දෙනවා. දැන් කොච්චර අගේ උනත් ලමිස්සියො කාලෙ ගෙදර මහපු ගවුමක් ඇඳන් යන්න හිත ආස කරේ නෑ. අම්මට කොච්චර දුක හිතෙන්න ඇද්ද ලස්සනට මහලා බොත්තම්, රේන්ද අල්ලලා දුන්නු ගවුමක් අඳින්න බෑ කියද්දි. ඒ දුක අපේ විසේකාර හිත්වලට ඒ කාලෙ දැනුණෙ නැති වුණාට දැන් නම් මගෙ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවීමක්. ඒවා ආපහු නිවැරදි කරන්න බැරි විදිහට වෙච්ච වැරදි.

සංගීත පිස්සුව ඔලුවටම ගහපු කාලෙ තිබුණු ලොකුම හීනෙ තමයි සිතාර් එකක් ගන්න එක. මම කොච්චර අම්මලට කරදර කරන්න ඇත්ද. අම්මට හම්බවෙන සීට්ටුවක් එකතු කරලා තමයි සිතාර් එක අරන් දුන්නෙ. ඒ කාලෙත් ඒක පහලොස්දාහක්. අම්මා සීට්ටුවෙන් මොන දේවල් කරන්න හිටියද කියලා මට හිතුණෙ නෑ. මේක අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක දැනුනෙ නෑ. තිබුණු එකම දේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ කියන උමතුව විතරයි.

සිතාර් එක අතට හම්බුණා. මට ලෝකයක් ලැබුණා වගේ. ඇත්තට එහෙමත් කාලයක්. ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ සතියෙ හුඟක් දවස් ගෙවුණෙ සංගීත පන්තියෙ. දිස්ත්‍රික් තරඟ, පළාත් තරඟ, සමස්ථ ලංකා තරඟ. ඔය හීන වලිනුයි හිත පිරිලා තිබුණෙ. සිතාර් එකේ තත් වලට පිරිමැදිලා වම් අතේ දබර ඇඟිල්ලෙයි මැද ඇඟිල්ලෙයි කාණු හැදිලයි තිබුණෙ.

ඒත් ඕනෙම හීනෙකට එක්තරා කාලෙකින් පස්සෙ වටිනාකමක් නැතුව යනවා. සිතාර් එකටත් ඒකමයි උනේ. ඕලෙවල් වලින් පස්සෙ පැත්තකින් තියපු සිතාර් එක අවුරුදු දහයකින් මම අල්ලලාවත් නෑ කිව්වොත් ඔබ පුදුම වේවි. ඒත් හැමදේම තාවකාලිකයි. ඒ කාලෙ පහලොස්දාහ හැටියට අම්මට චේන් පොටක් ගන්න තිබ්බා. වළලු ජෝඩුවක් ගන්න තිබ්බා. ඒත් අම්මා එයාගෙ හීන යටපත් කරලා මගෙ හීනෙට ඉඩ දුන්නා. ඉතින් හිත පසුතැවෙන එක වළක්වන්න පුලුවන්ද.

කාලෙ ගෙවිලා ගියා. හීන අලුත් උනා. කාලයත් එක්ක හීන වෙන වෙන හීන වලින් ආදේශ උනා. හීන වලට ආයු කාලයක් තියෙනවා කියන්නෙ බොරු නෙමෙයි. අද තුල් මාරු කරන පැන්සලක් කවකටු පෙට්ටියක් කියන්න්නෙ තව දුරටත් මට හීනයක් නෙමෙයි. ඒත් ඒ කාලෙ සමනල හීන වලට දැන් ආදේශ වෙන්නෙ හරි බරපතල හීන.

ඔබටත් ඉටු කරගන්න බැරි වෙච්ච හීන ඇති. දුක් වෙන්න එප. කාලයක් ගත වෙද්දි ආපහු හැරිලා බලද්දි හීන අවලංගු වෙන බව දැනේවි. සමහරවිට ඉටුකරගත්තු හීන වලට ඉටු කරගත්තු හීන වලට පස්සෙ කාලෙක පසුතැවීමකුත් එකතු වෙලා තියේවි. ඒත් අමතක කරන්න එපා. ජීවිතේ එක් එක් කාලවලදි අපට ජීවත් වෙන්න අරමුණු සපයන්නෙත් ඒ හීනම තමයි.

Thursday, August 23, 2012

පර්දාවෙන් වැසුණු තහනම් ආදරය

"මගේ නිවස මම පිරිසිදු කරලයි තිබෙන්නේ, ඒකයි මා කරල තිබෙන්නෙ. මගේ පවුලේ කුණුවී ගිය කොටස කපා ඉවත් කර නිවසට නැවත ගෞරවය රැගෙන විත් තිබෙනවා."

මේ වහසි බස් දොඩන්නේ වෙනත් ආගමක තරුණයෙකු හා පෙමින් බැඳි වරදට, තම දියණියට පිහියෙන් ඇන මරා දමා, තම පවුලේ 'නම්බුව' බේරා ගත් 'වීර' පියෙකුයි. ඔව්. ජෝර්දානයේ 'බෙඩුඉන්' නීතියට අනුව ඔහු කර ඇත්තේ වරදක් නොවේ. තම පවුලේ නම්බුව වෙනුවෙන් කැපවුණු වීරයෙකු ලෙස උසාවියෙන් ඔහුට ප්‍රශංසා හිමිවේ.

මා ජාතිවාදියෙකු නොවේ. ආගම්වාදියෙකුද නොවේ. එහෙත් Norma Khouri විසින් රචිත 'Forbidden Love' නම් කෘතිය කියවාගෙන යද්දී මනුෂ්‍යත්වය වෙනුවෙන් මගේ ලේ රත්වෙනු වලක්වා ගත නොහැකි විය. මෙම කෘතිය එල්.එස්.එස්. පතිරත්න විසින් 'කාන්තාරයේ අහිංසකාවිය' ලෙස සිංහලයට පරිවර්තනය කර ඇත.

මෙම කෘතියට පදනම් වී ඇත්තේ කතුවරිය මුහුණ පෑ සත්‍ය සිදුවීමකි. එය ශතවර්ෂ ගණනාවකට පෙර දුරබැහැර ගෝත්‍රික ගම්මානයක නොවේ. විසි එක්වැනි සියවසේ අධිතාක්ෂණික නවීකරණයට යටත්ව ඇති ජෝර්දානයේ අම්මාන් අග නගරයේ සිදුවීමකි. මෙය එක් හුදකලා සිදුවීමක්ද නොවේ. වසර සිය ගණනක් පුරා අරාබි රටවල දිනපතා සිදුවෙමින් පවතින බිහිසුණු ක්‍රියාවලියක එක් සිදුවීමක් පමණි.

කතුවරිය වූ නෝමාගේ හොඳම යෙහෙළිය වූ 'ඩාලියා' අති සුන්දර මුස්ලිම් යුවතියකි. ඈ අහම්බයෙන් ප්‍රේමයේ බැඳෙන්නේ කතෝලික තරුණයෙකු වූ 'මයිකල්' සමඟය. අන්‍යාගමික ප්‍රේමයක් එවැනි රටක මුස්ලිම් ජීවිතයකට ඇතුළු වීම යනු මරණයට අත වැනීමක් බව දැන දැනත් නෝමා ඩාලියාගේ ප්‍රේමයට උදව් කරයි.
 
ඩාලියා හා මයිකල් තම ප්‍රේමයට ජෝර්දානය තුළ පැවැත්මක් නැති බව දැන නෝමාද සමඟ රටින් පිටවීමට උත්සාහ දරති. එහෙත් දඩ බල්ලන් සේ සිය සොයුරියගේ ජීවිතයට ඉව අල්ලමින් සිටි ඩාලියාගේ සොහොයුරන් මෙය දැන ගනියි. කෝපාවිෂ්ඨ වූ ඩාලියාගේ පියා සිය දියණියගේ 'නොහොබිනා' හැසිරීම නිසා නැතිවී ගිය පවුලේ ගෞරවය ආරක්ෂා කරගනු වස් ඈට පිහියෙන් ඇන මරා දමයි. එය එපමණකටම සරලය. මනුෂ්‍ය ජීවිතයක් ඔවුනට එපමණටම නොවටින්නේය.
 
කතුවරියට අනුව ජෝර්දානය බහුතරයක් ගැහැණුන්ට කලහකාරී සිර මැදිරියකි. තමාගේ ආදරණීයන්ගේ දෑතින්ම මරණයට පත්වීමේ අවිනිශ්චිත අවදානමට ඔවුහු සැමවිටම මුහුණ දෙමින් සිටිති. ඔවුහු නිශ්ශබ්ද සිහින දකින්නියන් වන තරමට ජීවිතය ආරක්ෂිතය.

රැකගැනීමට උත්සාහ කළ නම්බුව ඉක්මවා ගිය ආදිකල්පික කෲරත්වය පිළිබිඹු කරමින් ඩාලියාගේ සිරුර තුළට දොලොස් වතාවක් පිහියෙන් ඇන තිබිණි. පිහියෙන් ඇනීමෙන් පසු ඇයගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වග ස්ථීර කරගන්නා තුරු ගිලන් රිය කැඳවීමට ඔවුහු කල්මරමින් පසුවී තිබිණ. තත්වය මෙසේ තිබියදී පැය කිහිපයක් ෂාරියා උසාවියේ ගත කිරීමේ අපහසුව හැරුණු විට මිනීමරුවා කිසිදු දඬුවමකට යටත් නොවේ. එපමණක් නොව, පවුලේ නම්බුව උසස්කොට සලකා ක්‍රියාකිරීමට ඔහු තුළ තිබූ ධෛර්යය සම්බන්ධයෙන් උසාවිය ඔහුට ගෞරවය පුදකර සිටියි.

කතුවරිය සතු සංඛ්‍යාලේඛණ වලට අදාලව ලොව පුරා නම්බුව උදෙසා මරාදමන ගැහැණුන්ගේ සංඛ්‍යාව වසරකට 5000 ඉක්මවයි. එයින් බහුතරය ජෝර්දානයෙන්ය. අනාචාරයේ හැසිරෙන හෝ අනාචාරයට යොමුවිය හැකි ලෙස කටයුතුකරන ස්ත්‍රී ඥාතීන් මරා දැමීමට ඔවුන්ට නීතියෙන්ම ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. මෙහි අනාචාරයට යොමුවිය හැකි ක්‍රියාවක් ලෙස ආගන්තුකයෙකු සමඟ කතාකිරීම වුවද ප්‍රමාණවත්ය. දුරාචාරවත් ලෙස හැසිරී ඇතැයි යන හුදු කටකතාවක් හෝ සැක කිරීමක් වුවද මීට අදාලය.
 
තවත් ලියන්නට දේ ඇතුවා නොවේ. මගේ කලහකාරී සිත තවම නිවී නැත. එහෙත් යම් ආගමකට ඇඟිල්ල දිගුකිරීමට මට අයිතියක් නැත. මිනිසෙකුට කිනම් හෝ ආගමක් ඇදහීමේ අයිතිය ඇත. එක් එක් ආගමෙන් ලැබෙන නිදහසද වෙනස් විය හැක. ආගමක් සංසන්දනය කිරීමට මට අවශ්‍ය නැත. මන්දයත් ආගම ජාතිය අතහැරිය විට අප සියල්ලෝම ඇට මස් ලේ වලින් සැදි මනුෂ්‍යයෝ වන බැවිනි. ඒ මනුෂ්‍යත්වයට ගෞරව කිරීමට මෙන්ම ගෞරවය පෙරලා ලැබීමටද අපට අයිතියක් ඇත. පොත කියවා බලා ඒ මනුස්සකමට ලැබිය යුතු වටිනාකම තක්සේරු කල හැක්කේ කෙසේදැයි තීරණය කිරීම ඔබට බාරය.

Tuesday, August 14, 2012

ප්‍රී වෙඩිං නාඩගං 3 - නිශ්ශබ්ද වචන


නිමිත්ත :- අපගේ විවාහය ද්වී ආගමික විවාහයක් වුවත් විවාහ ලියාපදිංචිය පල්ලියේදී කළ යුතු බව පල්ලියේ පියතුමා පවසයි.

තාත්තා - ඕකනෙ මම මුලින්ම කිව්වෙ. මේවා මහ කරදර වැඩ.

මම -

තාත්තා - පෝරුවෙ විතරක් ගත්තා නම් නෑනෙ මේ වදයක්.

මම -

තාත්තා - රෙජිස්ට්‍රේෂන් එකට නැකතක් හැදුවා නම් ඒ නැකතට ඒ කටයුතු කරන එකයි කළ යුත්තෙ.

මම -

තාත්තා - නැකැත් නොසලකා මේවා කරන්න පුලුවන්ද හිතිච්චි හිතිච්චි වෙලාවට.

මම -

තාත්තා - අපි හොඳ සිංහල බෞද්ධ මිනිස්සු.

මම -

තාත්තා - අපේ පරම්පරා වල කවුරුත් නොකරපු වැඩ මේවා.

මම -

තාත්තා - නෑයො හිනා වෙයි අපිට.

මම -

තාත්තා - එක්කො රෙජිස්ට්‍රේෂන් එක නැකතට ගන්නවා. නැත්තන් උඹලා පල්ලියේ කටයුතු මම නැතුව කරගනිල්ලා.

මම- ---------------------------------------------------------------------------------------------------

පසුව,
තාත්තා - මොකද සද්ද නැත්තෙ?

මම -

තාත්තා - මොකද වෙලා තියෙන්නෙ?

මම -

---------------------------------------------------------------------------------------------------

ඊටත් පසුව,

තාත්තා - කමක් නෑ. අපි පල්ලියෙ රෙජිස්ට්‍රේෂන් ගන්න කැමතියි කියන්න.

නිශ්ශබ්දතාවයටද වචන ඇති බව අවසන මම පසක් කර ගතිමි.

Tuesday, July 31, 2012

සුදු ලූණු ගෙම්බා

සුදු ලූණු. එක එක අය අඩු වැඩි වශයෙන් කැමති කෑමක්. මගෙ නම් ප්‍රියතම කෑමක්. පුච්චපු සුදු ලූණු තමා මගෙ ෆේවරිට්. සුදු ලූණු තනිකර වෑංජනයක් විදිහට හදලත් ආසයි. බයිට් පැකට් එකක් කන්න ගත්තත් සේරටම කලියෙන් අර බැදලා දාපු සුදු ලූණු කෑල්ල ගන්නයි ට්‍රයි එක. අපේ ගෙදර කට්ටිය ගත්තත් හැමෝම සුදු ලූණු පෙරේතයො. අපේ ප්‍රධාන කෝකියා හෙවත් තාත්තා මොනා හරි කෑමක් හදන්න ගත්තොත් සුදු ලූණු ගෙඩි බාගයක්වත් දානවා. මම තනියම බෝඩිමේ උයන්න ගත්තත් නූඩ්ල්ස් එකක් හැදුවත් සුදු ලූණු ටිකක් පොඩියට කපලා දාන්නෙ ගෙදර පුරුද්දට.

පොඩි කාලෙ හෙම්බිරිස්සාව හැදුණාම බොන්න දෙන කොත්තමල්ලි එකටත් අපෙ අම්මා සුදු ලූණු බික් දෙකක් තුනක් දානවා. කෝප්පෙ අඩියෙ තියෙන තැම්බිච්ච සුදු ලූණු බික් දෙක තුන කන්න ඕනෙ කම නිසා කොත්තමල්ලි එක නහය වහගෙන උගුරට දෙකට ඇදලා දාන්නෙ. පොඩි කාලෙ මොකෝ දැන් උනත් සුදු ලූණු ට්‍රික් එක දාලා තමයි අම්මා කොත්තමල්ලි අපිට පොවන්නෙ. 

මගේ ඔය සුදු ලූණු පෙරේතකම ඉස්සර අපේ ඉස්කෝලෙ යාලුවො සෙට් එකත් දන්නවා. උන් එක්ක පොර කාලා බත් කනකොටත් වෑංජන වලට දාලා තියෙන සුදු ලූණු ටික උන් එකතු කරල මට දෙනවා ඉඳා කාපන් කියලා. හැබැයි මම ඒ ටික කාලා ඉවර වෙද්දි මේ යක්කු බත් එකටත් වැඩේ දීලා ඉවරයි. 

හැබෑටම එහෙමත් කාලයක්. ඉස්කෝලෙ ආපු වෙලේ ඉඳලා ඇරෙනකල් හරියට දෙයක් කරා නම් ඒ කාපු එකම විතරයි. පලවෙනි පීරියඩ් එකේ ඉඳන්ම කනවා. කකා ඉද්දි ගුරුවරයෙක් ආවොත් මොන අත හේදිලිද එහෙම්මම කොලේකින් අත පිහිදගෙන පාඩම අහගන්නවා. පීරියඩ් එක ඉවර උනාම ආයෙත් නතර කරපු තැනින් කෑම පටන් ගන්නවා. කොල්ලොත් එක්ක අපිට හැරෙන්නවත් පුලුවන්ද කන්න ගියාම. උන්ගෙ බත් කටක් අපේ බත් කටවල් පහක් විතර. ඒ මදිවට පොර කකා කනකොට ඔලුවෙත් එක්ක බත්. සුදු ලූණු බිකක් අරන් ගියපු දුරක්. 

ඉතින් සුදු ලූණු ගැන කිව්වොත් මම උපන්ගෙයි පෙරේතයෙක්. ඒකට අපේ සජිත්. සුදු ලූණු සුවඳක්වත් ආවොත් එතනින් එහාට කන එකත් නවත්තනවා. පුදුම අප්පිරියාවක් තියෙන්නෙ. මෙයා ගෙදර එන දවසට අපේ ගෙදර සුදු ලූණු බොතලේ පියනවත් අරින්නෙ නෑ. මේ තරම් සුදු ලූණු අප්පිරියාකාරයෙක් දැක්කමයි. 

මේ අප්පිරියාවටත් ලොකු හේතුවක් තියෙනවා. සජිත් පොඩි කාලෙ ඉස්කෝලෙන් එයාලට කෑම දෙනවලු. එක දවසක් හරි රසට පරිප්පුවක් හදලා තිබ්බලු. හැමෝම රස කර කර කෑවලු. ඒකෙන් සුදු ලූණු රසක් ඇවිත් තියෙන්නෙ. කාලා ඉවර වෙලා කැන්ටින් එක පැත්තෙ හරි කලබලයක්ලු. පොඩිකමට මෙයාලත් ගිහින් ඔලුව දාන්න. හපොයි බැලින්නම් පරිප්පු හැලියට ගෙම්බෙක් වැටිලා. ගෙම්බගෙ කෑලිත් පාවෙනවලු. ගෙම්බගෙ රස තමයි සුදු ලූණු වගේ මෙයාට දැනිලා තියෙන්නෙ. එදා ඉඳන් තමයි සජිත්ට මේ තරම් සුදු ලූණු අප්පිරියාව. 'සුදු ලූණු' කිව්වොත් 'බුදු අම්මෝ ගෙම්බා..' කියාගෙනයි දුවන්නෙ.

Wednesday, July 25, 2012

විලිලැජ්ජා සහගත සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණයක් සමත් වෙන්න කාරණා කීපයක් බලපානවා. තමන්ගේ සුදුසුකම්, දක්ෂකම්, අවස්ථානුකූල හැසිරීම, වාසනාව වගේම පරීක්ෂක මණ්ඩලයේ ඉන්න අයට තමන් ගැන ඇති වන පළමු හැඟීමත් ඉතාම වැදගත් වෙනවා. 

ළඟදි දවසක එක්තරා විශ්ව විද්‍යාලයක එක්තරා රැකියාවකට මම අයදුම් කළා. ටික කාලෙකින් සම්මුඛ පරීක්ෂණේකට කැඳවීම් ලිපියත් ලැබුණා. යනවද නොයනවද කියලා හිතින් එහෙට මෙහෙට ඇද ඇද ඉඳලා ඔන්න ඔහෙ යනවා කියලා හිතා ගත්තා. 

යන්න සූදානම් වෙද්දිත් බාධා ගොඩයි. සේවා සහතිකයක් ගන්න වින්ද දුකක්. ඉන්ටර්විව් එකට කලින් දවසෙ පහත් පහුවෙලයි ඒක හම්බවෙනකොට. උපාධි සහතිකේ ෆොටෝ කොපි ගහන්න ගියපු කඩේ දාලා ඇවිත් හවස ආයෙත් ගිහින් අරන් ආවෙ. කඩේ මිනිස්සුන්ට සිහිය තිබ්බ නිසා හොඳයි මට වගේ නොවී. 

උදේ ඇහැරෙන්නත් පරක්කු උනා. සාරිය අඳින්න ගිහිනුත් පරක්කු උනා. අදාල විශ්ව විද්‍යාලයට ගියාට අදාල කාර්යාලය හොයාගන්නත් පරක්කු උනා. ඔහොම බාධා වෙවී ඉහින් කණින් දාඩිය පෙරාගෙන ඉන්ටර්විව් එක තියෙන තැනට ගියා. 

මම යනකොටත් ඉන්ටර්විව් පටන් අරගෙන. මගේ නම කතා කරන්න තව වෙලා තිබ්බ නිසා ෆෝන් එකේ ගේම් එකක් ගගහ හිටියා. 

ටික වෙලාවකින් නම කතා කරා. සහතික තියෙන ෆයිල් එකයි පර්යේෂණ පත්‍රිකා ඇතුළත් පොතුයි අරගෙන ඇතුළට යන්න ලෑස්ති උනාට ෆෝන් එක බෑග් එක ඇතුළට දාගන්න අමතක උනා. ෆෝන් එක අතේ කියලා මතක් උනේ දොර අරිද්දියි. ඉක්මනට බෑග් එකට දාගන්නත් බෑ අතේ බඩු වැඩියි. සාරියක් ඇඳලා නිසා සාක්කුවකට දාගන්නත් නෑ. 

මේ ඔක්කොම කල්පනා එක්ක ඇතුල් වෙද්දි තමයි නොවිය යුතු දේ සිද්ධ වුණේ. දොර ගාව තිබිච්ච පාපිස්සෙ කකුල පැටලුණා. අතේ තිබුණු ෆෝන් එක බිම වැටුණා. කෑලි හතර පැත්තට විසි වුණා. ඉක්මනට බිම වැටිච්ච ෆෝන් කෑලි ටික අහුල ගන්නයි හැදුවෙ මම. 

ඒත් අවාසනාව වළක්වන්න පුළුවන්ද. ඉස්සරහට එක කකුලයි හිබ්බෙ කකුලෙ වැදිලා ෆෝන් එකේ බැට්රිය සුරුස් ගාලා ගිහින් නතර වුණේ උප කුලපතිගෙ කකුල් දෙක ළඟ. ඒසී එකේ මට දාඩියත් දැම්මා. ඉන්ටවිව් බෝඩ් එකේ ඔක්කොම අයගෙ ඇස් මා ගාව. රස්සාව ගැන තිබිච්ච අන්තිම බලාපොරොත්තුවත් ඉස්සරහින් තියෙන සමච්චල් සහගත, වික්ෂිප්ත, කරදරකාර ඇස් ඉස්සරහ බොඳ වෙලා ගියා. 

ෆෝන් එකේ කෑලි ටික අහුලලා අවඥා සහගත බැල්මෙන් හිටි උපකුලපතිගෙ අතින් බැට්රියත් අරගෙන එතන මේසයක් උඩින් තියලා අදාල පුටුවෙ වාඩි උනත් හිත හොඳටම කලබල වෙලයි තිබ්බෙ.  මට උවමනාව තිබ්බෙ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වැඩිය එතනින් පිට වෙලා යන්න. අහපු දේවල් වලට මම මොනවා කිව්වද දන්නෑ. 

කෑලි වෙලා ගියපු ෆෝන් එකයි බලාපොරොත්තුයි එක්ක දොර පිටිපස්සෙන් වැහෙද්දි නම් පුදුම සැනසීමක් දැනුණා. මගෙ ජීවිතේ මම මූණ දීපු විලිලැජ්ජා සහගතම සම්මුඛ පරීක්ෂණය මේක තමයි.

මොනවා වුණත් මම සෑහෙන පාඩමක් මේ අත්දැකීමත් එක්ක ඉගෙන ගත්තා. මම කියන්නෙ කවදාවත් ඉන්ටවිව් එකකට යද්දි කලබලෙන් යන්න එපා. කලින් වෙලාව තියලා ලෑස්තිවෙලා යන්න. අනිත් එක තමන්ගෙ නම කතා කරනකල් ඉවසීමෙන් ඉන්න ගේම් ගහන්නෙ නැතුව. වෙලාව ආවම ෆෝන් පර්ස් අතේ රඳව ගන්න එපා. සේරටම වැඩිය වැදගත් දේ දොර ගාව තියෙන පාපිස්සෙ කකුල පටලවගන්න එපා..

Making a great first impression is the most important thing. Because you never get a second chance to create it.


Wednesday, July 11, 2012

අපද නොදැනුවත්ව ඩෙංගු ව්‍යාප්තියට දායක වන්නට ඇත


ඩෙංගු. මේ දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වන මාතෘකාවක්. ඩෙංගු මර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක වන බව අප දනිමු. ජලය එකතු වන ටයර්, තැඹිලි කෝම්බ, ටින් ආදිය වල දැමිය යුතු යැයි කියති.

එහෙත් මේවා සිදුවන අතරතුර මට හැඟෙන පරිදි ඩෙංගු ව්‍යාප්තියට අප නොදැනුවත්ව දායක වී ඇත. මේ ගැන ඔබ සිතුවාදැයි මා නොදනිමි. මම නම් මොහොතකටවත් මේ ගැන නොසිතුවෙමි.

මේ දිනවල සෑම තැනකම පිරී ඉතිරී යන තරමට රඹුටන්ය. රඹුටන් පලදාව ඉතාම හොඳ තත්වයක පවතී. මේ නිසා දුටු දුටු පමණින් රඹුටන් මලු පිටින් අප මිලදී ගනිමු.

එහෙත් රඹුටන් පොතු වලට අප කුමක් කරමුද.

පාරේ ඇවිදන් යන විට පාර දෙපස කොපමණ නම් රඹුටන් පොතු විසිකර ඇත්දැයි බලන්න. මේවාට ජලය එකතු වී ඩෙංගු මදුරුවන් නොසෑදේයැයි සිතිය හැකිද. රට පුරා තැඹිලි කෝම්බ වල දමද්දී කුඩා රඹුටන් පොත්තක් ගැන සිත් යොමු නොවේ. එහෙත් අප විසිකර දමන රඹුටන් පොත්තක වුවද ඩෙංගු මදුරුවා බිත්තර දැමීමේ අවධානම ඇත.

ඉදින්, නොදැනුවත්ව අප ඩෙංගු ව්‍යාප්තියට රුකුල් දෙන්නට ඇත. ඩෙංගු මාරයා බිලිගත් අහිංසක ජීවිත ප්‍රමාණය ගණන් කළ නොහැක. නොදැනුවත්ව කළ දේ දැනුවත්ව අපි නතර කරමු. ඩෙංගු මාරයාට යළි හිස ඔසවන්නට නොදෙමු.

Sunday, July 8, 2012

කෑම ප්‍රදර්ශනේ

ජූලි 6,7,8 දිනවල BMICH එකේ Profood Propack 2012 ප්‍රදර්ශනය පැවැත්වුණා. මෙයටම සමගාමීව Ag.Biz 2012 කියන කෘෂිකාර්මික ප්‍රදර්ශනයද පැවැත්වුණා. 

කෑම කොතැනද අපි එතන. දවස් ගාණකට කලින් ලැබුණු තොරතුරකට අනුව මායි සජිතුයි ප්‍රදර්ශනේ බලන්න ගියා. ගිය අවුරුද්දෙත් ප්‍රදර්ශනේ ගැන ආරංචි උනාට යන්න උනේ නෑ. ගියපු උන් රස කර කර කාපු කෑම ගැන විස්තර කරද්දි නොගිය අපි උන්ට ඉරිසියා කර කර දුක් වින්ද නිසා මේ පාර නම් කොහොම හරි යමු කියලමයි අපි කතා වෙලා හිටියෙ. 

ඇතුළු වීමේ ටිකට් පත රුපියල් 50යි. යන තැනම තිබුණෙ කෘෂිකාර්මික ප්‍රදර්ශනය. 

දෙමුහුන් කරපු භෝග විශේෂ කීපයක්ම තිබුණා. පොල් ගෙඩි වලට වැඩිය ලොකු අඹ තිබුණා. රස නම් කොහොමද දන්නෙ නෑ. බීජ වර්ග, පැළ වර්ග, ගෙවතු අලංකරණ උපාංග, කෘෂිකාර්මික උපාංග ආදී විවිධ දේ තිබුණා. අපේ තාත්තා එහෙම ආවා නම් මෙතනින් හෙලවෙන්නෙ නෑ. 

කීල්ස් එකේ හොට් ඩෝග් එකක් එහෙම ගිල දාලා හිමීට කෑම ප්‍රදර්ශනේ පැත්තටත් ගියා. අන්න ඒවනෙ ප්‍රදර්ශන. සල්ලි වලට ගන්න විතරක් නෙමෙයි සාම්පල් කාලා බලන්නත් දෙනවා. ටික දුරක් යනකොට ලංකා සෝයි එකෙන් ලූණු බැදපුවා වගේ ජාතියක් බෙදනවා. අපිත් ඔලුව දාලා එයින් පිඟානක් අරගෙන කකා ඇවිද්දා. ඒ අස්සෙ මැග්නා එකෙන් ජෙලි පුඩිං බෙදනවා. (මතකනෙ ඇඩ් එක. ම්.. මැග්නා පුඩිං......ම්....මැග්නා පුඩිං......)ඒකත් බුග් ගාලා කටේ දාගෙන එතනම තිබ්බ ස්නැක්ස් වගේකුත් කාලා හිමීට එතනින් ගියා. 

මෙන්න ජුජුබ්ස් වගේකුත් බෙදනවා. කෑවොත් බඩේනෙ කියලා එයිනුත් කෑලි ටිකක් අරගෙන කෑවා. සමහරු නම් අපි සාම්පල් කාලා හරි ප්‍රඩක්ට් එක දිහා ඇහැක් වත් ඇරලා බලන්නැතුව එනකොට නම් මුන්ට දුන්නු අපරාදෙ වගේ මූණ බලාගෙන ඉන්නවා. 

එඩ්නා එකෙන් චොක්ලට් ස්ටෝල් එකක් දාලා තිබ්බා. 10%ක වට්ටමකුත් ලැබෙනවා. මෙතනින් නම් ලේසියෙන් මාව හොලවන්න ලැබෙන්නෑ කියලා දන්න සජිතුත් කිව්වා ඕනෙ නම් චොක්ලට් එකක් ගන්න කියලා. මාත් පැනපු ගමන් ඩාක් චොක්ලට් එකක් බදාගත්තා.


ඒ පාර එතන හිටපු ගෑණු ළමයෙක් කිව්වා රුපියල් 300කට වඩා වැඩියෙන් චොක්ලට් ගත්තොත් තෑග්ගක් හම්බවෙනවා කියලා. ඩාක් චොක්ලට් එක 200යි. 300ට හරි යන්න කැෂූ නට් චොක්ලට් එකකුත් ගත්තා. නොමිලේ තව මිල්ක් චොක්ලට් එකකුත් හම්බුණා. තුණ්ඩු දාපු පෙට්ටියක් දික් කරලා තුණ්ඩුවක් ගන්න කිව්වා. ටිෂූ පැකට්, මග්, කැප්, ටී ෂර්ට්, බෑග් අතරින් මගෙ තුණ්ඩුවට තිබ්බෙ තඩි කුඩයක්. ඒකට නම් සතුටුයි. තෑග්ග නම් සජිත් එයා සතු කරගත්තා. මට චොක්ලට් ටික මදෑ.

තව තැනක ගෑණු ළමයෙක් කෝපි කුඩු එකක් විකුණනවා. සාම්පල් කෝපි තිබුණා. ඒක නම් රසයි. යමින් එමින් ගමන් තුනක්ම බිවුවා. අන්තිමට මුකුත් නොගත්තොත් ලැජ්ජාව නිසා සල්ලි දීලා පැකට් දෙකක් ගත්තා. 

වේලපු එළවලු පළතුරු වර්ග ස්ටෝල් එකක් තිබ්බා. ඒවා නම් අපනයන තත්වයේ හොඳ නිෂ්පාදන. වරකා, අන්නාසි කොමඩු ඉඳන් වේලලා. 

තව ස්ටෝල් එකක මොනාද බදිනවා. දික් කරාට අපිත් ගත්තා. ඇති රසකුත් නෑ. නමක් දන්නෙත් නෑ. බඩටනෙ කියලා ඒකත් ගිල දැම්මා.

මෙන්න ටික දුරක් යද්දි වටිනා කියන ස්ටෝල් එකක් හම්බුණා. වයින් ස්ටෝල් එකක්. 

මර්ලොට් වර්ග, වයින් වර්ග ලස්සන බෝතල් වල දාලා අපි දිහා බලලා අත වනනවා. මේ දවස් වල බජට් ප්ලෑන් අනුව වැඩ කරන නිසා දුකෙන් නමුත් අහක බලාගෙන ආවා. 

තව තැනක දොන් ශර්මන් චිකන් කරියක් හදන හැටි උගන්නනවා. එතනත් චුට්ටක් කැරකිලා යනකොට පැස්ටා වගයක් තව තැනකින් හම්බුණා. අලිගැටපේර එකකුත් බීලා අපි දෙන්නා එලියට බැස්සා. කොච්චර උනත් මැගී ලොරියෙන් නූඩ්ල්ස් එකක් නොකා කොහොමද. ඒකත් දෙසාබාලා අපි දෙන්නා ප්‍රදර්ශනයෙන් පිට උනේ බඩත් පුරෝගෙන, හිතත් පුරෝගෙන.

කාලෙකින් තෘප්තිමත් සෙනසුරාදාවක් ලැබුණා. හවස් වෙද්දි කාපු බීපුවට බඩේ අමාරුවක්වත් හැදෙයිදෝ කියලා හිතුනට කිසි ආපදාවක් නැතුව කෙලින් කටින් හිටියා.
Related Posts Plugin for WordPress, Blogger...