Pages

Tuesday, February 7, 2012

කුණු විසින් ජීවිත පාලනය කිරීම


මීට වසර කිහිපයකට පෙර මා නවාතැන් ගෙන සිටි බෝඩිමේ අපට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ කුණු කසළ දැමීමට තැනක් නොතිබීමයි. ඊට හේතු වූයේ එම නිවස ඉඩමේ මුළු ඉඩ ප්‍රමාණයේම ඉදි කර තිබීමෙන් කුණු වලක් නොතිබීමත්, පාරෙන් ඈතට වන්නට පිහිටා ඇති නිසා නගර සභාවේ කුණු ට්‍රැක්ටරය නිවස අසළට නොපැමිණීමත්ය.

එම නිවසේ වෙසෙන්නවුන් සතියක් පමණ කුණු එකතු කර, ගෙහිමියාගේ දෙමවුපියන්ගේ නිවසට ගෙන ගොස් බැහැර කරති. අපට එසේ කළ නොහැකි නිසාවෙන්, අප සතු වූ එකම විකල්පය වූයේ කුණු පාර්සල් කර විශ්ව විද්‍යාලයට ගෙන ගොස් කසළ බාල්දි වලට හැලීමය.

එය මෙසේ කියද්දී සරල ක්‍රියාවක් වුවද, ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමේදී අසීරු හා අපහසුතාවයට පත්වන ක්‍රියාවලියකි.

මන්ද යත් කුණු කසළ හොඳින් පාර්සල් කළ යුතු අතර එම කසල පාර්සලය විනිවිද නොපෙනෙන බෑගයක ඇසිරිය යුතුය. එමෙන්ම දේශන සඳහා පැමිණෙන වෙලාවට මදක් කලියෙන් පැමිණිය යුතුය. මන්ද යත් පාර්සලයක් අතින් ගෙන අනිත් උන් ඉන්නා වේලාවට පැමිණියහොත් ඒ කෑමක් යැයි සිතා උන් උදුරා ගන්නා බැවිනි. එහෙම උදුරා ගතහොත් නම් කාඩ් කුඩුය. ඒ නිසා අපි කුණු මලු අතින් කටින් එල්ලාගෙන උදැහැනැක්කේම කැම්පස් එන්නෙමු.

එම ක්‍රියාවලිය එතැනින් ඉවර නොවේ.

දවසේ එම වෙලාව විශ්ව විද්‍යාලයේ පිරිසිදු කරන්නන් වැඩ අරඹන වෙලාවය. කුණු මලු කසල
ඳුන් වලට දමන්නේ නම්, ඔවුන් අසල නැති අවස්ථාවක් බලා දැමිය යුතුය. නැත්නම්, "ළමයි ගෙවල් වල ඉඳන් අරන් එන කුණු අපිට අදින්නට බැහැ" යි කියමින් සේවකයන්ගෙන් උදේ පාන්දර කණ පුරා අසාගන්නට හැකිවේ.

ඉදින් අප කරන්නේ කිසිවෙකුත් අවට නැති වෙලාවක් බලා කසල බඳුනට කුණු මල්ල දමා පසු නොබලා ගමන් කිරීමයි. මෙය සැම දිනම එකම බඳුනකට දැමීමද කළ නොහැකිය. ඒ කිනම් මොහොතක හෝ හසුවිය හැකි බැවිනි. එම නිසා නිතරම වෙනත් වෙනත් කසල බඳුන් සොයා යා යුතුය. මේ හේතුවෙන් අපට ඒ දිනවල විශ්ව විද්‍යාලයේ මොනවා නැතත් කසල බඳුන් ඇති තැන් නම් හොඳට මතකය.

සමහර දිනවල කුණු මල්ල රැගෙන එන විට කොහෙන් හෝ මිතුරකු කඩා පාත් වේ. එවිට උන්ගෙන් බේරීමට කුමක් හෝ බොරුවක් කිව යුතුය. බොහෝ විට අප පවසන්නේ ඔහු නොදන්නා වෙන කෙනෙකුට දීමට ඇති පාර්සලයක් යනුවෙනි. කසල මල්ල ගෙන යන්නේ සිකුරාදා හෝ සඳුදා නම් "අද ගෙදර යනවා" හෝ "මේ ගෙදර ඉඳන් එන ගමන්" යැයි පවසා ජාම බේර ගත හැක.

නොඑසේ නම් උන්ගේ ඇසින් බලන කල පාර්සලයක් යනු අනිවාර්යයෙන්ම කුමක් හෝ කෑමකි. අප දුන්නේ නැති නම් උන් බලෙන් උදුරාගෙන හෝ බලති. එම නිසා කුමක් හෝ කියා කුණු මල්ල බේරා ගත්තේ නැති නම් ඊළඟ දවසේ ඉඳන් කැම්පස් නොඑනවා ඊට සැපය.

ඒ දිනවල කෑමට ගත යුතු දේවල් තීරණය කරන්නේ කුණු මල්ල කේන්ද්‍ර කරගෙනය. කොටින්ම, කෑම පාර්සලයක් බෝඩිමට ගෙන ගොස් කද්දී බත් ඇටයක් වත් ඉතුරු නොකරන්නට අපි වෙහෙසෙන්නෙමු. මන්ද යත්, බත් ඉතුරු කළොත් ඒකත් උස්සන් යන්නට වෙන්නේ අපටම නිසාවෙනි.

ඉස්සර නම් ගෙදරින් ලැබෙන කෙසෙල් කොළයේ එතූ බත් එක තරම් වටින දෙයක් අපට මිහිපිට නැත. මේ බෝඩිමේ ඉන්නා කාලයේ අප කෙසෙල් කොළ වල බත් නොගෙනෙන්නට කතිකා කරගෙන සිටියෙමු. ඒ කොතරම් රසවත් වුවත්, ලන්ච් ෂීට් එක ඊට වඩා සැහැල්ලු හා කුණු මල්ලේ කෙසෙල් කොළයට වඩා අඩු ඉඩක් ගන්නා නිසාය. ඒ දිනවල කුණු මල්ල අපගේ ජීවිත පාලනය කළේ එසේය.

මාස කීපයකින්ම අප වෙනත් නවාතැනක් සොයාගැනීමට එකම හේතුව වූයේ මේ කුණු ප්‍රශ්නයය. මෙතුවක් මා බෝඩිමක ගත කළ අඩුම කාලය මෙයයි. ඊළඟ බෝඩිං වන්දනාව අරඹන විට ගෙහිමියාගෙන් අසන ප්‍රශ්නාවලියට තවත් ප්‍රශ්නයක් එකතු වී තිබිණ. ඒ "කුණු දාන්නෙ කොහෙටද" යනුවෙනි.

මෙය ලියාගෙන යද්දී වරෙක ලංකාදීප පත්තරයේ "දෙයියෝ සාක්කි" තීරයේ පල වූ පුවතක් සිහියට නැගේ.

නිවසක බැහැර කරන කුණු මල්ලක් හොඳින් පාර්සල් කර, යුවලක් එක විසිකිරීමට තැනක් සොයමින් කිසියම් පාරක් අයිනට වී සිටියහ. ඔවුන්ගේ අරමුණ වූයේ පාරේ කිසිවෙකු නොමැති අවස්ථාවක් බලා කුණු මල්ල දමා යාමය.

වේගයෙන් පැමිණි යතුරු පැදියක පිටුපස උන් පුද්ගලයෙක් අර යුවල අත තිබූ පාර්සලය උදුරාගෙන ඉගිල ගියේ කිසිවක් සිතන්නට වත් ඉඩ නොතබමිනි. සොරා එක උදුරාගන්නට ඇත්තේ කිසියම් වටිනා පාර්සලයක් සිතා විය හැකිය.

පාර්සලය දිග හරින විට හොරාට කුමක් සිතුනාදැයි මා නොදනිමි. එහෙත් කුණු මල්ල විසිකරන්නට තැනක් සොය සොයා සිටි තැනැත්තාගේ සිතේ ඇතිවූ සැනසිල්ල නම් මට සිතා ගත හැක.

59 comments:

  1. අපිට නම් තාම කුණු ප්‍රශ්නයක් නැහැ ඒත් අපේ අහල පහල අයගේ කුණු ප්‍රශ්නය අපිටප්‍රශ්නයක් වෙලා දැන් ඒ මිනිස්සු ඇවිත් අපේ ගෙවල් ගාව කුණු දාලා යන්න පටන් අරන්

    ReplyDelete
    Replies
    1. ඕක තමයිනෙ බැරි නේද. කුණු දාන එවුන්ව අල්ලගෙන ගස් බඳින්න තමා වෙන්නෙ.

      Delete
  2. කුණු අදින්න හෙන කට්ටක් කාලා වගේ......
    ඔයාලටත් තිබ්බේ ලස්සනට පාර්සල් කරලා බෝඩිමේ බැම්ම උඩ හරි හොහෙ හරි තියන්න. මග ඉඳන් උස්සන් ඉන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. අහල පහල මිනිස්සුන්ගෙන් ගුටි කන්න තමා එහෙනම්

      Delete
  3. ඔව් ඔය කුණු ප්‍රශ්නෙ මෙහෙ ගොඩක්ම තියෙනව නගරබදට වෙන්න ගෙවල් වල පොඩි ඉඩක් තියෙන නිසා. හැබැයි හැම අස්සක් මුල්ලකටම කුණු ගෙනියන්න නගර සභාවෙන් එනව.

    ReplyDelete
    Replies
    1. මේ ගෙදර තියෙන්නෙ සෑහෙන්න ඇතුලෙ. ඒ හන්ද නගර සභාවෙන් එන්නෙ නෑ.

      Delete
  4. කුණු කතා නම් බෝඩිම් ජීවිතේ අප්‍රමාණයි..මට නම් හොඳටම මතක මයිනර් ස්ටාෆ් ස්ට්‍රයික් කරලා හොස්ටල්වල කුණු අස්කරන්නැති කාලේ හිටපු විදිහ..
    ඒ කාලෙ නම් එපා වුනා අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අපෝ නහයක් තියාගෙන කොහොමද හිටියෙ

      Delete
  5. අනුන්ගේ වතුවලට කුණු දැමීම දැන් සිරිතක් වෙලා. ඉතින ලංකාවේ නැති මගේ පුංචි ඉඩම් කෑල්ල අසල්වැසියන්ගේ කුණුගොඩ වෙලා. අවුරුද්දකට වරක් කුණු ඇදීමේ කාර්යය මට පැවරිලා. මිනිස්සු පුංචි පුංචි ඉඩම් කෑලි වලට කොටුවෙලා..නගර සබා ගම සබා අර සබා මේ සබා ඔක්කොම සල්ලි කකා ඉන්නවා මිස මේ ප්‍රශ්න විසඳන්නේ නැහැ,.

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් නැතිවෙන්න මිනිස්සුන්ගෙ ආකල්පම වෙනස් කරන්න ඕනෙ

      Delete
  6. අයියෝ අක්කල බෝඩින් වල මාරම කට්ටක් කාල තියනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කට්ට නම් වැඩි කාලයක් ඉවසන්න උනේ නෑ

      Delete
  7. අඩේ කුණු හින්ද විඳපු දුකක්...

    ReplyDelete
  8. ලන්ච් ෂීට් එකේ බත් ඇටයක්වත් ඉතිරි නොකරන එක එච්චරටම අමාරු නෑ. බෝඩිං ජීවිතේදි වෙන හාමත්විල්ලෙ හැටියට සමහර වෙලාවල් තියෙනව ලන්ච් ෂීට් එකයි කෑම එක ඔතල තියෙන පත්තර කොළෙයි උනත් කන්න පුළුවන්.

    ReplyDelete
  9. හෙහ්..මාත් ගෙදර ඉඳල කිලෝමීටර අටක් විතර ලස්සනට පැක් කරල අරං එන්නෙ ඕක. සමහර දාට අතර මඟ තැනක් තිබුනෙ නැත්නං හාමිනේගෙ ඉස්පිරිතලෙ බක්කියෙ තමයි නවතින්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔයාලටත් තියෙන්නෙ ඕක තියාගෙන හන්දියක ඉන්න එක. කවුරුහරි හොරෙක් ඇවිත් උදුරගෙන යන්නෙ නැතෑ

      Delete
    2. පිස්සුද ??? අංගොඩටම ඉන්න එකම කුනු හොරා මූ වෙච්චිකොට මුගෙ කුනු එක කවුරු උස්සන්නද ????

      Delete
  10. ඔය කුණු කේස් එක නම් මටත් කේස් එකක්....

    ReplyDelete
  11. කුණු ප්‍රශ්නෙ මට ආවෙ නෑ.. ඒත් ඕක තිබුන බෝඩිම් ගැන මාත් අහල නං තියේ...

    ReplyDelete
    Replies
    1. ඔව් හැම බෝඩිමකම ඔය ප්‍රශ්නෙ නෑ.

      Delete
  12. මමත් ඉන්නේ ඉතිං ඔය විස්ස විද්යාලේ ලඟම නොවැ :D මම අපේ ගෙවල් පැත්තට නම් කුණු ටැට්ටරේ සතියට දෙතුන් පාරක් එනවා :D

    ReplyDelete
    Replies
    1. අඩේ පූසගෙ ගෙදරට අපූරුවට කුණු ටික හලල යන්න තිබ්බා.

      Delete
  13. අපි ඉස්සර ලංකාවෙ ඉන්න කාලෙ ඔෆිස් එකට ගිහින් විසි කරාට දැං නිවාඩු ආවම එහෙම බෑනෙ. ඒ නිසා කුණු අරන් තකහනියක් අම්මලගෙ ගෙදර යනව. ඒත් ඉතින් ඒ කිලෝමීටර් පහ ගිහින් එන්න වාහනේටයි පැට්‍රල් වලටයි යන වියදම කුණු වෙන්න කලින් එව්ව ගත්තට වඩා වැඩියි!

    මේ ළඟදි දැක්ක බළංගොඩ නගරසභාවනං කුණු ප්‍රස්ණෙ සාර්ථකව විසඳගෙන කියල. අනේ වාසනාවන්!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ මම කිව්වෙ කුණු විසින් ජීවිත පාලනය කිරීම කියලා

      Delete
  14. හය්යෝ, කුණු හින්ද විඳල තියෙන දුකක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇවිල්ලා කුණු දුකක් අප්පා

      Delete
  15. කුණු ප්‍රශ්නෙ නම් කතා කොරලා වැඩක් නෑ..අනුන්ගෙ කුණු ප්‍රශ්නනෙ අපේ පිටින් යන්නෙ..

    ReplyDelete
    Replies
    1. ආහ් මට මතකයි පෝස්ට් එක. මොකද තාම ඒකට විසඳුමක් නැද්ද ලැබුණෙ

      Delete
  16. අපේ බෝඩිමේ නම් අංකල් වෙනම බෑග් එකක් දාල තියෙන්නෙ අපිට කුණු දාන්න.....මේක දැනගත්ත එකත් හොඳයි මතු ප්‍රයෝජනේකට...

    ReplyDelete
    Replies
    1. මේවා දැනගෙන ඉන්න අනිත් බෝඩිමට යද්දි

      Delete
  17. ඔය කුණු ප්‍රශ්නෙත් මාරම ප්‍රශ්ණයක් තමයි..

    ReplyDelete
  18. ඇත්තටම කුනු අපේ ජිවිත වෙනස් කරනවා නේද?

    ඇත්තටම කාටවත්ම ඔය බොඩිම මාරු කරනකන් ඕක කැම්පස් එකේදි අහු වුනේ එහෙම නැද්ද??

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. ඒකනෙ කියන්නෙ. කාටවත් අහු උනේ නෑ.

      Delete
  19. කුණු ප්‍රශ්නයක් !! බෝඩිම් වල ප්‍රශ්න වලට අමතරව කුණු ප්‍රශ්නත් තියෙනවද අප්පා !!!
    කුණු කිව්වම අපේ පැත්තේ බෝඩ් එකක් ගහලා තිබ්බා "මෙහි කුණු දැම්මොත් කුණු කවනවා" කියලා. කුණු කවපු එකෙක්වත් කාපු එකෙක්වත් මම් තාම ඇහැට දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඕක තමා අපට ඒ දවස් වල තිබ්බ ලොකුම ප්‍රශ්නෙ

      Delete
  20. බෝඩිම් එපා වෙනවනෙ අෆ්ෆා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉක්මනට වෙන එකකට ගියේ

      Delete
  21. අපෝ කුණු.......... අපේ ගෙවල් පැත්තටත් ඕක මහ ගඳ ගහන ප්‍රශ්නයක් වෙලා...........

    ReplyDelete
    Replies
    1. හැමෝටම බලාගෙන යද්දි කුණු ප්‍රශ්න

      Delete
  22. ඔක්කොම හරි,. මං එත් කල්පනා කලේ ඇත්තට, අර කුණු එක වීසි කරන්න තැනක් හොයද්දි ඒක හොරු අරගෙන ගියපු වෙලාවේ ඒ වීසි කරන්න හදපු මනුස්සයාගේ හිතේ ඇතිවෙච්ච සන්තෝසේ තරම ගැන.

    ReplyDelete
  23. අම්මෝ...කුණු ගැන නම් කතා කරන්න එපා.මාත් ඔය වදේ වින්දා.මං නම් කැම්පස් එක පටන් ගන්න තැනම තියෙන කුණු බාල්දියට දානවා.ඒකත් අර මෝල්පෙ පාරෙ තිබුන ලොකු කුණු බක්කිය අයින් කලාට පස්සෙ.අන්තිමට හිටපු බෝඩින් දෙකේ නම් කුණු ඒ අයම අයින් කලා. :D

    ReplyDelete
    Replies
    1. අපි ෆස්ට් ඉයර් ඉන්න කාලෙම මෝල්පෙ පාරෙ කුණු බක්කිය අයින් කරාද කොහෙද බන්. පළාතෙ යන්න බෑ. පුදුම ගඳක්

      Delete
  24. දෙතුං වතාවක් මම ගෙදර කුනු මල්ල බයික් එකේ එල්ලගෙන රාජගිරියෙ ඉඳල ජා ඇලට ඇවිල්ල තියනව කුනු එක දාන්න තැනක් නැතුව. මම කොහොමත් පාර අයිනෙ කුනු දාන එකට විරුද්දයි

    ReplyDelete
    Replies
    1. පාර අයිනෙ නැතුව පොඩ්ඩක් ඇතුලට වෙන්න දැම්ම නම් අහු වෙන්නෙ නෑ නේ.. හික්ස්.

      Delete
  25. ලංකාවේ මාත් දැකපු ලොකුම ප්‍රශ්නයක්. ඔය නගර ලිමිට් වල උනත් කාලගුන ප්‍රශ්න තිබ්බම එන්නේ නෑ නේද? ඒත් වසර කිහිපයකට වඩා නම් civilized වෙච්ච මිනිස්සු දැන් ඉන්නවා නේද. ඉස්සරට වඩා පාරේ උනත් කුණු අඩුයි වගෙ අමට හිතුනා. අපි අනෙකා ගැන නොහිතනකම් මේ දේවල් ඉදිරියටත් වේවි. මම නම් අකැමැතිම ලංකාවේ මිහුදු වෙරලක පාරක් අයිනක පාක් එකක තියෙන ප්ලාස්ටික් බෝතල් ටිකයි පොලිතීන් උරයි හිස් බෝතල් වීදුරු ටිකයි දැක්කම.

    කොටින්ම අර තරම් ලස්සන රටක් තිබ්බට අපිරිසිදුකම අතින්නම් ලංකාව ඉතාම පහල තැනක ඉන්නේ.

    ReplyDelete
  26. මමත් ඕන තරම් දැකලා තියෙනවා කුණු නිසා ජීවෙත් වෙන අයව. ටිං බෙලෙක්ක, කාඩ් බෝඩ් එකතු කරලා එයාලා විකුණනවා. ඒ සල්ලි වලින් තමා ජීවත් වෙන්නේ.

    ඒවා අපිට කුණු වුනාට, තවත් සමාජ ස්ථරයකට ඒ කුණු රත්තරං වලටත් වැඩිය වටිනවා...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම අයව දැකල තියෙනවා. කුණු ගැන අපි නොහිතපු පැත්තක්

      Delete
    2. යන්න මෙයා දවසක බ්ලූමැන්ඩල් කුනු කන්ද පහලට . . . ඔයා ඔය නොහිතපු පැත්ත හැබැහිංම දැකගන්න පුලුවං . . . (මම ඒ පැත්තෙං පිලිවෙලක් වෙන්න ගිහිං යාන්තං ගොඩදාගත්ත)

      Delete
  27. එපා වෙනවා එහෙම වෙනකොට නේද

    ReplyDelete
  28. "ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය"

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියන්න පුලුවන්

      Delete
  29. / වේගයෙන් පැමිණි යතුරු පැදියක පිටුපස උන් පුද්ගලයෙක් අර යුවල අත තිබූ පාර්සලය උදුරාගෙන ඉගිල ගියේ කිසිවක් සිතන්නට වත් ඉඩ නොතබමිනි. සොරා එක උදුරාගන්නට ඇත්තේ කිසියම් වටිනා පාර්සලයක් සිතා විය හැකිය./

    ඊට පස්සෙ වෙච්ච දේ නංගි දැක්කෙ නැද්ද පහුවදා පත්තරේ තිබ්බ,

    විනාඩි දහයක් ගිහිල්ල නෑ. ඒ බයික් එක ආපහු හරෝගෙන ඇවිල්ල. කුණු පාර්සලේ අර ජෝඩුව ඉස්සරහ දාල අමු තිත්ත කතාවෙන් බැනල ගිහිල්ල...

    '' අඩෝ, ******, තෝ, ***** වැඩ කරන්ඩ එපා හරිද?.....වැදගත් මහත්තුරු වගෙ පාරෙ ගියාට කරන්නෙම *****වැඩ.....''

    හෙහ්, හෙහ්, කාටද ඉතිං මෙව්ව කියන්නෙ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...