පහුගිය දවසක හිත දුකෙන් පිරුණෙ සමීපතමයෙකුගේ මරණයක් ගැන අහලයි. අපි කොයි තරම් අමතක කරත් ජීවිතේ කියන එක ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඉවර වෙන්න පුලුවන් කියන එක මේ මරණයත් එක්ක ආයෙමත් මට දැනුණා. මීට කලින් ඔය හැඟීම ප්‍රබලව දැනුනෙ හිතවත් කෙනෙක් වතුර මෝටරයක් ක්‍රියාත්මක කරන්න ගිහින් විදුලි සැර වැදිලා ක්ෂණිකව මරණයට පත් වීමත් එක්කයි.
පසුගිය දවසක මරණයට පත් වුණයි කියූ පුද්ගලයා මිය ගියේ රාත්‍රී ආහාර ගනිමින් ඉද්දියි. එදා රාත්‍රියට පිළියෙල කර තිබුණෙ නූඩ්ල්ස්. නූඩ්ල්ස් කමින් විහිළු කරමින් කතා කියමින් සිටි පුද්ගලයා එක වරම කහින්නට පටන් ගෙන ඇත. නූඩ්ල්ස් හිර වීම නිසා අපහසුවට පත් වුණු ඔහු අතින් සන් කර වතුරද ඉල්ලා ඇත. ඒ අතර ඔහු කෙළ ගිලිමින් හිරවුණු නූඩ්ල්ස් ගිලින්නට තැත් කරන්නට ඇත.
ඔහුත් නොසිතූ වෙලාවක වමනය යන්නට ආවත් වමනය පිට උගුරේ යාමෙන් නූඩ්ල්ස් සියල්ල පෙනහළු වලට ගමන් කර ඇත. ඔහුට වතුර උගුරක්වත් පොවන්නට වෙලාව ඉතිරි නොකර ක්ෂණිකව ඔහු මරණයට පත් විය. රෝහලට රැගෙන යන්නටවත් ඉඩක් නොතබා ඔහු ජීවිතෙන් සමුගෙන තිබුණි. මරණ පරීක්ෂණය සිදු කිරීමට උරස් කුහරය කපා විවර කිරීමේදී දකින්නට ලැබී ඇත්තේ පෙනහලු වටා පිරී ගිය නූඩ්ල්ස්ය.
රාත්‍රී ආහාරයට පෙර ඔහුද මෙය ඔහුගේ අවසන් රාත්‍රී භෝජනය යැයි නොසිතන්නට ඇත. එහෙත් ජීවිතයක් අවසන් වන්නට තත්පර ගණනක නොසැලකිල්ලක් ප්‍රමාණවත්ය.
අප කුඩා කල ආහාර ගනිද්දී හොඳින් විකා ආහාර ගිලින්න, කතා බහ කරමින් සිනහ වෙමින් නැතිව නිශ්ශබ්දව ආහාර ගන්න, හොඳින් ජලය පානය කරන්න ලෙස වැඩිහිටියන් අපේ ඔලු පුරවන්නේ මෙවැනි දේ සිදුවිය හැකි නිසාවෙනි.
සංසාරයේ අප මිනිස් ආත්මයක් ලබා උපදින්නට ඇත්තේ කලින් ආත්මයක කළ පින් ගුණයක් නිසා වන්නට ඇත. එසේ අසීරුවෙන් ලබාගන්නා මේ ජීවිතය අපගේ නොසැලකිලිමත්කමක් නිසා එක මොහොතකින් නැති කරගන්නේ නම් එය මහත් අවාසනාවකි.
සබඳ, මේ මොහොතේ ඔබ විඳිමින් සිටිනා ජීවිතය ඊළඟ මොහොතේ ඔබට අහිමි විය හැකිය. එහෙයින් ජීවත් වන සෑම මොහොතක්ම සිහි කල්පනාවෙන් ජීවත් වී මේ වටිනා ජීවිතය නිරපරාදයේ අතහැර නොගන්න.