
මං දන්න දවසෙ ඉඳන්ම වැස්සට ආසයි. ඒත් මං ආස වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න මිසක් වැස්සට තෙමෙන්න නෙමෙයි.
ඒත් නුඹට ඒක තේරෙන්නෙ නැති හැටි. නුඹට ඕනෙ උනේ හැමදාම ඒ ඇදහැලෙන වැස්සෙ තෙමෙන්න.
ලොකුම ලොකු වැහි බිංදු කොණ්ඩෙ අස්සෙන් සීතලම සීතලට ගලාගෙන යනකොට මට දැනෙන්නෙ මහ අපුලක්.
නුඹ පුදුම තරම් ආසයි නා කපන වැස්සෙ තෙත බරියන් වෙන්න.
ඇද හැලෙන මුරුගසන් වැස්ස හරි නපුරුයි. ඒ වැස්ස මගෙ හිතට ගේන්නෙ මහ මූසල හැඟීමක්.
වැස්සත් එක්ක එන ලා අඳුර දත් පූට්ටු කරන සීතල මාව පොරෝණෙ අස්සට ගුලි කරනව මිසක් නුඹට වගේ තෙත බරියං වෙන්න මට හිත හදා ගන්න බෑ.
ඉතිං නුඹ කියනව අපේ අදහස් ගැළපෙන්නෙ නැතිලු. නුඹ ආස කරන දේවල් වලට මම ආස නැතිලු. නුඹටම ආවේණික හේතු හදාගෙන මා එක්ක හිත නොහොඳින්.
මේ මෝඩයට නොතේරෙන හැටි. නුඹත් මාත් දෙන්නම ආදරෙයි වැස්සට. වෙනස තියෙන්නෙ අපි ඒ වැස්සට ආදරේ කරන විදිහෙ නේද.
හීනියට ඇදහැලෙන ඉදිකටු වැස්සෙ ඉඳන් නුඹ තෙමෙන්න ආස කරන මුරුගසන් වැස්සටත් මම ආදරේ කරන්නම් නුඹට වගේම. තරහ වෙන්න එපා නපුරො. ඒ වැස්සෙ තෙමෙන්න එන්න කියලනම් මට කියන්නෙපා.
මං දුරින් ඉඳන් නුඹත් වැස්සත් දිහා බලාන ඉන්නම්. ලඟට ආවොතින් ආදරේ වැස්සට හේදිලා ගිහින්, දුකත් කළකිරීමත් පසුතැවීමත් විතරක් මට ඉතිරි වේවි.





