Pages

Tuesday, December 7, 2010

දුරින් හිඳ පෙම් කිරීම


මං දන්න දවසෙ ඉඳන්ම වැස්සට ආසයි. ඒත් මං ආස වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න මිසක් වැස්සට තෙමෙන්න නෙමෙයි.

ඒත් නුඹට ඒක තේරෙන්නෙ නැති හැටි. නුඹට ඕනෙ උනේ හැමදාම ඒ ඇදහැලෙන වැස්සෙ තෙමෙන්න.

ලොකුම ලොකු වැහි බිංදු කොණ්ඩෙ අස්සෙන් සීතලම සීතලට ගලාගෙන යනකොට මට දැනෙන්නෙ මහ අපුලක්.

නුඹ පුදුම තරම් ආසයි නා කපන වැස්සෙ තෙත බරියන් වෙන්න.

ඇද හැලෙන මුරුගසන් වැස්ස හරි නපුරුයි. ඒ වැස්ස මගෙ හිතට ගේන්නෙ මහ මූසල හැඟීමක්.

වැස්සත් එක්ක එන ලා අඳුර දත් පූට්ටු කරන සීතල මාව පොරෝණෙ අස්සට ගුලි කරනව මිසක් නුඹට වගේ තෙත බරියං වෙන්න මට හිත හදා ගන්න බෑ.

ඉතිං නුඹ කියනව අපේ අදහස් ගැළපෙන්නෙ නැතිලු. නුඹ ආස කරන දේවල් වලට මම ආස නැතිලු. නුඹටම ආවේණික හේතු හදාගෙන මා එක්ක හිත නොහොඳින්.

මේ මෝඩයට නොතේරෙන හැටි. නුඹත් මාත් දෙන්නම ආදරෙයි වැස්සට. වෙනස තියෙන්නෙ අපි ඒ වැස්සට ආදරේ කරන විදිහෙ නේද.

හීනියට ඇදහැලෙන ඉදිකටු වැස්සෙ ඉඳන් නුඹ තෙමෙන්න ආස කරන මුරුගසන් වැස්සටත් මම ආදරේ කරන්නම් නුඹට වගේම. තරහ වෙන්න එපා නපුරො. ඒ වැස්සෙ තෙමෙන්න එන්න කියලනම් මට කියන්නෙපා.

මං දුරින් ඉඳන් නුඹත් වැස්සත් දිහා බලාන ඉන්නම්. ලඟට ආවොතින් ආදරේ වැස්සට හේදිලා ගිහින්, දුකත් කළකිරීමත් පසුතැවීමත් විතරක් මට ඉතිරි වේවි.

Sunday, December 5, 2010

රොබරෝසියා මල් යාය


නුඹ දැක්කෙ නැහැ නේද
ලස්සනම ලස්සන
රොබරෝසියා මල්
එකින් එක
පොළොව සිපගත්තු හැටි..
නුඹ දැක්කෙ නැහැ නේද
මල් වැස්සක් වැටිලා
රොබරෝසියා යායක් හැදුණු හැටි..
ඒත් මම දැක්කා
මං තනියම වින්දා
මල් පාගන්නෙ නැතුව
මල් පොළොවෙ මං ඇවිද්දා
හිත එපාම කියද්දි
මං ආපහු හැරිල බැලුවා
මේ සතුට විඳින්න
නුඹවත් එනවද කියලා
ඒත් තට්ට තනියම
මමම විඳෙව්වා මිසක
මේ රොබරෝසියා යායට
නුඹේ සුවඳ කොයින්ද..
හිස්කම පාලුව මිසක
නුඹ කොයින්ද..

Thursday, December 2, 2010

ජීවිතය අපරාදෙ


අරුත් සුන් ජීවිතය
ගෙවී යයි නොකියාම
අපරාදෙ මගෙ කඳුළු
කුමකටද දුක් සුසුම්
ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
සිනහ මල් දම් ගොතන
කවි වදන් තව කුමට

Tuesday, November 30, 2010

පිස්සුද


වැස්ස...,
දඩස් ගාල
කඩන් වැටිල
එසැනින් පායලා ඉන්නෙ
උඹ
පසුතැවෙන හන්ද නේද..
පසුතැවෙනව නං
ඇයි
අනෝරාවට වැහි වස්සන්නෙ?
උඹ හින්ද
පොළොව දුක් විඳින හැටි..
අනේ මන්ද
පිස්සු උඹටද මටද..
නැත්තම්
අපි දෙන්නටමද..

Sunday, November 28, 2010

අකැප ආදරය


අහපන් ආදරය
එන්න එපා
නුඹ හිතට
හිත අකැපයි
උඹට

Monday, November 22, 2010

මල්පෙති හිත්


වහින්න වහින්න
අහස කෙතරම්
රළු වෙනවද..
ඒත්
තෙමෙන්න තෙමෙන්න
පොළොව කෙතරම්
මෘදු වෙනවද..
මල්පෙති හිත උඩ
මහමෙර තැබුවත්
වැහි බිඳුවක සිසිලස මිස
වේදනාවක් දැනෙන්නෙ නෑ මට
හිත මෘදු නිසා නම් නෙමෙයි
වේදනාවෙන්
හිත හිරිවැටිල නිසා...

Monday, November 1, 2010

අරුත් සුන් දිවිය


හිරි වැටුණු හිත් පොඩිය
දුක දන්නෙ නෑ දැන්
මිදුණු නෙතු කෙවෙණි වල
කඳුළු හොලවන්න බෑ දැන්
හිනාවක් අඳුරන්නෙ නැති මුව
සතුට අමතක කරල දැන්
අරුත් සුන් ජීවිතය
පරිස්සම් කරගෙන
කුමකටද දැන්
Related Posts Plugin for WordPress, Blogger...