Pages

Tuesday, October 16, 2012

කෑම හිරකරගන්නෙ බලාගෙනයි

පහුගිය දවසක හිත දුකෙන් පිරුණෙ සමීපතමයෙකුගේ මරණයක් ගැන අහලයි. අපි කොයි තරම් අමතක කරත් ජීවිතේ කියන එක ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඉවර වෙන්න පුලුවන් කියන එක මේ මරණයත් එක්ක ආයෙමත් මට දැනුණා. මීට කලින් ඔය හැඟීම ප්‍රබලව දැනුනෙ හිතවත් කෙනෙක් වතුර මෝටරයක් ක්‍රියාත්මක කරන්න ගිහින් විදුලි සැර වැදිලා ක්ෂණිකව මරණයට පත් වීමත් එක්කයි.

පසුගිය දවසක මරණයට පත් වුණයි කියූ පුද්ගලයා මිය ගියේ රාත්‍රී ආහාර ගනිමින් ඉද්දියි. එදා රාත්‍රියට පිළියෙල කර තිබුණෙ නූඩ්ල්ස්. නූඩ්ල්ස් කමින් විහිළු කරමින් කතා කියමින් සිටි පුද්ගලයා එක වරම කහින්නට පටන් ගෙන ඇත. නූඩ්ල්ස් හිර වීම නිසා අපහසුවට පත් වුණු ඔහු අතින් සන් කර වතුරද ඉල්ලා ඇත. ඒ අතර ඔහු කෙළ ගිලිමින් හිරවුණු නූඩ්ල්ස් ගිලින්නට තැත් කරන්නට ඇත. 

ඔහුත් නොසිතූ වෙලාවක වමනය යන්නට ආවත් වමනය පිට උගුරේ යාමෙන් නූඩ්ල්ස් සියල්ල පෙනහළු වලට ගමන් කර ඇත. ඔහුට වතුර උගුරක්වත් පොවන්නට වෙලාව ඉතිරි නොකර ක්ෂණිකව ඔහු මරණයට පත් විය. රෝහලට රැගෙන යන්නටවත් ඉඩක් නොතබා ඔහු ජීවිතෙන් සමුගෙන තිබුණි. මරණ පරීක්ෂණය සිදු කිරීමට උරස් කුහරය කපා විවර කිරීමේදී දකින්නට ලැබී ඇත්තේ පෙනහලු වටා පිරී ගිය නූඩ්ල්ස්ය. 

රාත්‍රී ආහාරයට පෙර ඔහුද මෙය ඔහුගේ අවසන් රාත්‍රී භෝජනය යැයි නොසිතන්නට ඇත. එහෙත් ජීවිතයක් අවසන් වන්නට තත්පර ගණනක නොසැලකිල්ලක් ප්‍රමාණවත්ය. 

අප කුඩා කල ආහාර ගනිද්දී හොඳින් විකා ආහාර ගිලින්න, කතා බහ කරමින් සිනහ වෙමින් නැතිව නිශ්ශබ්දව ආහාර ගන්න, හොඳින් ජලය පානය කරන්න ලෙස වැඩිහිටියන් අපේ ඔලු පුරවන්නේ මෙවැනි දේ සිදුවිය හැකි නිසාවෙනි.   

සංසාරයේ අප මිනිස් ආත්මයක් ලබා උපදින්නට ඇත්තේ කලින් ආත්මයක කළ පින් ගුණයක් නිසා වන්නට ඇත. එසේ අසීරුවෙන් ලබාගන්නා මේ ජීවිතය අපගේ නොසැලකිලිමත්කමක් නිසා එක මොහොතකින් නැති කරගන්නේ නම් එය මහත් අවාසනාවකි. 

සබඳ, මේ මොහොතේ ඔබ විඳිමින් සිටිනා ජීවිතය ඊළඟ මොහොතේ ඔබට අහිමි විය හැකිය. එහෙයින් ජීවත් වන සෑම මොහොතක්ම සිහි කල්පනාවෙන් ජීවත් වී මේ වටිනා ජීවිතය නිරපරාදයේ අතහැර නොගන්න.

Sunday, October 7, 2012

සය වසරක් සෙනෙහෙ සිතින් අපි




සමනල වියේ අප හමු නොවන්නට ඇත.

ගෙදරට හොරා අතැඟිලි පටලා රහස් මුමුණන්නට නැත.

නුඹ නිසා පියාගෙන් මා දඬුවම් නොවිඳින්නට ඇත.

අප අපගේ පළමු ආදරය නොවන්නට ඇත.

එහෙත්, අප අපගේ අවසන් ආදරයයි. 

අවුරුදු හයක් තිස්සේ මා ලද වටිනාම වස්තුව නුඹේ ආදරයයි.

හිස සුදු ගැන්වුණු මරණ මංචකයේදීද මා පතන්නේ නුඹවමයි.

තරු දෙනෙත තුළ කිමිද
සොයමි මම ආදරය
හිත ඇතුලෙ දඟ කරන
මගෙ සොඳුරු ආදරය
කල්පයක් බලන් හිඳ
කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය..

Thursday, September 20, 2012

පට්ට ඩ්‍රයිවිං හෙවත් යක්ෂාරූඪයෙන් වාහන එළවීම

ඒ ලෙවල් කරන කාලෙ මම බයෝ වලට ගෲප් ක්ලාස් එකකට ගියා. ඒක කලේ අපේ ඉස්කෝලෙම මිස් කෙනෙක්. ළමයිනුත් දහයක් විතර හිටියා. ඉස්කෝලෙ යාලුවොම තමයි ක්ලාස් එකේ හිටියෙත්.

අපේ ඉස්කෝලෙ මිශ්‍ර ඉස්කෝලයක් නිසා මම හැමදාම කියනවා වගේ ගැහැණු යාලුවො වගේම පිරිමි යාලුවොත් අපේ සෙට් එකේ හිටියා. කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැතුව එක වගේම පිස්සො ටිකක් හිටියෙ. ඒ යාලුවො සෙට් එකේ පස්සෙ කාලෙක ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කෙ පළවෙනියා වෙච්ච කෙනා වගේම, ඉස්කෝලෙ වෙලාවෙ බීලා විනය පාලක සර්ට අහුවෙලා පන්ති තහනම් කරපු උනුත් හිටියා. ඒත් ඒ කවුරු එක්ක උනත් මට තිබුණෙ මගේම සහෝදරයො වගේ බැඳීමක්.

මුන් ඉතින් අපේ ගෙවල් වලට හිටපු ගමන් කඩන් වැටිලා අපේ අම්මලා තත්තලා උනත් මුන්ව අඳුරනවා. අපෙ අම්මා කෙසේ වෙතත් අපේ තාත්තට නම් මගෙ යාලුවො සෙට් එකේ දිරවන්නැති උන් හිටියා. උන්ගෙ මූණට කිව්වෙ නැති උනාට මට නම් අඟවලයි තිබුණෙ ඔය රස්තියාදුකාර කොල්ලොන්ව ආශ්‍රය කරන්න එපා කියලා. ගෙදරින් කිව්ව පලියට අපි ඔය කාලෙ යාලුවො අත අරිනවද.

ඉතිං කලින් කිව්ව බයෝ ක්ලාස් එකට ඔය අපේ තාත්තට පෙන්නන්න බැරි ජාතියෙ කොල්ලො දෙතුන් දෙනෙකුත් ආවා. ක්ලාස් එක ඇරෙන වෙලාවට තාත්තා එනවා මාව එක්කන් යන්න.

එක දවසක් ක්ලාස් එක ඇරුනට පස්සෙ අර යාලුවන්ගෙන් කෙනෙක් මට කතා කරා. අපි ඒ යාලුවට හෙෂාන් කියමුකො.

"මට ඉස්පිරිතාල හන්දියට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්ද බං. උඹලත් යන්නෙ ඒ පැත්තටනෙ."

මටත් ඒක ප්‍රශ්නයක් නැති නිසා මම හෙෂාන්ට කමක් නෑ එන්න කිව්වා.
 
මම දැන් හෙෂාන් එක්ක වාහනේ ගාවට යනවා. අපි අඟලෙන් අඟල තාත්තා ගාවට ළං වෙද්දි තාත්තගෙ මූණ සංසුන්ව තිබිලා, කුතුහලයට ලක්වෙලා, වික්ෂිප්ත වෙලා, තරහා ආරෝපණය වෙලා, වාහනේ දොර අරිනකොට අබ පුපුරන ගාණට පරිවර්තනය වෙලා තිබුණෙ. තාත්තා මේ වගේ යාලුවොන්ට අක්මැතියි කියලා දන්නවා වුණත් මට යාලුවා ඉස්සරහ බෑ කියලා අපහසුතාවයට පත් වෙන්න අකමැත්තක් තිබුණා. ඒත් තාත්තගෙ මූණ දකිනකොට පපුව ඇතුලෙ ඩිග් ඩිග් ගාලා ගැහුණා. යක්ෂයා ආරූඪ වෙලා ඉන්න මූණ දිහා ඇස් කොණෙන් බලලා මම වාඩි උනා.

"තාත්තෙ, හෙෂාන්ව ඉස්පිරිතාල හන්දියෙන් දාගෙන යමු."
 
තාත්තා නෙමෙයි හ්ම් කියලවත් කිව්වෙ. මම වචනයක් බලාපොරොත්තු උනෙත් නෑ. හෙෂානුත් පිටිපස්සෙ දොර ඇරගෙන වාඩි උනා. ඌ දොර වහගත්තද දන්නෙත් නෑ. බෲම් බෲම් ගාලා රේස් කරපු වාහනේ විද්දෙ නැතෑ වෙඩිල්ල වගේ.
 
මම අපේ තාත්තගෙ මේ ඇක්ෂන් එක හොඳටම අඳුරනවා. තාත්තා වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නෙ උපරිමේටම තරහ ගිහින් ඉන්නෙ කියන එක.
 
වාහනේ පියාඹනවා වගේ. සිං සිං සිං ගාලා අනිත් වාහන පහුවෙනවා. වංගු ගන්නකොට අපේ ගිහින් දොරේ ඇලවෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ අපි අදාල හන්දියට ආවා. ක්‍රෑ..ස් ගාලා ගැහුවා බ්‍රේක් එකක්. තව පොඩ්ඩෙන් අරූගෙ මූණෙන් ඉස්සරහ වීදුරුවෙ මෝස්තරයක් අඳින්න තිබ්බා.
 
හෙෂාන් දඩ බඩ ගාලා බැහැලා "තැන්ක් යූ අංකල්" කියන්නද කොහෙද ගියේ. ඌ අත උස්සලා "තැන්ක්.." කියද්දිත් වාහනෙන් පිට වෙච්ච දුං ටික විතරයි එතන තියෙන්න ඇත්තෙ. යනකනුත් තාත්තා වචනයක් කිව්වෙ නෑ. ගෙදර නැවැත්තුවට පස්සෙ දඩාං ගාලා දොරත් වහලා ගේ ඇතුලට ගියා. මම ආයෙ ඕවා හාර අවුස්සන්න ගියේ නෑ. ඉල්ලං කන්නෙ මොකටද.
 
ඒ මොනා උනත් ඊළඟ දවසෙ මම ඉස්කෝලෙ ගියේ හරි අප්සට් එකේ. හෙෂාන්ට අපෙ තාත්තගෙ තරහ දැනිලා තිබ්බොත් ඌ අනිත් යාලුවන්ටත් කිව්වොත් ඒක මට හරිම ලැජ්ජාවක් වෙයි.
 
එදා පන්තියට යනකොට හෙෂාන් අනිත් යාලුවන්වත් වට කරගෙන අත පය විසි කර කර මොනාද විස්තර කරනවා. මට තේරුණා එදා සිද්ධිය තමයි මේ කියන්නෙ කියලා. ලැජ්ජාවට කණෙන් දුං දානවා වගේ මට දැනුනා. මම ඒ හරියට යනකොට උන් මාව දැක්කා. හෙෂාන් මට කතාකරා.

"ආ වරෙන් වරෙන් උඹලගෙ තාත්තා ගැන කිය කිය හිටියෙ."

මූ ඊළඟට මොනවා කියයිද කියලා හිතාගන්න බැරුව මම ලොප් උනා.
 
"අඩෝ බං, උඹලගෙ තාත්තගෙ ඩ්‍රයිවිං නම් පට්ට බං. සිරාම සිරා. ශෙහ්. සිං ගාලා ගියා. විනාඩි දෙකක් වත් ගියේ නෑ අච්චර දුරක් එන්න. අඩෝ මරු බං. මම හෙන ආසාවෙන් බලන් හිටියෙ උඹලගෙ තාත්තා ඩ්‍රයිව් කරන හැටි."

උගෙ කියවිල්ල ඉවර වෙද්දි මගෙ කටත් ඇරිලා දන්නෙම නැතුව.

"හෑ.. ආ.. ඔව් ඔව්.. තාත්තගෙ ඩ්‍රයිවිං එහෙම තමයි."

යංතං ඒ වචන ටික ගොණුකර ගන්න මට පුලුවන් උනා. නැතුව තාත්තගෙ යක්ෂාරූඪයෙන් වාහන එළවීම ගැන කියලා මොකට කට වරද්ද ගන්නවද.

Saturday, September 8, 2012

මිතුරුදම වටී මට


නෙතු කෙවෙණි අද්දර
බොඳ වෙනකල්ම නුඹ
එපා මගෙ දෙස බලන්නට
යාලුවේ මගේ දයාබර..
නිහඬ සිතකින් නැගෙන
නුඹේ ආයාචනය
නොදැනෙන්නේ නොවෙයි මට
නොදැනෙන සේ සිටිමි මම..
නුහුරු ප්‍රේමයක් නොව
නුඹේ ඔය දඟකාර
දඩබ්බර මිතුරුදම
වටී මට සැමදාම..
හැමදාම රණ්ඩු වෙමු
හැමදාම තරහ වී
ආයෙමත් යාලු වෙමු..
එපා නුඹ අයදින්න
ප්‍රේමයේ සඳ කැළුම
මගෙන් නම් කිසිදාක
මිතුර, නුඹ වටී මට
සොහොයුරෙකු විලසින්ම..

Tuesday, August 28, 2012

හීන කතන්දර

මම හැමදාමත් හීන පොදිගහපු කෙනෙක්. සරල හීන වගේම මිල අධික හීනත් තිබුණා. දැනුත් හීන නැතුව නෙමෙයි. ඒත් ඒ කාලෙ තිබ්බ හීන වල හරි සමනල ගතියක් ගෑවිලා තිබුණා.

පුංචිම කාලෙ සුවඳ හමන ලස්සන පාට මකනයක් ගන්න, ස්ටිකර් කොලයක් ගන්න, පැත්තකින් දාර දාර තියෙන අඩිරූලක්, කූරු විසිහතරෙ පැස්ටල් පෙට්ටියක්, කාන්දම් තියෙන පැන්සල් පෙට්ටියක් ගන්න පුදුම ආසාවක් තිබුණා. ඒ දේවල් මට ලැබුණෙ හරි කලාතුරකින්. අම්මලා තාත්තලාට අපි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න වත්කමක් තිබුණෙ නෑ. හුඟක් වෙලාවට ඒ මිල අධික ආසාවල් හීනෙකට පමණක්ම සීමා වුණා.

ඒ කාලෙ තුල් මාරු කරන පැන්සලක් අපේ ගෙවල් වල හැටියට ලොකු ගාණක්. ඒ නිසා ඒ හීනය නිකම්ම නිකං ලී පැන්සලකට සීමා කරන්න වුණා. ඒ සීමාවට කොටුවීම මගේ නම් පුංචි හිතට දරන්නට බැරි වුණා. තුල් මාරු කරන පැන්සල වෙනුවට අතට ලී පැන්සලක් ලැබෙනකොට ඉටු නොවුණු හීන වෙනුවෙන් තාත්තා එක්ක තරහට ඒ කඩේදි යටි ගිරියෙන් කෑ ගහල අඬද්දි තාත්තා කොච්චර අසරණ වෙන්න ඇත්ද කියලා හිතන්න තරම් මගේ සිතුවිලි මෝරලා තිබුණෙ නෑ. ඒත් අද මට ඒ ගැන තියෙන්නෙ සුලු පටු වේදනාවක් නෙමෙයි.

ටික ටික ලොකු වෙනකොට පුංචිම කාලෙ තිබුණු හීන ඊට වෙනස් හීන වලින් ආදේශ වුණා. හයේ හතේදි විතර තිබුණු හීන ලිස්ට් එකට කලු පාට ෆයිල් එකක්, ලෝක සිතියම් පොතක්, තින්ත පෑනක්, කවකටු පෙට්ටියක් වගේ ඒවා එක්කහු වෙලා තිබුණා. ඒ වෙද්දි තාත්තගෙ පඩියෙන් ගෙදර අවශ්‍යතා පිරිමහලා ඉවර උනාම ඉස්සරම ඉල්ලපු තුල් මාරු කරන පැන්සලක් අරන් දෙන්න පුලුවන් වුණාට, කවකටු පෙට්ටියක් අරන් දෙන්න පුලුවන්කමක් නෑ. අවුරුදු හයේදි ලැබුණෙ නැති දේවල් වලට කෑ ගහල ඇඬුවට, දොළහෙදි නොඅඬන තරමට හිත නැති බැරිකම් වලට පදම් වෙලා තිබුණා. එතකොට මම ඉන්නෙ අලුත් අවුරුද්ද වෙනකල්. ගණුදෙනු කරන වෙලාවට අම්මලා තාත්තලාගෙන්, සීයාගෙන්, ආච්චිගෙන්, මාමලාගෙන් හම්බවෙන සල්ලි එකතු කරලා හීන ඉටුකර ගන්න පුරුද්දක් ඇතිකරගෙනයි හිටියෙ.

මම නම් ඉස්කෝලෙදි කොල්ලොන්ට ක්‍රිකට් ස්ටිකර් විකුණලත් සල්ලි හෙවුවා. බොරු නෙමෙයි. පොඩි කාලෙ ඉඳන්ම සංගීතෙ කරපු නිසා මගුල් ගෙවල් වල ජයමංගල ගාථා කියන්න ගිහිනුත් සල්ලි හම්බ කරා. ඇත්තටම ඒක තමයි මගෙ පලවෙනි රස්සාව. සමහර මගුල් ගෙවල් වලින් රුපියල් පන්සීයක් ලැබිච්ච වෙලාවලුත් තිබුණා. රුපියල් පන්සීයක් කියන්නෙ ඒ කාලෙ හැටියට හීන කීපයක් ඉටු කරගන්න පුලුවන් ගාණක්.

තව පස්සෙ කාලෙකදි තිබිච්ච හීනයක් තමයි කඩෙන් ගත්තු ඇඳුම් අඳින එක. අපේ අම්මා ඒ කාලෙ අපිට ගෙදරදිම ඇඳුම් මහලා දෙනවා. දැන් කොච්චර අගේ උනත් ලමිස්සියො කාලෙ ගෙදර මහපු ගවුමක් ඇඳන් යන්න හිත ආස කරේ නෑ. අම්මට කොච්චර දුක හිතෙන්න ඇද්ද ලස්සනට මහලා බොත්තම්, රේන්ද අල්ලලා දුන්නු ගවුමක් අඳින්න බෑ කියද්දි. ඒ දුක අපේ විසේකාර හිත්වලට ඒ කාලෙ දැනුණෙ නැති වුණාට දැන් නම් මගෙ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවීමක්. ඒවා ආපහු නිවැරදි කරන්න බැරි විදිහට වෙච්ච වැරදි.

සංගීත පිස්සුව ඔලුවටම ගහපු කාලෙ තිබුණු ලොකුම හීනෙ තමයි සිතාර් එකක් ගන්න එක. මම කොච්චර අම්මලට කරදර කරන්න ඇත්ද. අම්මට හම්බවෙන සීට්ටුවක් එකතු කරලා තමයි සිතාර් එක අරන් දුන්නෙ. ඒ කාලෙත් ඒක පහලොස්දාහක්. අම්මා සීට්ටුවෙන් මොන දේවල් කරන්න හිටියද කියලා මට හිතුණෙ නෑ. මේක අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක දැනුනෙ නෑ. තිබුණු එකම දේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ කියන උමතුව විතරයි.

සිතාර් එක අතට හම්බුණා. මට ලෝකයක් ලැබුණා වගේ. ඇත්තට එහෙමත් කාලයක්. ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ සතියෙ හුඟක් දවස් ගෙවුණෙ සංගීත පන්තියෙ. දිස්ත්‍රික් තරඟ, පළාත් තරඟ, සමස්ථ ලංකා තරඟ. ඔය හීන වලිනුයි හිත පිරිලා තිබුණෙ. සිතාර් එකේ තත් වලට පිරිමැදිලා වම් අතේ දබර ඇඟිල්ලෙයි මැද ඇඟිල්ලෙයි කාණු හැදිලයි තිබුණෙ.

ඒත් ඕනෙම හීනෙකට එක්තරා කාලෙකින් පස්සෙ වටිනාකමක් නැතුව යනවා. සිතාර් එකටත් ඒකමයි උනේ. ඕලෙවල් වලින් පස්සෙ පැත්තකින් තියපු සිතාර් එක අවුරුදු දහයකින් මම අල්ලලාවත් නෑ කිව්වොත් ඔබ පුදුම වේවි. ඒත් හැමදේම තාවකාලිකයි. ඒ කාලෙ පහලොස්දාහ හැටියට අම්මට චේන් පොටක් ගන්න තිබ්බා. වළලු ජෝඩුවක් ගන්න තිබ්බා. ඒත් අම්මා එයාගෙ හීන යටපත් කරලා මගෙ හීනෙට ඉඩ දුන්නා. ඉතින් හිත පසුතැවෙන එක වළක්වන්න පුලුවන්ද.

කාලෙ ගෙවිලා ගියා. හීන අලුත් උනා. කාලයත් එක්ක හීන වෙන වෙන හීන වලින් ආදේශ උනා. හීන වලට ආයු කාලයක් තියෙනවා කියන්නෙ බොරු නෙමෙයි. අද තුල් මාරු කරන පැන්සලක් කවකටු පෙට්ටියක් කියන්න්නෙ තව දුරටත් මට හීනයක් නෙමෙයි. ඒත් ඒ කාලෙ සමනල හීන වලට දැන් ආදේශ වෙන්නෙ හරි බරපතල හීන.

ඔබටත් ඉටු කරගන්න බැරි වෙච්ච හීන ඇති. දුක් වෙන්න එප. කාලයක් ගත වෙද්දි ආපහු හැරිලා බලද්දි හීන අවලංගු වෙන බව දැනේවි. සමහරවිට ඉටුකරගත්තු හීන වලට ඉටු කරගත්තු හීන වලට පස්සෙ කාලෙක පසුතැවීමකුත් එකතු වෙලා තියේවි. ඒත් අමතක කරන්න එපා. ජීවිතේ එක් එක් කාලවලදි අපට ජීවත් වෙන්න අරමුණු සපයන්නෙත් ඒ හීනම තමයි.

Thursday, August 23, 2012

පර්දාවෙන් වැසුණු තහනම් ආදරය

"මගේ නිවස මම පිරිසිදු කරලයි තිබෙන්නේ, ඒකයි මා කරල තිබෙන්නෙ. මගේ පවුලේ කුණුවී ගිය කොටස කපා ඉවත් කර නිවසට නැවත ගෞරවය රැගෙන විත් තිබෙනවා."

මේ වහසි බස් දොඩන්නේ වෙනත් ආගමක තරුණයෙකු හා පෙමින් බැඳි වරදට, තම දියණියට පිහියෙන් ඇන මරා දමා, තම පවුලේ 'නම්බුව' බේරා ගත් 'වීර' පියෙකුයි. ඔව්. ජෝර්දානයේ 'බෙඩුඉන්' නීතියට අනුව ඔහු කර ඇත්තේ වරදක් නොවේ. තම පවුලේ නම්බුව වෙනුවෙන් කැපවුණු වීරයෙකු ලෙස උසාවියෙන් ඔහුට ප්‍රශංසා හිමිවේ.

මා ජාතිවාදියෙකු නොවේ. ආගම්වාදියෙකුද නොවේ. එහෙත් Norma Khouri විසින් රචිත 'Forbidden Love' නම් කෘතිය කියවාගෙන යද්දී මනුෂ්‍යත්වය වෙනුවෙන් මගේ ලේ රත්වෙනු වලක්වා ගත නොහැකි විය. මෙම කෘතිය එල්.එස්.එස්. පතිරත්න විසින් 'කාන්තාරයේ අහිංසකාවිය' ලෙස සිංහලයට පරිවර්තනය කර ඇත.

මෙම කෘතියට පදනම් වී ඇත්තේ කතුවරිය මුහුණ පෑ සත්‍ය සිදුවීමකි. එය ශතවර්ෂ ගණනාවකට පෙර දුරබැහැර ගෝත්‍රික ගම්මානයක නොවේ. විසි එක්වැනි සියවසේ අධිතාක්ෂණික නවීකරණයට යටත්ව ඇති ජෝර්දානයේ අම්මාන් අග නගරයේ සිදුවීමකි. මෙය එක් හුදකලා සිදුවීමක්ද නොවේ. වසර සිය ගණනක් පුරා අරාබි රටවල දිනපතා සිදුවෙමින් පවතින බිහිසුණු ක්‍රියාවලියක එක් සිදුවීමක් පමණි.

කතුවරිය වූ නෝමාගේ හොඳම යෙහෙළිය වූ 'ඩාලියා' අති සුන්දර මුස්ලිම් යුවතියකි. ඈ අහම්බයෙන් ප්‍රේමයේ බැඳෙන්නේ කතෝලික තරුණයෙකු වූ 'මයිකල්' සමඟය. අන්‍යාගමික ප්‍රේමයක් එවැනි රටක මුස්ලිම් ජීවිතයකට ඇතුළු වීම යනු මරණයට අත වැනීමක් බව දැන දැනත් නෝමා ඩාලියාගේ ප්‍රේමයට උදව් කරයි.
 
ඩාලියා හා මයිකල් තම ප්‍රේමයට ජෝර්දානය තුළ පැවැත්මක් නැති බව දැන නෝමාද සමඟ රටින් පිටවීමට උත්සාහ දරති. එහෙත් දඩ බල්ලන් සේ සිය සොයුරියගේ ජීවිතයට ඉව අල්ලමින් සිටි ඩාලියාගේ සොහොයුරන් මෙය දැන ගනියි. කෝපාවිෂ්ඨ වූ ඩාලියාගේ පියා සිය දියණියගේ 'නොහොබිනා' හැසිරීම නිසා නැතිවී ගිය පවුලේ ගෞරවය ආරක්ෂා කරගනු වස් ඈට පිහියෙන් ඇන මරා දමයි. එය එපමණකටම සරලය. මනුෂ්‍ය ජීවිතයක් ඔවුනට එපමණටම නොවටින්නේය.
 
කතුවරියට අනුව ජෝර්දානය බහුතරයක් ගැහැණුන්ට කලහකාරී සිර මැදිරියකි. තමාගේ ආදරණීයන්ගේ දෑතින්ම මරණයට පත්වීමේ අවිනිශ්චිත අවදානමට ඔවුහු සැමවිටම මුහුණ දෙමින් සිටිති. ඔවුහු නිශ්ශබ්ද සිහින දකින්නියන් වන තරමට ජීවිතය ආරක්ෂිතය.

රැකගැනීමට උත්සාහ කළ නම්බුව ඉක්මවා ගිය ආදිකල්පික කෲරත්වය පිළිබිඹු කරමින් ඩාලියාගේ සිරුර තුළට දොලොස් වතාවක් පිහියෙන් ඇන තිබිණි. පිහියෙන් ඇනීමෙන් පසු ඇයගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වග ස්ථීර කරගන්නා තුරු ගිලන් රිය කැඳවීමට ඔවුහු කල්මරමින් පසුවී තිබිණ. තත්වය මෙසේ තිබියදී පැය කිහිපයක් ෂාරියා උසාවියේ ගත කිරීමේ අපහසුව හැරුණු විට මිනීමරුවා කිසිදු දඬුවමකට යටත් නොවේ. එපමණක් නොව, පවුලේ නම්බුව උසස්කොට සලකා ක්‍රියාකිරීමට ඔහු තුළ තිබූ ධෛර්යය සම්බන්ධයෙන් උසාවිය ඔහුට ගෞරවය පුදකර සිටියි.

කතුවරිය සතු සංඛ්‍යාලේඛණ වලට අදාලව ලොව පුරා නම්බුව උදෙසා මරාදමන ගැහැණුන්ගේ සංඛ්‍යාව වසරකට 5000 ඉක්මවයි. එයින් බහුතරය ජෝර්දානයෙන්ය. අනාචාරයේ හැසිරෙන හෝ අනාචාරයට යොමුවිය හැකි ලෙස කටයුතුකරන ස්ත්‍රී ඥාතීන් මරා දැමීමට ඔවුන්ට නීතියෙන්ම ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. මෙහි අනාචාරයට යොමුවිය හැකි ක්‍රියාවක් ලෙස ආගන්තුකයෙකු සමඟ කතාකිරීම වුවද ප්‍රමාණවත්ය. දුරාචාරවත් ලෙස හැසිරී ඇතැයි යන හුදු කටකතාවක් හෝ සැක කිරීමක් වුවද මීට අදාලය.
 
තවත් ලියන්නට දේ ඇතුවා නොවේ. මගේ කලහකාරී සිත තවම නිවී නැත. එහෙත් යම් ආගමකට ඇඟිල්ල දිගුකිරීමට මට අයිතියක් නැත. මිනිසෙකුට කිනම් හෝ ආගමක් ඇදහීමේ අයිතිය ඇත. එක් එක් ආගමෙන් ලැබෙන නිදහසද වෙනස් විය හැක. ආගමක් සංසන්දනය කිරීමට මට අවශ්‍ය නැත. මන්දයත් ආගම ජාතිය අතහැරිය විට අප සියල්ලෝම ඇට මස් ලේ වලින් සැදි මනුෂ්‍යයෝ වන බැවිනි. ඒ මනුෂ්‍යත්වයට ගෞරව කිරීමට මෙන්ම ගෞරවය පෙරලා ලැබීමටද අපට අයිතියක් ඇත. පොත කියවා බලා ඒ මනුස්සකමට ලැබිය යුතු වටිනාකම තක්සේරු කල හැක්කේ කෙසේදැයි තීරණය කිරීම ඔබට බාරය.

Tuesday, August 14, 2012

ප්‍රී වෙඩිං නාඩගං 3 - නිශ්ශබ්ද වචන


නිමිත්ත :- අපගේ විවාහය ද්වී ආගමික විවාහයක් වුවත් විවාහ ලියාපදිංචිය පල්ලියේදී කළ යුතු බව පල්ලියේ පියතුමා පවසයි.

තාත්තා - ඕකනෙ මම මුලින්ම කිව්වෙ. මේවා මහ කරදර වැඩ.

මම -

තාත්තා - පෝරුවෙ විතරක් ගත්තා නම් නෑනෙ මේ වදයක්.

මම -

තාත්තා - රෙජිස්ට්‍රේෂන් එකට නැකතක් හැදුවා නම් ඒ නැකතට ඒ කටයුතු කරන එකයි කළ යුත්තෙ.

මම -

තාත්තා - නැකැත් නොසලකා මේවා කරන්න පුලුවන්ද හිතිච්චි හිතිච්චි වෙලාවට.

මම -

තාත්තා - අපි හොඳ සිංහල බෞද්ධ මිනිස්සු.

මම -

තාත්තා - අපේ පරම්පරා වල කවුරුත් නොකරපු වැඩ මේවා.

මම -

තාත්තා - නෑයො හිනා වෙයි අපිට.

මම -

තාත්තා - එක්කො රෙජිස්ට්‍රේෂන් එක නැකතට ගන්නවා. නැත්තන් උඹලා පල්ලියේ කටයුතු මම නැතුව කරගනිල්ලා.

මම- ---------------------------------------------------------------------------------------------------

පසුව,
තාත්තා - මොකද සද්ද නැත්තෙ?

මම -

තාත්තා - මොකද වෙලා තියෙන්නෙ?

මම -

---------------------------------------------------------------------------------------------------

ඊටත් පසුව,

තාත්තා - කමක් නෑ. අපි පල්ලියෙ රෙජිස්ට්‍රේෂන් ගන්න කැමතියි කියන්න.

නිශ්ශබ්දතාවයටද වචන ඇති බව අවසන මම පසක් කර ගතිමි.
Related Posts Plugin for WordPress, Blogger...