Pages

Sunday, December 11, 2011

කොම්බුට්ටාගේ සීනි පොල්කොහු


කැම්පස් ආවට පස්සෙ තමයි ලංකාවෙ හතර දිග්බාගයෙන්ම ආපු අයව අඳුර ගන්න ලැබුණෙ. වර්ග කිලෝමීටර් 65000ක් විතර ප්‍රමාණයක් ඇතුලෙ හිටියත් එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට අපේ සංස්කෘතිය, වචන භාවිතය, කෑම බීම උනත් කොච්චර වෙනස් වෙනවද? එකම දේකට ප්‍රාදේශීය වචන කොච්චර තියෙනවද. ඇහුවම මඤ්ඤං වෙලා යන වචනත් ඒ අතර තියෙනවා.

මාතෘකාවට මම දාලා තියෙන "කොම්බුට්ටා" වචනෙ අහලා තියෙද. මම නම් ඔය වචනෙ ඇහුවෙත් මෙහෙ ආවමයි. ෆැකල්ටි එකේ එදා ක්‍රිකට් මැච් එකක්. කට්ටියම පිට්ටනියෙ. මැච් එක පැත්තක. අපි හෙන කයියක. එක පාරට අපේ කොල්ලෙක් කියනවා "අර බලපංකො කොම්බුට්ටො ගොඩ" කියලා. අපිට හිතාගන්න බැරි උනා මොකක් ගැනද මේ කියන්නෙ කියලා. බලද්දි බත්කූරො රෑනක් ඉගිලෙනවා. මුන්ගෙ පැත්තෙ බත්කූරාට කියන්නෙ කොම්බුට්ටා කියලලු. එදා ඉඳන් ඌත් කොම්බුට්ටා උනා.

එක දවසක් බෝඩිමට යන පාරෙ "බොම්බයි මොටයි" විකුණන මනුස්සයෙක් යනවා. ඔන්න අපේ යාලුවෙක් කියනවා "අඩේ සීනි පොල්කොහු කෑවෙ නෑ කාලෙකින්. කමුද" කියලා. මේකි සීනි පොල්කොහු කියල තියෙන්නෙ බොම්බයි මොටයි වලට.කට්ටිය බඩ අල්ලන් හිනා උනා. අරකිට මළ පැනලා කියනවා තොපි අපේ පැත්තෙ ඇවිත් බොම්බයි මොටයි කියපංකො අපේ පැත්තෙ මිනිස්සු හිනාවෙන්නෙ නැද්ද බලන්න. ඇත්ත තමා ඉතින්. ඒ උනත් උඹලගෙ පැත්තෙ මෙච්චර කල් කෑවෙ පොල්කොහු වලට සීනි දාලද කියල නම් නාහා ඉන්න බැරි උනා.

අපේ හොස්ටල් එකේ තිබ්බෙ තට්ටු ඇඳන්. එක දවසක් පල්ලෙහා ඇඳේ ඉන්න එකී කෑ ගහනවා "මේක ගන්න ගන්න. අනේ මේක ගන්න ගන්නකෝ" කියලා. උඩ ඇඳේ ඉන්න එකී කියනවා "මොකද්ද බං දෙන දෙයක් දීපංකො. ගන්න ගන්න කියලා කෑගහන්නෙ" කියලා. බලද්දි උඩ ඇඳේ නෙට් එක පල්ලෙහා ඇඳටම දිග ඇරිලා. පල්ලෙහා ඇදේ කෙනා කියන්නෙ නෙට් එක ඇඳ ඇතුලට ඔබන්න කියලා. උන්ගෙ පැත්තෙ ඒකට කියන්නෙ ගන්න ගන්නවා කියලලු. උඩ ඇඳේ කෙනා හිතුවෙ අරයා මොනාහරි දෙන්න හදනවා. ඉක්මනට ගන්න කියනවා කියලා.

ඇයි පැණි කොමඩු වලට සමහර පැති වල "පත්තක්කා" කියනවා. කලින් මම පත්තක්කා වචනෙ ඇහුවම හිතුවෙ මේ වට්ටක්කා ගැනයි කියන්නෙ කියලා. පස්සෙ තමයි දැනගත්තෙ මේ පැණිකොමඩු කියලා. පැණි කොමඩු වලටම තව පැත්තක සීනි කැකිරි කියනවා.

ඔය ප්‍රාදේශීය වචන නිසා මාත් හොඳවැයින් චාටර් වෙලා තියෙනවා. එක දවසක් හොඳටම වහිනවා. ජනේලෙන් වතුර විසිවෙනවා ඇතුළට. මම යාලුවට කිව්වා "හිරිකඩ එන නිසා ජනේලෙ වහන්නම්" කියලා. මේකි ඇස් ලොකු කරන් බලන් ඉන්නවා මම මොකද්ද මේ කියන්නෙ කියල. වැහි පොද විසි වෙනවට හිරිකඩ කියන්නෙ අපේ පැත්තෙ විතරමද මන්දා. සමහරු තුවාරන් ගහනවා කියලත් කියනවා මම අහල තියෙනවා.

ඒ වගේම තුනපහ වලට "සක්කර" කියලත් මම බයිට් වෙලා තියෙනවා. අපේ පැත්තෙ ඇත්තටම සක්කර කියන වචනෙ පාවිච්චි කරනවා.

සජිත්ලගෙ පැත්තෙත් ඔහොම අමුතු වචන පාවිච්චියක් තියෙනවා. එක දවසක් එයා මොකක් හරි කියනවා කියනවා මම පිළිගන්නෙම නෑ. එක පාරටම කියපි "යකෝ මුන්ට ඇත්ත කියනවට අපිට ගොං කවඩි කොටන්න එපැයි" කියලා. තරහ පැත්තක. මම බඩ අල්ලන් හිනා වෙනවා. ගොං කවඩි කියලා එයාලා කියන්නෙ මයිනොන්ටලු.

එක දවසක අපිට කොහෙන්ද මන්දා අඹ වගයක් හම්බවෙලා. කට්ටිය අඹ කකා ඉද්දි එකියක් අහනවා "ඒ උඹලා අඹ කෝට්ටෙ කන්නෙ නැද්ද" කියලා. කාපු අඹ ඉස්පොල්ලෙ යන්නත් ගියා. අඹ කෝටු කනවයැ. බැලින්නම් මේ කියලා තියෙන්නෙ අඹ ඇටේ කන්නෙ නැද්ද කියලා.

තව මරු වචනයක් තමා "පොක්කලං". අපි දියපට්ටා කියනවා වගේ සමහරු ඒකට කියන්නෙ පොක්කලං කියලා. කීප දෙනෙක්ගෙන් ඒ වචනෙ අහල තියෙනව මම.

එක කාලෙක මම මගෙ ෆෝන් එක විකුණන අදහසකින් හිටියෙ. එක දවසක බැච් එකේ කොල්ලෙක් ඇවිත් අහනවා "මේ උඹ ෆෝන් එක කීයටැයි විකන්නෙ" කියලා. විකනවා කියලා අපි හපනවට කිව්වට උන් විකනවා කියන්නෙ විකුණනවටලු.

ඉතිං වෙලාවකට ඔහොම වචන ඇහුවාම ඔලුවට ගොං කවඩි කෙටුවා වගේ තමා. මට විතරක් නෙමෙයි ඔයාලටත් මෙහෙම අත්දැකීම් ඇතිනෙ. කෝ ලියමු බලන්න පහලින් එහෙනම්..

84 comments:

  1. අපිත් වහිනකොට ජනේලෙන් ඇතුළට වතුර විසි වෙනවා කියන එකට කියන්නේ නම් හිරිකඩ එනවා කියලා තමා :D අනිත් වචන නම් ඇහුවෙත් අදමයි

    ReplyDelete
  2. බොලං පත්තක්කයි කොමඩුයි කියන්නෙ දෙකක්. තද කොළපාට බෝල ගෙඩි කොමඩු. පත්තක්ක ලා කොළපාට ගෙඩියෙ පොඩි වයිරමක් තියනව. අනික සීනි කැකිරි කියන්නෙ ඔය දෙකටම නෙමෙයි යෝදියෙ. අනේ මන්දන්නෙ නෑ බොලාගෙ ගම කොහෙයි?

    ඊටත් බලහල්ලකො "බොම්බයි මොටයි" කියන නම ගැලපෙනවද කියල, ඔන්න සීනි පොල්කොහු කිව්වම හැඩෙයි රහෙයි ලඟින්වත් යනව.

    ඇයි වලාමෙ තුනපහ වලට සක්කරෙයි කියන්නෙ කොයි ලෝකෙයි. අනේ මන්දන්නෙ නෑ මේ විගඩං. බොලාගෙ ගම කොහෙයි?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... සීනි කැකිරි කියන්නේ වෙනම වර්ගයක්... සක්කර කියන්නෙ හකුරු වලටනේ.......

      Delete
  3. අපේ යාලුවෙක් දවසක් අළු කෙසෙල් වලට, "අළු කිතල" කියල කිව්වා... පොර දකුණේ... :)

    ReplyDelete
  4. අප්පා මෙහෙමත් වචන සැට් එකක් තියනවා කියලා දන්නෙ අදනෙ, සමහර ඒවා මමත් අදමයි ඇහුවෙ ......

    ReplyDelete
  5. @nawammawatha,
    යකෝ සීනි පොල් කොහු කිව්වාම නිකං පොල් කොහුවලට සීනි දාලා වගේනෙ ........

    ReplyDelete
  6. හික් හික්, තුවනං කියලා තමයි අපිත් කියන්නේ., පොක්කලන් කියලා දියපට්ට වලට කියනවා ඔව්.. හිහි,

    ReplyDelete
  7. මාත් මේ කියන්න හැදුවේ පත්තක්කයි කොමඩුයි ජාති දෙකක් කියලා...
    "ගන්න ගන්නවා","ගොං කවඩි","අඹ කෝට්ටෙ" වචන නම් අදමයි ඇහුවේ. තව විකනවා කියන එක අහලා තිබ්බට ඔය තේරුමෙන් නම් නෙමෙයි

    ReplyDelete
  8. @ ශානු - හිරිකඩ කියන වචනෙ හැමෝම පාවිච්චි කරන්නෙ නැතිලු.

    ReplyDelete
  9. මටත් ඔය ජාතියෙ සුපිරි ආතල් එකක් සෙට් උනා අපේ බැචියෙක් වෙච්චි කලා ලැයි බූස්සෙ ගෙදර ගිය වෙලේ . . . කංසා දුමාරෙ වැදිල මද පවනෙ ඉන්න වෙලාවක කලාලයි මලය අන්තර්ජතික බූස්සෙ වචන සැට් එකක් සහ තාලය පාවිච්චි කරල මොකද්දෝ කතාවක් කීව . . . . මටයි මගෙත් එක්කම මද පවනේ හිටි තනියටයි (උගෙ කාඩ් එක ඈ) ඉන්න හිටින්න බැරුව ගියා ආතල් වෙච්චි පාරට . . . කලාලැයි අම්ම තාත්ත නොහිටින්න එදා රෑම කලා අපි දෙන්නව එලියට දානව උංට අපහාස කොලයි කියල . . . .

    ReplyDelete
  10. @ nawammawatha - අම්මපා අයියෙ මම උඹලා කියනකල් ඕක දෙකක් කියල දැනන් හිටියෙ නෑ නෙව.

    "ඔන්න සීනි පොල්කොහු කිව්වම හැඩෙයි රහෙයි ලඟින්වත් යනව" ඈ බං අයියෙ උඹලා මෙච්චර කල් කෑවෙ පොල් කොහුද බොල. විගඩං නෙමෙයි බං. අපි පොලොන්නරුවෙ නෙව.

    ReplyDelete
  11. සිනි පොල්කොහු,ගොන් කවඩි,පත්තක්ක නම් ඕන තරම් අහල තියෙනවා.. ඔය වචන වගේ තව ගොඩක් ඒවා තියෙනවා..
    "මේ දෑස මක්කටෙයි?" :ඩි
    ඔය විතරක් නෙවෙයි ප්‍රාදේශීයව භාවිත වෙන ගොඩක් දේවල් තියෙනවා..කෑම වට්ටෝරු,බෙහෙත් වර්ග,...එක ලංකාවේ සංස්කෘතියේ විවිධත්වයක්..

    ReplyDelete
  12. @ Sanka - මම ඒ වචනෙ නම් අහලම නෑ හැබැයි.

    ReplyDelete
  13. @ පන්සල් හංදිය - ඒකනෙ කියන්නෙ ඔලුවට ගොං කවඩි කෙටුවා වගේ තමා නේ..

    ReplyDelete
  14. @ වර්ණා - මේ ඉන්නෙ මේ වචන පාවිච්චි කරන අය.

    ReplyDelete
  15. @ පූසා - ඔය දෙකේ වෙනව මම කියනකල් දැනන් හිටියෙ නෑ නෙව. හැබැයි ඒ කොමඩු ජාතියත් දැකල තියෙනව හැබැයි.

    ReplyDelete
  16. කොමඩු වලට "කරබූසා" කියල කියන අයත් ඉන්නවා.. නමුත් ඔය සීනී කැකිරි කියන්නේ නම් වෙනමම් ජාතියකට...

    ReplyDelete
  17. ග්ලිරිසීඩියා, කිරිදීසියා, වැටමාර, ජනවාරි

    ReplyDelete
  18. පත්තක්කා වචනය නම් අහලා තියෙනවා. කොමඩු වලට එහෙම කියන්නේ නැහැයි කියන්න ගිහිං මාත් එක්ක තරහ වෙලත් තියෙනවා...

    ඇයි අපේ ගමේ ව්‍යාංජන වලට කියන්නේ මාළු කියලනේ....

    ReplyDelete
  19. ඔය වගේ වචන නම් අනන්තයි ...අප්‍රමාණයි.... සමහර අය ඇහැරවනවට කියන්නෙ " කූද්දනවා " කියලා... මැටි කෝප්පයට කියන්නෙ " බත්තලන්ද " කියලා... ඔෆීසියේ නිසා මතක් වෙන්නෙ නෑ අප්පා..

    ReplyDelete
  20. මේ මේ අපේ පැත්තේ වචන වලට එහෙම මොනවත් කියන්න එපා.:) නවම් අයිය කියපු ටිකට මාත් හෙනම ලයික්. හරි එතකොට අක්ක කියන්න 'බොම්බයි මොටයි' කියන්නේ මොකෝ ඒව ඉන්දියාවෙන්ද ගෙන්නන්නේ?:D සීනි පොල්කොහු කියන එක ගන්නකො, සීනි කියන එකෙන් රස ගැන අදහසක් එනවා, පොල්කොහු කියන එකෙන් හැඩය ගැන අදහසක් එනවා. බලන්න කොච්චර ගැලපෙනවද ඒ වචනේ. සීනි කැකිරි ගැන එහෙම නවම් අයියා කියල තියනවා නේ.:P

    හිරිකඩ කියන්නේ නම් ඉතින් පොදුවේ භාවිතා කරන වචනයක් නේ. ඒ යාලුවා කොහේ එකියක්ද?:) ඔය අනිත් වචන නම් අදමයි ඇහුවේ.:)

    ReplyDelete
  21. http://tikakhinawenna.blogspot.com/2010/06/1.html

    http://tikakhinawenna.blogspot.com/2010/06/2.html

    ReplyDelete
  22. අපිත් කියනවා 'හිරිකඩ' කතාව... අපේ මීරිගම නැන්දලා තුණපහවලට කියන්නෙත් 'සක්කර' කියලා... නුවර පැත්තෙ අය ව්‍යංජනවලට කියන්නෙ 'මාළු' කියලා... එතකොට ඇත්තම මාළු වලට කියන්නෙ කොහොමද...? :) ඇහැරවන එකට අපිත් කියනවා 'කූද්දනවා' කියලා. ඔය අම්බලන්ගොඩ, හික්කඩුව පැත්තෙ අය 'ටයි එක ගලවනවා' කියන එකට කියන්නෙ 'ටයි එක උගුල්ලනවා' කියලා... ඒ පැත්තෙ අය කියලා, බලලා වගේ ඒවා කියන්නෙ 'කියාලා, බලාලා' කියලනෙ....

    ReplyDelete
  23. අපේ ගම් පළාතෙ නම් සක්කර කියන්නෙ තුනපහ වලට නෙවෙයි. එහේ සක්කර කියල කියන්නෙ උක් හකුරු වලට. ඒ වගේම මේකත් කියන්න ඕන. ඔය සමහර වචන කියන්න ගිහින් දිව පැටළුනාම අපේ පැත්තෙ නම් ඕක කියන්නෙ ඔහොමයි කියන අය නම් අපේ කැම්පස් එකෙත් ඕන තරම් ඉන්නවා.

    ReplyDelete
  24. දවසක් ඔහොම එකෙක් මගෙන් ඇහුවනේ "ආ මේ... උඹලාගෙ පැත්තෙ බස් හිටවනව නේද ?" කියල.මම් හොදවයින් 2ක්ම කිව්ව.ඇයි යකෝ.

    ReplyDelete
  25. සීනි පොල් කොහු කිවුවම මම කරකවලා ගියා.. කැම්පස් අත්දැකිම් මට නැතත් ලංකාව වටෙන් ආපු අය මෙහේ මුනගැහෙද්දි ඔය වගේ වචන පාවිච්චි වෙනවා..

    ReplyDelete
  26. තුවනං,
    පත්තක්කා
    ඇහුවෙත් අදමයි....

    අපෙත් ඉන්නවා හිඟුරක්ගොඩ නෑදෑයෝ කට්ටියක්...

    ReplyDelete
  27. යකෝ අපි බොම්බයි මොටයි වලට කියන්නේ සීයගෙ රැවුල කියලා ..

    තල ගොයා = ගොයා
    කබඩ් එක = ගබඩිත්ත
    බොත්තම් = බොත්තො
    වැසිකිලිය = කක්කුස්සිය

    ඔය වගේ තව තව වදන් මේ පැත්තේ යූස් එවෙනවා ..

    ReplyDelete
  28. ඇයි අපේ එකෙක් හැන්දෑ වරුවක කියනවා "මචං මම් කිහිල්ලේ නාන්න යනවා" කියලා. අපිත් පස්සෙන් වැටිලා ගියා. බැලින්නම් මූ ඇඟ සෝදනවා.

    අපේ ලොකු නැන්දා ඉන්නේ මාතර. එයාලා ළමයි නිදි කරනවට කියන්නේ බාවනවා කියලා. ඒක පාවිච්චි වෙන්නේ මෙහෙමයි "පුතා එන්න අම්මා ඔඩක්කේ බාවන්න". කොහොමද ඕක මෙහේ කිව්වා නම්. හික්ස් :)

    ReplyDelete
  29. අපේ එකෙක් කිව්වා එක පාරක් " උඹලා ඔහොම හිටහල්ලා මම බස් එක හිටවලා දෙන්නම් කියලා, තව තියනවා පාලහ කියනවා පහලවට, බිච්චිය කියන්නෙ බිත්තියට, මාලු බොකු වලට කියන්නෙ මාලු බඩ" උඹලා මාලු බඩ කන්නෙ නැතෙයි මචං"... තව ගොඩක් තිබුනා මතක නෑනෙ... හොස්ටල් එකේ ඉන්නකම් ඕවට හිනා උනු එකමයි කලේ ඉතිං.....

    ReplyDelete
  30. මාතර ගිය වෙලාවක 'හින්නෙක්' විතර, කකුලක් 'රොට්ටි' , හිඟන්නෙක්, රුපියල් 'පාලහක්' ඉල්ලුවනෙ .

    ReplyDelete
  31. අපොයි සීනි පොල්කොහුද... මතක් කරන්න එපා මම තාම චාටර් කනවා ඔය වචනෙ මගෙ කටින් කියවිලා... මමත් ඔය ගැන පොස්ටුවක් ලියන්න හිටියේ. කමක් නෑ ඔන්න ඔහෙ එකත් ලියනවා... හී හී මොනා උනත් හිනා උන එකනම් වැරදී හොන්දේ :D :D

    ReplyDelete
  32. @ ඕනයා - කියල වැඩක් නෑ අයියෙ. එහෙම වෙනම පැත්තකට ගියාම අපිව පිස්සු වැටෙනවා එහෙ වචන අහපුවාම.

    ReplyDelete
  33. @ ගිනි කුරුල්ලා - ඇහැක් විදිහට කණක් අඳින්න කිව්වෙත් ඔය වගේනෙ.

    ReplyDelete
  34. @ Anonymous - මම දැනන් හිටියෙ සීනි කැකිරි කියන්නෙත් කොමඩු වලටමයි කියලා. ස්තූතියි දැනුවත් කරාට සහෝ..

    ReplyDelete
  35. @ විසිතුරු | visituru - දිව ටැපලෙනවා ඒ වචන කියන්න ගියාම.

    ReplyDelete
  36. @ prasanna86k - මාළු පිණි කියනව මාත් අහල තියෙනවා.

    ReplyDelete
  37. @ දිල් - මැටි කෝප්පෙ වචනෙ නම් ඔය ඇහුවමයි.

    ReplyDelete
  38. @ Kasun - ඔයත් අපේ නවම් අයියා වගේ පොල් කොහු වලට සීනි දාලා කන කෙනෙක් වගේ..

    ReplyDelete
  39. @ අභීත - මරු කතා සෙට් එක. අර කෑම එක වහ දාලා සීන් එක නම් මරු.

    ReplyDelete
  40. ආ ඇයි කුඩේ අකුලනවට අපි කියන්නෙ කුඩේ බාන්ඩ කියලනේ ඔයාලත් එහෙම කියනවද?:)

    ReplyDelete
  41. @ Miyuru - ටයි එක උගුල්ලනවා කිව්වම නිකන් ඇස් උගුල්ලනවා වගේ ගතියක් එනවා.

    ReplyDelete
  42. @ රුහිරු - අපේ පැත්තෙ කෙනෙක් ඔයාලගෙ පැත්තට ඇවිත් වෑංජනේකට සක්කර දාන්න කිව්වොත් කට්ටිය බය වෙලා බලන් ඉඳියි නේ..

    ReplyDelete
  43. මාත් ඔය හිරිකිඩ කියන වචනෙ නම් මාත් කියනවා. :) සක්කර කියලා මං නම් කියන්නෙ සීනි හකුරු වලට.

    තව මං වචනයක් කියනවා පුපුරවනවා කියන එකට පුඩ්ඩනවා කියනවා.තාම වෙන කවුරුත් කියනවා අහලා නෑ නෙ.

    ReplyDelete
  44. @ නදී - ඒ ඇත්තටම නදී උඹලගෙ පැත්තෙ බස් හිටවනවද බං. හී හී..

    ReplyDelete
  45. @ Dinesh - බලන්න ඉතින් එකම භාෂාව පාවිච්චි කරත් ප්‍රාදේශීය වචන වල වෙනස් කම්.

    ReplyDelete
  46. @ තාරක Dilsh@n - අපි නම් හිඟුරක්ගොඩ නෙමෙයි. ඒත් ඒ පැත්ත දන්නවා.

    ReplyDelete
  47. @ හිස් අහස - අපෝ බං උඹලා සීයගෙ රැවුල් දෙන්න කියලද ඉල්ලන්නෙ. අනිත් වචන ටිකත් මට නුහුරුයි. අපේ ගම් එච්චර දුරින් නොතිබිලත් වචන වල වෙනස් කම් හරි පුදුමයි.

    ReplyDelete
  48. @ මධුරංග - ඇයි කුරුණෑගල අය ඇඟේ නානවා කියන්නෙ ඇඟ හෝදනකොට. ඔලුවෙ නානවා කියන්නෙ නානවට.

    ReplyDelete
  49. @ harshana1985 - බස් එක හිටවන සීන් එක තමා මරු.

    ReplyDelete
  50. @ Observer - මාතර තමා අමුතුම වචන භාවිතයක් තියෙන්නෙ.

    ReplyDelete
  51. @ ෴෴සිහින කොදෙව්ව෴෴ - හිනා උනේ නෑ. ඒත් හිනා යනවනෙ. ලියමුකො බලන්න ඔයාගෙ පෝස්ට් එකත්.

    ReplyDelete
  52. @ නදී - අපි නම් කියන්නෙ කුඩේ අකුලන්න කියල තමා. අපේ යාලුවෙක්ට එක පාරක් අමතක වෙලා ඔය කුඩේ ඕෆ් කරන්න කිව්වනෙ.

    ReplyDelete
  53. @ නිසුපා - අපොයි බං ඒ වචනෙ නම් මම ඇහුවමයි. හී හී උඹෙත් වචන.

    ReplyDelete
  54. අපොයි අනන්ත තියෙනවා.. අපේ පැත්තේ ඔය අවලමේ යන බල්ලෙක් වත්තට ආවාම "චිප්" කියල එකාව එලවනවනේ, ඒත් ඔය කුරුණෑගල . පොල්ගහවෙල වගේ පැති වල බල්ලෝ "චිප් කිව්වම අපේ මුණ බලන බයවෙලා ඉන්නවා/ උන්ව එලවන්න නම් ටිකක් සැරෙන් "බල්ලා ගිය" කිවම ආයේ බලල හිටු කියල දුවනවා,,

    ජය..

    ReplyDelete
  55. @ ගයාන්
    හික් මාර විදියටනේ බල්ලා ව එලවන්නේ. හිහි.

    ReplyDelete
  56. සීනි පොල්කොහු කියලා අපේ පැත්තෙත් කියනවා...

    විකනවා කියන්නෑ හැබැයි ඒකේ පාස්ටෙන්ස් එක නම් කියනවා (වික්කා) කියලා..

    මම කොයි ලෝකෙද කියලා දන්නවා නේ... :D

    ReplyDelete
  57. ඔය වගේ වචන තියෙන්නෙ දකුණෙ තමා වැඩි හරියක් ම...
    මේවගෙ තේරුම් දන්නව ද?
    *පොල් ඔයනව
    *වතු මුවා
    *කුඩ පරාල
    *යතුරු කටු
    *රට සේරු යනව

    ReplyDelete
  58. වසිලිස්සාDecember 13, 2011 at 9:55 AM

    අඩමානෙට තියෙන්නේ - හෙලෙත්තහදුවට
    තෙතයි -හේතයි
    පොහොට්ටු - ගුප්පි
    කුහුබුවා - කොඩයා
    හුන්ඩු 2ක් - මනාවක්
    ජම්බෝල-මහනාරන්
    බොකුටු - සුලුපුටු
    මැ කරල්- ලීම
    ආප්ප ගෙඩිය -ආප්පය
    මේ වචන කොහෙද කියල දන්නවද ?
    තව වචන තියනවා ,මට මතකෙට එන්න.මෙව්වා මන් අලුතෙන් ඉගෙන ගත්තේ

    ReplyDelete
  59. අපි නුවර. හිරිකඩ එතකොට ඔය ව්‍යංජන වලට මාළු කියන එක කුඩේ බාන්ඩ, ඇඟේ නානවා ඔලුවේ නානවා කතාවල් අපේ පැත්තේ කතා බහ. හොඳම ප්‍රසිද්ධම වචනේ අප්පච්චි. ඕනෙම එකක් අප්පච්චි කිව්වොත් ඒකා නුවරට ගෑවිච්ච එකෙක්. ඔය වගේ වචන ගොඩක් අපේ ප්‍රාදේශීය ජනවහරේ තියනවා.

    ReplyDelete
  60. @ Gayan Rupasinghe - බල්ලා ගිය! අපේ පැත්තෙ සමහරු බල්ලො එලවන්නෙ දිහ්: කියලා. අපි නම් චිප් තමා.

    ReplyDelete
  61. @ සෝරෝ - ඒ සෝරෝ උඹ ඇත්තට කොයි ලෝකෙද බං?

    ReplyDelete
  62. @ ටී.බී. හේරත් - මම ඔය සෙට් එකෙන් යතුරු කටු වල තේරුම විතරයි දන්නෙ. අනිත් ඒවා මොනාටද කියන්නෙ?

    ReplyDelete
  63. @ වසිලිස්සා - මට කැරකිල්ල වගේ ඒ වචන දැක්කම. කොහෙද ඒවා පාවිච්චි වෙන්නෙ?

    ReplyDelete
  64. @ ක්සැන්ඩර් | Xander - අප්පච්චි වචනෙ ගොඩක් ඒ පැත්තට සම්බන්ධ අය තමා පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
  65. අප්පොච්චි
    කුඩම්මා
    කුඩප්පොච්චි
    හීන් අම්මා
    ඇන්න එනවා
    මඩක්කුව
    මා පුතා

    මේ වගේ වචන අහල තියනවද?

    ReplyDelete
  66. තව වචන දෙකක් අමතක උනා.

    ලඩ - ලොකු
    සන්දෙ යනවා - පොළට යනවා (මුලින්ම ඉරිද පොළට කියන්ඩ ඇත්තෙ පස්සෙ කවද පොළට ගියත් ඒක තමයි කියන්නෙ )

    ReplyDelete
  67. @ පිණිබිඳු...,
    *පොල් ඔයනව = පොල්ගානවා
    *වතු මුවා = කෙහෙල් මුව
    *කුඩ පරාල = කුඩේ නන
    *රට සේරු යනව = රස්තියාදු ගැසීම

    කුරුණෑගල පැත්තෙ භාවිතා වෙන තවත් සුන්දර වචනයක් තමා 'කිරිඅම්මා' කියන වචනෙ. ඒ වචනෙ බොහොම ළයාන්විත වචනයක් ආච්චි, අත්තම්මා කියන වචන වලට වඩා...

    නුවර පැත්තෙ අය අයියන්ඩි, අක්කන්ඩි, අපෙ අම්මා, මයෙ නංගි වගේ ලස්සන ආදරණීය වචන පාවිච්චි කරනව. කුරුණෑගල පැත්තෙත් ගොඩක් අය කියන්නෙ 'අප්පච්චී' කියල තමා. මං හිතන්නෙ ඒක සිංහල භාෂාවෙ තියන ලස්සනම වචනෙ...

    ReplyDelete
  68. අපේ නෝනගෙ ගමේ අය බත් කූරට කියන්නෙ "පූච්ච"

    ReplyDelete
  69. අපේ එකෙක් හිටියා ඌට කියන්නේ පැණි පුහුලා, උංගේ පැත්තේ කොමඩු වලට කියන්නේ ඔය නම ලු.....

    ReplyDelete
  70. අපිත් කියනවා 'පොල් ඔයනවා' කියන වචනෙ... හැබැයි අපි එහෙම කියන්නෙ 'පොල් ලෙලි ගහනවාට'.....
    'කොඬයා' කියන වචනෙත් අපි පාවිච්චි කරනවා... ඒ කියන්නෙ 'කළු කූඹියාට'....

    ReplyDelete
  71. සක්කර නම් දන්නෑ.. බට් සක්කරවට්ටම නම් දන්නෝ....

    ReplyDelete
  72. හි හී... මටත් හොස්ටල් ඉන්න කාලේ ඔහොම ගොඩක් වැඩ උනා.
    හැබැයි මතකම තියෙන දේවල් නම් උනේ එකයි. මගේ යාලුවෙක් දවසක් කියනවා එයා ක්‍රීඩා වලට අඳින 'කාපසයා' ගෙදර දාල ඇවිත් කියල. බලනකොට කාපසයා කියන්නේ කලිසමටලු... :D

    ReplyDelete
  73. @ චමිල - ඒ වචන නම් හුඟක් අහල තියෙනව අයියෙ. සන්දෙ යනවා නම් බිඳිලා එන්න ඇත්තෙ Sunday වලින්ම තමා. හික්ස්.

    ReplyDelete
  74. @ ටී.බී. හේරත් - සෑහෙන්න නොදන්න වචන සෙට් එකක් ඉගෙන ගත්තා. ස්තූතියි සහෝ..

    ReplyDelete
  75. @ ඉන්දික උපශාන්ත - ඈ බං අයියෙ ඒ වචනෙ නම් අදමයි ඇහුවෙ.

    ReplyDelete
  76. @ ඔබ නොදු‍ටු ලොවක්..... - සමහර පැති වල ඔය වචනෙ පාවිච්චි කරනවා මාත් අහල තියෙනවා.

    ReplyDelete
  77. @ Miyuru - අපේ නම් ඔය වචන පාවිච්චි වෙන්නෙම නැති තරම්

    ReplyDelete
  78. @ පැණි දොඩම් - හික්ස්. එව්ව නම් අපිත් දන්නවා.

    ReplyDelete
  79. @ StArry aNgeL - කාපසයා? මරු වචනෙ.

    ReplyDelete
  80. ඔය භාෂා විවිධත්වය කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් විතර යද්දී වෙනස් වෙලා කැම්පස් පාරිභාෂික වචනවලට පෙරලෙනවා

    ReplyDelete
  81. මේක නම් වචනයක් ගැන නෙමේ සිරිතක් ගැන.. මැදවචිචිය / රඹෑව පැත්තේ ... මම ඒ පැත්තේ කීප දෙනෙක් එක්ක දවාලක ගෙදරකට ගියා .. ගිය ගමන්ම වාගේ ගෙදර ගෑණු ළමයෙක් වතුර වීදුරු ගෙනත් අපිට ඇල්ලුවා .. සමහර අය වීදුරු අරගෙන වතුර බිව්වා .. සමහරු නිකං හිටියා.. මම වතුර වීදුරුවට අත තියලා දවල්ට කන්න ලැහැස්ති වුනා.. දවල් ට කන්න නම් ලැබුනේ නැහැ.. පස්සේ තේ ලැබුනා... ඒ පැත්තේ ගෙදරකට එන හැමෝටම වතුර අල්ලනවා ... ඒ කන්න දෙන්න හිතාගෙන නෙමේ..එහේ තියෙන රස්නේ වැඩිකමට ඇතිවන පිපාසය සංසිදුවා ගන්න කියලා මම දැන ගත්තේ පස්සේ...

    ReplyDelete
  82. අපේ පැත්තේ නම් කුඩේ ඉහලනවට කියන්නේ කුඩේ හෙවිල්ලනවා කියලා.

    ReplyDelete
  83. පත්තක්කා කියල බයිට් වුන නිසා, පත්තක්කා වලට ගූගල් සර්ච් පාරක් දෙන්න ගිහින් තමයි මේ පෝස්ට් එක හොයා ගත්තේ.. :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...