Pages

Thursday, February 23, 2012

වට්ටක්කා දළු නියඹලාව


පහුගිය දවස් වල අපේ පළාතට හොඳට වැහැපු නිසා එළවළු කොටුවෙ හොඳ පලදාවක් ලැබෙන ලකුණු පහළ වෙලා. වට්ටක්කා ගාලත් යායට හැදිලා. කොළ අස්සෙ පුංචි පුංචි වට්ටක්කා පැටව් හැංගිලා. මේක දැක්කට පස්සෙ තමයි මතක් උනේ කාලෙකින් වට්ටක්කා දළු නියඹලාවක් කෑවෙ නෑනෙ කියලා. ඉතින් හදලා බලමුද නියඹලාවක්.

වට්ටක්කා දළු හරියෙන් වෙන්න ටිකක් කඩා ගන්න. මෝරපු දඬු ගන්න එපා. දඬු වල බූව පිහියකින් යන්තමට අයින් කර ගන්න.ඊට පස්සෙ හොඳට හෝදලා අරගෙන තරමක ලොකු කැබලි හිටින්න කපාගන්න.

ඊලඟට අමු මිරිස් කරල් දෙකක්, රතු ලූණු ගෙඩි දෙක තුනක්, කරපිංචා ටිකක් හීනියට ලියලා එකතු කරන්න. ඒකටම ලුණු ටිකක්, කහ චුට්ටක්, තුනහප එකතු කරගන්න. උම්බලකඩ ටිකකුත් යහමින් එකතු කරගන්න.

ඊළඟට පොල් බෑයක විතර පොල් ගාලා, ඒකෙන් මිටක් විතර වෙනම ඉතුරු කරලා, ඉතුරු පොල් ටික මිරිකගන්න. දියකිරි ටික වට්ටක්ක දළු එකට එකතු කරලා මිටිකිරි ටික වෙනම තියන්න. මතක තියාගන්න ගොඩක් කිරි එකතු කරන්න එපා. දැන් ඒක ලිපේ තියලා ඉතුරු වැඩ ටික කරමු.

කලින් අරන් තියා ගත්පු ගා ගත්තු පොල් ටිකත් එක්ක, ගම්මිරිස් ටිකක්, සුදු ලූණු බික් දෙකක් තුනක්, අබ ටිකක්, කුරුඳු කෑල්ලක් සහ හෝදලා ගත්තු හාල් මිටක් අරගෙන හොඳට අඹරගන්න.

දැන් ලිපේ තියෙන වට්ටක්කා දළු එක පැහීගෙන එද්දි, ඉතුරු කරපු මිටිකිරි ටිකයි, අඹරගත්තු හාල් පොල් මිශ්‍රණයයි එකතු කරලා හොඳින් හැඳි ගාන්න.

මතක තියාගන්න කොයි වෙලාවකවත් හට්ටිය වහන්න එපා. එතකොට වට්ටක්කා දළු වල තියෙන ලස්සන කොළ පාට එහෙම්මම රැඳිලා තියේවි. දැන් ඒක පැහෙද්දි ලිපෙන් බා ගන්න.

ගෑස් ලිපක ඇලුමිනියම් හට්ටියක උයනවට වඩා, දර ලිපක මැටි හට්ටියක හැදුවොත් තවත් රස වැඩියි කියලා ඔයාලට දැනේවි.




Wednesday, February 15, 2012

බත්තලංගුණ්ඩුව - අන් තැනක වූ ජීවිතය සොයා යෑම


ජැටි ද්වාරය අසල රැකවල්ලා සිටින නාඹර සොල්දාදුවන් දෙදෙනාගෙන් අයෙකු සුරතින් අවියකට වාරු වී සිටිනා අතර අනෙකා තේජාන්විත දෑසින් හැඳුනුම්පත් පිරික්සයි. මගේ වාරය එළැඹෙයි.

"කොහාටද" ඔහු අසයි.
"බත්තලංගුණ්ඩුවට"
"මොකටද?"

"චේන්ජ් එකකට"

ඔහුගේ මුවග ළපටි මදහසක් නැග එයි. මුහුණ, නාඳුනන සහෝදරත්වයකින් තෙරපෙයි.


ඇන්ටන්ගේ බත්තලංගුණ්ඩුවට පලා යෑම සිදුවන්නේ සමාජයෙන්, සුජාත උන්ගෙන් එල්ල වූ අවජාතක චෝදනාවෙන් නිදොස් වීමටද? ඔහුව අතැර ගිය පීතෘත්වය සොයා යාම බත්තලංගුණ්ඩුවේ ප්‍රවේශයයි.

"ජීවිතය වෙනස් කර ගන්නට මට සිදුව තිබේ. එහෙත් ඒ සඳහා මා ඇමීබාවකු නොවන වග ඔප්පු කළ යුතුය. තව හෝරා කීපයකින් මා ඕපපාතිකයකු නොවන වග තහවුරු කළ හැකි ශුක්‍රාණුවේ අයිතිකරුවා මට මුණ ගැසේ. ඔහු අල්ලාගෙන නගරයට රැගෙන යා යුතුය."

එහෙත් අතැර ගිය පීතෘත්වය සොයාගත් පසුවත් ඔහු නගරයට නො එන්නේ ඔහු තුළ මෙතෙක් සිටි 'ඔහු' අතුරුදන් වී බත්තලංගුණ්ඩුවෙන් බෞතීස්මය ලැබූ 'ඔහු' ඉපදුණු නිසාවෙනි. නො එසේ නම්, මෙතෙක් ඕපපාතිකව සිටි ගන්ධබ්බ තාරුණ්‍යයට තමන් අයත් වන මනුෂ්‍ය කොට්ඨාශය මුණ ගැසුණු නිසාවෙනි.

බත්තලංගුණ්ඩුවට පය තබද්දී, පියා තුළින් ඇන්ටනී බලාපොරොත්තු වූයේ තිගැස්මක්. විස්මයක්. කාලෙකින් නොදුටු සිය පුත්‍රයා දැකීමෙන් ඉහ වහා ගිය සතුටක්. එහෙත් පියා කෙරෙන් විද්‍යාමාන වූයේ ගැඹුරු මුහුද තරම් සන්සුන්කමක්. කවදා හෝ සිදු වේ යැයි කළ උපකල්පනයක් සත්‍ය වීමෙන් ඇති වූ තෘප්තිමත් සන්සුන්කමක්.

"මම උඹ ඉන්න විදිහට කැමතියි. කොටින්ම ඔය රැවුළටත් කොණ්ඩෙටත් මම කැමතියි. මට ඕනෙ වුණේ තමන් එක්කම කැරළි ගහන මිනිහෙක් දකින්න. මං දැං ඒක දකිනවා. කොහොමත් මං දැනන් හිටපු එක දෙයක් තිබුණා. මම දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයාගන්න බව."

මේ අලුත් මුහුද, අලුත් කරදිය සුළඟ, අලුත් අහස සහ අලුත් මානුෂිය සබඳතා සමඟ ඇන්ටනී ප්‍රේමයෙන් බැඳෙයි. මෙතුවක් කල් ඔහුටත් නොදැනී ඔහුගේ ජීවිතයේ හිස්ව තිබූ අර්ධය බත්තලංගුණ්ඩුව විසින් පුරවනු ලබයි. ඉදින්, ඔහු පරිපූර්ණත්වය, නිදහස හා තෘප්තිය අත් විඳියි. මවු දූපතට හෝ නගරයට අයත් නොවන ඇන්ටනී සිය සත්‍ය රූපය දකින්නේ මෙහිදීයි. දූපත් වාසීන්ට ඔහු 'මහත්තයා' වුවත්, මේ කරදිය වළල්ලේ නිර්ව්‍යාජ සහෝදරත්වයේ, අවංක මිත්‍රත්වයේ බැම්මෙන් ඔහු බැඳෙයි.

බත්තලංගුණ්ඩුව, මවු දූපතට බලපාන නීති සීමා ඉක්මවා යන දේශයකි. දෙමළ කතාකරන සිංහලුන් සිටින දේශයකි. ප්‍රාථමික මානව අවශ්‍යතා ඇති සරල මිනිසුන් වෙසෙන සංකීර්ණ දේශයකි. ඔවුහු අවුවෙන්ද වැස්සෙන්ද බැට කති. දුප්පත්කමෙන්ද නූගත්කමෙන්ද බැට කති. කොටින්ගෙන්ද හමුදාවෙන්ද බැට කති.

"මෙහෙන් හමුදාව ගැහුවොත් කොටි මූදට බහිනවා. බිලි වෙන්නෙ අපි. මට හොඳටම මතකයි. එදා වර්ල්ඩ් කප් එක. අපි කප් එක උස්සපු දවස. මෙහෙන් හමුදාව ගැහුවා. උං මූදට බැස්සා. මයෙ බෝට්ටුවත් ගත්තා. අවුරුදු කීයක දුක් මහන්සියක්ද. මං වැල්ලට ඇවිල්ලා වැලි කකා ඇඬුවා. ඔලුව වැල්ලෙ ගහ ගත්තා. අත් දෙකෙන් පපුවට ගහ ගත්තා. මට හිතුනෙ මාව මරලා බෝට්ටුව ගෙනිච්චනං කියලා.

අන්තිමේ මොකද උනේ. නේවි එකෙන් මාව අරන් ගිහිල්ලා හොඳටම ගැහුවා තොපි කොටින්ට බෝට්ටු විකුණනවා කියලා. නේවි එක බබ්බුද? කොටි කියන්නෙ කවුද කියලා දන්නැද්ද? උන් අපිට සල්ලි දීලා බෝට්ටු ගනියිද? ඉල්ලුවම දෙන්න ඕනෙ.
මට රස්සාව එපා උනා මහත්තයො. මං යන්නෑ යන්නෑමයි"

බත්තලංගුණ්ඩුව ඇන්ටනීට පමණක් නොව, එහි වෙසෙන්නවුන් බොහෝ දෙනෙකුට මවු දූපතෙන් වෙන්වූ අනන්‍යතාවයක් ලබා දී තිබේ. පළතුරු වලින් හැලි අරක්කු පෙරා ජීවත්වන ලිලී අක්කාටද, නේවි එකෙන් කකුල් අහිමි කළ හුරුල්ලන් වෙනුවට කාරල්ලන් වේලන ඩිඩාකස්ටද, අසීමාන්තික ප්‍රේමය තුළින්ම ස්ත්‍රී විරෝධියෙක් වූ සින්බෑඩ්ටද දෙවන උපත ලබා දුන්නේ බත්තලංගුණ්ඩුවයි.

විවාහය යනු නීතිය ඉදිරිපිට කෙරෙන ලිඛිත ලියවිල්ලකට එහායින් යන අන්‍යෝන්‍ය අවබෝධයක් වන්නේ මේ දේශයේදීය. රමණය යනු බැඳීමකට එහා ගිය නිහඬ හැඟීම් හුවමාරුවක් වන්නේ මේ දේශයේදීය. ආනමරියාගේ පටන් ග්‍රේටා දක්වා දිව යන්නේ බැඳීම් අතික්‍රමණය කළ හැඟීම් ගණුදෙනුව නොවේද?

"විවාහය විහිලුවක් බව ඇත්තකි. ඒත් ඒ විහිලුවේ ගිලී යමින් ජීවිත කාලයම ඉකිබිඳීමට මිනිසා තුළ ඇත්තේ අප්‍රමාණ කැපවීමකි. ඉකිබිඳීම සිනහව ලෙස තර්ක කිරීම වරු ගණන් එක දිගට නොකා නොබී හෝ කළ හැක්කකි. ප්‍රේමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවූ දා සිටම හදවතේ ගිලී එයටම දෂ්ට කරමින් සිටියේය. ප්‍රේමයේ නග්න බව වසා ගැනීමට අත්තික්කා කොළ අතු වලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි."

මංජුල වෙඩිවර්ධනගේ 'බත්තලංගුණ්ඩුව' නවකතාව වචනයක් වචනයක් පාසා මගේ සිත සොලවා දමයි. ඉදින්, ලියනවා නම් පිටු ගණනාවක් ලිවිය හැකි තරමට මගේ සිත දොඩමළුය. එහෙත්, ඔබේ රසවින්දනය, කුතුහලය නොසංසිඳිය යුතුව ඇත. මේ කළු සුදු අකුරු තුළ පණගැහෙන රැඩිකල් තාරුණ්‍යය ඔබත් දැකිය යුතුව ඇත.

සමහරවිට ඇන්ටනීට මෙන්ම අපටද ජීවිතයේ මග හැරුණු අර්ධය කොහේදී හෝ හමු වීමට ඉඩ ඇත. එතැන අපටත් බත්තලංගුණ්ඩුවක් දැකීමට හැකි වනු ඇත.


හුදකලාවේ හිරගෙට
එළිය වෑහේ ඉඳහිට
කදෝපැණි මිතුරාණෙනි,
මඟ හැරුණාද මගතොට

ප.ලි. බත්තලංගුණ්ඩුව එක කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙතෙන්ට යන්න. ස්තූතියි රංගි අක්කෙ මේ ගැන කිව්වට.

Tuesday, February 7, 2012

කුණු විසින් ජීවිත පාලනය කිරීම


මීට වසර කිහිපයකට පෙර මා නවාතැන් ගෙන සිටි බෝඩිමේ අපට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ කුණු කසළ දැමීමට තැනක් නොතිබීමයි. ඊට හේතු වූයේ එම නිවස ඉඩමේ මුළු ඉඩ ප්‍රමාණයේම ඉදි කර තිබීමෙන් කුණු වලක් නොතිබීමත්, පාරෙන් ඈතට වන්නට පිහිටා ඇති නිසා නගර සභාවේ කුණු ට්‍රැක්ටරය නිවස අසළට නොපැමිණීමත්ය.

එම නිවසේ වෙසෙන්නවුන් සතියක් පමණ කුණු එකතු කර, ගෙහිමියාගේ දෙමවුපියන්ගේ නිවසට ගෙන ගොස් බැහැර කරති. අපට එසේ කළ නොහැකි නිසාවෙන්, අප සතු වූ එකම විකල්පය වූයේ කුණු පාර්සල් කර විශ්ව විද්‍යාලයට ගෙන ගොස් කසළ බාල්දි වලට හැලීමය.

එය මෙසේ කියද්දී සරල ක්‍රියාවක් වුවද, ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමේදී අසීරු හා අපහසුතාවයට පත්වන ක්‍රියාවලියකි.

මන්ද යත් කුණු කසළ හොඳින් පාර්සල් කළ යුතු අතර එම කසල පාර්සලය විනිවිද නොපෙනෙන බෑගයක ඇසිරිය යුතුය. එමෙන්ම දේශන සඳහා පැමිණෙන වෙලාවට මදක් කලියෙන් පැමිණිය යුතුය. මන්ද යත් පාර්සලයක් අතින් ගෙන අනිත් උන් ඉන්නා වේලාවට පැමිණියහොත් ඒ කෑමක් යැයි සිතා උන් උදුරා ගන්නා බැවිනි. එහෙම උදුරා ගතහොත් නම් කාඩ් කුඩුය. ඒ නිසා අපි කුණු මලු අතින් කටින් එල්ලාගෙන උදැහැනැක්කේම කැම්පස් එන්නෙමු.

එම ක්‍රියාවලිය එතැනින් ඉවර නොවේ.

දවසේ එම වෙලාව විශ්ව විද්‍යාලයේ පිරිසිදු කරන්නන් වැඩ අරඹන වෙලාවය. කුණු මලු කසල
ඳුන් වලට දමන්නේ නම්, ඔවුන් අසල නැති අවස්ථාවක් බලා දැමිය යුතුය. නැත්නම්, "ළමයි ගෙවල් වල ඉඳන් අරන් එන කුණු අපිට අදින්නට බැහැ" යි කියමින් සේවකයන්ගෙන් උදේ පාන්දර කණ පුරා අසාගන්නට හැකිවේ.

ඉදින් අප කරන්නේ කිසිවෙකුත් අවට නැති වෙලාවක් බලා කසල බඳුනට කුණු මල්ල දමා පසු නොබලා ගමන් කිරීමයි. මෙය සැම දිනම එකම බඳුනකට දැමීමද කළ නොහැකිය. ඒ කිනම් මොහොතක හෝ හසුවිය හැකි බැවිනි. එම නිසා නිතරම වෙනත් වෙනත් කසල බඳුන් සොයා යා යුතුය. මේ හේතුවෙන් අපට ඒ දිනවල විශ්ව විද්‍යාලයේ මොනවා නැතත් කසල බඳුන් ඇති තැන් නම් හොඳට මතකය.

සමහර දිනවල කුණු මල්ල රැගෙන එන විට කොහෙන් හෝ මිතුරකු කඩා පාත් වේ. එවිට උන්ගෙන් බේරීමට කුමක් හෝ බොරුවක් කිව යුතුය. බොහෝ විට අප පවසන්නේ ඔහු නොදන්නා වෙන කෙනෙකුට දීමට ඇති පාර්සලයක් යනුවෙනි. කසල මල්ල ගෙන යන්නේ සිකුරාදා හෝ සඳුදා නම් "අද ගෙදර යනවා" හෝ "මේ ගෙදර ඉඳන් එන ගමන්" යැයි පවසා ජාම බේර ගත හැක.

නොඑසේ නම් උන්ගේ ඇසින් බලන කල පාර්සලයක් යනු අනිවාර්යයෙන්ම කුමක් හෝ කෑමකි. අප දුන්නේ නැති නම් උන් බලෙන් උදුරාගෙන හෝ බලති. එම නිසා කුමක් හෝ කියා කුණු මල්ල බේරා ගත්තේ නැති නම් ඊළඟ දවසේ ඉඳන් කැම්පස් නොඑනවා ඊට සැපය.

ඒ දිනවල කෑමට ගත යුතු දේවල් තීරණය කරන්නේ කුණු මල්ල කේන්ද්‍ර කරගෙනය. කොටින්ම, කෑම පාර්සලයක් බෝඩිමට ගෙන ගොස් කද්දී බත් ඇටයක් වත් ඉතුරු නොකරන්නට අපි වෙහෙසෙන්නෙමු. මන්ද යත්, බත් ඉතුරු කළොත් ඒකත් උස්සන් යන්නට වෙන්නේ අපටම නිසාවෙනි.

ඉස්සර නම් ගෙදරින් ලැබෙන කෙසෙල් කොළයේ එතූ බත් එක තරම් වටින දෙයක් අපට මිහිපිට නැත. මේ බෝඩිමේ ඉන්නා කාලයේ අප කෙසෙල් කොළ වල බත් නොගෙනෙන්නට කතිකා කරගෙන සිටියෙමු. ඒ කොතරම් රසවත් වුවත්, ලන්ච් ෂීට් එක ඊට වඩා සැහැල්ලු හා කුණු මල්ලේ කෙසෙල් කොළයට වඩා අඩු ඉඩක් ගන්නා නිසාය. ඒ දිනවල කුණු මල්ල අපගේ ජීවිත පාලනය කළේ එසේය.

මාස කීපයකින්ම අප වෙනත් නවාතැනක් සොයාගැනීමට එකම හේතුව වූයේ මේ කුණු ප්‍රශ්නයය. මෙතුවක් මා බෝඩිමක ගත කළ අඩුම කාලය මෙයයි. ඊළඟ බෝඩිං වන්දනාව අරඹන විට ගෙහිමියාගෙන් අසන ප්‍රශ්නාවලියට තවත් ප්‍රශ්නයක් එකතු වී තිබිණ. ඒ "කුණු දාන්නෙ කොහෙටද" යනුවෙනි.

මෙය ලියාගෙන යද්දී වරෙක ලංකාදීප පත්තරයේ "දෙයියෝ සාක්කි" තීරයේ පල වූ පුවතක් සිහියට නැගේ.

නිවසක බැහැර කරන කුණු මල්ලක් හොඳින් පාර්සල් කර, යුවලක් එක විසිකිරීමට තැනක් සොයමින් කිසියම් පාරක් අයිනට වී සිටියහ. ඔවුන්ගේ අරමුණ වූයේ පාරේ කිසිවෙකු නොමැති අවස්ථාවක් බලා කුණු මල්ල දමා යාමය.

වේගයෙන් පැමිණි යතුරු පැදියක පිටුපස උන් පුද්ගලයෙක් අර යුවල අත තිබූ පාර්සලය උදුරාගෙන ඉගිල ගියේ කිසිවක් සිතන්නට වත් ඉඩ නොතබමිනි. සොරා එක උදුරාගන්නට ඇත්තේ කිසියම් වටිනා පාර්සලයක් සිතා විය හැකිය.

පාර්සලය දිග හරින විට හොරාට කුමක් සිතුනාදැයි මා නොදනිමි. එහෙත් කුණු මල්ල විසිකරන්නට තැනක් සොය සොයා සිටි තැනැත්තාගේ සිතේ ඇතිවූ සැනසිල්ල නම් මට සිතා ගත හැක.

Thursday, February 2, 2012

දකුණෙ විදිහට ඉස්සො හදමුද?


එකම කෑම උනත් පළාතෙන් පළාතට හදන විදිහ වෙනස්. මේ දවස් වල පුන්නි ගෙදර ඇවිත්. මතකනෙ අපේ පුන්නිව. මේ රෙසිපි එක එයාගෙන් අහගත්තු එකක්. අපේ අම්මගෙ, පුන්නිගෙ විතරක් නෙමෙයි අම්මලගෙ හත්මුතු පරම්පරාවෙම උපන් ගම වෙච්චි මාතරටම ආවේණික ක්‍රමේකට ඉස්සො හදමුද?

ඉස්සෙලාම ඉස්සො ටික අරගෙන ඔළු කඩලා දාලා හොඳට හෝදන්න. කීප පාරක්ම හෝදන්න. මොකද ඉස්සගෙ ඔලුවෙ මොනාද තියෙන්නෙ කියල දන්නවනෙ.

මේ ටික භාජනේකට දාගන්න. ඊළඟට සිහින්ව කැපූ රතු ලූණු, කරපිංචා, කැපූ අමු මිරිස්, හීනියට කපාගත් සුදු ලූණු, ඉඟුරු, කුරුඳු, උළුහාල්, ගම්මිරිස් ටිකක්, ලුණු, මිරිස්කුඩු, තුනපහ, කහ සහ ගොරකා කැබැල්ලක් අර ඉස්සො තියෙන භාජනේටම දාන්න.


පොල් ගෙඩියක ප්‍රමාණයේ කිරිත් මෙයටම එක් කරන්න.

දැන් ඒක පැත්තකින් තියලා වෙන හට්ටියක් ලිපේ තියන්න. ඒකට තෙල් චුට්ටක් දාලා, තෙල් ටික රත් වෙද්දි අබ ටිකක් දාන්න. ඊළඟට තලාගත්තු සුදුලූණු ටිකක් සහ කරපිංචා රම්පෙ කෑල්ලක් දාන්න. සුදුලූණු රන්වන් පාට වගේ වෙද්දි, ඉස්සො මිශ්‍රණය ඒකට දාන්න.

දැන් වහන්නෙ නැතුව හොඳට හැඳි ගගා හැදෙන්න දෙන්න. මතක තියාගන්න හට්ටිය වහන්න එපා. ඉස්සො හොඳට තැම්බුණා වගේ පෙනෙද්දි මුරුංගා කොළ ටිකක් එකතු කරගන්න. ඒ ටික එකතු කරපු ගමන් ඉස්සො එක ලිපෙන් බා ගන්න. ලිපෙන් බෑ ගමන් දෙහි බෑයක් හොද්දට මිරිකලා දාලා මිශ්‍ර කරන්න.


දැන් ඉතින් සුවඳ නම් එනවා මදි නොකියන්න. අන්තිමට ඉතින් උණු උණුවෙ බත් එක්ක හරි, පාන් ගෙඩියක් එක්ක හරි, ඉඳි ආප්ප එක්ක හරි දෙසලා දාන එක තමා තියෙන්නෙ.

Sunday, January 29, 2012

අසීමිත ආදරයෙ උල්පත


කප්පරක් දුක හිත දරාගෙන
මහ මෙරක් බර හිස තබාගෙන
සප්ත මහ සාගරේ ගැඹුරට
කඳුළු බිඳු වැල් නෙත රඳාගෙන..

අනන්තය ඉම තෙක් පැතිර ගිය
සෙනෙහසින් හද ගැබ තෙමාගෙන
විඩාබර වූ මියෙන ලෝකය
සදා පණ දෙන ජීවනාලිය..

සදාකාලිකවම මෙලොව තුළ
අසීමිත ආදරයෙ උල්පත
ගොතා නිම කළ නොහැකි ගුණ කඳ
මවුනි, ඔබෙ පා වඳින්නෙමි මම..

මගේ ලොව ගණඳුර නසන්නට
පුරාසඳ වන සදා කල්හිම
ඔබෙ නමට සුපිපෙන කුසුම් ගෙන
බැතින් පා යුග වඳින්නෙමි මම..

Monday, January 23, 2012

කණපිට විලාසිතා


පහුගිය දවසක ගමේ යන්න කොටුවෙන් බස් එකට නැග්ගෙ සජිතුත් එක්කමයි. බස් එක පිටත් වෙන්න ටිකක් වෙලා තිබුණා. වාඩි වෙලා ඔහේ වල්පල් කියෝ කියෝ ඉන්න කොට තමයි දැක්කෙ සජිත්ගෙ ටී ෂර්ට් එකේ වෙනසක් තියෙනව නේද කියලා.

බලද්දි මෙන්න ටී ෂර්ට් එක කණපිට ඇඳගෙන ඇවිත්. කලබලේට දැකල නෑ. බස් එක පිටත් වෙන්න තව වෙලාව තිබ්බ නිසා ඉක්මනට වොෂ් රූම් එකකට ගිහින් හොඳපිට ඇඳගෙන ආවා. එයාටම තනියෙන් හිනා.

"හයියෝ ඒක තමා මම අද උදේ ට්‍රේන් එකේ එද්දි කෙල්ලො ටිකක් උවමනාවෙන් මා දිහා බැලුවෙ. ෂිහ් මාත් හොඳට හිනාවෙලා ෆිට් එකේ ආවා. නොදකින් මුං බලන්න ඇත්තෙ මේ යකා කණපිට ඇඳලා කියලා හිනා වෙවී වෙන්න ඇති.ඒ මදිවට හොඳට කර පිටුපස්සෙ ටැග් එකත් පේනවා. ලැජ්ජාවෙ පණ යනවා."

එයා ඔහොම කියද්දි මට මතක් උනේ එක පාරක් අපෙ තාත්තට වෙච්ච වැඩක්. අපේ තාත්තා සාමාන්‍යයෙන් අඳින්නෙ සාක්කුවක් තියෙන ටී ෂර්ට්.

එක දවසක් තාත්තා කලබලේට ටී ෂර්ට් එකක් ඇඳගෙන කඩේකට ගිහින් බඩු වගයක් ගන්න. කඩේට දීපු සල්ලි වල ඉතුරු සල්ලි සාක්කුවට දානව දානව දැමෙන්නෙ නැතිලු. තාත්තා බලලා මොකද මේ සාක්කුව නැත්තෙ කියලා. එතකොට තමා කල්පනා වෙලා තියෙන්නෙ කණපිටනෙ මේ ඇඳගෙන ඇවිත් තියෙන්නෙ කියලා. දණි පනි ගාලා කඩෙන් එළියට පැනලා තාත්තා ලැජ්ජාව බේර ගන්න.

ඇයි හත් දෙයියනේ ඔහොම වැඩක් මටත් උනානෙ. ඕ ලෙවල් වලට පන්ති යන කාලෙ වෙච්ච වැඩක්. එදා පන්තියට යන්න කොහොම හරි මට පරක්කුත් වෙලා තිබුණෙ. ඉක්මනට පාරට ගිහින් බස් එකටත් නැග්ගට පස්සෙයි දැක්කෙ ඇඳගෙන ආපු සාය කණපිටයි ඇඳගෙන ඇවිත් තියෙන්නෙ කියලා. ඉතින් ආයෙ යන්නයැ. ඒකෙ හොඳපිටයි කණපිටයි වැඩිය පාට වෙනසක් නෑ. ඒත් අර මැහුම් එහෙම හොඳට පේනවා. ඉඳගන්න සීට් හිස් තිබුණෙත් නෑ. වැඩිය කට්ටිය හිටගෙන හිටියෙත් නැති නිසා මාව හොඳට නෝට්.

මම ඔන්න ඔහෙ කමක් නෑ, කවුරුවත් දකින එකක් නෑ කියලා හිත හදාගන්න හදනකොටම "දුව, ඔයා සාය කණපිට ඇඳගෙන ඇවිත්" කියලා කිව්වෙ නැද්ද ඒ ළඟ වාඩිවෙලා හිටපු ඇන්ටි කෙනෙක්. හපොයි. මොනා කරන්නද. මම නිකං ඒ වෙලාවෙ දැක්කා වගේ "අයියෝ ඔවුමයි" කියලා අහක බලාගෙන ආවා මගෙ නෙමෙයි වගේ.

ඉස්සර කණපිට ඇඳුමක් ඇන්දොත් අපි කියන දෙයක් තමා, ඔන්න අලුත් ඇඳුමක් හම්බෙන්නයි යන්නෙ කියලා. කොයි තරම් කණපිට ඇඳලා චාටර් උනත් කවදාවත් ඒ කියමන නම් ඇත්ත උනේ නෑ.

ඉතින්, දැන් ඔය හිනා වෙන්නෙ කවදාවත් කණපිට ඇඳුමක් ඇඳන් ගියෙ නෑ වගේ නේද. ජීවිතේ එක පාරක් හරි විඳලා ඇති නේද එහෙම චාටර් වීම්. හා හා ලැජ්ජාව පසෙකලා ලියමු බලන්න එහෙම අත්දැකීම්.

Friday, January 20, 2012

මායාව - The Deception


ලංකා ඉතිහාසයේ එතරම් ප්‍රචලිත නොවූ, එනමුත් උත්කෘෂ්ටවත් මාතෘකාවක් වටා ගෙතුණු කුතුහලයෙන් පිරි කතා පුවතක් 'මායාව' නවකතාවෙන් පාඨකයා හමුවට ගෙන එයි. මෙය ආනන්ද ලියනගේ කතුවරයාගේ 'The Deception' නම් ඉංග්‍රීසි නවකතාවේ සිංහල පරිවර්තනයයි. සිංහලයට පරිවර්තනය කරනු ලැබ ඇත්තේ අනුල ද සිල්වා ලේඛිකාවයි.

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා මාලිගාවේ තැන්පත් කර ඇති ගෞතම බුදුන්ගේ දන්ත ධාතුව, ඇත්තම දන්ත ධාතුව නොවේ යැයි කිසිවෙකු හෝ පැවසුවොත් ඔබට කුමක් හැඟෙයිද? 'මායාව' ගෙතෙන්නේ එම පදනම මත සිටය.

ගෞතම බුදුන්ගේ සිට මෛත්‍රී බුදුන් දක්වා දිව යන මේ කතාවේ දන්ත ධාතුව මායාවක් සේ කතුවරයා දකියි. දළදා වහන්සේ එක් තැනක රැඳී නොසිටින බවත් තම ඍධි බලයෙන් එය ඒ ඒ තැන් වලට වඩින බවත් ජනප්‍රවාදයේ ඇති නොලියවුණු රහසකි. මේ රහස පසුපස හඹායන කතුවරයා මෙම නවකතාව ලියා ඇති රසවත් ආකාරයට මෙය සත්‍යක්මදෝයි යන සැකය පාඨකයාට නවකතාව පුරාවට දනවයි.

සීතාවක රාජධානියේ බිඳවැටීම ආරම්භ වූයේ පෘතුගීසි ආක්‍රමණයත් සමඟය. ඉවක් බවක් නැතිව බුදු දහම විනාශ කරමින් ගිය ඒ අවධියේ සංඝයා වහන්සේලා එකතු වී දළදා වහන්සේ ආරක්ෂා කළේ බුද්ධාගමේ පැවැත්මත්, දියුණුවත් මෙය වටා බැඳී ඇති බැවිණි. පහතින් දැක්වෙන්නේ නවකතාවෙන් උපුටා ගත් කොටසකි.

"දන්ත ධාතුව තමන් භාරයේ තිබූ භික්ෂූන් 1594 වර්ෂයේදී එය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කිසියම් වැඩ පිළිවෙලක් යෙදූ බව දැනගනිත්වා.

දන්ත ධාතුව තම භාරයට ගත හැක්කේ සීතාවක රාජධානියේ ප්‍රභූ පවුල් හතරක් සාමූහිකව ක්‍රියා කළ කල්හි බවට කරුණු යෙදෙන පරිදි එම වැඩ පිළිවෙල යොදා ඇත. ඉර හරියටම අහසේ මුදුන් වන දිනක තැන්පත් කුටිය මතට පැමිණෙන යෝධ කුරුල්ලෙක් කුටිය දක්වනු ඇත. ගෞතම බුදුන් වහන්සේගේ අන්තිම ධාතු දැක්වීම සඳහා එම පවුල් හතරට අයත් හක්ගෙඩි එකට නාද විය යුතුය. මෛත්‍රී බුදු වන දවස දක්වා මෙය මෙසේම පවතී. බුදුන්ගේ දන්ත ධාතුව නියම ස්වභාවයට පත් වන්නේ එදාය.


මෙම සිදුවීම තවත් බුදු කෙනෙකු පහළ වූ බවට සාක්ෂියක් වෙයි."

පුරාවිද්‍යා විෂය පථයට දැඩි ලෙස ඇලුම් කරන අමල් වෙත්තසිංහ නම් වූ අයෙක් මෙම පුරාවෘතයට අනුව යමින් අදාළ ප්‍රභූ පවුල් හතර සතු හක්ගෙඩි හතර සොයාගෙන, අදාළ පුස්කොළ පොත් කියවා කෙසේ හෝ සත්‍ය දළදා වහන්සේ සොයාගන්නා අපූර්ව කථාව මෙම නවකතාවේ මුල සිට අග දක්වා එක සීරුවට කුතුහලය දනවන ආකාරයට දක්වා ඇත. එපමණක් නොව යන්තමින් අසා තිබූ අතීත සිද්ධි කතුවරයා ඉතා තියුණු අන්දමට විස්තර කර ඇති අයුරු නම් විස්මයජනකය.

'මායාව' මා කාලෙකින් කියවූ වෙනස්ම ආකාරයේ නවකතාවකි. 'මායාව' ඔබව මායාවකට ඇද නොදමා අපූරු තෘප්තියකින් හදවත පුරවන බව නම් මට සහතික කොට කිව හැක.
Related Posts Plugin for WordPress, Blogger...