Pages

Thursday, December 20, 2012

මොන මගුලක්ද මන්දා



"අනන්‍යා ස්වාමිනාතන්. අලුත් බැච් එකේ පට්ටම කෑල්ල."ජ්‍යේෂ්ඨ උත්තමයො එයාව ඒ වෙද්දිත් බවුතීස්ම කරල තිබ්බෙ ඒ විදිහට. අපේ බැච් එකේ හිටිය දෙසීයෙන් කෙල්ලො හිටියෙ විස්සයි. එයිනුත් තෙල් ඉහිරෙන රූමතියො - ටොයියො හිටියෙ අතලොස්සයි. එයාලව තේරෙන්නෙ ඉන්දියාවෙ ජනගහනයෙන් 99.9%ට වඩා ඉක්මනට ගණිත ගැටලු විසඳන්න එයාලට තියෙන හැකියාව නිසා. IIM එකේ ඉන්න ගොඩක් කෙල්ලො මේක් අප්, ඇඟට ගැලපෙන ඇඳුම්, කන්ටෑක්ට් ලෙන්සස්, ඇඟේ මූණෙ තියෙන මවිල්, ඇඟෙන් හමන දාඩිය ගඳ... කොටින්ම කෙල්ලෙක්ව ඔප මට්ටම් වෙලා දිස්නෙ විහිදුවන ඒ වගේ පොඩි පොඩි කාරණා සැලකුවෙ එයාලට තරම් නොවෙන විදිහට. එහෙව් එකේ දෙයියො දුන්නා වගේ, අනන්‍යා වගේ පරිපූර්ණ කෙල්ලෙක් මෙහෙට කඩා පාත් වුණහම අපේ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝන මට්ටම බලාගෙන ඉන්දැද්දි නගිනවා. ඊස්ට්‍රජන් හෝමෝන දුර්ලභ මේ වගේ තැනක ඒක කොයි තරම් වටිනවද.

මම මේ උපුටා ගත්තෙ චේතන් බගට් නම් ඉන්දියානු ලේඛකයා ලියපු "2 States - The story of my marriage" පොතේ සිංහල පරිවර්තනයෙන් කොටසක්. සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙ දිලීප ජයකොඩි. එතකොට පොතේ නම "මොන මගුලක්ද මන්දා".

ඉතින් ඔය උඩින්ම දැම්මෙ ක්‍රිෂ් මල්හෝත්‍රා, අනන්‍යා ගැන හිතපු විදිහ. මිනිහට අනන්‍යාව ඇහැ ගැටෙන්නෙ කැන්ටින් එකේ කෑම පෝලිමේ ඉද්දි. සාම්බාර් වලට චොරොප්පෙ කියලා කැන්ටින් එකේ කෝකියා එක්ක වලියක් දාගෙනයි අනන්‍යා හිටියෙ. ක්‍රිෂ් හිටියෙ පෝලිමේ අනන්‍යාට පිටිපස්සෙන්. ඉතින් කැම්පස් එකේ පට්ටම කෑල්ලට උදව් කරන්න අභීතව නැගී හිටින්නෙ ක්‍රිෂ්. කොහොම හරි තමන්ගෙ ඩෙසර්ට් එකත් කෙල්ලට පරිත්‍යාග කරලා කොල්ලා ලකුණක් දා ගන්නවා.

ඔයින් මෙයින් අනන්‍යා විසින් ක්‍රිෂ්ව තමන්ගේ "යාලුවෙක් විතරයි" ගානට පත් කරගන්නවා. ක්‍රිෂ්ට නම් ඒත් මදෑ. පස්සෙ පස්සෙ එකට පාඩම් කරලා කාලා බීලා ඉන්නකොට ක්‍රිෂ්ගෙ හිතේ තියෙන අදහසත් හිමීට දාලා බලනවා. පලවෙනි පාර හරි නොගියට කෙල්ලත් පස්සෙ කැමති වෙනවා. 

ඔහොම ඉඳලා කැම්පස් එකෙනුත් අවුට් වුණා කියමුකො. කසාද බැඳීම ගැන හිතද්දි තමයි දෙන්නට තරු පේන්නෙ. මොකද ක්‍රිෂ් දිල්ලියෙ පන්ජාබ් කොල්ලෙක්. අනන්‍යා චෙන්නායි වල දෙමළ කෙල්ලෙක්. තමන්ගෙ සංස්කෘතිය, ආගම, ජාතිය, නම්බුව ගැන මහ ඉහලින් හිතන එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් කොට්ඨාශ දෙකක් කොහොමද එකට පාස්සන්නෙ.

ඕක තමයි යුද්ධයේ ආරම්භය. පසුවදනෙ ඔය යුද්ධය සාරාංශ ගත කරලා තියෙනෙ මෙහෙමයි.

ලෝකෙ වටේම ඉන්න කෙල්ලො කොල්ලො ආදරේ කරනවා. ආදරේ කරලා බඳිනවා. ඒක ඒ තරම් සිම්පල් වැඩක්. හැබැයි, ඒ වෙනින් රටවල. ඉන්දියාවෙදි ඒ සෙල්ලම් බෑ. ඉන්දියාවෙ ආදරේ කරන කොල්ලෙකුයි කෙල්ලෙකුයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම.
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම.
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම.
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම.
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ලා කෙල්ලටයි, කෙල්ල කොල්ලටයි ආදරේ නම් කසාද බැඳීම.

මේ පොත ලියලා තියෙන්නෙ චේතන් බගට්ගෙම ජීවිත කතාව ඇසුරින්. ඔහු ගැන කිව්වොත් ත්‍රී ඉඩියට් ෆිල්ම් එකට පාදක වුණු Five point someone පොත ලිව්වෙ ඔහු. ඒ වගේම One night @ call center (සිංහල පරිවර්තනය - 'හලෝ හලෝ') සහ 3 Mistakes in my life (සිංහල පරිවර්තනය - 'තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං') පොත් ලියලා තියෙන්නෙත් චේතන් බගට්මයි.

පොත නම් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ජාතියෙ පොතක්. කියවනවා නම් කියවන්න ඕනෙ පිදුමේ ඉඳන්මයි. මොකද පිදුම පෙරවදන ස්තූතිය මේවත් හරිම වෙනස් විදිහට ලියලා තියෙන්නෙ. ඉතින් කුතුහලය ඇවිස්සුවා ඇති නේ. එහෙනම් කොහොම හරි පොත හොයාගෙන කියවන්න.

ඔය වෙනස් සංස්කෘතීන් වෙනස් ආගම් දෙකක් එකට පාස්සවන්න කන්න වෙන කට්ට මම නම් හොඳට දන්නවා. පහුගිය කාලෙ පුරාවට ඔය වගේ යුද්ධයක අපිත් පැටලිලා හිටියෙ. ඒකෙ අවසන් ප්‍රතිඵලය විඳින්න තව සති තුනයි. :D


Tuesday, December 11, 2012

මේ මොහොත දැකීම



පහුගිය දවසක වටින පොතක් හම්බුනා. මේක බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නිකුත් කල ඉතා කුඩා පොත් පිංචක්. පොතේ නම "මේ මොහොත දැකීම". 

මේ පොත ජෝසප් ගෝල්ඩ්ස්ටේන්ගේ The experience of Insight  නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කාව්‍ය පරිවර්තනයක්. මේක විශේෂයෙන් සකසලා තියෙන්නෙ භාවනායෝගීන් සඳහා වන නිර්මාණාත්මක මඟ පෙන්වීමක් විදිහට. ඔවුන්ට විතරක් නෙමෙයි කාට උනත් කියවලා ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් විදිහට පොතේ සටහන් ඉදිරිපත් කරල තියෙනවා. 

එක හුස්මට කියවලා ඉවර කරන්න පුලුවන් මේ පොතේ මට වැඩිපුරම හිතට වැදුණු සටහනක් තිබුණා. පොත කියවලා ඉවර කරාට මම මේ කවිය මගෙ සටහන් පොතක පිටපත් කර ගත්තා. අනිවාර්යයෙන්ම ඒ  බ්ලොග් එක කියවන ඔබ වෙනුවෙන්.


තනිව ගඟ තරණයේ
යෙදෙන විට මිනිසෙක් ඔරුවකින්
පාව ආ තවත් එක් හිස්
ඔරුවක් සමඟ ගැටුණා.
කුකුල් කේන්ති කාරයෙක් මුත් ඔහු
ඉක්මන් කෝප වූයේ නතිය
නමුත් ඔහු දුටුවා නම් තවත්
මිනිසෙක් අනෙත් ඔරුවේ
නිසැකයෙන් ඔහු බනිනු ඇත,
නොවැලැක්වූ බැවින් අනතුර
නැවත නැවතත් බනිනු ඇත

ශාප කරනුද ඇති
මක් නිසාද යත්
සිටිනා නිසා අනෙක් ඔරුවේ අයෙක්...
නමුත් ඔරුව හිස් නිසා
ඔහු කෑ ගැසුවේද නැත
තරහෙන් පිපුරුණේද නැත

ඔබටත් හිස් කල හැකි නම් එලෙස
ඔබේ සිත නමැති ඔරුව
ලෝකය නමැති ගඟ තරනය කරන සඳ
කිසිවෙකු ඔබට විරුද්ධව
නැගී නොසිටිනු ඇත
කිසිවෙකු ඔබට අනතුරක්ද නොකරනු ඇත.

Thursday, November 22, 2012

ආදරය අලුත්වැඩියා කරන මොබයිල් ෆෝන්



ෆෝන් එකට කතා බෑ. ඒත් ෆෝන් හරහා කතා පුලුවන්. ඒත් හදිස්සියෙන්වත් ෆෝන් එකට කතා කරන්න පුලුවන් නම් උන් කෑ ගහලා කියාවි අපිට ඕෆ් වෙලාම ඉන්න දීපල්ලා. ඔන් කරපු ගමන් උඹලා මානුෂීය සබඳතා අවුල් ජාලයක් කරගන්නවා කියලා. මේ ෆෝන් එක තරම් මගේ හිනාව කඳුළ දැකපු කෙනෙක් නැතුව ඇති. අපි ඒ තරම් මානුෂීය සබඳතා තරංග ආයාම බවට පත් කරගෙනයි ඉන්නෙ.

මම හොඳටම තරහ වෙලයි ආවෙ. ආයෙ නම් කතා කරන්නෙවත් නෑ. එහෙම හිතලා තත්පරයක් යන්න උනේ නෑ ෆෝන් එක ඇස් දල්වගෙන කෑ ගහනවා උඹට එහෙම මානුෂීය සබඳකම් ඉවරකරන්න බෑ කියලා. ඔහෙ කෑ ගහපුදෙන්. මම තව කල්පනා කරලා ඉවර නෑ.

ෆෝන් එක කට් නොකර මම කෑ ගැහිල්ල විතරක් ගොලු කරලා දැම්මා. හොඳ වැඩේ ගොලුවා. ගොලු භාෂාවෙන් කෑ ගහන ෆෝන් එක මේසය උඩ කම්පනය වෙලා බකමූණෙක් වගේ හ්ම් හ්ම් ගානවා. ගොලුවන්ටත් කතා පුලුවන්. ටිකකින් ෆෝන් එක ගොලු භාෂාවත් අත ඇරලා ඇස් පියාගත්තා. ඇද්ද උඹට. ආවා මෙතන මානුෂීය සබඳතා අලුත්වැඩියා කරන්න.

රාජකාරිය පැහැර හරින්නෙ නැති නිළධාරියෙක් වගේ පියාගත්තු ඇස් ආයෙමත් දල්වගෙන කෑ ගහනවා කැඩිලා බිඳිලා ගිය සබඳතා අලුත්වැඩියා කරදෙනු ලැබේ කියලා. ඒ පාර නම් මට තරහ ගියේ එහා පැත්තෙ තරංගයේ අයිතිකාරයා එක්ක නෙමෙයි. සබඳතා අලුත්වැඩියා කරන්න දඟලන තෝල්ක මුදලිත් එක්ක. කට වහගෙන ඉන්න නේද කිව්වෙ. මම අල්ල ගත්තා බෙල්ලෙන් තෝල්ක මුදලිගෙ. තාමත් ඇස් දල්වගෙන කෑ ගහනවා. පලයං යන්න මගෙ දෑහැට නොපෙනී. ෆෝන් එක මං ගැහුවා පොලවෙ. ඇද්ද තෝල්ක මුදලියට. 

විසි වෙලා ගියපු ෆෝන් එක දුවලා ගිහින් ඇඳ අස්සට රිංග ගත්තෙ ආයෙත් මගෙ කේන්තියෙ ගොදුරක් වෙන්න බැරුව. දැන් වත් කටවහගෙන ඉන්නෙ නැතෑ. මොන පිස්සුද. මෙන්න ඇඳ අස්සෙන් කෑ ගහනවා පණ ඇති ජීවීන් එක්ක තියෙන තරහව පණ නැති මා මතින් යවන්නෙ ඇයි කියලා. 

අනේ පවු. මෙච්චර අවුරුදු ගානක් තිස්සෙ මම හිනා උනේ උඹ එක්ක. ඇඬුවෙ උඹ එක්ක. මගෙ කේන්තියත් ඇති පමණ උඹ විඳලා තියෙනවා. උඹේ ඇඟේ පාට ගිහිල්ලා හීරිලා තියෙන්නෙ මගෙ කේන්තියේ ප්‍රතිඵල තමා. ඒත් පොලවෙ ගැහුවත් කැඩිලා බිඳිලා යන්නෙ නැති තරමට උඹ පදම් වෙලා තියෙන්නෙ. අසරණ ෆෝන් එක. අපි විහින් අවුල් කරගන්න මානුෂීය සබඳතා වලට උඹ මක් කරන්නද.

ෆෝන් එක ගැන අනුකම්පාවක් එනකොට මේ තරංගයේ අයිතිකාරයා එක්ක තිබ්බ තරහත් හේදිලා ගියා. දූවිලි පිරිච්ච ඇඳ අස්සෙන් මම ෆෝන් එක ගනිද්දිත් ඇහේ කඳුළු පුරෝගෙන ෆෝන් එක තාමත් අඬනවා. නාඬා ඉඳින්. දූවිලි පිහදාලා මම ෆෝන් එක කණේ තියාගත්තා.

"හෙලෝ"

"තරහද?"

"නෑ මැණික."


Tuesday, November 20, 2012

එළවලු රොටී වැනි යමක් සැදීමට ගත් උත්සාහයක්



මේවට එළවළු රොටී කියන්න පුලුවන්ද මන්දා. රසේ නම් වෙනසක් නෑ. අපි බොහොම දුක් මහන්සියෙන් හදා ගත්තු එළවළු රොටී. මෙන්න මෙහෙමයි හැදුවෙ. 


මුලින් පාන් පිටි ග්‍රෑම් පන්සීයක් ඊස්ට් සහ වතුර එකතු කරලා පිටි මෝලිය අනාගෙන පැය හයක් විතර තියන්න ඕනෙ.

ඔය අතරෙ එළවළු රොටියෙ මැදට දාන්න කරියක් හදාගන්නත් ඕනෙ. මම නම් අල තම්බලා පොඩි කරලා, මාලු තම්බලා, ලූණු කොළ පොඩියට කපපු එකට ලුණු ගම්මිරිස් දාලා තෙම්පරාදු කරගත්තා. 

අර පිටි මෝලියෙන් පොඩි පිටි ගුලි හදාගන්න.

දැන් සමතලා මතුපිටක තෙල් ටිකක් තවරලා පිටි ගුලිය තුනී කරන්න.

තුනී කරපු රොටිය උඩට හදාගත්තු කරි එකෙන් ටිකක් දාගන්න. 

දැන් තමන් කැමති හැඩේකට නවාගන්න. ඔතන කැමති හැඩයක් කිව්වෙ මට නම් ත්‍රිකෝණ හැඩය ගන්න බැරි උනා. ඒක දිග ඇරෙනවා. ආයෙ මොකෝ කොටු හැඩයට හැදුවොත් එළවළු රොටී කැවෙන්නැද්ද. 

දැන් පැතලි භාජනේකට තෙල් ටිකක් තවරලා හදාගත්තු එළවලු රොටී කරවෙන්න දෙන්න. එක එක පැත්තට හරවලා ලාවට කරවෙන්න දෙන්න. 

ලිපෙන් බෑවට පස්සෙ දෙසා බාන එක තමා කරන්න තියෙන්නෙ.  

ප.ලි. මේ දවස් වල මම මගේ සූප ශාස්ත්‍ර දැනුමේ නිම් වළලු පුළුල් කරමින් ඉන්නෙ. :P

Tuesday, October 16, 2012

කෑම හිරකරගන්නෙ බලාගෙනයි

පහුගිය දවසක හිත දුකෙන් පිරුණෙ සමීපතමයෙකුගේ මරණයක් ගැන අහලයි. අපි කොයි තරම් අමතක කරත් ජීවිතේ කියන එක ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඉවර වෙන්න පුලුවන් කියන එක මේ මරණයත් එක්ක ආයෙමත් මට දැනුණා. මීට කලින් ඔය හැඟීම ප්‍රබලව දැනුනෙ හිතවත් කෙනෙක් වතුර මෝටරයක් ක්‍රියාත්මක කරන්න ගිහින් විදුලි සැර වැදිලා ක්ෂණිකව මරණයට පත් වීමත් එක්කයි.

පසුගිය දවසක මරණයට පත් වුණයි කියූ පුද්ගලයා මිය ගියේ රාත්‍රී ආහාර ගනිමින් ඉද්දියි. එදා රාත්‍රියට පිළියෙල කර තිබුණෙ නූඩ්ල්ස්. නූඩ්ල්ස් කමින් විහිළු කරමින් කතා කියමින් සිටි පුද්ගලයා එක වරම කහින්නට පටන් ගෙන ඇත. නූඩ්ල්ස් හිර වීම නිසා අපහසුවට පත් වුණු ඔහු අතින් සන් කර වතුරද ඉල්ලා ඇත. ඒ අතර ඔහු කෙළ ගිලිමින් හිරවුණු නූඩ්ල්ස් ගිලින්නට තැත් කරන්නට ඇත. 

ඔහුත් නොසිතූ වෙලාවක වමනය යන්නට ආවත් වමනය පිට උගුරේ යාමෙන් නූඩ්ල්ස් සියල්ල පෙනහළු වලට ගමන් කර ඇත. ඔහුට වතුර උගුරක්වත් පොවන්නට වෙලාව ඉතිරි නොකර ක්ෂණිකව ඔහු මරණයට පත් විය. රෝහලට රැගෙන යන්නටවත් ඉඩක් නොතබා ඔහු ජීවිතෙන් සමුගෙන තිබුණි. මරණ පරීක්ෂණය සිදු කිරීමට උරස් කුහරය කපා විවර කිරීමේදී දකින්නට ලැබී ඇත්තේ පෙනහලු වටා පිරී ගිය නූඩ්ල්ස්ය. 

රාත්‍රී ආහාරයට පෙර ඔහුද මෙය ඔහුගේ අවසන් රාත්‍රී භෝජනය යැයි නොසිතන්නට ඇත. එහෙත් ජීවිතයක් අවසන් වන්නට තත්පර ගණනක නොසැලකිල්ලක් ප්‍රමාණවත්ය. 

අප කුඩා කල ආහාර ගනිද්දී හොඳින් විකා ආහාර ගිලින්න, කතා බහ කරමින් සිනහ වෙමින් නැතිව නිශ්ශබ්දව ආහාර ගන්න, හොඳින් ජලය පානය කරන්න ලෙස වැඩිහිටියන් අපේ ඔලු පුරවන්නේ මෙවැනි දේ සිදුවිය හැකි නිසාවෙනි.   

සංසාරයේ අප මිනිස් ආත්මයක් ලබා උපදින්නට ඇත්තේ කලින් ආත්මයක කළ පින් ගුණයක් නිසා වන්නට ඇත. එසේ අසීරුවෙන් ලබාගන්නා මේ ජීවිතය අපගේ නොසැලකිලිමත්කමක් නිසා එක මොහොතකින් නැති කරගන්නේ නම් එය මහත් අවාසනාවකි. 

සබඳ, මේ මොහොතේ ඔබ විඳිමින් සිටිනා ජීවිතය ඊළඟ මොහොතේ ඔබට අහිමි විය හැකිය. එහෙයින් ජීවත් වන සෑම මොහොතක්ම සිහි කල්පනාවෙන් ජීවත් වී මේ වටිනා ජීවිතය නිරපරාදයේ අතහැර නොගන්න.

Sunday, October 7, 2012

සය වසරක් සෙනෙහෙ සිතින් අපි




සමනල වියේ අප හමු නොවන්නට ඇත.

ගෙදරට හොරා අතැඟිලි පටලා රහස් මුමුණන්නට නැත.

නුඹ නිසා පියාගෙන් මා දඬුවම් නොවිඳින්නට ඇත.

අප අපගේ පළමු ආදරය නොවන්නට ඇත.

එහෙත්, අප අපගේ අවසන් ආදරයයි. 

අවුරුදු හයක් තිස්සේ මා ලද වටිනාම වස්තුව නුඹේ ආදරයයි.

හිස සුදු ගැන්වුණු මරණ මංචකයේදීද මා පතන්නේ නුඹවමයි.

තරු දෙනෙත තුළ කිමිද
සොයමි මම ආදරය
හිත ඇතුලෙ දඟ කරන
මගෙ සොඳුරු ආදරය
කල්පයක් බලන් හිඳ
කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය..

Thursday, September 20, 2012

පට්ට ඩ්‍රයිවිං හෙවත් යක්ෂාරූඪයෙන් වාහන එළවීම

ඒ ලෙවල් කරන කාලෙ මම බයෝ වලට ගෲප් ක්ලාස් එකකට ගියා. ඒක කලේ අපේ ඉස්කෝලෙම මිස් කෙනෙක්. ළමයිනුත් දහයක් විතර හිටියා. ඉස්කෝලෙ යාලුවොම තමයි ක්ලාස් එකේ හිටියෙත්.

අපේ ඉස්කෝලෙ මිශ්‍ර ඉස්කෝලයක් නිසා මම හැමදාම කියනවා වගේ ගැහැණු යාලුවො වගේම පිරිමි යාලුවොත් අපේ සෙට් එකේ හිටියා. කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැතුව එක වගේම පිස්සො ටිකක් හිටියෙ. ඒ යාලුවො සෙට් එකේ පස්සෙ කාලෙක ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කෙ පළවෙනියා වෙච්ච කෙනා වගේම, ඉස්කෝලෙ වෙලාවෙ බීලා විනය පාලක සර්ට අහුවෙලා පන්ති තහනම් කරපු උනුත් හිටියා. ඒත් ඒ කවුරු එක්ක උනත් මට තිබුණෙ මගේම සහෝදරයො වගේ බැඳීමක්.

මුන් ඉතින් අපේ ගෙවල් වලට හිටපු ගමන් කඩන් වැටිලා අපේ අම්මලා තත්තලා උනත් මුන්ව අඳුරනවා. අපෙ අම්මා කෙසේ වෙතත් අපේ තාත්තට නම් මගෙ යාලුවො සෙට් එකේ දිරවන්නැති උන් හිටියා. උන්ගෙ මූණට කිව්වෙ නැති උනාට මට නම් අඟවලයි තිබුණෙ ඔය රස්තියාදුකාර කොල්ලොන්ව ආශ්‍රය කරන්න එපා කියලා. ගෙදරින් කිව්ව පලියට අපි ඔය කාලෙ යාලුවො අත අරිනවද.

ඉතිං කලින් කිව්ව බයෝ ක්ලාස් එකට ඔය අපේ තාත්තට පෙන්නන්න බැරි ජාතියෙ කොල්ලො දෙතුන් දෙනෙකුත් ආවා. ක්ලාස් එක ඇරෙන වෙලාවට තාත්තා එනවා මාව එක්කන් යන්න.

එක දවසක් ක්ලාස් එක ඇරුනට පස්සෙ අර යාලුවන්ගෙන් කෙනෙක් මට කතා කරා. අපි ඒ යාලුවට හෙෂාන් කියමුකො.

"මට ඉස්පිරිතාල හන්දියට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්ද බං. උඹලත් යන්නෙ ඒ පැත්තටනෙ."

මටත් ඒක ප්‍රශ්නයක් නැති නිසා මම හෙෂාන්ට කමක් නෑ එන්න කිව්වා.
 
මම දැන් හෙෂාන් එක්ක වාහනේ ගාවට යනවා. අපි අඟලෙන් අඟල තාත්තා ගාවට ළං වෙද්දි තාත්තගෙ මූණ සංසුන්ව තිබිලා, කුතුහලයට ලක්වෙලා, වික්ෂිප්ත වෙලා, තරහා ආරෝපණය වෙලා, වාහනේ දොර අරිනකොට අබ පුපුරන ගාණට පරිවර්තනය වෙලා තිබුණෙ. තාත්තා මේ වගේ යාලුවොන්ට අක්මැතියි කියලා දන්නවා වුණත් මට යාලුවා ඉස්සරහ බෑ කියලා අපහසුතාවයට පත් වෙන්න අකමැත්තක් තිබුණා. ඒත් තාත්තගෙ මූණ දකිනකොට පපුව ඇතුලෙ ඩිග් ඩිග් ගාලා ගැහුණා. යක්ෂයා ආරූඪ වෙලා ඉන්න මූණ දිහා ඇස් කොණෙන් බලලා මම වාඩි උනා.

"තාත්තෙ, හෙෂාන්ව ඉස්පිරිතාල හන්දියෙන් දාගෙන යමු."
 
තාත්තා නෙමෙයි හ්ම් කියලවත් කිව්වෙ. මම වචනයක් බලාපොරොත්තු උනෙත් නෑ. හෙෂානුත් පිටිපස්සෙ දොර ඇරගෙන වාඩි උනා. ඌ දොර වහගත්තද දන්නෙත් නෑ. බෲම් බෲම් ගාලා රේස් කරපු වාහනේ විද්දෙ නැතෑ වෙඩිල්ල වගේ.
 
මම අපේ තාත්තගෙ මේ ඇක්ෂන් එක හොඳටම අඳුරනවා. තාත්තා වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නෙ උපරිමේටම තරහ ගිහින් ඉන්නෙ කියන එක.
 
වාහනේ පියාඹනවා වගේ. සිං සිං සිං ගාලා අනිත් වාහන පහුවෙනවා. වංගු ගන්නකොට අපේ ගිහින් දොරේ ඇලවෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ අපි අදාල හන්දියට ආවා. ක්‍රෑ..ස් ගාලා ගැහුවා බ්‍රේක් එකක්. තව පොඩ්ඩෙන් අරූගෙ මූණෙන් ඉස්සරහ වීදුරුවෙ මෝස්තරයක් අඳින්න තිබ්බා.
 
හෙෂාන් දඩ බඩ ගාලා බැහැලා "තැන්ක් යූ අංකල්" කියන්නද කොහෙද ගියේ. ඌ අත උස්සලා "තැන්ක්.." කියද්දිත් වාහනෙන් පිට වෙච්ච දුං ටික විතරයි එතන තියෙන්න ඇත්තෙ. යනකනුත් තාත්තා වචනයක් කිව්වෙ නෑ. ගෙදර නැවැත්තුවට පස්සෙ දඩාං ගාලා දොරත් වහලා ගේ ඇතුලට ගියා. මම ආයෙ ඕවා හාර අවුස්සන්න ගියේ නෑ. ඉල්ලං කන්නෙ මොකටද.
 
ඒ මොනා උනත් ඊළඟ දවසෙ මම ඉස්කෝලෙ ගියේ හරි අප්සට් එකේ. හෙෂාන්ට අපෙ තාත්තගෙ තරහ දැනිලා තිබ්බොත් ඌ අනිත් යාලුවන්ටත් කිව්වොත් ඒක මට හරිම ලැජ්ජාවක් වෙයි.
 
එදා පන්තියට යනකොට හෙෂාන් අනිත් යාලුවන්වත් වට කරගෙන අත පය විසි කර කර මොනාද විස්තර කරනවා. මට තේරුණා එදා සිද්ධිය තමයි මේ කියන්නෙ කියලා. ලැජ්ජාවට කණෙන් දුං දානවා වගේ මට දැනුනා. මම ඒ හරියට යනකොට උන් මාව දැක්කා. හෙෂාන් මට කතාකරා.

"ආ වරෙන් වරෙන් උඹලගෙ තාත්තා ගැන කිය කිය හිටියෙ."

මූ ඊළඟට මොනවා කියයිද කියලා හිතාගන්න බැරුව මම ලොප් උනා.
 
"අඩෝ බං, උඹලගෙ තාත්තගෙ ඩ්‍රයිවිං නම් පට්ට බං. සිරාම සිරා. ශෙහ්. සිං ගාලා ගියා. විනාඩි දෙකක් වත් ගියේ නෑ අච්චර දුරක් එන්න. අඩෝ මරු බං. මම හෙන ආසාවෙන් බලන් හිටියෙ උඹලගෙ තාත්තා ඩ්‍රයිව් කරන හැටි."

උගෙ කියවිල්ල ඉවර වෙද්දි මගෙ කටත් ඇරිලා දන්නෙම නැතුව.

"හෑ.. ආ.. ඔව් ඔව්.. තාත්තගෙ ඩ්‍රයිවිං එහෙම තමයි."

යංතං ඒ වචන ටික ගොණුකර ගන්න මට පුලුවන් උනා. නැතුව තාත්තගෙ යක්ෂාරූඪයෙන් වාහන එළවීම ගැන කියලා මොකට කට වරද්ද ගන්නවද.
Related Posts Plugin for WordPress, Blogger...