Pages

Tuesday, June 26, 2012

ගේෂාවකගේ කතාව


ගේෂාවක් යනු ගණිකාවක් නොවේ. ඈ අලෙවි කරන්නේ ස්ත්‍රී ලාලිත්‍යයයි. ජපන් වදනක් වූ "ගේෂා"හි "ගේ" යන්නෙහි අරුත "කලාවන්" යන්නයි. "ගේෂා" යන්නෙහි අර්ථය වන්නේ කලාකාරිය යන්නයි. ගේෂාවකගේ කාර්යය වන්නේ තම ගණුදෙනුකරුවන් ලිංගිකව පිනවීම නොව, තමා පුහුණු වූ කලාවන්ගෙන් ඔවුන් පිනවීමය. තේ පානෝත්සව, නර්ථනය, ෂමිසෙන් වාදනය ඇය දැනගෙන සිටිය යුතු කලාවන්ගෙන් බිඳකි.

කලෙකට ඉහත ජපානයේ සිය සංස්කෘතියේ විශිෂ්ඨතම සංකේතයක් ලෙස ගේෂාවට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. ඈ සාමාන්‍ය ගෘහණියක් නොවේ. කෙලිලොල් යෞවනියක් නොවේ. නිරූපිකාවක්, නිළියක්, ගායිකාවක් නොවේ. ඇය ඒ සියල්ලේම එකතුවයි. ඇවිදීම, කතාකිරීම, බැල්ම පවා ඈ කරන්නේ දැඩි සංයමයකිනි. සමස්ථයක් වශයෙන් ගත් කල ගේෂාවන් සිය ලාලිත්‍යවත් පෞරුෂයෙන් පිරිමින් සතුටුකළහ.

ආතර් ගොල්ඩන් නමැති ඇමරිකානු ජාතික ලේඛකයාගේ 'Memories of a Geisha' නමැති නවකතාවෙන් පැවසෙන්නේ දෙවැනි ලෝක මහා යුද්ධයට පෙර හා පසු කාලයන්හි ජපානයේ කියොතෝ ප්‍රදේශයේ විසූ සයුරී නිත්තා නමැති ගේෂාවක පිළිබඳ කතා පුවතය. එය "සයුරී හෙවත් ගේෂාවකගේ කතාව" ලෙස සිංහලට පරිවර්ථනය කොට ඇත.

යුවතියක් ගේෂාවකගේ ලොවට ඇතුල් වූ පසු ඇය තව දුරටත් තමා වෙනුවෙන් තම සිත වෙනුවෙන් නොවෙහෙසිය යුතුය. ඈ ජීවත් විය යුත්තේ අනුන් උදෙසාය. ඉතා තදට දැමූ කොණ්ඩා මෝස්තරය අවුල් වන බැවින් ඈට වෙනත් අයෙකුට මෙන් සුව පහසු කොට්ටයක හිස තබා නිදන්නට වරම් නැත. ඈ හිස තැබිය යුත්තේ කොණ්ඩා මෝස්තරය අවකාශයේ රැඳෙන පරිදි බෙල්ලට තබා ගන්නා ලද සිලින්ඩරාකාර කොට්ටයකය. ඇයට දඟකාර ගමන් ඔල්වරසන් සිනා තහනම්ය. නෙතු අගින් හෙලන බැල්මක වුවද දැඩි සංයමයක් තිබිය යුතුය. 

ඈ පිරිමින්ව පිනවිය යුතු බව ඇත්තය. එහෙත් ආදරය කිරීම නොකළ යුතුය. "ගේෂාවකට ආදරය කළ නොහැක" යන්න එකල ගේෂා ජීවිත වල අලිඛිත නීතියක් බඳු වූවේය. අනේ අතට සියළු දෙනා පිනවූවත් සමාජයට පෙනෙන්නට මහත් සතුටින් පසු වූවත් බහුතරයක් ගේෂාවන්ගේ ජීවිත ඛේදවාචක බව ඔබට මෙම කෘතිය කියවූ පසු වැටහී යනු ඇත.

ගේෂාවක් බිරිඳක් වන්නේ නැත. එහෙත් ධනවත් පිරිමියෙකුට අවශ්‍ය නම් ගේෂාවක් සිය අනියම් බිරිඳ වශයෙන් තබාගත හැක. එසේ කිරීමට නම් ඉතා විශාල මුදලක් ඇය වෙනුවෙන් සහ ඇය අයත් වන නිවාසයට ගෙවිය යුතුය. එසේ ගේෂාවක් සිය සංතර්පණයට තබා ගන්නා පුද්ගලයා "ධනා" ලෙස හැඳින්වේ. ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය මේ ධනාය. ගේෂාවක් පමණක් නොව, ගේෂාව සිටින ඔකියාවේ අයිතිකාරිය, කිමෝනා සපයන්නන්, කොණ්ඩා මොස්තරකරුවන්, ඇඳුම් අන්දවන්නන් ආදී බොහෝ දෙනා මේ ආදයම් මාර්ගය භුක්ති විඳිති. ධනාට අවශ්‍ය ඕනෑම මොහොතක අදාල ගෙවීම් අවසන් කර ගේෂාව අතහැර දැමිය හැක.

බොහෝ විට ගේෂාවන් බවට පත් කරවීම සඳහා දැරියන් කුඩා අවධියේම ඔවුන්ගේ මවුපියන් හා හැදුණු වැඩුණු පරිසරයෙන් ගෙන එන්නේ බලහත්කාරකමිනි. ඒ පසුපස ළමයින් වෙළඳාමක්ද සිදුවේ. ගේෂාවකගේ 'මිසු ආගෙ' හෙවත් කන්‍යා භාවය ඉහලම ලංසුවකට වෙන්දේසි වෙයි. ගේෂාවක් යනු වෙළඳ භාණ්ඩයක් පමණි. ඇගේ වටිනාකම රඳා පවතින්නේ සුන්දරත්වය හා දක්ෂකම මතය.

පසු කලෙක බිරිඳන් වූ ගේෂාවන් නැතිවා නොවේ. එසේ වන්නේ ඉතාමත් අල්පයකටය. එසේ විවාහ ජීවිතයට ඇතුළත් වූ පසු තවදුරටත් ඇයට ගේෂාවක ලෙස කටයුතු කිරීම තහනම්ය.

ගේෂාවද ගැහැණියකි. ඇයද දුක, වේදනාව, විඩාව අත්විඳියි. එහෙත් ඇය ඒ කම්කටොළු සුදෝ සුදු ආලේප තට්ටුවකින් වසාගෙන ඒ මත කෝමල රේඛා ඇඳගෙන සිටියි. ඉතාමත් සුන්දර කතාවක් වුවද පොත කියවද්දී නම් මේ ජපන් බෝනික්කියන් වෙනුවෙන් හදවතේ වේදනාවක් පැන නගිනු වළක්වන්නට නොහැකි විය.

Friday, June 8, 2012

සියඹලා ජූස්

මේ සියඹලා වාරෙ. ඉදිලා බිම වැටිච්ච සියඹලා අහුලන්න මිනිස්සු ගෝනි අරන් එන්නෙ. අපේ වත්තෙ සියඹලා ගහෙත් කරල් පිරිලා. සුද්ද කරපු සියඹලා හොඳ මිලකට විකුණන්නත් පුලුවන්.

මෙච්චර සියඹලා තියෙන එකේ කට ඇඹුල් වෙලා යන සියඹලා ජූස් හැදුවෙ නැත්තන් අපරාදයක්. ලේසියෙන් හදාගන්න පුලුවන් වගේම සෑහෙන ගුණදායි පානයක්.

අවශ්‍ය දේවල් බොහොම ටිකයි.

ඉදිච්ච සියඹලා
සීනි
ලුණු
වතුර
අයිස් කැට

ඉස්සෙල්ලාම සියඹලා කරල් පොතු ඇරලා වතුර තියෙන භාජනේකට දාලා පැය දෙකක් තුනක් පෙඟෙන්න තියන්න. මතක තියාගන්න ඇලුමිනියම් භාජනයක් එහෙම ගන්න එපා.

ඊට පස්සෙ පෙඟුණු සියඹලා හොඳින් පොඩි කරලා ඇට ඉවත් කරලා පෙරණයකින් පෙරාගන්න. අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න. ලුණුත් චුට්ටක් දාන්න.

ඇඹුල් ගතිය වැඩියි නම් තව වතුර දාන්න. අයිස් කැට කීපෙකුත් දාලා බීමට ගන්න.

හදලා බලන්නකො. ඇඟ නිවෙන පානයක්.

Wednesday, May 23, 2012

ප්‍රී වෙඩිං නාඩගං 2 - සුභ නැකත


නැකැත් වැඩ අකැපයි
අපේ ආගමේ හැටියට
කියයි මාමණ්ඩි


නැකැත් යනු සුභ වෙලාවයි
එය අපේ විශ්වාසයයි
කියයි අපෙ අම්මා


කොල්ලා අකුරු කියෙව්වෙ
නැකතක් නැතිව
ඌ බත් කෑවෙත් හිතිච්ච වෙලාවට
එහෙව් අපිට නැකැත් වැඩ බෑ
ආයෙත් මාමණ්ඩි තරහෙන්


නැකැත් චාරිත්‍ර අපේ සිරිතයි
එයින් පිට වැඩ අසුභයි
නැකතක් නැතිව නම්
බෑ කෙල්ල දෙන්නට
තාත්තා කෝපයෙන් ඔරවයි


අපේ කොල්ලා කොහොම හැදුනත්
නැකැත් එක්කයි හැදුනෙ ඒ දුව
ඇයි අනේ අපි එහෙම කරමුකො
එපා දැන් තරහ ගන්නට
නැන්දම්මා සාම සාකච්චාවක


හ්ම් හ්ම් මයෙ මොකෝ එහෙනම්
ඕනෑ එකක් කරමු ඒ හැටියට
මාමණ්ඩි එකඟයි වගේ දැන්


මොන මගුලක්ද ඕයි
යාලු වෙච්ච දවසෙම
පන්නගෙන ගියා නම් ගෙදරට
නෑනෙ මේඅවුලක්
කියයි ඔහු හෙමිහිට


මේ නාටකයේ මට දෙබසක් නැත

Monday, May 21, 2012

අවුරුදු දෙකක් තිස්සේ එකසිය පනහක් පුරාවට

මා අතින් සිතුවිලි අකුරු කරන්නට පටන් ගත්තේ කවදා දැයි නොදනිමි. දන්නා කාලෙක පටන් හිතේ නැගෙනා සිතුවිලි කවි ලෙසින් අරහෙ මෙහෙ කුරුටු ගෑවෙමි. උසස් පෙළ කරනා කාලයේ මගේ පමණක් නොව යෙහෙලියන්ගේද ටියුට් පිටුපස පණ යන්නට කවි ලියුවෙමි. උන් 'එපා යකෝ' කියද්දීත් 'මෙහෙ දීපන්කො කවියක් ලියලා දෙන්න'යැයි කියමින් මම උන්ගේ ටියුට් වනසමි.

තැන් තැන් වල කුරුටු ගෑ කවි එක තැනකට එක් කොට ලියා තැබිය යුතු යැයි යන අදහස මසිතේ තිබුණේ කලෙක පටන්ය. කම්මැලිකම සහ කවි ලියා දුන් එවුන් විභාගය ලියා ටියුට් ටික බෝතල් පත්තර කාරයන්ට විකිණීම යන හේතු නිසා ඒ අදහස පල දැරීමට පමා විය.

බ්ලොග්කරණයේ අදහස මසිතේ මුලින්ම රෝපණය වූයේ සජිත් නිසාය. ඔහු විසින්ම මා හට සාදා දුන් බ්ලොග් අඩවියේ මා මුලින්ම පළ කළේ මා ළඟ ඒ වන තෙක් ඉතිරිව පැවති කවි සිතුවිලිය. පසුව ඒ අතරට අතීත මතක, රස කතා, අත්දැකීම් ආදියද ලියවෙන්නට විය. කොමෙන්ටු එක දෙක වැටෙද්දී ෆලෝවර්ස්ලා එක දෙක වැඩිවෙද්දී තව තව ලියන්නට සිත තුළද පෙලඹවීම වැඩි විය.


බ්ලොග් අවකාශය වෙනම සමාජයකි. එම සමාජයේ අප එකිනෙකාට ඇති අනන්‍යතාවය මේ අකුරු මත ගොඩ නැගේ. පසුව අප හමුවී දැන හඳුනා ගත්තද ඔබ මා මුලින්ම බැඳුනේ මේ අකුරු හරහාය. මේ සහෝදරකම් මෙපමණකට වටින්නේ ඒ නිසා වන්නට ඇත.
 
ඉදින් මේ බ්ලොග්කරණයට මා පිවිස අදට වසර දෙකකි. එමෙන්ම මේ මාගේ එකසිය පනස් වන ලිපියයි. මෙයට වසර දෙකකට පෙර මා මෙයට පළමුවන කවිය ලියන විට මේ තරම් දුරක් එන්නට හෝ මේ තරම් සහෝදරකමක් දැකගන්නට හෝ ලැබේවියැයි හීනෙකින්වත් නොසිතුවෙමි. මා මේ දුර පැමිණියේ මගේ සිතුවිලි කියවන ඔබ සියළුදෙනා නිසාවෙනි.
 
ඉතින් මේ ආ ගමනේ මගේ ශක්තිය ඔබම මිස වෙන කවුරුද.
 
ස්තූතියි.

Friday, May 11, 2012

පාං ගණං


සමහරුත් දැන් හරියට
පාං වගේ
මෙලෝ රහකුත් නෑ
ඇති ගුණේකුත් නෑ
පුහ්:
බලන්ට එපැයි ගණං

Tuesday, May 8, 2012

යා යුතුම ගමන ඈ ගියාය

ආදරණීය සුදු ආච්චි.. 

ඈ මාගේ මවගේ දයාබර මෑණියන්ය. අප නිවසේ අවුරුදු විසි පහකට අධික කාලයක් ගත කළ ඈ අනූ වැනි වියේදී අප අතැර ගියාය. ඒ පසුගිය සතියේ මැයි දෙවැනිදාය. මිය යන්නට පෙර මාස පහක් පමණ ඈ සිටියේ ඔත්පලවය. 

දරුවන් සය දෙනෙකුට මෑණියන්ව මුණුබුරු මිණිබිරියන් දහතුන් දෙනෙකුට ඈ මිත්තණියක් වූවාය. එපමණක් නොව මී මුණුබුරන් අටකට මී මිත්තණියක් වූවාය.

සුවෙන් සිටින කාලයේ ඈ කතා කීමට හපනියකි. ඕනෑම සිදුවීමකට ඈ ළඟ කතාවක් තිබිණි. අවුරුදු ගාණකට කලින් ගමේ සිදුවූ කතා ඈ පවසන්නේ මහත් අභිරුචියෙනි. නිරන්තරයෙන්ම ඇගේ මුව සිනහවෙන් ඔපවත් වී තිබිණ. මගේ පුන්නීගේ දයාබර දියණිය මියගිය දින හැරෙන්නට කිසිදු දවසක ඈ දුකෙන් සිටිනවා මා දැක නැත. දරුවන්ට පමණක් නොව සතා සිවුපාවන් වෙනුවෙන්ද ඇගේ සිතේ ඇති තරම් කරුණාව පිරී තිබිණි. වෙව්ලන අතින් හිස පිරිමැද "මගෙ රත්තරං පුතාට තුණුරුවන්ගෙ පිහිටයි" ලෙසින් ඈ පවසන අයුරු දැනුදු දෙසවනට ඇසේ. 

තුරුණු වියේදීම සැමියා ඈ අතැර ගියේය. දරුවන් සය දෙනෙකු සමඟ මෙලොව තනි වූ ඈ ජීවිත සටනට මුහුණ දුන්නේ වෙන කළ හැකි දෙයක් නොවූ නිසාවෙනි. අත් රිදුම් දෙනතෙක් පොල් අතු වියා විකුණා දරුවන්ට බත සරි කළාය. චීත්තය දණට ඇඳ මඩට බැස තනියෙන් ඈ කුඹුර කොටා අස්වැද්දුවාය. ජීවිතයේ පිළිසරණ ඈ දෙවැනි සැමියෙකුගෙන් නොපතා තනියම දහදුක් වින්ද සැටි මගේ මව දැනුදු කඳුළු පිරි දෙනෙතින් සිහිකරන්නීය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඈ දිරිය මවක් වූවාය.

නිවෙස පුරාවට ඇවිදිමින් ගෙදර සුලු සුලු වැඩට හවුල්වෙමින් කවට කතා කියමින් හිනැහෙමින් සිටි ඈ ඇඳටම කොටුවූයේ දිනක් අනපේක්ෂිත ලෙස නානකාමරයේ ඇද වැටීමෙනි. එතැන් පටන් ටිකෙන් ටික ඇගේ මතකයද ගිලිහී යන්නට විය. දිනෙන් දින ඈ මරණයට ළඟා වන බව රහසක් නොවීය.

 කුඩා කල සිටම තුරුලේ හිඳ හුරතල් වූ මා දෙසද ඈ බලා හිඳ "ඔයා කවුද"යි අසද්දී නම් සිර කරන් සිටි දුක පුපුරා ගියේය. එහෙත් මිය යාමට පෙර දින එනම් මැයි පළමු දින මා කොළඹ ඒමට පිටත් වීමට ඈට වඳින විට "දරුවා යන්නද. මයෙ රත්තරං පුතාට බුදුසරණයි" ලෙස සුපුරුදු වාක්‍ය ඛණ්ඩය ඈ පැවසුවාය. මිය යන්නට මොහොතකට පෙරද ඈ බුදුගුණ සිහිකරමින් සිට ඇත. ඈ යා යුතු වෙලාව මේ යැයි ඈ දැන සිටින්නට ඇත. නිහඬවම ඈ නික්ම ගියාය. 

ඇගේ මරණයේ දුක වෙන කාටවත් වඩා වැඩියෙන් දැණුනේ මගේ පියාගේ මෑණියන්ටය. අවුරුදු ගාණක් තිස්සේ ඇගේ තනිකම බෙදාගත් දයාබර මිතුරිය සුදු ආච්චීය. සුදු ආච්චිගේ මරණය ඈට ඉමහත් කම්පණයක් විය.සුදු ආච්චිගේ අවසන් කටටුතු සිදුකර පැයක් යන්නට මත්තෙන් ඈ දැඩි සේ රෝගාතුර වී සිහි කල්පනාව නැති වී ඈ රෝහල් ගත කෙරිණ.

සුදු ආච්චිගේ මරණය මට දුකක් බව සැබවි. එහෙත් ඈ විඳි දුක අවසන් කළ නිසා ඒ මරණය ඈට හොඳක් සිදුකරන්නට ඇතැයි මට සිතේ. කිසිවෙකුටත් වචනයකින්වත් හිරිහැරයක් නොකර පරමායුෂ විඳ මිය ගිය සුදු ආච්චි අනිවාර්යයෙන්ම යහපත් ආත්මයක උපත ලබන බව නම් මා දනිමි.

Tuesday, May 1, 2012

ප්‍රී වෙඩිං නාඩගං


අලුත් ඇස් ගාණක් පිරික්සයි හනි හනික 

සුදුසුදැයි ඈ සිතති මනාලිය වීමට 

ඩෙනිම් ටී ෂර්ට් නැත 

රැළි සාය දෙපතුල ළඟට 

කෙලින් කළ කොණ්ඩය 

සඟවමින් කණ පිටුපස 

කිංකිණි සිනා දඟ බැලුම් නැති 

කෝල සිනහා අඩු කතාවෙන් 

අම්මා තල්ලු කරයි 

නැන්දම්මාට තේ අල්ලන්න 

ප්‍රේමය නීතිගත කරන්නට සැරසෙයි 

අලුත් ඇස්, පිරික්සුම් ඇස්, කුතුහලය පිරි ඇස් අතර 

හුරුපුරුදු නෙතු ගැටුණු කල 

පුපුරන්නට ආ සිනහව දෙදෙනාම 

කැස්සකින් යටපත් කල 

කවදා කෑ ටකරන්ද බොල 

කියයි ඔහු හෙමිහිට
Related Posts Plugin for WordPress, Blogger...