Thursday, March 2, 2017
Monday, November 23, 2015
Wednesday, September 23, 2015
දරුවන් දෑස් මෙන් රැක ගනිමු | Let's Save our kids from 'Child Predators'
මේ ගෙවෙන්නේ දරුවන්ට එතරම් සුභ කාලයක් නොවේ. ඔවුන් අද මේ පය තබන්නේ එදා අප පය ගැසූ සමාජය නොවේ. ඔවුන්ට අද මුණ ගැසෙන්නේ එදා අප රැකගත් වැඩිහිටියන් නොවේ. ඔවුන් අද සෙල්ලම් කරන්නේ අප එදවස දැමූ සෙල්ලම් ගෙවල්, බට්ටා පැනීම්, ඔන්චිලි පැදීම් නොවේ. ඔවුන්ට තාක්ෂණය, අන්තර්ජාලය වැනි දේ දෙපයින් සිටගන්නටත් ප්‍රථම හුරු පුරුදු දේවල් බවට පත්වේ.
මේ දිනවල තරම් පුංචි මල් කැකුළු අපචාර වලට ලක් වූ බව ඇසූ යුගයක් මට නම් මතක නැත. පැමිණ ඇත්තේ දරුවන් ඇහේ තබාගෙන රැක්කත් මදි කාලයකි.
අපයෝජකයන්ගෙන් දරුවන් රැකගත හැකි කරුණු රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලයේ සංසරනය වෙනු දිටිමි. මටද දරුවෙකු සිටින නිසාවෙන් මට එම ලිපි පෙල ඉතා වැදගත් විය. ඔබද මවෙක් පියෙක් විය හැක. නො එසේ නම් කෙදිනක හෝ මව් පිය පදවිය ලබනු ඇත. එදිනට ඔබටත් මේ කරුණු වැදගත් විය හැකි නිසා මා දැනුවත් වූ කරුණු ඔබ සඳහා පල කරන්නට සිතුවෙමි.
දරුවෙක්ට කෙදිනකවත් බලෙන් වැඩිහිටියෙකුට හාදු දෙන්නට වැළඳ ගන්නට නොකියන්න. "පුතේ අංකල්ට උම්මා එකක් දෙන්න" බොහෝ විට අපි එසේ කියන්නෙමු. නමුත් පර්යේෂකයන් පවසන පරිදි එසේ දරුවන් අකමැති පුද්ගලයෙකුට බලෙන් ළං කරනා විට දරුවන්ට ඔවුන්ගේ ශරීරය තව දුරටත් ඔවුන්ගේ නොවන බව වටහා ගනී. අපයෝජනයකට ලක්වන දරුවෙක් එය තමාට සිදුවන වැරැද්දක් ලෙස සමහරවිට නොදකින්නේ ඒ නිසා විය හැක.
ඔබේ දරුවන්ව හැකි තරම් පිටස්තර පුද්ගලයන්ගේ උකුල මත වාඩි වීමෙන් වලක්වන්න.
දරුවන්ට අවුරුදු දෙකක් පමණ වන විට ඔවුන් ඉදිරියේ ඇඳුම් මාරු කිරීමෙන් වලකින්න. එසේම පිටස්තරයින් සිටින තැන ඔබේ දරුවාගේ ඇඳුම් මාරු කිරීමෙන්ද වලකින්න. දරුවාට ඇසෙන ලෙස කාරුණිකව ඔවුන්ට එලියට යන ලෙස දන්වන්න. "අන්කල් අපෙ බබා ඇඳුම් මාරු කරගෙන එනකල් ඉන්න...."
කිසිම වැඩිහිටියෙකුට ඔබේ දරුවාට "මගෙ හස්බන්ඩ්" හෝ "මගෙ වයිෆ් " ලෙස ආමන්ත්‍රණය කරන්නට ඉඩ නොදෙන්න.
දරුවා යහළුවන් සමඟ හෝ වැඩිහිටි දරුවන් සමඟ සෙල්ලම් කරද්දී ඔවුනට නොදැනෙන ලෙස ඔවුන් කුමන සෙල්ලමක නිරත වන්නේදැයි ඔබ දැනුවත්ව සිටින්න.
කෙදිනකවත් දරුවෙකුට ඔහු හෝ ඇය අකමැති බව හඟවන වැඩිහිටියෙකු බලන්නට යන්න බල නොකරන්න. එමෙන්ම පමණට වඩා යම් වැඩිහිටියෙකුට දරුවා ඇල්මක් දක්වයි නම් ඒ ගැනත් සොයා බලන්න.
පෙර බොහෝ ක්‍රියාශීලී වූ දරුවෙකු හදිසියේ පැත්තකට වී සිටී නම් නිශ්ශබ්දව සිටී නම් ඔහුගෙන් මෘදුව ප්‍රශ්න අසන්න.
ඔබගේ වැඩුණු දරුවාට යම් දිනෙක ලිංගිකත්වයේ හරි අගය පිළිබඳ කියාදෙන්න. ඔබ එසේ නොකලහොත් කෙදිනක හෝ ඔහුට සමාජය විසින් එහි වැරදි අගයක් කියා දෙනු ඇත.
ඔබ දරුවාට යම් කාටූන් පටයක් හෝ චිත්‍රපටයක් රැගෙන දෙනවා නම් ඔහුගේ අතට එය පත් කිරීමට කලින් එය නරඹා සිටින්න. සමහර ළමා කතා වලින්ද වැරදි පූර්වාදර්ශ දරුවා ඉගෙනීමට ඉඩ ඇත.
ඔබගේ තුන් හැවිරිදි දරුවාට ඔහුගේ/ඇයගේ පුද්ගලික අවයව මොනවා දැයි කියා දෙන්න. "පුතේ කලිසමෙන් වැහිලා තියෙන තැන් ඔයාගෙමයි. වෙන කිසිම කෙනෙක්ට අයිතියක් නෑ ඒවා අල්ලන්න." ඔවුන්ගේ ඒ අවයව තනිව පිරිසිදු කර ගන්නා සැටි උගන්වන්න. වෙන කිසිවෙකු හෝ කලිසමෙන් වැසී ඇති ස්ථාන ස්පර්ශ කරනවා නම් වහාම එය තමාට පවසන ලෙස කියා සිටින්න. තමා කෙදිනකවත් දරුවා එසේ පැවසුවහොත් දරුවාට නොබනින බවත් ඔහුව ආරක්ෂා කරගන්නා බවත් කියා සිටින්න.
දරුවාගේ ළපටි මනසට තරම් නොවන නව කතා, චිත්‍රපට, ගීත ඇති නම් ඒවා ඔවුන්ගෙන් ඉවත් කරන්න. වයසට වඩා පැසුණු මිතුරන්ද ඈත් කර තබන්න.
කිසියම් දිනෙක ඔබේ දරුවා වැඩිහිටියෙකු ගැන පැමිණිළි කලහොත් කිසි දිනෙක නිහඬව නොසිටින්න. ඔවුන්ට එරෙහිව පියවර ගන්න. ඔබේ දරුවාට ඇති එකම ආරක්ෂිත ස්ථානය ඔබ බව ඔවුන්ට පසක් කරවන්න.
You are the only safe heaven for your child.
Friday, July 10, 2015
Wednesday, September 4, 2013
ගැබ්බර මිනිසා නිසා නාට්‍යාලය ගබ්සා වීම
පහුගිය දිනෙක ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ 'ගැබ්බර මිනිසා' වේදිකා නාට්‍යය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ රඟ දැක්වුණා.මෙච්චර කාලෙකට කැම්පස් එකට නරකයි කියල කියන්න පුලුවන් නාට්‍ය ගෙන්වලා නෑ.
කලින් කොහොමද කියලා දන්නෙ නැති වුණත් ඒ විශ්වාසය නිසා මමත් නාට්‍යය බලන්න ටිකට් එකක් ගත්තා. විශේෂයෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස්, සරත් කොතලාවල, කුසුම් රේණු වගේ ප්‍රවීන රංගන ශිල්පීන් රඟන වේදිකා නාට්‍යක් නිසා අන්තර්ගතය ගැන සැකයක් කිසිම මොහොතක හිතේ තිබුණෙ නෑ.
ඉතින් සෙනඟ අතරෙ තෙරපිලා ශාලාවට ඇතුල් වෙන්න සිද්ධ වුණත්, චීන මහා ප්‍රාකාරය වගේ කොල්ලො පේලියකට පිටිපස්සෙ පේලියෙන් වාඩි වෙන්න සිද්ද වුණත්, ඉස්සරහ පේලියෙ කොල්ලන්ගෙ උරහිස් අතරින් වේදිකාව දිහා බලන්න සිද්ද උනත්, කරුමෙට මම හිටපු තැන විදුලි පංකාව ක්‍රියා විරහිත වෙලා තිබුණත් හොඳ නාට්‍යයක් බලනකොට ඔය හැම බාධකයක්ම අමතක වෙලා ගිහින් හිත සංසුන් වෙන බව අත්දැකීමෙන් දන්න නිසා නාට්‍යය බලන්න කලින් හිත රිදවගන්න මට කිසිම හේතුවක් තිබුණෙ නෑ.
නියමිත වෙලාවට පැය බාගයක් පරක්කු වෙලා තිරය දිග ඇරුණා.
දල්පදාතු මහතා ගබ්සා විරෝධී ජාතික සංගමයේ සභාපති. ඒ චරිතයට රඟපාන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. දල්පදාතුගේ දියණිය තරුණයෙක් සමඟ ඇතිකරගන්නා සම්බන්ධතාවය නිසා ඇය අඩු වයසින්ම ගැබිණියක් වෙනවා. ඔහුගේ භාර්යාවත් අනියම් ඇසුරක් නිසා ගර්භනී වෙනවා.
මේ අතර වැරදීමකින් ඊස්ට්‍රජන් හෝමෝනය දිගුකාලයක් තිස්සේ ගැනීම නිසා දල්පදාතුද ගැබ්බර වෙනවා. පවුලේ සියලු දෙනාම එකිනෙකාට හොරෙන් ගබ්සා මධ්‍යස්ථානයකට යනවා. අවසානයේ ගබ්සාව නිසා දියණිය මිය යන අතර, (භාර්යාවට කුමක් සිදුවන්නේදැයි දන්නේ ඔවුන්ම පමණි.) දල්පදාතු සිය කළලය ගබ්සා නොකර දරුවා මෙලොවට උපද්දවීමට තීරණය කරනවා.
නාටකයේ සාරංශය එලෙසය. පැය භාගයකින් පමණ ඉවරකිරීමට හැකිව තිබූ කතාවක් අභව්‍ය දෙබස් හා අධි රංගනයන් සමඟ පැය දෙකකට ආසන්න කාලයකට රබර් කිරීමක් කර ඇති බව නම් හොඳාකාරවම පෙනෙන්නට තිබුණා. මෙවැනි නලු නිලි පිරිසකගෙන් මේ තරම් අසංතෘප්ත ප්‍රථිපලයක් නම් මම කවදාවත් බලාපොරොත්තු උනේ නෑ.
මට අනුව නම් එය වේදනාකාරී කාලය කාදැමීමක්. වැඩි දෙනෙක් ගෙදර ගියේ වේදිකාව මත රඟ දැක්වුණු මෙගා ටෙලිනාට්‍යයක් වැනි දෙයක් නරඹලා ඇති වුණු පසුතැවීමත් එක්ක කියන එක මට විශ්වාසයි.
Wednesday, August 7, 2013
වණ්ඩු බිත්තර
සෑහෙන කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. බ්ලොග් එක අත ඇරලා දාලත් බෑනෙ.
ලඟදි දවසක අලුත් කෑමක් අත්හදා බැලුවා. මට හම්බවෙච්ච අර පරණ සුප ශාස්ත්‍ර පොතේ තියෙන රෙසිපියක් බලාගෙනයි හැදුවෙ. එදා මම පොරොන්දු උනානෙ ඒකෙන් කෑම වර්ග කීපයක් හරි හදන හැටි දානවා කියලා. මේ වෙච්ච පොරොන්දුව ඉටු කිරීමක්.
වණ්ඩුවේ තැම්බූ බිත්තර වලින් හදන කෑමක්. අමාරු නෑ හදාගන්න. හැබැයි ටිකක් වෙලා යනවා. පොඩ්ඩක් වාත උනාට හරියට හදාගත්තොත් ඉතාම රස වෑංජනයක්.
මුලින්ම බලමු අවශ්‍ය දේවල්:
- බිත්තර 3ක්
- පාන් පිටි මේස හැන්දක් විතර
- රතු ලූණු ගෙඩි 10 15ක්
- අමු මිරිස් කරල් 3ක් 4ක්
- කෑලි මිරිස්
- කරපිංචා කොළ ටිකක්
- කහ තේ හැඳි 1/2ක් විතර
- ලුණු රස අනුව
ඉස්සෙලාම බිත්තර ටික හොඳට බීට් කරගන්න. ආයෙ ඕකට බීටරයක් ඕනෙ නෑ. ගෑරුප්පුවකින් වැඩේ කරගන්න පුලුවන්. මේකට පාන් පිටි ටික දාගෙන ආයෙත් හොඳට ගසා ගන්න. රතු ලූණු කපලා කෑලි මිරිස්, හීනියට ලියාගත්තු අමු මිරිස් දාලා ලුණු මිරිසක් වෙන්න හොඳින් අනන්න.
ඊට පස්සෙ ඒක බිත්තර මිශ්‍රණයට දාන්න. ඒ වගේම ඒකටම පොඩියට කැපූ කරපිංචා, කෑලි මිරිස් ටිකක්, ලුණු ටිකක්, කහ පොඩ්ඩක් දාලා ආයෙත් ගසා ගන්න.
දැන් බිත්තර මිශ්‍රනය හරි. ඊලඟට භාජනයක් අරගෙන ඒක උඩින් ලන්ච් ශීට් එකක් එලලා අර බිත්තර මිශ්‍රනය ඒකට වත් කරගන්න. දැන් වණ්ඩුවේ තම්බා ගන්නයි තියෙන්නෙ. වණ්ඩුව කියන්නෙ මොකද්ද දන්නෙ නැත්තම් ස්ටීමර් එක දන්නවනෙ. අන්න ඒකම තමා ඈ. මම රයිස් කුකර් එකේ ස්ටීමර් එක ගත්තෙ. පහල කෑල්ලට වතුර දාල හොදින් වතුර පැහෙනකොට ස්ටීමර් එක තියලා බිත්තර මිශ්‍රනය තියෙන භාජනේ ඒක ඇතුලින් තියලා තම්බගන්න ඔනෙ. ලන්ච් ශීට් එකෙන් භාජනේ උඩ වහන්න එපා. විනාඩි 45ක් විතර තම්බගන්න ඕනෙ.
තැම්බුණාට පස්සෙ භාජනෙන් එලියට අරගෙන කෑලි වලට කපාගන්න.
දැන් වණ්ඩු බිත්තර ලෑස්තියි. ඕනෙ නම් මෙහෙමම කන්න පුලුවන්. එහෙම නැත්තන් කරවල තෙල් දානවා වගේ තෙල් දාලා ගන්න පුලුවන්.
මම නම් හොද්දකට හැදුවා. හොඳට පොල් කිරි දාලා කිරි හොද්දක් හදලා පැහෙනකොට අර බිත්තර කෑලි ටික දාගන්න. පස්සෙ තෙම්පරාදු කරලා ලිපෙන් බාන්න.
බත් එක්ක කන්නත් පුලුවන්. පාන් එක්ක කන්නත් පුලුවන්. අපි නම් කෑවෙ ඉඳි ආප්ප එක්ක. වෙලාවක එහෙනම් හදලා බලන්නකො.
Wednesday, March 27, 2013
කුකුල් මස් ඉස්ටු
මේක ළඟදි ඉගෙන ගත්තු වට්ටෝරුවක්. රසට ආවා. හැමදාම අපි කුකුල් මස් කරිය හරි ඩෙවල් හරිනෙ කන්නෙ. වෙනසකටත් එක්ක කුකුල් මස් ඉස්ටුවක් හදලා බලමුද. වැඩි වැඩ නෑ. හරිම ලේසියි හදන්නත්.
අවශ්‍ය ද්‍රව්‍ය මෙහෙමයි.
- කුඩා කැබලි වලට කැපූ කුකුල් මස් 250g
- අල ගෙඩියක්
- ලොකු ලූණු ගෙඩියක්
- අමු මිරිස්
- කරපිංචා
- රම්පෙ කෑල්ලක්
- විනාකිරි මේස හැඳි 2ක්
- කුරුදු පොත්තක්
- එනසාල් 3ක් 4ක්
- කරාඹු නැටි 3ක් 4ක්
- සුදු ලූණු බික් දෙකක්
- අමු ඉඟුරු පොඩි කෑල්ලක්
- ලුණු රස අනුව
- ගම්මිරිස් රස අනුව
මුලින්ම කුකුල් මස් කැබලි ටික හොඳට හෝදගෙන භාජනයකට දාන්න. මේකට ලුණු ගම්මිරිස් විනාකිරි ටික දාලා අනාගන්න.
අල ගෙඩිය සුද්ද කරලා පොඩි කොටු කපාගෙන් එකතු කරගන්න. ලූණු ගෙඩියත් ලොකු කැබලි වලට කපාගෙන මේකට දාගන්න. රම්පෙ කරපිංචා, කැපූ අමුමිරිස්, කුරුඳුත් එකතු කරගන්න. එනසාල් සහ කරාඹු නැටි පොඩ්ඩක් තලලා මේකට දාන්න. සුදු ලූණු සහ අමු ඉඟුරුත් අඹරලා දාන්න. දැන් මේකට කුකුල් මස් ටික වැහෙන ගාණට වතුර පොඩ්ඩක් දාලා ලිපේ තියන්න.
ටික වෙලාවකින් අල ටික තැම්බුනාට පස්සෙ අල කෑලි වලින් ටිකක් වෙනම භාජනයකට බේරලා අරගෙන හැන්දකින් හොඳට පොඩි කරලා ආයෙත් මේ මස් මිශ්‍රණයට එකතු කරලා හොඳින් හැඳි ගාන්න. මස් ටික හොඳට තැම්බුණාම ලිපෙන් බාගන්න.
විනාකිරි දාන නිසා හොඳ සුවඳක් එනවා. සුවඳ වගේම තමයි රසත්. හදල බලන්නකො වෙලාවක.
Thursday, March 14, 2013
මිස් මිසිස් වීම
ගිය ජනවාරි 17 මගෙයි සජිත්ගෙයි විවාහ මංගල්‍යයය තිබුණා. අවුරුදු හයකටත් වැඩි කාලයක් තිස්සෙ ආදරේ කරලා ගෙවල් එක්ක යුද්ධ ප්‍රකාශ කරලා තුන්වෙනි ලෝක මහා සංග්‍රාමෙට පොඩ්ඩක් මෙහායින් යන යුද්ධෙකුත් කරලා අපි කසාද බැන්දා.
මිශ්‍ර විවාහයකදි අත් විඳින්න වෙන අපහසුතා හැමදෙයක්ම පවුල් පිටින් අපි එදා නම් වින්දා. එදා ඒ අතපසුවීම් වලට කලබල උනාට, පස්සෙ හිතලා බලද්දි ඒවා මතක් කර කර හිනාවෙන්න පුලුවන් සොඳුරු සිහිවටනයන්.
මුලින්ම සජිත්ලගෙ ආගමේ විදිහට චාරිත්‍ර කරන්න පල්ලියට ගියා. පල්ලියෙදි අපේ පැත්තෙ අයගෙ නුහුරුකම නිසා පොඩි පොඩි සිද්ධි වුණත් මම මුල ඉඳන්ම බයවෙලා හිටියා වගේ අපේ තාත්තා දමල ගහල එලියට ආවෙ නෑ. මගෙ අම්මේ ඒකම මදෑ.
පල්ලිය ඇතුලට හැමෝම ගියාට පස්සෙ අන්තිමට මම තාත්තා එක්ක ඇතුල් වෙන්න තිබුනෙ. දොර ගාවදිම සජිත්ලගෙ පැත්තෙ නෑයො අතපය විසිකර කර මොකද්ද කියනවා. එතකොට තමයි මතක් උනේ මම මූණ වැහෙන්න වේල් එක දාලා නෑ කියලා. අතරමැද නැවතිලා වේල් එක මූණට දාගෙන ඉස්සරහට එනකොට හැමෝම හක හක ගාලා හිනාවෙනවා මම කලබල වෙච්ච විදිහට. කවදා කාපු ටකරන්ද. අනිත් අය නම් කමක් නෑ කියමුකො සජිතුත් හිකි හිකි ගගා හිනාවෙච්ච එකනෙ වැඩේ. මනමාලයා කියලා බලන්නැතුව හොඳවැයින් රවලා බලලා මම එයාගෙ එහා පැත්තෙන් හිටගත්තා. මම ඉස්සරහට අඩියක් තිබ්බා විතරයි මගෙ ඔලුව පස්සට ඇදෙනවා දැනුනා. බලද්දි අපෙ තාත්තා මගෙ වේල් එක උඩ හිටගෙන. වටේ පිටේ අයට පින්සිද්ද වෙන්න කොණ්ඩෙට කිසි හානියක් නොවෙන විදිහට වේල් එක හදා ගත්තා ආයෙත්. පල්ලිය දිගේ ලස්සනට ඇදීගෙන යන විදිහට මීටර් හයක වේල් එකක් තෝරගත්තු මෝඩයා මම. ඒ වේල් එක මට දීපු වදයක් එදා දවසෙම.
පල්ලියෙදි වෙච්ච ලොකුම අප්සට් එක තමයි ෆොටෝ ගහන කෙනා ෆාදර්ගෙන් බැනුම් අහපු එක. ඒ පූජාව අතරෙදි එහෙට මෙහෙට වෙවී ෆොටෝ ගහන්න ගිහින්. පල්ලිය ස්ටූඩියෝ එකක් කරගන්න එපා කියලයි ෆාදර් බැන්නෙ. මොනා උනත් ඒ මනුස්සයා අපි හන්දනෙ බැනුම් ඇහුවෙ කියන පසුතැවීම නම් තාමත් තියෙනවා.
කතෝලික චාරිත්‍ර අපේ අයට නුහුරුයි වගේම බෞද්ධ චාරිත්‍ර සජිත්ලගෙ අයටත් නුහුරුයි. ඒ නිසා පොඩි පොඩි දේවල් නොවුණාම නෙමෙයි. වෙඩින් වලදි මිනිස්සු පිස්සු කෙලින විදිහට ඒවා මොනාද.
සජිත් අපෙ තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට අපේ සීයා කෙනෙක් එතනට ඇවිත් තියෙනවා. ටිකක් සජිත් දිහා බලලා සීයා අහලා "මේ පුතා කවුද හොඳට දැකලා පුරුදුයිනෙ" කියලා. සජිත් හිනාවෙලා "සීයෙ මම තමයි මනමාලයා" කියලා. සීයටත් හිනහයිලු. "අප්පටසිරි. නිච්චි නැති උනානෙ" කියලා සීයා හෙමින් ගිහින් .
පෝරුවෙදි දෙවනි දවසෙ සාරිය අන්දවනවනෙ. ඒක දැන් අන්දවන්න කිවුවම ඉණ වටේ ගැටගහන්න සජිත්ට තේරෙන්නෙ නෑ. ඒ පාර කිව්වා එහෙනම් සාරිය කරට දාන්න කියලා. මේකා ඒක එක පැත්තකට දාලා සල්වාර් එකේ ෂෝල් එක වගේ අනිත් කරටත් දාන්න හදනවා. ඒ පාර අෂ්ඨක කියන කෙනා කිව්වා එක්කො සාරිය නවලා මෙයාගෙ අතට දෙන්නකො කියලා. අපි නිකන් පෝරුව උඩ කොමඩි ෂෝ එකක් පෙන්නනවා වගේ අනිත් කට්ටිය හිනා උනේ.
පෝරුවේ චාරිත්‍ර හරියටම විනාඩි හතලිහක් තිබ්බා. අනෙ අම්මේ විඳපු දුකක්. ඒ වෙලාව ගෙවිලා ඉවර වෙන්නෙම නෑ. කකුල් රිදෙනවා මදිවට ෆ්ලෑෂර් නිසා දාඩිය බේරෙනවා. අපි දෙන්න හෙමින් පටන් ගත්ත කයිය අපිටත් නොදැනීම සෑහෙන සංවාදයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ජයමංගල ගාථා වෙලෙත් අපි දෙන්නගෙ කයිය. අම්මා රවාගෙන ඉන්නව දැක්කමයි මගෙ කට වැහුණෙ.
අපේ පොඩිම මල් කුමාරයට හිටපු කොලු පැටිය නම් පුදුම අණ්ඩපාලයෙක්. මූට කරන්න කියන්නෙ මොකද්ද ඒකෙ අනිත් පැත්තමයි කරන්නෙ. ෆෝටෝ වලට ඉඳලා එපාම උනාම ෆෝටෝ ගහන අයියට මූ කිව්වෙ නැද්ද "අනේ මේ ගහන පොටෝ එකක් එක පාර ගහලා ඉවරයක් කරනවද" කියලා. ඒ මනුස්සයත් හොල්මන් මුගෙ කටට. අන්තිමට කොල්ලට එපාම වෙලා එතනින් දුවලා ගියා. ඒ පාර කට්ටිය පෝලිමට මේකව අල්ලන්න පස්සෙන් දුවනවා. සජිත්, දෙවනි මනමාලයා, අනිත් මල් කුමාරයා, ෆොටෝ අයියා ඔක්කොම පෝලිමේ. මේකා දුවගෙන ගියේ ඒ මදිවට වැව පැත්තට. අන්තිමට කොල්ලගෙ තාත්තා දුවල ඇවිත් තමා අල්ලගත්තෙ. ඒකා එදා අපිට දීපු රැග් එකක්.
මල් කුමාරිට මල් පොකුර දීලා කිස් එකක් දෙන්න කිව්වම මේකා ඇඹරිච්ච ඇඹරිල්ලක්. කොල්ලගෙ මනමාල හිනාව තමයි ඔය තියෙන්නෙ.
![]() |
| කොහොමද හිනාව කොල්ලගෙ |
හැමදෙයක්ම හිනා වෙලා දරාගත්තා උනත් ඒ දරාගැනීම පුපුරලා ගියේ අම්මලා මාව සජිත්ලගෙ ගෙදරට ඇරලලා ආපහු යන්න හදද්දි. මම දන්න හැමෝම යනව නේද කියන හැඟීමත් නුපුරුදු පිරිසක් අතරෙ තනිවීම කියන හැඟීමත් හරිම දුකක්. මගෙ ආදරණීය තාත්තා. තාත්තා ඇවිත් මාව බදාගෙන අඬද්දි නම් කසාදය පැත්තක තියලා තාත්තගෙ අතේ එල්ලිලා ගෙදර යන්නම හිතුණා. නෑදෑයො ආපහු යන හැටි නොපෙනෙනකල්ම බලාගෙන ඉඳලා ආපහු හැරෙද්දි නම් දැනුනෙ පුදුම පාලුවක්. මේක කියවන කසාද බැඳපු සහෝදරියො වැඩි දෙනෙක් ඒ හැඟීම විඳලා ඇති.
ඒත් සජිත්ලගෙ ගෙදර අය පුදුම විදිහට මට ලෙංගතු උනා. දුවෙක් නැතුව හිටපු ඒ ගෙදර අය උණුසුම් විදිහට මාව පිළිගත්තා. සජිත්ගෙ අම්මා කිසිම වෙනසක් කරන්නෙ නැතුව මගෙ දෙවෙනි අම්මා උනා.
අපි දෙන්නටම රැකියාවට යන්න පහසු දුරකින් ගෙයක් අරගෙන දැන් ජීවත් වුනත් හැම සති අන්තෙකම අපේ දෙමවුපියන්ගෙ ගෙවල් දෙකෙන් එකකට යනවා. ඉස්සර සැහැල්ලුවෙන් ගතකරපු ජීවිතේට වගකීම් වල බර එකතු වෙලා. උයන්න ගෙවල් අස් කරන්න රෙදි හෝදන්න වැඩ කන්දරාවක් දවසට එකතු වෙලා. ඒත් අලුත් ජීවිතේ ඉතාමත්ම සුන්දරයි.
Sunday, January 6, 2013
අවුරුදු 66ක් පරණ තිළිණයක් ලදිමි
අලුත් අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක. පහුගිය අවුරුද්ද බලද්දි ලියපු පෝස්ට් ගාන නම් හොඳටම මදි. මාසෙකට දෙකයි නැත්තම් තුනයි. වෙලාව නෑ කිව්වොත් ඒක නම් බොරු. හේතුව තමා කම්මැලිකම.
අපේ ආච්චි, ඒ කියන්නෙ තාත්තගෙ අම්මගෙන් මට අපූරු තෑග්ගක් හම්බුනා ගිය සතියෙ. ආච්චි ඒක අවුරුදු ගානක් තිස්සෙ එයා ළඟ තියාගෙන ඉඳලා. මෙන්න මේකයි තෑග්ග.
සුප ශාස්ත්‍ර පොතක්. මේක මුද්‍රණය කරලා තියෙන්නෙ 1947. ඒ කියන්නෙ අවුරුදු හැට හයක් පරණ පොතක්.
පොඩ්ඩක් කාවො කාලා විනාස වෙන්න ගිහින් තියෙන්නෙ. ඒත් මට ඒක හුඟක් වටිනවා. කියන්න බැරි තරම් සතුටක් දැනුනා ආච්චි මට මේ පොත දුන්නම. ඒකෙ කෑම වට්ටෝරු 1000ක් විතර තියෙනවා. බලමු 10ක් වත් හදන්න උත්සාහ කරන්න ඕනෙ. හරි ගියොත් බ්ලොග් එකෙත් දාන්නම්කො.
Thursday, December 20, 2012
මොන මගුලක්ද මන්දා
"අනන්‍යා ස්වාමිනාතන්. අලුත් බැච් එකේ පට්ටම කෑල්ල."ජ්‍යේෂ්ඨ උත්තමයො එයාව ඒ වෙද්දිත් බවුතීස්ම කරල තිබ්බෙ ඒ විදිහට. අපේ බැච් එකේ හිටිය දෙසීයෙන් කෙල්ලො හිටියෙ විස්සයි. එයිනුත් තෙල් ඉහිරෙන රූමතියො - ටොයියො හිටියෙ අතලොස්සයි. එයාලව තේරෙන්නෙ ඉන්දියාවෙ ජනගහනයෙන් 99.9%ට වඩා ඉක්මනට ගණිත ගැටලු විසඳන්න එයාලට තියෙන හැකියාව නිසා. IIM එකේ ඉන්න ගොඩක් කෙල්ලො මේක් අප්, ඇඟට ගැලපෙන ඇඳුම්, කන්ටෑක්ට් ලෙන්සස්, ඇඟේ මූණෙ තියෙන මවිල්, ඇඟෙන් හමන දාඩිය ගඳ... කොටින්ම කෙල්ලෙක්ව ඔප මට්ටම් වෙලා දිස්නෙ විහිදුවන ඒ වගේ පොඩි පොඩි කාරණා සැලකුවෙ එයාලට තරම් නොවෙන විදිහට. එහෙව් එකේ දෙයියො දුන්නා වගේ, අනන්‍යා වගේ පරිපූර්ණ කෙල්ලෙක් මෙහෙට කඩා පාත් වුණහම අපේ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝන මට්ටම බලාගෙන ඉන්දැද්දි නගිනවා. ඊස්ට්‍රජන් හෝමෝන දුර්ලභ මේ වගේ තැනක ඒක කොයි තරම් වටිනවද.
මම මේ උපුටා ගත්තෙ චේතන් බගට් නම් ඉන්දියානු ලේඛකයා ලියපු "2 States - The story of my marriage" පොතේ සිංහල පරිවර්තනයෙන් කොටසක්. සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙ දිලීප ජයකොඩි. එතකොට පොතේ නම "මොන මගුලක්ද මන්දා".
ඉතින් ඔය උඩින්ම දැම්මෙ ක්‍රිෂ් මල්හෝත්‍රා, අනන්‍යා ගැන හිතපු විදිහ. මිනිහට අනන්‍යාව ඇහැ ගැටෙන්නෙ කැන්ටින් එකේ කෑම පෝලිමේ ඉද්දි. සාම්බාර් වලට චොරොප්පෙ කියලා කැන්ටින් එකේ කෝකියා එක්ක වලියක් දාගෙනයි අනන්‍යා හිටියෙ. ක්‍රිෂ් හිටියෙ පෝලිමේ අනන්‍යාට පිටිපස්සෙන්. ඉතින් කැම්පස් එකේ පට්ටම කෑල්ලට උදව් කරන්න අභීතව නැගී හිටින්නෙ ක්‍රිෂ්. කොහොම හරි තමන්ගෙ ඩෙසර්ට් එකත් කෙල්ලට පරිත්‍යාග කරලා කොල්ලා ලකුණක් දා ගන්නවා.
ඔයින් මෙයින් අනන්‍යා විසින් ක්‍රිෂ්ව තමන්ගේ "යාලුවෙක් විතරයි" ගානට පත් කරගන්නවා. ක්‍රිෂ්ට නම් ඒත් මදෑ. පස්සෙ පස්සෙ එකට පාඩම් කරලා කාලා බීලා ඉන්නකොට ක්‍රිෂ්ගෙ හිතේ තියෙන අදහසත් හිමීට දාලා බලනවා. පලවෙනි පාර හරි නොගියට කෙල්ලත් පස්සෙ කැමති වෙනවා.
ඔහොම ඉඳලා කැම්පස් එකෙනුත් අවුට් වුණා කියමුකො. කසාද බැඳීම ගැන හිතද්දි තමයි දෙන්නට තරු පේන්නෙ. මොකද ක්‍රිෂ් දිල්ලියෙ පන්ජාබ් කොල්ලෙක්. අනන්‍යා චෙන්නායි වල දෙමළ කෙල්ලෙක්. තමන්ගෙ සංස්කෘතිය, ආගම, ජාතිය, නම්බුව ගැන මහ ඉහලින් හිතන එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් කොට්ඨාශ දෙකක් කොහොමද එකට පාස්සන්නෙ.
ඕක තමයි යුද්ධයේ ආරම්භය. පසුවදනෙ ඔය යුද්ධය සාරාංශ ගත කරලා තියෙනෙ මෙහෙමයි.
ලෝකෙ වටේම ඉන්න කෙල්ලො කොල්ලො ආදරේ කරනවා. ආදරේ කරලා බඳිනවා. ඒක ඒ තරම් සිම්පල් වැඩක්. හැබැයි, ඒ වෙනින් රටවල. ඉන්දියාවෙදි ඒ සෙල්ලම් බෑ. ඉන්දියාවෙ ආදරේ කරන කොල්ලෙකුයි කෙල්ලෙකුයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෙ.
1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම.
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම.
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම.
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම.
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ලා කෙල්ලටයි, කෙල්ල කොල්ලටයි ආදරේ නම් කසාද බැඳීම.
මේ පොත ලියලා තියෙන්නෙ චේතන් බගට්ගෙම ජීවිත කතාව ඇසුරින්. ඔහු ගැන කිව්වොත් ත්‍රී ඉඩියට් ෆිල්ම් එකට පාදක වුණු Five point someone පොත ලිව්වෙ ඔහු. ඒ වගේම One night @ call center (සිංහල පරිවර්තනය - 'හලෝ හලෝ') සහ 3 Mistakes in my life (සිංහල පරිවර්තනය - 'තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං') පොත් ලියලා තියෙන්නෙත් චේතන් බගට්මයි.
පොත නම් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ජාතියෙ පොතක්. කියවනවා නම් කියවන්න ඕනෙ පිදුමේ ඉඳන්මයි. මොකද පිදුම පෙරවදන ස්තූතිය මේවත් හරිම වෙනස් විදිහට ලියලා තියෙන්නෙ. ඉතින් කුතුහලය ඇවිස්සුවා ඇති නේ. එහෙනම් කොහොම හරි පොත හොයාගෙන කියවන්න.
ඔය වෙනස් සංස්කෘතීන් වෙනස් ආගම් දෙකක් එකට පාස්සවන්න කන්න වෙන කට්ට මම නම් හොඳට දන්නවා. පහුගිය කාලෙ පුරාවට ඔය වගේ යුද්ධයක අපිත් පැටලිලා හිටියෙ. ඒකෙ අවසන් ප්‍රතිඵලය විඳින්න තව සති තුනයි. :D
Tuesday, December 11, 2012
මේ මොහොත දැකීම
පහුගිය දවසක වටින පොතක් හම්බුනා. මේක බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නිකුත් කල ඉතා කුඩා පොත් පිංචක්. පොතේ නම "මේ මොහොත දැකීම".
මේ පොත ජෝසප් ගෝල්ඩ්ස්ටේන්ගේ The experience of Insight නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කාව්‍ය පරිවර්තනයක්. මේක විශේෂයෙන් සකසලා තියෙන්නෙ භාවනායෝගීන් සඳහා වන නිර්මාණාත්මක මඟ පෙන්වීමක් විදිහට. ඔවුන්ට විතරක් නෙමෙයි කාට උනත් කියවලා ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් විදිහට පොතේ සටහන් ඉදිරිපත් කරල තියෙනවා.
එක හුස්මට කියවලා ඉවර කරන්න පුලුවන් මේ පොතේ මට වැඩිපුරම හිතට වැදුණු සටහනක් තිබුණා. පොත කියවලා ඉවර කරාට මම මේ කවිය මගෙ සටහන් පොතක පිටපත් කර ගත්තා. අනිවාර්යයෙන්ම ඒ බ්ලොග් එක කියවන ඔබ වෙනුවෙන්.
තනිව ගඟ තරණයේ
යෙදෙන විට මිනිසෙක් ඔරුවකින්
පාව ආ තවත් එක් හිස්
ඔරුවක් සමඟ ගැටුණා.
කුකුල් කේන්ති කාරයෙක් මුත් ඔහු
ඉක්මන් කෝප වූයේ නතිය
නමුත් ඔහු දුටුවා නම් තවත්
මිනිසෙක් අනෙත් ඔරුවේ
නිසැකයෙන් ඔහු බනිනු ඇත,
නොවැලැක්වූ බැවින් අනතුර
නැවත නැවතත් බනිනු ඇත
ශාප කරනුද ඇති
මක් නිසාද යත්
සිටිනා නිසා අනෙක් ඔරුවේ අයෙක්...
නමුත් ඔරුව හිස් නිසා
ඔහු කෑ ගැසුවේද නැත
තරහෙන් පිපුරුණේද නැත
ඔබටත් හිස් කල හැකි නම් එලෙස
ඔබේ සිත නමැති ඔරුව
ලෝකය නමැති ගඟ තරනය කරන සඳ
කිසිවෙකු ඔබට විරුද්ධව
නැගී නොසිටිනු ඇත
කිසිවෙකු ඔබට අනතුරක්ද නොකරනු ඇත.
Thursday, November 22, 2012
ආදරය අලුත්වැඩියා කරන මොබයිල් ෆෝන්
ෆෝන් එකට කතා බෑ. ඒත් ෆෝන් හරහා කතා පුලුවන්. ඒත් හදිස්සියෙන්වත් ෆෝන් එකට කතා කරන්න පුලුවන් නම් උන් කෑ ගහලා කියාවි අපිට ඕෆ් වෙලාම ඉන්න දීපල්ලා. ඔන් කරපු ගමන් උඹලා මානුෂීය සබඳතා අවුල් ජාලයක් කරගන්නවා කියලා. මේ ෆෝන් එක තරම් මගේ හිනාව කඳුළ දැකපු කෙනෙක් නැතුව ඇති. අපි ඒ තරම් මානුෂීය සබඳතා තරංග ආයාම බවට පත් කරගෙනයි ඉන්නෙ.
මම හොඳටම තරහ වෙලයි ආවෙ. ආයෙ නම් කතා කරන්නෙවත් නෑ. එහෙම හිතලා තත්පරයක් යන්න උනේ නෑ ෆෝන් එක ඇස් දල්වගෙන කෑ ගහනවා උඹට එහෙම මානුෂීය සබඳකම් ඉවරකරන්න බෑ කියලා. ඔහෙ කෑ ගහපුදෙන්. මම තව කල්පනා කරලා ඉවර නෑ.
ෆෝන් එක කට් නොකර මම කෑ ගැහිල්ල විතරක් ගොලු කරලා දැම්මා. හොඳ වැඩේ ගොලුවා. ගොලු භාෂාවෙන් කෑ ගහන ෆෝන් එක මේසය උඩ කම්පනය වෙලා බකමූණෙක් වගේ හ්ම් හ්ම් ගානවා. ගොලුවන්ටත් කතා පුලුවන්. ටිකකින් ෆෝන් එක ගොලු භාෂාවත් අත ඇරලා ඇස් පියාගත්තා. ඇද්ද උඹට. ආවා මෙතන මානුෂීය සබඳතා අලුත්වැඩියා කරන්න.
රාජකාරිය පැහැර හරින්නෙ නැති නිළධාරියෙක් වගේ පියාගත්තු ඇස් ආයෙමත් දල්වගෙන කෑ ගහනවා කැඩිලා බිඳිලා ගිය සබඳතා අලුත්වැඩියා කරදෙනු ලැබේ කියලා. ඒ පාර නම් මට තරහ ගියේ එහා පැත්තෙ තරංගයේ අයිතිකාරයා එක්ක නෙමෙයි. සබඳතා අලුත්වැඩියා කරන්න දඟලන තෝල්ක මුදලිත් එක්ක. කට වහගෙන ඉන්න නේද කිව්වෙ. මම අල්ල ගත්තා බෙල්ලෙන් තෝල්ක මුදලිගෙ. තාමත් ඇස් දල්වගෙන කෑ ගහනවා. පලයං යන්න මගෙ දෑහැට නොපෙනී. ෆෝන් එක මං ගැහුවා පොලවෙ. ඇද්ද තෝල්ක මුදලියට.
විසි වෙලා ගියපු ෆෝන් එක දුවලා ගිහින් ඇඳ අස්සට රිංග ගත්තෙ ආයෙත් මගෙ කේන්තියෙ ගොදුරක් වෙන්න බැරුව. දැන් වත් කටවහගෙන ඉන්නෙ නැතෑ. මොන පිස්සුද. මෙන්න ඇඳ අස්සෙන් කෑ ගහනවා පණ ඇති ජීවීන් එක්ක තියෙන තරහව පණ නැති මා මතින් යවන්නෙ ඇයි කියලා.
අනේ පවු. මෙච්චර අවුරුදු ගානක් තිස්සෙ මම හිනා උනේ උඹ එක්ක. ඇඬුවෙ උඹ එක්ක. මගෙ කේන්තියත් ඇති පමණ උඹ විඳලා තියෙනවා. උඹේ ඇඟේ පාට ගිහිල්ලා හීරිලා තියෙන්නෙ මගෙ කේන්තියේ ප්‍රතිඵල තමා. ඒත් පොලවෙ ගැහුවත් කැඩිලා බිඳිලා යන්නෙ නැති තරමට උඹ පදම් වෙලා තියෙන්නෙ. අසරණ ෆෝන් එක. අපි විහින් අවුල් කරගන්න මානුෂීය සබඳතා වලට උඹ මක් කරන්නද.
ෆෝන් එක ගැන අනුකම්පාවක් එනකොට මේ තරංගයේ අයිතිකාරයා එක්ක තිබ්බ තරහත් හේදිලා ගියා. දූවිලි පිරිච්ච ඇඳ අස්සෙන් මම ෆෝන් එක ගනිද්දිත් ඇහේ කඳුළු පුරෝගෙන ෆෝන් එක තාමත් අඬනවා. නාඬා ඉඳින්. දූවිලි පිහදාලා මම ෆෝන් එක කණේ තියාගත්තා.
"හෙලෝ"
"තරහද?"
"නෑ මැණික."
Tuesday, November 20, 2012
එළවලු රොටී වැනි යමක් සැදීමට ගත් උත්සාහයක්
මේවට එළවළු රොටී කියන්න පුලුවන්ද මන්දා. රසේ නම් වෙනසක් නෑ. අපි බොහොම දුක් මහන්සියෙන් හදා ගත්තු එළවළු රොටී. මෙන්න මෙහෙමයි හැදුවෙ.
මුලින් පාන් පිටි ග්‍රෑම් පන්සීයක් ඊස්ට් සහ වතුර එකතු කරලා පිටි මෝලිය අනාගෙන පැය හයක් විතර තියන්න ඕනෙ.
ඔය අතරෙ එළවළු රොටියෙ මැදට දාන්න කරියක් හදාගන්නත් ඕනෙ. මම නම් අල තම්බලා පොඩි කරලා, මාලු තම්බලා, ලූණු කොළ පොඩියට කපපු එකට ලුණු ගම්මිරිස් දාලා තෙම්පරාදු කරගත්තා.
අර පිටි මෝලියෙන් පොඩි පිටි ගුලි හදාගන්න.
දැන් සමතලා මතුපිටක තෙල් ටිකක් තවරලා පිටි ගුලිය තුනී කරන්න.
තුනී කරපු රොටිය උඩට හදාගත්තු කරි එකෙන් ටිකක් දාගන්න.
දැන් තමන් කැමති හැඩේකට නවාගන්න. ඔතන කැමති හැඩයක් කිව්වෙ මට නම් ත්‍රිකෝණ හැඩය ගන්න බැරි උනා. ඒක දිග ඇරෙනවා. ආයෙ මොකෝ කොටු හැඩයට හැදුවොත් එළවළු රොටී කැවෙන්නැද්ද.
දැන් පැතලි භාජනේකට තෙල් ටිකක් තවරලා හදාගත්තු එළවලු රොටී කරවෙන්න දෙන්න. එක එක පැත්තට හරවලා ලාවට කරවෙන්න දෙන්න.
ලිපෙන් බෑවට පස්සෙ දෙසා බාන එක තමා කරන්න තියෙන්නෙ.
ප.ලි. මේ දවස් වල මම මගේ සූප ශාස්ත්‍ර දැනුමේ නිම් වළලු පුළුල් කරමින් ඉන්නෙ. :P
Tuesday, October 16, 2012
කෑම හිරකරගන්නෙ බලාගෙනයි
පහුගිය දවසක හිත දුකෙන් පිරුණෙ සමීපතමයෙකුගේ මරණයක් ගැන අහලයි. අපි කොයි තරම් අමතක කරත් ජීවිතේ කියන එක ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඉවර වෙන්න පුලුවන් කියන එක මේ මරණයත් එක්ක ආයෙමත් මට දැනුණා. මීට කලින් ඔය හැඟීම ප්‍රබලව දැනුනෙ හිතවත් කෙනෙක් වතුර මෝටරයක් ක්‍රියාත්මක කරන්න ගිහින් විදුලි සැර වැදිලා ක්ෂණිකව මරණයට පත් වීමත් එක්කයි.
පසුගිය දවසක මරණයට පත් වුණයි කියූ පුද්ගලයා මිය ගියේ රාත්‍රී ආහාර ගනිමින් ඉද්දියි. එදා රාත්‍රියට පිළියෙල කර තිබුණෙ නූඩ්ල්ස්. නූඩ්ල්ස් කමින් විහිළු කරමින් කතා කියමින් සිටි පුද්ගලයා එක වරම කහින්නට පටන් ගෙන ඇත. නූඩ්ල්ස් හිර වීම නිසා අපහසුවට පත් වුණු ඔහු අතින් සන් කර වතුරද ඉල්ලා ඇත. ඒ අතර ඔහු කෙළ ගිලිමින් හිරවුණු නූඩ්ල්ස් ගිලින්නට තැත් කරන්නට ඇත.
ඔහුත් නොසිතූ වෙලාවක වමනය යන්නට ආවත් වමනය පිට උගුරේ යාමෙන් නූඩ්ල්ස් සියල්ල පෙනහළු වලට ගමන් කර ඇත. ඔහුට වතුර උගුරක්වත් පොවන්නට වෙලාව ඉතිරි නොකර ක්ෂණිකව ඔහු මරණයට පත් විය. රෝහලට රැගෙන යන්නටවත් ඉඩක් නොතබා ඔහු ජීවිතෙන් සමුගෙන තිබුණි. මරණ පරීක්ෂණය සිදු කිරීමට උරස් කුහරය කපා විවර කිරීමේදී දකින්නට ලැබී ඇත්තේ පෙනහලු වටා පිරී ගිය නූඩ්ල්ස්ය.
රාත්‍රී ආහාරයට පෙර ඔහුද මෙය ඔහුගේ අවසන් රාත්‍රී භෝජනය යැයි නොසිතන්නට ඇත. එහෙත් ජීවිතයක් අවසන් වන්නට තත්පර ගණනක නොසැලකිල්ලක් ප්‍රමාණවත්ය.
අප කුඩා කල ආහාර ගනිද්දී හොඳින් විකා ආහාර ගිලින්න, කතා බහ කරමින් සිනහ වෙමින් නැතිව නිශ්ශබ්දව ආහාර ගන්න, හොඳින් ජලය පානය කරන්න ලෙස වැඩිහිටියන් අපේ ඔලු පුරවන්නේ මෙවැනි දේ සිදුවිය හැකි නිසාවෙනි.
සංසාරයේ අප මිනිස් ආත්මයක් ලබා උපදින්නට ඇත්තේ කලින් ආත්මයක කළ පින් ගුණයක් නිසා වන්නට ඇත. එසේ අසීරුවෙන් ලබාගන්නා මේ ජීවිතය අපගේ නොසැලකිලිමත්කමක් නිසා එක මොහොතකින් නැති කරගන්නේ නම් එය මහත් අවාසනාවකි.
සබඳ, මේ මොහොතේ ඔබ විඳිමින් සිටිනා ජීවිතය ඊළඟ මොහොතේ ඔබට අහිමි විය හැකිය. එහෙයින් ජීවත් වන සෑම මොහොතක්ම සිහි කල්පනාවෙන් ජීවත් වී මේ වටිනා ජීවිතය නිරපරාදයේ අතහැර නොගන්න.
Sunday, October 7, 2012
සය වසරක් සෙනෙහෙ සිතින් අපි
සමනල වියේ අප හමු නොවන්නට ඇත.
ගෙදරට හොරා අතැඟිලි පටලා රහස් මුමුණන්නට නැත.
නුඹ නිසා පියාගෙන් මා දඬුවම් නොවිඳින්නට ඇත.
අප අපගේ පළමු ආදරය නොවන්නට ඇත.
එහෙත්, අප අපගේ අවසන් ආදරයයි.
අවුරුදු හයක් තිස්සේ මා ලද වටිනාම වස්තුව නුඹේ ආදරයයි.
හිස සුදු ගැන්වුණු මරණ මංචකයේදීද මා පතන්නේ නුඹවමයි.
තරු දෙනෙත තුළ කිමිද
සොයමි මම ආදරය
හිත ඇතුලෙ දඟ කරන
මගෙ සොඳුරු ආදරය
කල්පයක් බලන් හිඳ
කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය..
Thursday, September 20, 2012
පට්ට ඩ්‍රයිවිං හෙවත් යක්ෂාරූඪයෙන් වාහන එළවීම
ඒ ලෙවල් කරන කාලෙ මම බයෝ වලට ගෲප් ක්ලාස් එකකට ගියා. ඒක කලේ අපේ ඉස්කෝලෙම මිස් කෙනෙක්. ළමයිනුත් දහයක් විතර හිටියා. ඉස්කෝලෙ යාලුවොම තමයි ක්ලාස් එකේ හිටියෙත්.
අපේ ඉස්කෝලෙ මිශ්‍ර ඉස්කෝලයක් නිසා මම හැමදාම කියනවා වගේ ගැහැණු යාලුවො වගේම පිරිමි යාලුවොත් අපේ සෙට් එකේ හිටියා. කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැතුව එක වගේම පිස්සො ටිකක් හිටියෙ. ඒ යාලුවො සෙට් එකේ පස්සෙ කාලෙක ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කෙ පළවෙනියා වෙච්ච කෙනා වගේම, ඉස්කෝලෙ වෙලාවෙ බීලා විනය පාලක සර්ට අහුවෙලා පන්ති තහනම් කරපු උනුත් හිටියා. ඒත් ඒ කවුරු එක්ක උනත් මට තිබුණෙ මගේම සහෝදරයො වගේ බැඳීමක්.
මුන් ඉතින් අපේ ගෙවල් වලට හිටපු ගමන් කඩන් වැටිලා අපේ අම්මලා තත්තලා උනත් මුන්ව අඳුරනවා. අපෙ අම්මා කෙසේ වෙතත් අපේ තාත්තට නම් මගෙ යාලුවො සෙට් එකේ දිරවන්නැති උන් හිටියා. උන්ගෙ මූණට කිව්වෙ නැති උනාට මට නම් අඟවලයි තිබුණෙ ඔය රස්තියාදුකාර කොල්ලොන්ව ආශ්‍රය කරන්න එපා කියලා. ගෙදරින් කිව්ව පලියට අපි ඔය කාලෙ යාලුවො අත අරිනවද.
ඉතිං කලින් කිව්ව බයෝ ක්ලාස් එකට ඔය අපේ තාත්තට පෙන්නන්න බැරි ජාතියෙ කොල්ලො දෙතුන් දෙනෙකුත් ආවා. ක්ලාස් එක ඇරෙන වෙලාවට තාත්තා එනවා මාව එක්කන් යන්න.
එක දවසක් ක්ලාස් එක ඇරුනට පස්සෙ අර යාලුවන්ගෙන් කෙනෙක් මට කතා කරා. අපි ඒ යාලුවට හෙෂාන් කියමුකො.
"මට ඉස්පිරිතාල හන්දියට ලිෆ්ට් එකක් දෙන්න පුලුවන්ද බං. උඹලත් යන්නෙ ඒ පැත්තටනෙ."
මටත් ඒක ප්‍රශ්නයක් නැති නිසා මම හෙෂාන්ට කමක් නෑ එන්න කිව්වා.
මම දැන් හෙෂාන් එක්ක වාහනේ ගාවට යනවා. අපි අඟලෙන් අඟල තාත්තා ගාවට ළං වෙද්දි තාත්තගෙ මූණ සංසුන්ව තිබිලා, කුතුහලයට ලක්වෙලා, වික්ෂිප්ත වෙලා, තරහා ආරෝපණය වෙලා, වාහනේ දොර අරිනකොට අබ පුපුරන ගාණට පරිවර්තනය වෙලා තිබුණෙ. තාත්තා මේ වගේ යාලුවොන්ට අක්මැතියි කියලා දන්නවා වුණත් මට යාලුවා ඉස්සරහ බෑ කියලා අපහසුතාවයට පත් වෙන්න අකමැත්තක් තිබුණා. ඒත් තාත්තගෙ මූණ දකිනකොට පපුව ඇතුලෙ ඩිග් ඩිග් ගාලා ගැහුණා. යක්ෂයා ආරූඪ වෙලා ඉන්න මූණ දිහා ඇස් කොණෙන් බලලා මම වාඩි උනා.
"තාත්තෙ, හෙෂාන්ව ඉස්පිරිතාල හන්දියෙන් දාගෙන යමු."
තාත්තා නෙමෙයි හ්ම් කියලවත් කිව්වෙ. මම වචනයක් බලාපොරොත්තු උනෙත් නෑ. හෙෂානුත් පිටිපස්සෙ දොර ඇරගෙන වාඩි උනා. ඌ දොර වහගත්තද දන්නෙත් නෑ. බෲම් බෲම් ගාලා රේස් කරපු වාහනේ විද්දෙ නැතෑ වෙඩිල්ල වගේ.
මම අපේ තාත්තගෙ මේ ඇක්ෂන් එක හොඳටම අඳුරනවා. තාත්තා වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නෙ උපරිමේටම තරහ ගිහින් ඉන්නෙ කියන එක.
වාහනේ පියාඹනවා වගේ. සිං සිං සිං ගාලා අනිත් වාහන පහුවෙනවා. වංගු ගන්නකොට අපේ ගිහින් දොරේ ඇලවෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ අපි අදාල හන්දියට ආවා. ක්‍රෑ..ස් ගාලා ගැහුවා බ්‍රේක් එකක්. තව පොඩ්ඩෙන් අරූගෙ මූණෙන් ඉස්සරහ වීදුරුවෙ මෝස්තරයක් අඳින්න තිබ්බා.
හෙෂාන් දඩ බඩ ගාලා බැහැලා "තැන්ක් යූ අංකල්" කියන්නද කොහෙද ගියේ. ඌ අත උස්සලා "තැන්ක්.." කියද්දිත් වාහනෙන් පිට වෙච්ච දුං ටික විතරයි එතන තියෙන්න ඇත්තෙ. යනකනුත් තාත්තා වචනයක් කිව්වෙ නෑ. ගෙදර නැවැත්තුවට පස්සෙ දඩාං ගාලා දොරත් වහලා ගේ ඇතුලට ගියා. මම ආයෙ ඕවා හාර අවුස්සන්න ගියේ නෑ. ඉල්ලං කන්නෙ මොකටද.
ඒ මොනා උනත් ඊළඟ දවසෙ මම ඉස්කෝලෙ ගියේ හරි අප්සට් එකේ. හෙෂාන්ට අපෙ තාත්තගෙ තරහ දැනිලා තිබ්බොත් ඌ අනිත් යාලුවන්ටත් කිව්වොත් ඒක මට හරිම ලැජ්ජාවක් වෙයි.
එදා පන්තියට යනකොට හෙෂාන් අනිත් යාලුවන්වත් වට කරගෙන අත පය විසි කර කර මොනාද විස්තර කරනවා. මට තේරුණා එදා සිද්ධිය තමයි මේ කියන්නෙ කියලා. ලැජ්ජාවට කණෙන් දුං දානවා වගේ මට දැනුනා. මම ඒ හරියට යනකොට උන් මාව දැක්කා. හෙෂාන් මට කතාකරා.
"ආ වරෙන් වරෙන් උඹලගෙ තාත්තා ගැන කිය කිය හිටියෙ."
මූ ඊළඟට මොනවා කියයිද කියලා හිතාගන්න බැරුව මම ලොප් උනා.
"අඩෝ බං, උඹලගෙ තාත්තගෙ ඩ්‍රයිවිං නම් පට්ට බං. සිරාම සිරා. ශෙහ්. සිං ගාලා ගියා. විනාඩි දෙකක් වත් ගියේ නෑ අච්චර දුරක් එන්න. අඩෝ මරු බං. මම හෙන ආසාවෙන් බලන් හිටියෙ උඹලගෙ තාත්තා ඩ්‍රයිව් කරන හැටි."
උගෙ කියවිල්ල ඉවර වෙද්දි මගෙ කටත් ඇරිලා දන්නෙම නැතුව.
"හෑ.. ආ.. ඔව් ඔව්.. තාත්තගෙ ඩ්‍රයිවිං එහෙම තමයි."
යංතං ඒ වචන ටික ගොණුකර ගන්න මට පුලුවන් උනා. නැතුව තාත්තගෙ යක්ෂාරූඪයෙන් වාහන එළවීම ගැන කියලා මොකට කට වරද්ද ගන්නවද.
Saturday, September 8, 2012
මිතුරුදම වටී මට
නෙතු කෙවෙණි අද්දර
බොඳ වෙනකල්ම නුඹ
එපා මගෙ දෙස බලන්නට
යාලුවේ මගේ දයාබර..
බොඳ වෙනකල්ම නුඹ
එපා මගෙ දෙස බලන්නට
යාලුවේ මගේ දයාබර..
නිහඬ සිතකින් නැගෙන
නුඹේ ආයාචනය
නොදැනෙන්නේ නොවෙයි මට
නොදැනෙන සේ සිටිමි මම..
නුඹේ ආයාචනය
නොදැනෙන්නේ නොවෙයි මට
නොදැනෙන සේ සිටිමි මම..
නුහුරු ප්‍රේමයක් නොව
නුඹේ ඔය දඟකාර
දඩබ්බර මිතුරුදම
වටී මට සැමදාම..
හැමදාම රණ්ඩු වෙමු
හැමදාම තරහ වී
ආයෙමත් යාලු වෙමු..
එපා නුඹ අයදින්න
ප්‍රේමයේ සඳ කැළුම
මගෙන් නම් කිසිදාක
මිතුර, නුඹ වටී මට
සොහොයුරෙකු විලසින්ම..
නුඹේ ඔය දඟකාර
දඩබ්බර මිතුරුදම
වටී මට සැමදාම..
හැමදාම රණ්ඩු වෙමු
හැමදාම තරහ වී
ආයෙමත් යාලු වෙමු..
එපා නුඹ අයදින්න
ප්‍රේමයේ සඳ කැළුම
මගෙන් නම් කිසිදාක
මිතුර, නුඹ වටී මට
සොහොයුරෙකු විලසින්ම..
Tuesday, August 28, 2012
හීන කතන්දර
මම හැමදාමත් හීන පොදිගහපු කෙනෙක්. සරල හීන වගේම මිල අධික හීනත් තිබුණා. දැනුත් හීන නැතුව නෙමෙයි. ඒත් ඒ කාලෙ තිබ්බ හීන වල හරි සමනල ගතියක් ගෑවිලා තිබුණා.
පුංචිම කාලෙ සුවඳ හමන ලස්සන පාට මකනයක් ගන්න, ස්ටිකර් කොලයක් ගන්න, පැත්තකින් දාර දාර තියෙන අඩිරූලක්, කූරු විසිහතරෙ පැස්ටල් පෙට්ටියක්, කාන්දම් තියෙන පැන්සල් පෙට්ටියක් ගන්න පුදුම ආසාවක් තිබුණා. ඒ දේවල් මට ලැබුණෙ හරි කලාතුරකින්. අම්මලා තාත්තලාට අපි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්න වත්කමක් තිබුණෙ නෑ. හුඟක් වෙලාවට ඒ මිල අධික ආසාවල් හීනෙකට පමණක්ම සීමා වුණා.
ඒ කාලෙ තුල් මාරු කරන පැන්සලක් අපේ ගෙවල් වල හැටියට ලොකු ගාණක්. ඒ නිසා ඒ හීනය නිකම්ම නිකං ලී පැන්සලකට සීමා කරන්න වුණා. ඒ සීමාවට කොටුවීම මගේ නම් පුංචි හිතට දරන්නට බැරි වුණා. තුල් මාරු කරන පැන්සල වෙනුවට අතට ලී පැන්සලක් ලැබෙනකොට ඉටු නොවුණු හීන වෙනුවෙන් තාත්තා එක්ක තරහට ඒ කඩේදි යටි ගිරියෙන් කෑ ගහල අඬද්දි තාත්තා කොච්චර අසරණ වෙන්න ඇත්ද කියලා හිතන්න තරම් මගේ සිතුවිලි මෝරලා තිබුණෙ නෑ. ඒත් අද මට ඒ ගැන තියෙන්නෙ සුලු පටු වේදනාවක් නෙමෙයි.
ටික ටික ලොකු වෙනකොට පුංචිම කාලෙ තිබුණු හීන ඊට වෙනස් හීන වලින් ආදේශ වුණා. හයේ හතේදි විතර තිබුණු හීන ලිස්ට් එකට කලු පාට ෆයිල් එකක්, ලෝක සිතියම් පොතක්, තින්ත පෑනක්, කවකටු පෙට්ටියක් වගේ ඒවා එක්කහු වෙලා තිබුණා. ඒ වෙද්දි තාත්තගෙ පඩියෙන් ගෙදර අවශ්‍යතා පිරිමහලා ඉවර උනාම ඉස්සරම ඉල්ලපු තුල් මාරු කරන පැන්සලක් අරන් දෙන්න පුලුවන් වුණාට, කවකටු පෙට්ටියක් අරන් දෙන්න පුලුවන්කමක් නෑ. අවුරුදු හයේදි ලැබුණෙ නැති දේවල් වලට කෑ ගහල ඇඬුවට, දොළහෙදි නොඅඬන තරමට හිත නැති බැරිකම් වලට පදම් වෙලා තිබුණා. එතකොට මම ඉන්නෙ අලුත් අවුරුද්ද වෙනකල්. ගණුදෙනු කරන වෙලාවට අම්මලා තාත්තලාගෙන්, සීයාගෙන්, ආච්චිගෙන්, මාමලාගෙන් හම්බවෙන සල්ලි එකතු කරලා හීන ඉටුකර ගන්න පුරුද්දක් ඇතිකරගෙනයි හිටියෙ.
මම නම් ඉස්කෝලෙදි කොල්ලොන්ට ක්‍රිකට් ස්ටිකර් විකුණලත් සල්ලි හෙවුවා. බොරු නෙමෙයි. පොඩි කාලෙ ඉඳන්ම සංගීතෙ කරපු නිසා මගුල් ගෙවල් වල ජයමංගල ගාථා කියන්න ගිහිනුත් සල්ලි හම්බ කරා. ඇත්තටම ඒක තමයි මගෙ පලවෙනි රස්සාව. සමහර මගුල් ගෙවල් වලින් රුපියල් පන්සීයක් ලැබිච්ච වෙලාවලුත් තිබුණා. රුපියල් පන්සීයක් කියන්නෙ ඒ කාලෙ හැටියට හීන කීපයක් ඉටු කරගන්න පුලුවන් ගාණක්.
තව පස්සෙ කාලෙකදි තිබිච්ච හීනයක් තමයි කඩෙන් ගත්තු ඇඳුම් අඳින එක. අපේ අම්මා ඒ කාලෙ අපිට ගෙදරදිම ඇඳුම් මහලා දෙනවා. දැන් කොච්චර අගේ උනත් ලමිස්සියො කාලෙ ගෙදර මහපු ගවුමක් ඇඳන් යන්න හිත ආස කරේ නෑ. අම්මට කොච්චර දුක හිතෙන්න ඇද්ද ලස්සනට මහලා බොත්තම්, රේන්ද අල්ලලා දුන්නු ගවුමක් අඳින්න බෑ කියද්දි. ඒ දුක අපේ විසේකාර හිත්වලට ඒ කාලෙ දැනුණෙ නැති වුණාට දැන් නම් මගෙ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවීමක්. ඒවා ආපහු නිවැරදි කරන්න බැරි විදිහට වෙච්ච වැරදි.
සංගීත පිස්සුව ඔලුවටම ගහපු කාලෙ තිබුණු ලොකුම හීනෙ තමයි සිතාර් එකක් ගන්න එක. මම කොච්චර අම්මලට කරදර කරන්න ඇත්ද. අම්මට හම්බවෙන සීට්ටුවක් එකතු කරලා තමයි සිතාර් එක අරන් දුන්නෙ. ඒ කාලෙත් ඒක පහලොස්දාහක්. අම්මා සීට්ටුවෙන් මොන දේවල් කරන්න හිටියද කියලා මට හිතුණෙ නෑ. මේක අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක දැනුනෙ නෑ. තිබුණු එකම දේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ කියන උමතුව විතරයි.
සිතාර් එක අතට හම්බුණා. මට ලෝකයක් ලැබුණා වගේ. ඇත්තට එහෙමත් කාලයක්. ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ සතියෙ හුඟක් දවස් ගෙවුණෙ සංගීත පන්තියෙ. දිස්ත්‍රික් තරඟ, පළාත් තරඟ, සමස්ථ ලංකා තරඟ. ඔය හීන වලිනුයි හිත පිරිලා තිබුණෙ. සිතාර් එකේ තත් වලට පිරිමැදිලා වම් අතේ දබර ඇඟිල්ලෙයි මැද ඇඟිල්ලෙයි කාණු හැදිලයි තිබුණෙ.
ඒත් ඕනෙම හීනෙකට එක්තරා කාලෙකින් පස්සෙ වටිනාකමක් නැතුව යනවා. සිතාර් එකටත් ඒකමයි උනේ. ඕලෙවල් වලින් පස්සෙ පැත්තකින් තියපු සිතාර් එක අවුරුදු දහයකින් මම අල්ලලාවත් නෑ කිව්වොත් ඔබ පුදුම වේවි. ඒත් හැමදේම තාවකාලිකයි. ඒ කාලෙ පහලොස්දාහ හැටියට අම්මට චේන් පොටක් ගන්න තිබ්බා. වළලු ජෝඩුවක් ගන්න තිබ්බා. ඒත් අම්මා එයාගෙ හීන යටපත් කරලා මගෙ හීනෙට ඉඩ දුන්නා. ඉතින් හිත පසුතැවෙන එක වළක්වන්න පුලුවන්ද.
කාලෙ ගෙවිලා ගියා. හීන අලුත් උනා. කාලයත් එක්ක හීන වෙන වෙන හීන වලින් ආදේශ උනා. හීන වලට ආයු කාලයක් තියෙනවා කියන්නෙ බොරු නෙමෙයි. අද තුල් මාරු කරන පැන්සලක් කවකටු පෙට්ටියක් කියන්න්නෙ තව දුරටත් මට හීනයක් නෙමෙයි. ඒත් ඒ කාලෙ සමනල හීන වලට දැන් ආදේශ වෙන්නෙ හරි බරපතල හීන.
ඔබටත් ඉටු කරගන්න බැරි වෙච්ච හීන ඇති. දුක් වෙන්න එප. කාලයක් ගත වෙද්දි ආපහු හැරිලා බලද්දි හීන අවලංගු වෙන බව දැනේවි. සමහරවිට ඉටුකරගත්තු හීන වලට ඉටු කරගත්තු හීන වලට පස්සෙ කාලෙක පසුතැවීමකුත් එකතු වෙලා තියේවි. ඒත් අමතක කරන්න එපා. ජීවිතේ එක් එක් කාලවලදි අපට ජීවත් වෙන්න අරමුණු සපයන්නෙත් ඒ හීනම තමයි.
Thursday, August 23, 2012
පර්දාවෙන් වැසුණු තහනම් ආදරය
"මගේ නිවස මම පිරිසිදු කරලයි තිබෙන්නේ, ඒකයි මා කරල තිබෙන්නෙ. මගේ පවුලේ කුණුවී ගිය කොටස කපා ඉවත් කර නිවසට නැවත ගෞරවය රැගෙන විත් තිබෙනවා."
මේ වහසි බස් දොඩන්නේ වෙනත් ආගමක තරුණයෙකු හා පෙමින් බැඳි වරදට, තම දියණියට පිහියෙන් ඇන මරා දමා, තම පවුලේ 'නම්බුව' බේරා ගත් 'වීර' පියෙකුයි. ඔව්. ජෝර්දානයේ 'බෙඩුඉන්' නීතියට අනුව ඔහු කර ඇත්තේ වරදක් නොවේ. තම පවුලේ නම්බුව වෙනුවෙන් කැපවුණු වීරයෙකු ලෙස උසාවියෙන් ඔහුට ප්‍රශංසා හිමිවේ.
මා ජාතිවාදියෙකු නොවේ. ආගම්වාදියෙකුද නොවේ. එහෙත් Norma Khouri විසින් රචිත 'Forbidden Love' නම් කෘතිය කියවාගෙන යද්දී මනුෂ්‍යත්වය වෙනුවෙන් මගේ ලේ රත්වෙනු වලක්වා ගත නොහැකි විය. මෙම කෘතිය එල්.එස්.එස්. පතිරත්න විසින් 'කාන්තාරයේ අහිංසකාවිය' ලෙස සිංහලයට පරිවර්තනය කර ඇත.
මෙම කෘතියට පදනම් වී ඇත්තේ කතුවරිය මුහුණ පෑ සත්‍ය සිදුවීමකි. එය ශතවර්ෂ ගණනාවකට පෙර දුරබැහැර ගෝත්‍රික ගම්මානයක නොවේ. විසි එක්වැනි සියවසේ අධිතාක්ෂණික නවීකරණයට යටත්ව ඇති ජෝර්දානයේ අම්මාන් අග නගරයේ සිදුවීමකි. මෙය එක් හුදකලා සිදුවීමක්ද නොවේ. වසර සිය ගණනක් පුරා අරාබි රටවල දිනපතා සිදුවෙමින් පවතින බිහිසුණු ක්‍රියාවලියක එක් සිදුවීමක් පමණි.
කතුවරිය වූ නෝමාගේ හොඳම යෙහෙළිය වූ 'ඩාලියා' අති සුන්දර මුස්ලිම් යුවතියකි. ඈ අහම්බයෙන් ප්‍රේමයේ බැඳෙන්නේ කතෝලික තරුණයෙකු වූ 'මයිකල්' සමඟය. අන්‍යාගමික ප්‍රේමයක් එවැනි රටක මුස්ලිම් ජීවිතයකට ඇතුළු වීම යනු මරණයට අත වැනීමක් බව දැන දැනත් නෝමා ඩාලියාගේ ප්‍රේමයට උදව් කරයි.
ඩාලියා හා මයිකල් තම ප්‍රේමයට ජෝර්දානය තුළ පැවැත්මක් නැති බව දැන නෝමාද සමඟ රටින් පිටවීමට උත්සාහ දරති. එහෙත් දඩ බල්ලන් සේ සිය සොයුරියගේ ජීවිතයට ඉව අල්ලමින් සිටි ඩාලියාගේ සොහොයුරන් මෙය දැන ගනියි. කෝපාවිෂ්ඨ වූ ඩාලියාගේ පියා සිය දියණියගේ 'නොහොබිනා' හැසිරීම නිසා නැතිවී ගිය පවුලේ ගෞරවය ආරක්ෂා කරගනු වස් ඈට පිහියෙන් ඇන මරා දමයි. එය එපමණකටම සරලය. මනුෂ්‍ය ජීවිතයක් ඔවුනට එපමණටම නොවටින්නේය.
කතුවරියට අනුව ජෝර්දානය බහුතරයක් ගැහැණුන්ට කලහකාරී සිර මැදිරියකි. තමාගේ ආදරණීයන්ගේ දෑතින්ම මරණයට පත්වීමේ අවිනිශ්චිත අවදානමට ඔවුහු සැමවිටම මුහුණ දෙමින් සිටිති. ඔවුහු නිශ්ශබ්ද සිහින දකින්නියන් වන තරමට ජීවිතය ආරක්ෂිතය.
රැකගැනීමට උත්සාහ කළ නම්බුව ඉක්මවා ගිය ආදිකල්පික කෲරත්වය පිළිබිඹු කරමින් ඩාලියාගේ සිරුර තුළට දොලොස් වතාවක් පිහියෙන් ඇන තිබිණි. පිහියෙන් ඇනීමෙන් පසු ඇයගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වග ස්ථීර කරගන්නා තුරු ගිලන් රිය කැඳවීමට ඔවුහු කල්මරමින් පසුවී තිබිණ. තත්වය මෙසේ තිබියදී පැය කිහිපයක් ෂාරියා උසාවියේ ගත කිරීමේ අපහසුව හැරුණු විට මිනීමරුවා කිසිදු දඬුවමකට යටත් නොවේ. එපමණක් නොව, පවුලේ නම්බුව උසස්කොට සලකා ක්‍රියාකිරීමට ඔහු තුළ තිබූ ධෛර්යය සම්බන්ධයෙන් උසාවිය ඔහුට ගෞරවය පුදකර සිටියි.
කතුවරිය සතු සංඛ්‍යාලේඛණ වලට අදාලව ලොව පුරා නම්බුව උදෙසා මරාදමන ගැහැණුන්ගේ සංඛ්‍යාව වසරකට 5000 ඉක්මවයි. එයින් බහුතරය ජෝර්දානයෙන්ය. අනාචාරයේ හැසිරෙන හෝ අනාචාරයට යොමුවිය හැකි ලෙස කටයුතුකරන ස්ත්‍රී ඥාතීන් මරා දැමීමට ඔවුන්ට නීතියෙන්ම ඉඩ ප්‍රස්ථා ලැබී තිබේ. මෙහි අනාචාරයට යොමුවිය හැකි ක්‍රියාවක් ලෙස ආගන්තුකයෙකු සමඟ කතාකිරීම වුවද ප්‍රමාණවත්ය. දුරාචාරවත් ලෙස හැසිරී ඇතැයි යන හුදු කටකතාවක් හෝ සැක කිරීමක් වුවද මීට අදාලය.
තවත් ලියන්නට දේ ඇතුවා නොවේ. මගේ කලහකාරී සිත තවම නිවී නැත. එහෙත් යම් ආගමකට ඇඟිල්ල දිගුකිරීමට මට අයිතියක් නැත. මිනිසෙකුට කිනම් හෝ ආගමක් ඇදහීමේ අයිතිය ඇත. එක් එක් ආගමෙන් ලැබෙන නිදහසද වෙනස් විය හැක. ආගමක් සංසන්දනය කිරීමට මට අවශ්‍ය නැත. මන්දයත් ආගම ජාතිය අතහැරිය විට අප සියල්ලෝම ඇට මස් ලේ වලින් සැදි මනුෂ්‍යයෝ වන බැවිනි. ඒ මනුෂ්‍යත්වයට ගෞරව කිරීමට මෙන්ම ගෞරවය පෙරලා ලැබීමටද අපට අයිතියක් ඇත. පොත කියවා බලා ඒ මනුස්සකමට ලැබිය යුතු වටිනාකම තක්සේරු කල හැක්කේ කෙසේදැයි තීරණය කිරීම ඔබට බාරය.
Subscribe to:
Posts (Atom)
















